No menu items!
22.3 C
Sri Lanka
23 November,2024

බොරිස්

Must read

බි‍්‍රතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායක බොරිස් ජොන්සන් බි‍්‍රතාන්‍යයේ අගමැතිවරයා ලෙස දිවුරුම් දීම ගෙවුණු සතියේ ලොව උණුසුම්ම ප‍්‍රවෘත්තියක් බවට පත්වුණා. බි‍්‍රතාන්‍ය දේශපාලනය ගැන නොදන්නා අය පවා මේ ප‍්‍රවෘත්තිය ගැන දන්නවා විය යුුතුයි. බොරිස් ජොන්සන් බැලූ බැල්මට මතකයේ රැුඳෙන පෙනුමක් ඇති අයෙක්. බොරිස් ජොන්සන් යටතේ බි‍්‍රතාන්‍යය ගැන කතාකිරීමට පෙර ඔහුගේ මේ අවධානය දිනාගැනීමේ ස්වභාවය ගැන කතාකළ යුතුයි.

කාටූන් බොරිස්


විකාර සහගත කාටූන් පෙනුමක් නැතිව බොරිස් ජොන්සන් පෙනීසිටින ඡුායාරූපයක් පවා සොයාගැනීම අසීරුයි. එවැනි කෙනෙකු අවධානය දිනාගැනීම පුදුමයක් නොවෙයි. ඔහු කතාකරද්දී කියන ඇතැම් දේවල් වහා අවධානය දිනාගන්නාසුලූයි. ඔහුට අගමැතිකම ලැබීම ගැන කිසිවෙක් අනුමාන කරන්නටත් පෙර, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඔහු කේබල් එකකින් උඩින් යන්නට ගොස් බැසගන්නට බැරිව ගුවනෙහි හිරවී විහිළුකාරයෙකු වුණේ ලෝකයේම අවධානය දිනාගනිමින්. ඔය කාලයේම කුඩා ළමුන් සමඟ ප‍්‍රදර්ශනාත්මක ලෙස රග්බි තරඟයක යෙදුණු ඔහු බෝලය රැුගෙන යද්දී කුඩා දරුවෙකුට ටැකල් කරමින් දරුවා බිමට තල්ලූ කළ අන්දමත් ලෝකයේම අවධානය දිනාගත්තා. ලන්ඩන් නගරාධිපතිවරයාව සිටියදීම, ලෝකයේ දැවැන්ත අවධානයක් දිනාගත් දේශපාලනඥයෙකු බවට ඔහු පත්වුණේ එසේයි.
ඔහු කාටූන් චරිත මෙන් අඳින බව අප කලින් කීවා. විවේකයට කරන්නේ කුමක්දැයි ඔහුගෙන් විමසද්දී ඔහු දුන්නේත් විහිළු සහගත ලෙස සංකීර්ණ පිළිතුරක්. ලී රැුගෙන, ඒවායින් බස් හදා ඒවා වර්ණ ගන්වන අන්දම ගැන ඔහු විකාර සහගත හා දීර්ඝ පිළිතුරක් දෙනවා.


දේශපාලනය


බොරිස් ජොන්සන්ට පැහැදිලි දේශපාලන මතයක් නැති බව ඉතා ප‍්‍රකට කරුණක්. යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්විය යුතු බව ඔහු කියන බව ඇත්ත. එහෙත් එක් කලෙක ඔහු ඊට ප‍්‍රතිවිරුද්ධ අදහසක්ද දැරූ බව මාධ්‍යවලින් කියනවා. ඔහු මතවාදී සුළං දිශා දර්ශකයක් බව කිව හැකියි. සුළඟ හමන අතට හැරෙනවා. ඔහු මේ වෙද්දී ජනප‍්‍රියවාදී බි‍්‍රතාන්‍ය දේශපාලන මත වෙනුවෙන් පෙනී ඉන්නවා. එක් විටෙක ලිබරල් අන්තය සමඟ සමකාමීන්ට පක්ෂව පාර්ලිමේන්තුවේ ඡුන්දය පාවිච්චි කළ ඔහු, තවත් විටෙක සමකාමීන්ට අපහාසාත්මක වචන පාවිච්චි කරමින් බැණවැදී තිබෙනවා.


කොහොම වෙතත් බොරිස් ජොන්සන් බස්රථ වර්ණ ගැන්වීම අතින් පිකාසෝ කෙනෙකු බව කිව යුතුයි. ඔහු බ්‍රෙක්සිට් ජනමතවිචාරණය පැවති කාලසීමාවේදී දැවැන්ත බසයක දැවැන්ත බොරුවක් ලියා එය ලන්ඩන් නගරය වටා ගියා. බස්රියේ ගසා තිබූ දැවැන්ත බොරුව වුණේ බි‍්‍රතාන්‍යය වසරකට යුරෝපා සංගමයට යුරෝ මිලියන් 350ක් ලබාදෙන බවයි. යුරෝපා සංගමය බි‍්‍රතාන්‍යයන්ව සූරාකන බවත් ඒ නිසා යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවත් ඔහුගේ පණිවුඩය වුණා. බ්‍රෙක්සිට්වලට පක්ෂපාතීව බි‍්‍රතාන්‍යයේ හුවමාරු වූ කරුණු බොහොමයක් අසත්‍යයි. ඒ අසත්‍ය කරුණු සංකේතවත් කරන දැවැන්තම බොරුව ලෙස බොරිස් ජොන්සන් බස් රථයේ ලියූ බොරුව සැලකෙනවා.


ට‍්‍රම්ප් හා බොරිස්


දක්ෂිණාංශික අදහස් දරන, මෝඩ කතා කියන, විහිළුකාරයෙකු බඳු ලා පැහැ කොණ්ඩයක් ඇති මහත සුද්දෙක් බි‍්‍රතාන්‍යයේ අගමැතිකමට පත්වූ බව කියද්දී, බැලූ බැල්මටම ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා බොරිස් ජොන්සන් අතර සමානකම් ඇතැයි ඕනෑ කෙනෙකුට සිතෙනවා විය හැකියි. මාධ්‍ය ආයතන බොහොමයක් ට‍්‍රම්ප් හා බොරිස් සංසන්දනය කර තිබුණා. කොටින්ම ට‍්‍රම්ප් පවා බොරිස් ජොන්සන් තමාට සමානයැයි කියා තිබුණා.


එහෙත් ඇත්තෙන්ම මේ දෙදෙනා සමාන බව පැවසීම එක් අතකින් නිවැරදි අතරම තවත් අතකින් වැරදි කාරණාවක්. දෙදෙනාම ජනප‍්‍රියවාදී, ස්වෝත්තමවාදී දේශපාලන අදහස් නියෝජනය කරන නිසාත්, පෙනුමෙන් සමාන නිසාත් එය නිවැරදියි. එහෙත් දෙදෙනාම එකම වර්ගයේ මෝඩයන් නොවෙයි.


ට‍්‍රම්ප් හැමවිටම තමාගේ විශිෂ්ටත්වය හා නිරවද්‍යභාවය පෙන්වන්නට උත්සාහ ගත්තද නිරවද්‍ය නැති නායකයෙක්. ට‍්‍රම්ප් බුද්ධිමත් නායකයෙකු ලෙස රඟපාන්නට උත්සාහ කරන මෝඩ නායකයෙක් බව ඉතා පැහැදිලිව කිව හැකියි. ට‍්‍රම්ප් බොහෝදුරට ඇමෙරිකානු දේශපාලනයට වඩා ලංකාවේ දේශපාලනයට ගැළපෙන නායකයෙක්. එහෙත් බොරිස් මෝඩයෙකු ලෙස රඟපාන්නට උත්සාහ කරන කපටි දේශපාලනඥයෙක් බව තේරුම් ගත හැකි කරුණු බොහෝයි. ඔහුගේ කාටූන් පෙනුම මෙන්ම විහිළුකාර අදහස්ද අවධානය දිනාගැනීමට සැලසුම් සහගතව කළ ඒවායි. ට‍්‍රම්ප් මෙන් නොව බොරිස් ජොන්සන් ඔක්ස්ෆර්ඞ් කොලීජියෙහි අධ්‍යාපනය ලබා මාධ්‍යවේදියෙකු ලෙසද සේවය කළ අයෙක්. දේශපාලන පක්ෂවල ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ ආ අයෙක්.


ඔහුගේ කාටූන් ගතිලක්ෂණ සියල්ල සැලසුම් සහගතයි. උදාහරණයක් ලෙස ට‍්‍රම්ප්ගේ කොණ්ඩය විහිළුවක් බවට පත්වෙන්නේ ට‍්‍රම්ප් සීරුවට පීරූ කොණ්ඩය නොසිතූ ලෙස සුළෙඟ් යන අවස්ථාවලයි. එහෙත් බොරිස් හැමවිටම මාධ්‍ය ඉදිරියට එද්දී සිතාමතා කොණ්ඩය අවුල් කරගන්නා බව කියනවා. බොරිස් ඒ ප‍්‍රතිරූපය හදාගන්නේ හිතාමතාමයි.


අප කලින් කී පරිදි බොරිස් නගරාධිපතිවරයාව සිටි කාලයේ, එනම් 2012 දී කේබල් එකක සිරවූ අවස්ථාව වෙනත් දේශපාලනඥයෙකුගේ දේශපාලන ජීවිතය අහවර කරන අවස්ථාවක් වෙන්නට ඉඩ තිබුණා. එහෙත් ඇත්තටම බොරිස් ඒ සිදුවීමට තමන්ම සිනහ වී, එය තමන්ගේ ජනප‍්‍රියත්වය වැඩි කරගැනීමේ උපක‍්‍රමයක් බවට පත් කරගත්තා.


ඔහුගේ සොයුරිය බොරිස්ගේ ළමා කාලය ගැන කතාවක් කියනවා. ළමා කාලයේදී බොරිස් නාට්‍යයක චරිතයක් පුහුණුවී තිබුණා. ඒ නාට්‍යයේ දෙබස් වරදින විට, අනෙක් අය සිනහවෙන බව තේරුම්ගත් ඔහු, නාට්‍යය වේදිකාගත කරද්දී තමන්ට කටපාඩම් දෙබස් පවා හිතාමතා වරද්දා තිබුණේ පුද්ගලයන් හිනස්සන්නයි. තමා විහිළුවක වින්දිතයා වීම තමාට අවධානය දිනාදෙන්නට හොඳ උපක‍්‍රමයක් බව ඔහු තේරුම්ගෙන තිබුණා.


ඒ උපක‍්‍රමය ඔහුම සාකච්ඡුාවකදී පිළිගෙන තිබුණා. තමන් යම් යම් දේවල් ගැන නොදන්නා බව හඟවද්දී, මිනිසුන්ට තමන් දන්නේ මොනවාද නොදන්නේ මොනවාද කියා හරිහැටි තේරුම් නොගන්නා බවත්, එය තමන්ට වාසියක් බවත් ඔහු කියා තිබුණා. යම් දෙයකට ඔහු සූදානම් නැති බව ඉතා නිවුණු ලෙස ප‍්‍රසිද්ධියේ පිළිගැනීම ඔහුගේ සාර්ථකත්වයෙහි ප‍්‍රධානම උපක‍්‍රමයයි. ඔහු අගමැතිධුරය දක්වා ආවේ ඒ ක‍්‍රමය පාවිච්චි කරමිනුයි.

ඉතිහාසය


බොරිස්ගේ ඉතිහාසය ගැන කතාකිරීම ඔහුගේ අගමැතිධුරය තේරුම් ගැනීමට උදව්වක් වේවි. ඔහු ඇමෙරිකාවේ උපත ලද්දෙක්. කලක් ඇමෙරිකාවේද ජීවත්වූවෙක්. 2016 තෙක්ම ඔහු ඇමෙරිකන්, බි‍්‍රතාන්‍ය ද්විත්ව පුරවැසියෙක්. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය ගෙවුණේ ලන්ඩනය කේන්ද්‍රීයවයි.


මුලින් ඔහු ‘ටයිම්ස් ඔෆ් ලන්ඩන්’හි මාධ්‍යවේදියෙක්. ඒ ආයතනයෙන් ඔහු ඉවත් කර තිබුණේ ඉතිහාසඥයෙක් වන කොලින් ලූකස් නොකළ ප‍්‍රකාශයක්, කළ එකක් යැයි ව්‍යාජ ලෙස ලිපියකට ඇතුළත් කිරීම නිසායි. ඉන්පසුව ‘ඬේලි ටෙලිග‍්‍රාෆ්’හි සේවයට ගිය ඔහු එතැනදීත් යුරෝපා සංගමය ගැන වැරදි තොරතුරු ලියා තිබුණා. ඒ ඇතැම් තොරතුරු බ්‍රෙක්සිට් සඳහා පදනම හදන්නට පවා හේතුවූ ආන්දෝලනාත්මක ඒවා. ඒවා බොරු බව ඔප්පු වී වසර 25කට පසුවත් බ්‍රෙක්සිට් ජනමත විචාරණයේදී විවිධ පුද්ගලයන් ඔහු ලියූ ඇතැම් බොරු බ්‍රෙක්සිට් වෙනුවෙන් පාවිච්චි කර තිබුණා.


ඔහු බොරුකාරයෙක් පමණක්ම නොවෙයි. වෛරය පතුරුවන්නෙක්. වෛරී දේශපාලන නායකයෙක්. ඔහු 2015 දී සංචාරකයන් ලේ උරාබොන්නන් ලෙස හඳුන්වා තිබුණා. කොංගෝවේ මිනිසුන්ට කොමඩු සිනහවක් ඇතැයි කියමින් අපහාස කර තිබුණා. සමකාමීන්ට අපහාස කර තිබුණා. එමෙන්ම බුර්කාව අඳින සාම්ප‍්‍රදායික ඉස්ලාම් කාන්තාවන් ලියුම් පෙට්ටි ලෙස හඳුන්වමින් අපහාස කර තිබුණා. ඒ අපහාසයෙන් පසුව ඒ ගැන විමසන්නට පැමිණි මාධ්‍යවේදීන්ට තේ බන්දේසියක් රැුගෙන කාටූන් චරිතයක් මෙන් පැමිණි ඔහු, ප‍්‍රශ්නවලට උත්තර නොදී මාධ්‍යවේදීන්ට තේ බෙදන්නට පටන්ගෙන තිබුණා. අන්තිමේදී මාධ්‍යවේදීන් ඔහුගේ තේ කෝප්පයට ස්තූති කළා.

නායකත්වය


2008 සිට 2016 දක්වා ලන්ඩන්හි නගරාධිපතිවරයායි. ඒ කාලසීමාව ඔහු හොඳ දේශපාලන නායකයෙක්දැයි තේරුම් ගැනීමට හොඳ අවස්ථාවක්. පවුම් මිලියන 940ක පමණ වැයබරක් ලන්ඩන් නගරවාසීන්ට ඉතිරි කරමින්, බොරිස් ජොන්සන් නගරාධිපතිවරයාව සිටි කාලයේ ඉදිකළ ව්‍යාපෘති ගණනාවක් අදටත් ලන්ඩන්වාසීන්ට බරක්. එක් ව්‍යාපෘතියක් වන්නේ බොරිස් බස් ව්‍යාපෘතියයි. ඔහු පොරොන්දු වුණේ ලන්ඩන් නගරය සංකේතවත් කරන රතුපැහැ තට්ටු දෙකේ බස්රථ ආකෘතිය නැවතත් ආරම්භ කරන බවයි. පරිසර හිතකාමී ලෙස, බස් කොන්දොස්තරලා සිටින බස් සේවයක් යැයි කියමින් ඔහු එය ආරම්භ කර තිබුණා. පැරණි බස්රථ පිළිබඳ නොස්තැල්ජියාව නිසා මුලින් නගරවාසීන් එයට සහාය දුන්නා. ඒත් බස්රථයක් වෙනුවෙන් කරන්නට සිදුව තිබුණු වියදම සාමාන්‍ය බසයක් මෙන් දෙගුණයක් වුණා. අන්තිමේදී සාමාන්‍ය බස්රථවලටත් වඩා බොරිස් බස්වල පරිසර ¥ෂණය වැඩි වුණා.


බොරිස්ගේ බයිසිකල් ව්‍යාපෘතියත් එබඳුම පාඩුවක්. බොරිස්ට පෙර නගරාධිපතිවරයාගේ අදහසක් වූ එම බයිසිකල් ව්‍යාපෘතිය තමන්ගේ අදහසක් ලෙස සඳහන් කරමින් බොරිස් එය ආරම්භ කළා. බයිසිකල් අතර රොල්ස් රොයිස් යැයි කියමින් හඳුන්වාදුන් එම බයිසිකල් සඳහා අමතර පවුම් මිලියන ගාණක් වියදම් කරන්නට සිදුව තිබුණා. අන්තිමේදී එයත් අසාර්ථක වුණා.


ඔහුගේ තවත් ව්‍යාපෘතියක් වුණේ කේබල් කාර් ව්‍යාපෘතියක්. සම්පූර්ණයෙන්ම පෞද්ගලික සමාගම්වලින් වියදම් කරන ව්‍යාපෘතියක් බව ඔහු කියා තිබුණත්, ලොව වැඩිම මිල අධිකම කේබල් කාර් ව්‍යාපෘතිය බවට එය පත්වුණා. මේ වෙද්දී එම කේබල් කාර් ව්‍යාපෘතිය දිනපතා පාවිච්චි කරන එක් මගියෙක්වත් නැහැ.

ලන්ඩන් ඔලිම්පික් සඳහා ඉදිකළ ක‍්‍රීඩාංගණය දැක්කාම හිත පිරෙන්නේ නැති බව කියමින් ඔලිම්පික් ක‍්‍රීඩාංගණය ඉදිරිපිට ඔහු දැවැන්ත කුලූනක් බඳු ඉදිකිරීමක් කරවූවා. දැන් ඒ කුලූන නඩත්තු කරන්නට ලන්ඩන් බදු ගෙවන්නන්ට සතියකට පවුම් 10,000ක් වියදම් කරන්නට සිදුව තිබෙනවා. ඒ ව්‍යාපෘතියත් සිතූ තරම් සාර්ථක වී නැහැ. ඔලිම්පික් ආශ‍්‍රිතව ඔහු කයිවාරු ගැසූ ව්‍යාපෘති කිහිපයක්ම පාඩු ලබන අසාර්ථක ව්‍යාපෘති බවට පත්වුණා.
බොරිස් ¥පත් ගුවන්තොටුපොළ, ක‍්‍රිස්ටල් පැලස් නැවත ඉදිකිරීම, ගාර්ඩන් ¥පත ඇතුළු ¥පත් ව්‍යාපෘති කිහිපයක් ඒ අතර තිබුණා. ඉතා සුන්දර ව්‍යාපෘතියක් බව ඔහු ඒ ව්‍යාපෘතිය හඳුන්වා තිබුණා. පවුම් මිලියන ගණනක් ඒ ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා පමණක් වියදම් කර තිබුණා.


එහෙව් බොරිස් ජොන්සන් 2016දී පාර්ලිමේන්තුවට පත්ව, තෙරේසා මේ අගමැතිනියගේ කන්සර්වේටිව් පක්ෂ ආණ්ඩුවේ විදේශ ලේකම්වරයාව (විදේශ ඇමති* සිටියා. 2017 දී විදේශ ලේකම්වරයා ලෙස මියන්මාරයට ගිය අවස්ථාවක මාධ්‍යවල මයික‍්‍රෆෝන විවෘතව තිබියදී, බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදය ගැන කවියක් මුමුණමින් සිටින අන්දම ප‍්‍රවෘත්තිවල පළවී තිබුණේ ඔහු කෙතරම් වගකීම් විරහිත නායකයෙක්දැයි තහවුරු කරමින්. ඔහු සමඟ එතැන සිටි මියන්මාර තානාපතිවරයා ඔහු කවිය කීම නවත්වන්නට උත්සාහ ගන්නා අයුරුද වීඩියෝවල සටහන් වී තිබුණා. ඔහු විදේශීය ලේකම්වරයාව සිටියදී ඔහු යටතේ සේවය කළ කෙනෙකු කියා තිබුණේ විදේශ ලේකම්වරයා ලෙස බොරිස්ගේ කාලය අශ්වයෙකුගේ පසුපස සේවය කරමින් අශ්වයාගේ අසූචි පිරිසිදු කිරීමක් බඳු බවයි.


බ්‍රෙක්සිට්

නව අගමැති බොරිස්ගේ පළවැනිම හා ප‍්‍රධානම වගකීම වන්නේ බ්‍රෙක්සිට් ගනුදෙනුව සම්පූර්ණ කිරීමයි. එය පහසු කටයුත්තක් නොවෙයි. තෙරේසා මේ අගමැතිනිය ඉවත් වුණේද ඒ කටයුත්ත කරගත නොහැකිවයි. යුරෝපා සංගමයෙන් ඉවත්වන බි‍්‍රතාන්‍යයට ඉන්පසුව යුරෝපය සමඟත්, අයර්ලන්තය සමඟත් ගනුදෙනු කරන ආකාරය පිළිබඳව එකඟතා රැුසක් ඇති කරගත යුතුයි. ඒ අතර අයර්ලන්ත දේශසීමාව පිළිබඳ දැවැන්ත අර්බුදයක් තියෙනවා. බි‍්‍රතාන්‍යයට යුරෝපය හරහා එන ආහාරපාන ඇතුළු භාණ්ඩ බොහෝයි. ඒ සියල්ල ගැන පුළුල් සාකච්ඡුා කළ යුතුයි. ඒ සාකච්ඡුා සියල්ල අවසන් කොට, ඔක්තෝබර් 30 වෙද්දී සියලූ ගනුදෙනු අවසන් කළ යුතුයි. බ්‍රෙක්සිට් ජනමතවිචාරණය අනුව ඒ වෙද්දී සියල්ල අවසන් නොකළොත්, කිසිදු එකඟතාවක් නැතිව බි‍්‍රතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නට සිද්ධවෙනවා. එක දිනෙකින් බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය ස්වභාවය සම්පූර්ණයෙන් උඩුයටිකුරු වීම ඉතා දැවැන්ත අර්බුදයක්.

ඒ අනුව බොරිස්ට තිබෙන්නේ කුඩා කාලසීමාවක්. එපමණක් නොවෙයි, මේ කාලය යුරෝපීයයන් වැඩ කරන කාලයක් නොවෙයි. ඉතින්, මේ වෙලාවේ මැජික් එකක් කිරීමට නම් දැවැන්ත නායකත්ව ගුණාංග තිබෙන නායකයෙකු සිටිය යුතුයි. ඉහත කී ගතිලක්ෂණ හා ඉතිහාසය සලකා බලද්දී බොරිස් ජොන්සන්ට එය කරගත හැකිද නැද්ද යන්න ඕනෑම අයෙකුට තේරුම් ගත හැකියි. දැනටමත් ඔහු කර ඇති අදහස් දැක්වීම් බලද්දී, අර්බුදය පෙනෙන්නට තිබෙනවා. එහෙත් බොරිස්ට පක්ෂපාතී සාම්ප‍්‍රදායික බි‍්‍රතාන්‍යයන් අතර බොරිස් ජොන්සන් කුමක් හෝ මැජික් එකක් කරනු ඇතැයි දැවැන්ත විශ්වාසයක්ද තිබෙනවා.x

x අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි