No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

ජෝන් ඔලිවර් කැළඹීම

Must read


රොබෝකෝල් ප්‍රශ්ණය ලංකාවටත් වඩා ඇමෙරිකානුවන්ට බරපතල හිසරදයක්ව තිබෙනවා. පටිගත කරන ලද දුරකථන ඇමතුමකින් විවිධාකාර වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් ආදිය පිළිබඳ විස්තර අසා ඉන්නට කිසිවෙක් කැමති නැහැ. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙන්, මේ පිළිබඳව තීන්දු ගැනීමට තිබෙන ඇමෙරිකානු ආයතනය ෆෙඩරල් සන්නිවේදන කොමිෂම ලෙසින් හැඳින්වෙනවා. එහෙත් රොබෝකෝල් ගැන ඇමෙරිකානුවන් විසින් කරන පැමිණිලි සම්බන්ධයෙන් මේ කොමිෂම ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පැමිණිලි කිරීමත් අසීරු කටයුත්තක්. එහෙත් නුදුරේදීම මේ ප්‍රශ්ණය විසඳීමට ඉඩ තිබෙනවා. ඒ එක් පුද්ගලයෙක් ඒ ප්‍රශ්ණය ගැන උනන්දු වූ නිසා. ඔහු තමයි ජෝන් ඔලිවර්.


ජෝන් ඔලිවර් තමයි ලාස්ට් වීක් ටුනයිට් නම් එච්.බී.ඕ. නාලිකාවේ හාස්‍යමය ප්‍රවෘත්ති වැඩසටහන මෙහෙයවන්නා. හාස්‍යමය ප්‍රවෘත්ති වැඩසටහන් ලංකාවට හුරුපුරුදු නැහැ. ප්‍රවෘත්ති මේසයක් ඉදිරිපිට හිඳ, දිනපතා ප්‍රවෘත්ති හා දේශපාලන සිදුවීම් හාස්‍යමය ආකෘතියකින් විග්‍රහ කිරීම ඇමෙරිකාවේ කොමඩි සෙන්ට්‍රල් නාලිකාවේ ඬේලි ෂෝ වැඩසටහන නිසා අතිශයින් ප්‍රසිද්ධ වී තිබුණා. ලාස්ට් වීක් ටුනයිට් වැඩසටහන ඬේලි ෂෝ වෙතින් ආභාෂය ගෙන නිර්මාණය කළ වැඩසටහනක්. එහෙත් එය ඬේලි ෂෝ මෙන් දිනපතා වැඩසටහනක් නොවී, ඉරිදා දිනවල විකාශය වන පැය භාගයක වැඩසටහනක් වුණා. ඬේලි ෂෝ මෙන්, එදින ප්‍රවෘත්ති විනාඩි දෙකතුනකින් විග්‍රහ කිරීමෙන් එහා ගොස් ජෝන් ඔලිවර් විසින් එදිනෙදා කතාබහට ලක් නොවෙන සමාජ ප්‍රශ්ණ පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වනවා.


ජෝන් ඔලිවර් විසින් රොබෝකෝල් ප්‍රශ්ණය පිළිබද විනාඩි 17ක පැහැදිළි කිරීමක් කළේ මාර්තු 10 වැනි ඉරිදා වැඩසටහනේ ප්‍රධාන අංගය ලෙසයි. පැහැදිළි කිරීම අවසානයේදී ඔහු විසින් ෆෙඩරල් සන්නිවේදන කොමිෂමේ සාමාජිකයන්ගේ දුරකථන වලට රොබෝකෝල් පණිවුඩයක් යැවීම විශාල කතාබහකට ලක්වුණා. ඒ අනුව රොබෝකෝල් ප්‍රශ්ණය විසක්‍ෂෙන තෙක් සෑම මිනිත්තු 90කට සැරයක්, ජෝන් ඔලිවර්ගේ කටහඬින් පටිගත කළ කරදරකාරී ඇමතුමක් ෆෙඩරල් සන්නිවේදන කොමිෂමේ සාමාජිකයන් වෙත යනවා.


ජෝන් ඔලිවර්ගේ වැඩසටහනේදී සිදුවූ සිදුවීම් වෙනත් මාධ්‍ය ආයතනවලට ප්‍රවෘත්ති බවට පත්වීම අලුත් අත්දැකීමක් නොවෙයි. සතිපතා ඔහු විසින් තමන්ගේ වැඩසටහනේ ප්‍රධාන අංගය ලෙස අලුත් මාතෘකාවක් කතාකරනවා. එමෙන්ම ඔහුගේ වැඩසටහන් විසින් සමාජ මාධ්‍යවල දැවැන්ත සාකච්ඡා අවුළුවනවා. මරණ දඬුවම, මල්ටිලෙවල් මාකටින් හෙවත් පිරමීඞ් ක්‍රම, ටෙලිවැන්ජලිස්ට්ලා, මියගිය ඥාතීන් සමඟ කතාකරන බව පවසන අය ආදී මාතෘකා විශාල ප්‍රමාණයක් ගැන ඔහු විසින් කළ වැඩසටහන් නිසා දැවැන්ත සමාජ මාධ්‍ය සංවාද ඇතිව තිබුණා. ජෝන් ඔලිවර් යම් ක්ෂේත්‍රයක් පිළිබඳව කතාකිරීමෙන් පසුව ඒ ක්ෂේත්‍රයට ඇතිවන බලපෑම නිසාම ‘ජෝන් ඔලිවර් ඉෆෙක්ට්‘ නම් යෙදුමක්ද නිර්මාණය වී තිබෙනවා. එහි වචනාර්ථය පරිවර්තනය කිරීමට වඩා, ‘ජෝන් ඔලිවර් කැළඹීම‘ ලෙස සරල සිංහලෙන් හැඳින්විය හැකියි.
ඒ නිසාම මාධ්‍යවේදියෙක් හෝ හාස්‍යමය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස අනෙකුත් වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සියළුදෙනාටම වඩා බලපෑම් සහගත ජනප්‍රියත්වයක් මේ වෙද්දී ජෝන් ඔලිවර්ට හිමියි. එහෙත් ජෝන් ඔලිවර් තමන් මාධ්‍යවේදියෙක් නොසවන බව පැහැදිළිව කියනවා. තමන් බොළඳ විහිළුකාරයෙක් පමණක් බව කියනවා. එහෙත් බරපතල වචන යොදමින්, අතිශය බරපතල රූපරාමු යොදමින් දීර්ඝ කාලයක් තිස්සේ සමාජ සාකච්ඡාවට ලක්වූ මාතෘකා ගැන ජෝන් ඔලිවර් විසින් ඉතා සරල වචන හා එමෙන්ම සාමාන්‍ය හාස්‍යමය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් හෝ හාස්‍ය ශිල්පියෙක් අත තබන්නට බියක් දක්වන අතිශය සංවේදී මාතෘකා පිළිබඳව ජෝන් ඔලිවර් කතාකරන්නට නිර්භීත වුණා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි මරණ දඬුවම පිළිබඳව ඔහු කළ වැඩසටහන. මරණ දඬුවම නම් සංවේදී මතෘකාව තුළ මරණ දඬුවම් ලබාදෙන ක්‍රම ආදිය පිළිබඳව හාස්‍යය උත්පාදනය කරමින්, ඒ පිළිබඳව සමාජය සංවේදී කරන්නට තරම් ඔහු සූක්ෂ්ම වුණා.


අනෙක් කාරණය තමයි සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරුම්ගත නොහැකි තරම් සංකීර්ණ මාතෘකා, සංවේදී මාතෘකා පිළිබඳව ඉතා සරල ලෙස කතාකිරීමට ජෝන් ඔලිවර්ට තිබෙන හැකියාව. ඔහු විසින් බිට් කොයින් පිළිබඳව මෙන්ම මල්ටිලෙවල් මාකටින්, ලිංගික අධ්‍යාපනය වැනි මාතෘකා පිළිබඳව ඉදිරිපත් කළ වැඩසටහන් නිසා කිසිවෙක්ට නොතේරෙන තරම් සංකීර්ණ එම මාතෘකා පිළිබඳ සමාජයට විශාල දැනුමක් ලැබී තිබුණා.


රාජ්‍යය විසින් ඇමෙරිකානුවන්ගේ පෞද්ගලික දත්ත නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ වැඩසටහන සියල්ලට එහා ගොස් ලෝක මාධ්‍යවල අවධානය දිනාගෙන තිබුණා. ඒ වැඩසටහනේදී ඔහු රුසියාවට ගොස් එඞ්වඞ් ස්නෝඩන්ව සම්මුඛ සාකච්ඡාවට ලක් කළා. ස්නෝඩන් විසින්ද සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට සුදුසුම ඇමෙරිකානු මාධ්‍යවේදියා ලෙස ජෝන් ඔලිවර්ව තෝරාගැනීම ලොවපුරා කතාබහට ලක්වුණා. එපමණක් නොවෙයි, මේ වෙද්දී යූටියුබ් වෙබ් අඩවියෙන් වැඩිම වාර ගණනක් නරඹා ඇති ස්ටීවන් හෝකින් සමඟ සම්මුඛ සාකච්ඡාව කර ඇත්තේද ජෝන් ඔලිවර් විසින්. මිලියන 10ක් පමණ එම වැඩසටහන නරඹා තිබෙනවා.
ජෝන් ඔලිවර් බි්‍රතාන්‍ය ජාතිකයෙක්. ඔහු මුලින්ම බි්‍රතාන්‍යයේ හාස්‍යමය ප්‍රසංගවලට සහභාගී වූ අයෙක්. පසුව ජෝන් ස්ටුවර්ට් විසින් ඉදිරිපත් කළ ඬේලි ෂෝ වැඩසටහනට සහාය ශිල්පියෙකු ලෙස ජෝන් ඔලිවර් සහභාගී වුණා. ඬේලි ෂෝ වැඩසටහනට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස ඉදිරිපත් වූ සහාය ශිල්පීන් සිටියා. ජෝන් ඔලිවර් එක්වුණේ බි්‍රතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස. කෙසේ වෙතත් සැබෑ ලෙසම ඔහු ඬේලි ෂෝ වැඩසටහනේ තිරය පිටුපස පිටපත් ලියන්නෙක් ලෙස කටයුතු කළා. 2006 – 2013 කාලසීමාවේදී ජෝන් ඔලිවර් එම භූමිකාවේ සිටියා. ඔහුට ඬේලි ෂෝ වැඩසටහනේ ලැබුණේ පුංචි කාලසීමාවක්. එහෙත් ඔහු ඒ කාලසීමාව තුළ වැඩසටහනේ ජනප්‍රියම සහාය ශිල්පියෙක් බවට පත්වුණා. ඔහුගේ ජනප්‍රියත්වය ඒ සීමාවෙන් එහාට පුපුරා ගියේ ජෝන් ස්ටුවර්ට් වෙනුවට සති අටක කාලයක් සඳහා ප්‍රධාන වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස ජෝන් ඔලිවර්ව තෝරාගැනීමට සිදුවූ නිසායි. ජෝන් ස්ටුවර්ට් තමන්ගේ චිත්‍රපටියක වැඩකටයුතු සඳහා නිවාඩු ගත් නිසා ඔලිවර්ට මේ අවස්ථාව ලැබී තිබුණා. ඒ සති අට අවසාන වුණේ ජෝන් ඔලිවර් යනු ස්ටුවර්ට් විශ්‍රාම ගැනීමෙන් පසු ඬේලි ෂෝ වැඩසටහනට ගැලපෙනම අනුප්‍රාප්තිකයා යැයි ඇමෙරිකානු සමාජයේ සංවාදයක් ඇතිවීමෙන් පසුවයි.


ජෝන් ඔලිවර්ට පහසු තෝරාගැනීම වී තිබුණේ ජෝන් ස්ටුවර්ට් විශ්‍රාම ගන්නා තෙක් බලා හිඳීමයි. ඬේලි ෂෝ වැඩසටහන ඒ වෙද්දීත් ඇමෙරිකාවේ පැරණිම හා ජනප්‍රියම හාස්‍යමය ප්‍රවෘත්ති වැඩසටහනක්ව තිබුණා. ජෝන් ස්ටුවර්ට් විශ්‍රාම ගැනීම පිළිබඳව සලකා බලමින් සිටියා. නව වැඩසටහනක් ජනප්‍රිය කරවීමට වඩා තව ටික කාලයක් බලා සිටීම ඔලිවර්ට පහසු තෝරාගැනීම වුණා. එහෙත් ඔහු ඒ පහසු තෝරාගැනීම වෙනුවට අභියෝගාත්මක තෝරාගැනීමක් කළේ 2013 දී. ජෝන් ඔලිවර් සහ එච්.බී.ඕ. නාලිකාව එක්ව නව කොමඩි වැඩසටහනක් නිෂ්පාදනය කරමින් සිටින බව 2013 දී නිල වශයෙන් ප්‍රකාශයට පත්වුණා. ලාස්ට් වීක් ටුනයිට් නමින් 2014 අප්‍රේල් 27 වැනිදා එම වැඩසටහන මුලින්ම විකාශය වුණා.


එහි ආකෘතිය අනෙකුත් රාත්‍රී හාස්‍යමය වැඩසටහන්වලින් විශාල වශයෙන් වෙනස් වුණා. වෙනත් වැඩසටහන් මෙන් දිනපතා රාත්‍රියේ රූපවාහිනියෙන් දකින්නට ලැබීම වෙනුවට සතියකට වතාවක් පමණක් දකින්නට ලැබීම වැඩසටහනේ අගය ඉහළ නැංවුවා. ඒ නිසාම අනෙකුත් වැඩසටහන්වලට වඩා යූටියුබ් ආදී සමාජ මාධ්‍යවල අවධානය ජෝන් ඔලිවර්ට යොමුවුණා. සමාජ ප්‍රශ්ණ පිළිබඳව කතාකරන සන්නිවේදකයෙක්ට මෙන්ම හාස්‍යය ශිල්පියෙක්ටත් ජෝන් ඔලිවර් දෙස බලා සිටීමෙන් පමණක් වුව බොහෝ දේ ඉගෙනගත හැකියි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි