No menu items!
25.1 C
Sri Lanka
27 April,2025
Home Blog Page 616

බ්ලොග් ලොව හුදෙකලාව

1

 

 

 

ටැබූ සබ්ජෙක්ට්ස්

‘මැයි මස අවසන් වන විට ලාංකීය සිතුවිලි වසා දමනු ලැබේ. වසර දහයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ වෙබ් අඩවිය සඳහා ඩොමයින් නාමයට 2018 – 2019 වසර සඳහා රුපියල් 3,450.00 ගෙවිය යුතුව ඇත.’

මේ නොතීසිය ලේඛකයා ඇසැ ගැටෙනුයේ ‘ලාංකීය සිතිවිලි’‍ සින්දියේය. ගොළුඅබා රජපස සිරිමතුන් සුරතලයට කිරිමෝරුන් ඇති කරන සමයෙහි ‘ලාංකීය සිතිවිලි’ සින්දිය තවත් එබඳුම සින්දි දහ පහළොවක් සමඟ තරගයට සේ බ්ලොග් සින්දිකිත කළේය. නැතිනම් එක පියසකට රැුගෙන ආයේය. ඒ යුගයේ සින්දි කෙතරම් ජනප‍්‍රිය වීද යත් අපට අඩු වූයේ ‘සින්දි සින්දිකිත කරන සින්දියක්’ පමණකැයි මහදැනමුත්තෝ කීහ.

අද සින්දිද, ඒවායින් සින්දිකිත කළ බ්ලොග් සේම එකිනෙක මියැදෙමින් පවතී.

‘‍ඇත්තටම එහෙම වෙනවද අයියෙ?’‍ අප තුළ සිටින මහඋල්පතගමින් ආ යව්වනයා අසන්ට පිළිවන.

නො එසේය කෙනකුට තර්ක කරනු බැරිම නැත්තේය. ඉකොනොමැට්ටා ‘සතපහ’‍ ට හා ‘බොදුන් හල’‍ට දැනුදු එක් කරන පර්යේෂණාත්මක, එහෙත් කියැවියැකි බ්ලොග් සටහන් රැුසක් අපේ නේත‍්‍රාංජනය කරති. මසෙකට එක දෙකක් වුව රසිකයාද දකුණු කුරුදිවයිනෙහි හිඳ තවමත් කතන්දර ලියයි. ශාස්තෘ අජිත් පැරකුම් ජයසිංහ නේක වර්ණ පිළි ඇඟලූ සැටියෙකි. ඔහුද දිනපතා හරවත් යමක් අපේ දෙනුවනට යොමු නොකරන්නේමැයි කිව නොහැකිය. නොරටක වෙසෙන රුවන් එම්. ජයතුංග වෙදනුවෝ ට‍්‍රාන්ස්සිල්වේනියා නමින් බ්ලොගයක් කරති. අසමි දකිමි සොයමි විචාරක නැති අඩුව පිරවන්ට ඔහුගේ දියණිය යම් උත්සාහයක් දරයි. පැරැුණිම බ්ලොග් රචකයකු වූ දයාල් බතීද තවම ඉඳහිට හෝ ලියන්නෙකි. ලේඛකයාගේ රස බලන්ට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරෙකින් වුවද හැලපේද හැලප බායි. අරුණි ශපීරෝද පෙර ජවයෙන්ම වේගයෙන්ම ලියයි. ඇගේ ලිබරතේරියන් බ්ලොගය ලබන ප‍්‍රතිචාරය නොදනිමි.

‘බ්ලොග් කියන්නෙ වෙනම ආතල් එකක් බං. තාමත් කට්ටිය ලියනවා නම් තමයි.  ඕවා කියවන පිරිසකුත් ඇති, අපි නොකියෙව්වට. හැබැයි දැන් අර අවුරුදු හත අටකට උඩින් තිබුණු ගැම්ම නෑ. මටත් හරියටම තේරෙන්නෙ නෑ මොකක් වෙලාද කියලා. දැන් ඉතින් හැම මඟු‍ලම වෙන්නෙ ෆෙස්බුක් එකේ…’ මේ ජෙහාන්ය.

බ්ලොග් අවකාශයෙහි අක‍්‍රියාකාරිත්වයට හේතුව වත්පොතය යන ජෙහාන්ගේ තර්කයෙහි ඇත්තක් සේම නැත්තක්ද ඇත්තේය.

ඇත්ත නම්, අද වත්පොතෙහි අධික‍්‍රියාකාරී බොහෝ දෙනකු පෙර බ්ලොග් රචකයන් රචිකාවියන් බවය. කිසිදු පිළිවෙළකින් තොරව – අහඹු ලෙස – ලේඛකයාගේ මතකයට නැෙඟන නම් ලෙසින් සලකතොත් මනෝරම වීරසිංහ, ප‍්‍රියන්ත හේවගේ හෙවත් මාතලන්, වත්සලා උපමාලි හෙවත් සොඳුරු සිත, සුභාෂ් ගුණවර්ධන, දුෂාන් කරවිට, චමීර ජීවන්ත දෙද්දුවගේ, දමිත් කේතක, සුජීව කොකාවල, දුලිප් සිකුරාජපති, බුද්ධි ප‍්‍රසාද්, රචින්ත ජයවර්ධන, චානක අරුණ මුණසිංහ, සිතුමිණි රතනමලල, සහන් කසීර වික‍්‍රමසිංහ, මෞර්ය රාජ්, රංග මිගාර වීරක්කොඩි, රමිඳු ලක්ඛික පෙරේරා, රිටිගල ජයසේන, රසික නානායක්කාර, චතුශ තුෂර කුමාර, අභීත එදිරිසිංහ, ඉන්දික කොඩිතුවක්කු, ප‍්‍රියන්ත වෙනිවැල්පිටිය, සුමිත් නිරිඇල්ල, හසිත චාමිකර ගුණසිංහ, නලීන් දිල්රුක්ෂ, පියල් අරියනන්ද, උදිත මීගහතැන්න වැනි චරිත අටෝ රාසියක් අපට මුල් වරට හමුවන්නේ බ්ලොග් අඩවියක් තුළිනි. අද මින් අතිබහුතරය එක්කෝ බ්ලොග් නොලියති. නැතොත් අවාරයේ සිරිපා නඟින්නාක් සේ බ්ලොග් සටහනක් ලියමින් සිය ක‍්‍රියාකාරිත්වය වත්පොතට අභිසාරී කරති. බැහැරින් එදෙස බලන කනෙකුට පෙනෙන්නේ ඒ බ්ලොග් රචකයන් රචිකාවන් පිරිසක වත්පොතට සංක‍්‍රමණය වීමක් සෙයිනි. පුහුලම් මඳ වූ කල්හි වවුලෝ ගස් හැර නොයතිද සකියනි? එනයින් ජෙහාන් නිවැරදිය. පෙර බ්ලොග් අවකාශයෙහි වූ මත දැක්වීම්, නිර්මාණ, ගැටුම් සියල්ල වත්පොතට පැමිණ ඇත්තේය. පෙර බ්ලොග් රචකයෝ රචිකාවෝ දැන් වත්පොතෙහි අදහස් පළකරති; ගැටෙති.

සමාජ මාධ්‍ය පොදුවේ ගත් කල කිසිවක වෙනසක් නැතැයි කවරෙක් හෝ තර්ක කළ හැක්කේය. යුගයෙක පේ‍්‍රක්ෂකයෝ සිතුවම්පට නැරැුඹීම පිණිස සිනමාශාලා වෙත ඇදුණහ. අද ඒ පේ‍්‍රක්ෂකයෝම සංයුක්ත තැටි මිලට ගෙන සිය නිවෙසේදී සිතුවම්පට නරඹති. තිරය කුඩාය. පොප්කෝන් නැත. පේ‍්‍රක්ෂකයා තිරයටම ඇදබැඳ තබන අඳුරු පරිසරයද නැත. එතකුදු වුව ඒ එකම කර්මාන්තයයි. සිතුවම්පට කර්මාන්තයෙහි වෙනසක් ඇති වේ නම් ඒ වෙනම තලයකය. අද පේ‍්‍රක්ෂකයන් රේඛාව හෝ නිධානය නොනරඹන්නේ නම් ඒ වෙනත් හේතූන් නිසා මිස කර්මාන්තය බිඳවැටී ඇති හෙයින් නොවේ. මෙසේම බ්ලොග් වෙනුවට ෆෙස්බුක් ආදේශ වීම හුදෙක් වේදිකාවේ වෙනසක් පමණෙකැයිද බ්ලොග් ලෝකය අක‍්‍රියාකාරී වී නැති බවද තර්කයක් සේ ඉදිරියට ගෙනෙන්ට පිළිවන.

ජෙහාන් හා ප‍්‍රියන්ත මැදට ඔස්ටින් අයියා පාත්වී පෙන්නා දෙන්ට ඉඩ ඇත්තේ කර්මාන්තයක් වශයෙන් එකක් වුව බ්ලොග් හා ෆෙස්බුක් යනු සංස්කෘතීන් ලෙස දෙකක් බවයි.

ලේඛකයාට මේ සම්බන්ධයෙන් ගෙනහැර දැක් විය හැකි විශිෂ්ටම නිදර්ශනයක් නම් කෙටිම කාලයක් තුළ හිට්ස් 200,000 පසුකළ බ්ලොගය සේ සැලකිය හැකි ‘‍වර්ගපූර්ණිකාව’‍ නම් නිර්මාණාත්මක බ්ලොගයයි. මේ බ්ලොගයේ අරමුණ වූයේ එවක (2011-12 පමණ* ළැව්ගින්නක් සේ පැතිරගිය රාවණා උන්මාදය සියුම් උපහාසයට ලක්කිරීමයි. එහි රචකයා ‘‍මීවනපලාන ජයරත්න’‍ සේ පෙනීසිටියේය. මේ අන්වර්ථ නාමයක් බවට සැක නැත. ඉහත සඳහන් නම් දෙකකට අදාළ චරිතයන්හි ලේඛන ශෛලිය වර්ගපූර්ණිකාවේ ශෛලියට අනුරූප බව පහත කෙටි උපුටනයෙන් ඔවුනගේ පාඨකයන් පහසුවෙන් හඳුනාගනු ඇතැයි සිතමි.

උපුටනය

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත්විජිතයකි.

හෙලෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!

දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ ‘හෙලෝ!’‍ කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේෂණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙකුට අනුව ‘හෙළෝ’ යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාගේ කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග‍්‍රාහකයා ‘‍හෙළෝ’ කියා අසන නිසයි. හෙළ+ ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙකු නම් ඔහුත් ‘‍හෙළෝ’ කියා ප‍්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි.

ආදි සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැළපෙන ආකාරයට න්‍යෂ්ටික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත‍්‍රික පුස්කොළ පොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටලූ. බොරුයි කියා සිතේ නම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවා බැලිය හැක. එහෙත් කාලයත් සමග ඇතිවූ සුනාමි (සුසුණුවිසුණු, නාවතුර, මිමිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුණු විසුණු කරන වතුර කියන එක. මූලාශ‍්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය.

ඒ ආකාරයෙන් චක‍්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ‍්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස ‍රැව්-පිළි‍-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගරවල නම් පවා බිහිවීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි.(උපුටනය)

වත් පොත්හි කවරක් ලියැවුණද මේ හා සම කළ හැකි නිර්මාණයක් දීර්ඝකාලයක් තිස්සේ නොවූ බව සහතිකය. වත්පොත්හි ලියැවෙන මෙවැනි බොහෝමයක් දේ සෝඩා බෝතල මෙන් කැඩූ විගස හඬක් නඟා මැකී යයි. දීර්ඝ කාලයක් තිස්සේ පාඨකයා රඳවා ගැනීමක් ඒවායින් සිදු නොවේ. මෙබඳු සංස්කෘතියක් ගොඩ නැෙඟන්නේ අනිවාර්යයෙන්ම සාම්ප‍්‍රදායික බ්ලොගයකමැයි.

බ්ලොග් සංස්කෘතියේ තවත් අනන්‍ය පැතිකඩක් විදහා දක්වනු පිණිස ලක්මාල් කන්දෙවිදානගේ ‘‍අටම්පහුර’‍ හා චින්තක සඳරුවන් ජයවික‍්‍රමගේ ‘‍හිස් අහස’‍ එකට සලකමු. මේ දෙදෙනාම පෙර කී බ්ලොග් රචකයන්/රචිකාවන් මෙන් බ්ලොග් අතැර වත්පොත ආගමනය කළෝ නොවෙති. ඔවුනට වත්පොත ආගමනය කළ හැකියැයිද නොසිතමි. ඒ ඔවුන්ගේ වේදිකාව නොවෙන හෙයිනි.

මේ දෙදෙනාගේම අපූර්වත්වය ඔවුන් දෙදෙනා කිසිම අයුරෙකින් සම්මත මුළු ධාරාවේ ජනමාධ්‍යයකින් එළි බහින්ට ඉඩ නැති ආකාරයේ ලියන්නන් දෙදෙනකු වීමය. එක අතෙකින් ඔවුනට ඊට අධ්‍යාපන සුදුසුකම් නැත. අනෙක් අතින් ඔවුන් ලියන්නේ ඔවුන්ට රිසි දේ ඔවුනට රිසි අයුරින් මිස මුළු ධාරාවේ මාධ්‍ය පණ්ඩිතයන්ට අවශ්‍ය ආකාරයට නොවේ. බ්ලොග් කෙළියට බහින විට චින්තක සඳරුවන් (‘සඳරු’‍) අම්පාරේ පෞද්ගලික පරිගණක පාසලක පුහුණුකරුවෙකි. ලක්මාල් කන්දෙවිදාන මහන මැෂින් අලූත්වැඩියා කරන්නෙකි. මේ ඔෆීසියල් භූමිකාවලට එපිටින් ඔවුන් දෙදෙනා තුළම අපූරු සත්ත්වයෙකු බැගින් සැඟව සිටී. ඔවුන්ගේ බ්ලොග් හරඹයෙන් එළියට එන්නේ මේ සතාය. ඒ ආගමනය පිණිස බ්ලොග් එකක්ම ඇවැසිය. එසේ නැතිව වත්පොතෙහි එවන් ආගමනයක් වනු නැත්තේය. මේ ලියැවිල්ල අහවර කරනු වස් දිගු කතාවක් කෙටියෙන් කියන්නේ නම්, ලේඛකයා කලෙක පටන් වත්පොතින් එපිට බ්ලොග් හරඹයක් ගැන සිහිනයක් දකිමින් සිටියේය. එය පෙර බ්ලොග් හරඹයෙන් වෙනස් විය යුතුය යම් අදහසක් ඔහුට විය. එහෙත් ඒ කෙසේද යන්න පැහැදිලි නොවීය.

ඔබ කියවන මේ අසම්පූර්ණ අවිධිමත් සටහන එවැනි අළුත් ගමනෙක ඇරැුඹුම විය හැකිය.

 

දිවයින සමග එකතු වී මිනිසුන් මුලාකර සල්ලි ගරන මහගොඩගේ යෝගිතුමා

0

 

ඉරිදා දිවයින පුවත්පතේ දැන් කාලයක සිට දරුඵල නොමැති පවුල්වලට දරුඵල ලබාගැනීමට උපකාර ලෙස යැයි පවසමින් මහගොඩගේ යෝගිතුමා නම් පුද්ගලයෙකු සමග සම්මුඛ සාකච්ඡුා මාලාවක් පවත්වා ගෙන යයි. ‍

එම යෝගීවරයා එම සාකච්ඡා සෑම එකකම අවසානයට කියන්නේ දරුඵල නොමැතිවන්නට තමන් දැක්වූ හේතුන් මගහරවා ගැනීමට හෝ එය රෝගී තත්ත්වයක් නම් එය සුවකිරීමට හෝ තමන්ට හැකි බවය. ඉතින් මේ ලිපිමාලාව කියවන දරුඵල නැති අය විශාල වශයෙන් මේ මහගොඩගේ යෝගිවරයා මුණගැසෙන්නට යන බව අනිද්දා පුවත්පතට වාර්තාවෙයි. අනෙක් පැත්තෙන් මේ ලිපි කියවන පාඨකයන් තමන්ගේ නෑදෑයෙකු හෝ හිතවතෙකු හෝ මෙවැනි පීඩාවකින් කල් ගෙවන්නේ නම් තමන් කියවූ මේ ලිපිය නිසා දැනුවත් වී මේ පුද්ගලයා වෙතට දරුඵල නොමැති එම නෑදෑයා හෝ හිතවතා යොමුකරනු ඇත. ඔවුන් එලෙස යන්නේ දරුවෙකු නොමැතිකමේ පිඩාව සංසිඳුවා ගැනීම සදහාය. දරුවෙකු දෙනවා නම් මෙලෙස මෙවැනි ස්ථානවලට යන අසරණයන් ඒ සදහා ඕනෑම මුදලක් ගෙවන්නට ද සූදානම් ය. ඒ දරුවෙකු නොමැතිවීම ගැහැනියකට නම් දරුණු සමාජ පීඩාවක් මෙන්ම වඳ ගැහැනිය යන සමාජ නාමකරණය ලැබ අවමනට ගැරහීමට ලක්වීම නිසාය. දරුවෙකු නැතිවීම පිරිමියාගේ පුරුෂ ශක්තිය හීනවීම යැයි මතයක්ද සමාජය මත වගාදිගා වී තිබෙන නිසා පිරිමියාද මේ තත්ත්වයට පත්වීමට සූදානම් නැත. ඒ් නිසා ඔවුහු ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් හමුවී දරුඵල නොමැති තත්ත්වයට බටහිර වෙදකම සරණ යන අතරතුර ඉහත සඳහන් කළ මහගොඩගේ යෝගිතුමා වැනි පුද්ගලයන්ද සොයා යති.

කසාදයට පසු අවුරුද්දක් ගතවීත් දරුවන් නොමැති යුවලක් මේ මහගොඩගේ යෝගිවරයා මුණගැසී ඔහුගෙන් සුවයක් ලබාගැනීමට කැස්බෑව බණ්ඩාරගම පාරේ විලියම් ජයතිලක මාවතේ සමාධි සෙවණ අසපුව වෙත ගියෝය. එලෙස ගිය ඔවුන් මේ ලියුම්කරු සමග පැවසුවේ මෙය දරුවෙකු ලබාගැනීමේ සිහිනය දකින දරුඵල නොමැති අසරණයන් මුලා කර ඔවුන්ගේ මුදල් ගසාකන ජාවාරමක් බව තමන්ට වැටහුණු බවය. මුලින්ම ඔවුන්ගේ කතාව අසමු.

‘‘අපි මේ යෝගිතුමා ගැන දැනගත්තේ දිවයින පත්තරෙන්. ඒකේ නම්බර් එක තිබුණා. හැබැයි දිවයිනේ අපේ යාළුවෙක් ඉන්න නිසා අපි එයාට කතාකළාම එයා අපිට යෝගිතුමා හමුවෙන්න දිනයක් දාලා දුන්නා. හමුවෙන්න හරි අමාරුයි කියලා තමයි කියන්නේ. දරුවෝ නැති අය ගොඩාක් මෙතැනට එනවා. සතියට දවස් දෙකයි හමුවෙන්න පුළුවන්. දවසකට කපල් 8ක් විතරයි බලන්නේ කියලා තමයි කිව්වේ. කොහොම හරි අපි යෝගිතුමාට කතා කළා. එයා කිව්වේ පොල්ගෙඩියක් අරගෙන කහවතුරෙන් හෝදලා බුලත් විසි එකක බුලත් අතකුත් එක්ක බුදු ලාම්පුව ළග වරු තුනක් තියලා ඒකත් අරගෙන දෙන්නත් එක්ක එන්න කියලා. අපි ගියා අපේ පොටෝ ගත්තා. එහෙම එන හැම කපල් එකේම පොටෝස් ගන්නවාලූ‍. ඊළගට එක කාමරයක අපිව වාඩි කළා. ඒක වලව්වක් වගේ පැරණි ගෙයක්. අපි ටිකක් වෙලා ඉන්නකොට අපිව ඊළග කාමරයට එක්කරගෙන ගියා. ඒකේ බිම ඉදගන්න මෙට්ටයක් දාලා තිබුණා. බුදු පිළිමයක් කර`ඩුවක් තිබුණා. කරඩුව දිහා බලාගෙන බිම වාඩිවෙලා තමයි යෝගීතුමා හිටියේ. අපි දන්න විදිහේ යෝගිවරයෙක් නෙවෙයි රැවුල බිංදුවටම කපලා සම්පූර්ණයෙන්ම සුදු ඇදලා. කරඩුව දිහා බලාගෙන ඉදලා අපි දිහාට හැරිලා තමයි භාවනා ශක්තියෙන් ඒ දේවල් කියනවා කියලා කියන්නේ. අපිට මුලින්ම කිව්වා මම ළගට එන රෝගීන්ට දාහක් ප‍්‍රශ්න තියෙනවා හැබැයි ඔයාලා ඒ අතින් වාසනාවයි ඔයාලට එහෙම ප‍්‍රශ්න නැහැ කියලා. ඊළගට කිව්වා ගෙදර භූතයෝ ඉන්නවා කියලා. ඊළගට කරඩුව දිහා බලාගෙන අතින් රවුමක් කරකවලා එකපාරට නවත්වලා මම (පිරිමියා) දිහා බලලා කිව්වා ඔයාගේ ආණ්ඩ කෝෂවල ඉදලා ශුක‍්‍රාණු අරගෙන එන නාලයක පොඩි අවහිරයක් තියෙනවා, දෙන්නගෙම ඇඟ උෂ්ණයි, මේක සනීප කරලා දරුවෙක් හදන්න පුළුවන් කියලා. එහෙම කියලා කිව්වා ළගම පන්සලට සිවුරක් පූජා කරලා එන්න, බෙහෙත් එකක් තියෙනවා ඒක වතුරට දාලා නාවන්න ඕනෑ කියලා. එක්කෙනෙක් නාවන්න රුපියල් 25,000ක් යනවා කිව්වා. එතකොට අපි දෙන්නාට රුපියල් 50,000ක්. අපි කිව්වා අපි පස්සේ එන්නම් කියලා. එදා ගාන විදිහට 3,500ක් ගත්තා.”‍ ඒ කතාව ඉවර වෙන්නේ එලෙසින්ය. සමහර යුවලකට තමන්ගේ රෝගී තත්ත්වය සුවකරගන්න මීට බෙහෙවින් ඉහළ මිලක් ගෙවන්න වෙන බවද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සිට ලොකු ලොක්කන් සරණ පතා මේ යෝගී ආශ‍්‍රමයට පැමිණෙන බවද දැනගන්නට ලැබෙයි.
මේ යෝගිවරයා සහ ආශ‍්‍රමය පිළිබදව තිබෙන යූටියුබ් වැඩසටහනක කියන්නේ ‘‘‍තමාගේ ශරීරයෙන් පිටවන ඕරා (AURA), ශක්තිය ම`ගින් නිසි ලෙස සකසාගෙන අකුසල කරුමයන් බුදු බලයෙන් මගහරවාගෙන ශරීරයේ තිබෙන ගැටලූ‍වලට බෙහෙත් ලබාගෙන වාසනාවන්ත දරුවෙකු ලබාගත හැකි බවය”‍. ඒ සදහා මේ යෝගි  වරයා වෙත යා යුතුය. ඔහු මේ ගැටලූ දකින්නේද ගැටලූ‍වලට බෙහෙත් කියන්නේද භාවනාවෙන් සිත දියුණු කිරීමෙන් නිපන් ශක්තියකින්යැයි කියනවා මිස එම්බීබීඑස් උපාධියකින් ලබාගත් දැනුමකින් නොවන බව කිව යුතුය. යම් කාන්තාවකට දරුවෙකු පිළිසිද ගැනීමට පවතින නොහැකියාවන් මොනවාද, ඒවාට තිබෙන පිළියම් මොනවාද, යන්න අද නවීන වෛද්‍ය විද්‍යාව සක්සුදක් සේ දන්නේය. එනිසා වෛද්‍යවරයෙකු ළගට ගියවිට එම කාන්තාවට දරුවෙකු ලබාගන්නට පුළුවන්ද බැරි නම් ඒ සදහා තිබෙන විකල්ප ක‍්‍රම මොනවාද යන්න දැන කියාගත හැකිය. එහෙත් මිථ්‍යාවන් පසුපස ගොස් අමාරුවේ වැටීම සිංහල, දෙමළ, බෞද්ධ, ක‍්‍රිස්තියානි නොව බොහෝ මිනිසුන්ට පොදු තත්ත්වයක්ය. අප මොනවා කිවත් මිථ්‍යාවට කැමැතිය. එහෙත් ඒ කැමැත්ත තවත් කෙනෙකු කූට ලෙස භාවිත කර මුදල් ගරන්නේ නම් මිනිසුන් අසරණභාවයට හෙළන්නේ නම් එතැන ලොකු ගැටලූවක් ඇත. එනිසා අපි තුළ මිථ්‍යාවට පුංචි ඉඩක් ඉතුරුකරගත්තත් මෙවැනි ජාවාරම් පිටුදැකිය යුතුය.

මේ ආශ‍්‍රමයට තවත් කාන්තාවක කතාකර තමන්ගේ අවශ්‍යතාව කියූ විට එහි සිට කතාකළ පොඩි යෝගීතුමා නම් පුද්ගලයෙකු පවසා ඇත්තේ දවසකට රෝගීන් 8 දෙනෙකු පමණක් බලන බැවින් ස්ථිරවම එනවා නම් කියන්න කියාය. ඉන්පසුව එන්නේ කොහොමද, ලිපිනය පවසන්න යැයි කියූ විට කියා ඇත්තේ කැස්බෑවට පැමිණ කතාකරන්න කියාය. මෙයින් පෙනෙන්නේ මෙම ආශ‍්‍රමයේ ලිපිනය හෝ දෙන්නට මේ පුද්ගලයන් සූදානම් නැති බවය. බොහෝ විට මෙතැනට පුද්ගලයන් ගෙන්වාගන්නේ දැනහැඳුනුම්කම් ඇති ඒජන්තයන් හරහාය. ඒ මේ බොරුව සමාජගත වීම වැළැක්වීම සදහාය. දිවයින පුවත්පතේ වැඩකරන සමහර පුද්ගලයන් හරහා මිනිසුන් මේ ආශ‍්‍රමයට සම්බන්ධ වනවා වන්නට පුළුවන. ඔවුහු මාධ්‍ය ආයතනයක් ලෙස මේ ජාවාරම්කරු ප‍්‍රවර්ධනය කරමින් නිරන්තරව ලිපි සම්මුඛ සාකච්ඡා පවත්තමින් සිටිති. ඒ කිසිදු ලැජ්ජාවකින් තොරවය. නිරන්තරව බෞද්ධ දර්ශනය ගැන කතාකරන පුවත්පතක් බුදුදහම කෙළෙසමින් බුදුදහම භාවිත කරමින් මිනිසුන් ගොනාට අන්දවා මේ යෝගී ආශ‍්‍රමයට දැක්කීම පිළිකුලෙන් හෙළා දැකිය යුතුය.

අනිද්දා පුවත්පතේ මේ ලියුම්කරු මේ යෝගී අසපුවට කතා කළේය. මහගොඩගේ යෝගිතුමා ඉන්නවාදැයි ඇසූ විට පොඩි යෝගීතුමායි තමන් හදුන්වාගත් පසුව චමින්දයැයි නම ප‍්‍රකාශ කළ පුද්ගලයෙකු කීවේ යෝගි වරයා භාවනාවක සිටින නිසා කතා කළ නොහැකි බවය. පසුදා උදේ 9ට ආශ‍්‍රමයට පැමිණෙන්නේ නම් සම්මුඛ සාකච්ඡාවක් ලබාදිය හැකි බව, ඔහු පසුව මේ ලියුම්කරු අමතා කීවේය. ඔහු එහිදී කැස්බෑව නගරයෙන් හැරී බණ්ඩාරගම මාර්ගයේ පැමිණ විලියම් ජයතිලක පාරේ ආශ‍්‍රමයට එන හැටිද ප‍්‍රකාශ කළේය. දිනකට කපල් 8ක් පරීක්ෂා කරන බවත් පැවසූ ඔහු කීවේ මිල ගණන් තීරණය කරන්නේ අදාළ පුද්ගලයන් පරීක්ෂා කිරීමෙන් පසුව බවය. ඔවුන් දිගටම දිවයින පුවත්පත හා සම්බන්ධ වී වැඩකටයුතු කරන බවද එම පොඩි යෝගිවරයා මේ ලියුම්කරු සමග පැවසුවේය.

 

 

ජනාධිපතිවරයා 2015 ජනවරමට ද්‍රෝහිවීම

 

වත්මන් ආණ්ඩුවේ නායකයන් දෙපළ 2015 ජනවාරි 08 ජයග‍්‍රහණයට කැපවුණ හැට දෙලක්ෂයකට අධික පුරවැසියන්ගේ ප‍්‍රාර්ථනා බොඳ කරමින් නිර්ලජ්ජිත තත්වයකට පත්ව සිටින අන්දම ශෝචනීය වේ. හොරගල් ඇහිලීමෙන් හා ගරිල්ලා සටන්වල නිමග්නවීමෙන් නායකයන් දෙපළ සමසමව ආණ්ඩුකරණය අර්බුදයකට ලක් කොට තිබේ.

වසර තුනක් ගෙවීයන තුරු මේ නායකයන් දෙපළ හරිමඟ ගමන් කරනු අපේක්ෂාවෙන් පසුවුණ සිවිල් බලවේගවලට අද සිදුව තිබෙන්නේ නීතිගරුක පුරවැසියන් අබිමුවට පැමිණ ඇත්ත නැත්ත කොන්දේසි රහිතව අනාවරණය කිරීමටය. යළි වතාවක් රාජ්‍ය පාලනය උදෙසා මොනම අන්දමක හෝ ජනවරමක් ලැබීමට මේ නායකයෝ දෙදෙනා නුසුදුස්සෝ වෙති. එ් බව දෙදෙනාම කි‍්‍රයාවෙන් ඔප්පු කර සිටිති.
බල තණ්හාව හා ජනවරමට ද්‍රෝහී වූ අන්දම ජනාධිපතිවරයා සම්බන්ධව ප‍්‍රථමයෙන් ද, දෙවනුව අගමැතිවරයා සම්බන්ධව ද සමාලෝචනය කිරීම වැදගත් යයි සිතමි. මේ ලිපියෙන් විවේචනයට බඳුන් වන්නේ ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපයයි.

අකෘතඥ වීම
මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පදවියේ දිව්රුම් දීමෙන් අනතුරුව පොදු අපේක්ෂකයාගේ භූමිකාව තනි කැමැත්තෙන් ඉවත ලෑමෙන් හිතින් හිතා ගන්නටවත් නොහැකි අන්දමින් සෝභිත හිමියන්ට පිටුපෑවේය. අනතුරුව හෙතෙම තමා ජනාධිපති පදවියට පත් කිරීමට පිඹුරු පත් සකස් කළ චන්ද්‍රිකා මැතිනියට පිටුපෑවේය. මේ වන විට තමාට ජන වරමක් ලබා දීමට කැපවුණ සියලූ පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා පිටුපා සිටියි.
දෛවයේ සරදම නම්, එක් රැුයකින් අසාමාන්‍ය කීර්තියක් ලබා අසාමාන්‍ය ජනවරමක් ලත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වසර තුනක් ගත වන විට, තමන්ව ඉහළට ඔසවා තබන ලද රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවකගේ අප‍්‍රසාදයට, පිළිකුලට හා කෝපයට පත්ව සිටීමයි. එ් වූ කලි අකෘතඥතාව හේතුවෙන් උරුම කර ගන්නා ශෝචනීය ඉරණම වන්නේය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා
2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාද කිරීමට පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය බවත්, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් සෝභිත හිමියන් රටට පවසන විට, මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ප‍්‍රශස්ති ගායනා කරමින් ඔහුගේ පා සෙවණේ දැවටෙමින් සිටි නිවට නියාලූ ඇමතිවරයෙකි. එ් වන විට රටේ සිටි විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ සමඟ කළු කෝපි බොමින් පක්ෂයේ ජවය බලය ශක්තිය හීන කර දමා සිටි බෙලසුන් පුද්ගලයෙකි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ජාතික තලයට මතුව සිටි නායකයන් විවිධ දෘෂ්ටිවාද හිසින් ගත්තවුන් බැවින් දේශපාලන භූමිය වියළි කතරක්ව පැවතියේය. මේ සංදර්භය තුළ හිටපු ජනාධිපතිනිය ප‍්‍රගතිශීලී බලවේග අබිමුව පවසා සිටියේ ශී‍්‍රලනිපයෙන් අවංක නායකයෙකු තමාට ඉදිරිපත් කළ හැකි බවයි. එ් නායකයා සතු වැදගත් ලක්ෂණ තුනක් චන්ද්‍රිකා මැතිනිය අවධාරණයෙන් පවසා සිටියාය. එතුමිය පවසා සිටි පළමු කාරණාව වන්නේ තමා නම් කරන පුද්ගලයා දූෂිතයෙකු හා අපරාධකාරයෙකු නොවන්නේය යන්නයි. දෙවැනි කාරණාව ලෙස එතුමිය පවසා සිටියේ හෙතෙම ජාතිවාදියෙකු හෝ ආගමික අන්තවාදියෙකු නොවේය යන්නයි. තුන්වෙනි කාරණාව ලෙස හිටපු ජනාධිපතිනිය අවධාරණයෙන් පවසා සිටියේ රාජපක්ෂවරුන්ගේ පාලනය ඉවසා දරා ගත නොහැකි ප‍්‍රධාන පෙළේ අමාත්‍යවරුන් පිරිසක් මෙතුමා සමඟ පක්ෂයෙන් පිටතට පැමිණීමට සූදානම්ය යන්නයි. මේ සාධක ඉතා වැදගත් එ්වා ලෙස බැලූ බැල්මටම පෙනීගිය ද, ඇතැමුන් ප‍්‍රශ්න කර සිටියේ නිර්පාක්ෂික නායකයෙකු බවට එතුමා කටයුතු කරන බවට සහතිකය කුමක් ද යන්නයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙසින් ජයග‍්‍රහණය කළහොත් ඔහු නිර්පාක්ෂික නායකයෙකු ලෙස රටට අවශ්‍ය නායකත්වය ලබා දේවිද යන පැනය ආර් සම්බන්ධන් මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා ද විමසා සිටි විට, හිටපු ජනාධිපතිනිය සිය ළය මත අත තබා ප‍්‍රබලව පවසා සිටියේ තමා කෙරේ විශ්වාසය තබන ලෙසයි. විස්මය දනවන කාරණාව වන්නේ ජනාධිපති පදවියට පත් කිරීමට මැණිකක් ගරන්නා සේ හිටපු ජනාධිපතිනිය සොයා ගත් තැනැත්තා කල් නොමරාම එතුමියට අවිනීතයන් ලවා අතුල් පහරවල් නොකඩවා එල්ල කිරීමට, නොසලකා හැරීමට සහ අවමන් කිරීමට සහ පිටුවහල් කිරීමට තරම් සාහසික වීමය. මේ තරම් අකෘතාඥතාවක් ගැන මින් පෙර කා වෙනුවෙන් හෝ කොතැනකවත් ලියවී නැතැයි සිතමි. මෙවැන්නෙකුට කවර නම් යහ පාලනයක් කැපවේ ද?

ඉනිමඟට පයින් ගැසීම
ජනාධිපති පදවියේ දිව්රුම් දීමෙන් අනතුරුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රථමයෙන් ගත් තීන්දු කීපයම සෝභිත හිමියන්ගේ දැඩි කණස්සල්ලට හේතු විය. ජනාධිපති ලේකම් පදවියට සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගත්තේ මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් අවසන් තත්පරය දක්වා නීතිය අවභාවිත කළ රාජ්‍ය නිලධාරියෙකු වූ අබේකෝන් මහතාය. ජනාධිපතිවරණ සමයේ දී නීතිය අවභාවිත කරන්නන් හªනා ගැනීමට පිළියෙළ වුණ බ්ලැක් බොක්ස් එකේ පළවෙනියා බවට පත්ව සිටියේ අබේකෝන් මහතාය. රාජ්‍ය ආරක්ෂක ලේකම් තනතුරට පත් කරන ලද බස්නායක මහතා වැඩ පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය තමන්ට තිබෙන බව මාධ්‍ය හමුවේ විවෘතව පවසමිනි. ඔහු පදවියේ වැඩ භාර ගත් තැන සිට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උපරිමයෙන් සේවය කිරීමට කැප වූ බව නම් කිව යුතුය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිදුකළ නින්දිතම පත්වීම වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරම හතුරෙකු බවට දේශපාලන භූමිය තුළ සිටි ශිරාල් ලක්තිලක සම්බන්ධීකරණ ලේකම්වරයා බවට පත් කර ගැනීමය. එම පත් කිරීම රනිල් වික‍්‍රමසිංහ මහතා එ් වන විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙරේ තැබූ විශ්වාසය දරුණු ලෙස බිඳ දැමීමට හේතු විය යන්න සත්‍යයකි. මේ සම්බන්ධව සෝභිත හිමියන් ද ජනාධිපතිවරයාගෙන් විමසා සිටි විට පැවසුවේ ටික දවසකට කළ තාවකාලික පත්වීමක් බවයි. එ් ටික කාලය තවමත් අවසන් නොවී තිබීමෙන් විශද වන්නේ ජනාධිපතිවරයා සෝභිත හිමියන් මුළා කළ අවිනීත අන්දම යි.
ජනාධිපතිවරයා තමන්ට අභිමත අන්දමට ශිරාල් ලක්තිලක පත් කර ගැනීමෙන් කෝපයට පත්වුණ රනිල් වික‍්‍රමසිංහ මහතා එතැන් සිට කටයුතු කළේ ජනාධිපතිවරයා ගෞරවනීය අන්දමට මායිම් නොකරමිනි. තතු කෙසේ වුව අනතුරුව අගමැතිවරයාත් ඔහුට අවශ්‍ය අන්දමට රටේ වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට ජනාධිපතිවරයාට බල කර සිටින තැනකට පත් විය. දෙදෙනා එකට වැඩ කිරීමට ඇති කරගෙන තිබුණ විශ්වාසය බිඳ වැටිණි. ලිච්ඡුවි ක‍්‍රමය මිහිදන් කෙරිණි. එහි විපාක වික‍්‍රමසිංහ මහතාට ද නොඅඩුව අත් විඳින්නට සිදු වුව, සියල්ලෙන් අනර්ථයක් වුණේ රටටයි. ජනවාරි අට ජයග‍්‍රහණයටයි. යහ පාලනයටයි.

කන්දෙන් පල්ලට
පක්ෂයේ සභාපති පදවිය භාර ගැනීම යම් යම් හේතු මත සාධාරණීකරණය කළ හැකි වුව අභාග්‍යය වන්නේ පක්ෂයට නිසි නායකත්වයක් ලබා දීමට අවශ්‍ය පෞරුෂයක් මෛතී‍්‍රපාල සිරිසේන චරිතය තුළ නොතිබීමය. ඔහුගේ සීමාවන් හා අසීමිත දුබලකම් හොඳින් හªනාගෙන සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, ඔහුව පරාජය කිරීමට උපරිමයෙන් කැපවුණ පුද්ගලයන්, ඉතා ශූර ලෙස ජනාධිපතිවරයාව හීලෑ කරගෙන, හීලෑ කර ගත් නාගයෙකු නටවන විලසට නටවන්නට දිගින් දිගටම පියවර ගැනීමය. ජනාධිපතිවරයා ශී‍්‍රලනිපයේ සභාපති පදවිය භාර ගත් බව දැනගත් අවස්ථාවේ සෝභිත හිමියන් පැවසූ වැකි දෙකක් මෙසේය.
01. අපි මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයව විධායක ජනාධිපති පුටුවෙ වාඩි කළා. එතුමා ගිහින් ශී‍්‍ර ලංකා එකේ සභාපති පුටුවෙ වාඩි වුණා. එතුමාට විධායක ජනාධිපති පදවියට වඩා ශී‍්‍රී‍්‍ර ලංකා එකේ සභාපතිකම ඉහළයි කියලා හිතෙන්න ඇති.
02. සිරිසේන මහත්තයගෙන් අපි රටේ යහපතට බලාපොරොත්තු වුණ කිසි දෙයක් වෙයි කියලා දැන් ඉතින් හිතන්න බෑ. හරි දුර්වල මනුස්සයෙක්. අනික මෙයා බලය අතරින්න ලෑස්ති වෙන්නෑ.
ජනාධිපතිවරයා ශී‍්‍රලනිපයේ සභාපති පදවිය භාර ගැනීම හා අනතුරුව සිදු කළ අවිචාරවත් පත්වීම් හේතු කොට ගෙන සෝභිත හිමියන් ජනාධිපතිවරයා ගැන අතිශයින් කලකිරුණේය. උන් වහන්සේ ඇතැම් අවස්ථාවන්හි තමන් වහන්සේ සමීපයට කැඳවා ගත් සිවිල් සංවිධානවල නායකයන්ට පවා ෙදාස් නඟමින් සිය කුටිය තුළට වී ෙදාර වසා ගත්තේ මට කිසි දේකට කතා කරන්න එපා කියමිනි. එහෙත් ළිඳට වැටුණ මිනිහා ළිංකටෙන්ම ගොඩ එන්නට ක‍්‍රමයක් ගැන හිතා බැලිය යුතුය යන්න හිසින් ගෙන උන් වහන්සේ සමඟ කටයුතු කළ බොහෝ දෙනා කටයුතු කළහ. උන් වහන්සේට බැගෑපත් වෙමින් ජනාධිපතිවරයා මුණ ගැසීමට යාම ඇතුළු බොහෝ කටයුතුවලට දැඩි අසීරුවෙන් උන් වහන්සේ දායක කර ගත් බව සත්‍යයකි. එ් හැම අවස්ථාවකම අප‍්‍රසාදය පළ කරමින් පැමිණි උන් වහන්සේ පැහැදිලිව පවසා සිටියේ, ”මේ මනුස්සයා අපි බලාපොරොත්තු වෙච්ච කිසි දෙයක් කරන්නෑ”
ශී‍්‍රලනිපයේ ලේකම් පදවිය දැරුවාට මෛතී‍්‍රපාල සිරිසේන මහතාව මහින්ද රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන ලද්දේ ”පියන්” කෙනෙකු හැටියට බව ප‍්‍රකට කාරණාවකි. දීර්ඝ කාලයක් පක්ෂයට දර දිය ඇද්දද තමන්ට කළ මදිපුංචිකම් නිසා විඳි පීඩනය, ඉන් පෙළන්නට වූ හීනමානය තුනී කර ගැනීමට, පක්ෂයේ සභාපති පදවිය භාර ගත්ත ද පක්ෂයට නිසි නායකත්වයක් ලබා දී පක්ෂය ගොඩ නැඟීමට අවශ්‍ය මානසික ශක්තිය ජනාධිපතිවරයා සතු නොවීය. තමා නායකත්වය දරන පක්ෂය විනාශ කිරීමට විනය විරෝධී වැඩ දිගින් දිගටම සාමූහිකව මහින්ද රාජපක්ෂ සිදු කරන විට, කලින් සේම නිවට නියාලූව ඔහේ බලා සිටීම පමණි ජනාධිපතිවරයා කළේ හා කරන්නේ. කිසිවකින් ඔහු පාඩමක් ඉගෙන ගත්තේ නැත. ඊට ප‍්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂගේ සපත්තුවට පෑගී සිටීමෙන් ලත් පීඩනය හා ඉන් අත් වින්ද බිය තවමත් තුරන් වී නොමැතිකම මිස අන් කිසිවක් නොවන්නේය. ප‍්‍රතිඵලය කුමක් ද? කල් යල් බලා බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඔලූව මැද්දටම කුළු ගෙඩි පහර එල්ල කිරීමට වග බලා ගැනීමය. එ් තත්වය උදා වන්්නේ ජනාධිපතිවරයාගේ දුබලතා නිරතුරුව විදහා පෑම හොඳින් කළමනාකරණය කර ගනිමින් බව පැහැදිලිය.

අවිනීතයි සාහසිකයි
පක්ෂයට නිසි නායකත්වයක් ලබා දෙන්නට අසමත් වීම ඔස්සේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ගතවුණ කාලය තුළ හොඳින් විශද කර සිටින්නේ තමන්ට රටට අවශ්‍ය නායකත්වය ලබා දිය නොහැකි බවයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසාමාන්‍ය අන්දමින් ප‍්‍රමාද වන්නේ ජනාධිපතිවරයා නිසාය. පක්ෂයේ බලය තහවුරු කර ගැනීම උදෙසා පළාත් පාලන මැතිවරණය ඈතට ඈතට තල්ලූ කරවා ගත්තේ අගමැතිවරයාට පින්සෙන්ඩු වෙමිනි. ගතවුණ කාලය තුළ සිදු වුණේ තව තවත් බෙලසුන් වීම පමණි. අවසන බැසිල් රාජපක්ෂට ආයාචනා කරන තැනකට ද ජනාධිපතිවරයා පත් වන්නේය.
මයික‍්‍රෆෝනයක් ඉදිරිපිට දී හිතට ඔහේ ගලා එන වචන වරු ගණන් වැමෑරුව ද ජනාධිපතිවරයා රටට ලබා දුන් ප‍්‍රතිඥාවලින් කිසිවක්ම ඉටු කිරීමට අසමත් විය. මහා ඝෝෂා නඟමින් තබන ලද වෙඩි සියල්ලම පුස් වෙඩි බව දැන් රටම අවබෝධ කරගෙන හමාරය. තමන් ජාත්‍යන්තරය දිනා ගත් බවට උජාරු බස් කීව ද එ් වූ කලි අනුන් වැපිරූ කුඹුරක අස්වැන්නට සින්නක්කර අයිතිය කියාපෑමකි.
විධායක ජනාධිපති පදවිය දරන්නට වරම් හිමි දවස් අඩුවී අවසන් වූ සැණින් ඔහු නිසැකවම දේශපාලන භූමියේ පාරාජිකා වන්නේය. එ් බව වැටහී තිබෙන නිසාෙදා් රාජපක්ෂවරුන්ගේ දාසයෙකු වීමට කල්පනා කරනවා විය හැකිය. මතු දිනක බැසිල් රාජපක්ෂ ළඟ දෙපයින් වැටෙන තත්වයකට තම ඉරණම තීන්දු කර ගැනීමට වුව පසුබට නොවනු නිසැකය.
මෛතී‍්‍රපාල සිරිසේනට මොනම ලෙසකින්වත් මහින්ද රාජපක්ෂ කෙනෙකු විය නොහැකිය. ඔහුට මහින්ද රාජපක්ෂට වඩා හොඳ පාලකයෙකු –නායකයෙකු වීමට ඉඩ තිබුණි. එ් අවකාශය ඔහු අනුවණ ලෙස අහිමි කර ගත්තේය. ජනවාරි 08 ප‍්‍රතිඥා වෙනුවෙන් පෙනීසිටි, ඔහු බලයට පත් කිරීමට කැපවුණ බලවේග ජනාධිපතිවරයා ද අද හෙළාදකින්නේ ”එන්ජී ඕ බලවේග, යුඇන්පීකාරයන්” ලෙස අවිනීත අවලාද නඟමිනි. එ් ඔහුගේ මුග්ධ අවස්ථාවාදී උපදේශකයන් සමීපව සවනට කොඳුරන වහසි බස්් බවට සැකයක් නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එ් අවලාද නඟන්නට මත්තෙන් කැඩපතක් ඉදිරියේ පියවි සිහියෙන් සිට ගත යුතුව තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ළය මත අත තබා තමා විශ්වාස කරන ලෙස අවධාරණයෙන් ප‍්‍රතිඥා ලබා දී ප‍්‍රගතිශීලී බලවේග අබිමුවට ගෙන ආ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ලබා දුන් සියලූ සහතික ජන මනසෙහි පිළිස්සෙමින් තිබේ. ජනාධිපතිවරයා ජාතිවාදය හා ආගමික අන්තවාදය හිසින් ගෙන කටයුතු කරනු පෙනේ. රාජපක්ෂවරුන් කළ කී දෑ අතරින් ඔහු තවම නොකරන්නේ මිනීමැරීම පමණකි.
ශී‍්‍රලනිපය තුළ දීර්ඝ කාලයක් මුළු ගැන්වී සිටි අහිංසකයෙකුට චන්ද්‍රිකා මැතිනිය නොගැළපෙන ඇඳුමක් අන්දවා, ඔහුට ඔරොත්තු නොදෙන පාවහන් යුවළක් පළඳවා වැදගත් ගමනක් එඩිතරව යන්නැයි පවසා තිබෙන්නේ අවසිහියෙන් දැයි එතුමියගෙන් අසන්නටය අද නීතිගරුක පුරවැසියන්ට සිදුව තිබෙන්නේ!

ආණ්ඩුවේ ඉදිරි ගමන, වෙනස් වූ බලතුලනය සහ අනාගතය

 

 

එජාප-ශී‍්‍රලනිප සභාග ආණ්ඩුවේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් ගනු ලැබෙමින් තිබෙනවායැයි කියැවෙන නොයෙකුත් දේ පිළිබඳ මාධ්‍ය වාර්තා ගණනාවක්ම පසුගිය දිනවල පළවිය. ඒවා මාධ්‍යවේදීන්ගේ නිර්මාණද, නැතහොත් ඇත්තටම සිදුවන දේ පිළිබඳ ඇත්ත වාර්තාද යන්න ගැන තීරණය කිරීමද පහසු නැත. මෙම නොයෙකුත් වාර්තා මැද ඇත්ත වශයෙන් සිදුවෙනවා ඇත්තේ මොනවාදැයි අනුමාන කිරීම අපට කළ හැක්කේ, දේශපාලන කි‍්‍රයාවලියට බලපාන අභ්‍යන්තර ගතිකත්ව දෙසද බලමින් කරන තක්සේරුවකිනි.

එවැනි තක්සේරු කිරීමකදී, අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවෙන් පසුව ආණ්ඩුව ඇතුළත පවතින බලතුලනය පිළිබඳව වාස්තවික ඇස්තමේන්තුවක් කරන්නේ නම්, කෙනෙකුට පහත සඳහන් නිරීක්‍ෂණ කළ හැකිය.

* පසුගිය මාස හයක පමණ කාලය තුළ මෝරමින් සහ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්වෙමින්  තිබුණ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය අපේ‍්‍රල්් හතරවෙනිදායින් පසුව තාවකාලික සහ අලූත් තුල්‍යතාවකට පත්වී තිබේ.

* එම තාවකාලික තුල්‍යතාවේ ප‍්‍රධාන ලක්ෂණය නම්, එජාපය සහ ශී‍්‍රලනිපය අතරත්,  අගමැතිවරයා සහ ජනාධිපතිවරයාත් අතර බලතුලනය අගමැතිවරයාට සහ එජාපයට වාසිවන සහ ශී‍්‍රලනිපයට සහ ජනාධිපතිවරණයට අවාසිවන පරිදි යළි සකස්වීමයි.

* මෙම වෙනස් වූ  බලතුල්‍යතාව තුළ පවා එජාපයට සහ අගමැතිවරයාට ලැබී ඇත්තේ  සම්පූර්ණ ජයග‍්‍රහණයක් නොවේ. ජනාධිපතිවරයා සහ ශී‍්‍රලනිපය පත්වී තිබෙන්නේ සම්පූර්ණ පරාජයකටද නොවේ. දෙපාර්ශ්වයටම දැන් බලකෙරී තිබෙන තත්ත්වයට නම් තම තමන්ගේ සාපේක්‍ෂ ශක්තීන් සහ දුර්වලතා ගැන යථාර්ථවාදී ඇස්තමේන්තුවක් කරමින්, ඉදිරි   අවුරුදු දෙකටත්, ඉන්පසු අවුරුදු පහටත් සුදුසු මූලෝපායික වැඩ පිළිවෙළක් සකස්කර ගැනීමයි.

ඉහත කියා තිබෙන තුන්වැනි කරණය ගැන උනන්දුවක් දක්වන පිරිස් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙහි සිටින්නේ නම්, ඔවුන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණු කිහිපයක් මතුකිරීම මේ රචනයේ  ප‍්‍රධාන අරමුණයි.

ශක්තීන් සහ දුබලතා: අගමැති

ජනාධිපති සහ අගමැති යන දෙදෙනා නියෝජනය කරන බල මධ්‍යස්ථාන දෙකක් ආණ්ඩුවේ තිබෙනවාය යන්න පැහැදිලි යථාර්ථයකි. අපි‍්‍රයෙල් 04දායින් පසුව විද්‍යමාන වන එම බල මධ්‍යස්ථාන දෙකෙහි ඇති සාපේක්‍ෂ ශක්තීන් සහ දුබලතා හඳුනාගැනීමට දැන් අපි උත්සාහ ගනිමු.

අගමැතිවරයාගේ සහ එජාප පාර්ශ්වයේ ඇති ප‍්‍රධානතම ශක්තිය නම්, කැඞීයෑමට හා අභ්‍යන්තර වශයෙන් දුර්වල වීමට ඉඩ තිබුණු එජාපය, එයට එරෙහිව ශී‍්‍රලනිපයෙන් සහ ඒකාබද්ධ විපක්‍ෂයෙන් එල්ලවූ ජීවිත තර්ජනය ඉදිරියේ, පක්‍ෂයක් ලෙස කැඞී බිඳී නොගොස් එකට සිටීමයි. එය එජාපයේ විවිධ කණ්ඩායම් එකතුවීමක්ද යන්න තවම පැහැදිලි නැත. ඒ හා සම්බන්ධ දෙවැනි කරුණ නම්, එජාපයේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන අනාගතය තර්ජනයට පත්වූ මොහොතක, ඔවුන්ගේ ආධාරයට ද්‍රවිඩ හා මුස්ලිම් සුළු ජන පක්‍ෂ ඉදිරියට පැමිණීමයි. මෙය ජනාධිපතිවරයාටවත්, ඔහුගේ ශී‍්‍රලනිපයටවත්, මහින්ද රාජපක්‍ෂටවත් ඔහුගේ පොදුජන පෙරමුණටත් නැති ශක්තියකි.

මේ අතර එජාපය සහ අගමැතිවරයාට ආණ්ඩුව ඇතුළේ පවතින බල සම්බන්ධතාවේදී ඔවුන්ගේ ප‍්‍රධාන දුබලතාවකුත් තිබේ. එය නම් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර වැඩිම මන්තී‍්‍ර ආසන සංඛ්‍යාවක් එජාපයට තිබුණත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තිබෙන ආයතනික බල සම්බන්ධතාවේදී අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉහළින් නොසිටීමයි. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාගේ තත්ත්වය ශක්තිමත් වී ඇති නමුදු, තමන්ගේම න්‍යාය පත‍්‍රයක් මුළු සභාග ආණ්ඩුවේම න්‍යාය පත‍්‍රයක් බවට පත්කිරීමේ බලයක් හෝ ශක්තියක් අගමැති වික‍්‍රමසිංහට නෛතික සහ ආයතනික වශයෙන් නැත. ඔහුට ඇත්තේ අමනාප කර ගත් ජනාධිපතිවරයෙකු විසින් නොයෙකුත් සෘජු සහ වක‍්‍ර මාර්ගවලින් බාධා සහ අවහිරතාවලට පාත‍්‍ර කරනු ලැබීමෙන් බල රහිත කිරීමට ඉඩ තිබෙන අගමැතිවරයෙකු සතු බලයකි.

ශක්තීන් සහ දුබලතා : ජනාධිපති

ජනාධිපතිවරයාගේ පැත්තෙන් බලන විට, අපි‍්‍රයෙල් 04දායින්  පසුව සිදුව ඇත්තේ සභාග ආණ්ඩුව ඇතුළත ඔහුගේ පාර්ලිමේන්තුවේ බලය විශාල ලෙස දුර්වල වීමකි. ශ‍්‍රීලනිප මන්තී‍්‍ර කණ්ඩායම දෙකඩ වීම නැවැත්වීමට ඔහුට නොහැකි විය. ඔහුගේ නායකත්වය ශී‍්‍රලනිප පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඇත්තේ හුදෙක් නාමිකවය යන්න නැවත වරක් තහවුරු විය. මේ අතර විශ්වාසභංග යෝජනාව පක්‍ෂව ඡුන්දය දුන් ඇමතිවරුන් කණ්ඩායම, ඒකාබද්ධ විපක්‍ෂයට පළමුවත්, පොදු ජන පෙරමුණට දෙවනුවත් පළායාම වැළැක්වීමට පියවර ගැනීමට ජනාධිපති සිරිසේන මහතාට නොහැකිය. මේ අතර එම ඇමතිවරුන් පිරිස මේ දිනවල ඉන්න බව පෙනෙන්නේ, සිරිසේන මහතා සම`ග දේශපාලන වශයෙන් සිටින බව අ`ගවමින්, ඔහු තවදුරටත් දුර්වල කිරීමේ ව්‍යායාමයකය. පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය ඇතුළත්, රටේත් ජනාධිපති සිරිසේන මහතාගේ දේශපාලන ශක්තිය තීරණාත්මක ලෙස දුර්වල වී තිබේ.

එසේ වෙතත් එතුමාට, ආණ්ඩුවේ දුන් කෙනෙකුට නැති ශක්තියක් තිබේ. එය ජනාධිපතිවරයා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ශක්තියකි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා සතු බලතල පෙරට තිබුණාට වඩා අඩුවූවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යුහය තුළ ජනාධිපතිවරයාට තවමත් ඇත්තේ වැදගත් බලතල පරාසයකි. ඒවා අගමැතිගේ කැමැත්ත හෝ සහභාගිත්වය  හෝ නැතිව කි‍්‍රයාත්මක කළ හැකි ඒවාය.

උදාහරණයක් හැටියට, දැනට කාගේත් කතාබහට ලක්වී ඇති පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීම ගත හැකිය. එය ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු බලයකි. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය තිබුණු 1972 ව්‍යවස්ථාව යටතේත්, ඊට පෙර තිබුණු සෝල්බරි ව්‍යවස්ථාව යටතේත්, ජනාධිපතිවරයා හෝ අග‍්‍රාණ්ඩුකාරයා පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීම සිදු කළේ, ව්‍යවස්ථාවේ එසේ කළ යුතුයැයි සඳහන් නොවූවත්, අගමැතිවරයාගේ උපදෙස් මතය. එය ව්‍යවස්ථාවේ ලිඛිතව නොතිබුණු, එහෙත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව පිළිගෙන තිබුණ මූලධර්මයකි. පසුගියදා ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තු සැසිවාරය කල්දැම්මේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත හෝ ඔහු සම`ග සාකච්ඡුා කිරීමෙන් පසුවද හෝ යන්න පැහැදිලි නැති දෙයකි. ජනමාධ්‍යයෙන් ඒ ගැන  කිසිදු තොරතුරක් නොලැබේ. ජනාධිපතිතුමා, අගමැතිවරයාට නොකියාම, ස්වකැමැත්තට අනුව  එම කාර්යය කළා නම් අය පුදුම විය යුතුද නැත. මන්ද යත් ජනාධිපතිවරයාට සිය කැමැත්තෙන් කි‍්‍රයාත්මක කළ හැකි බලතල සංවරණය කිරීමේ සැබෑ බලයක් අගමැතිවරයාට නැති නිසාය. එම හැකියාව ලබාග ැනීමට අගමැතිවරයාට හැකිවනු ඇත්තේ, ජනාධිපතිවරයා සම`ග අලූතෙන් ඇතිකරගන්නා දේශපාලන අවබෝධතා ගිවිසුමකින් සහ අලූතෙන් ගොඩනැගෙන අන්‍යොන්‍ය විශ්වාස රාමුවකින් පමණි.

පාඩම්

මෙම පසුබිම ගැන සවිඥානකව සිටිමින්, මෙම ආණ්ඩුව ඉගෙනගත යුතු දේශපාලන  පාඩම කුමක්ද? ඒ සඳහා ගත යුතු ප‍්‍රධාන පියවර කිහිපයක් තිබේ.

පළමුවැන්න, ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ සහ මෙම ආණ්ඩුව බලයට ගෙනඒමට දායකවූ සිවිල් සමාජ බලවේග අතර අලූත් අවබෝධතා ගිවිසුමක් ඇත්සන් කිරීමයි.

දෙවැන්න, ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත ඇත්තටම කි‍්‍රයාත්මක කළ හැකි යථාර්ථවාදී වැඩ පිළිවෙළක් කෙටුම්පත් කරගැනීමයි.

තුන්වැන්න, එම වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය සහ කැපවීමත්, දේශපාලන නිර්භීතභාවයත් ඇතිකර ගැනීමයි. මෙම ආණ්ඩුවට පසුගිය අවුරුදු තුනේ නොතිබුණේද මේ ගුණාංග තුනයි.

අද මේ ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝගය වන්නේ තමන්ම රු-සබඩැබඑ කරගැනීමයි. එනම් අලූතෙන් නිර්මාණය කරගැනීමයි. ඒ සඳහා වැඩි කාලයක්ද නැත. ඇත්තේ සති කිහිපයකි.

ඇයි?

මේ තරම් පසුබෑම්, අඩුපාඩු සහ අසාර්ථකභාවයක් පෙන්නුම් කර ඇති සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව Re-invent කරගෙන හෝ ඉදිරි කාලයේද සිටිය යුතුයැයි මා යෝජනා කරන්නේ මක් නිසාද? මෙය වනාහි මා මටම පිළිතුරු දිය යුතු ප‍්‍රශ්නයක්ද වේ.

ලංකාව දේශපාලන වශයෙන් ඉක්මණින් නැවත වරක් ළ`ගාවී සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකටය. එය කුළුගැන්නෙු ඇත්තේ 2019 වසරේ අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහ ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීය. ඒ මැතිවරණ දෙකෙන්ම තීරණය වන ප‍්‍රධාන  කරුණක් වන්නේ, ලංකාවේ දේශපාලන අනාගතය යොමුවනු ඇත්තේ නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධිකාරවාදී දිසාවකටද නැද්ද යන්නයි.

ඒකාබද්ධ විපක්‍ෂය හා එකතුවන පොදු ජන පෙරමුණ, ආණ්ඩු බලය සඳහා තරග වදින ප‍්‍රධාන පරදු පාර්ශ්වයක් ලෙස ඉදිරියට එන්නේය යන්න පැහැදිලි කරුණකි. පොදු ජන පෙරමුණ ජයග‍්‍රහණය කරන්නේ නම් එයට දායකත්වය සපයන ප‍්‍රධාන සාධකය වනු ඇත්තේ සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුවේ අසාර්ථකත්වයයි.

පොදු ජන පෙරමුණ බලයට එනවාට මා අකමැති ඇයි? ප‍්‍රධාන හේතු තුනක් නිසා, රාජපක්‍ෂ පවුලේ නායකත්වයෙන් බලයට එන ආණ්ඩුවක් ලංකාවේ දේශපාලන අනාගතයට හානිකර වනු ඇත. පළමුවැන්න, එය ලංකාවේ දැනට ඇති ප‍්‍රධානම නිර්-ලිබරල්, නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා අධිකාරවාදී දේශපාලන බලවේගය නිසාය. දෙවැන්න, එය ලංකාවේ දැනට ඇති ප‍්‍රධානතම සිංහල-බෞද්ධ බහුතරවාදී දේශපාලන බලවේගය නිසාය. තුන්වැන්න, එය 2015දී ලද පරාජයෙන් කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පාඩමක් ඉගෙන නොගත්, කිසිදු ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිසංස්කරණවාදී විභවතාවක් නැති නායකත්වයකින්ද, න්‍යායාචාර්යවරුන්ගෙන්ද සමන්විත දේශපාලන බලවේගයක් වන නිසාය. මෙම ලක්ෂණ තුන සිය ගතිලක්‍ෂණය කරගත් දේශපාලන බලවේගයක් බලයට පත්වූ පසු, ලංකාව පසුගිය කාලයේ ලබාගෙන තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ ආපසු හැරවීම අප සමාජය මුහුණ දෙන අමිහිරි යථාර්ථයක් වනු ඇත.

එම බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නැවැත්වීමට ශක්තිය තිබෙන්නේ 2014 අගදී ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද පුළුල් දේශපාලන-සිවිල් සමාජ සහ අන්තර්වාර්ගික සන්ධානය යළි ගොඩ නැගුවහොත් පමණි. එම සන්ධානය දැන් දුර්වල වී ඇත. එහි ප‍්‍රධාන බලවේගයක් වූ ජවිපෙ එය අතහැර ගොස් ඇත. එම සන්ධානයේ නායකයන් අතර අසමගිය, බල තරගය සහ අන්‍යොන්‍ය සැකය වර්ධනය වී ඇත. එහෙත් එය තවමත් කඩා වැටී නැත. පසුගිය සති දෙක තුන තුළ පෙනුණේ, දුර්වල වුවත් එය නොවැටී පවතින බවයි. එය පිළිසකර කර යළි ශක්තිමත් කළ යුතුව තිබේ. එම සන්ධානය Re-invent කළ යුතුව තිබේ. එය ලංකාවේ ප‍්‍රජාන්ත‍්‍රවාදී අනාගතය සඳහා වාර්තමානයේ ඇති ඉතාම තීරණාත්මක කොන්දේසියයි.

 

 

සිල්ලර දර්ශක දෙකකින් කතාව පටන් ගනිමු.

 

 

 

කම්කරු දිනය මැයි 7 වැනි දාට කල් දමා ඇත. කම්කරු දිනය මැයි 1 වැනි දා හෝ 7 වැනි දා සැමරීම බරපතළ අවුලක් නොවේ. එය මැයි මාසයේ නොව, වෙනත් මාසයක සැමරුවත්, අධික අවුරුද්දක් එන්නා සේ අවුරුදු හතරකට වරක් සැමරුවත්, ප‍්‍රශ්නයක් නැත. ඒ තරමට, පූජනීය සංකේතවල අරුත් අද වන විට සුණුවිසුණු වී ඇති බැවිනි. උදාහරණයක් වශයෙන්, කිසි දවසක හීනෙන්වත් පිණ්ඩපාතේ වැඩ නැති උඩුවේ ධම්මාලෝක හිමියන්, අලි හොරකමකට හිරේට (රක්ෂිත බන්ධනාගාරයට) යද්දී ලොකු පාත්තරයක් කරේ එල්ලාගෙන ගියා සේ ය. නිදහස් ජීවිතය තුළ පිණ්ඩපාතේ වඩින්නට නොහැකි වූ ‘පාපය’, හිරගේ ඇතුළේදීවත් සමා කරවා ගන්නට විය හැකිය. සංකේතය (මැයි 1) සහ ඒ පසුපස ඇති ‘ශ‍්‍රමයේ සුජාත අයිතියට’ අදාළ සහසම්බන්ධය, කැඞී ගොස් ඇත්තේ ද එයාකාරයෙනි. ඒ නිසා හුදෙක් මැයි දිනයේ වෙනස මට අවුලක් නොවේ. එහෙත් මේ තීරණයට පාදක වන හේතුව බරපතළ අවුලකි. ඒ කුමක්ද? වෙසක් ‘දවස’, වෙසක් ‘සතියක්’ බවට පරිවර්තනය වීම තුළ කියැවෙන ලංකාවේ වර්තමාන පෙළගැසීමයි.

දැන්, ඒ වෙසක් සංකේතය දෙසට හැරෙමු. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමගුලම සංගෘහිත වන්නේ (සතියක නොව) තනි දිනයකයි. එහෙත්, ශ‍්‍රී ලංකාව පිරිසුදු බෞද්ධ රටක් සේ පිළිගැනෙන නිසාම, සංකේතය (වෙසක් පෝය* දින හතකට ප‍්‍රසාරණය වීම තාත්වික නැතැයි කෙනෙකුට කිව නොහැක. අනිත් පැත්තෙන්, ඒ ප‍්‍රසාරණය සඳහා, දැනටත් එළිපත්තේ සිටින කම්කරුවා/නිර්ධනයාව, පස්සට පයින් ගසා, මිදුලට වීසි කිරීමත් අතාත්වික නැත. එක සංකේතයක් පිම්බෙන්නේ, තවත් සංකේතයක් ගොදුරට ගනිමිනි.

මෙය, ජාති(ක)වාදියෙකු යැයි කියන මෛත‍්‍රීපාල සිරිසේනටවත්, නව-ලිබරල්වාදියෙකු යැයි කියන රනිල් වික‍්‍රමසිංහටවත් පටලැවිල්ලක් නොවේ. එහෙත්, මාක්ස්වාදී පක්ෂයක් සේ සැලකෙන ජනතා විමුක්ති පෙරමුණට එය, දෙපැත්තෙන්ම පාවිච්චියට ගත හැකි ‘ස්වාභාවික’ දෙයක් වන්නේ කෙසේද? ඔවුන්ගේ මැයි දින දෙකක් තිබේ. පෙම්වතුන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ආදි වශයෙන් වන සැමරුම් දින, වසරකට අඩු වශයෙන් දින කිහිපයක් දක්වාවත් වැඩි කර ගත හැක්කේ නම් මම කැමැත්තෙමි. ආදරය යනු, දිනපතා සැමරුවත් අතිරික්තයක් නොවන දෙයක් බැවිනි. ‘ශ‍්‍රමයේ සුජාත අයිතිය’ පිළිබඳ දිනයත් එසේමැයි. එබැවින්, ජනතා විමුක්ති පෙරමුණ, එක දිනයක් වෙනුවට දින දෙකක් ඒ සඳහා යොදාගෙන තිබීම අගේ කළ යුතුය. ඒ, මැයි 1 වැනි දා සහ මැයි 7 වැනි දා ය. එහෙත් දින දෙකක් එසේ යොදා ගැනීම පසුපස ඇති හේතුව කුමක්ද? පටලැවිල්ල ඇත්තේ එතැනයි.

කම්කරුවන්ගේ ඝෝෂාවෙන් වෙසක් පූජනීයත්වය කිළිටි විය හැකි නිසා මැයි දිනය සතියකින් පස්සට දමන්නැයි මහනායක හිමිවරන් ඉල්ලා සිටි බව කියැවේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකත්පස්ව ඊට අනුමැතිය පෑහ. වෙසක් පෝය වැටෙන්නේ අපේ‍්‍රල් 29 වැනි දාට ය. කම්කරු දිනය එන්නේ එයින් දවස් දෙකක් ගිය තැන ය.

කම්කරු ඝෝෂාව නිසා, ඊට දින දෙකකට කලින් එන වෙසක් පෝයේ පූජනීයත්වය කිළිටි විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇති බව පැහැදිලි ය. මැයි 1 වැනි දා කම්කරු දිනය ඔවුන් යාපනේ පවත්වන්නේත්, මහනායක හිමිවරුන් නියම කර ඇති දකුණේ කම්කරු දිනය මැයි 7 වැනි දා කොළඹදී පවත්වන්නේත් එබැවිනි. මේ දින දෙක ආපස්සට හරවමින්, මැයි 1 වැනි දා කොළඹදීත්, මැයි 7 වැනි දා යාපනේදීත් කම්කරු දිනය පැවැත්වීමේ හැකියාවක් හෝ හයියක් මේ මාක්ස්වාදී පක්ෂයට නොතිබුණේ ඇයි? දකුණේ සිංහල-බෞද්ධ සංකේතීය මනෝභාවය, කම්කරුවාගේ සුජාත ශ‍්‍රම අයිතියට වඩා, මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ මාක්ස්වාදී පක්ෂයකට වුව, දේශපාලනික වශයෙන් වැදගත් වන බැවිනි. ඒ නිසා, දෙමළාගේ භූමිය මැයි 1 වැනි දා ‘කුලියට’ ඉල්ලා ගැනීමට, සිංහල-බෞද්ධ මාක්ස්වාදයට සිදුව තිබේ. හරියට, ගෙදර වහල අලූත්වැඩියා කරන දවසට වෙනත් ගෙදරක තාවකාලික පදිංචියට යන්නා සේ ය.

දෙවැනි සිල්ලර දර්ශකය සැපයෙන්නේ දේශපාලනඥයන් හතර පස් දෙනෙකුගෙනි. 2015 දීත් ජනාධිපතිවරණය දිනන්නේ මෛත‍්‍රීපාල සිරිසේන බව දුමින්ද දිසානායක කියා තිබුණි. මායාවෙන් යථාර්ථය වෙනස් වන්නේ, ඒ දෙක අතර ඇති භෞතික දුරක් නිසා නොව, ලෝක දෙකක හෙවත් සත්තාවන් දෙකක පදනම් ගල් අතරේ නොපැහීමක් පවතින බැවිනි. යහපත් මිනිසුන්ට පවා විටෙක ඒ සරල වෙනස නොතේරේ. මේ අතර, තමන්ට බලය දුන්නොත් දිනන හැටි මෛත‍්‍රීපාල සිරිසේනට කියා දිය හැකි බව ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක කියා තිබුණි. මේ දෙන්නා, මහින්ද රාජපක්ෂගේ බලය යටතේත්, මෛත‍්‍රීපාල සිරිසේනගේ බලය යටතේත් තමන්ගේ ආසනවලින්ම ලැබ ඇති පරාජයන් ගැන ඔවුන්ට මතක් කර දීමට කෙනෙකු වෙහෙස විය යුතු නැත. ලැජ්ජාව නැතිකම අසාධ්‍ය රෝගයක් වූ විට කළ හැකි ප‍්‍රතිකාර තවම සොයාගෙන නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ දෙගොල්ලන්ට සරිලන්නට එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායකත් අභියෝගාත්මක ප‍්‍රකාශයක් කර තිබේ. එනම්, තමාට නැවත ඇමතිකම දුන්නොත් දින සීයෙන් රට ගොඩගන්නා බව ය. එවැනි දින සීයේ කෑලි දහයකටත් වැඩි ප‍්‍රමාණයක් තිස්සේ ඇමතිකම දැරූ දේශපාලනඥයෙකු එසේ කියන විට අප සිනාසිය යුතුද නැත්නම් හැඬිය යුතුද යන්න ප‍්‍රශ්නයකි.

මේ සිල්ලර දර්ශක දෙක මගින් අප ඉන්නා නිවසේ වටපිටාව කොතෙක් හැඩි වී ඇත්ද යන්න පෙන්නුම් කරයි. යහපාලන ව්‍යාපෘතිය දියත් කිරීමට සිදුව ඇත්තේ එවැනි පසුබිමක බව හිතේ තබා ගැනීම ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් ය. යහපාලනයේ අසාර්ථකත්වය පිළිබඳ කතාවේ ප‍්‍රධාන නළුවන් දෙන්නාගේ භූමිකාව ගැන කතා කිරීමට මා බලාපොරොත්තු වන්නේ එකී පසුබිමත් හිතේ තියාගෙනයි. එහිදී, ප‍්‍රධාන ඉසව් තුනක් ඔස්සේ සාකච්ඡුාව කරගෙන යාමට මා කැමති ය.

ඒවා නම්, එක පැත්තක ඇති අවතක්සේරුවත්. තව පැත්තක ඇති නියාළුවත්. තවත් පැත්තක ඇති උවමනාවේ ස්වභාවයත් ය.

මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ. අවතක්සේරුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? රාජපක්ෂ පාලන තන්ත‍්‍රය යනු, හුදෙක් ආණ්ඩුවක් සහ ආණ්ඩු මාදිලියක් (සුදු වෑන්) වශයෙන් පමණක් නොව, ඊට වඩා අතිශය වැදගත්කමක් ගන්නා, සමාජ සංස්ථිතියක් සහ ආයතනික ඇබ්බැහියක් වශයෙන් වටහා නොගැනීම, අවතක්සේරුවයි. උදාහරණයක් වශයෙන්, රාජපක්ෂ කාලයේ සිටි සොරුන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට තවමත් අප තටමන ආකාරය දැක්විය හැකිය. තනි වචනයකින් කිවහොත්, රාජපක්ෂ යනු සංස්කෘතියකි. ඒ සංස්කෘතිය, හුදෙක් රාජපක්ෂ සහෝදරයන් විසින් පමණක් ඇති කළ දෙයක් යැයි සිතිය යුතු නැත. පුද්ගල සාධක මත ඉතිහාසය නොයෙක් වර වෙනස් වී ඇතත්, ඒ පුද්ගලයන් පසුපස හැම විටකම පාහේ, සංකීර්ණ සමාජ සාධක ක‍්‍රියාත්මක වී තිබේ. මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගතහොත්, බණ්ඩාරනායක විසින් පටන්ගෙන, ප‍්‍රභාකරන් විසින් අවසන් කර දුන් එක් ඓතිහාසික යුගයක හයිය/වාසිය ඔහුට නොමඳව තිබුණි.

මෙය, දකුණේ අප අරුත් ගන්වා ඇත්තේ, ප‍්‍රභාකරන් විසින් නොව, මහින්ද රාජපක්ෂ විසින් අවසානයකට පත්කරන ලද නරක කලදසාවක් වශයෙනි. ඒ කියන්නේ, යුද්ධයේ අවසානය ගැන ය. එය භෞතික කාරණයකි. එහි කර්තෘත්වය හිමි විය යුත්තේ, ප‍්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂට තමයි. ඒ, එක්තරා නිශ්චිත මොහොතකදී යුද්ධයට අවශ්‍ය කළ දේශපාලනික නායකත්වය සැපයූ බැවිනි. එහෙත් අප මේ කතා කරන්නේ, ඒ භෞතික කාරණය ගැන නොව, යුද්ධ කාලය පුරා දකුණේ චින්තනය තුළ ඇති කරන ලද මනෝභාවය පිළිබඳව ය. 1956 ‘විප්ලවයෙන්’ බණ්ඩාරනායකට සාක්ෂාත් කර ගත නොහැකි වූ එක දෙයක් තිබුණි. ඒ, සිවුර පෘථග්ජන සාධකයක් වශයෙන් දේශපාලන කරලියට ගෙනඒමේ ප‍්‍රයත්නයයි. ඔහුගේ පංච මහා බලවේගයේ (සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු* පළමු ස්ථානය ඊට දී තිබුණත්, එම සිවුර විසින්ම ඔහු ඝාතනය කරන ලද නිසා, ‘සිවුරු ව්‍යාපෘතිය’ එදා අසාර්ථක විය. ඔහුගේ ඝාතනයෙන් පසු ඔහුගේ ඒ ව්‍යාපෘතිය වෙනත් රාමුවකින් කරට ගත්තේ, උතුරේ ප‍්‍රභාකරන් ය. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, සිවුරට තවත් සාධකයක් එකතු කොට රට මත පැටවීමට 2009 ප‍්‍රභාකරන්ගේ මරණය සමත් විය. ඒ වනාහි, සිවුර සහ රණවිරුවා ය.

රජ කාලයේ සංඝයා වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ බව කියැවේ. එහෙත් ඒ කාලයේ පවා රාජ්‍ය පාලනය තුළ සිවුර අද තරම් ප‍්‍රබල වී ඇත්දැයි සැක සහිත ය. අනිත් අතට, දුටුගැමුණු කාලයේ පවා සිටියේ යැයි මහනාම හිමියන්වත් ලියා නැති රණවිරුවෙකු අද අපට ලැබී ඇත. (එදා සිටියේ දස මහා යෝධයන් පමණි). මේ සියල්ල, යුද්ධයක උරුමයයි. ඉහත කී ‘සංස්කෘතිය’ ව්‍යුත්පන්න වන්නේ එකී සංකීර්ණ උරුමයෙනි. අලියෙකු සොරකම් කරන සුකුමාර භික්ෂුවක් සහ අධිකරණයට අපහාස කළ අසංවර භික්ෂුවක් ලංකාවේ රෝම-ලන්දේසි නීති පද්ධතිය තුළ, දණ්ඩමුක්තියට (නිදැල්ලේ හැසිරීමට) අයිතිය පාන්නේ එබැවිනි. රටේ සම්පත් කොල්ලකෑමට සහාය දුන් බවට සහ රටේ ආරක්ෂාව පරදුවට තැබූ බවට චෝදනා ලබන හිටපු හමුදාපතිවරුන් ‘උසාවියට දක්කාගෙන යාම’ රටේ ජනාධිපතිවරයාගේ උදහසට ලක්වන්නේ එබැවිනි.

ප‍්‍රභාකරන් මැරෙන මොහොතේ, උතුරට එක සාපයකුත්, දකුණට සාප දෙකකුත් කරන්නට ඇතැයි මට සිතේ. උඹලාට තිබුණු දෙය නැවත ලබා ගැනීමට පවා හොඳ පරිප්පුවක් කෑමට සිදු වේවා යැයි ඔහු උතුරට කියන්ට ඇති. පූජනීය විය යුතු සිවුර සහ උදාර විය යුතු රණවිරුවා, ජයග‍්‍රහණයේ උත්කර්ෂය තුළ දූෂ්‍ය වීමෙන්, ඇස්පනාපිට විඳවන්ට වේවා යි ඔහු දකුණට කියන්ට ඇති. (ඉතිරිය ඉදිරියට)

 

0

 

අනිද්දා සති අන්ත අලූත්ම පුවත්පත අද සිට ඔබට මහත් ගෞරවයෙන් පිළිගන්වමු. එය අලූත්ම හා නවීන පුවත්පතක් වනවාට අමතරව, මෙතෙක් කාලයක් ඔබ හොඳින් දන්නා මා ඇතුළු අනිද්දා සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයන් මෙතෙක් නිමග්නව සිටි මාධ්‍ය භාවිතාවේම දිගුවක්ද වෙයි.

 

අනිද්දා පිටු විස්ස මත, ලංකාවේ හා ලෝකයේ දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික හා කලාත්මක ඉසව්වලට අදාළව මහත් වැරවෑයමෙන් එකතු කරගන්නා ප‍්‍රවෘත්ති හා අනෙකුත් තොරතුරුද, සාරගර්භ විශ්ලේෂණ හා විචාරද, උද්යෝගිමත් සංවාදද සංග‍්‍රහ කොට ඔබට පිළිගැන්වීම අපේ අරමුණයි.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පාලන ව්‍යුහය, නීතියේ පාලනය, මානව ගරුත්වය, ජනවාර්ගික සමානාත්මතාව මෙන්ම විවාදාපන්න අනෙක් ක්‍ෂෙත‍්‍රවලද අනිද්දා සංස්කාරක අපේ මතය වෙනුවෙන් පෙනීසිටිමින්ම, ඊට විසම්මුතික අදහස් දරන සියලූ දෙනාටද අනිද්දා පිටුවලට ඇතුළුවී හරවත් සංවාදයකට දායකවීමට අවශ්‍ය ඉඩහසර ඇතිකිරීමට අපි වගබලා ගනිමු.

 

අනිද්දා එක් ප‍්‍රාග්ධන හිමිකාරයකුගේ මුදල් යෙදවීමෙන් පවත්වාගෙන යන්නක් නොවේ. අප මෙන්ම මේ සමාජය යහපත් වෙනසක් කරා ගෙනයෑමට කැපවීමෙන් කටයුතු කරන බොහෝදෙනකු තම ශක්ති ප‍්‍රමාණයෙන් කරන, විනිවිදභාවයෙන් යුත් මූල්‍යමය දායකත්වය මත පවතින්නකි. අනිද්දා ප‍්‍රකාශයට පත්කරන්නේ, සමාගමේ ලාභ කිසිවකුට ලබාගත නොහැකි, අලූතෙන්ම පිහිටුවන ලද සමාගමක් විසිනි. එහි අධ්‍යක්‍ෂවරු වන්නෝ, නීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, නීතිඥ උපුල් කුමරප්පෙරුම, වෛද්‍ය රංජිත් සෙනරත් පතිරණ හා අනිද්දා ප‍්‍රධාන සංස්කාරකවරයාය.

 

අනිද්දා සඳහා ඔබට දායක විය හැකි ප‍්‍රමුඛතම මාර්ගය නම්, ඔබ කැමති ක්‍ෂෙත‍්‍රයක ඔබේ අදහස් ඇතුළත් ලිපි හා  විශේෂාංග අප වෙත එවීමයි.

 

අනෙක් අතින්, අනිද්දා ගැන පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමෙන්, පුවත්පත නොවරදවාම මිලදී ගැනීමෙන් මෙන්ම එය මිලදී ගැනීම සඳහා වෙනත් අය පෙළඹවීමෙන්ද අපට උදව්කරන්නට ඔබට හැකිය.

 

අනිද්දා දායකත්වය ලබාගන්නා ලෙස මෙරට හෝ පිටරට ඔබේ සමීපතමයන් හෝ ආයතන උනන්දු කරන්නටද ඔබට හැකිවනු ඇතැ’යි අපි විශ්වාස කරමු. ඒ සඳහා වැඩි විස්තර අපේ බෙදාහැරීම් අංශයෙන් විමසන්න.

 

ඊට අමතරව, අනිද්දා පවත්වාගෙන යෑම සඳහා මූල්‍යමය වශයෙන් ඔබට හෝ, ඔබේ පෙළඹවීමෙන් ඔබේ හිතමිතුරන්ට හෝ කළ හැකි මූල්‍යමය දායකත්වයක් වේ නම් අපි ඉහළින් අගය කරමු. ඔබේ අරමුදල් අංශුමාත‍්‍රයකින්වත් පෞද්ගලික පරිහරණයෙන් තොරව අනිද්දා වෙනුවෙන් විනිවිදභාවයෙන් හා පලදායක ලෙස පරිහරණය කරන බවට අපි සහතික වෙමු. අනිද්දාට මූල්‍යමය වශයෙන් පරිත්‍යාග කිරීමට කැමති හිතවතුන්ට, ඞීඑෆ්සීසී බැංකුවේ, කොටුව, කෙළින් වීදිය ශාඛාවේ, අංක 0871 1500 1993 දරන අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි* ලිමිටඞ් ගිණුමට එම පරිත්‍යාගයන් බැර කළ හැකිය. ඔබ එසේ කළ පසු, අපට ¥රකථනයෙන් ඒ බව දැනුම්දෙන්නට කාරුණික වන්න.

 

අද සිට සෑම සිකුරාදාම උදේ වෙළෙඳපොළට නිකුත්වන අනිද්දා නොවරදවා කියවන්න. එය අප සියල්ලන්ගේම ජීවිත, රට හා සමාජය මීට වඩා යහපත් තැනක් කරගන්නට කැපවුණ මිනිසුන්ගේ වැඩබිමක් බවට පත්කරගන්නට  ඔබේ දායකත්වයත් අපට දෙන්න.

 

කේ ඩබ්ලිව් ජනරංජන

ප‍්‍රධාන සංස්කාරක

පොලිස්පති ගෙදර යන්න

 

 

යහපාලනයක් ඇති රටකට  ඕනෑ වුණේ නීතියේ පාලනය දැඩිව විශ්වාස කරන පොලිස්පතිවරයෙකි. එහෙත් අපට සිටින්නේ බෝධිපූජා තබා මාර්ග අනතුරු වැළැක්විය යුතුයැයි සිතන පොලිස්පතිවරයෙකි.

යහපාලන ප‍්‍රතිපත්ති අතර පොලිස්පතිවරයා විසින් ඉටු කළ යුතු වගකීම් රැුසක් විය. ආණ්ඩුවම යහපාලනයෙන් පීලි පනින්නට උත්සාහ කළත් එය වළක්වමින් කොන්ද කෙලින් තබාගෙන සිටින පොලිස්පතිවරයෙකු අපට අවැසි විය. එහෙත් දැන් සිටින්නේ නිලමේව අත්අඩංගුවට නොගන්නා බව ප‍්‍රසිද්ධියේ් ‘සර්’ලාට පොරොන්දු වෙන පොලිස්පතිවරයෙකි. අපට අවැසි වුණේ නීතියට ගරු කරන පොලිස්පතිවරයෙකි. එහෙත් අපට ඉන්නේ පූජිත් ජයසුන්දර නම් නීතිය නවන, නීතිය නොතකන පොලිස්පතිවරයෙකි.

 

පළිගැනීම්

දැන් පොලිස්පතිවරයා තමන්ගේ පෞද්ගලික කෝන්තර පිරිමසාගන්නට පොලිස් කොමිසමේ නියෝගවලටත් පිටුපාමින් ඉතාම නරක සම්ප‍්‍රදායක් නිර්මාණය කරමින් සිටියි. මෙය ඔහුගේ අලූ‍ත් සෙල්ලමක් නොවේ. මීට ටික කාලයකට කලින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වීමට සුදුසුකම් තිබූ ශානි අබේසේකර මහතා ඒ තනතුරට පත් නොකර පොලිස් කොමිසමේ නියෝගය මඟ හරිමින් සිටියේය. අන්තිමේදී ශානි අබේසේකර මහතා පත්කළේ පොලිස් කොමිසමේ තනි මතයට, විශාල බලපෑමක් කිරීමෙන් පසුවය. සති කිහිපයක් තිස්සේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙකු පත් නොකර මඟ හරිමින්, පොලිස් කොමිසමේ නියෝග මඟ හරිමින් සිටින්නට පොලිස්පතිවරයා පටන්ගෙන ඇත. ඒ නිලධාරීන් පස්දෙනා අතරින් දෙදෙනෙකු සමග පොලිස්පතිවරයා මීට පෙර ගැටුම් ඇති කරගෙන තිබේ.

 

පාලිත සිරිවර්ධන

කිලිනොච්චිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පාලිත සිරිවර්ධන නම් වෙයි. 2016 ජුනි 18 වැනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිලිනොච්චියේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙහි ප‍්‍රසිද්ධ උත්සවයකට සහභාගි වී ඇත. ඒ අවස්ථාවේදී පොලිස්පතිවරයා ප‍්‍රසිද්ධියේ කියා ඇත්තේ පාලිත සිරිවර්ධන මහතා ගැන දේශපාලනඥයන්ගෙන් චෝදනා ඇති නිසා ඔහු කිසිම රාජකාරියක් නොදී මාරු කර යවන බවයි. ඒ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එෆ්.ආර්. 2018/16 අංකය යටතේ පාලිත සිරිවර්ධන මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. එහි තීන්දුව ලැබී ඇත්තේ පොලිස් අධිකාරීවරයෙකුගෙන් ඉහළ තනතුරුවල මාරුවීම් පිළිබඳ බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට නිසා පොලිස්පතිවරයාට එවැනි බලයක් නොමැති බවයි.

ඒ සිදුවීමෙන් ටික කාලයකට පසුව පොලීසියට ඔත්තු ලබාදෙන හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු පාලිත සිරිවර්ධන මහතා හමුවී කියා ඇත්තේ තමන්ගේ ගිනිඅවිය නිවස පසුපස වළ දමා ඇති බවයි. පාලිත සිරිවර්ධන මහතා සමග ගොස් එම අවිය ගොඩගැනීමට ඔත්තුකරුවා යෝජනා කර ඇත. එහෙත් ඔහු ඒ සඳහා කිලිනොච්චි පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යවා ඇත. නිවස පසුපස හාරා ඇතත් ගිනිඅවිය හමුවී නැත.

ඒ සිදුවීමෙන් පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සී.අයි.ඞී.යට කිලිනොච්චිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිධන් ගොඩගන්නා බව දැනුම්දෙමින් ඒ පිළිබඳ පරීක්ෂණ කරන ලෙස දැනුම් දී ඇත. සී.අයි.ඞී.යෙන් පරීක්ෂණ කොට එවන් වරදක් සිදුව නොමැති බව දැනුම් දී ඇත. නැවතත් ඒ පිළිබඳ පරීක්ෂණ කරන්නැයි වවුනියාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලවා පරීක්ෂණයක් ආරම්භ කරවන්නට පොලිස්පතිවරයා මැදිහත් වී ඇත. ඒ අනුව පාලිත සිරිවර්ධන මහතාට චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් වී ඇති අතර එහි ඇති කරුණු වැරදි බව පාලිත සිරිවර්ධන මහතා කරුණු දක්වා ඇත. මේ සියල්ල මැද ත‍්‍රස්ත විමර්ශන අංශයෙන් වාර්තාවක් ලැබී ඇත්තේ කිලිනොච්චියේ ජංගම මුර සේවා රථවලට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයන් පහරදී ඇති බවත්, එල්.ටී.ටී.ඊ.ය යළි හිස ඔසවන බවත් කොට්ඨාසය භාර පොලිස් අංශවල නිසි පාලනයක් නොමැති බවත් එහි සඳහන් වී ඇත. ඒ කාරණය දින කිහිපයක් යනතෙක් මාධ්‍ය හරහාද, සමාජ මාධ්‍ය හරහාද හුවමාරු වී සමාජගත විය. එයට ප‍්‍රතිචාර ලෙස පාලිත සිරිවර්ධන මහතා කොට්ඨාසය භාර සියලූ පොලිස් ස්ථානවලින් ජංගම මුර සේවා රථ පිළිබඳ වාර්තාවක් ලබාගෙන ඒ කරුණ සාවද්‍ය බව පෙන්වා ඇත. ඒ පසුගිය වසරේ මැයි, ජුනි කාලයේදීය.

ඒ සිදුවීමෙන් පසුව පාලිත සිරිවර්ධන මහතා පිළිබඳ පරීක්ෂණය පොලිස් අපරාධ විමර්ශන අංශයට බාර දී ඇත.

මේ සිදුවීම් මැද නැවත වතාවක් පාලිත සිරිවර්ධන මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් 89/2017 යටතේ ගොනු කර ඇත. තමන්ට අවමන් සහගත සැලකීම් සිදුවන බව ඔහු පෙන්වා දී තිබුණි. ඒ අනුව නීතිපතිවරයා විසින් පොලිස් කොමිසමට පාලිත සිරිවර්ධන මහතාට ඇති චෝදනා ගැන පරීක්ෂණ බාර දෙන ලෙස දැනුම් දී ඇත. පොලිස් කොමිසමෙන් පාලිත සිරිවර්ධන මහතාට චෝදනා පත‍්‍රයක් ලබාදී තිබුණේ නැත. පොලිස් කොමිසම අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ පාලිත සිරිවර්ධන මහතාට පදනම් සහගත චෝදනා නොතිබූ නිසා එසේ නොකළ බවයි.

 

ගාමිණී පෙරේරා

නියෝජ්‍ය පොලිස්පති ගාමිණී පෙරේරා 2014 – 2016 කාලසීමාවෙහි කන්කසන්තුරේ කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කර ඇති නිලධාරියෙකි. ඔහු නැවතත් යාපනයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරු කර යවන්නට පොලිස්පතිවරයා කටයුතු කර ඇත. ගාමිණී පෙරේරා මහතා විසින් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. ඉන්පසුව ගාමිණී පෙරේරාගේ ඉල්ලීම සලකා බලා පොලිස් කොමිසම මාරුවීම නවත්වා ඇත.

2017 සිට පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති තනතුරු සඳහා පුරප්පාඩු හයක් තිබී ඇත.

එම තනතුරුවලට නාමයෝජනා හයක් පොලිස් කොමිසම වෙත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවා ඇත. ඉන් එක් නිලධාරියෙකු විශ‍්‍රාම ගොසිනි. අනෙක් නිලධාරීන් පස්දෙනා වන්නේ ඊ. ජයසූරිය, අනුර අබේවික‍්‍රම, මෙවන් සිල්වා, ගාමිණී පෙරේරා සහ පාලිත සිරිවර්ධන යන නිලධාරීන්ය. පොලිස් කොමිසම මේ නිලධාරීන්ගේ නම් අනුමත කර ඇත. පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත එම නම් යවා ඇත. පොලිස්පතිවරයා මේ තනතුරු ප‍්‍රකාශයට පත් කළ යුතුය.

එසේ වෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ඒ තනතුරු පත් නොකර ගාමිණී පෙරේරා සහ පාලිත සිරිවර්ධන මහත්වරුන්ට උසස්වීම් ලබාදීම පිළිබඳ යළි සලකා බලන ලෙස පොලිස් කොමිසමට දැනුම් දී ඇත. පොලිස් කොමිසම ඒ පිළිබඳ සලකා බලා නැවතත් දැනුම් දී ඇත්තේ ඔවුන්ට උසස්වීම් ලබාදීම පිළිබඳ ගැටලූ‍වක් නොමැති බවයි. තෙවතාවක් මේ උසස්වීම ලබාදෙන ලෙස පොලිස් කොමිසම දැනුම් දුන්නත් ඒවාට පොලිස්පතිවරයා පිළිතුරු ලබාදී තිබුණේ නැත. අපේ‍්‍රල් 23 වනවිට ලිඛිත පැහැදිලි කිරීමක් කරන ලෙස පොලිස්පතිවරයාට පොලිස් කොමිසම විසින් දැනුම් දී තිබුණි. පසුගිය 23 වැනිදාද ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු වී නොතිබුණි. 23 වැනිදා පොලිස් කොමිසම නැවතත් දැනුම් දී ඇත්තේ සතියක කාලයක් තුළ මේ පත්වීම් සිදුකරන ලෙසයි. එසේ වුණත් මේ සටහන ලියැවෙන මොහොත තෙක්ම ඒ උසස්වීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර නැත. මේ වෙද්දී උසස්වීම් ලැබීමට නියමිත නිලධාහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමේ සූදානමකින් සිටිති. පොලිස් කොමිසම නොතකා හැරීමත්, එය දුර්වල කිරීමත් පොලිස්පතිවරයා විසින් ඇති කරමින් සිටින ඉතාම නරක සම්ප‍්‍රදායකි.

 

තවත් නිලධාරියෙක්

පූජිත් ජයසුන්දර මහතා යාපනය පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සමයේදී යාපනයේ සිටි පොලිස් පරීක්ෂකවරයෙකු තමන්ගේ පෞද්ගලික කාරණාවකට නිවාඩු ලබාගෙන ඇත. පූජිත් ජයසුන්දර නිවාඩුව මැදදී නැවත වහා පැමිණෙන ලෙස නියෝග කර ඇති අතර පොලිස් පරීක්ෂකවරයා තමන්ගේ පෞද්ගලික කාරණය එවකට සිටි පොලිස්පතිවරයාට කියා නිවාඩුව දිගටම ලබාගෙන ඇත. ඉන් පසුවද වතාවක් පූජිත් ජයසුන්දර මහතා බස්නානාහිර පළාත බාරව කටයුතු කළ කාලයේදී ඔහුගේ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරන්නට පෙර නිලධාරියාට සිදුවී ඇත. පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති තනතුරට පත්වී ටික කාලයකින් අර නිලධාරියාට බදුල්ල පොලීසියේ රාජකාරියක් නොමැති පත්වීමක් ලැබී ඇත. අදටත් ඒ නිලධාරියා ඉන්නේ ඒ තනතුරේය.

 

පරණ කතා ටිකක්

පොලිස්පතිවරයා ගැන අතීතය කෙටියෙන් ස්මරණය කිරීම වටියි. පොලිස්පතිවරයා උපාසක රංගනයන්ට කැමති අයෙකු බව ප‍්‍රසිද්ධ කාරණයකි. ඔහු පොලිස්පති තනතුරට පත්වූ විගස අපූරු කතාවක් කීවේය. ඒ පොලිස්පති තනතුර පුරප්පාඩු වූ විගස තමාට තනතුර ලැබෙන ලෙස ප‍්‍රාර්ථනා කරමින් ‘පූජා මිෂන්’ එකක් තමන් ආරම්භ කළ බව ඔහු කීවේය.

පොලිස්පතිවරයා පොලීසියට අපූරු චක‍්‍රලේඛයක් ගෙනාවේය. ඒ අනුව සියලූ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් ආගම් භේදයක් නැතිව මෛත‍්‍රී භාවනාවේ සහ ආනාපානසති භාවනාවේ නිරත විය යුතු විය.  පොලීසිය වධහිංසනය සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැුසකට මුහුණදුන් කාලයක ඔහු එය වළක්වන්නට හොඳම උපක‍්‍රමය ලෙස කල්පනා කරන්නට ඇත්තේ පොලිස් නිලධාරීන් භාවනා කරවීමය. භාවනාව විශ්වාස නොකර, වෙනත් ආගම්වලට අයත් අයටද අවසානයේ භාවනා නියෝගය පිළිගන්නට විය. පොලිස් නිලධාරීන් මෛත‍්‍රීයෙන් පුරවන්නට භාවනාව ගෙන ආ ඔහු භාවනා නොකර සිටි බෞද්ධයෙකුද නොවන පොලිස් මූලස්ථානයේ සෝපාන යන්ත‍්‍ර ක‍්‍රියාකරුට පහර දුන්නේය.

ඒ සියල්ල තිබියදී ලියුම්කරු සමගම සම්මුඛ සාකච්ඡුාවකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරයා වන සාගල රත්නායක ඇමතිවරයා කීවේ අඩුපාඩු ටිකක් තිබුණත් පොලිස්පතිවරයා ‘වැඩ පෙන්වා’ ඇති බවයි. වැඩ පෙන්වා ඇත්තේ ඇමතිවරයාට සහ ආණ්ඩුවට විය යුතුය. නීතියට නම් ඔහු පෙන්වූ විශේෂ වැඩක් නැත. අපරාධ, මූල්‍ය අපරාධ පරීක්ෂණ කෙළවරක් නැතිව ඇදි ඇදී ගියත් පුරවැසියන් බලාපොරොත්තු වූ ප‍්‍රගතිය පෙන්වා නැත. ඒ පරීක්ෂණ හැකි තරම් ඉක්මනින්, ස්වාධීනව කරවීම තමන්ගේ වගකීමක් බව පොලිස්පතිවරයා විශ්වාස කළ බවක්ද පෙනෙන්නේ නැත.

 

ජ්‍යෙෂ්ඨ

නියෝජ්‍ය පොලිස්පතිවරු

මෑත කාලයේදී පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට දුරකථන අංක කිහිපයක් පොලිස්පතිවරයාගෙන් ලැබී ඇත. ඒ දුරකථන අංක පිළිබඳ පරීක්ෂා කොට වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දී ඇත. දුරකථන අංක සියල්ල වහාම අදාළ අංශයට යවන්නට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇත. අදාළ අංශයේ නිලධාරීන් නැවත පැමිණ පෙන්වා දී ඇත්තේ ඒ අංක අතර රවී සෙනෙවිරත්න මහතාගේ දුරකථන අංකයද ඇති බවයි. අනෙක් අංක අයත් වන්නේ අනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකුට බවත් ඔහු නිරීක්ෂණය කර ඇත. මේ සිදුවීම් නිසා එම නිලධාරීන්ද පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ගැන ඉන්නේ අවිශ්වාසයෙනි. පොලීසියේ පරිපාලනය බිඳවැටීම පිළිබඳව එම නිලධාරීන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබුණි. කෙසේ වෙතත් පොලිස් කොමිසමට පොලිස්පතිවරයා ගැන විමර්ශනය කිරීමේ බලයක් නැති නිසා ඒ පැමිණිල්ල විභාගයට ගැනුණේ නැත. සැබැවින්ම පොලිස්පතිවරයා ඉල්ලා අස්වීමෙන් මිස, සාධාරණ ක‍්‍රමවේදයක් හරහා ප‍්‍රායෝගිකව ඔහුව ඉවත් කළ නොහැකිය.

 

පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතුව තිබුණේ තෙල්දෙණියේ සිදුවීම් පොලීසියට පාලනය කරගත නොහැකි වුණ මොහොතේය. පොලීසිය මොනතරම් දුර්වලද යන්න තදින්ම පැහැදිලි වුණේ ඒ අවස්ථාවේදීය.

‘‘කරනවා නම් කරනවා. නැත්තන් යන්න යනවා.’’ පොලිස්පති තනතුර බාරගත් පසුව ඒ ගැන පූජිත් ජයසුන්දර කීවේ එසේය. දැන් ඔහු කරපු දෙයක් නැති නිසා දැන් ඔහුට කියන්න ඇත්තේ ඔබ කරපු දෙයක් නැති නිසා දැන් ගෙදර යන්න කියායි.

 

ජනපති එක්ක 120ක් ලන්ඩන් ගිහිං

0

 

 

 

පසුගිය දා ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක (චෝගම්) සමුළුවට සහභාගිවීම සදහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග කණ්ඩායම් තුනකින් පුද්ගලයන් 120කට ආසන්න ප‍්‍රමාණයක් ලන්ඩන් නුවරට ගොස් ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තාවෙයි.

මේ අනුව මුලින්ම පසුගිය අපේ‍්‍රල් 15 වැනි දින ජනපතිවරයා සමග ශ‍්‍රී ලන්කන් ගුවන් යානයකින් කණ්ඩායමක් ගොස් ඇති අතර, එම පිරිස 32ක් බවද, එයින් 12 දෙනෙකු ජනපති ආරක්ෂක අංශයේ බවද දැනගන්නට ලැබේ. මීට අමතරව ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය සමග තවත් කණ්ඩායමක් කටාර් එයාර්වේස් යානයකින් අපේ‍්‍රල් 15 වැනි දින උදේ 10ට කටුනායකින් පිටත් වී ඇති බව දැනගන්නට ලැබෙන අතර, එදිනම උදේ 11.25ට කටාර් එයාර්වේස් කිව්ආර්665 දරන යානයෙන් තවත් කණ්ඩායමක් ලන්ඩන් නුවර බලා කටුනායකින් පිටත්වී ඇත.

මේ සියලූම පිරිස සඳහා විශාල වැයක් දරා ඇති අතර එම මුදල් ජනපති ලේකම් කාර්යාලයෙන් සහ තවත් ආයතනවලින් ගෙවා ඇත. මෙසේ ගිය පිරිස අතර ජනාධිපතිවරයාගේ නිවසේ ගෘහ සේවා කටයුතු කරන පිරිසක්ද සිට ඇති වාර්තා වෙයි.

මේ පිළිබඳව කරුණු විමසීම සදහා අනිද්දා පුවත්පත විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකා මහේෂි කොලොන්නේ මහත්මියගෙන් කරුණු විමසීමට ඇය ඇමතුවත් සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

 

හුදී ගැහැනුන්ට බැරිය. අරක්කු විකුණන්න චතුරිකාට විතරද පුළුවන්?

 

මෑත කාලයේ මත්පැන් සම්බන්ධයෙන් වූ සිය ව්‍යාජ ප‍්‍රතිපත්තිය ප‍්‍රසිද්ධියේම කරලියට ගෙන ආ පුද්ගලයා වූයේ හිටපු ජනපති මහිින්ද රාජපක්‍ෂය. ඒ ජෙනරාල් සරත් ෆෝන්සේකා සම`ග පැවති ඔහුගේ දෙවන ජනාධිපතිධුර සමයේදීය.
සිංහල බෞද්ධ ඡුන්ද ඇතුළු වෙනත් ඡුන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා ඔහු එය නම් කරනු ලැබුයේ ‘මතට තිත’ යනුවෙන්ය. ලියුම්කරු එම මතට තිත යන්න ව්‍යාජයක් බව ඒ සමයේම හෙළිදරව් කළේය. ඒ ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමය තුළ කර්තෘවරුන් සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයේදී ප‍්‍රසිද්ධියේ නොව අප‍්‍රසිද්ධියේ කර්තෘවරුන්ට හෝටල් කාමර තුළ මත්පැන් සංග‍්‍රහ කළ බව පෙන්වාදෙමින්ය. ඊට ලියුම්කරු විසින් දෙනු ලැබූ නම වූයේ තිතට මත යන්නය. කොහොමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මත්පැන් පානය කළා සේම ඔහු විසින් පැවැත්වූ සාදවලදී එහි ආරාධිතයන්ට, මත්පැන් සංග‍්‍රහ කළේය.

වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති සටනට ඉදිරිපත් වන විට ඔහුගේ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ මත්පැන් විරෝධයක් සඳහන් වන්නේ නැත. (ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේදී මෛතී‍්‍රපාල සිරිසේන යනු වෙනත් සමාජ බලවේගයක් විසින් කාලාන්තරයක් තිස්සේ මතුකරමින් ආ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් පිළිගනිමින් ඒවා කි‍්‍රයාත්මක කිරීම සඳහා නිර්පාක්ෂිකයෙකු ලෙස අවසාන මොහොතේ ජනාධිපති සටනට තෝරාගත් පුද්ගලයෙක් විය.)

කෙසේ වෙතත් 2015 ජනවාරි 08 ජයග‍්‍රහණයෙන් පසු පැවැති නිදහස් දින සැමරුම පවත්වනු ලැබුයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙනි. සාම්ප‍්‍රදායිකව රාජ්‍ය නායකයා විසින් නිදහස් දින සැමරීමේ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය එදින පවත්වනු ලැබූයේ ජනාධිපති මන්දිරයේය. ඊට තානාපතිවරුන් ඇතුළු තානාපති කාර්යාල නියෝජිතයන්ටද, කථානායක ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන්ටද, ඉහළ රාජ්‍ය නිලධාරීන්ටද 2015 ජනවාරි 08 ජයග‍්‍රහණයට උරදුන් කි‍්‍රයාකාරීන්ටද ආරාධනා කර තිබුණි. ලියුම්කරුද ඉන් එක් අයෙක් විය.
අහෝ ඛේදයකි. විදේශීය තානාපතිවරුන් ඇතුළු තානාධිපති සේවයේ පිරිසටද ආරාධනා කර තිබූ රටේ ජාතික නිදහසේ එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය තුළ සැර මත්පැන් තබා සැර අඩු මත්පැන් ලෙස හඳුන්වන බියර් හෝ වයින්වත් සංග‍්‍රහ කළේ නැත. ඒ වෙනුවට තිබුණේ ජින්ජර් බියර් හා පැණි බීම වර්ගය. අතීතයේ මත්පැන් විරෝධියෙකු නොවූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සිය ප‍්‍රචාරකවාදී මත්පැන් විරෝධය කරලියට ගෙනාවේ එදාය. එහි ඊළග පියවර ඔහු ප‍්‍රදර්ශනය කරනු ලැබුයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී වැරදි ලෙස බියර් ඇතුළු සැර අඩු මත්පැන් සඳහා පනවා තිබූ බද්ද නිවැරදි කළ අවස්ථාවේදීය. සැර වැඩි මත්පැන් නිෂ්පාදකයන්ගේ කොන්ත‍්‍රාත්කරුවන් යැයි සිතිය හැකි මත්පැන් විරෝධී ප‍්‍රචාරකවාදීන්ගේ ප‍්‍රචාර හමුවේ කිසිදු තර්කානුකූල විග‍්‍රහයකින් තොරව ඔහු විසින් කරනු ලැබුයේ එම සුරාබදු නියෝග අවලංගු කරන ලෙස බල කිරීමය. එහි ප‍්‍රතිඵලය වූයේ බියර් ඇතුළු සැර අඩු මත්පැන් පානයට වඩා සැර වැඩි මත්පැන් පානය ලාභදායී එකක් බවට පත්වී මිනිසුන් තව තවත් සැර වැඩි මත්පැන් සඳහා යොමු කිරීමය.
කෙසේ වෙතත් මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය බාරගැනීමෙන් පසු සැර අඩු මත්පැන් සඳහා අධික ලෙස පනවා තිබූ බදු ඉවත් කරනු ලැබූ අතර ඊට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි. එම අභියෝගයට මුහුණ දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මත්පැන් සඳහා බදු අයකරන ජාත්‍යන්තර ක‍්‍රමවේදය පිළිබඳව විග‍්‍රහකරමින් මත්පැන් බදු පිළිබඳ තාර්කික අදහසක් ඉදිරිපත් කරමින් නොසැලී සිටියේය.

එහෙත් අවසන් වරට සිදු කළ මත්පැන් සම්බන්ධ අයිතිවාසිකම් පිළිබඳ වූ සමානාත්මතාවේ නිවැරදි කිරීම නම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රසිද්ධ ගෝරනාඩුව හමුවේ හා කැබිනට් මණ්ඩලයේ ගෝත‍්‍රිකයන්ගේ ඔළුගෙඩි ගණන වැඩිවීම හේතුවෙන් අකුලා ගන්නට මුදල් අමාත්‍ය මංගල සමරවීරට සිදුවිය. ඒ 1979 වර්ෂයේදී නිකුත් කර ඇති සූරාබදු නිවේදන 666 යටතේ මත්පැන් සම්බන්ධයෙන් කාන්තාවන්ට පමණක් වාරණ පනවමින් නිකුත් කර තිබූ නියෝග නිවැරදි කරමින් ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව පදනම් කර ගනිමින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අවලංගු කර ගැනීමට සිදුවීමෙන්ය. එම අංක 666 වන සුරාබදු නිවේදනය අනුව අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට, මත්පැන් නිෂ්පාදන ස්ථානවල සේවය කිරීමට හා පූර්ව අනුමැතියකින් තොරව මත්පැන් වෙළෙඳාම් කිරීම තහනම් කර තිබුණි. එම තහනම 2018 ජනවාරි 10 දින අංක 2053/26 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉවත්කර තිබුණි. ඉහත කී ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩල ගෝත‍්‍රිකයන්ගේ අත් එසවීම මගින් එය 2018 ජනවාරි 18 දින අංක 2054/42 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් ආපසු හරවන්නට සිදුවිය.

මේ ආපසු හැරවීමට එරෙහිව මෙරට පුරවැසි කාන්තාවන් 11 දෙනකු විසින් ීක්‍රැුත්‍ඍරැු25රැු2018 යටතේ දැනටමත් ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති සිය අයිතිවාසිකම් කඩවූවා යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතා ඇත. එහි වගඋත්තරකරුවන් වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍ය ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග හා නීතිපතිවරයාය.
එම පෙත්සමින් ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය පසිඳලීම සහ කි‍්‍රයාත්මක කිරීමද නීතියේ රැුකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය. යන එහි 12(1) ව්‍යවස්ථාව,

කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්තී‍්‍ර පුරුෂභේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය යන 12(2) ව්‍යවස්ථාව හා එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක කර්මාන්තයක වෙළෙඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහසට හිමිකම් ඇති 14(1) (උ) ව්‍යවස්ථාව මේ තීරණ මගින් උල්ලංඝනය කර ඇති බවය. එහි තීරණය කුමක්ද යන්න පසුවට තීරණය වනු ඇත.
මත්පැන් යන්න නීති විරෝධි දෙයක් නොවේ. බදු අයකර, බලපත‍්‍ර ලබාදී කරගෙන යන ව්‍යාපාරයක්ය. රජයක් කළ යුත්තේ වඩා උසස් ප‍්‍රමිතියෙන් යුත් මත්පැන් නිෂ්පාදනයට දිරිදීමය. සැර අඩු මත්පැන් සඳහා මිනිසුන් පොළඹවාලීමය. එමගින් රජයට බදු ආදායමක් නොලැබෙන කිසි ප‍්‍රමිතියෙන් තොර නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය අඩාල කිරීමය. එහෙයින් අපි නීත්‍යනුකූල මත්පැන්වලට විරුද්ධ නැතැයි කිව යුතුය.

අප මෙම කථාව කියන්නේ නීත්‍යනුකූල මත්පැන්වලට විරුද්ධ නැති ඉහත පසුබිමේ පිහිටාය. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කියා කවුරුත් දන්නා ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. එය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනටත් අදාළය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මතට තිත නොව තිතට මත කි‍්‍රයාත්මක කරමින් සිටිනවා යනුවෙන් ලියුම්කරු එදා ලීවේ ඒ නිසාය. දැන් අපි මේ කියන්න යන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ඔවා ඔහුගේ ක්ෂුද්‍ර පවුල සම්බන්ධයෙන්ද කි‍්‍රයාත්මක කරන්නට බැරීවීමක් පිළිබඳවය. කථානායිකාව පල්ලේවත්ත ගමරාළලාගේ දර්ශනී චතුරිකා පල්ලේවත්ත හෙවත් පල්ලේවත්ත ගමරාළලාගේ දර්ශනී චතුරිකා සිරිසේනය. නැත්නම් අපට සමාජයේදී ප‍්‍රකටව හමුවන ජනාධිපති සිරිසේනගේ දියණීය චතුරිකා සිරිසේනය. ලියුම්කරු මීට පෙරද ඇයගේ වෙළෙඳ දැන්වීම් සමාගම ගැන හෙළිදරව් කළ පරිදීම ඇයට කප්රුක පහළවන්නේ සිය පියා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුය.

පොළොන්නරුව බැදිවැව, 23 වන සැතපුම් කණුව ලිපින යැති වත්මන් ‘තිදස් අරණ’ හෝටලය හා පෙර ‘තිදස් අරණ’ රෙස්ටුරන්ට් යන්න ඇයගේ හෝටල් ව්‍යාපාරයය. මේ රෙස්ටුරන්ට් එක සඳහා මත්පැන් විකිණීමේ බලපත‍්‍රයක් මුලින්ම ලබාගන්නේ 2015 ජනවාරි 08 ජයග‍්‍රහණයෙන් පසුය. සුරාබදු දෙපාර්තමේන්තුව FL 11 TB හෙවත් රට බීම 11 සංචාරක මණ්ඩලයේ A අනුමැතිය සහිත මත්පැන් බලපත‍්‍රයක් ඇය වෙනුවෙන් මුලින්ම නිකුත් කරන්නේ 2015.06.16 දින සිටය. බලපත‍්‍රලාභිනිය පල්ලේවත්ත ගමරාළලාගේ දර්ශනී චතුරිකා පල්ලේවත්තය. ඇගේ ලිපිනය පළමු පටුමග, නව නගරය, පොළොන්නරුවය. බලපත‍්‍රය කි‍්‍රයාත්මක වන ස්ථානය තිදස් අරණ රෙස්ටුරන්ට්, 23 වන සැතපුම් කණුව, බැදිවැව, පොළොන්නරුවය. වාර්ෂිකව නිකුත් කරන නැත්නම් අලූත් කරන එම බලපත‍්‍රය ඈ දිගටම පවත්වාගෙන යන්නීය. අප එම හෝටලයේ දුකරථන අංකය වන 0272225577 අපේ‍්‍රල් 19 දින කථාකොට එහි කාමර පහසුකම් ගැන විමසුවෙමු. එහිදී මත්පැන් ගැනද විමසුවෙමු. කිසිදු අවුලක් නැත. හෝටලයේ නවාතැන් ගන්නන්ට රාතී‍්‍ර 10 දක්වා එහි රෙස්ටුරන්ට් එකේ මත්පැන් ලබා ගත හැකිය. ඒ සඳහා තිදස් අරණ හෝටලයට අදාළ www.thidasarana.com වෙබ් අඩවියට ගොස් විස්තර බලා ගැනීමට හැකිය. නැත්නම් එම හෝටලයේ දුරකථන අංකයට කථාකර විස්තර දැනගැනීමට හැකිය.

දැන් ඔබට තවදුරටත් ගැටලූවක් ඇතිවීමට හැකිය. මේ කියන තිදස් අරණ හෝටලය චතුරිකා සිරිසේනගේද යන්නය. ඔව්. එය ඇයගේය. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති ලිපිගොනුව අනුව THIDAS ARANA HOTEL (PRIVATE) LIMIRED ලියාපදිංචි අංකPV 122949 යටතේ ලියාපදිංචි කර ඇත. එහි එකම අධ්‍යක්‍ෂවරිය හා කොටස්කාරිය ජාතික හැඳුනුම්පත් අංක 828034022 හිමි අංක 06 පළමු පටුමග, නව නගරය, පොළොන්නරුව ලිපිනයැති පල්ලේවත්ත ගමරාළලාගේ දර්ශනී චතුරිකා පල්ලේවත්තය. යහපාලන ආණ්ඩුව පැමිණීමට පෙර මත්පැන් විකිණීමේ බලපත‍්‍රයක්වත් නොමැතිව කුඩාවට තිබූ මේ හෝටලය අද එසේ මෙසේ එකක් නොවේ. වායුසමීකරණ, වයිෆයි, පිහිනුම් තටාක, මත්පැන් ඇතුළු සියලූ පහසුකම් අද එහි ගතකරන්නෙකුට ලබා ගත හැකිය. අපේ‍්‍රල් 19 දින අප එම හෝටලයට කථා කරන විට උදෑසන ආහාරය සමග ද්විත්ව කාමරයක මිල රුපියල් 17,045කි. ඒ දිනවල දෙනවා යැයි කියූ 30%ක වට්ටම අඩු කළ විට උදෑසන ආහාරය සමග කාමරයක මිල රුපියල් 11,932 කි. වට්ටම් සහිත උදෑසන, දිවා හා රාති‍්‍ර ආහාර සහිතව ද්විත්ව කාමරයක මිල රුපියල් 15,000කි. 2015 ජනවාරි 08න් පසු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ක්ෂුද්‍ර පවුලට කප්රුක් පහළ වී ඇතැයි තිදස් අරණ හෝටලයේ මේ සුපිරි බවෙන් සිතා ගත හැකිය.

පෙර කියූ පරිදිම අප නීත්‍යනුකූල මත්පැන්වලට විරුද්ධ නැත. එමෙන්ම එහි ව්‍යාපාරික අවස්ථාවන්ටද විරුද්ධ නැත. චතුරිකා සිරිසේනටද මත්පැන් විකිණිය හැකිය. අපට ප‍්‍රශ්නය ඇත්තේ රටටම බණ දෙසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාව අතරය. ඔහුගේ ප‍්‍රතිපත්ති කෙසේවෙතත් දියණියගේ කි‍්‍රයාව අනුව නම් අපට අසන්නට වන්නේ අහෝ සිරිසේන ඔබගේ දහම අනුව හුදී ගැහැනුන්ට නම් මත්පැන් සමග බොහෝ දේ බැරිය. චතුරිකා සිරිසේනට විතරක් අරක්කු විකුණන්න පුළුවන් කියාය.

 

 

චතුරිකාට බාර් ලයිසන්

 

 

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට පුරා කි‍්‍රයාත්මක කරමින් සිටියද ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් මත්පැන් බලපත‍්‍රයක් හිමිකරගෙන ඇයට අයත් හෝටලයේ මත්පැන් විකිණිම සිදුකරසින් සිටි.

චතුරිකා සිරිසේනට අයත් එම හෝටලය වන්නේ පොළොන්නරුව බැඳිවැව විසිතුන්වන සැතපුම් කණුෙවි පිහිටි තිදස් අරණ හෝටලයයි.

සංචාරක මණ්ඩලයේ ඒ ශ්‍රේණියේ අනුමැතිය සහිතව මෙම බලපත‍්‍රය ලබාගෙන ඇති අතර FL 11 TB 11 හෙවත්් රටබීම 11 සංචාරක මණ්ඩල අනුමැතිය සහිත බලපත‍්‍රයක් යන්න එහි තේරුමයි.

තිදස් අරණ හෝටලයේ හිමිකාරියද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනය. සමාගම් ලියාපදිංචිය අනුව එම හෝටලයේ එකම කොටස් හිමිකාරිය හා එකම අධ්‍යක්ෂවරය චතුරිකා සිරිසේනය.

ඇය මෙම හෝටලය සඳහා මත්පැන් බලපත‍්‍රය ලබාගෙන ඇත්තේ සිය පියා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2015.06.16 දින සිට කි‍්‍රයාත්මක වන පරිදිය. බලපත‍්‍ර හිමිකාරිය වශයෙන් ඇගේ නම සදහන් වන්නේ පල්ලේවත්ත ගමරාලලාගේ දර්ශණි චතුරිකා පල්ලේවත්ත යනුවෙන්ය. එම හෝටලයේ හිමිකාරිය වශයෙන් ඇගේ නම සඳහන් වන්නේද ඒ ආකාරයටමය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුරවැසියෙකු විසින් පසුගිය වසරේ කරන ලද ඉල්ලිමකදී සුරාබදු දෙපාර්තමේන්තුව ලබාදුන්  තොරතුරු අනුව එම ලේඛනයේ රටබිම 11 සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත බලපත‍්‍ර යටතේ අංක 2746 හි දැක්වෙන්නේ පල්ලේවත්ත ගමරාලලාගේ දර්ශණි චතුරිකා පල්ලේවත්ත හෙවත් චතුරිකා සිරිසේනගේ බලපත‍්‍රයය.

මේ සම්බන්ධයෙන් චතුරිකා සිරිසේනගෙන් අදහස් විමසීම සඳහා ඇගේ තිදස් අරණ හෝටලයට දුරකථන ඇමතුමක් ලබාදී ඇය සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් ඉල්ලූ විට ඇයගේ දුරකථන අංකය ඔවුන් සතුව නොමැති බවත් ඇය දුරකථන ඇමතුම් හෝටලයට ලබාදුන්නද එහි අංකයක් සඳහන් නොවන බවත් දුරකථන තිරය මත දිස්වන්නේ ප‍්‍රයිවට් නම්බර් යනුවෙන් බවත් ඒ නිසා ආපසු ඇයට දුරකථන ඇමතුම් ලබාගත නොහැකි බවත් අපගේ ඇමතුමට පිළිතුරු ලබාදුන් අයෙකු පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක කපිල කුමාරසිංහ මහතාට කථාකොට මත්පැන් බලපත‍්‍රවල සාමාන්‍ය ක‍්‍රමවේදය ගැන විමසුවිට පැවසුවේ බලපත‍්‍රයක් ලබාගෙන වසර තුනක කාලයක් යන තෙක් වාර්ෂිකව අලූත් නොකර හෝ එය පවත්වාගෙන යා හැකි බවත් පෙර වසරවලට අදාළ බලපත‍්‍ර ගාස්තු  බලපත‍්‍රය අලූත් කරන අවස්ථාවේදී ගෙවිය හැකි බවත්ය.

ඉහත සඳහන් තිදස් අරණ හෝටලයට මත්පැන් බලපත‍්‍රයක් නිකුත් කර ඇති ද යන්න පිළිබඳව ඔහුගෙන් කරන ලද විමසීමේදී ඔහු පැවසුවේ එම තොරතුරු ඔහු සතුව නොමැති බවත්, අදාළ අංශයෙන් විමසීමක් කර ලබාදිය හැකි නම්  ලබා දීමට උත්සහ කරන බවය. ඒ අනුව  ඊට පසු දින  ඔහුගෙන්  ඒ පිළිබඳව විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ  ආදළ තොරතුර ලබාදීම සඳහා ඔහුට නොලැබුණු බවය.

 

 

ලසන්ත රුහුණගේ