No menu items!
25.2 C
Sri Lanka
6 October,2024

අලි පන්දාහට තුවක්කු දස දහසක

Must read


අලි ඇතුන් සහ මිනිසුන් අතර වාසභූමි සඳහා ගැටුමට දිගු ඉතිහාසයක් තිබේ
ජාත්‍යන්තරව මෙකී ගැටුම හඳුන්වනු ලබන්නේ මිනිස් අලි ගැටුම( human
elephant conflict) යනුවෙනි . එහෙත් සිංහලෙන් අප එකී  ගැටුම හඳුන්වන්නේ
අලියා මුලට දමා අලි මිනිස් ගැටුම යනුවෙනි. එහෙයින්ම අප ප්‍රශ්නය අල්ලාගෙන
ඇත්තේ වැරදි කොනින් බව වටහා ගැනීම අසීරු නොවේ. පසුගිය වසරේ අලි මරණ
තුන්සීය හැටක් පමණ ද මිනිස් මරණ 113 ක් පමණද වන තරමට දුරදිග ගිය මහා
පරිමාණ සමාජ ඛේදවාචකයක් බවට ලංකාවේ මිනිස් අලි ගැටුම පත්ව තිබීම නිසා ඊට
පිළිතුරු සෙවීමද දේශපාලනඥයන් සිය ඡන්ද පොරොන්දුවක් බවට පත් කරගන්නා තරමට
දුරදිග ගොස් තිබේ . එසේ වෙතත් විද්‍යාත්මකව කළමනාකරණය කරගත යුතු මානව
පාරිසරික ගැටළුවක් වූ මිනිස් අලි ගැටුමට  දේශපාලන වේදිකාවේ ගැලරි  තර්ක
මත පිහිටා විසඳුම් දෙන්නට යාම නිසා අද වන විට මිනිසුන් සහ අලි යන දෙකොටසම
විනාශවෙමින් තිබේ.

 මේ වන විට බොහෝ දුරදිග ගොස්  ඔද්දල් වී ඇති ලංකාවේ මිනිස් අලි ගැටුම
කළමනාකරණය කිරීමට වත්මන් රජයද විධාකාර වූ උත්සාහයන් දරමින් සිටි .  එහෙත්
අවාසනාවනම් මෙකි විසඳුම් සියල්ල අතිශ්‍ය අවිද්‍යාත්මක මෙන්ම කලින් අත්
හදාබලා අසාර්ථක වූ ඒවා වීමය.  මෙකී අසාර්ථක ක්‍රමෝපායන් අතර වන කැකිල්ලේ
තීන්දුවක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වනජීවී
දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ට ගිනිඅවි ලබාදීම දැක්විය හැක.

කැබිනට් අමාත්‍යධුර විද්‍යාත්මකව බෙදා දීමේදී නව රජයේ දැක්ම අනුව  වනජීවී
අමාත්‍යාංශ මෙවර හිමි වූයේ ඉතිහාසයේ අසාර්ථකම වනජීවී අමාත්‍ය වරයා වූ
එස්.එම් චන්ද්‍රසේනටය. ගෙඩිපිටින් පූස්සක් වූ  හොරොව්පතාන අලි ගාලේ
නිර්මාතෘ ඔහුය. විහාර්ස්ථාන, ධනවතුන්, විනිසුරුවරු සන්තක්යේ නීතිවිරෝධිව
තබාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන දැනට නඩු භාණ්ඩලෙස පින්නවල අලි
අනාතාගාරයේ සහ උඩවල වේ රඳවා තබා ඇති අලි 35 දෙනා රැක බලාගැනිමට නොහැකිබව
කියා හ්ඬා වැටෙන්නේද ඔහුය ,ඒ මදිවාට එම අලි ”බලා කියා ගන්නට පුළුවන්”
අයට දී පවරා ඇති නඩු හමාර කරන්නට කැබිනට් අනුමැතිය ඉල්ලාන්නෙද ඔහුය.
මෙවැනි බොළඳ වනජීවී කලමනාකරණ ක්‍රියාවන්ට නායකත්වය දුන් ඔහු මෙවර ද
හත්පොලේ ගාගෙන අවසන් බව සිවිල් ආරක්ෂකයින් තුවක්කු බෙදා දී අලි මිනිස්
ගැටුම විසඳන්නට යැමෙන් වටහා ගත හැක.

අමාත්‍යවරයාගේ මෙකී  තීරණය  මගින් වාසභූමි අහිමිව දැනටත් අසරණව සිටින වන
අලි නියැතලෙසම  සංහාරය වනවා පමණක් නොව ඉන් ඔබ්බට ගිය මහා පරිමාණ සමාජ
ගැටලුව  ඇතිවන බව නොකියා බැරිය. සිවිල් ආරක්ෂකයන්ට තුවක්කු බෙදාදී අලි
මිනිස් ගැටුම වළකන්නට උත්සාහ ගැනීමට එරෙහිව ඉදිරි පෙළේ සටන් කරනා
පාහියන්ගල  ආනන්ද හිමියන් පවසනුයේ සිවිල් ආරක්ෂක සෙබළුන් යනු විධිමත්
පුහුණුවක් නොමැති ආරක්ෂක පිරිසක් බවය. එවැනි පිරිසක් අතට තුවක්කු දී
අධිසංවේදී පරිසර කළාපයක් මුර කරන්නට දීම වඳුරාට දැළිපිහිය දීමට දෙවෙනි
නොවන ක්‍රියාවක් බව උන්වහන්සේ පවසති . එමෙන්ම කලකට පෙර සිවිල් ආරක්ෂකයන්
සතුව තිබූ ආයුධ සියල්ලම රජයේ භාරයට ගෙන එම දෙපාර්තමේන්තුව නිරායුධ කළ බව
ද උන්වහන්සේ පවසති.ඊට හේතුව පෞද්ගලික ආරවුල් වලදී පවා සිවිල් ආරක්ෂක
දෙපාර්තමේන්තුවේ සේවකයින් ගිනිඅවි හරඹයට  යාම බව උන්වහන්සේ පැවසීය.

“මේක ඇත්තටම හිතුවක්කාර මෝඩ තීරණයක් .සිවිල් ආරක්ෂකයන්ට ගිනි අවි 5000
වලින් අලි ගම් වැදීම නවත්වන්න පුළුවන් කියලා කිව්වේ මොන උගතාද,  කවුද ඒ
ගැන පරීක්ෂණ කළේ. එහෙම විධිමත් වාර්තාවක් නැතුව මහජන මුදල් ඇමතිට ඕන
විදියට කාබාසිනියා කරන්න පුලුවන්ද . මේ වියදම් කරන  සතයකටත් ඇමතිවරු
කියනවද. මේක තනිකරම හිටපු වනජීවි ඇමති සරත් ෆොන්සේකා ගෙනාපු කැබිනට්
පේපර් එකක්. ඒකේ විෂයභාර අමාත්‍යවරයාගේ නම විතරක් වෙනස් කරලා තමන්ගේ වගේ
චන්ද්‍රසේන මහත්තයා ලැජ්ජා නැතිව ඒක පාර්ලිමේන්තුවට දානවා .මේකෙන් අලි
විතරක් නෙමෙයි වනාන්තර වල ඉන්න අනිත් සත්තුත් දඩයම් කරන්න මිනිස්සු
පෙළඹෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන් . ඒ විදියට
කලක් ගියාම මිනිස්සු ඌරෝ,මුවෝ වගේ සත්තු මරන් කයි.අන්තිමට කැලේ ඉන්න කොටි
ගම වදින්න ගන්නවා. ඊට පස්සේ මිනිස් අලි ගැටුම මදිවාට මිනිස් කොටි
ගැටුමකුත් එයි .සිවිල් ආරක්ශකයෝ අතට තුවක්කු 5000 දීමෙන් ගම්වල විශාල
ආයුධ ප්‍රමාණයක් ගැවසෙන්න ගන්නවා.ඒ ආයුධ කොහම පාවිච්චි වෙයිද කවුද
දන්නේ.මේ වැඩෙන් අලිත් ඉවරයි, කැලේ අනිත් සත්තුත් ඉවරයි අන්තිමේදී
මිනිස්සුත් ඉවරයි. බය නැතුව ලියන්න අපි ආණ්ඩුව පෙරලලා හරි, ජීවිත
පූජාවෙන් හරි මේ මෝඩ තිරණය ආපිට හරවණවා.”ආනන්ද සාගර හිමියෝ පවසති.

දැනගන්නට තිබෙන පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගිනි අවි  පන්දහසක් බෙදාදීමට නියමිතව ඇති අතර  මේ වන විට ඉන් 300 බෙදාදී අවසාන බවද වාර්තා වෙයි. අදාළ කැබිනට් පත්‍රිකාවේ සිවිල් ආරක්ෂකයන්ට බෙදාදෙන ගිනිඅවිය කුමක්ද සඳහන් නොවන මුත්
පරිසරවේදීන් පවසන්නේ A.K47 රයිෆල් ලබාදීම යන බවය.එය සත්‍යනම් තත්ත්වය
බරපතලය.  මන්ද එය ස්වයංක්‍රිය ගිනි අවියක් වන බැවිනි. ස්වයංක්‍රීය
අවිඅය්ක් නොව ඕනෑම ගිනි අවියක් මහාපරිමානයෙන් සමාජගතවීමෙන් වනජීවීන්ට වඩා
විශාල හානියක් සිවිල් සමාජයෙන් සිදුවීම ඒකාන්තය. සැබැවින්ම  තිස් වසරක
යුද්ධය සහ ඉහවහා ගිය පාතාල ක්‍රියාකාරකම් නිසා ලාංකික සමාජය ප්‍රාථමික
බඳින කඳේ  සිට  ස්වයංක්‍රීය රයිෆල් දක්වා බරපතළ ලෙස සන්නද්ධ වී සිටියි .
බඳින  කඳන්, ගල්කටස්,ෂොට් ගන්, වැනි බලපත් ඇති නැති ගිනි ඇවිද විශාල ලෙස
සමාජයේ සංසරණයවෙයි. ප්‍රමාණාත්මකව ගත් කල එය පන්දහස ඉක්මවයි. එවන්
තත්ත්වයක් හමුවේ ඊට තවත් ස්වයංක්‍රීය ගිනි අවි 5000 එක්වූ විට සමාජ ගත
ගිනිඅවි සංඛ්‍යාව  10,000 ඉකමවා යනු ඇත.නමුත් වනජීවී දෙපාර්තමේන්තුවේ
දත්ත වලට අනුව ලංකාවේ වනගතව සිටිනුයේ වන අලි 5000 ට මදක් වැඩි ගනනකි.ඒ
5000 වෙනුවෙන් තුවක්කු 10,000 සූදානම්‍ ය.වැඩේ නරකම නැත.

ලංකාවේ වනජීවී සංරක්ෂණයේ ඇසූපිරූ තැන් ඇති ප්‍රාමාණිකයකු වන සංරක්ෂණ
පර්යේෂණ ආයතනය ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ලංකාවේ වන අලින්ගේ  චර්යාවන්
සහ හැසිරීම් පිළිබඳ ප්‍රාමාණිකයෙකි. ලංකාවේ මුල්ම සහ එකම අලි සිතියම
සැකසූවේ ඔහුය . ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසනුයේද ගිනි අවි වලින්
අලි මිනිස් ගැටුමට පිළිතුරු දිය නොහැකි බවය” රජය එකවරම  විශාල ගිනි අවි
ප්‍රමානයක් බෙදාදීලා  මිනිස් අලි ගැටුම විසඳන්න බෑ. එහෙම පුළුවන් කියනවා
නං ඒක හරි මෝඩකමක්. ඇත්තටම අලි මිනිස් ගැටුම විසඳන්න විද්‍යාත්මක
ක්‍රමවේදයන් තියෙනවා. ඒ ගැන හදාරන්නේ නැතිව මේ වගේ විසදුම් ගේන එක
විහිළුවක්.දීර්ඝ කාලයක් වන ජීවීන් සමග ගතකර අත්දැකීම්  නැති සිවිල්
ආරක්ෂකයන්ට ගිනි අවිදීලා මේ ගැටුමට තවත් වැඩිකරගන්නවා.ප්‍රධාන කාරනාව
වනජීවී අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව ඉන්නේ වන සතුන් රකින්න.ඒ වෙනුවෙන්
පෙනී ඉන්න මිස සතුන් මර්ධනය කරන්න ආයුධ බෙදන්න නෙවෙයි.ඒකට ග්‍රාම
නිළධාරීන්,වගා නිළධාරීන,ප්‍රාදේශීය ලේකම් වරුන් වගේ අය ඉන්නවා.තමන්ගේ
අයිතිය වෙනුවෙන් හඬ නගන්න බැරි වනජීවීන් වෙනුවෙන් පෙනී ඉන්න ඕන වනජීවී
දෙපාර්තමේන්තුව සත්තු මරන්න ආයුධ බෙදනවා.  මේ විදියට වැඩ කරනවා නම් මේක
වනජීවී සංරක්ෂණ නෙවෙයි වනජීවී  මර්ධන දෙපාර්තමේන්තුව වෙන්න ඕන.
කෙනෙකුට කියන්න පුලුවන් තුවක්කු දෙන්නේ අහසට වෙඩිතියන්න කියලා.එහෙනං මේ
තුවක්කු වලට වඩා අලිවෙඩි හොඳයි.මොකද ඒවායේ හඬ ගොඩක් වැඩියි.

 මේකෙන් ලංකාවේ අලි සම්පත නැත්තටම නැති වෙන එකයි. මේ ප්‍රශ්ණයට
ප්‍රායෝගික විසඳුම් ගෙනායුතුයි. උදාහරණයක් ලෙස ගම්මාන වට කරල විදුලි වැට
ඉදිකිරීම,ගොවිබිම් වටකර විදුලිවැට සෑදීම,බැදි කුට්ටිවල ඉන්න අලින්ට
රක්ෂිත වෙත් යා හැකි පරිදි අලි පටි (elephant coridors) සෑදීම දක්වන්න
පුළුවන්. ඒවගේම අලින්ගේ ආහාර සහ ජලය ආරක්ෂා කිරීමත් ඔවුන් ගම්වැදීම
වලක්වන්න හේතුවෙන බව කිව යුතුයි. මේවැනි ප්‍රායෝගික දේ නොකොට තුවක්කු
බෙදිල්ලෙන් වෙන්නේ ලංකාව තවත් චිකාගෝවක් වීමයි.” ආචාර්‍ය ය පෘථිවිරාජ්
ප්‍රනාන්දු පවසන්නේය.


වන අලින්  කළමනාකරණය පිළිබඳ දිගින් කාලේ කරුණු අධ්‍යනය කර ඇති
ජෛවවිවිධත්ව සංරක්සණ සහ පරයේෂන කවයේ සුපුන් ළහිරු ප්‍රකාශ්ද මෙම විශයේහි
ප්‍රාමාණිකයෙකි.ඔහු පවසනුයේ ද මෙම ආයුධ ලබා දීම බොහෝ දරුණු විපතකින්
කෙළවර විය හැකි බවයි.  ලංකාවේ විදුලි වැට කිලෝමීටර් 4500 පමණ ඉදිකරලා
තියනවා.තවත් කිලෝ 2500ක් විතර අලුතෙන් හදන්න ඕන එහෙම ගත්තම ලංකවේ කිලෝ
මිටර් 7000 විතර විදුලි වැටෙන් ආවරණය වෙනවා. ඉතින් මේ වැට රකින්න සිවිල්
ආරක්ෂකයෝ 5000 දාලා පුළුවන්ද?.ඔහු ප්‍රශ්ණකරන්නේය.   විදුලි වැට දිගට
ආරක්ෂක කුටි හදලා අයූධගත්ත සිවිල් ආරක්ෂකයෙක් සහ ගැමියෙක් රදවනවාලු.එතකොට
කිලෝමීටරයකට එක්කෙනා ගානේ දැම්මත් ආවරණය වෙන්නේ කිලෝමීටර් 5000යි.අනික
සමහර පළාත්වල විදුලි වැට දෙපැත්තෙම අලි ඉන්නවා.කැලෑ කුට්ටිවල ඉන්න අලි
රක්ෂිත වලට සංක්‍රමනය වෙනවා.අලි ඇතුන් ගැන නොදන්න අය මුරට දැම්මම සතුන්ගේ
ස්වාභාවික රටා බිඳ වැටෙනව.  බොහෝ විදුලි වැටවල් එක දිගට අක්‍රීය
වෙනවා.කිලෝමීටරෙන් කිලෝමිටරේට ආරක්ශකයෝ දැම්මාම අලි වැට පනින්නේ නෑ කියලා
කොහොමද කියන්නේ. ඉස්සර ගම් වැදුනේ  පිරිමි  පමණයි. නමුත් මෑතකදී තොරතුරු
තියෙනවා සහ කෙනරන් සහ අලිපැටවුන් පවා ගම් වදිනවා කියලා. දිගට හරහට වෙඩි
තියන්න ගියොත් අලි පැටවු පවා ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. ලංකාවේ වනජීවී
රක්ෂිත තියෙන්නේ මුළු බිම් ප්‍රමාණයෙන්  15% . නමුත් රටේ මුළු බිම්
ප්‍රමාණයෙන් 62% අලි ඉනවා. මේ තුවක්කු දීලා හදන්නේ 62% කක බිමක ඉන්න අලි
15% ක බිමකට ගාල් කරන්න. ඒක හරියට කුල්ලක ඉන්න අලි අල්ලකට සිමා කරනවා
වගේ.මේකෙන් වෙන හානිය ඉදිරියේදී දැක ගන්නට පුළුවන්,” ඔහු  අවධාරනය
කරන්නේය,



ශ්‍රී ලංකාවේ සමස්ත බිම් ප්‍රමාණයෙන් සියයට 62 වන අලි  වාසය කරයි. ඉන්
18% මිනිස් වාසයන්ගෙන් තොර හුදකලා වන බිම වන අතර ඉතිරි 44% බිම ප්‍රමාණයේ
අලි සහ මිනිසු එක්ව වාසය කරති.එහෙයින් මේ ගැටළුව ඉතා සීරුවෙන් කළමණාකරනය
කරගතයුතු මානව පරිසර ගැටළුවකි. සිවිල් ආරක්ෂකයන්ට ගිනි අවි දී අලි
ගම්වැදීම වලකා ලන්නට යෑමෙන් අලි,සෙසු වනසතුන් පමණක් නොව සමස්ථ සමාජයම
බරපතල අර්බුදයකට ලක්වෙන බව නොකියම බැරිය.

මේ පිළිබඳ අදහස් දැන ගැනීමට වන්ජීවි විෂය භාර අමාත්‍ය වරයා වන එස්.එම්.
චන්ද්‍රසේන සහ එම  අමාත්‍යංශයේ ලේකම්වරිය වන ජයන්ති විජයතුංග මහත්මිය
ඇමතුවද ඔවුන් සම්බන්ධ කරගත නොහැකිවිය.අතිරේක ලේකම් විජේසිංහ මහතා
මේ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ශේප කළේය.


අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි