No menu items!
21.2 C
Sri Lanka
21 November,2024

මේ හාමුදුරුවොත් බුද්ධාගමේය

Must read

රත්නපුර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් සමරවික‍්‍රම (44102) මහතා රත්නපුර, වෙරළුප ශ‍්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානයට පසුගිය 10 වැනිදා උදෑසන 10.30ට පමණ යන්නේ අධිකරණය මගහැර දීර්ඝ කාලයක් යෙහෙන් සිටින කෝන්වලානේ ධම්මසාර යන හිමිනම මුණගැසීමටය. ඒ වරෙන්තු නිකුත් කර තිබියදීත් අධිකරණය මගහැර සිටීම පිළිබඳව ගරු අධිකරණයේම නියෝග මත පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ය. මෙහිදී සැරයන්වරයා විහාරස්ථානයට යාබද ගමේ සැරිසරා ඇති අතර එහිදී හිමිනම විහාරයේ සිටින බවට ආරංචි වී ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට සැරයන්වරයා විහාරස්ථානයට ගොස් ඇත. මිනිසුන් පන්සල්වලට යන්නේ මැරුම් කන්නට නොව මෙලොව මෙන්ම පරලොවද සුගතිය පතාගෙනය. දැන් ලංකාවේ වැඩ සිද්ධ වෙන විදිහට පන්සල්වලට ගියොත් සිද්ධ වෙන්නේ මැරුම් කන්නය. නැතිනම් අතවරයට ලක්වෙන්නටය. නැතිනම් දේශහිතෛෂී පෙරමුණුවලට එකතු වන්නටය.

විහාරයට යන පොලිස් සැරයන්වරයා සහ හිමිනම අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර එහි ප‍්‍රතිඵල ලෙස හිමිනම පොලිස් සැරයන්වරයාගේ බෙල්ල මිරිකා බිම දමා බෙල්ල කකුළෙන් හුස්ම හිරවන තෙක් පාගා සිට ඇත. ළතෝනියක් ඇසුණු බවද ඒ අනුව තමන් 119ට කෝල් කළ බවද කියන්නේ විහාරයට යාබද නිවැසියන් ය. මේ ළතෝනියත් සමග විහාරය දෙසට ඔළු‍ව දැමූ බොහෝ දෙනෙකුට, හිමියන් පොලිස් නිලධාරියාගේ බෙල්ල පාගාගෙන සිටිනු පෙනී ඇත. එහෙත් විහාරාධිපති හිමිනම වුෂූ කුන්ෆු කප්පිත්තෙකු නිසා බිම වැටී සිටි පොලිස් නිලධාරියා බේරන්නට ඔවුන් කිසිවෙකු එහිමි ළඟට ගොස් නැත.

119 ඇමතුමට අනුව විහාරයට යන රත්නපුර පොලිසියේ කණ්ඩායමට දකින්නට ලැබෙන්නේ ආවාස ගේ දොර ඉදිරිපිට බිම වැටී අසාධ්‍ය තත්ත්වයේ සිටින පොලිස් සැරයන් සමරවික‍්‍රමය. පොලිසිය තම නිලධාරියා වහාම රෝහල්ගත කරන්නට එහිදී කටයුතු කළත් ඔහු රෝහලට ගෙනයන අතරමගදී මිය ගොස් ඇත. එහිදී හිමිනම කොට කලිසමකින් සැරසී අත්බෝම්බයක් සමග සිට ඇත. එහෙත් මෙහිදී පොලිසිය වෙනදා මෙන් අත්බෝම්බය දරා සිටි ධම්මසාර හිමිට වෙඩි නොතැබීම පිළිබඳව අප සතුටු විය යුතුය. එහෙත් ඉදිරි දිනකදී තවත් අවි ආයුධ තිබෙන තැන් පෙන්වන්නට යැයි කියා මේ හිමිනම විහාරස්ථානයට යාබද පොම්ප කැලයට එක්කගෙන යයිදැයි කියන්නට අපි නොදනිමු.

සමරවික‍්‍රම සහ ධම්මසාර හිමි
දැන් අපි මේ හිමි, ධම්මසාර පිළිබඳව මඳක් විමසා බලමු. ඔහු පිළිබඳව වෙරළුප ගමේ වැසියෙකු කියන්නේ මෙවැනි කතාවක් ය.
‘ඇත්තටම මේ හාමුදුරුවන්ගෙන් අපිට ගමට හරිම කරදර. පන්සලට සල්ලි දීලා කෙළවරක් නැහැ. චණ්ඩියෙක් වගේ තමයි මේ හාමුදුරුවෝ ඉන්නේ. අපි ගමේ මිනිස්සු මේ හාමුදුරුවෝ ගැන පොලීසියට විතරක් නෙවෙයි ජනාධිපතිත් දැනුවත් කරලා තියෙන්නේ. ඒත් මේ වෙනකම් කවුරුත් බැලූ‍වේ නෑ. රත්නපුර පොලිසියත් මේ වෙනකම් හාමුදුරුවන්ගේ පැත්තේ තමයි. නැත්තන් ඔච්චර වරෙන්තු තිබිලාත් හාමුදුරුවෝ කොහොමද ඔහොම පන්සලේ නිදැල්ලේ හිටියේ. දැන් මේ සිද්ධියෙන් තමයි පොලිසියත් හාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කරන්න පටන්ගත්තේ. නැත්තන් හාමුදුරුවෝ දේශපාලකයෝ පොලිසිය සේරමලා එක පැත්තේ තමයි හිටියේ.’

හාමුදුරුවෝ පිළිබදව අනිද්දා වෙත කරුණු දැක්වූ රත්නපුර පොලිසියේ නිලධාරියෙකු පැවසූවේ මේ හිමියන්ට සාපරාධී බියගැන්වීම, පහර දීම, ලිංගි ක බලහත්කාරය ආදි චෝදනා සඳහා අධිකරණයේ නඩු පවතින බවය. ඔහු එම නඩු මග හැර සිටින බවය. මෙම කතාවෙන් පෙනෙන්නේ සමරවික‍්‍රමගේ ජීවිතය උදුරා ගන්න තුරු රත්නපුර පොලිසියට අධිකරණය මගහැර සිටි මේ හිමියන් නොපෙනුණ බවය. දැන් කියන්නේ මේ හිමියන් කඩු, පොලූ, ග්‍රෙනේඞ් අත දරාගෙන සිට ඇති බවය. නීතිය ක‍්‍රියාත්මක කරන්නට සිටින පොලිසිය තමන්ට අනතුරක් වන තෙක් නීති කඩන පුද්ගලයන් ආරක්ෂා කිරීම දැන්වත් නැවැත්විය යුතුය. චීවරය වේවා සුදු නැෂනල් එක වේවා කෝට් එක වේවා කුමක් ඇන්දත් ඔහු හෝ ඇය නීතියට පිටතින් යම් දෙයක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා ඔහුට හෝ ඇයට විරුද්ධව පොලිසිය නීතිය තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුය.

පාතාලේ වෙස් ගත් මේ හිමිනමගේ දෑතට හිරවී මියගිය පොලිස් සැරයන් සමරවික‍්‍රම ගොඩකවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක් පමණ වෙන දෙදරු පියෙක් ය. සසර කලකිරී නිවන් මගට වැටී සසරට තව තවත් ලොල් වී සසර ගමන තව තවත් දිගු කරගන්නට කහ සිවුරට මුවාවී නොයෙකුත් රැගුම් රඟන ධම්මසාර හිමිට මෙන් නොව සමරවික‍්‍රමට රක්ෂා කරන්නට දරු දෙදෙනෙක් ය. කෑම බීමද ධනයද උතුරා යන ශ‍්‍රී සම්බුද්ධාරාමය මෙන් නොව සමරවික‍්‍රමගේ නිවස අගහිගකම්වලින් පිරිලාය. මේ හිමිට දැන් ඕනෑ නම් හිරේ සිට බවුන් වැඩිය හැකිය. එහෙත් මෙතැනින් එහාට සමරවික‍්‍රමගේ පවුලට දරුවන්ට යන කලදසාව කුමක්ද? මේ පිළිබඳව මේ හිමියන් දිගින් දිගටම ආරක්ෂා කළ රත්නපුර පොලිසිය කල්පනා කළ යුතුය. අනෙක් පැත්තෙන් වෙහෙරවිහාර දායක පාර්ශ්වයන්ද මෙවැනි හිමිවරුන්ගේ අත්අඩංගුවට පත්වී තිබෙන සාසනය පිරිසිදු තැනක් බවට පත්කරගන්නට නොපමාව කටයුතු කළ යුතුය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි