No menu items!
27.6 C
Sri Lanka
29 April,2025
Home Blog Page 605

අජිත්ගෙ පෙම් ගී වලට ඇඟ කිළිපොලා ගිහින් සිංදු ලියන්න ගත්තා ළහිරුකිතලගම

0

 

තරිඳු උඩුවරගෙදර

ළහිරුට ලියන්න ආසාව ආවෙ කොහොමද?
පුංචි කාලයෙ අපට අරමුණු නෑනෙ. සමාජයෙ අධිනිශ්චය වුණ රැුකියා ගැන පුංචිම කාලෙ අපි හීන දැක්කා. ඒත් එහෙම කාලයක අපට කොහෙන් හරි කියැවීමෙ පුරුද්දක් ආවා. මට අටේදී වගේ එමා බෝවාරි, අම්මා, සුදු ගෝනා සහ සුදුවැද්දා වගේ පොත් කිහිපයක් අපේ පුංචි ඉස්කෝලෙ පුස්තකාලයෙ තිබුණා. මට කතා ලියන්න ඕනෑවුණා. ඒ ආසාව එක්ක මම යොවුන් නවකතාවක් ලිව්වා ධාර්මික කියලා. මේක හරිම ආධුනික ප‍්‍රබන්ධයක්. මම ඒ කාලෙ කියවපු පොත් බොහොමයකින් ගත්ත අදහස් ඒ පොතේ පිරිලා තිබුණා. මම ඒ කාලෙ හිටියෙ මාතර කිතලගම ගම්මානයෙ. ඉතින්, ගැමි ජීවිතයක් අපට ලැබුණා. ඒ අත්දැකීම් එක්ක තමයි මම යොවුන් නවකතාව ලිව්වෙ. සාමාන්‍යපෙළ කාලයෙදී ගුරුවරයෙක්ට පොත දුන්නා. එයා මේක ටයිප් කරලා පොතේ ප‍්‍රින්ට් කොපියක් ගත්තා. මේ පොත යාළුවො, ගුරුවරු කියෙව්වා. හැමෝම මාව පුංචි සාහිත්‍යකාරයෙක් විදියට සැලකුවා.
බොරු කියන්න ඕනෑ නැහැනෙ. ඒ දවස්වල අපේ ගෙදර ඇහුවෙ අජිත් මුතුකුමාරණගෙ, කිංස්ලි පීරිස්ගෙ සිංදු. ‘පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී… අකුරට ආ දා ඇගෙ සිත බැඳුණි….’ වගෙ සිංදු අයියලා දානවා. අමරදේවලාගෙ සිංදු නම් ඇහිලාම නැහැ. අජිත්ගෙ පෙම් ගී වලට ඇඟ කිළිපොලා ගිහින් සිංදු ලියන්න ගත්තා. ඔය දවස්වල අජිත් මුතුකුමාරණලා වෙන සිංදුවල තාලයට සිංදු හැදුවා. ‘මේ නොනිවෙන දිවි ගමනේ’ සිංදුවෙ තාලයට ගැහුවා ‘ගංගොඩවිල සෝම හිමි’ කියලා සිංදුවක්. මමත් ඕවා බලාගෙන ඉඳලා වෙන සිංදුවල තාලයට සිංදු ලියන්න පටන්ගත්තා. ‘මාතර බෝ සමිඳුට… මල් පුදලා මං අද… ප‍්‍රාර්ථනා කරනවා.. ලැබෙන්න නුඹ මා හට….’ ඔන්න ඕක තමයි මං ලියපු මුල්ම සිංදුව. ඒ අතරේ තමයි මට කොළඹ යුගයේ කවි සහ අසූව දශකයෙ කවියන්ගෙ කවි හමුවුණේ. කුමාරගමලාගෙ ඉඳන් රත්න ශ‍්‍රී වෙනකන්ම කවියන්ව අහුවුණා. උසස්පෙළ කාලයේත් පරාක‍්‍රම, මොනිකා වගේ කවි කිවිඳියන්ව මට අහුවෙනවා. මේවා කියවද්දී මම කවිය ගැන හිතපු විදිය වෙනස් වුණා. උසස්පෙළ කාලය වෙද්දී මම සිංදු අත්හැරලා ඒ කවියන්ගෙ ආභාසයෙන් කවි ලියන්න ගත්තා.
උසස්පෙළින් පස්සෙ?
විශ්වවිද්‍යාලයට ආවාට පස්සෙ පත්තරේ පළ කිරීමේ ආසාවෙන් ලිව්වා. පත්තරේ කවියක් පළවීම මාර විනෝදයක්. ඔහොම කාලෙක එක කෝල් එකක් ආවා. ‘ළහිරු කිතලගමද කතා කරන්නෙ? මම දිවයිනේ නිරෝෂන් හැඳලගේ.’ කියලා කතාකළා. මගේ කවි ගැන සතුට පළ කළා. සම්මානයක් ලැබුණාම මට යම් සතුටක් ලැබුණා නම්, ඊටත් වඩා සතුටක් ඒ ඇමතුම ආවාම මම වින්දා. පත්තරේ මගේ කවිවලට ලැබුණු ප‍්‍රතිචාරත් විවිධයි. ‘අප්පටසිරි, ළහිරු කිතලගම ඔයාද?’ පත්තරෙන් මගෙ කවි කියපු කෙනෙක් ඔහොම අහද්දී පුදුම හැඟීමක් දැනුණා. මේ ආසාවන් පසුපස්සේ ගිහින් පත්තරවල ගිය කවි එකතුකරලා පොතක් කළා.
පොතට ලැබුණ ප‍්‍රතිචාර…
පොත කරලා ටික දවසකට පස්සෙ සඳුන් ප‍්‍රියංකර විතානගේ කියන කවි ලියන මිත‍්‍රයාට රුපියල් එකසිය පණහේ පොත තවත් රුපියල් හැත්තෑපහක් වියදම් කරලා තැපෑලෙන් යැව්වා. ඊට පස්සෙ මෙන්න සඳුන් විචාරයක් ලියලා. ඊමේල් එකක් එව්වා. මගේ කවි පොත හොඳටම විවේචනය කරලා. මට මුලින් ආවෙ කේන්තියක්. මම සල්ලි වියදම් කරලා මම පොත යැව්වාම මේ මිනිහා මට ගහලානේ කියලා. ඒත් මම ඒ විචාරය එකොළොස් වතාවක් කියෙව්වා. ස්වයංවිවේචනාත්මකව මගේ පොත දිහා බැලූ‍වා. සඳුන් මට පස්සෙ කාලෙක කිව්වා වෙන කෙනෙක් නම් මේ වගේ විචාරයකින් පස්සෙ තරහා වෙනවා. හැබැයි ළහිරු විචාරයෙන් පස්සෙ මා එක්ක තවත් මිත‍්‍ර වුණා කියලා. එදා සඳුන් ගෙනාපු විවේචනය මමම මගේම නිර්මාණ ගැන අලූ‍ත් විදියට හිතන්න යොමුකළා. ඉන්පස්සෙ කවිය ගැන මම ආයෙ ආයෙත් කියෙව්වා. තව ගොඩක් කියවන්න තියෙන නිසා මම අදත්, හෙටත් කියවනවා.
කවියෙන් එහා ජීවිතය සැලසුම් කරන්නෙ කොහොමද? රැුකියාවක්, ආර්ථික ස්ථාවරත්වයක් ගැන හිතන්නෙ කොහොමද?
මට ලොකු ප්ලෑන් නෑ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ මම කරන රැුකියාව හරිම අවිනිශ්චිතයි. ගිවිසුම් පදනමෙන් මම රස්සාව කරන්නෙ. හෙට වුණත් නැතිවෙන්න පුළුවන්. හැබැයි මට ලොකු ප්ලෑන් නෑ. මම මගේ අතීතය ගැන ටිකක් කියන්නම්.
අසූනවයෙ මම ඉපදුණා. මට අවුරුද්දක් යන්න කලින් තාත්තා නැතිවුණා. ජේවීපී කලබලවලින්. අම්මාට අවුරුදු තිස්එකේදී තමයි ළමයි හතරදෙනෙක් එක්ක තනිවෙන්නෙ. අම්මා මහගෙදරට එනවා. මාතර කිතලගම කියන ගම. අපේ ජීවිත විසිරුණු ගතියක් තිබුණා. ඒ වගේම ජීවිත අසීරුයි. තාත්තා භීෂණයෙන් අතුරුදන් වුණ හැටදාහේ ලිස්ට් එකේ හිටියා. ඒ නිසා පණස්දාහක විතර වන්දියක් ලැබුණා. ඒ කාලෙ හැටියට ලොකු වන්දියක් වුණ ඒ මුදලෙන් අම්මාට ගෙදර හදාගන්න පුළුවන් වුනා. ආයේ අම්මා ගෙදරට ආවා. අයියලා දෙන්නා ගෙදරින් වෙන්වෙද්දී අක්කායි මමයි තනිවුණා. අම්මා කළේ ගෙවල්වල වැඩපල කරපු එක. පුංචි දවසෙ වැටුපකට වැඩ කළේ. දවසෙ ආදායමට භූමිතෙල්, කිරිපිටි ගෙනල්ලා ජීවත්වුණේ. භූමිතෙල් ලාම්පුවෙ තෙල් පහුවදාට පාඩම් කරන්න එළිය අඩු කරලා අඩ අඳුරෙ පාඩම් කරද්දී මම එදා හිතුවෙ නෑ විශ්වවිද්‍යාලයට යන්න, ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන්න. උසස්පෙළ ලීවාම මම කැන්ඩි එකේ වැඩ කරන්න ආවා. ඒකෙන් ගෙදර උළුවහු ටික එහෙම හදාගන්න ලැබුණා. මම උසස්පෙළ ලියන කාලයේත් ගමේදී ජොබ් කළා. ගරාජ් එකකත් වැඩකළා. උසස්පෙළ ප‍්‍රතිඵල ආ දවසේ ඒ තුනක් එක්ක මම පාස් වුණ එක මම විශ්වාස කළේත් නැහැ. උපාධිය එක්ක මට දැන් පරිපාලන විභාගය ලියන්න පුළුවන්. නැත්නම් ගුරු වෘත්තියට හෝ වෙන රැුකියාවකට යන්න පුළුවන්. ගෙදරින් අහනවා පරිපාලන විභාගය ලියලා ප‍්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්නෙ කවදාද කියලා. ඒත් මට ඒවා කරන්න හිතෙන්නෙ නෑ. ඒත් මම එදිනෙදා ආදායමට ගැළපෙන රැුකියාවක් කරනවා. මම මේ අවුරුද්දෙ විවාහ වෙන්න ඉන්නවා. විවාහයෙන් පස්සෙ අනාථ වෙන්නෙ නැතිව ජීවිතේ ගෙවාගන්න තරම් ආදායමක් මට ඕනෑ. පුංචි කාර් එකක් ගන්න පුළුවන් වේවි. ඒ ගැනත් ලොකු බලාපොරොත්තුවක් නෑ. හැබැයි මට සාමාන්‍ය ආදායමක් තියෙන ජීවිතයක් විතරක් ඇති. පහළින් ආවත් ඉහළටම යන්න ප්ලෑන් එකක් මට නෑ.x

පළමු සිංහල ප‍්‍රබන්ධ කථාවට අවුරුදු 130ක්ද?මහාචාර්ය රාජකරුණාගේ සිංහල නවකථාවේ ආරම්භය

0

ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ආරිය රාජකරුණාගේ ‘සිංහල නවකථාවේ ආරම්භය’ කෘතිය දැන් වයස හතලිස් හය සපුරයි. එහි සිව්වන මුද්‍රණය මේ වසරේ පළ විය. සිය ජීවිතයේ අනූවන දශකය ආරම්භයේදීත් සිංහල සාහිත්‍ය ලෝකය ගැන අවදියෙන් සිටි මහාචාර්යවරයා සිය කෘතියෙහි අලූත්ම මුද්‍රණයෙන් පිටපතක් මට තිළිණ කොට ඒ ගැන යමක් ලියන්නැයි කීවේය. සිංහල පුවත්පත්වල සාහිත්‍ය අතිරේක එන්න එන්නම අඩුවී යාමත්, ඇතැම් අතිරේක සාහිත්‍යය පිළිබඳ ඉතා ඒකමානීය අදහස් දරන අය අත පැවතීමත් ගැන අපි කතා කළෙමු. සෑම සාහිත්‍ය ශානරයක්ම පාහේ ස්වරූපමය වශයෙනුත්, අන්තර්ගතමය වශයෙනුත් ඉතා විචිත‍්‍රය. ඒ විචිත‍්‍රත්වය සාහිත්‍ය සංස්කෘතියෙන් සාහිත්‍ය සංස්කෘතියට වෙනස් වේ. යුගයෙන් යුගයට වෙනස් වේ; කතුවරයාගෙන් කතුවරයාට වෙනස් වේ; ඇතැම් විට ඉලක්ක පාඨකයා අනුවද වෙනස් වේ. මේ ආදි හේතු නිසා සාහිත්‍යය යනු කුමක්දැයි යන්න පිළිබඳ සර්වකාලීන හෝ සර්වදේශීය හෝ නිර්වචන මත රඳා සිටීම අමාරුය. මේ විචිත‍්‍රත්වයට යටින් කලාත්මකත්වය පිළිබඳ යම් පොදු අදහස් මාලාවක්ද තිබේ.

නවකථාවට ස්ථිර සාරමය ලක්ෂණ තිබේද?
සිංහල නවකථාව පිළිබඳ අපගේ මුල් කාලීන අධ්‍යයනවලදී නවකථාව යනු මේ යැයි කරන ලද නිර්වචනය නවකථාවේ විචිත‍්‍රත්වය සැලකිල්ලට ගන්නට අසමත් වූ බවක් පෙනේ. නිදර්ශනයක් වෙත යමු. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අවුරුදු විසිනවයක තරුණයෙකු ලෙස ලියන ලද ඵදාැරබ ීසබය්කැිැ ත්‍සජඑසදබ යුරෝපීය තාත්ත්වික යථාර්ථවාදී රීතියෙන් ලියවුණු නවකථාව ඕනෑම නවකථාවකට පොදු නවකථා කලාවේ සාරමය ලක්ෂණ අඩංගු කරගන්නා බවක් දැක්කේය. ඒ සාරමය ලක්ෂණ සිංහල නවකථාවේද ඇතිදැයි සලකා බැලීය. ඒ නිසා මාර්ටින් වික‍්‍රමසිංහ නවකථා කලාව තුළ අත්කරගෙන තිබූ ජයග‍්‍රහණ ඉතා හොඳින් වටහාගන්නට හැකි විය. එහෙත් වික‍්‍රමසිංහගේ නවකථා කලාවට වෙනස් මාර්ග ගෙන වර්ධනය විය හැකිව තිබූ නවකථා රීතිවලට ඉන් සිදු වූයේ කුමක්ද?
ප‍්‍රබන්ධ කථාවේ කලාත්මක ශිල්පීයතාවට අයත් සියලූ අංග ”කලාත්මකය” යැයි හඳුන්වන්නට පුළුවන. ප‍්‍රබන්ධ කථාවෙහි තේමාත්මක අංශයට අයත් සියල්ල ”තේමාත්මකය” යැයි හැඳින්විය හැකිය. තරුණ සරච්චන්ද්‍ර උක්ත ඉංග‍්‍රීසි කෘතියේදීත්, ඒ ඇසුරින් පසුව සිංහලෙන් ලියන ලද සිංහල නවකථා ඉතිහාසය හා විචාරය කෘතියේදීත් නවකථාවේ ”කලාත්මකය” වෙත විශේෂ අවධානයක් යොමු කළේය. එය වරදක් නැත. එවකට නවකථාව නමැති ශානරය සිංහල සාහිත්‍ය සංස්කෘතිය තුළ කලාත්මක අනන්‍යතාව සොයමින් සිටියේය. එහෙත් ප‍්‍රබන්ධ කථාවක නියම සාර්ථකත්වය යනු කලාත්මකය සහ තේමාත්මකය අතර මනා සුන්දර සම්බන්ධයයි. එනම් ඒ දෙක අතර සුන්දර වූ අන්තර්වියමනක් තිබිය යුතුය. සැබවින්ම ප‍්‍රබන්ධ කථාවේ නියම කලාත්මකත්වය නම් එයයි.
මහාචාර්ය රාජකරුණා යනු ප‍්‍රබන්ධ කථාව සම්බන්ධයෙන් සරච්චන්ද්‍ර ආරම්භ කළ ගවේෂණය ඉදිරියට ගෙන ගිය කෙනෙකි. සරච්චන්ද්‍ර සැකෙවින් කී යමක් සවිස්තරවද සනිදර්ශනාත්මකවද සාකච්ඡුා කිරීම සිංහල නවකථාවේ ආරම්භය කෘතියෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. ඇල්. අයිසෙක්ද සිල්වාගේ ”වාසනාවන්ත සහ කාලකන්නි පවුල්” නම් ප‍්‍රකට ප‍්‍රබන්ධ කථාව ගැන මහාචාර්ය රාජකරුණා කරන සවිස්තර සාකච්ඡුාව අද අපට ඉතා ප‍්‍රයෝජනවත්ය. 1888 වර්ෂයේදී ග‍්‍රන්ථයක් ලෙස මුලින්ම පළ වූ එය 1866 සිට 1883 දක්වා රුවන් මල්දම පුවත්පතහෙි පළ වී තිබේ. එය සැලකෙන්නේ ප‍්‍රථම සිංහල ප‍්‍රබන්ධ කථාව ලෙසිනි. ඒවා මගින් පෙනෙන්නේ සිංහල නවකථාවේ ආදිම ස්වරූපය යැයි මහාචාර්ය රාජකරුණා කියයි. ඒ අනුව එය පොතක් ලෙස පළ වූ වර්ෂයේ සිට අද වන විට නවකථාවක ස්වරූපය ගත් පළමු ප‍්‍රබන්ධ කථාවට අවුරුදු 130ක් පිරෙයි.
මහාචාර්ය රාජකරුණාගේ සවිස්තර සාකච්ඡුාව කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. එහෙත් මා මෙහිදී අවධානය යොමු කරන්නේ නවකථාවෙහි තේමාත්මකය සහ කලාත්මකය අතර සහසම්බන්ධය අයිසෙක්ද සිල්වාගේ කෘතියෙහි පැනෙන ආකාරය ගැනය.
ස්ත‍්‍රී-පුරුෂ පේ්‍්‍රමය සහ විවාහය ආශ‍්‍රිත සම්ප‍්‍රදාය නූතනකරණයට ලක් කිරීම පිළිබඳ තේමාව වාසනාවන්ත සහ කාලකන්නි පවුල් කෘතියෙහි දැකිය හැකිය. එනම් නූතන සිංහල ප‍්‍රබන්ධ කථාවෙහි ආරම්භක මොහොතේදී විවාහය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමේ තැතක් දකින්නට පුළුවන. දෑවැද්ද සලකා විවාහවීම සිදුවීමත්, තමන්ගේ කැමැත්ත ඇති කෙනෙකු සමග විවාහවීමට අවස්ථාව නැතිවීමත් යන කරුණු මෙම ප‍්‍රබන්ධ කථාවේදී මුලින්ම අපගේ අවධානයට යොමු වේ. පුරුෂයන් විසින් ස්ත‍්‍රීන් පහත් කොට සැලකීමේ සිංහල පුරුද්ද විචාරයට ලක් කරන එම ප‍්‍රබන්ධ කථාව ස්ත‍්‍රිය පුරුෂයාගේ වහලියක නොවන බව සෘජුවම කියා සිටියි. බිරිඳ පුරුෂයාගේ ”සමාගම්කාරිය”, ”පේ‍්‍රමවන්තිය” වන දවසක් සහ පුරුෂයා භාර්යාවගේ ”ආදරවන්ත මිත‍්‍රයා” වන දවසක් නුදුරේදීම එළඹිය යුතු බව ඒ ප‍්‍රබන්ධ කථාවේ පිරිමි චරිතයක් වන චාර්ල්ස් ප‍්‍රාර්ථනා කරයි. විවාහයේදී ස්ති‍්‍රයගේ කැමැත්ත අකමැත්ත නොවිමසීමේ ”අධම සිංහල සිරිත” පාදිලි චරිතයක් ලවා විවේචනය කරමින් සිංහල-බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක‍්‍රිස්තියානිය ඔසවා තබන නමුත්, ස්ත‍්‍රියගේ කැමැත්ත විමසීම පිළිබඳ කාරණයේදී අයිසෙක් ද සිල්වාගේ කෘතිය ගන්නේ ප‍්‍රගතිශීලී ස්ථාවරයකි. එසේම පන්ති භේද නොසලකා විවාහවීමේ වැදගත්කමද මෙම කතාවෙන් ඉ`ගි කෙරේ. විවාහයට පෙර ඔවුනොවුන් හඳුනා ගැනීමට විවාහාපේක්ෂිත යුවළට තිබිය යුතු අවසරය සහ අවස්ථාව වාසනාවන්ත පවුල කතාවෙහිදී අවධාරණය කෙරේ. විවාහය හෙවත් ”හිර ගනුදෙනු” වෙළඳ ගනුදෙනුවක් බවට පිරීහී ඇතැයිද එම කතාවෙන් කියවේ. විවාහ වූ යුවළ තමන්ටම වෙන් වූ ටික කාලයක් වත් ගෙවීම පිණිස මධු සමය සඳහා පිටපළාතකට යාමේ වැදගත්කමද සාකච්ඡුාවට භාජනය වේ. විවාහ ජීවිතය ආශ‍්‍රිත මෙම සියලූ ප‍්‍රතිසංස්කරණ කළ හැකි බලවේගයක් ලෙස මතු වන්නේ ක‍්‍රිස්තියානි ආගමය.
”වාසනාවන්ත සහ කාලකන්නි පවුල්” නම් ප‍්‍රබන්ධය පැහැදිලිවම ක‍්‍රිස්තියානි ප‍්‍රචාරණ උපකරණයක් සේ රචනා වූවකි. එහෙත් ඒ ඔස්සේ සාකච්ඡුාවට ගන්නා ඇතැම් තේමාත්මක අදහස් හුදෙක් ක‍්‍රිස්තියානි ප‍්‍රචාරණ ඉක්මවා යයි. ලංකාවේ නූතන සමාජ ජීවිතය ගොඩනැගී ම පිළිබඳ අදහස්ද ඒ අතර වේ. ඒ ඇතැම් අදහස් පසු කලෙක අනගාරික ධර්මපාලතුමා වැනි අය විසින්ද බෞද්ධ පසුබිමෙක තබා පුනරුච්චාරණය කරන ලද දේය. විවාහය නමැති ආයතනය තුළ ස්ත‍්‍රියට ගෞරවනීය තැනක් ලැබිය යුතු බවත්, ඇයට යම් නිශ්චිත කාරක ශක්තියක් ඒ තුළ තිබිය යුතු බවත්, මෙම පළමු ප‍්‍රබන්ධ කථාවෙන්ම ධ්වනිත වේ. යුරෝපයේ පවා නවකථාව යනු පුරුෂ-ස්ත‍්‍රී සම්බන්ධතා වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවට පත් කිරීමේ කතිකාව ගෙන ගිය මාධ්‍යයකි. එපමණක් නොව පොදුවේ නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතිකාව පවත්වාගෙන යාමට නවකථාව දායක විය.
සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාවට දායක වන අතරම හුදු ප‍්‍රචාරණ උපකරණයක් නොවී, කලාත්මක පරිසමාප්තිය අත්කරගන්නේ කෙසේද? මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයා සිංහල නවකථාකරුවන් කළ අරගලය ජයගත්තේ මාර්ටින් වික‍්‍රමසිංහ විසිනි. ඒ නිසා එය සාමූහික ජයග‍්‍රහණයක් සේද සැලකිය යුතුය. එහෙත් ඒ අරගලය ජයගන්නා තවත් ක‍්‍රම නැතිද? මේ ප‍්‍රශ්නයට මහාචාර්ය සරච්චන්ද්‍රද, මහාචාර්ය රාජකරුණාද පිළිතුරු නොදෙති. මවිසින් ‘අමුතු කතාව’ සහ ‘සහෘද සාක්ෂිය’ වැනි කෘතිවලත්, නුදුරු දිනෙක පළ වන ‘කෙටිකතා කලාව: න්‍යායික සහ තුලනාත්මක අධ්‍යයනයක් ’ කෘතියෙහිත් උක්ත ප‍්‍රශ්නයට දිය හැකි පිළිතුරු ගණනාවක් සංකල්පගත කර තිබේ.

කාලකන්නි පවුලේ සිට වාසනාවන්ත විවාහය දක්වා
අයිසෙක් ද සිල්වාගේ වාසනාවන්ත සහ කාලකන්නි පවුල් යන කෘතිය 1888 වර්ෂයේ පළවී ඊට පසුව බොහෝ නවකථා මත බලපෑමක් ඇති කළ බව මහාචාර්ය රාජකරුණා සවිස්තරව පෙන්නා දෙයි. පියදාස සිරිසේනගේ නවකථාවල අර කෘතියෙහි තේමාත්මක බලපෑම හොඳින් දකින්නට හැකි බව මහාචාර්යවරයා පැහැදිලි කරයි. එය ඇත්තකි. අයිසෙක් ද සිල්වා යනු ක‍්‍රිස්තියානි පාදිලිවරුන්ගේ ප‍්‍රබන්ධ රචකයා නම් පියදාස සිරිසේන යනු අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ නවකථාකරුවාය. විවාහය තුළ ස්ත‍්‍රියට සහ පුරුෂයාට සමාන ස්ථාන හිමි විය යුතු බව වාසනාවන්ත විවාහය නවකථාවේදී සිරිසේනද පිළිගනියි. එහෙත් තරුණ තරුණියන් නිදහසේ ඔවුනොවුන් ඇසුරු කිරීම ගැන අයිසෙක් ද සිල්වා දක්වන අදහස්වලට සිරිසේන විරුද්ධ වෙයි. හනිමූන් යන අදහසටත් සිරිසේන විරුද්ධය. ඔවුන් ආගම්වලින් වෙනස් වුවත් තේමාත්මක වශයෙන් සමානය. අනෙක, අයිසෙක් ද සිල්වාගේ ප‍්‍රබන්ධ කථා සමග සාහිත්යික විවාදයක් සේ සිරිසේනගේ ඇතැම් නවකථා හඳුනාගන්නට පුළුවන. මෙයින් පෙනෙන්නේ අදාළ යුගය හා බැඳුණු යම් තේමාත්මක සංවාදයක කොටසක් සේ නවකථාව හඳුනා ගැනුණු බවයි.
මෙවන් සාකච්ඡුාවකට පිරිමසින තොරතුරු මහාචාර්ය රාජකරුණාගේ කෘතියෙහි එයි. අනෙක, අයිසෙක් ද සිල්වාගේ කෘතිවලට පැරණි සිංහල සම්භාව්‍ය කෘතිද බලපා ඇති සැටි මහාචාර්යවරයා විස්තර කරයි. සද්ධර්මාලංකාරය වැනි කෘතියක් වාසනාවන්ත පවුල වැනි ප‍්‍රබන්ධයකට බලපාන්නට ඇතැයි යන්න ඔහුගේ අදහසය (99 පිටුව).
පිටු 348කින් යුතු ‘සිංහල නවකථාවේ ආරම්භය’ කෘතිය අවසන් වන්නේ ඒ. සයිමන් ද සිල්වාගේ අපේ ආගම නවකථාව ගැන සාකච්ඡුාවකිනි. ඒ කෘතිය පළ වී ඇත්තේ 1910 වර්ෂයේදීය. එම කෘතිය වන විට සිංහල නවකථාව 1888 වර්ෂයේ පළ වූ වාසනාවන්ත සහ කාලකන්නි පවුල් කෘතිය පසු කර බොහෝ දුරට වර්ධනය වී තිබිණි. එහෙත් මහාචාර්ය රාජකරුණා දකින හැටියට එයද පරිපූර්ණ නවකථාවක් නොවේ. ඒ අපරිපූර්ණත්වයට හේතුව නවකථාව තුළ තේමාත්මකය සහ කලාත්මකය අතර මනා ගැළපීම නම් මංගල කාරණය නොසිදු වී තිබීමය. ඒ මංගල්‍යයමය සංසිද්ධිය යනු පරිසමාප්ත සිදු වී අවසාන වන්නක් නොවේ. ඒ වූකලි සෑම යුගයකම නවකථාකරුවන් කරගෙන යා යුතු අරගලයකි. අපේ ආගමෙන් අවුරුදු 108කට පසුවත් අපි මේ කලා අරගලයෙහි යෙදී සිටිමු.
නවකථා හෝ කෙටිකතා ලිවීම යනු හුදෙක් කතාවක් කීම හෝ අලංකාර ව්‍යුහයක් ගොඩනැගීම නොවන බව අපේ පළමු ප‍්‍රබන්ධ රචකයෝ දැන සිටියහ. කලාත්මකය සහ තේමාත්මකය යන දෙකින් එකක් හෝ අමතක වූ හොඳ ප‍්‍රබන්ධ කථාවක් ගැන සිතීම අමාරුය. එම කාරණයෙහි ඇතැම් අංග වටහා ගැනීමට මග කියන බැවින් මහාචාර්ය රාජකරුණාගේ පොත අවුරුදු 46කට පසුවත් අපට තවමත් වැදගත් වේ. එය ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස නැවත පළවීම මංගල කාරණයකි.

 

මේ සම්මාන ගත්තේ වෘත්තීය විදියට’ සංජීවපුෂ්පකුමාර දැවෙන විහඟුන් ගැන..

0

හිරුණි කුරුප්පුආරච්චි

ඕනෑම කලා නිර්මාණයක් ඒ නිර්මාණකරුවාගේ ආත්ම ප‍්‍රකාශනයක් වෙනවා. දැවෙන විහඟු‍න් චිත‍්‍රපටය ඔබේ ආත්ම ප‍්‍රකාශනයක් වෙන්නේ කොහොමද?
දැවෙන විහඟු‍න් චිත‍්‍රපටයට පදනම් වන්නේ 1989 අග භාගයේ නැගෙනහිර පළාතේ ඉතාම දුෂ්කර ගම්මානයක ජීවත්වුණු දරුවෝ අටදෙනෙකුගෙන් යුත් පවුලක ප‍්‍රධාන වශයෙන්ම මව සහ ලොකු දුව වටා ගෙතුණු කතාවක්. මේ චිත‍්‍රපටය 1989 ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේ අවසන් භාගයේ ඇතිවූ සිදුවීමක් කේන්ද්‍ර කරගෙන තමයි විකාසනය වන්නේ. මේ චිත‍්‍රපටය 1989 අරගලය පිළිබඳ චිත‍්‍රපටයක් නෙමෙයි. ඒ අරගලයේදී පීඩාවට පත්වුණු මිනිස් සමූහයක් පිළිබඳ කතාවක්.
1989 කියන්නේ මම අවුරුදු 11ක ළමයෙක්. ඒ භීෂණ සමයේ මගේ තාත්තාගේ මල්ලී වෙඩි තියලා ඝාතනය කළා. ඉතින් මම දැක්කා ඒ බිරිඳ දරුවෝ දුක් වින්ද විදිය. දෙවෙනි එක මගේ ඉස්කෝලේ හය වසරේ මට ගණිතය උගන්නපු ගුරුවරයා කන්තලේ ප‍්‍රදේශයේ ටයර් එකක් උඩ පිච්චෙනවා කියලා අපිට උදේ ආරංචි වුණා. ඔය මතකයන් මගේ ඇතුළේ හැමදාම තිබුණා. ඔය අතරෙම 1989දී මගේ තාත්තාත් නැතිවුණා. අපේ ගෙදර පවුලේ ළමයි අටදෙනායි අම්මායි තනිවුණා. මම පවුලේ වැඩිමලා. ඉතින් ඔය අතරේ යුද්ධය නිසාත් වෙනත් හේතු නිසාත් අපේ ගමේ ගෙවල්වල ගෘහමූලිකයෝ නැතිවෙන්න පටන්ගත්තා. එතකොට ඒ පවුල්වල අය වින්ද දුක්වේදනාවනුත් මම දැක්කා. මේ සියල්ලේ සංකලනයෙන් උත්පත්තිය ලැබූ චිත‍්‍රපටයක් තමයි දැවෙන විහඟු‍න්. ඒ විදියට තමයි මේ චිත‍්‍රපටය මගේ ආත්ම ප‍්‍රකාශනයක් වෙන්නේ.

ඒ අනුව ඕනෑම නිර්මාණකරුවෙකුගේ පෞද්ගලික අත්දැකීම්වල ප‍්‍රබලතාව සාර්ථක නිර්මාණයක් බිහිකිරීම සඳහා හේතුවෙනවා නේද?
අනිවාර්යයෙන්ම. මට චිත‍්‍රපටිකරුවෙක් විදියට කියන්න පුළුවන් චිත‍්‍රපටිකරුවෙකුගේ මූලිකම සම්පත තමයි අතීත මතකය. සිනමාකරුවෙකුට තමන්ගේ මතකය කියන දේ තල කිහිපයකින් බලපානවා. එකක් තමන්ගේ පුද්ගලික මතකය. අනික තමයි තමන්ගේ දේශයේ මතකය. ඒ මතක ගබඩාවේ තියෙන දේවල් අප නොදැනුවත්ම අපව පොළඹවනවා. නිර්මාණකරුවාට පුළුවන් ඒ මතකය පුද්ගලබද්ධ කරන්න. ඕනෑම විශිෂ්ට නිර්මාණයක් පුද්ගලබද්ධ වුණාම තමයි අවංකභාවයේ උපරිම ඉම වෙත ගෙනයන්න පුළුවන්. එසේම මතකය නිසාම හැඟීම්වලට දෙන්න පුළුවන් ඉඩ වැඩියි. ඕනෑම කලාකෘතියක මූලිකම දේ තමයි හැඟීම්. හැඟීම් නැති කලාකෘතිවලින් මං දන්නේ නෑ අපිව කොයි පැත්තකට ගෙනයනවාද කියන කාරණය.

මෙහි තිරරචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සඳහා ඔබට ප‍්‍රංශ ජාතික තිරරචනා උපදේශකයෙක් වෙන ජාන් අක්කෝකිගෙ උපදෙස් ලැබෙනවා. ඔහු හඳුනාගැනීම සහ ඒ කාලසීමාව තිරරචනයේ සංවර්ධනයට බලපාන්නේ කොහෙ ාමද?
මේ චිත‍්‍රපටය ඉස්සෙල්ලම ලියන්න ගත්තේ 2012දී. මම මගේ පළවෙනි චිත‍්‍රපටය ඉවර වුණාට පස්සේ කොරියාවේ සෝල් නුවර චුන්ග් – අන්ග් විශ්වවිද්‍යාලයේ තමයි පශ්චාත් උපාධිය කළේ. ඒ කාලේ තමයි මං මේක මුලින්ම ලියන්න ගත්තේ. එතකොට මේ තිරරචනය තේරුණා කෑන්ස් සිනමා උළෙලේ සිනේෆොන්ඬේෂන් නේවාසික වැඩසටහනට. ඉස්සෙල්ලාම මේ වැඩසටහනට ගිය පළවෙනි දකුණු ආසියාතිකයා විමුක්ති ජයසුන්දර. දෙවෙනියට ගියේ මම. පැරිස්වල තමයි මං මේ තිරරචනය මුලින්ම ලියුවේ. ලියුවාට පස්සේ 2013 කෑන්ස් සිනමා උළෙලේදී සිනේෆොන්ඬේෂන් අධ්‍යක්ෂකවරයාට ඕනෑවුණා මාව යවන්න ඊශ‍්‍රායලයේ ෆිල්ම් ඇකඩමියට. සිනේෆොන්ඬේෂන් එකෙන් අපි හයදෙනෙක් ඉන්ටර්විව් කළා. ඒකෙන් දෙන්නෙක් තෝරාගත්තා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි මම. ඒක තමයි දෙවෙනි අත්දැකීම මගේ. මේ චිත‍්‍රපටයට මුලින්ම තිරපිටපත් උපදේශකයෙක් විදියට වැඩකළේ අනීතා කියලා නෙදර්ලන්ත ජාතික කාන්තාවක්. එයා මෙක්සිකෝවලදී පැය හතරක විතර කාලසීමාවක් මාව දැනුවත් කළා. ඒක ලොකු කාලයක්. එකේදී තිරපිටපත යම් මට්ටමකට සංවර්ධනය වුණා. ඒත් ජෙරුසලම්වලදී තමයි පිටපතට ඕනෑ ටෝන් එක, රිදම් එක, චරිත සංවර්ධනය සහ ස්ටෝරි ආර්ක් එක වගේ දේවල් හැදෙන්නේ. තිරපිටපත් උපදේශකයෙක් විදියට ඔහු මගෙන් අහපු ප‍්‍රශ්න මාව විමතියට පත්කරන්න වගේම මගේ කතාව ගොඩක් නිරවද්‍ය කරන්න හේතුවුණා. ඒකේ නාට්‍යමය ගතිය ගොඩනගන්නත් උපකාරී වුණා. එතැන තව නවක චිත‍්‍රපටි නිර්මාණකරුවෝ 12 දෙනෙක් හිටියා. ඔවුන් එක්කත් අපි සාකච්ඡුා කළා. අවසානයේ ලොකු ප‍්‍රතිපෝෂණයක් ලැබුවා. මේක මේ මට්ටමට හෝ සංවර්ධනය කරන්න ඒ උපදෙස් ගොඩක් උපකාරී වුණා.
ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ අවධාරණය කෙරුණු එක් තේමාවක් වෙනවා කාන්තාව පිරිමියාගේ ලිංගික ගොදුරක් වීම. දැවෙන විහඟු‍න් චිත‍්‍රපටයේ කුසුම්ටත් ඒ ඉරණමම අත්වෙන වා. මේ තේමාව සිනමාව තුළ බහුලව කතාබහට ලක්වුණු තේමාවක් නේද?
මනුස්ස ජීවිතයේ අපි අසා නැති තේමාවන් කොහෙවත් නැහැ. වැදගත්ම දේ වෙන්නේ අපි ඒක ප‍්‍රකාශ කරන විදිය. කුබ්රික් වැනි සිනමාකරුවෝ කියන දෙයක් තමයි ඕනෑම කලා මාධ්‍යයකට නිශ්චිත තේමාවන් කිහිපයක් පමණයි තියෙන්නේ කියන කාරණය. ආදරය, විවාහය, මරණය, පාවාදීම්, සුරාකෑම් වගේ ප‍්‍රධාන තේමාවන් කිහිපයක් පමණයි තියෙන්නේ. අපි ඒ ප‍්‍රධාන තේමාවන් තමයි විවිධ මානයන්ගෙන් ඉදිරිපත් කරන්නේ චිත‍්‍රපටයෙනුත්.

ඇතැම් සිනමාකරුවන් පිළිගන්නවා චිත‍්‍රපටයක ලිංගික දර්ශන ඍජුව ඉදිරිපත් කිරීම සහ එහිදී ගැහැනිය නිරුවත් කිරීම නොකළ යුතු දෙයක් විදියට. එවැනි දර්ශනයකදී ඒකට වෙනත් කලාත්මක උපක‍්‍රම භාවිත කරන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් ඔබේ නිර්මාණවල එවැනි දර්ශන ඔබ ඍජු වම ඉදිරිපත් කරනවා. ඔබ ඒ පිළිබඳව දරන මතය කුමක්ද?
මගේ චිත‍්‍රපටිවල ඍජුවම භාවිත කරනවා කියන්නත් පුළුවන්. නොකියන්නත් පුළුවන්. එක එක සිනමාකරුවන් පිළිගන්න සිනමා සෞන්දර්යවේදයක් තියනවා. රොබර්ට් බ්‍රෙසෝන්ගේ චිත‍්‍රපටිවල ඔහු භාවිත කරන සෞන්දර්යවේදය නෙවෙයි ඉන්ග්මාර් බර්ග්මාන් පාවිච්චි කරන්නේ. ඒක නෙවෙයි ස්පයික් ලී පාවිච්චි කරන්නේ. ස්පයික් ලීගේ සෞන්දර්යවේදය නෙමෙයි ප‍්‍රසන්න විතානගේ පාවිච්චි කරන්නේ. ඒක නෙමෙයි විමුක්ති ජයසුන්දර පාවිච්චි කරන්නේ. ඒක එකිනෙකාට වෙනස් වෙනවා ඔවුන් පිළිගන්න සෞන්දර්ය මූලධර්ම මත සහ ඔවුන් පිළිගන්න අනිකුත් සමාජ සංස්කෘතික මූලධර්ම මත. ඒක චිත‍්‍රපටයෙන් චිත‍්‍රපටයටත් වෙනස් වෙන්න පුළුවන්. මම හිතන විදිය, මගේ ප‍්‍රකාශනය සහ ප‍්‍රකාශනයේ ප‍්‍රබලතාව සඳහා මං භාවිත කරන විදිය වෙනස්.

චිත‍්‍රපටයේ තාක්ෂණික කටයුතුවලට ලාංකිකයෝ වගේම විදෙස් ශිල්පීන් කිහිපදෙනෙකුත් සම්බන්ධ කරගන්නවා. ඔවුන් ගැන සහ චිත‍්‍රපටයේ තාක්ෂණික නිමාවට ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය ගැන සඳහන් කළොත්?
ඔව්. ඒක තමයි හරිම වැදගත්ම දේ විදියට සලකන්න පුළුවන්. තාක්ෂණික වශයෙන් අපේ අය දක්ෂ වුණාට අපිට තාක්ෂණික මෙවලම් අඩුයි. ඒ වාගේම අපේ අය දක්ෂ වුණාට ඒ සෞන්දර්ය චින්තනය අපිට එන්නත් වෙලා තියන ප‍්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුයි. අපිට තියන ඒ කලාත්මක සහසම්බන්ධය අඩුයි ලෝකයත් එක්ක. මං මේකේ මුලින්ම සංස්කරණය කටයුතු කළේ අජිත් රාමනායක සමඟ. සම්පූර්ණ අවසාන සංස්කරණය කළේ ප‍්‍රංශ සහ නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වන කැතරිනා වර්තේනා සමඟ. එයාට කලින් තවත් ප‍්‍රංශ ජාතික සංස්කාරකවරයෙක් මගේ නිෂ්පාදක සහ මා සමඟ එක සංස්කරණයක් කළා. ඒ අය චිත‍්‍රපටයක් දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. වෙනස් සෞන්දර්ය සහ දාර්ශනික දෘෂ්ටියකින් තමයි ඔවුන් බලන්නේ. ඒක මට කවදාවත් ලැබුණේ නැති අත්දැකීමක් වුණා. ඊළඟට චිත‍්‍රපටයේ වර්ණ සංයෝජනය කළේ එලී අකූකා කියලා දැන් ලෝකයේ ඉන්න ප‍්‍රධානම වර්ණ සංයෝජකයෙක්. ‘බ්ලූ ඊස් ද වොර්මස්ට් කලර්’ කියන චිත‍්‍රපටයේ වර්ණ සංයෝජකයා. එයා දේවල් දිහා බලන විදිය සහ අධ්‍යක්ෂවරයාගේ සෞන්දර්ය දෘෂ්ටියට ගරුකරන විදිය හරිම විශිෂ්ටයි. මේකේ මුලින් ශබ්ද පරිපාලනය කළේ අරුණ කළුආරච්චි. ප‍්‍රංශයේ මක්තාරි කියන ශබ්දාග ාරයේ තමයි නිමාව සිදුකළේ. ඒක ලෝකේ තියෙන ප‍්‍රධානම ශබ්දාගාරයක්. ලෝකේ විශිෂ්ට චිත‍්‍රපටි ඒ ශබ්දාගාරයේ කරනවා. එයාලා ශබ්දය පිළිබඳ දක්වන නිපුණතාව ඉතාම වැදගත්. චිත‍්‍රපටයේ එක තැනක තිබුණා ප‍්‍රධාන චරිතය මනුෂ්‍යයෙක් ඝාතනය කරන තැනක් බඩට පිහියෙන් ඇනලා. ඒ ශබ්දය අපි මෙහේ ගන්න උත්සාහ කළා. ගන්න බැරිවුණා. ප‍්‍රංශ ශබ්ද පරිපාලකයෙක් අපි එහේදි ගෙන්නුවා. ඔහු ඒ ශබ්දය ගත්තේ ලීක්ස් කොළේකුයි තවත් එළවළු‍ කොළ දෙකකුයි ඉටිකොළ කෑල්ලකුයි වගේ දේවල් යොදාගෙන. චිත‍්‍රපටය බැලූ‍වාම පෙනෙයි මොන තරම් ප‍්‍රබලද කියලා. ඔවුන් ඒක ශාස්ත‍්‍රානුකූලව ඉගෙනගෙන ආ අය. මට මුළු‍ ෆිල්ම් එකටම උපදේශකයෙක් හිටියා. නෙදර්ලන්තයේ ලූ‍ඞ්මිලා චියුකෝවා. එයා මගේ පළමුවන චිත‍්‍රපටයේ ඉඳලා මට උපදෙස් දෙනවා. විදෙස් රටවල නිෂ්පාදකයෝ හිටියා. ඒ නිසා හැමෝගෙම වගේ අදහස් ආවා. ඒක අපි වගේ රටක සිනමාකරුවෙකුට ලැබෙන මහඟු‍ අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් මං පුළුවන් මට්ටමට ප‍්‍රයෝජනය ගත්තා. නමුත් ඒ ඔක්කෝම කරන්න පුළුවන් වුණේ මේ රටේ නිර්මාණකරුවන්ගේ සහයෝගය නිසා. උදාහරණ විදියට විශිෂ්ට නළු‍නිළියෝ මං සහභාගි කරගත්තා. ඔවුන්ගේ දායකත්වය නැත්නම් මේ මුකුත් කරන්න බැහැ. විශිෂ්ට කැමරා ශිල්පියෙක් වන කාලිංග දේශප‍්‍රිය හොඳින් කැමරාකරණය කළ නිසා එලී අකූකාට පහසු වුණා වර්ණ සංයෝජන කටයුතු. අජිත් මේක මාත් සමඟ එකතු වෙලා සංස්කරණ කටයුතු කළ නිසා අපට අනිත් කටයුතු පහසුවුණා. ලංකාවේ අපට හොඳ පදනමක් දමාගන්න පුළුවන් වීම නිසා අනෙක් සෞන්දර්ය ගැටලූ‍, තාක්ෂණික ප‍්‍රශ්න ප‍්‍රංශයේදී විසඳාගන්න පුළුවන් වුණා.

මේ චිත‍්‍රපටය සම්මාන උළෙල ගණනාවකට ඉදිරිපත්වෙලා තිබුණා. සම්මාන උළෙලවලට චිත‍්‍රපටය ඉදිරිපත් කිරීමේදී ඔබ අනුගමනය කළ යම්කිසි ක‍්‍රමවේදයක් තිබුණාද? ඒක තරුණ නිර්මාණකරුවන්ට වැදගත් වේවි.
මේ චිත‍්‍රපටය සම්මාන උළෙල 25කට පමණ ආරාධනා ලැබුවා. අපි ප‍්‍රතික්ෂේප කළ උළෙල කිහිපයක්ම තියෙනවා. මට ඉන්නවා ලන්ඩනයේ අලෙවි නියෝජිතයෙක්. එයා තමයි තීරණය කරන්නේ මොන සම්මාන උළෙලවලටද සහභාගි වෙන්නේ කියන කාරණය. මට තියන බලය ඉතාම අඩුයි. අපි අතරේ ගිවිසුමක් තියෙනවා. සිනමා උළෙල කියන්නේ ලංකාවේ සමාජය හිතනවා වගේ තවදුරටත් සම්මාන දීම සඳහාම තිබෙන යමක් නෙමෙයි. ඒක සිනමාකරුවෙකුට තමන්ගේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න තියෙන එක මාධ්‍යයක්. උළෙලවල චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමේදී මගේ අලෙවි නියෝජිතයා ඒ වෙනුවෙන් මුදලක් අයකරනවා. එම මුදල ඔහු සහ මගේ නිෂ්පාදකයන් අතරේ බෙදෙනවා. නිෂ්පාදකවරයා සහ මා අතරේ නැවත බෙදෙනවා. සමහර උළෙල තිබෙනවා එහෙම මුදල් දෙන්නේ නැති. ඒ ලෝකේ තියන ප‍්‍රධාන සිනමා උළෙල. ඒවාට අපි සහභාගි වෙනකොට අපිට යම්කිසි ගෞරවයක් ලැබෙනවා. ඒ නිසා අපි ඒවාට මුදල් ලබාගන්නේ නැතුව සහභාගි වුණා. අපි සාමාන්‍ය උළෙලකට යනවා නම් මුදලක් අයකරනවා. මුදල දෙන්නේ නැත්නම් යන්නේ නැහැ. අපි එහෙම ප‍්‍රතික්ෂේප කළ උළෙල ගොඩාක් තියනවා. උදාහරණයක් විදියට ඉගිල්ලෙන මාළුවෝ මොස්කවු උළෙලට ඉදිරිපත් කළාම ඔවුන් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මුදලක් දෙන්න බැහැ කිවුවා. එතකොට මගේ අලෙවි නියෝජිතයා ප‍්‍රංශ ජාතිකයෙක්. ඔහු කිව්වා, මොස්කවු කියන්නේ ලොකු උළෙලක් වුණාට ෆිල්ම් එක දෙන්න බැහැ කියලා. ඊට පස්සේ තමයි පීටර්ස්බර්ග් උළෙලට ගියේ. එහි සම්මාන ගණනාවක් ලැබුණා දැවෙන විහඟු‍න් වෙනුවෙනුත්. ඒ සම්මාන උළෙලවල තරගකාරී අංශය ඉතාම ප‍්‍රබලයි. මේ කිසිම සම්මානයක් නිකම් ලැබුණේ නැහැ. ගොඩක් මහන්සිවෙලා ලබාගත්ත දේවල්. ඒවා ඉතාම වෘත්තීය විදියට ලබාගත්ත දේවල්. නැතුව ගේම් ගහලා ගත්ත දේවල් නෙවෙයි.

ඔබ සිනමාව ගැන ක‍්‍රමවත් අධ්‍යාපනයක් ලද කෙනෙක්. ජාත්‍යන්තර සබඳතා සහිත කෙනෙක්. සිනමාකරුවෙකු වීමට කැමැත්තෙන් ඉන්න තරුණ පිරිස් ඕනෑතරම්. ඔවුන්ට මේ අවස්ථාවේ යම්කිසි මඟ පෙන්වීමක් කළොත්?
මම තාමත් මහන්සි වෙලා වැඩකරන කෙනෙක්. මේක ඉතාම තරගකාරී අංශයක්. යම්කිසි ජයග‍්‍රහණයක් ගන්න නම් තමන්ගේ කැපවීමම තමයි වැදගත්. එහෙම නැතුව අනිත් අයගේ දේවල් හොයාහොයා යන එකයි, වෙන කෙනෙක් කරලා දෙනකන් බලාගෙන ඉන්න එකයි නෙමෙයි වැදගත්. මම නිශ්චිත ආදායම් මාර්ගයක් නැතුව හිටි කාල තිබිලා තියෙනවා. 2005දී තීරණය කළා මං සිනමාකරුවෙක් වෙනවා කියලා. මොන දුෂ්කරතා ආවත් මම ඒක කළා. විදෙස් ශිෂ්‍යත්ව මට කවුරුත් දුන්න දේවල් නෙමෙයි. හොයාගෙන ගිය දේවල්. ඒකට පහසුම මාර්ගය තමයි අන්තර්ජාලය. විෂයට තියෙන ආදරය තමයි පළවෙනි දේ. ඊළඟට කැපකිරීම. මම කවදාවත් කාගෙන්වත් දෙයක් අහන්න ලැජ්ජා වුණේ නැහැ. අදටත් මං විශ්වාස කරනවා මට වඩා මගේ අවට ඉන්න අය දන්න ප‍්‍රමාණය වැඩියි කියන කාරණය. ඒ වාගේම අපිට අවශ්‍යයි යම් කෙනෙක් අප තුළ අපට පුළුවන් කියන විශ්වසනීයත්වය ගොඩනැගී ම. කාලෝ ෆොන්සේකා මහත්මයා මා තුළ ඒ හැඟීම ඇතිකළා. එවිට අපිට තේරුම් යනවා මේ වැයකරන කාලය අපතේ යෑමක් නෙමෙයි, අපි දේවල් ඉගෙනගනිමින් ඉන්නවා, යමක් අත්පත් කරගනිමින් ඉන්නවා කියන දෙය.

පාරු කයිවාරු

0

නීල් විජේරත්න

ඇළ කණ්ඩිය දිගේ ගමන් කරන රෝගුස් අයියා පසුපස මම බයිසිකලය තල්ලූ කරාන යමි. වේග ගමනට රුසියෙකු වූ ඔහු මඳ දුරක් ගොස් නවතින්නේ හිස පැළැඳි කාකි තොප්පිය අතට ගෙනය. ඒ මොනවා හරි පාරු කතාවක් කියන්නටය. ඒ පාරු කතාව කියන – අසන අපි නැවත ගමන් අරඹමු. ආයෙත් පොඩි නැවතුමකි. තවත් පාරු කතාවකි.
අපේ ඇළ කණ්ඩි ගමනේ සොබාව ඒකය.
අපට වම් පසින් වූ හැඳල ඇළ දහවලේ අව් රස්මිය නිසා රිදී පැහැගත් පීත්ත පටියක සෙයියාවෙන් දුරට පෙනේ. ඇළට නැවුණු පොල් ගස් කරටි මූද දෙසින් එන සුළඟට සෙලවෙන්නේ ඕනෑවට එපාවට වාගේය. ඇළ දෙපස තැනෙක කදුරු ගස් පේළියකි. තවත් තැනෙක දුණුකෙයියා පඳුරකි, වැටකෙයියා ගාලකි, කිරළ, ඉකිළිය ගස් පොදියකි.
අපේ ගම්මු හැඳල ඇළ කියා කටවහරට කීවත් මහතැන්වල පතපොතේ ලියැවී ඇත්තේ හැමිල්ටන් ඇළ කියා බව රෝගුස් අයියා කියයි. අලූත් ඇළ එහෙමත් නැත්නම් ඕලන්ද ඇළ කියාද එය හඳුන්වන විත්තිය ඔහු මට කියන්නේ ඇළ කළපුවට වැටෙන් තැන්ද, නැවත කළපුවෙන් වෙන්වෙන තැන්ද විස්තරාත්මකව නම් කරමිනි. දඬුගම් ඔය, මහ ඔය, ගිං ඔය, ලූණු ඔය, පමණක් නොව මීගමු කළපුව, හලාවත කළපුව සහ පුත්තලම් කළපුව ගැනද ඔහු මතක් කරන්නේ ඒ වෙලාවටය.
මාසයකට හමාරකට වතාවක් ඉඩක් ලැබෙන වේලාවක හැඳල ඇළකණ්ඩිය දිගේ එහා මෙහා යාම එක්තරා කාලයක මගේ විනෝදාංශයක් වී තිබිණ. ගමේ වැඩිහිටියකු වූ රෝගුස් අයියාද බොහෝ විට මේ ගමනට මා හා එක් වෙයි.
මේ කියන හැඳල ඇළ දිගේ අප ගමන් කරන වේලාව අනුව එහි වටපිටාවේ සුන්දරත්වයද වෙනස් වෙතැයි ඒ අවට සැරිසරන විට මට සිතේ. උදේ වරුවේ ඒ අවට අප දකින මාළු පෙට්ටි බැඳගත් බයිසිකල්කරුවෝ හැන්දෑ වන විට ආගිය අතක් නැත. ඒ වෙනුවට දැකිය හැක්කේ ඇළ කණ්ඩියේ සිට බිලී බාන මිනිසුන්ය. ඇළ අයිනේ ඕලූ – කෙකටියා පත් අතරින් හිස ඔසවන දිය රෙද්ද ඇඳි කාන්තාවෝ හවස් වරුවේ දක්නට නොවූහ. ඒ වෙනුවට දැකිය හැකි වූයේ වැල් හිඹුටු පඳුරු අතරින් සීරුවට යමින් දර අහුලන දරුදැරියන්ය. ඇළ අද්දර මුහුද දහවල් වරුවට වැඩි සද්දබද්දයක් නැත. රළ ගසන හඬ ඇසෙන්නේ හීන් කන්නලව්වක් ලෙසිනි. ? බෝ වූ විට නම් මුහුදේ සද්දය ඇළ දිහාවට ඇසෙන්නේ මේ දැන් මුහුද ගොඩ ගලතැයි කියා සිතෙන තරම් දරුණු හඬකිනි.
ඉරිදා උදේ වරුවට ඇළකන්ද හන්දිය ගමේ පල්ලියේ මංගල්ල කාලේ වාගේය. ඒ තරම් විිිචිත‍්‍රවත් බවක් එහිවෙයි. ගමේ කඩකාරයන්ට අමතරව පිටින් එන තොරොම්බල්කාරයෝය, මනිබඩු වෙළෙන්දෝය, සරුවත් කඩකාරයෝය, ලෑතර-විස්කිරිඤ්ඤා -සව් දොදොල් විකුණන වෙළෙන්දියෝය. තවත් තැනෙක බයිසිකල් පෙට්ටියේ පිරවූ නූඞ්ල්ස් විකුණ චීන වෙළෙන්දෙකි. ඔහු ඇඳ සිටින්නේ කාකි කොට කළිසමක් සහ අත්දිග සුදු මේස් බැනියමකි.
අප ඇළ කණ්ඩිය දිගේ ගමන් යන්නේ ඉරිදාවක නම් ඇළකන්ද රා තැබෑරුම ළඟ කටගැස්ම විකුණන මාර්තක්කාගේ ඇහැට හොරා ගමන් යනු බොරුය. ‘‘ ඕං මේ අපේ කොලූට ම`ගට කන්න දෙයක් ගෙනාවා’’ යි කියමින් ඕ තොමෝ කැන්ද කොළයේ එතූ මුලක් මා අත තබන්නීය. ඒ තම්බාපු මයියොක්කා සහ කොච්චි සම්බෝල මුලකි. ඇතැම් දවසක තම්බාපු කජු මුලකි. සතියේ දවස්වල මාළු වට්ටිය හිස තබාන ගම්ගොඬේ වෙළෙඳාමේ යන මාර්තක්කා ඉරිදා දවසට රා තැබෑරුම ළඟ කටගැස්ම විකුණන්නීය.
අපේ මේ ගමන නිකමට විනෝදයට වාගේ යන්නක් වුවද ඉස්සර කාලේ පාරු කතා අහන්නට මා මහත් කැමැත්තක් දක්වන බව රෝගුස් අයියා දනී. තමා දන්නා හඳුනන පැරැුන්නන් ලවා ඒ කතා අසන්නට සැලැස්වීම තම යුතුකමකැයි ඔහු සිතුවා සේය. පාරුකාරයන්ගේ ඇතැම් කියුම් කෙරුම් ඔවුනටම ආවේණික වූ ඒවා බව ඔහු මට අනේකවාරයක් කියා ඇත. ඇතැම් විටෙක, එවැනි කතාවක් අතැති නෝට් පොතේ සටහන් කර ගැනුමට මම උත්සුක වීමි.
‘‘ඉස්සර මෙහේ කතාවක් තිවුණා. පාරු ගොයියෝ වෙන වෙනමේ… මූදු ගොයියෝ වෙන වෙනමේ කියලා. මේ දෙගොල්ලෝ අතරේ ලොකු ආරෝවක් හැමදාම තිබුණා. ඒක මඟුල් තුලාවලටත් බලපෑවා.’’ යි මූද පැත්තට අත දිගු කරමින් රෝගුස් අයියා කියයි. ඇළට එහායින් පටු බිම් තීරුවකි. ඊටත් එහායින් මහ මුහුදය. මූදටත් ඇළටත් මැදිවුණු බිම් තීරුවේ කුඩා ධීවර ගම් කීපයකි.
අපේ රෝගුස් අයියා විසින් නුගපෙ ජෙමයියා කියා වතාවක මට හඳුන්වා දුන් තැනැත්තා කතාවට රුසියෙකි. මේ ඇළ දිගේ පාරු ගමන් ගිය අන්තිම කාලයේ පාරු රස්සාව කළ අයෙකි.
තමා රස්සාව කළ පාරුව ගැනද පාරු ගමන ගැනද දොඩන්නට මත්තෙන් ඔහු පාරු බත ගැන කතා කළේ ඒ ගැන මතක් කිරීම වුව තලූ මරන්නට සිත් දෙන්නක් වූ නිසා විය යුතුය.
‘‘පාරු බත ඉදෙන සුවඳට ඇළ අද්දර උන්නු නෑම්බියන් අපෙන් පාරු බත්මුලක් ඉල්ලනවා. තවත් එකියක් පාරුවේ යන අපිට ඇහෙන්න කියනවා, ගෙදර ලිපේ ඉදුණු බත කන්න පාරු සම්බෝල ටිකක් දීල පලයන් කියලා. හරිහරියට උම්බලකඩ දාලා හදපු පාරු සම්බෝලේ ගැන මතක් කරන කොටත් කටට කෙළ උනනවා. ඒ විතරක්යැ. ඇළ දෙපැත්තේ ඉන්න කොල්ලෝ අපෙන් කොප්පරා කෑලි ඉල්ලනවා. අලූත් කොප්පරා කෑල්ල හරියට පුස්නාම්බු කෑල්ලක් තරමට රහයි. අපි උන්ට කොප්පරා කෑල්ලක් නොදුන්නොත්, උං මගදිගට කෑගහනවා. තන්ඩෙල් මාමේ, තන්ඩෙල් මාමේෟ බැල්ලිගෙයි බල්ලගෙයි කෝන්තරේ දන්නවාදෝ කියලා.’’
තවත් වතාවක ඔහු මෙසේ කීය. ‘‘පාරු රස්සාවට යනකොට මං උන්නෙ අලි අල්ලන්න පුළුවන් වයසේ. මොයිසයියාගේ පාරුවටයි, මුලින්ම පාරු රස්සාවට ගොඩවුණේ. එයා තමා අපේ තන්ඩෙල් රාළ. ඇළ දිගේ පාරුව යනකොට ඇළ ඉවුරට ගොඩවෙලා තේඩාවෙන් පාරුව අදින එක තමා මට පැවරුණු මුල්ම රාජකාරිය. ඊට පස්සේ පාරු බත ඉවිල්ල. හබලට අත තියන්න ලැබුණේ තවත් අවුරුදු ගණනාවක් ගතවුණාට පස්සෙ. පහුවෙනකොට ලොරියෙන්, කෝච්චියෙන් බඩු අදින එක ලාබයි කියලා හැමෝම ඒ පැත්තට ගියා. ඔහේට කියන්න, පාරු ගමන නතරවෙන දවස වෙනකල් මං වැඩ කළේ මොයිසයියාගේ පාරුවේ. ඒ කාලේ අපි ලොරි පහක දාන බඩු එක පාරුවේ දාගෙන පුත්තලමේ ඉඳලා නාගලගම් තොටළඟටත් තොටළඟ ඉඳලා හලාවත – පුත්තලමටත් ගෙනිච්චා.’’
මේ වයස්ගත පාරුකරුට අනුව එකල බොහෝ පාරුකාරයන්ට පටබැඳි නම් ඔවුන් පදිංචි ගම හා බැඳුණු ඒවා විය. තමා රැුකියාව කළ පාරුවේ කැපුන්ගොඩයා, දික් ඕවිටයියා, පමුණුගමයා, පිටිපන මල්ලී වැනි නම්වලින් හැඳින්වූ අය සිටි බව ඔහුට මතකය.
‘‘ඒ කාලේ අපි හලාවත, පුත්තලම් පැත්තේ ඉඳල ලූණු, කොප්පරා, පොල්, දැව වාගේ දේවල් පාරුවේ කොළඹට ගේනවා. ආපහු යනකොට හාල්, පිටි, සීනි, යකඩ බඩු වාගේ දේවල් අරගෙන ගියා. මේ ගමනේ ලස්සනම හරිය කොහේද කියලා ඔහේ දන්නවාද? හැඳල පල්ලියවත්තේ කැලණි ගඟ මෝය කට ළඟ ඉඳන් කැපුන්ගොඩ දිහාවට යනකල් ඇළ දෙපැත්ත හරිම ලස්සනයි. ළඟ ළඟ ගෙවල්. කෑම කඩ. රා කඩ. ගොඩබිම ඉඳල අපිත් එක්ක හිනාවෙන, කතා කරන උදවිය. ඉවුර දිගේ ඇවිදිමින් අඹරාවේ බැඳපු තේඩාව ඇදගෙන යන එක හරිම විනෝද වැඩක්. මහන්සිය ඇ`ගට දැනෙන්නෑ. හේල ජිලෝ – ජිලෝ ජිලෝ කියාන අපි තේඩාව ඇදගෙන යනවා. ඇළ ඉවුරේ ඉන්න කෙල්ලෝ ඒ වෙලාවට ඔළුව උස්සලා අපි දිහා බලන්නේ නැහැ. කට කැඩිච්ච කතා කියන්ට පාරුකාරයෝ ඒ තරමට ප‍්‍රසිද්ද නිසා.’’
කළපුවේදී පාරු ගමන රුවලේ ආධාරයෙනි. හබල උවමනා වන්නේ ගඟ දියේදීය. ඇළ දිගට තේඩා මඟින් පාරුව ඇදගෙන යන ගමන වෙහෙසකරය. ඇතැම් විටෙක ඒ ගමන මද්දහන ගිනිපූටකේය. එහෙයිනි, ඇළකන්දේ සහ උස්වැටකෙයියාවේ රා තැබෑරුම් ඔවුන්ගේ ප‍්‍රසිද්ද තිප්පොල වනුයේ.
‘‘රා පොල් කට්ටක් බිව්වාට පස්සේ අඹරාව ඇදගෙන යන එක කජු කනවා වාගෙ වැඩක්. උස්වැටකෙයියාව පහු වුණාට පස්සේ ආයෙමත් පාරු බත උයන්නේ නැහැ. කෙළින්ම තොටළඟ කඬේ ළඟ තමා නතර වෙන්නෙ. එතැන බත් මුට්ටි-වෑංජන හට්ටි සේරම කඬේ ඉස්සරහ ලණු මැස්සක තියල තියෙනවා. බත් කඬේ අයිතිකාරි අපි සේරටම ඒ හැළිවලින් බත් වෑංජන බෙදලා දෙනවා. අපි ඒ බත් පි`ගන් අරන් කඬේ ඇතුළට ගිහිල්ලා කනවා. නැතිනම් කෙසෙල් කොළේක ඔතාන ගොහින් තොටළඟ රා තැබෑරුම ළඟ ගස් හෙවණකට වෙලා කනවා. තන්ඩෙල් රාළලාට නම් බත් කඬේදී ලැබෙන්නේ විශේෂ සැලකිලි. ඒ අයට බෙදාගෙන කන්න මාළුපිනි වෙනම තියනවා. පුඃ එතැන බතේ රහ. උණු උණු සම්බා බත්, තෙම්පරාදු පරිප්පු හොද්ද, කිරි මාළු වෑංජනය, පොළොස් මැල්ලූම, ලූණු-මිරිස් අච්චාරුව. මහත්තයා හාර හාර මේ කතා අහන නිසා බත් කඬේ අයිතිකාරි ගැනත් යමක් කියන්නම්කෝ. ඒකි කට්ට කළු තරබාරු එකියක්. ඒකිගේ දරුවොත් බැඳල. ඒ වුණාට පාට පාට කම්බායකුයි ඇ`ගට කිටිකිටියේ හිරවෙන්න බොඩියක් වගේ අත් නැති හැට්ටෙකුයි ඇඳල ඉන්න වෙලාවට ඒකි දිහා දෙපාරක් බලන්න හිතෙනවා. බත් බෙදනකොට අපි හැමෝගෙම ඇහැ යන්නේ ඒකිගේ පපුව දිහාවට. අපේ සමහරු ඒකිත් එක්ක ආල කතා කියනවා. ඒකිත් ආසයි එහෙම කතාබහට. හැබැයි එච්චරයි. ඊට එහා යන්ට බැහැ. ගියෝතින් එහෙම, සලකන්න බලාන තොටළඟ අයියලා වටේට ඉන්නවා.’’
මේ කතාව අප හා කීවේ තවත් දවසක තවත් වේලාවක රෝගුස් අයියා අපට හඳුන්වා දුන් තවත් පාරුකාරයෙකි.
‘‘ඔය වගේ අපි නිතරෝම යන තවත් කෑම කඩයක් ගැන මට හොඳට මතකයි. ඒක තිවුණෙ පල්ලන්සේන හරියේ. හු`ග වෙලාවට අපි එතැන නතර වුණේ පුත්තලමේ ඉඳලා එමින් ගමන. ඒ කෑම කඬේ ආප්පයක් නෑඹිලියක් තරම් ලොකුයි. කඬේට ගොඩවෙලා ආප්පයි සීනි සම්බෝලයි කන එක පුරුද්දට වගේ කෙරුණු දෙයක්. ඔය කියන පල්ලන්සේන හරියේ ඉඳලා මීගමු කළපුවට පැය එකහමාරක විතර ගමනක් තිවුණෙ. කළපුවට ඇවිත් රුවල් දාන වෙලාවට හොඳට හුළං තිවුණොත් පාරුව යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. නැතිනම් ඉතින් පාරුව ගෙනියන්න රිටි ගහන්ට ඕනෑ. හැබැයි ඒ වෙලාවට බාදියට අහුවුණොත් නම් ගමන සුනංගු වෙනවා.’’
ලන්දේසින්ගේ සහ ඉංගී‍්‍රසින්ගේ කාලයේ සිට නවසිය තිස්ගණන්වල අග භාගය දක්වා කොළඹ, හලාවත, පුත්තලම ආශි‍්‍රතව භාණ්ඩ ප‍්‍රවාහනයට යොදා ගත් මේ පාරු සඳහා පාරු බද්දක් අය කරන ලදි. භාණ්ඩ පැටවූ දිගින් අඩි පනහකට අඩු පාරුවක් සඳහා තොටුපොළ ගාස්තුව රුපියලයි සත පනහකි. භාණ්ඩ පටවා නැතිනම් සත හැත්තෑපහකි. තමා පාරු රැුකියාව කළ කාලයේ ඉස්තරම් කොප්පරා පාරමක මිල රුපියල් හතළිහක් පමණ වූ බව නුගපෙ ජෙමයියා අප සමග කීය. මුතු සම්බා මිටියක් රුපියල් දොළහකි. කුරුඳු රාත්තලක් සත තිහකි.
පාරු කෙරුවාව කළ ඇත්තන්ගේත් මුහුදු රස්සාව කළ ඇත්තන්ගේත් කතා විලාසයේ ඇති විවිධත්වය ගැන වතාවක රෝගුස් අයියා අප දැනුවත් කළේය.
‘‘දැන් මේ පැත්තේ මුදු රස්සාව කරන ඇත්තෝ කතා කරන කොට ‘අපි එහෙනම් යනවා’ කියලා කියන්නේ නැහැ නේද? ඒගොල්ලෝ කියන්නේම අපි එහෙනම් යංඤ්ඤං, නැත්නම් ගංඤ්ඤං, බලංඤ්ඤං කියලා. මං දන්න තරමට පාරුරාළලාගෙ එහෙම කතාවක් නැහැ. ඒ වාගේමයි. ‘නේදෑ (දෑදෑ*’ කියන එක. මූදු රස්සාව කරන අය හු`ගවෙලාවට ප‍්‍රශ්නයක් අහල ඉවර කරන්නේ ‘නේදෑ’ කියලා දිගට ඇදලා. තවත් කතාවක් තියෙනවා මූදුකරේ කට්ටියගෙ, ‘තෙල් ඌරු මස් කෑල්ලක් කන්නට තියේ නම් බිම් ඉඩම් කෑල්ලක් විකුණුණත් මොකෝ’ කියලා. හැබැයි පාරුරාළලා නම් රා බොන්ඩ උපන් කට්ටියක් උනත් උන් මස් ජාති පාරුවට වැද්ද ගත්තෙ නැහැ.’’ මේ රෝගුස් අයියා කියූ කතාවකි.
පාරුකාරයන්ගේ කතාබහේ ඇති විවිධත්වය ගැන වඩාත් පැහැදිලි චිත‍්‍රයක් මට දැකගත හැකි වූයේ ඇඞ්ඩිං උන්නැහේ නමින් රෝගුස් අයියා හඳුන්වා දුන් තැනැත්තා කියූ කතාවක් හේතුවෙනි. හැඳල ඇළේ පාරු පමණක් නොව මගී බෝට්ටුද ගමන් කළ බව ඔහුට මතකය. ඔහු ඒ කතාව කීවේ පාරුකාරයන්ටම ආවේණික කතා විලාසයකිනි.
‘‘ඔන්න ඉතින් ? දොළහට විතර පුල්ලූහේන පාලම ළඟට එනවා ලොකු බෝට්ටුවක්. ඒ එන්නෙ නුගගහමුල පාලම ළඟ ඉඳලා. පුල්ලූහේන පාලම ළඟදී බෝට්ටුකාරයා හක්ගෙඩිය පිඹිනවා. ඒ බෝට්ටුවේ යන උදවිය කැඳවන්ට. සමහරු එතකොටත් එතැනට ඇවිත් බෝට්ටුව එනකල් බලාන ඉන්නවා. පුල්ලූහේනෙන් බෝට්ටුවට ගොඩවෙන වැඩි පිරිස වෙළෙඳාමට කොළඹ යන උදවිය. දිය පොල් ගෙනියන අය එහෙමයි. බිත්තර ගෙනියන අය එහෙමයි. එළවළු පලා ගෙනියන අය එහෙමයි. ගෑනු -පිරිමි දෙගොල්ලෝ සමෝසමේ. ඊළඟට බෝට්ටුව නතර කරන්නෙ උස්වැටකෙයියාවේ. එතකොට එළිය තියෙනවා නොතියෙනවා වාගෙ වෙලාව. ඇළ දිගේ ඇවිල්ලා ගඟට සේන්දු වුණාට පස්සෙ තොටළඟට යන්නෙ සුරුස් ගාල. එතකොට හද්ද පාන්දර. පමුණුගන් පොල් තොටළඟ පොළේ හරිම ප‍්‍රසිද්ධයි.’’
අඹරා පාරුවක් අඩි පනහක් පමණ දිගය. අඩි දහයක් දොළහක් පළලය. හැඳල ඇළේ පාරු දෙකක් එක ළඟ මාරු වන විට මුතුරාජවෙලටත් එහා ඇසෙන තරම් මහා කෑකෝගැසීමකි. එවැනි අවස්ථාවක එදිරිවාදුකාරයන්ගේ පාරුවක තේඩා පන්නන පාරුකාරයෝද වූහ. එය ගෝරියකට මුල පිරීමකි.
පාරුවේ වහල පොල් අතු සෙවිලි කළ දෙපියස්සකින් සමන්විත වූවකි. පාරු කුස්සියේ තේ හැළිය රත් නොවී තියෙන වේලාවක් නැති තරම්ය.
රෝගුස් අයියාගේ මතකයට අනුව ඒ කාලයේ – නවසිය තිස් ගණන්වල මැද හරියේ ඇළබඩ සිටියවුන් ගත කළේ සමෘද්ධිමත් ජීවිතයකි. ඔහු පැවසූ ආකාරයට ඒ කාලේ අපේ ගමේ යමක්කමක් තිබූ පවුල්වල තරුණියන් ඇ`ගලෑවේ පියර්ලස් ඉරාස්මික් සබන්ය. කියුටිකියුරා පුයරය. තරුණයන් අත තිවුණේ එලිෆන්ට් සිගරට් ටින්ය. ගමේ ප‍්‍රභූවරුන්ගේ හිස මත වූයේ පිටරටින් ගෙන්වූ ට්‍රොපිකල් හෙල්මට් තොප්පිය. කෝට් සාක්කුවල වූයේ වේලාව පනින ලිවර් සාක්කු ඔරලෝසුය. මාසයකට හමාරකට සැරයක් කොළඹ ගොස් සිනමාවක් බැලීම ඒ බොහෝ දෙනෙකුගේ පුරුද්දක් විණ.
එකල බස්නාහිර පළාතේ මහදිසාපති තැන තම දෛනික වාර්තාවේ 1937 ඔක්තෝබර් 29 දාතමින් ලියූ සටහනේ ‘‘මේ පළාතේ උදවිය සෑහෙන සමෘද්ධිමත්, විනෝදකාමී පිරිසක් බව’’ සඳහන් කර ඇත්තේ ඒ නිසා විය යුතුය. රාජකාරි කටයුත්තක් සඳහා ඔහු එදින කාරයෙන් හැඳලට පැමිණ හැමිල්ටන් ඇළ දිගේ බෝට්ටුවකින් පමුණුගමට ගිය ගමන ගැන සඳහන් කරැුත්තේ එය අතිශය පී‍්‍රතිජනක ගමනක් වූ බව කියමිනි. (මා මේ ලේඛනය කියැවූයේ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවකදීය)
රෝගුස් අයියා, මාර්තක්කා, නුගපේ ජෙමයියා ආදින් ගැන මට නැවත මතක් වූයේ මේ ඊයේ පෙරේදා පරණ ලියවිලි වගයක් සොයන විට ඇස ගැටුණු නෝට් පොත් කීපයක් හේතුවෙනි. ඒ නවසිය හැත්තෑව තරම් ඈත කාලයක රෝගුස් අයියා සමග හැඳල ඇළ දිගේ ගමන් යන විට රැුගෙන ගිය නෝට් පොත්ය. ඩිමයි කඩදාසියේ පැන්සලෙන් ලියූ ඒ සටහන් පිටු බොහොමයක් දුර්වර්ණව තිබුණෙන් ඒවා කියැවීමට මහත් ආයාසයක් දැරීමට සිදු වූවත් එය බොහෝ දෑ නැවත සිහිකැඳවන්නට හේතුවක් විණ. ඇළ කණ්ඩිය දිගේ ඉබාගාතේ ඇවිද ගිය ගමන් ගැන නැවත මතක් වීම වුව කිසියම් නන්දනීය හැ`ගීමක් දනවන්නක් විණ. එම සටහන් අතර වූ එක් කියමනකින් මෙම ලියවිල්ල නිමා කරමි. මේ කතාව, මට හමු වූ පාරු රස්සාව කළ අයෙකුගෙන් රැුකියාව නතර වූ කාලය ගැන විමසූ විට ඔහු පැවසූ දෙයක් යයි අනුමාන කරමි. එය කී තැනැත්තා කවුරුන්දැයි කිව නොහැක්කේ ඒ ගැන ලියූ කොටස කියවන්නට බැරි තරමට දුර්වර්ණව තිබූ බැවිනි.
‘‘පාරු රස්සාව කරපු කාලෙ අපේ අතේ හොඳට සල්ලිය බාගෙ තිබුණා. ගමේ හිටියේ රජා වාගෙ. ගෙදර ඉන්න දවසට නෑදෑ යාළුවන්ගෙන් ගේ පිරිලා. ඇට්හෝම් ගේක වාගේ කෑමබීම. කෙනෙකුට ඕනෑ ඊළඟ වතාවේ පුත්තලමේ ඉඳලා එනකොට හොඳවැයින් ජාඩි ටිකක් ගේන්න. තවකෙකුට ඕනෑ තොටළඟින් එනකොට රටකෑම ටින් එකක් ගේන්න. පාරුවේ තන්ඩෙල් රාළ ගමේ ලොක්කෙක්. මං වැඩකළ පාරුවේ තන්ඩෙල් රාළ පවුල් තුනක් හොඳ අපූරුවට නඩත්තු කළා. කවුරුවත් ඒ ගැන ‘හ්ම්’ කිව්වේ නැහැ. ඔහොම ගිහිල්ලා, නවසිය තිස්ගණන්වල අන්තිම කාලේ වෙනකොට කොප්පරා ගාණ බැස්සා. ලොරි, වෑන් ගමන වැඩි වුණා. රේල්ලූ ගමනත් ඒ වාගේ. බඩු භාණ්ඩ එහාට මෙහාට යවන්න පාරුවට පටවන එක පරණ තාලේ වැඩක් වුණා. ඔන්න උන්හිටිහැටියේම පාරු ගමන නතර වුණා. මුළු ජීවිතේම පාරුවට දුන්නු අපි සතියෙන් දෙකෙන් අවලංගු කාසි වාගේ වුණා. පාරු රස්සාවම කරපු අපි වෙන රස්සාවක් කරන්න දැන උන්නෙ නැහැ. ඇළ අයිනේ තිවුණු කඩ සේරම වැහුණා. අපේ ජීවිතත් පාරුවත් එක්කම වතුරට ඇදගෙන ගියා වාගේ වුණා.’’

සහෝදර නිලධාරීන්ද මරා, සමයංද මරාදැමූ කළුතර බන්ධනාගාර ඝාතන කුමන්ත‍්‍රණය

0

 

අනුරංග ජයසිංහ

අරුණ උදයන්ත පතිරණ නම් වූ අප කතානායකයා ඝාතනය කරද්දී ඔහු සිටියේ සිරගතව නොව බන්ධනාග ාරගතවය. සැකපිටය. ඔහුට උසාවි හතරක නඩු අටක් පමණ තිබුණු බව ඇත්තය. ඔහුගේ ‘සමයං’ යන නම පාතාල කල්ලියක නායකයෙකු ලෙස ප‍්‍රසිද්ධ වී සිටි බව ඇත්තය. එහෙත් නීතියට අනුව ඔහු කිසිම වරදකරුවෙක් නොවේ. ඒ බව හොඳින් අවබෝධ කරගැනීම වැදගත්ය. සමයං ගැන ලියූ පුවත්පත්, මාධ්‍ය සාකච්ඡුා තැබූ පොලිස් නිලධාරීන් හෝ අදහස් පළකළ ඕනෑම අයෙකුට තව පුද්ගලයෙකුගේ ජීවිතය ගැන තීන්දු ගැනීමේ අයිතියක් නැත. ඒ නිසා සමයං ඝාතනය ලංකාවේ බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ ලැජ්ජා සහගතම අපරාධ අතරේ තවත් එකක් බව අපි දැඩිව කියන්නෙමු.
2017 පෙබරවාරි 27 වැනිදා අරුණ උදයන්ත, සුරංග ප‍්‍රසන්න කුමාර, කැලූ‍ම් ප‍්‍රියංකර පෙරේරා, තිලක් මාලික්කගේ සහ කෝරලගේ අමිල ප‍්‍රසන්න සම්පත් නම් වූ සැකකරුවන් පස්දෙනෙකු කළුතර බන්ධනාගාරයේ සිට ඇති පිටවුම් මාර්ගයේදී ඝාතනයට ලක්විය. එන්.පී. 1847 අංකය දරන බන්ධනාගාර බස්රියේ ඔවුන් රඳවා තිබුණි. පසුපසින් එන්.ඒ. 8443 අංකය දරන තවත් බන්ධනාගාර බස්රථයක් පැමිණියේය. එහි සිටි බන්ධනාගාර නිලධාරීන් වන ජේලර් එස්.ආර්. විජේරත්න සහ බන්ධනාගාර ආරක්ෂක එස්. ධර්මිකන්ද එදා ඝාතනය කෙරුණි. නිලධාරීන් තිදෙනෙක් ආබාධිත වූහ. දැන් ඒ සිදුවීම් යටපත්ව ගොස්ය. ඒ අපරාධයට වගකිව යුතු අපරාධකරුවන් පාතාල ලෝකයේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන් අතරද සිටින බව එදාම පැහැදිලි විය. දැන් ඒ පිළිබඳව කරුණු සහතික කරන විශේෂ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවක්ද ඇත. එහෙත් කිසිදා මේ අපරාධකාර නිලධාරීන්ට දඬුවම් නොලැබෙනු ඇත.
අපරාධය සිදුවූ දිනයේදීම මේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට විෂයභාර අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි. හිටපු මහේස්තත‍්‍රාත් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රූමි මර්සුක්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන එස්. මැදවැව, හිටපු නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මේ කමිටුවෙහි සාමාජිකයෝ වූහ. පුරවැසියෙකු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ලබාගත් එම ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව මත අපි එදා කතාව ප‍්‍රතිනිර්මාණය කරන්නෙමු.

අරුණ
අරුණ පළමු නීත්‍යනුකූල විවාහයෙන් දික්කසාද නොවී තවත් විවාහයකට ලියාපදිංචි වෙන්නේය. පළමු විවාහයෙන් වයස අවුරුදු දහයක පුතෙකි. දෙවැනි විවාහයෙන් වයස අවුරුදු දෙකක දියණියකි. දෙවැනි දරුවා අරුණ කිසිදා දැක නැත.
අරුණගේ මව අපරාධය සිදු වෙද්දී දැඩි අසනීපයෙන් එක්තැන්ව සිටියාය. ඇය බලාගන්නේ අරුණගේ දෙවැනි බිරිඳය. අරුණ බොහෝ වැරදි ක‍්‍රියා කර ඇතත් සිරෙන් නිදහස් වූ විගස මේ ජීවිතයෙන් මිදී විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් සිටි බව දෙවැනි බිරිඳ කියන්නීය.

සීආර්පී සහ වැලිකඩ
2014 ජුනි මාසයේදී අරුණ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත. මුලින්ම අරුණ බන්ධනාගාරගත කරන්නේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේය. අරුණට මරණ තර්ජන ඇති බව කියන්නේ ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ සිටමය. එදා සිට ඒ බව ලිඛිතව කියූ බන්ධනාගාර නිලධාරීන්, ජේලර්වරුන් මෙන්ම අරුණගේ නීතිඥවරුන්, බිරිඳ සහ අරුණගේ කටඋත්තරද තොග ගණන් කමිටුවට ඉදිරිපත් වී වාර්තාවෙහි අමුණා ඇත. 2015 සැප්තැම්බර් 23 වැනිදා අරුණ උදයන්තට කඩුවෙල අධිකරණ භූමියේදී වෙඩි තබන්නේය. පළමු ඝාතන උත්සාහය එයයි. එය අවසාන උත්සාහය විය යුතුව තිබුණි.
2016 ඔක්තෝබරයේ අරුණ කළුතරට යවන්නට හේතුව වී තිබුණේ එවකට අරුණ නවත්වා තිබුණු වැලිකඩ බන්ධනාගාරයේ වයි ඕ වාට්ටුවේ කරන්නට සූදානම් වූ අලූ‍ත්වැඩියාවකි. අලූ‍ත්වැඩියාව මාස දෙකකට නියමිතව තිබුණි. 2016 ඔක්තෝබර් අරුණ කළුතරට යවනු ලැබීය. එහෙත් මාස දෙකට නියමිතව තිබුණු අලූ‍ත්වැඩියාව මාස ගණනක් ඇදීගියේය. අරුණ 2017 පෙබරවාරි මාසය අවසන් වන තෙක්ම කළුතර රැුඳුණේ ඒ විදියටය. කළුතර අනාරක්ෂිත බව අරුණ මෙන්ම ඔහුගේ බිරිඳවද ලිඛිත ප‍්‍රකාශයන් හරහා කියා තිබුණි.

සිරගෙදර ෆේස්බුක් හා සෙල්ෆි
අරුණගේ සිරගෙදර පුරුදු රැුසක් කමිටුව පෙන්වාදෙන්නේය. මේ තත්වයන් බන්ධනාගාරවල සිටින සිරකරුවන් බොහෝ දෙනෙකුට පොදු තත්වයන්ය.
අරුණ බන්ධනාගාරයේදී නිතිපතා ජංගම දුරකථන පාවිච්චි කර ඇත. අරුණ සිටි සිරකුටියෙන් ජංගම දුරකථන තුනක් සොයාගෙන ඇති අතර දෙවැනි බිරිඳද කියා ඇත්තේ තමන් සමඟ අරුණ දිනපතා දුරකථනයෙන් කතාකළ බවයි.
දුරකථනයෙන් කතාකිරීමෙන් නොනැවතී අරුණ ෆෙස්බුක්ද ගොස් ඇත. අරුණ උදයන්තගේ ෆෙස්බුක් ගිණුම ඔහු බන්ධනාග ගතව සිටි සම්පූර්ණ කාලයේදී ක‍්‍රියාත්මක කරන්නෙන් අරුණ විසින්මය. 2015 මැතිවරණයේදී අරුණ විසින් සුජීව සේනසිංහට දැඩි සහයෝගයක්ද ෆෙස්බුක් ගිණුම හරහා ලබාදී ඇති බව ඔහුගේ ෆෙස්බුක් ගිණුම නිරීක්ෂණය කළ අයෙකුට අද වුව දැකිය හැකිය. එපමණක් නොව ස්කයිප් හරහා මිතුරන්ගේ සාදවලටද ඔහු එක්ව ඇත. අරුණට තර්ජන තවත් වර්ධනය වී ඇත්තේද ඒ මාධ්‍ය හරහාය.
ඊසිකෑෂ් වැනි ක‍්‍රම හරහා ඔහු බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් මුදල් ගනුදෙනු කර ඇත. අරුණට මාංචු හරිහැටි දමන්නේ නැත. එපමණක් නොව අරුණ සිරගෙදරදී පුුරුද්දක් ලෙස තමන්ගේ රන් ආභරණද පැළඳ සිට ඇත. ඒ සියල්ල සඳහා දුෂිත බන්ධනාගාර නිලධාරී තන්ත‍්‍රය සහාය දක්වා ඇත. එපමණක් නොව අරුණ මේ නිලධාරීන් සමඟ සෙල්ෆිද ගෙන ඇත. තත්වය කෙතරම් ඩෂිතද යන්න එයින්ම පැහැදිලි වෙයි. මේවා අරුණට සීමා නොවූ අදත් බන්ධනාගාර සම්ප‍්‍රදායේම කොටස්ය.

බස්රථ
ඒ දිනයේ මහේස්ත‍්‍රාත් අධිකරණ හයකට කළුතර බන්ධනාග ාරයෙන් සැකකරුවන් ගෙන යා යුතුව තිබුණි. අරුණ සිටි බස්රියට පෙර බස් තුනක් පිටවිය. මොරටුව මහේස්ත‍්‍රාත් උසාවියට බස් රථ උදෑසන 6.50ට පිටවී ඇත. ඒ සැකකරුවන් 35ක් සමඟය. පානදුර මහේස්ත‍්‍රාත් උසාවියට ගිය බස්රථ 6.55ට පිටවී ඇත. ඒ සැකකරුවන් 51ක් සමඟය. හොරණ මහේස්ත‍්‍රාත් උසාවිය බලා උදෑසන 7ට බස්රියක් පිටවී ඇත. ඒ සැකකරුවන් 17ක් සමඟය. බස්රථ පිටවූ ආකාරය සැකයන් ගණනාවක් මතු කරයි.
කඩුවෙල මහේස්ත‍්‍රාත් උසාවියට යා යුතුව තිබුණු, ප‍්‍රහාරයට ලක්වූ බස්රථ දෙක පිට වී තිබුණේ ඉහත අන්තිම බස් රියෙන් පැය 1.30කට පසුවය. එනම් උදෑසන 8.30ටය. ප‍්‍රහාරකයන්ට ප‍්‍රහාරය සඳහා සූදානම් වීමට පැය එක හමාරක කාලයක් ලැබී ඇත. එමෙන්ම ඒ පැය එකහමාර නිසා ප‍්‍රහාරකයන්ට මුලින් පිටවූ බස් රථවලින් වෙන්කොට අරුණ ඇතුළු පිරිස පැමිණි බස්රථ හඳුනාග ැනීමට හැකිවී ඇත.
බස් රථය පිටවූ වෙලාව නිවැරදිව ගේට්ටුකරුගේ සටහන් පොතේ සටහන් වී නොතිබීමද සැකයට කාරණයකි. එහි සටහන් වී ඇත්තේ බස්රිය 7.20ට පිටවූ බවයි.
අරුණගේ ආරක්ෂාවට එදා සිටි නිලධාරීන් අතරින් සිව්දෙනෙක්ම පෙර දා පාන්දර දෙකට වැඩමුරය අවසන් කර ඇති නිලධාරීහුය. සේවකයන් මඳ වීම නිසා පුරුද්දක් ලෙස පාන්දර සේවය අවසන් කළ නිලධාරීන් පසුවදා සැකකරුවන් රැුගෙන යෑම සිදුකරන බව බන්ධනාගාරයෙන් කියයි. එහෙත් එදින බන්ධනාගාර නිලධාරීන් 18 දෙනෙකු ලිඛිත හේතු නොමැතිව, නිසි සටහන් යෙදීම් නොමැතිව නිවාඩු ගොස් තිබුණි.
බස්රථ දෙකෙන් එකක් ගියේ ආරක්ෂාවටය. බස් රථ දෙකෙන් එකක පමණක් සැකකරුවන් සිටීමද සැකයට හේතු වී ඇත. එසේ සැකකරුවන් එක බස්රියක ගියත් එය පසුපසින් යා යුතු වුවද එය ගොස් ඇත්තේ ඉදිරියෙන්ය. සැකකරුවන් බස්රියේ බිම දිගාවී සිට ඇත්තේ ආරක්ෂාව වෙනුවෙනි. ඒ් නිසා පිටින් බලන්නෙකුට සැකකරුවන් සිටි බස්රියේ කිසිවෙකු සිටින බව නොපෙනෙයි. එහෙත් නියමිත බස්රිය මෙන්ම ඒවායේ සැකකරුවන් ස්ථානගත වී සිටි ආකාරය වෙඩි තැබූ අය දැන සිටියෝය. වෙඩි තබන්නේ බස්රියේ කඳ පසාරු කරමිනි. මෙවැනි විශේෂ අවස්ථා සඳහාවත් වෙඩි නොවදින රථ ලබාදීම ගැනවත් රජයට වුවමනාවක් තිබී නැති වීම තවත් බරපතළ කාරණයකි.
ආරක්ෂාව ගැන මළපොතේ අකුරු නොදත් බන්ධනාගාර නිලධාරීනට එදා ආරක්ෂාව සැපයීම භාර විය. එදා සිටි බන්ධනාග ාර නිලධාරීහු වෙඩි තැබීම ගැන අයනු ආයනු දැන නොසිටියෝය.

පොලිස් ආරක්ෂාව
සාමාන්‍යයෙන් මෙලෙස සැකකරුවන් රැුගෙන යද්දී පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන්නේය. ඒ අනුව කළුතර උතුර පොලිස් ස්ථානයෙන් ආරක්ෂාව ඉල්ලා ඇතත් ස්ථානාධිපති විසින් ආරක්ෂාව සපයා නැත. තමන්ට ආරක්ෂාව ලබාදිය නොහැකි අවස්ථාවක කළයුතු පරිදි, විකල්ප ආරක්ෂාවක් ගැන සොයාබැලීමද ඔහු සිදුකර නැත. ත‍්‍රිපුද්ගල කමිටුව මේ තත්වය ගැන සැක පහළ කර ඇත. සිදුවීමට පෙර මාස පහක කාලය තුළදී පොලීසියෙන් බන්ධනාග ාරය ආරක්ෂාව ඉල්ලා ඇති 41 වතාවකින් 31වතාවක්ම ආරක්ෂාව ලබා දී ඇත.

නියම වෙලාවට එති
බන්ධනාගාරයේ සිට පිටවුණු මාර්ගයේ මීටර් 900ක් දුරින් ඇති එතනමඬල නම් ප‍්‍රදේශයේදී උදෑසන 8.40ට හත්දෙනෙකුට මරු කැඳවූ ඒ ප‍්‍රහාරය එල්ල විය. ප‍්‍රහාරකයෝද නියමිත වෙලාවටම එතනමඬලට පැමිණෙන්නෝය. ඔවුන් එතැන මඟ රැුක සිටියෝ නොවෙති. බස්රිය එනතුරු ඔවුන් එතැන බලා සිටි බවට සාක්ෂි නැත. බස්රිය එන වෙලාව නිවැරදිවම දැන හරියටම ඒ වෙලාව වෙද්දී එතැනට පැමිණි බවට සාක්ෂි ඇත.
ඩබල් කැබ් රථයකින් මාර්ගය හරස් කෙරුණි. ප‍්‍රහාරය එල්ලකිරීමෙන් පසුව වෑන් රථයකින් පලාගොස් තිබුණි. පාරේ වම් පැත්තේ සිට පිරිසක් සහ මාර්ගයේ සිට තවත් පිරිසක් වෙඩි තබා ඇත. හමුදා පුහුණුවක ලක්ෂණ පෙන්වමින් පූර්ණ සැලසුම් සහගත ආකාරයෙන් ස්වයංක‍්‍රීය ගිනිඅවි හසුරුවමින් ප‍්‍රහාරය එල්ල කර ඇත.
ප‍්‍රහාරය විනාඩි තුනත් හතරත් අතර අවසාන වී තිබුණි. එය චිත‍්‍රපටිවල එන අන්දමේ ඉහළින්ම සැලසුම් කළ ප‍්‍රහාරයකි. නිලධාරීන් කිසිවෙකුට කිසිදු ප‍්‍රතිචාරයක් දැක්විය නොහැකි විය. ඝාතනයට ලක්වූ එස්. තර්මිකන් නම් නිලධාරියා පමණක් වෙඩි තබන්නට උත්සාහයක් ගෙන ඇත.
අරුණ ඇතුළු‍ සැකකරුවන් රැුගෙන යන දිනය, නියමිත වෙලාව පසුවී හරියටම 8.40ට පැමිණෙන බව, පොලිස් ආරක්ෂාව නොලැබෙන බව, සියල්ලන් එකට පැමිණෙන බව, සැකකරුවන් සිටින්නේ කුමන බසයේද, ආරක්ෂක නිලධාරීන් සිටින්නේ කුමන බසයේද යන්න පමණක් නොව වීදුරුවෙන් නොපෙනුණත් බිම දිගාවී සැකකරුවන් සිටින බවද, ඒ අය සිටි ස්ථානද නිවැරදිවම ප‍්‍රහාරය එල්ලකළ අය දැන සිටියෝය. ඒ සියල්ල බන්ධනාගාරයෙන් ලද තොරතුරු මත දැනගත් කරුණු විය යුතු බවත් ඒවා පිළිබඳව පරීක්ෂණ කළයුතු කමිටුව විසින් පෙන්වා ඇත.
බන්ධනාගාරවල බුද්ධි අංශ ක‍්‍රියාත්මක වෙන්නේ මෙවැනි අවස්ථා ගැන බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහාය. විශේෂයෙන් අරුණ ජංගම දුරකථන පාවිච්චි කිරීම වැනි කරුණු පවා බුද්ධි අංශවලට සොයාගත හැකිව තිබුණු ඒවාය. තොරතුරු පාතාලය සමඟ හුවමාරු කරගත් අයද පහසුවෙන් සොයාගත හැකිව තිබුණි. එහෙත් බන්ධනාගාරවලට වෙඩි තැබීමට නොදත් ආරක්ෂකයන් මෙන්ම තොරතුරු නොදත් බුද්ධි අංශයක් සිටියේය.
හෙට වුව මෙවැනි අපරාධයක් යළි සිදුවිය හැකි බවද සිහිතබා ගත යුතුය. ඒ බන්ධනාගාරයේ තත්වයන් අදත් වෙනස් වී නැති නිසාය. එදා මියගියේ සැකකරුවන් කිහිපදෙනෙකු පමණක් නොවේ. එදා බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක්ද මිය ගියෝය. එදා බන්ධනාගාරය ඇතුළෙන්ම පහසුකම් සැලසුණේ අපරාධ සැකකරුවන් කිහිපදෙනෙකු ඝාතනයට පමණක් නොවේ. තම සහෝදර නිලධාරීන්ද ඝාතනය කරන්නටය. ඒවාට පහසුකම් සැලසූ අය අදත් යහතින් සිටින්නෝය. ඒවා ගැන අදත් නිසියාකාර විමර්ශනයක් නැත. ඒ නිසා මුළු‍ රටම නිර්දෝෂී බව දන්නා කෙනෙකුට වුව හෙට සැකපිට බන්ධනාග ාරගතව සිටියදී වෙඩි තැබිය හැකිය. ඉන්පසුව මාධ්‍ය හරහා වෙඩි කෑ කෙනා අපරාධකරුවෙකු කොට අත පිසදාගත හැකිය.

දුෂිතයන්ගෙන් අධිකරණය බේරාගැනීම

0

 

උපුල් කුමරප්පෙරුම

මේ රට කළමනාකරණය, පාලනය සහ නියාමනය සඳහා අනේකවිධ නීති සම්පාදනය වී ඇත. ලන්දේසි සමයේදී ස්ථාපිත කළ ලංකාවේ අධිකරණ ක‍්‍රමය තුළ කි‍්‍රයාත්මක වූ රෝම ලන්දේසි නීතිය ඉන්පසුව රට පාලනය කරනු ලැබූ ඉංග‍්‍රීසින් විසින් හඳුන්වාදෙනු ලැබූ ඉංග‍්‍රීසි නීතිි සම්ප‍්‍රදායයන්ද ඇතුළුව අද වන විට මෙරටෙහි රෝම ලන්දේසි සහ ඉංග‍්‍රීසි නීති සම්මිශ‍්‍රණයව සෑදුණ නීතිි සම්ප‍්‍රදායයක් පවතින අතර එයට අමතරව සාම්ප‍්‍රදායිකව පැවතෙන ඇතැම් පුද්ගල නීති සහ රටේ පවතින සිරිත් පසුකාලීනව නීති බවට පත්ව නීති ක‍්‍රමය තුළ දක්නට ඇත.
ලන්දේසි යුගයේ මුහුදුබඩ පාලනය කළ ලන්දේසීහු මුහුදුබඩ පාලනය සඳහා රෝම ලන්දේසි නීති ක‍්‍රමය හඳුන්වා දුන්නෝය. එහිදී පරමාර්ථය වූයේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් මෙරට වෙළෙඳ කටයුතු ආරම්භ කිරිමත් සමග එම වෙළෙඳ සමාගමේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ඔවුන්ගේ පාලන ප‍්‍රදේශයන්හි නීතියේ පාලනයේ අවශ්‍යතාව, පොලීසියක පැවැත්මේ අවශ්‍යතාව හා අධිකරණ පැවැත්මක අවශ්‍යතාවයි. ඒ අනුව රාද්වැන් ජුස්තිතිි (මහාධිකරණ) නම් අධිකරණයක් පිහිටුවූ අතර එය මරණ දඬුවම පැනවිය හැකි බලය තිබුණු අධිකරණයක් විය.
ලන්දේසින් ලංකාව වටා ඇති මුහුදුබඩ ප‍්‍රදේශ දිස්ත‍්‍රික්ක පහකට බෙදා වෙන්කළ අතර එම ප‍්‍රදේශ කොළඹ, යාපනය සහ ගාල්ල වශයෙන් අධිකරණ දිස්ත‍්‍රික්ක තුනකට බෙදනු ලැබීය. ලන්දේසි අධිකරණවල අධිකරණ කටයුතු කළේ අණපනත්, පූර්ව නඩුතීන්දු, නීති විශාරද මත, සිරිත් සහ ආගම ඇසුරෙනි. 1796දී බි‍්‍රතාන්‍යය ලන්දේසින් පලවා හැර 1802දී බි‍්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට රට පත්කරගන්නා ලදි. ඔවුන් මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලාගත් පසු 1799 සැප්තැම්බර් 23 වන දින දරන ප‍්‍රඥප්තිය මගින්, ලන්දේසි නීතිය යටතේ තිබී අත්පත් කරගත් ප‍්‍රදේශවල තවදුරටත් ලන්දේසි නීතිය කි‍්‍රයාත්මක විය යුතු බවට ප‍්‍රකාශයට පත්කළ නමුත් ලන්දේසි අපරාධ නීතිය කි‍්‍රයාවේ යෙදවීම නතර කරන ලදි. අද පවතින්නේ ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ අධිකරණ සම්ප‍්‍රදායයි. 1815දී පූර්ණ යටත් විජිතයක් බවට ලංකාව පත්වීමෙන් පසු වඩා ක‍්‍රමවත් අධිකරණ ක‍්‍රමයක් සහ සම්ප‍්‍රදායයක් ඉංග‍්‍රීසින් විසින් මෙරට තුළ ස්ථාපනය කරන ලද අතර මුල් අධිකරණ, අභියාචනා අධිකරණ සිවිල් අපරාධ වැනි විවිධ ක්ෂෙත‍්‍රයන්හි වඩා ක‍්‍රමවත් ලෙස බෙදුණු නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි. අද රටෙහි අධිකරණ සියල්ල කාර්ය පටිපාටික හෝ හරයාත්මක නීති වශයෙන් අදාළ කරගන්නේ පාර්ලිමේන්තුව හෝ ඒ හා සමාන ආයතනයක් විසින් නීතියක් වශයෙන් සම්මත කරගනු ලැබූ නීති පමණකි.
මෙරටෙහි විවිධ දේශපාලන කැළඹීම්වලට සමගාමීව කරනු ලබන අධිකරණ කෘත්‍යයන්හිදී ගෙනෙන එක් බරපතළ චෝදනාවක් නම් අධිකරණ ක‍්‍රියාත්මක කරන්නේ දේශපාලන අවශ්‍යතාවක් මුදුන්පත් කරගැනීම සඳහාය යන්නයි. මෙම චෝදනාව අද වන විට නැගී ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ නඩු තීන්දුව කි‍්‍රයාත්මක කිරිමෙහිලාය. ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරයේ ඇඳසිටිය යුතු ඇඳුම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතභාවයක් ඔහුට හිතවත් කණ්ඩායම් විසින් ඇතිකරනු ලැබිණ. ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළදී චීවරය ගලවා සිරකරු ඇඳුමට මාරුවීම බෞද්ධ නීති අනුව සිදුකළ නොහැක්කක් සහ එසේ කරන්නේ නම් එය මහා නාහිමිවරුන්ගේ අවසරය මත සිදුකළ යුතු බවට මතයක් හදන ලදි.
බන්ධනාගාර අධිකාරිය ප‍්‍රකාශ කළේ, සිරකරුවන් සම්බන්ධව කි‍්‍රයාත්මක කරන්නේ බන්ධනාගාර ආඥා පනත හෝ ඒ මත සැකසූ රෙගුලාසි විනා වෙනත් නීතියක් නොවන බවයි. ඥානසාර හිමි වෙනුවෙන් හඬනැගූ පිරිස් ප‍්‍රකාශ කරන ආකාරයට නීතියක් රටෙහි නීති පද්ධතිය තුළ නොපවතින බවත් අධිකරණ අමාත්‍යවරිය ප‍්‍රකාශ කර සිටියාය. මේ වන විට විවිධ ආගම්වලට අයත් පූජ්‍ය-පූජකවරුන් දහ අටදෙනෙකු දඬුවම් ලබන බවත් ඔවුන් සියලූ දෙනාම බන්ධනාගාරයේ නියමිත ඇඳුමවන ජම්පරය ඇඳ සිටින බවත් ප‍්‍රසිද්ධ විය.
රටක් පාලනය වන පොදු නීති ක‍්‍රමය අබිබවමින් කටයුතු කිරීමට කිසිවෙකුට හැකියාව නොමැත. එසේ යටත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුවිශේෂ විධිවිධානයන් නීතියෙන් ගෙනහැර දක්වා තිබිය යුතුය. ඥානසාර හිමිට හිතවත් කණ්ඩායම් සමාජගත කරන්නට උත්සාහ කළ ප‍්‍රධානතම තර්කය වූයේ රටකට නීතියේ පාලනය අනවශ්‍ය බවයි. මොවුන් එක්නැලිගොඩ කොටි ඔත්තුකරුවෙකු බවට පත්කරන්නේ කොටි ඔත්තුකරුවෙකුට නීතිය අබිබවමින් කි‍්‍රයාත්මක කිරීමට අයිතියක් රටේ මහජාතියට ඇති බවට මතයක් ගොඩනැගීමටය. එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධව චෝදනා ලබා ඇති හමුදා නිලධාරීන් සාධාරණීකරණයේ සැලැස්මක් මේ ක‍්‍රියාදාමය තුළ පවතී. එක්නැලිගොඩ මහත්මියද ඇගේ ස්වාමියා සම්බන්ධ චෝදනාවන්ට වගකිව යුතු වන බවත් ඒ අනුව ඇයත් නීතියේ රැකවරණයට හිමිකම් නොලබන බවට මතයක් සමාජගත කිරීම ඊළග සැලසුමයි.
මෙය කොතරම් භයානක තර්කයක් වුවද එය පිළිගන්නා කොටසක් සිටින අතර එයින් සැලකිය යුතු කොටසක් සංඝ සමාජයේ වෙති. අද වන විට පාලකයන්ගේ නොහැකියාව සහ දේශපාලන අවස්ථාවාදය මත මෙවැනි ගෝත‍්‍රිකවාදී අදහස් පුළුල් ලෙස සමාජගත කිරීමේ හැකියාව මේ පිරිස්වලට ලැබී ඇති අතර ප‍්‍රධාන ජනමාධ්‍යත් දේශපාලන අවස්ථාවාදය සහ වෙනත් මතවාදයන් තුළ එල්බ මේ භයංකර මත සමාජයට මුදාහැරීම කනගාටුවට කාරණයයි. රට පාලනය වන්නේ පොදු නීති සම්ප‍්‍රදායකිනි. මෙම නීති සම්ප‍්‍රදාය කාලාන්තරයක් පුරා වර්ධනය වෙමින්, අවශ්‍යතා අනුව පෝෂණය වෙමින් ගොඩනැගී ඇත. ලන්දේසි යුගයේ සිට අද තෙක් කාල පරාසය තුළ එය ශ‍්‍රී ලාංකිකත්වයක් ලබා ඇත. එය පොදුවේ සියලූ දෙනාටම බලපාන ලෙස සකස් වී ඇති අතර කාට හෝ අසාධාරණයක් වන ලෙස සකස් වී ඇතැයි කිව නොහැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන ආකාරයට නීතිය ඉදිරියේ සැවොම සමානයන් වන අතර කෙනෙකුට විශේෂ කොට සැලකීමට නොහැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියා වෙත සුරක්ෂා කොට ඇති අයිතිවාසිකම්වල රැුකවරණය පුරවැසියාට ලැබෙන්නට නම් රටේ පාලනය නිර්භය විය යුතුයි. එය නීතියට ගෞරවයක් සහ බියක් ඇති පාලනයක් විය යුතුය. පාලකයන් බිය විය යුත්තේ රටෙහි නීතියට පමණක් වන අතර ආරක්ෂා කළ යුත්තේ රටේ නීතියයි. අද අධිකරණයක දඬුවම් ලැබු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පෙර සදහන් කළ ආකාරයෙන් ජනමතයක් ගොඩනැගෙන්නේ සහ එවැනි වැරදි මතයක් සමාජගත වන්නේ පාලකයන් නීතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර සඳහන් කළ ආකාරයට කටයුතු නොකළ නිසාය.
රාජපක්ෂ පාලන සමයේදී 17වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන අධිකරණ බිහිකිරීමෙහි ලා ඇතිකළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ජනාධිපතිවරයාට රිසි සේ විනිසුරුවරුන් පත්කර ගත හැකි තත්ත්වයක් ඇතිවිය. ජනවාරි මස 8න් පසුව පත් වුණු ආණ්ඩුව නැවත වතාවක් 17වෙනි සංශෝධනයෙහි කි‍්‍රයාකාරීත්වය 19 වන සංශෝධනය හරහා යළි ඇති කළේය. එසේ කිරීමේ පරමාර්ථය වුණේ එම රජය බලයට පත් කිරීමට කැප වූ ජනතාව ස්වාධීන අධිකරණයක් බලාපොරොත්තු වුණු බැවිනි. අද අධිකරණයේ සියලූ පත්වීම් කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හරහාය. එසේම පසුගිය රජය සමයේ විවිධ අපරාධ සහ දුෂණයන්ට වගකිව යුතු බවට චෝදනා නැගුණු විශාල සංඛ්‍යාවක් ද සිටිති. ඥානසාර හිතවාදී කණ්ඩායම්වල ඉලක්කය වී ඇත්තේ මේ සියලූදෙනාම එකවර ගලවා ගැනීමය. යහපාලන අධිකරණ නමින් අධිකරණවලට චෝදනා නගන්නේ එහි ස්වාධීනත්වය සහ නිසි කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් රටෙහි ජනතාව තුළ ගොබෙල්ස් ක‍්‍රමයට දුර්මතයක් රෝපණය කිරීමටයි. තමන්ට යුක්තිය ඉෂ්ට කරවා ගැනීම සඳහා මහාධිකරණයේ පිහිට පතන කාන්තාවකට සහ දරුවන් දෙදෙනෙකුට, අධිකරණයේ පිහිට ඉල්ලා සිටීමට හෝ ලැබීමට අයිතියක් නොමැති බවට පසුගිය කාලය පුරා මතයක් ගොඩනගන්නේත් එක්නැලිගොඩ සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ කි‍්‍රයාකාරීත්වය දිගින් දිගට තර්ජනයන්ට ලක්වන්නේත් චෝදනා ලබා ඇති අපරාධකරුවන් රැසක් එකවර බේරා ගැනීමේ අදහසිනි.
නීතිය ක‍්‍රියාත්මක කිරීමට මෙම කණ්ඩායම මේ ආකාරයෙන් බලපැම් කරන්නේ නම් එය නැවැත්වීම සඳහා සියල්ලෝ එකතු විය යුතු වෙති. නොවන්නේ නම් අනාගතයේදී දේශපාලකයෙකුට, පුද්ගලික බස් රියදුරෙකුට, වෛද්‍යවරයෙකුට, නීතිඥයෙකුට, ගුරුවරයෙකුට හෝ වෙනත් යම් සිවිල් බලයක් ඇති පුද්ගලයෙකුට එරෙහිවත් නීතිය කි‍්‍රයාත්මක කිරීමට අපහසු වනු ඇත. හිරගෙට නියම වුණු නීතිඥයාද ටයිකෝට් දමාගෙන බන්ධනාගාර ජීවිතය ගතකිරීමට අවසර ඉල්ලනවා ඇත. ‘සාගරයක් මැද’ චිත‍්‍රපටයේ සිරගත වූ වෛද්‍ය මොලදණ්ඩ වැන්නවුන් අනාගතයේ ජම්පරය නොඅඳිනු ඇත. ඒ සඳහා අද සිදුවන්නා සේ අරගලද කළ හැකිය. ලිපිය ආරම්භයේ ලංකාවේ නූතන අධිකරණ ක‍්‍රමයෙහි ආරම්භය සහ විකාශය ගැන සඳහන් කරනු ලැබුවේ එය ක‍්‍රමික විකාශනයක් මත, වඩා ස්ථාවරව ගොඩනැගුණු අධිකරණ ක‍්‍රමයක් බව පෙන්වීමටය. නීතිය කි‍්‍රයාත්මක කිරීමේ මූලික හරයන් පුද්ගල අවශ්‍යතා මත වෙනස් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ දිය නොහැක. ගමේ අප්පුහාමිට කි‍්‍රයාත්මක වන නීතියම අනෙක් අයටද ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක විය යුතුයි. තමන්ට හැකි ප‍්‍රමාණවලින්, බලයෙන්, තර්ජනයෙන්, ගර්ජනයෙන් නීතිය නැවීමට හෝ අවශ්‍ය ආකාරයට දිගහැරීමට හෝ කාටවත් හැකියාවක් නොමැති අතර එසේ කරන්නට උත්සාහ කළහොත් එයට විරුද්ධ වීම නීතියේ පාලනයක් ඇති සමාජයක ජීවත් වන්නට කැමති සියලූ දෙනාගේත් වගකීම වන්නේය.

මේ රට ගොඩනගන්න බැරි දුෂණයයි ජාතිවාදයයි නිසා මහාචාර්ය නවරත්න බණ්ඩාර

0

 

සමන් කාරියකරවන

කවදාවත් නැති තරමට අද දුෂණය පිළිබදව කතාබහක් ඇතිවී තිබෙනවා. ඔබ දේශපාලන විද්‍යාඥයෙක් විදියට කොහොමද දුෂණය අර්ථ දක්වන්නේ?
ඇමරිකානු ශ්‍රේෂඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් වරක් දුෂණය යන්න අර්ථ දැක්වූවේ ර්‍ණඑයට නිශ්චිත නිිර්වචනයක් සැපයීම දුෂ්කර දෙයක් වූවත් කාමෝද්දීපන රචනා (pornography) මෙන් දුෂණය ද දුටුවිට අප කවුරුන් විසින් වුව ද හඳුනාගනු ලබන දෙයක්” කිියා. මෑත කාලයෙදී දුෂණ සහ වංචා නිසා සිදුවන අලාභ ලෝක සහ දේශීය ආර්ථිකයන්ට කරන බලපෑම බරපතළ වශයෙන් දැනෙන්ට පටන් ගැනීම නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් විවිධ අවස්ථාවල විවිධ පියවර ගැනීම් සිදුවෙලා තියෙනවා. ඒ අවස්ථාවලදී මේ සඳහා යම් අර්ථ නිරූපණ සැපයීම් සිදුවෙලා තිබෙනවාග ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කරන්නේ ‘තමන්ට පවරා තිබෙන බලය පෞද්ගලික ලැබීම් සඳහා යොදා ගැනීම’ දුෂණයක් වන බවයි. ලෝක බැංකුව සඳහන් කරන්නේ ‘තමන්ගේ ආයතනික තනතුර කිසියම් පෞද්ගලික ලාභයක් අත්පත් කර ගැනීමක් සඳහා යොදා ගැනීම සහ යම් නිලධාරියකු අල්ලසක් පිළිගැනීම, ඉල්ලා සිටීම සහ බලෙන් ලබා ගැනීම’ දුෂණයට ඇතුළත් වන කාරණා බවයි.
නීති මගින් දුෂණය පාලනය කිරීමට ගෙන ඇති පියවර නිසා අපේ රටේ ද නීතියෙන් ලබාදී ඇති නිර්වචනයකුත් තියෙනවා. ආණ්්ඩුක‍්‍රම ව්‍ය‍වස්ථාවේ ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂභියෝගයක් ගෙන ආ යුතු වැරදි අතරිඅල්ලස් ගැනීම සහ දුෂණවල නිරත වීම’ විශේෂයෙන් සඳහන් වෙන බවද සඳහන් කළ යුතුයි. ඒ අනුව අල්ලස හා දුෂණය පිළිබද නීතිය තුළත් ඉන් පිටතත් ගැඹුරු අර්ථ දැක්වීමක් දකින්න පුඵවන්.

ලංකාව තුළ දුෂණය මුල් බැසගත් ව්‍යසනයක් බවට අද පත්වෙලා තිබෙන බව පැහැදිලියිනෙ. දුෂණය පිළිබද ඉතිහාසය මොන වගේ එකක්ද ලංකාව සම්බන්ධයෙන් ගත්තොත්?
අපේ රටේ දේශපාලකයන් සම්බන්ධ වූ දුෂණ පිළිබද ප‍්‍රථම සාකච්ඡුාව ඇරඹෙන්නේ 1931දී සර්වජන ඡුන්දය හදුන්වාදීම සමගමයි. 1931 දී පිහිටුවපු පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පැනවීමට සිදුවූ පළමු පනත් අතර මන්ත‍්‍රීධුර අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමාකිරීමේ පනත තිබුණු බව අප අමතක නොකළ යුතුයි. ඒකට ප‍්‍රධාන හේතුවක් වුණේ ඡුන්දදායකයන්ට මුදල් බෙදාහරිමින් අල්ලසට ඡුන්දය ගැනීමද ඇතු`ඵ මැතිවරණයේදී සර්වජන ඡුන්දය අබිබවා මුදලේ බලය ඉහවහා යාමයිග දේශීය නායකයන්ට විධායක පාලනයට සම්බන්ධවීමට අවස්ථාව සැලසා දුන් 1931 පාලන ක‍්‍රමය අවසාන කාලය වන විට පෙනීගියේ මන්ත‍්‍රීවරු තමන්ගේ හිතවතුන්ට රජයේ රැකියා ලබාදීම, ආණ්්ඩු‍වේ කොන්ත‍්‍රාත් ලබාදීම ආදිය සඳහා විවිධාකාරයෙන් මැදිහත්වීම් කරන්න පටන්ගත් බවයි. මේ දේශපාලන මැදිහත්වීම් 1924-31 කාලයේත් දකින්න ලැබුණා. සියලූම මන්ත‍්‍රීවරුන්ව මුදල් කාරක සභාවට ඇතුල් කරගත් නිසා මන්ත‍්‍රීවරුන් මෙි කටයුතුවලට ඇඟිලි ගසන්නට අවස්ථාව සලසා ගත්තාග රජයේ නිලධාරීන් රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීමට ඩොනමෝර් කොමිසමෙන් ඉල්ලා සිටීමට එය ද එක් හේතුවක් වුණා. 1931න් ඇරඹුණ ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය විසින් සියලූ මන්ත‍්‍රීවරු අමාත්‍යාංශ පාලනය කිරීමට සහභාගි කරගත් නිසා මේ මැදිහත්වීම් ඉහළ ගිය අතර එය අල්ලස් ගැනීම දක්වා ඉදිරියට තල්ලූවී ගියා. මේ දුෂණය චෝදනා කොතරම් තදින් ඉදිරිපත් වුණාද කියතොත් ආණ්ඩුකාරයාට ලංකා ඉතිහාසයේ ප‍්‍රථම අල්ලස් කොමිෂන් සභාවත් පිහිටුවන්නට සිදුවුණා. එසේ පිහිටුවන ලද එල්.එම්.ඞීග සිල්වා අල්ලස් කොමිෂන් සභාව ඉදිරියට මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුට විරුද්ධව චෝදනා ඉදිරිපත්වූ අතර කොමිසම විසින් මන්ත‍්‍රීවරුන් අටදෙනෙකු වරදකරුවන් බවට පත්කරනු ලැබුවා. 1936න් පස්සේ මහජන ඡුන්දයෙන් පත් වූ පළාත් පාලන ආයතන පද්ධතිය ගැන 1945 දී පාර්ලිමේන්තු විවාදයකදී එක් මන්ත‍්‍රීවරයෙක් කියන්නෙිගන්නම දෙයක් නැහැ දුෂිතයි’ (hopelessly corrupted) කියලයි. ලංකාවේ දේශපාලකයන් සම්බන්ධ වූ දුෂණ ඇරඹෙන්නේ ඒ ආකාරයටයි. මගේ දැනුමේ හැටියට ඩොන‍මෝර් ආණ්ඩුක‍්‍රම‍යේ ක‍්‍රියාකාරීත්වය ගැන මේ දක්වා ලියා තිබෙන හොඳම විග‍්‍රහය වන නැසීගිය ආචාර්ය අයි.ඞී.එස් වීරවර්ධනගේිලංකාවේ ආණ්්ඩුක‍්‍රමය සහ දේශපාලනය’ කියන පොතේ ර්‍ණකුමාරයා පෙනුමෙන් ධාර්මික විය යුතු යයි මැකියාවල්ලි කීවේය. අභාග්‍යයට එම පෙනුමවත් ඩොනමෝර් ක‍්‍රමය යටතේ පැවතියේ නැත” යනුවෙන් මේ අවධියේ පැවති දුෂණවල තත්වය පිළිබඳව කරන පැහැදිලි කිරීමෙන් පෙන්වන්නේ සර්වජන ඡන්ද බල ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන දුෂණයට මග පෑදු ආකාරයයි.

යටත්විත සමයේ හා නිදහස ලැබුණ, අලූත අල්ලස් හෝ දුෂණ කළ අය සම්බන්ධයෙන් ආණ්ඩු ක‍්‍රියාකළ ආකාරය හා අද ආණ්ඩු ක‍්‍රියාකරන ආකාරය අතර වෙනසක් දකින්න පු`ඵවන්ද?
1940දී පත් කළ ලංකාවේ ප‍්‍රථම අල්ලස් කොමිසම විසින් වරදකරු බවට තීරණය කරනු ලැබූ මන්ත‍්‍රීවරු 8 දෙනාගෙන් 7 දෙනෙක් ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්නොවී සිටි මන්ත‍්‍රීවරයා රාජ්‍ය මණ්ත‍්‍රණ සභාව විසින් යෝජනා සම්මත කරලා මන්ත‍්‍රී ධුරයෙන් නෙරපා හැරිය. එදා වරදකරු වූ මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස්නොවූ අවස්ථාවේදි ඔහුව නෙරපා හැරීමට අනිත් මන්ත‍්‍රීවරු ක‍්‍රියාකිරීමෙන් ලබාදුන්නේ හොඳ ආදර්ශයක්. දේශපාලනය පිරිසිදුව තබා ගැනීමට මේ කාලයේ සිටි නායකත්වයට පැවති උනන්දුවත් එහිදී කැපී පෙනනවා. අල්ලස් ගැනීම හෝ මහජන නියෝජිතයකු නො කළ යුතු වෙනත් වැරදි සම්බන්ධයෙන් වරදකරු වූ අය පිළිබඳව මේ කාලයේ දී ගනු ලැබූ පියවර ගැන උදාහරණ බොහෝ ප‍්‍රමාණයක් තිබෙනවා. කොළඹ නගර සභාවේ සභිකයකුව සිට පසුව මන්ත‍්‍රී මණ්ඩලයට පැමිණි ආර්.ඒ ද මැල්ට ඔහු නගරාධිපති වීමට තරග කළ අවස්ථාවේ දී සභිකයන්ට අල්ලස් දුන් බවට 1947දී චෝදනාවක් ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් ආණ්්ඩුකාරවරයා විසින් කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. ඔහු චෝදනා 11 කට වරදකරු වුණා. පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කථානායකවරයා ව සිටි ෆ්‍රැුන්සිස් මොලමුරේ අවසාන කැමැත්තක භාරකරුවකු අනුගමනය කළ යුතු යයි අධිකරණ පනවා තිබූ නියමයන් උල්ලංඝනය කිරීම නිසා ඔහුට එරෙහිව උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවකින් වැරදිකරු වී මාස දොළහකට සිරගෙට ගියා. මෙහි ප‍්‍රතිඵල ලෙස ඔහු කථානායක සහ මන්ත‍්‍රී ධුර දෙක ම අහිමි වී වසර හතකට ප‍්‍රජා අයිතිය නැති කරගත්තා. මේ කාලයේදී රාජ්‍ය සේවයේ නිලධාරීන් අල්ලස් ගැනීම් ඇතුළු දුෂණ ක‍්‍රියාවල නිරතවන්නේ යයි ප‍්‍රබල හඬක් නැගුණා. ඒ ගැන හොයන්න ආණ්ඩුව, රාජනීතිඥ ඒ.ඊ. කේනමන් මහතා 1943 දී ඒක පුද්ගල කොමිසමක් ලෙස පත්කළා. ඔහු 1949 දී අතුරු වාර්තා දෙකක් සහ අවසාන වාර්තාව ඉදිරිපත් කළා. රාජ්‍ය සේවය තුළට අල්ලස සහ දුෂණ ඇතුල් වී තිබෙන බව පිළිගත් මේ වාර්තාව ඉදිරිපත් කළ යෝජනා අතර තවත් අවුරුදු 25කට පසුව නීතියක් බවට පත් වූ ‘රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ සහ බිරින්දන්ගේ වත්කම් ප‍්‍රකාශයට පත් කිරීම’ ගැන යෝජනාවත් තිබුණා.
නිදහස ලැබීමෙන් පසුව ද දේශපාලකයන්ට විරුද්ධව දුෂණ පිළිබඳ චෝදනා ඉදිරිපත් වුණා. නිදහස් ලංකාවේ පළමු අගමැති ඞී.එස්. සේනානායකගේ ආණ්්ඩු‍වේ ඇමතිවරයකුව සිටි ජී.ජී. පොන්නම්බලම්ට විරුද්ධව අල්ලස් චෝදනාවක් ඉදිරිපත් වුණා. එය පරීක්ෂා කිරීමට කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වු නමුත් ආණ්්ඩුව එය මඩ ගැසීමක් ලෙස විස්තර කොට නොතකා හැරියා. කොමිසමක් පත්කිරීමට එකඟ වුණේ නෑ. මේ නිසා ලංකාවේ ආණ්්ඩුවකට විරුද්ධව අල්ලස් දුෂණ යටගැහීම මුල් කරගෙන ඉදිරිපත් වූ ප‍්‍රථම විශ්වාසභංග යෝජනාවට එම ආණ්්ඩුවට මුහුණදීමට සිදුවුණා. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගෙනා එම යෝජනාවට විරුද්ධව ඡන්ද 50ක් ද පක්ෂව ඡන්ද 30ක් ද ලැබී‍මෙන් පරාජයට පත්වුණා. මීළඟට එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා තමන්ගේ ඇමතිවරුන් කිහිපදෙනකු සහ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමහරකට අල්ලස් චෝදනා ඉදිරිපත් වූ විට 1959 සිය මරණයට පෙර අල්ලස් කොමිසමක් පත් කරන්නට අග‍්‍රාණ්ඩුකාරවරයාට උප‍දෙස් දුන්නා. එම කොමිසම ඇමතිවරුන් පස්දෙනෙකු සහ එක් උපඇමතිවර‍යෙකු වැරදිකරුවන් බවට පත්කළා. වාර්තාව ඉදිරිපත්වුණේ බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව බැවින් එහි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම මීළඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට පැවරුණත් අවශ්‍ය පියවර ගත්තේ නැහැ. මේ නිර්දේශ අනුව වැරදිකරුවන්ගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීම කරනු ලැබූයේ 1965 දී බලයට පත් වූ ඩඞ්ලි සේනානායක ආණ්්ඩුව විසින්.
මේ විස්තරයෙන් පැහැදිලි වෙනවා ඇති ඔය අද ර්‍ණකව්ද හොරා” යයි හඬ නගන්නට සිදුවී තිබෙන බහුපක්ෂ දුෂණ මෑත කාලයේ ප‍්‍රපංචයක් නොවන බව. මුල් කාලයේදී දේශපාලනය මූලධර්මීය වශයෙන් නිවැරදිව තබා ගැනීමට මැදිහත්වීම තම වගකීමක් ලෙස සලකා බොහෝ නායකයන් ක‍්‍රියාකළා. තමන්ගේ අය සම්බන්ධයෙන් ලිස්සා යාමේ පිළිවෙතක් අනුගමනය කිරීම නිදහස ලැබීමෙන් පසු සෙමින් දේශපාලන කේෂ්ත‍්‍රයට ඇතුල්වුණා. එදා ඉදිරිපත් වූ අල්ලස් ගැනීම් පිළිබඳ චෝදනා අතර සහල් සහ මිරිස් මලූ ලබා ගැනීම වැනි අල්ලස් ගැනීම්ද තිබුණා. 1965දී ප‍්‍රජා අයිතිය අහිමිවූ එක් දේශපාලකයකු කීවේ තමන් කර තිබුණේ සුළු සන්තෝසමක් ගැනීම බවයි.
1965 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පැවති සභාග ආණ්ඩුව විශ්වාසභංගයකින් පරාජය කළේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් අල්ලස් දී මිලදී ගැනීමෙන් බවට ප‍්‍රසිද්ධ චෝදනාවක් දේශපාලන බිමට පැමිණියා. මේ සඳහා ලේක්හවුස් ආයතනයෙන් මුදල් ලබාගත් බව ප‍්‍රකාශ වුණා. 1965/70 කාලයේදී ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධ වී කරන ලද නීති විරෝධි විනිමය ගනුදෙනු පිළිබඳ රහස් ලේඛන ප‍්‍රමාණයක් තමන්ට ලැබුණු බවටත් මෙම අල්ලස් සඳහා එම මුදල් පාවිච්චි කළේද යන සැකය තමන්ට ඇති බවටත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් කරනු ලැබූ හෙළිදරව්වක් විශාල ආන්දෝලයක් ඇතිකළා. 1970 දි සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූ වහාම ලේක්හවුස් කොමිසම පත් කිරීමට ද එහි සොයාගැනීම් පදනම් කරගෙන විනිමය වංචා පරීක්ෂා කිරීමේ විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමද පසුව ලේක්හවුස් පුවත්පත් ආයතනය රජයට පවරාගැනීමද සිදුවූයේ මේ කාරණය ඉදිරියට යාමේ ප‍්‍රතිඵල වශයෙනුයි. මේ අන්දමට මෑත කාලයේ දී ජනප‍්‍රිය මාතෘකාවක් වූ පැති මාරු කිරීම සඳහා මන්ත‍්‍රීවරු මිලදී ගැනීම පිළිබඳ කාරණාව 1965 වන විට දේශපාලන බිමට පැමිණ තිබුණා.
1977දීිආර්ථික ලිබරල්කරණය’ ඇරඹීම නිසා මූල්‍ය වෙළෙඳපල, ආර්ථික‍යේ ප‍්‍රමුඛස්ථානයට පැමිණීම සිදුවුණා. මූල්‍ය වෙළඳපලේ ඇති වූ විවෘතකරණය විසින් ලැබුණු ඉඩකඩ තුළ කළු සල්ලි ආර්ථිකයක් පුළුල්ව වැඩෙන්නට පටන් ගත්තා. 1977 න් පසුව විශාල සංවර්ධන ව්‍යාපෘති සහ මූල්‍ය වෙළෙඳපළ කළු සල්ලි නිපදවන සැඟවුණු ආර්ථිකය සම`ග සම්බන්ධවීම සිදුවුණා. මෙහි ප‍්‍රතිඵලය වන්නේ දුෂණ සම්බන්ධ නව හඳුනාගැනීමක් පැන නැගීමයි. එකක් තමයිිඅදිසි දුෂණ’ හෙවත් නො පෙනෙන දුෂණ සොයා ගැනීමට අසීරුවන අන්දමින් සිදුවන මේ අදිසි දුෂණ සිදුකරන්නේ දේශපාලකයන්, පරිපාලකයන් සහ කූඨ ව්‍යාපාරිකයන්ගේ හවුල් මගින්x මෙය ඊනියා දියුණුවෙමින් පවතින රටවල පුළුල් ලෙස සිදුවෙනවා පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපයේ ප‍්‍රධාන රටවල සහ නැගෙනහිර ආසියාවේ රටවල ජාතික ආර්ථිකයන්ගේ මූල්‍ය සංසරණයට ද ඇතුල්වීම නිසා ජාත්‍යන්තර වශයෙන් ම මුදල් විශුද්ධධිකරණය වැළැක්වීමේ ප‍්‍රයත්නයක් ඇතිවී තිබෙනවාx එක්සත් ජාතීන් මේ සම්බන්ධයෙන් 2005දී විශේෂ සමුළුවක් පවත්වා මුදල් විශුද්ධිකරණය බරපතළ වරදක් බවට පත් කිරීමට සහ චූදිත පුද්ගලයන් එක් රටකින් තවත් රටකට භාරදීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස ද සාමාජික රටවලින් ඉල්ලා සිටියා මේ අන්දමට රහසින් උපයා ගන්නා මුදල් ලෝකයේ විවිධ රටවලට සංක‍්‍රමණය වී අවසානයේ ඒවා උපයාගත් රටවලටම ආයෝජන වශයෙන් ද පැමිණෙනවාx මෑත කාලයේ දී අපේ රටේ නඩු පැවරීම්, පොලිස් විමර්ශන සහ කොමිෂන් සභා පත් කිරීම් හරහා වාර්තා වී තිබෙන වංචාවන්ට අදාළ මුළු මුදල එකතු කළ විට පෙනෙන්නේ මේවායේ එකතුව රුපියල් බිලියන දස දහස් ගණන්වලින් ප‍්‍රකාශ කිරීමට සිදුවී තිබෙන බවයිx මහජනතාවට දේශපාලකයන් කෙරෙහි විශාල අවිශ්වාසයක් මෙන් ම පිළිකුලක් ඇතිවන තරමට සෑම ප‍්‍රධාන පක්ෂයකට ම සම්බන්ධ දේශපාලකයන්ට මේ චෝදනා එල්ලවී තිබෙනවාx මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීම සිදුවී තිබෙන අතර එම නිසා සමාජ ප‍්‍රගතියට බාධාකරන බලගතු බලවේගයක් ලෙස දේශපාලන සහ පරිපාලන දුෂණ හඳුනාගත යුතු බව මගේ මතයයි

අප මුහුණදෙන අනෙක් බරපතළ ම ගැටලූව වන්නේ ජාතිවාදයයි. එය යටත් විජිතවාදීන් හඳුන්වා දුන් වර්ගවාදයේ නූතන ප‍්‍රකාශනය වශයෙන් නිරීක්ෂණය කළ හැකියි. එම කරුණ පැහැදිලි කළොත්?
ජාතිකවාදය (Nationalism) අර්ධ වනචාරී මෘගයෙක් ලෙස හැඳින්විය හැකි බවත් එය පාලනය කරගතහොත් මනා ප‍්‍රයෝජන අත්කර ගත හැකි බවත් අප එසේ නො කරන්නේ නම් වෙනත් අය එම මෘගයාගේ රෞද්‍රත්වය ඇවිස්සීමට ක‍්‍රියා කරනු ඇති බවත් අප විසින් අකමැත්තෙන් වූවත් කළ යුත්තේ එම සත්වයා හීලෑ කර ගැනීම” යයි මෑතක දී හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විසින් ලියන ලද ලිපියක සඳහන් කර තිබුණා.
තම රට පිළිබඳව හෝ තමන් අයත් සංස්කෘතික ජාතිකත්වයට ඇති පක්ෂපාතීත්වය වශයෙන් අර්ථ ගැන්වුවහොත් ජාතිකවාදය යහපත් දෙයක් 1789 ප‍්‍රංශ විප්ලවයේදීත්, නූතන ජාතික රාජ්‍යයේ සංවර්ධනයේදීත්, අධිරාජ්‍ය සහ යටත් විජිත විරෝධී අරගල ඔස්සේ යුරෝපයේ සිට අප‍්‍රිකාව සහ ආසියාව දක්වා ජාතික රාජ්‍ය බිහි වූ කාල වකවානුවේදීත්, ජාතිකවාදය ඉතා ප‍්‍රගතිශීලි කාර්යභාරයක් ඉටුකළා. යටත්විජිතවාදයේ යුගය අවසන් වූ පසුව 1960 ගණන්වල ඇතිවූ ජනවාර්ගික පුනරුදය විසින් ප‍්‍රචලිත කරනු ලැබූ ජන වාර්ගික ජාතිකවාදයත් ප‍්‍රගතිශීලි කාර්යභාරයක් ඉටුකළා. එය ජාතික රාජ්‍ය අභ්‍යන්තර සමාජ තුළ වාසය කළ ජනවාර්ගික කණ්ඩායම්වල භාෂා හා සංස්කෘතික අයිතිවාසිකම් සහතික කරදීමටත්, ඒවා පදනම් කරගෙන ප‍්‍රාදේශීය ස්වයං පාලන මූලධර්මය පාලන ක‍්‍රමවලට ඇතුල් කිරීමටත් පසුබිම විවෘත කළා.
නමුත් ජාතිකවාදය එක් ජන කොටසක් උසස් ජාතිකත්වයක් ලෙස සලකා සමාජයේ අන්‍ය ජන කොටස් පහත් කොට සැලකීම, අසමාන සැලකිලිවලට ලක්කිරීම සහ ඔවුන්ට විරුද්ධව ප‍්‍රචණ්ඩත්වය යෙදවීම සාධාරණය කිරීමේ න්‍යායවාදයන් සැකසීමට යොදා ගැනීමට ඇති හැකියාව හිට්ලර් සිය නාසිවාදී රාජ්‍යය මගින් අපට පෙන්වා දීලා තියෙනවා. හිට්ලර් තමන් උසස් යයි සැලකූ ජර්මන් ජාතිකත්වයට කිසිසේත් ම අන්තර්ගත කළ නොහැකි යයි නිගමනය කර තමන් විසින් පහත් ජන කණ්ඩායම් වශයෙන් හඳුන්වන ලද යුදෙව්වරු ලක්ෂ හැටක් සහ ජිප්සිවරු ලක්ෂ දෙකක් පමණ ගෑස් කුටිවලට දමා පුච්චා දැම්මා. අධිරාජ්‍යවාදී යුගයේදී යටත් විජිතවාදීන් විසින් තමන් යටත් කරගත් ඇමරිකානු අප‍්‍රිකානු සහ ආසියානු කලාපවල ජනතාව නො දියුණු මිනිසුන් ලෙස හඳුන්වා පහත් කොට සැලකීමට යොදා ගත් තමන්ට පිටස්තර මිනිසුන් ඔවුන්ගේ වර්ණය සහ සංස්කෘතිය අනුව පහත්කොට සැලකීමට නිපදවන ලද වර්ගවාදය (racism) විසිවන සියවස වන විට මේ අන්දමට ජාතිකවාදයේ විකෘතියක් වශයෙන් ඉදිරියට පැමිණියා එය අද වන විට ජනවාර්ගික සංස්කෘතීන් සම්බන්ධ කරගෙන ජාතිභේදවාදය (communalism) ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. තමන්ගේ සංස්කෘතිය, ජාතිකත්වය සහ ආගම උසස් යයි සලකා අන්‍ය සංස්කෘතීන් සහ ආගමිකයන් සහ ඔවුන්ගේ සංස්කෘති තම සංස්කෘතියට වඩා පහත් යයි සැලකීම සහ ඒවා තමන්ගේ සංස්කෘතියට තර්ජනයක් ලෙස සැලකීම ජාතිභේදවාදයයිි(racism) මෙන්ම ජාතිභේදවාදය (communalism) ද ජාතිකවාදයේ (Nationalism) විකෘතීන්. තමන් විසින් සංස්කෘතික සහ ආගමික වෙනස්කම් අනුව තෝරාගත් ජන අනන්‍යතාවන්ට අසමාන සැලකිලි දැක්වීම, පහත් කොට සැලකීම,
ද්වේෂ සහගත ලෙස සැලකීම සහ ඒවායේ සාමාජිකයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය යෙදවීම ජාතිභේදවාදය යන්නට ලබා දිය හැකි සරල හැඳින්වීමයි. තමන්ගේ ජනවාර්ගික සහ ආගමික අනන්‍යතාව අන්‍ය මිනිසුන්ගේ අනන්‍යතාවට වඩා උසස් යයි හඳුන්වමින් අන්‍ය මිනිසුන් ඔවුන්ගේ ජනවාර්ගි ක හෝ ආගමික අනන්‍යතාවෙන් වෙන්කොට හඳුනාගෙන ඔවුන් පහත්කොට සැලකීම, අසමාන සැලකිලිවලට භාජනය කිරීම සහ එම පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ආගමික හා ජාතික සංකේතයන්ටත් දේපලටත් එරෙහි ව ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම ලෝක ව්‍යාප්ත ව සිදුවන්නක්. මේ නිසා 2011 දී වර්ගභේදවාදය පිටු දැකීමට විශේෂ සමුළුවක් කැඳවා එයට එරෙහි ව විශේෂ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංගමයට සිදුවුණා.
දැන් ජාතික රාජ්‍යය වෙනුවෙන් නව ජාතිකවාදයක් ඉදිරියට පැමිණෙමින් තිබෙනවාNeo Nationalism යනුවෙන් හඳුන්වන මෙම නව ජාතිකවාදය සීතල යුද්ධයට පසුව ශක්තිමත් වූ ලෝක ආර්ථික පාලන තන්ත‍්‍ර වන ලෝක වෙළෙඳ සංවිධානය, යුරෝපීය ආර්ථික හවුල, උතුරු ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිිවිසුම සහ ප‍්‍රාග් ධනයේ ගෝලීයකරණය ප‍්‍රශ්නකරන දේශපාලනයක් නියෝජනය කරනවා ඇමරිකාවේ ට‍්‍රම්ප්, මහා බි‍්‍රතාන්‍යයේ බ්‍රෙක්සිට් ව්‍යාපාරය සහ යුරෝපයේ බොහෝ රටවල විදේශ සංක‍්‍රමණිකයන්ට එරෙහි ව පැන නැගී ඇති ජාතිකවාදී දේශපාලනයන් විසින් මෙය ඉදිරියට ගෙන යමින් තිබෙනවාx අද තම සමාජයේ බහුතර ජනවර්ගයේ ප‍්‍රමුඛස්ථානය දේශපාලනයේ දී පිළිගනිමින් එය මුල් කරගත් ජාතිකවාදී දේශපාලනයක් ගෙන යන අතර පවතින ජාත්‍යන්තර සංස්ථා පද්ධති ප‍්‍රශ්නකිරීම මගින් සිය බලය තහවුරු කරගැනීම රුසියාව, ඉන්දියාව, චීනය වැනි රටවල පවා දක්නට ලැබෙනවාx මෙම දේශපාලනය ලංකාවේ 1950 ගණන්වල සිට දක්නට ලැබුණත් ජනවාර්ගි ක ගැටුම සහ සිවිල් යුද්ධය විසින් නැවත අධිපතිවාදී දේශපාලනයක් ගොඩ නැගීමට ඉදිරියට පැමිණියා සුළුතර ජනවාර්ගි කයන් සහ ආගමිකයන් රාජ්‍යයේ සතුරන් ලෙස හඳුනාගන්නා තත්වයකට මෙම දේශපාලනය පසුගිය කාලවල ඉදිරියට ගියා දේශපාලන දුෂණ සඳහා මෙම ජාතිකවාදී දේශපාලනය විශාල ආරක්ෂාවක් සැපයූ අතර විදේශික බලවේගවලට එරෙහි ව හඬ නැගුව ද එම දුෂණ සඳහා අවස්ථාව සැලසූ නිසා ගෝලීයකරණය වූ විදේශීය ප‍්‍රාග් ධනයේ ගමනට බාධා කිරීම සිදුවූයේ නැහැග
වර්ගවාදය සහ ජාතිභේදවාදය ඇවිස්සීමට මෙම නව ජාතිකවාදය විශාල ඉඩක් අන්තවාදීන්ට ලබා දෙනවා. මෙහි ප‍්‍රතිඵලය වන්නේ නව ජාතිකවාදය දේශපාලන චර්යාව හැසිරවීමේ දෘෂ්ටිවාදය බවට පත් වූ සමාජවල වර්ගභේදවාදය සහ ජාතිවාදයට රාජ්‍යයේ දේශපාලන ආධිපත්‍යය යටතේ ආවරණයක් සලසාගෙන ඍජු හා වක‍්‍ර ලෙස දේශපාලකයන්ගේ අනුග‍්‍රහයෙන් ඉදිරියට ඒමට අවස්ථාව ලැබෙන එකයි. අදහස් සහ තොරතුරු සංසරණය මෙන් ම ප‍්‍රාග්ධනයේ සංසරණයට ද මාවත් සපයන අන්තර්ජාලය ද මේ යුගයේ ජාතිභේදවාදය සහ වර්ගභේදවාදය පැතිරවීමට වාහකයෙක් බවට පත්වී තිබෙනවා. ජාතිවාදය අවුස්සන ද්වේෂ සහගත වෛරී ප‍්‍රකාශයන් බෙදාහැරීමට සහ කලබල ඇතිවන බොරු වාර්තා සැපයීමට අන්තවාදීන් විසින් සමාජජාල යොදා ගැනීම නිසා අන්තර් ජාලය මේ සඳහා යොදාගැනීම ඉතා පහසුවී ඇති බව විශේෂඥයන් විසින් පිළිගනු ලබන කරුණක්. මේ නිසා වෛරී ප‍්‍රකාශන හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධ ව ක‍්‍රියාකරන්නට ජාතික රාජ්‍යයට බල කරන අතර ඒවා සම්බන්ධයෙන් ස්වේච්ඡුා මැදිහත්වීම් සිදුකරන සිවිල් මැදිහත්වීම් පවා අන්තර්ජාලය තුළ අපට හමුවෙනවා.
ලංකාවේ දී නියෝ ලිබරල්වාදය මගින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව සහ සමාජ ආරක්ෂාව සැපයීමේ රාජ්‍ය වගකීම් දුර්වල කිරීම නිසා ඇති කර තිබෙන සමාජීය අනාරක්ෂිතභාවය සහ පුරවැසිභාවය ගොඩනැගීමේ වගකීම අත්හැර දැමූ අධ්‍යාපනයක් මගින් ගොඩනගා ඇති සමාජීය නූගත්කම නිසාත් ජාතිවාදයට සහ වර්ගභේදවාදයට ද සිය මෘග හිස එසවීමට අවස්ථාව සලසා තිබෙනවා. නිදහස ලැබීමෙන් පසුව රටේ සමාජ සහ දේශපාලන ප‍්‍රගතියට විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංවර්ධනයට බාධා කරනු ලැබූයේ ජාතිවාදය කියලා කිව්වොත් වරදක් නැහැ එය යටත් විජිත යුගයේ දී ටිකෙන් ටික වැඩුණා අපේ දේශපාලකයන් නිදහස සටන්කාමී ව දිනා ගතයුතු දෙයක් නොව අධිරාජ්‍යවාදීන් සම`ග සහයෝගීවීමෙන් දිනා ගත යුතු දෙයක් වශයෙන් සැලකූ නිසා ඉන්දියාවේ මෙන් අනාගත පොදු පුරවැසිභාවය ගොඩනැගීමට අවශ්‍ය ලාංකික හැඟීම බහුජනයා අතර ගොඩනැගීම වෙනුවට ජනවාර්ගික භේදයන් උත්සන්න කරන දේශපාලනයක නිරතවුණා
1915 සිංහල සහ මුස්ලිම් කෝලාහලය ජාතිිභේදවාදයේ පළමු ප‍්‍රකාශනය වුණා 1957 සහ 1958 වර්ෂවල දී එය නිදහසට පසුxව පළමුවෙන් හිස එසෙව්වා එය සිංහල අන්තවාදීන් දෙමළ ජනයාට විරුද්ධව එල්ල කළ ප‍්‍රහාරයක්x එයට පසුව බරපතළම පැනනැගීම වුණේ උතුරේ දී ශ‍්‍රී ලංකා හමුදාවන්ට එල්ටීටීඊය එල්ල කළ ප‍්‍රහාරයක් විසින් අවුස්සනු ලැබ රට පුරා සැලකිය යුතු දෙමළ ජනතාවකට ජීවිත අහිමිකරන ලද සහ සරණාගතයන් ලෙස රට හැර යන්නට සිදුකළ 1983 ජාතිභේදවාදී කෝලාහලයයි බලය බෙදාහැරීම පිළිබඳ සිංහල සහ දෙමළ දේශපාලකයන් අතර පැවති මතභේදය ජාතිභේදවාදය ඇවිස්සීමට දෙපාර්ශ්වයේ ම අන්තවාදීන් දැක් වූ සමත්කම එම අවස්ථාවේ සිට ම පෙන්නුම් කළා උතුරේ දී ජාතිවාදී ලෙස සිංහල ජනයා ද නැගෙනහිර දී මුස්ලිම් ජනයා ද ඉලක්ක කර ගෙන එල්ටීටීඊය විසින් ඇති කළ යුද්ධය දකුණේ ජාතිභේදවාදය හිස එසවීමට අවස්ථාව ලබා දුන්නාx 2009 දී යුද්ධය අවසන් කළ ද ජාතිභේදවාදය අවසන් වුණේ නෑ මුස්ලිම් ජනයා ඔවුන්ගේ දේපල, වෙළෙඳ මධ්‍යස්ථාන සහ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ගෙන ඇති කළ ජාතිවාදී පහරදීම්වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය සහ සාමාන්‍ය සමාජ ජීවිතය අඩපණ කළ අවස්ථා කිහිපයක් සිදුවුණාx 2014 දී අලූත්ගම සහ මාවනැල්ල යන ප‍්‍රදේශවල මුස්ලිම්වරුන්ට විරුද්ධ ව ඇති කළ ප‍්‍රහාර, 2018 දී මධ්‍යම පළාතේ සිදු වූ සිද්ධි, මේව පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවට පොරොන්දු දුන්නත් ඒවා කඩ වූ පොරොන්දු බවට පත්වීම නිසා ජාතිවාදී මෘගයාට තවදුරටත් ජීවත්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ජාතිකවාදයේිමෘගයා’ වන වර්ගභේදවාදය හීලෑ කර ගැනීම යනු එය පැනනැගීමට ඇති ඉඩකඩ ඇහිරීමයි සමානාත්මතාවෙන් යුත් පුරවැසිභාවය ගොඩනැගීම මගින් ශ‍්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම දිසාවට යොමු වූ ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ක‍්‍රියාවට නැගීම අවශ්‍ය වී තිබෙනවා මේ කාර්යේදී ජාතික අධ්‍යාපන පද්ධතියට වැදගත් වගකීමක් පැවරෙන බව කිවයුතුයි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව යළි තහවුරු කිරීමට පියවර ගැනීම මගින් සමාජයේ පහළ ආදායම් ලබන ජන කොට්ඨාසයන් තුළ ඇතිවී තිබෙන සමාජීය අවිනිශ්්චිතතාව දුරුකිරීමට පියවර ගැනීමද මෙහි දී අත්‍යවශ්‍ය වෙනවා. සමාජීය වශයෙන් ඉහළ ජීවන තත්වයක් ළඟා කරගැනීමට අවස්ථාව සැලසීම සදහා නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම අතින් නිදහස් සෞඛ්‍ය සේවාවත් සදහා ඔවුන්ට ලබා දුන් පහසුකම යළි විවෘත කිරීම කළ යුතුයි. ජාතිිවාදී මෘගයා විසින් අන්‍ය ජාතිකයන්ට සහ ආගමිකයන්ට පහරදීම ඉවසා සිටීම මගින් නිහඬ අනුමතියක් ලබා දීම ඔවුන් අතින් සිදුවෙනවා. යුරෝපයේ දී සහ ඇමරිකාවේ දී තමන්ගේ රැකියා සහ ආර්ථිකය සංක‍්‍රමණිකයන් විසින් උදුරා ගන්නේ යයි සිතන ආකාරයට සුළුතරයන් තමන්ගේ දේවල් උදුරා ගන්නවුන් ලෙස ද්වේෂයට ලක් කිරීම මෙහිදී තවදුරටත් සිදුවෙනවා.

අලූත්කඬේ කෆ්කා

0

සරත් ද අල්විස්

2009 ජුලි 9 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළවී තිබූ එක් ප‍්‍රවෘත්තියක සිරස්තලය මෙසේ විය: ‘‘කළු කෝට්කාර ද්‍රෝහියෝ කල්ලි ගැසෙති’’
මේ ප‍්‍රවෘත්ති වාර්තාව තුළ නීතිඥයන් පස් දෙනෙකු හඳුනාගෙන තිබුණි. එදා ගල්කිස්ස අධිකරණයේ විභාගයට ගැනුණු ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහි නඩුවක ඒ නීතිඥයන් පස් දෙනා පෙනී සිටියේ එම පුවත්පත වෙනුවෙනි. මේ වාර්තාව තුළ ඔවුන් තවදුරටත් හඳුන්වා දී තිබුණේ, ‘‘එල්.ටී.ටී.ඊ. ගරිල්ලාකරුවන් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටීමේ ඉතිහාසයක් ඇති’’ නීතිඥයන් පිරිසක් වශයෙනි.
ඔවුන් අතුරින් තුන් දෙනෙකුගේ ඡුායාරූප ද එම වාර්තාවට ඈඳා තිබුණි. ඊට අමතරව, අපේ අධිකරණ ඉතිහාසයේ අපූරු තවත් යමක් ද එම වාර්තාවේ ගැබ් විය. වගඋත්තරකාර පුවත්පත වෙනුවෙන් කලින් පෙනී සිටි නීතිඥයන්, ‘‘ශ‍්‍රී ලංකාව නිදහස් රටක් බවට පත්කළ’’ ජාතික වීරයෙකු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මේ පුවත්පත වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම තමන්ගේ ආචාර ධාර්මික සහ සදාචාරමය හෘද්‍ය සාක්ෂියට එරෙහි වන කාරණයක් හෙයින් එම පුවත්පත වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔවුන් ස්වේච්ඡුාවෙන් ඉල්ලා අස් වී ඇති බව එයින් කියා තිබුණි. අර ‘‘කළු කෝට්කාර ද්‍රෝහීන්’’ වශයෙන් හංවඩු ගසා තිබුණේ, ඉහත කී පුවත්පත වෙනුවෙන් අනතුරුව පෙනී සිටි නීතිඥ කණ්ඩායමයි.
පසුගිය බ‍්‍රහස්පතින්දා පළවූ වාර්තාවකට අනුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබන ජුනි 25 වැනි දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින බවට අභියාචනාධිකරණය ඉදිරියේ ප‍්‍රතිඥා දී තිබේ.
අද අලූත්කඬේ පැත්තේ හොල්මන් කරන චරිතයක් සිටී. ඔහුගේ නම, ෆ‍්‍රාන්ස් කෆ්කා ය. ඔහු ලෝක පූජිත වන්නේ, ලජ්ජාව සහ වරද සහගත හෘදය සාක්ෂිය පිළිබඳ උත්කෘෂ්ට නිර්මාණ බිහි කළ ලෝක සාහිත්‍යයේ දැවැන්තයෙකු වශයෙනි. විශේෂයෙන්, බලය සහ අධිකාරීත්වය හොබවන පුද්ගලයන් තුළ ලැජ්ජාවක් සහ හෘදය සාක්ෂියක් නැති කම ගැන ඉතා තියුණු නිරීක්ෂණ ඔහුගේ නවකතා තුළ අන්තර්ගත වෙයි.
ව්‍යක්ත භාෂාවෙන්, බොහෝ විට භයංකාර ගුප්ත ස්වරයෙන් යුතුව චිත‍්‍රණය වූ මනුෂ්‍යයාගේ හුදෙකලාව, නෂ්ටාපේක්ෂාව සහ පරාරෝපණය, ඉතා සියුම්ව ඔහු පාඨකයාට අභිමුඛ කොට තිබේ. සදාචාරමය උදාසීනත්වයෙන් යුත් සමාජ පද්ධති සහ යුක්තිය පසිඳලීමේ පරිපාටි ඔහු නිර්දය ලෙස හෙලාදැක්කේය. ඔහු වනාහි, ‘අධි-සෝදිසි රාජ්‍යයක’ ප‍්‍රතිරූප වැසියෙක් විය.
ඉංග‍්‍රීසි භාෂාවේ අදටත් පාවිච්චි වන කෆ්කියානු නැමැති විශේෂණයෙන් අදහස් කෙරෙන්නේ, අධිකරණ ඉදිරියේ දිග හැරෙන අතාර්කික තත්වයන් වටහා ගැනීමට සමත් එකම පුද්ගලයන් වන විනිසුරුවරුන් සහ නීතිඥයන් සතු, එහෙත් සාමාන්‍ය මිනිසාට කොහෙත්ම නොවැටහෙන, බිහිසුණු නෛතික ආලවට්ටම් ය. එසේම, බලාධිකාරියට අභියෝග කරන ඕනෑම පුරවැසියෙකු පරාජය කරලීම සඳහාම සැකසුණු නෛතික පරිපාටි අස්සේ වල්මත් වන අසරණයන්, මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රය විසින් හෙම්බත් කරවනු ලබන ක‍්‍රමයත් එම වචනයෙන් අදහස් කෙරේ.
අද අපේ විනිසුරුවරු, විභාග වෙමින් පවතින නඩු ඇසීමෙන් ඉවත් වෙති. මාස හය හත ආදි වශයෙන් නඩු විභාග කල් යවති. පිටරට පදිංචි යැයි හොඳින් දන්නා පුද්ගලයන්ට පවා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේ අවසරය යටතේ ඇප ලබා දී, අනතුරුව එම පුද්ගලයන් ආපසු රටට ගෙන්වා ගැනීම සඳහා ‘රතු වරෙන්තු’ නිකුත් කරති.
2006 දී ආරක්ෂක අමාත්‍යාංශයේ මිග් යානා මිලදී ගැනීමකට අදාළ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් ගැන ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ හෙළිදරව්වක් පළවිය. ඒ මගින් තමන්ට අපහාස කෙළේය යන චෝදනාවක් මත එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහිව 2009 දී ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එහෙත් නඩුවට සාක්ෂි දීම සඳහා ඒ අධිකරණය ඉදිරියට පැමිණීමට ඔහු නොකැමැති විය. ඒ වෙනුවට, එදා රාජපක්ෂ පාලන තන්ත‍්‍රය තුළ සර්ව-බලධාරී පුද්ගලයෙකු වූ ගෝඨාභය රාජපක්ෂට මේ නඩුව කොළඹ දිස්ත‍්‍රික් අධිකරණය වෙත මාරු කර ගැනීමට අවශ්‍ය විය. එහිදීත් ඔහුට අවශ්‍ය කෙළේ, තමන්ගේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ සිට වීඩියෝ සම්බන්ධතාවක් හරහා සාක්ෂි ලබා දීමටයි.
දේශප්‍රේමී, ද්විත්ව-පුරවැසි, ‘වියත්’ ජනාධිපති අපේක්ෂක, ඩිජිටල් යුගයේ පුද්ගල ව්‍යවසාය ශාස්තෘ එම ගෝඨාභය රාජපක්ෂම, එතැනින් වසර නවයක් ගතව ඇති අද පවා, බල කේන්ද්‍රයට පිටතින් සිටිමින් පවා, වෙනත් පුරවැසියන්ට බලපාන නීති හස්තයෙන් නිදහස්ව, ප‍්‍රීතිමත් රැුකවරණයක සැතපී සිටී.
ෆ‍්‍රාන්ස් කෆ්කා ලියූවේ අන්න එවැනි දේශයක් සහ ජනතාවක් ගැන ය.
යුක්ති ධර්මයේ රෝද කුසීතව ඇඹරෙන සැටි එක දිගටම බලා සිටීමෙන් වෙහෙසට පත් ජනතාවක් තුළ වැඩෙන නියුරෝසියාව හෙවත් ස්නායු විකාරය මේ යැයි, කලාව හරහා ලොවට විශද කළ ප‍්‍රබුද්ධයා ෆ‍්‍රාන්ස් කෆ්කා ය.
අද අපේ රටේ යුක්ති ධර්මය පසිඳලන අමන ක‍්‍රමය ගැන බලවත් ශෝකයටත්, වික්ෂිප්තභාවයටත් පත්ව සිටින මේ ලියුම්කරු, කෆ්කාගේ ප‍්‍රකට නවකතාව වන ‘නඩු විභාගය’ නැමැති කෘතියේ අත්දැකීම මේ රටේ ජනතාවත් සමග බෙදාහදා ගැනීම මැනවැයි සිතයි.
‘‘යුක්තිය සොයාගෙන ගැමියෙක් නගරයට එයි. උසාවියට ඇතුල් වීමේ දොරටුව ළඟ මුරකාරයෙක් සිටී. තමාට උසාවියට ඇතුල් වීමට ඉඩ දෙන්නැයි ගැමියා බැගෑපත්ව ඉල්ලා සිටී. දැන් ඔහුට අවසර දීමට ඉඩක් නැති බවත්, වෙනත් අවස්ථාවක එන ලෙසත් මුරකරුවා ගැමියාට දන්වා සිටී.
තරමක් කල්පනා කරන ගැමියා පසු අවස්ථාවක තමාට ඒ සඳහා අවසර ලැබේදැ යි මුරකරුවාගෙන් විමසයි. ‘සමහර විට පුළුවන් වේවි.’ මුරකරුවා උත්තර දෙයි. ‘ඒත් දැන් බැහැ.’
නීතියට අවතීර්ණ වීමේ දොරටුව සුපුරුදු පරිදි විවරව ඇති බව දකින ගැමියා, මුරකාරයා ටිකක් එහා මෙහා වන තෙක් බලා සිට, උසාවිය තුළට හොරෙන් එබී බලයි. එය දකින මුරකරුවා සිනාසී කියන්නේ මෙවැන්නකි: ‘ඔය තරං රුදාවක් තියනවා නං, මගේ අවසරය නැතුව ඇතුල් වෙලා බලමුකෝ… හැබැයි මතක තියාගන්නවා. මම බලවන්තයෙක්. ඒත් මම තමයි පහළම මට්ටමේ මුරකාරයා. මේ උසාවියේ ශාලාවෙන් ශාලාවට, හැම දොරක් ළඟම ඉන්නවා, ඊට කලින් මුරකාරයාට වැඩිය බලසම්පන්න තව මුරකාරයෙක්. මට පවා ඒ දිහා බලන්න බැරි තරමට, ඒගොල්ලෝ බලසම්පන්නයි.’
මේ වනාහි, ගමෙන් පැමිණි මිනිසා අපේක්ෂා නොකළ අවහිරතාවන් ය. ඔහු සිතන්නේ, නීතිය කාටත් විවෘතව තිබිය යුතු බවයි. ලොම් කබායක් හැඳ සිටින මුරකාරයා දෙස ගැමියා තවත් පරීක්ෂාවෙන් බලයි. ඔහුට තඩි, උල් නහයක් තිබේ. ඒ මිනිසාගේ උදහසට ලක් නොවී සිටීමට ගැමියා ඉටා ගනී. එබැවින්, අවසර ලැබෙන තෙක් ඉවසා සිටීම යෙහෙකි.
මුරකාරයා, දොර පසෙකින් බංකුවක් තබා ගැමියාට ඉඳ ගැනීමට ඉඩ හරී. මේ බංකුව උඩ, දවස් ගානක්, අවුරුදු ගානක් ඒ ගැමියා වාඩි වී බලා සිටී. ඒ අතරේ ඇතුල් වීමට ඔහු නොගන්නා උත්සාහයක් නැත. ඒ සඳහා මුරකාරයාට ඔහු නොවඳින වැඳුම් වඳියි.
මේ අස්සේ බොහෝ විට මුරකාරයා ගැමියා සමග කතාබහේ යෙදේ. ඔහුගේ ගේ-දොර ගැන, පවුලේ විස්තර ගැන විමසයි. එහෙත් ඒ සෑම ප‍්‍රශ්නයක්ම අසන්නේ, ලොක්කන් සොක්කන්ගෙන් දේවල් අහන යාන්ත‍්‍රික පිළිවෙළට ය. ඒ සෑම ප‍්‍රශ්න කිරීමක්ම අවසානයේ මුරකාරයා එළැඹෙන නිගමනය වන්නේ, තවම ගැමියාට ඇතුළු වීමේ අවසරය දිය නොහැකි බවයි. දුරු කතර ගෙවා පැමිණි මේ ගමන උදෙසා ගෙනා සියල්ල, ඒවා මොන තරම් වටිනා දෑ වුවත්, මුරකාරයා නම්මවා ගැනීමේ අභිලාෂයෙන් ගැමියා පාවිච්චි කරයි.
ඒ සියල්ල මුරකාරයා භාර ගත්තත් අවසානයේ ඔහු කියන්නේ: ‘මං මේ හැම දෙයක්ම බාරගන්නේ, තමුන්ට කරගන්න දෙයක් තාම තියෙනවා කියන එක තමුන් මතක තියාගන්න ඕනේ නිසයි.’
මේ දීර්ඝ වසර ගණනාව තිස්සේ ගැමියා නිරතුරුවම මුරකරුවාව පරීක්ෂාවට ලක්කරයි.
අනිත් මුරකරුවන් ගැන දැන් ඔහුට මතක නැත. ඔහුට සිතෙන්නේ, තමා සහ නීතිය අතර පවතින එකම බාධකය මේ මුරකරුවා බවයි. මුල් වසර කිහිපය තුළ ඔහු තමාගේ අබග්ගයට හයියෙන් ශාප කෙළේය. එහෙත් වයසට යද්දී, ඒ අඬවැඩියාව තමාටම මුමුණා ගන්නා ස්වයං-භාෂණයක් බවට හැරුණි. දැන් ඔහු ළාමක විය. දීර්ඝ කාලයක් මුළුල්ලේ මුරකාරයා දෙස ඇස ගසාගෙන සිටීමෙන් ගැමියා ලද පරිචය කෙතෙක් ද යත්, මුරකාරයාගේ ලොම් කබායේ කර වටා වසා සිටි මැක්කන් පවා ඔහු දැන හඳුනා ගත්තේය. තමන්ට පිහිට වන්නැයි ඒ සෑම මැක්කෙකුගෙ න්ම ඉල්ලා සිටින ගැමියා, මුරකාරයාගේ හිත වෙනස් කර දෙන ලෙස උන්ගෙන් ද ඉල්ලා සිටියේය.
අවසානයේ ඔහුගේ දෑස් කෙමෙන් නිලංකාර වෙයි. ලෝකය කළුවර වෙමින් යන්නේ ද, නැත්නම් තමාගේ ඇස් තමාව රවටයි ද යන්න ඔහුට නොතේරේ. එහෙත් අන්ධකාරය තුළ දැන් ඔහුට දර්ශනය වෙන එක දෙයක් තිබේ. ඒ, නීතියේ ද්වාරයෙන් විහිදෙන අජරාමර දිස්නයයි.
දැන් ඔහුගේ ජීවිතය නිමාවට පත්වෙමින් තිබේ. මියෙන්නට කලින්, ඒ සා කාලයක් තිස්සේ, තමන්ගේ සමස්ත චාරිකාව තුළ අත්දුටු සියල්ල, එතෙක් මුරකරුවාට ඉදිරිපත් කොට නැති තනි ප‍්‍රශ්නයක් තුළ, ඔහුගේ සිතේ ගොනු වෙයි. වෑරෙමින් පවතින සිරුර තවදුරටත් වාරු නැති තත්වය තුළ ගැමියා මුරකරුවාට හිසින් සංඥා කරයි. ගැමියාට කන් දීම සඳහා මුරකරුවා දැන් දෙකට තුනට නැමිය යුතුය. ඒ තරමට, දෙදෙනා අතර තරම පත වී ඇත.
‘දැන් මොකක්ද දැනගන්න ඕනේ?’ මුරකාරයා ප‍්‍රශ්න කරයි. ‘තමුසේ නං කවදාවත් සෑහීමකට පත්වෙන මිනිහෙක් නෙවෙයි.’
‘හැම කෙනෙක්ම බලන්නේ නීතියේ පිහිට..’ ගැමියා කියයි. ‘එහෙම නං, මෙච්චර කාලයක් මං ඇර වෙන කවුරුවත් මෙතන්ට නාවේ ඇයි?’
ගැමියා ජීවිතයේ අවසානයට ළඟා වෙමින් සිටින බව මුරකාරයාට පෙනේ. ඔහුගේ කන් ඇසීමත් දැන් හොඳටම දුර්වල ය. එබැවින් ඔහුගේ කනට කර මුරකාරයා මොරදුන්නේය: ‘තමුන්ට ඇර වෙන කෙනෙකුට මේ දොරෙන් යන්න බැහැ. මොකද, මේ දොර හදලාම තියෙන්නේ තමුන්ට. දැන් මං ඒක වහන්නයි යන්නේ.’
මේ පාඨය තුළ, අතිශය හෘදයග‍්‍රාහීව සහ චාරුමත්ව කෆ්කා ප‍්‍රතිනිර්මාණය කරන්නේ, නීතියේ අභූත රූපයයි. ඒ වනාහි, ලෝකයේ පරමාර්ථයම, ඒ පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා ගොඩනැගූ ක‍්‍රියාවලිය විසින් අබිබවා ගිය, අවලංගු කළ සහ පරාජයට පත්කළ, විපරීත ලෝකයකි.
කෆ්කා ගොඩනැගූ නෛතික ලෝකය, මූසල ලෝකයකි. යුක්තිය පිළිබඳ වික්ෂිප්ත සිහින දකින අප වැනි පුරවැසියන් අවසානයේ පාගා පොඩි කර දැමෙන්නේ එවැනි ලෝකයක ය. උසාවි යනු, නීතියේ නිලධර සමුච්ඡුයේ ප‍්‍රතිමූර්තියයි. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයන් වන අතරේ, කෆ්කාගේ ගැමියා, මුරකාරයා ඉදිරියේ අඩු සමානයෙකි.
දැන් අපි ආපස්සට යමු.
ඝාතනය වූ ලසන්ත වික‍්‍රමතුංගගේ අයියා ද, ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ප‍්‍රකාශකයා ද වූ ලාල් වික‍්‍රමතුංග, ගල්කිස්සේ පිහිටි ඒ කෆ්කියානු උසාවිය විස්තර කොට තිබුණේ මෙසේ ය:
‘‘නඩුව අහන මුල්ම දවසේ ගෝඨාභය රාජපක්ෂ ගල්කිස්සේ උසාවියට ආවේ හමුදාපතිවරු තුන් දෙනා සහ පොලිස්පතිවරයා එක්ක. ඊට අමතරව, ආණ්ඩුවේ තවත් ලොකු ලොක්කොත් ආවා. පත්තරේ වෙනුවෙන් උසාවියේ පෙනී හිටියේ මම තනියෙන්. උසාවිය අවට පාරවල්වල, ගොඩනැගිලි වහලවල් උඩ සහ අධිකරණ භූමිය ඇතුළේ, සන්නද්ධ පිරිස් වැහි වැහැලා. ගල්කිස්සේ උසාවියේ වැඩ කරන කිසි නීතිඥයෙකුට එදා තමන්ගේ වාහන අධිකරණ භූමිය තුළට ගේන්න දුන්නේ නැහැ. ආයුධ සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් මගේ වටේට වාඩි වෙලා හිටියා. මගේ නීතිඥයෝ අපි වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉවත් වුණා.’’
කෆ්කා පරිකථාවෙන් මේ කාලයට පාඩමක් ගත්තොත්, ඒ මෙසේ වනු ඇති: දොරටුවෙන් ඇතුළු වීම සඳහා වසර තුනකටත් වැඩි කාලයක් දොරටුපාලයා සමග සාකච්ඡුා කරමින් අප නාස්ති කොට ඇත. අවලම් දොර අප සඳහාම වන බව තාම අප තේරුම් ගෙන නැත. අප එළියේ තබා එය වසා දැමීමට දොරටුපාලයාට අප ඉඩ දිය යුතු නැත.
‘නඩු විභාගය’ නැමැති නවකතාව තුළ කෆ්කා නීතියේ පරිපාටිය පිළිබඳ අවුල සහ අභූතය තුළට කිමිදෙන්නේ, මිග් යානාවක් සතු අධි-බලැති සූක්ෂ්මතාවෙන් යැයි මට සිතේ.
(2018 ජුනි 17 වැනි දා ‘ද සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Kafka in the Hulftsdorp ලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.*

අපරාධ සැකකරුවකු සඟවාගෙන සිටි බවට චෝදනා ලත් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා

0

 

අරුණ ජයවර්ධන

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නට යන බව පසුගිය සතියේ ඉරිදා දිවයින සිය ප‍්‍රධාන සිරස්තලයෙන් කීවේය. යුද්ධය කළ හමුදා රණවිරුවන් මේ ආණ්ඩුව විසින් දඩයම් කරන්නේය යන ප‍්‍රවාදය සමාජය තුළ වැපිරීමේ අදහසින් දිවයින මෙවැනි ප‍්‍රවෘත්ති විශේෂ අවධාරණයකින් පළකරන නමුත්, එහි කතාව ඇත්තය.
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා එසේ අත්අඩංගුවට ගන්නට යන්නේ තරුණ ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා පසුව අතුරුදන් කිරීමේ අපරාධයට හා මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට ප‍්‍රදාන සැකකරුවකු වශයෙන් සැලකෙන නේවි සම්පත් හෙවත් හිටපු ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, මුලින් කී අපරාධයට අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හොයන බව හොඳින්ම දැන දැන, ඔහු සඟවා තබාගෙන රටින් පිට කිරීමේ වරදටය.
මෙලෙස පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබාගැනීම සහ පසුව අතුරුදන් කිරීම පිළිබඳ පරීක්‍ෂණ කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඒ ගැන පවරා ඇති අංක බී732/09 දරන නඩුව සඳහා වරින්වර පරීක්‍ෂණයේ ප‍්‍රගතිය ගැන කරුණු වාර්තා කරයි. එම නඩුව අවසාන වශයෙන් කැඳවා ඇත්තේ 2018 ජුනි 14වැනි දිනය.
ඉහත විමර්ශනයට අදාළව මේ වන විට සැකකරුවන් 10දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඉන් සැකකරුවන් 8 දෙනකු අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇති අතර, 2018 ජනවාරි 16 දින සහ 2018 ජනවාරි 28 දින පිළිවෙළින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බලනැවි කේඒ ගාමිණී සහ නාවික හමුදා සුළු නිලධාරී එච්එන්ඒ තුෂාර මෙන්ඩිස් යන සැකකරුවෝ මේ දක්වා රක්‍ෂිත බන්ධනාගාරව සිටිති.
විමර්ශනයේදී සිද්ධීන්වලට අදාළ නඩුවේ 2වන සැකකරු ලෙස නම් කර තිබුණු හිටපු ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යන අයගේ සම්බන්ධතාව සම්බන්ධයෙන් විශ්වසනීය සාක්‍ෂි විමර්ශනයේදී අනාවරණය වී තිබුණු පසුබිම මත, සිද්ධීන්වලට අදාළව නේවි සම්පත්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වුවමනා විය.
ඒ අනුව 2017 මාර්තු 2වැනිදා මෙම නිලධාරියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙස, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එවකට නාවික හමුදාපති සහ දැන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න වෙත ලිපියක් යවා තිබේ. ලිපිය යවා ඇත්තේ මාර්තු 1 වැනි දිනය. එහෙත්, මාර්තු 2 වැනිදා නේවි සම්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොආවේය. එනිසා, නැවතත් නේවි සම්පත් සීඅයිඞීයට යොමුකරන ලෙස 2017 මාර්තු 28 දිනය සහිත ලියුමක් හිටපු නාවික හමුදාපති රවි විජේගුණරත්න වෙත සීයිඩිය විසින් යොමුකර ඇත.
කරන ලද විමර්ශනවලදී, දුරකථන හුවමාරු සම්බන්ධතා හා අදාළ කුලූනුවල පිහිටීම මත හෙළිකරගත හැකිවුණු අන්දමට මේ කියන දවස්වල නේවි සම්පත්, නාවික හමුදා මූලස්ථානයේ නේවාසිකව සිට ඇති බවට සනාථ වී තිබේ.
මේ කාලයේ එක් දිනක්, නේවි සම්පත් හා තවත් නාවික හමුදා නිලධාරියකු මූලස්ථානයේ විදුලි සෝපානයකින් පහළට එමින් සිටියදී ඔවුන්ට නාවික හමුදාපති රවි විජේගුණරත්න මුහුණට මුහුණ හමුවිය. නාවික හමුදාපතිවරයා නේවි සම්පත්ගෙන් කොහේ යනවාදැයි ඇසුවේය. නේවි සම්පත් කිව්වේ, බිරිඳ පැමිණ සිටින බැවින ඇය හමුවීමට යන බවයි. එවිට නාවික හමුදාපතිවරයා නේවි සම්පත්ට කියා ඇත්තේ, පොලිසියට අහුවෙන්නේ නැතිව පලයන් කියාය. නේවි සම්පත් සමග ඒ අවස්ථාවේ සිටි නාවික නිලධාරියා, පොලිසියට අහුවෙන්නේ නැතිව යන්න කිව්වේ ඇයිදැයි ඇසූ විට, නේවි සම්පත් කියා ඇත්තේ, සීඅයිඞීයෙන් තමාව හොයන බවයි.
මේ අනුව පැහැදිලි වන්නේ, සීඅයිඞීයෙන් නේවි සම්පත් හොයන බව දැන දැනම ඔහු නාවික හමුදා මූලස්ථානයේ රැුකවරණය ලබා ඇති බවයි. එපමණක් නොවේ, හිටපු නාවික හමුදාපති රවි විජේගුණරත්නද සීඅයිඞීයෙන් ඔහු සොයන බව දැනගෙන සිටි බවයි. එහි තේරුම, හිටපු නාවික හමුදාපතිවරයා, පොලිසියෙන් සොයන කෙනකු බව දැන දැනත් නේවි සම්පත් ආරක්‍ෂා කළ බව නොවේද?
ඊට අමතරව, නේවි සම්පත්ගේ බිරිඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප‍්‍රකාශයක පැහැදිලිවම සඳහන් කරන්නේ තමාගේ ස්වාමි පුරුෂයා නාවික හමුදා මුලස්ථානයේ අංක 6 දරන නිලධාරි කාමරයේ (වෝඞ් රූම්) සිටි බවයි. තමන්ට නාවික හමුදාපති රවි විජේගුණරත්න මුදල්වලින්ද උදව් කළ බව ඇය සිය ප‍්‍රකාශයේ සඳහන් කොට තිබේ. වරෙක නේවි සම්පත් නේවාසිකව සිටි කාමරයට ආ වෙනත් නිලධාරියකුට සල්ලි මිටියක් පෙන්වූ නේවි සම්පත්, ‘බලපං කමාන්ඩර් මට සලකන හැටි’යි කියමින් ඒ මිටියෙන් නෝට්ටු කිහිපයක් ගෙන සාක්කුවේ දාගත් බවද සීඅයිඞීය ඉදිරියේ ඇති ප‍්‍රකාශවලින් කියැවෙයි.
තවදුරටත් හෙළිදරව් වන්නේ, මෙසේ නාවික හමුදා මූලස්ථානයේ ආරක්‍ෂාව සහිතව තබාගෙන සිටි නේවි සම්පත්, පසුව බෝට්ටුවකින් රටෙන් පිටකර ඇති බවයි.
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවි විජේගුණරත්න මෙලෙස අපරාධ සැකකරුවකු සඟවා තබාගැනීම ගැන පසුගිය මාසයේ පැවැති, පසුගිය රජය කාලයේ අපරාධ චෝදනා ගැන සොයාබලා පියවර ගැනීමට ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ඇමති කමිටු රැුස්වීමේදී, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඍජුවම කරුණු ඉදිරිපත් කළ අතර, එහිදී රවි විජේගුණරත්න වෙත මේ චෝදනාව ඍජුවම එල්ල කරන ලදි. ඉන් කෝපයට පත්වු විජේගුණරත්න, සීඅයිඞී නිලධාරීන්ට බැන වැදුණු බවත්, තමා ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා බැවින් ඒ ගැන ගෞරව කළ යුතු බවත් කියා ඇත. එහෙත්, තමාට එරෙහිව ඇති චෝදනා සාක්‍ෂි සහිත නම් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවද ඔහු කියා තිබේ.
එහෙත්, විමර්ශනවලින් පැහැදිලි වන්නේ, අද්මිරාල් රවි විජේගුණරත්න හා නේවි සම්පත්ගේ අධීක්‍ෂණ නිලධාරියා, මේ සැකකරු සීඅයිඞීය වෙත යොමු නොකිරීමට හිතාමතාම කටයුතු කර ඇති බවයි.
ඒ පසුබිම මත, 2017 ජූලි 13 වැනිදා විමර්ශන නිලධාරීන් විසින් සැකකරුට එරෙහිව පළමු දින වරෙන්තුවක් අධිකරණයෙන් ලබාගත් අතර, 2017 ඔක්තෝබර් 9වැනිදා විවෘත වරෙන්තුවක්ද ලබාගත්තේය. ඊට අමතරව ප‍්‍රසිද්ධ නිවේදනයක් නිතුත් කරමින් පොලිසිය නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වන ලෙස මහජනතාවගෙන්ද ඉල්ලා සිටියේය. මේ සියලූ තොරතුරු අද්මිරාල් රවි විජේගුණරත්න නොදැන සිටින්නට කිසිම හේතුවක් නැත.
නේවි සම්පත්ට ඇත්තේ මේ චෝදනාව පමණක් නොවේ. යාපනය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්ට හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරි පොලිස් කොස්තාපල් 30636 ලක්‍ෂ්මන්ට 2006 නොවැම්බර් 10වැනි දින නාරාහේන්පිටදී වෙඩිතබා ඝාතනය කිරිමේ නඩුවේ ඔහු 2වැනි විත්තිකරුය. මේ ඝාතන සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ 8331/16 අංකය දරන නඩුව විභාග කෙරුණු අතර, එහි අවසාන තීන්දුවෙන් සියලූ විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරන ලදහ.
එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුවත්, නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳත්, එම තින්දුවට එරෙහිව අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණය වෙත යොමු කොට ඇත. මේ අභියාචනය, 2018 ජුනි 25වැනි දින විමසීමට නියම කර ඇත.

අද්මිරාල්ගේ වරද
හෙළිකරගත් තොරතුරු අනුව, වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතා, විවෘත වරෙන්තු නිකුත්වී ඇති අපරාධ සැකකරුවකු වන නේවි සම්පත් හෙවත් ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නීත්‍යනුකූලව අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සහ/හෝ සැකකරුට රැුකවරණය දීම සඳහා කටයුතු කරන බවට ඉතාම හොඳින් පැහැදිලි වෙයි. ඒ අනුව, වර්තමාන ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවි විජේගුණරත්න ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරද දෙකක් සිදුකර ඇති බවට තොරතුරු තිබේ.
එකක් නම්. 198 වගන්තියේ සඳහන් වන, කරනු ලැබු වරදක් පිළිබඳ සාක්‍ෂි අතුරුදහන් කරවීම හෝ වරදකරු ආවරණය කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයීමයි.
දෙවැන්න, 209 වගන්තියේ සඳහන් වන පරිදි, වරදකරුයැයි විශ්වාස කිරීමට කරුණු ඇත්තාවූ තැනැත්තකු නීත්‍යනුකුල දඬුවමෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා ඔහුට නවාතැන් දීම හෝ, ඔහු සැඟවීම හෝ උපකාර කිරීමයි. රවි විජේගුණරත්නගේ මේ නීති විරෝධී ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් 2018 මැයි 31වැනි දින සීඅයිඞීය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබේ. විමර්ශන නිලධාරීන් විසින් විවෘත අධිකරණයේදී කරුණු දක්වාද තිබේ.
පුද්ගලයන් 11 දෙනකු පැහැර ගැනීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් වී සිටින බහුතරයක් දෙනා නාවික හමුදා නිලධාරියෝ හා නැවියෝය. ඔවුන් අතරින් ප‍්‍රධානතම සැකරුවකු වන නේවි සම්පත්ට මෙලෙස රවි විජේගුණරත්න රැුකවරණය සැපයීම වනාහි එක් අතකින් අපරාධ වරදකි. අනෙක් අතින් ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී යන තනතුරට කිසිසේත් නොගැළපෙන අපචාරයකි. අනෙක් අතට සැකකරුවන්ට නාවික හමුදාවේ ඉහළම නිලධාරියකු විසින් රැුකවරණය දෙන පසුබිමක, අපරාධ විමර්ශනය ඉදිරියට ගෙනයෑමේදී බලවත් බාධා ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ඉල්ලා අස්විය යුතුයි
මෙවැනි අපරාධ චෝදනාවක් ගොනුවී තිබෙන විට, නීතිය තිබෙන රටක නම්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවි විජේගුණරත්න කළ යුත්තේ වහාම ඉල්ලා අස්වී සිය වැදගත් තනතුරේ කීර්තිය ආරක්‍ෂා කර දීමයි. එසේ ඉල්ලා අස්වී, තනතුර පිරිසිදු කිරීමේ පියවරක් මේ පුද්ගලයා නොගන්නේ නම්, ඊළඟට විය යුත්තේ, එම තනතුරුවල ඉහල අධීක්‍ෂකයන් එම තනතුරේ ගෞරවය ආරක්‍ෂා කෙරෙන පියවරක් ගැනීමයි.

ඉවත් කළ යුතුයි
ඒ සඳහා පළමු වගකීම ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛiරත්නටය. 2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී පනත අනුව, ජනාධිපතිවරයා විසින් පත්කෙරෙන නමුත්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා කටයුතු කළ යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අධිකාරයට, විධානයට, පාලනයට සහ අධීක්‍ෂණයට යටත්වය. එහි තේරුම මාණ්ඩලික ප‍්‍රධානියාගේ ක‍්‍රියාකලාපය දෙස පැය විසිහතර පුරාම බලාගෙන ඉන්නේ ආරක්‍ෂක ලේකම්වරයා බවය. තවදුරටත් කියන්නේ නම්, මාණ්ඩලික ප‍්‍රධානියා යම් වරදක් කරන හෝ විෂමාචාරයක යෙදෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් මූලික පියවර ගතයුත්තේ ආරක්‍ෂක ලේකම්වරයා බවය.
එහෙත්, එවැනි විෂමාචාරයකදී ඔහු දුරයෙන් ඉවත්කිරිමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පනතේ 4වැනි වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් ඕනෑම අවස්ථාවකදී ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලූ සැලකිල්ලට ගෙන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඒ සඳහා හේතු දැක්වීමකින් තොරව ධුරයෙන් ඉවත්කරනු ලැබිය හැකිය.
රටේ නීතිය සමාන ලෙස ක‍්‍රියාත්මක කිරීම ගැන පුරසාරම් දොඩවන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, මේ සම්බන්ධයෙන් වගකිව යුතු නොවේද? ඔහු කියන දේ කරන කෙනෙකු නම්, වහාම ක‍්‍රියාත්මක වන පරිදි රවි විජේගුණරත්න නමැති අපරාධ චෝදනා ලද නිලධාරියා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් ඉවත් කළ යුතුය. නැතහොත්, ඉල්ලා අස්වන ලෙස ඔහුට දැනුම් දිය යුතුය. එහෙත් මේ වන තෙක් එවැන්නක් නොකිරීමෙන් පෙනෙන්නේ කුමක්ද? සේනාධිනායක හා ජනාධිපති සිරිසේනද මේ අපරාධ චුදිතයන්් ආරක්‍ෂා කරමින් සිටින බව නොවේද?

අත්අඩංගුවට ගැනීම
විජේගුණරත්න තනතුරෙන් ඉවත් නොවන්නේ නම් හෝ ඔහු ඉවත් නොකරන්නේ නම් හෝ කළ හැකි ඊළඟ දේ වන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමයි. එහෙත්, එය රටේ ප‍්‍රතිරූපයටත් නරක පියවරක් වනු ඇත. මේ වන විටත් යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අමල් කරුණාසේකර සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. ඔහු රවි විජේගුණරත්න ඇරුණු විට ඊළඟට සිටින හමුදා ප‍්‍රධානියාය. කීත් නොයර් පැහැරගෙන ගොස් ඝාතනය කරන්නට සුදානම් වීමට අදාළ සිද්ධිය පිළිබඳව අමල් කරුණාසේකර රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියි. ඊට අමතරව, උපාලි තෙන්නකෝන් පැහැරගෙන යන්නට තැත්කිරීමට අදාළවද අමල් කරුණාසේකරට චෝදනා නැගී ඇත.
යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මොහොතක, ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියාත් අත්අඩංගුවට ගතහොත්, එය එක් අතකින් සන්නද්ධ හමුදාවල කීර්තියට විශාල හානියක් වන අතර, අනෙක් අතින් රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වේය යන චෝදනාව කිසිවකු විසින් එල්ල කරනු ලැබිය හැකි තත්ත්වයකි. ඒ නිසා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු තවමත් සැලකිලිමත් වෙති. එහෙත්, අද්මිරාල් රවි විජේගුණරත්න සිය කීර්තිමත් තනතුරට නොගැළපෙන වරදක් ගැන චෝදනා ලබා සිටියි.
මේ නරක තත්ත්වය වළක්වාගන්නට කළ හැකි දේවල් කිහිපයක් ඇත. පළමුවැන්න, රවි විජේගුණරත්න සිය තනතුරෙන් ඉල්ලා අස්වීමයි. දෙවැන්න ආරක්‍ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන්, ජනාධිපතිවරයා විසින් ඔහු ධුරයෙන් ඉවත්කිරීමයි. එවිට ඔහුට එරෙහිව චෝදනා ඉදිරියට ගෙනයන්නට පහසුවක් ලැබෙන අතර, නඩු පවරන අවස්ථාවකදී සිය නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට ඔහුට හැකිවනු ඇත.
මේ පියවර දෙක සිදුනොවන තාක් සිදුවන්නේ, ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවීමෙන් මුළුමහත් ත‍්‍රිවිධ හමුදාවලම ප‍්‍රතිරූපයට විශාල හානියක් වීම වළක්වාගත නොහැකි වීමයි.

..ඒත් නවතින්නේ නැහැ. සන්ධ්‍යාඑක්නැළිගොඩ

0

 

රේඛා නිලූ‍ක්ෂි හේරත්

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩුවට ඥානසාර හිමි සම්බන්ධ වුණේ කොහොමද?
ප‍්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ඥානසාර හිමි කිසිම සම්බන්ධයක් නෑ. ඒ නඩුව 2010දී පටන් අරගෙන 2015 වෙනතුරු කිසි දෙයක් වුණේ නෑ. එකම දේ නැවත නැවත කිව්වා. බොරු තොගයක් තිබුණා. 2015 ආණ්ඩු මාරුවෙන් පසුව අපරාධයක් විදියට බාර අරගෙන පරීක්ෂණ කළා. ලැබුණු සාක්ෂි මත හමුදා බුද්ධි අංශ නිලධාරීන්ව අත්අඩංගුවට ගත්තා. මේ පාර්ශ්වකරුවන් නොවෙන ඕනෑම කෙනෙකුට උසාවියට ඇවිත් නඩුව නරඹන්න පුළුවන්. ඥානසාර හිමියන් එහෙම බලන්න ආ කෙනෙක්.

ඥානසාර හිමියන්ගෙන් පළිගන්න ඔබ ක‍්‍රියා කළ බව ඇතැම් අය කියනවා. ඥානසාර හිමියන්ට දඬුවම් දීම ඔබේ වුවමනාවට කළ දෙයක්ද?
ඥානසාර හිමියන් මට තර්ජනය කළ මොහොතේ මම ක‍්‍රියාමාර්ග දෙකක් කළා. එකක් හෝමාගම පොලීසියට පැමිණිලි කළා. අනෙක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේට පැමිණිල්ලක් කළා. ධම්මාලංකාර හිමියන් තමයි කෝට්ටේ සංඝ සභාවේ නායක හිමියන්. ඥානසාර හිමියන්ගේ නායක හිමි. මම පැමිණිලි කළා භික්ෂු විනයට අනුව ඥානසාර හිමියන් සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. සංඝ සභාව ඒ සම්බන්ධයෙන් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එහෙම පසුබිමක මට සිදුවෙනවා නීතියෙන් තියෙන රැුකවරණය ලබාගන්න. මේක පෞද්ගලික නඩුවක් නෙවෙයි. මේක අපරාධ නඩුවක්.
මා කළ පැමිණිල්ල මත සාධාරණ සැකයකින් තොරව පොලීසිය චෝදනාව ඔප්පු කිරීම නිසා පැහැදිලි දඬුවමක් දීමට අධිකරණයට සිදුවෙනවා. ඒක තමයි මහේස්ත‍්‍රාත්තුමා කළේ. මේක මගේ පෞද්ගලික පළිගැනීමක්වත් රජය කළ පළිගැනීමක්වත් නෙවෙයි. මම කළේ පොලීසියට පැමිණිල්ලක් කිරීම පමණයි. පැමිණිල්ල ක‍්‍රියාත්මක කළේ පොලීසිය විසින්. ඒක තමයි පොලීසියේ රාජකාරිය.

ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීම උපසම්පදාවේ ගෞරවය කෙළෙසීමක් බව කියනවා. ඔබට ඒ ගැන තියෙන අදහස මොකක්ද?
උපසම්පදාවේ ගෞරවය රකින්නට නම් සංඝ සභාවට හොඳාකාරවම විනය පියවර ගන්න තිබුණා. මොකද ඒ අය ගාවට බෞද්ධ ස්ත‍්‍රියක් තමන්ට භික්ෂුවක් විසින් හිරිහැර කළා කියලා පැමිණිල්ලක් කරලා තිබුණා. මේ තර්ජනය බුද්ධ ධර්මයට අනුව වරදක් නොවන බව මැදගොඩ අභයතිස්ස හිමි කියලා තිබුණා. හැබැයි මම දන්නේ නැහැ දකුණතේ දබරැුඟිල්ල දිගුකරලා තර්ජනාත්මකව ‘තෝ පලයන්, තොගේ මිනිහා කොටියෙක්, තෝ ගිහින් හිඟා කාපිය’ කියද්දී ඒක පරුෂාවාචා වේරමණී සික්ඛාපදං කියන සිල් පදයටවත් වැටෙන්නෙ නැත්තේ කොහොමද කියලා.
මම සතුටට පත්වෙන එක කාරණයක් තියෙනවා. 2016 ජනවාරි 26 වැනිදා ඥානසාර හිමියන්ව මුලින්ම රක්ෂිත බන්ධනාගාර කළ දවසේ ‘කිරිබත් කෑ’ නාලාගිරි වගේ හාමුදුරුවරු සිවුරු ගලවාගෙන, වැටවල් උඩ නැඟගෙන, පොලීසියේ මහත්වරුන්ගේ ඇඳුම් ඉරලා, බන්ධනාගාර බස්රිය ළඟ නිදාගෙන පුදුම කලහකාරී හැසිරීමක යෙදුණා. ඒත් පහුගිය 14 වැනිදා ඥානසාර හිමියන්ව බන්ධනාගාරගත කළ වෙලාවේ මේ භික්ෂූන් වහන්සේලා කළේ පිරිත් කීම. මම සතුටට පත්වෙනවා අන්තිමේදී නීතිය විසින් මේ භික්ෂූන් වහන්සේලාව විනයගත කිරීම ගැන. එහෙත් මම බෞද්ධ කාන්තාවක් විදියට දුක්වෙනවා මේ කලහකාරී භික්ෂූන් වහන්සේලාව විනයගත කරන්න ලංකාවේ සංඝ සභාව අසමත් වීම ගැන.

ඔබට තර්ජනය කරන අය වෙනුවෙනුත් ප‍්‍රගීත් ලියලා තියෙනවා කියලා සිහිවෙද්දී ඔබට ඇතිවෙන හැඟීම මොකක්ද?
මට හිනා ඉතින්. මම එකම එක දෙයක් තේරුම් ගත්තා. ලංකාවෙ බහුතරයක් පිරිමි පරපීඩක කාමුකත්වයෙන් පෙළෙනවා. ඒ අය අඩු වශයෙන් ලිංගික වචනවලින් මට හිරිහැර කරලා හරි තෘප්තියක් ලබන්න බලනවා.

මාධ්‍යවල හැසිරීම ගැන ඔබේ අදහස මොකක්ද?
මාධ්‍යවලින්ම දැන් කියනවා පීඩකයා හරි කියලා. පීඩකයාට දඬුවම් දෙන්න ඕනෑ නැහැ කියලා. මට හිනහ යනවා. මම දන්න තරමින් බුද්ධ කාලයේදීවත් කවදාවත් චීවරය දැම්මා කියලා වරදකරුවෙක්ව නිවැරදි කරන්නැයි කියලා නැහැ. බුද්ධ වචනය අනුවම තමන් කරන හොඳ නරක ගොනා පසුපස කරත්තය ඇදෙනවා සේ තමන් පසුපස එනවා. ඥානසාර හිමි වරදක් කරලා තියෙනවා. බුද්ධ වචනය අනුව ඥානසාර හිමි පසුපස දඬුවම එනවා. ඒක කර්මය ලෙසවත් පිළිගන්න බෞද්ධයන්ට බැරි ඇයි? බුද්ධ කාලයේදී දේවදත්ත කියලා හිමිනමක් හිටියේ නැද්ද? බෞද්ධ දේශනා අනුව පව් පටිසන් දීලා දේවදත්ත හිමියන් පොළොව පළාගෙන නිරයට ගියා.

ඔබට මීට පෙරත් තර්ජන තිබුණා. දැන් ඒවා තව වර්ධනය වෙලා. ඒ ගැන බියක් දැනෙනවාද?
මට වෙලාවක දරුවන් පවා කියනවා පාරට යන්න එපා කියලා. යාළුවො කතාකරලා කියනවා. මේ අය මට කරදර කරයි කියලා. මටත් බයයි තමයි. ඒත් නවතින්නේ නැහැ. අපි හොඳාකාරවම දන්නවා මේක කරවන්නේ රාජපක්ෂලාගේ කඳවුර විසින් කියලා. මේ තර්ජන සංවිධානාත්මක පසුබිමකින් එන ඒවා කියලා. එයාලාගේ අරමුණත් මාව බය කරලා නතර කරන එකනේ.

ප‍්‍රගීත් කොටියෙක් නිසා ඔහුව අතුරුදන් කරවීම සාධාරණ බව ඇතැම් අය කියනවා නේද?
2016 අගෝස්තු 23 හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ 741710 කියන නඩුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොනු කළා ලංකාවේ ආරක්ෂාවට සම්බන්ධ ආයතන 11කින් කළ විමසීමක ප‍්‍රතිඵල. එයින් අහලා තිබුණේ ප‍්‍රගීත් කිසියම් හෝ ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවාද, ඒවා සමඟ සම්බන්ධවෙලා තියෙනවාද, යම්කිසි ආකාරයකට උදව්වෙලා තියෙනවාද කියලා. එයින් කියනවා ප‍්‍රගීත් කිසිම ක‍්‍රියාවකට සම්බන්ධ නැහැ, ඒවා සම්බන්ධ කිසිම නඩුවක් නැහැ කියලා. එහෙම සාක්ෂි නැතිව තියෙද්දී තමයි ප‍්‍රගීත් කොටියෙක් බව කියන්න උත්සාහ කරන්නේ.
අනෙක රසායනික අවි ගැන මම කී කතාවක හඬ පටයක් දැන් පාවිච්චි කරනවා. අපි දන්නවා ලංකාවේ තිබුණු යුද්ධය ලංකාවේ ජාතීන් දෙකක් අතර ගැටුමක ප‍්‍රතිඵලයක්. ඒක ප‍්‍රතික්ෂේප කරන්න කාටවත් බෑ. බලය ඇති ජාතිය සහ බලය නැති ජාතියක් හිටියා. මේ යුද්ධයේදී මනුෂ්‍ය ඝාතන ගොඩක් සිද්ධකළා. ඒ කාරණය ලංකාවේ මිනිස්සු ගැන භේදයක් නැතිව කල්පනා කරන ඕනෑම මනුෂ්‍යයෙකුගේ සිත කම්පා කරන කාරණයක්. රසායනික අවි සම්බන්ධ කාරණයේදී ප‍්‍රගීත් කියන්නේ කොතැනකදී හෝ කවුරුහරි කෙනෙක් මිනිසුන්ට විරුද්ධව රසායනික අවි පාවිච්චි කරනවා නම්, ඒක පාවිච්චි කරන්නේ තෝරලා ත‍්‍රස්තවාදීන් විතරක් මරන්න නෙවෙයි කියලා. ඒක කරන්නෙ යම් ජනවර්ගයක් සමූලඝාතනය කරන්නයි. උදාහරණයක් කිව්වොත් කුඹුරකට රසායනික ද්‍රව්‍ය ගැහුවොත් ඒකෙන් විනාශකාරී සත්තු විතරක් නෙවෙයි, සියලූ‍ සත්තු මැරෙනවා. අනෙක මේ රසායනික අවි ලෝකයේ කොහෙන් හෝ ගෙන ආ යුතුයි. එහෙම ගෙනෙන රසායනික අවි මේ බිමේ පාවිච්චි කිරීමෙන් ලෝකයේ කොහේ හෝ සිටින කෙනෙකුට රසායනික අවි ලංකාවේ අත්හදා බලන්න අපේ භූමිය පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.
මේ කාරණය මට කියන්න හේතුවක් තිබුණා. ප‍්‍රගීත් අතුරුදන් වෙලා වසර ගණනක් යන තෙක් කිසිම දෙයක් නැති හිස් කඩදාසියක් තිබුණා. මේක ගැන හොයපු අය හෙව්වා ප‍්‍රගීත්ව අතුරුදන් කරන්න හේතුව මොකක්ද කියලා. මම ඒ සඳහා හේතුවිය හැකි හේතු ගණනාවක් ඉදිරිපත් කළා. රාජපක්ෂලාව විවේචනය කිරීම, යුද්ධය සහ රසායනික අවි ගැන ලිවීම, ෆොන්සේකා මහතා සමඟ මැතිවරණයට ඉදිරිපත් වීම යන හේතු මම ප‍්‍රධාන වශයෙන් කිව්වා. මම හමුදාවට හෝ වෙන කිසි කෙනෙකුට චෝදනාව එල්ල කරන්නේ නෑ. රාජපක්ෂ ආණ්ඩුවටයි මේ සාපරාධී අතුරුදන් කරවීම ගැන චෝදනා කරන්නේ.

ඔබට කොටි කාන්තාවක්යැයි කියනවා…
මට කොටි ලේබලය අලවන අය කියන්නේ මම උතුරේ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටීම. මම සිංහල වීම නිසාත් මගේ සැමියා මාධ්‍යවේදියෙකු ලෙස ලංකාවේ සමාජය දන්නා කෙනෙක් වන නිසාත් සැමියා අතුරුදන් කාන්තාවක් විදියට මට වරප‍්‍රසාදයක් තියෙනවා. ඒ වරප‍්‍රසාදය එක්ක මට වගකීමක් පැවරෙනවා එහෙම කතාකරන්න පසුබිමක් නැති අවවරප‍්‍රසාදිත කාන්තාවන් වෙනුවෙන් කතාකරන්නට. ඒ කාන්තාවන් එක්ක එක පෙළට හිටගන්නට. මම ඒ වගකීම ඉටු කරනවා.

යහපාලන ආණ්ඩුව ඔබ සහ ප‍්‍රගීත් වෙනුවෙන් දැක්වූ සැලකිල්ල ගැන තෘප්තිමත්ද?
යහපාලන ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ මටවත් මගේ දරුවන්ටවත් පොඞ්ඩක්වත් උදව්වක් ලැබුණේ නැහැ. ඒක පැහැදිලියි. එහෙත් එක් කාරණාවක් සිද්ධවුණා. රාජපක්ෂලා බලයෙන් පහවීමෙන් පසුව ප‍්‍රගීත් අතුරුදන් කිරීම පිළිබඳව නඩුව ඉදිරියට ගෙනයන්න පුළුවන් වුණා. ඒ නිසා මේ වෙද්දී ප‍්‍රගීත්ව අතුරුදන් වීම ගැන සාධක බොහොමයක් හෙළිදරව් කරගන්න පුළුවන් වුණා. ඒක හැර වෙන කිසිම දෙයක් යහපාලන ආණ්ඩුවෙන් ලැබුණේ නෑ.

ප‍්‍රගීත් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණ තියෙන්නේ මොන මට්ටමේද?
හමුදාව නිසා පරීක්ෂණ හිරවෙලා තියෙන්නේ. එක වෙලාවක හමුදාපතිවරයා කියලා තිබුණා රණවිරුවා සහ අපරාධකරුවා දෙන්නෙක්. වෙනස හඳුනාගන්න කියලා. එහෙත් එක්තරා නිලධාරියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින කරුණු නොදී ඉන්නවා. ඒවා යුද්ධයට සම්බන්ධ කරුණු නෙවෙයි. කොළඹ තියෙන කඳවුරු කිහිපයක් ගැන අතීතයට සම්බන්ධ පොඩි ලේඛන කිහිපයක්. ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් කියලා මේ ලේඛන නොදී ඉන්නවා. මේ නිලධාරියා ළඟ තමයි මේක නැවතිලා තියෙන්නේ.