No menu items!
17.5 C
Sri Lanka
27 January,2025

ජනාධිපති හා ජනාධිපති ලේකම්ගේ අවධානය පිණිසයි… අමතර කොටස්වලට බදු ගෙවා වාහන ගෙන්වීමේ ජාවාරමට තිත තැබිය යුතුය

Must read

ඒ ආකාරයට වාහන මුදාහැරීමට රේගුවෙන් උත්සාහයක්

හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනය සඳහා පනවා තිබූ බදු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. මෙම සංශෝධනයන් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඒ මගින් වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවයි. එය ඇත්තකි. වාහන ආනයනය සඳහා තිබූ බදු ප්‍රමාණයන් නව සංශෝධනයෙන් ඉහළ දමා තිබේ. ඒ අනුව වාහන ආනයනකරුවන් මත පළකරන්නේ විට්ස් වර්ගයේ කාරයක පවා මිල රුපියල් ලක්ෂ 50 ඉක්මවා යනු ඇති බවය. ඒ මගින් බිඳ වැටෙන්නේ අධික බදු ඉවත් කළ විට රුපියල් ලක්ෂ 12ක් වැනි මුදලකට විට්ස් වර්ගයේ කාරයක් ලබාගත හැකි බවට ජාතික ජනබලවේග නායකයන් පසුගිය ඡන්ද සමයේදී පෙන්වා දුන් සිහිනයන්ය.

එක් වාහනයක් සඳහා මෙතෙක් අවමය රුපියල් 1,710,000 ක් වූ විශේෂ සුරාබද්ද (ආනයන තීරු බද්ද) රුපියල් 1,810,900ක් දක්වා රුපියල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකින් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිකර ඇති අතර එක් වාහනයක් සඳහා උපරිමව මෙතෙක් පැවති රුපියල් 6,840,000 ක් වූ බද්ද රුපියල් 7,243,550 දක්වා වැඩිකර තිබේ. එම වැඩි කිරීම රුපියල් ලක්ෂ 40කටත් වඩා වැඩි එකක් බව පෙනේ.

වාහන ආනයනය සඳහා අවසර ලබාදී මෙම බදු පැනවීම සිදුකර ඇත්තේ ආණ්ඩුවට අමතර රුපියල් බිලියන 280 ක බදු ආදායමක් ලබා ගැනීමට යැයි කියනු ලැබේ. ආණ්ඩුවේ අරමුණ එය නම් සිදුවිය යුත්තේ වාහන ආනයනයේදී බදු දැලෙන් රිංගීමට කිසිවකුට ඉඩ ලබා නොදීමය. නියමිත ආකාරයට බදු අයකර ගැනීමය. එහෙත් ශ්‍රී ලංකා රේගුවෙන් අපට තොරතුරු ලැබෙන්නේ ආණ්ඩුවේ මෙම බදු ප්‍රතිපත්තියට පටහැනිව දැනට රේගුව බාරයේ තිබෙන වාහන 36ක් සඳහා වන සම්පූර්ණ බදු අය නොකර එම වාහනවල කොටස් සඳහා බදු අයකර නිදහස් කිරීමට එහි විමර්ශන නිලධාරියෙකු නියෝගයක් ලබාදී ඇති බවයි.

කේපීජී පුංචිහේවා නැමැති එම විමර්ශන නිලධාරියා එම නියෝගය ලබාදී ඇත්තේ එම වාහන සම්බන්ධයෙන් බදු අයකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ වෙළඳ භාණ්ඩ වර්ගීකරණ මණ්ඩලය තීන්දුවක් ලබාදීමට පෙර වන අතර එම තීන්දුව සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත දැනට එම වාහන නිදහස් කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්හිටුවා තිබෙන බවද අපගේ රේගු මූලාශ්‍ර ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව වන නිදාන කතාව මීට වසර කිහිපයකට පෙර දිවෙන එකක් වන අතර ශ්‍රී ලංකා රේගුවේ විමර්ශකයන් සහ පොලීසියේ පානදුර වළාන දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සුප්‍රසිද්ධ වෙහිකල්ස් ලංකා සමාගමේ ගබඩා වැටලීමක් සිදුකරනු ලබයි. එහිදී එකලස් කරන ලදැයි කියනු ලබන වාහන 54ක් අත්අඩංගුවට ගනු ලබන්නේ නිමිත රේගු බදු නොගෙවීමේ චෝදනාව යටතේය. රේගු බාරයට ගත් එම වාහනවලින් කොටසක් ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයන්වලට ගෙනියනු ලැබූ අතර ඉතිරිය වෙහිකල්ස් ලංකා පරිශ්‍රයන්වලම සීල් තබා රේගු බාරයේ තබනු ලැබීය. එහෙත් විමර්ශන සිදුවන අවධියේ සිදුවී තිබුණේ සීල් තබා වෙහිකල්ස් ලංකා පරිශ්‍රයන්වල රේගු බාරයේ තබා තිබූ වාහන 18ක් නීති විරෝධි ලෙස වෙහිකල්ස් ලංකා හිමිකරුවන් විසින් ඉන් ඉවත් කර තිබීමය. රේගු බාරයේ තිබූ වාහන එසේ අතතුරුදහන් වීම සම්බන්ධයෙන් නම් මෙතෙක් කිසි විමර්ශනයක් නම් සිදුවී තිබුණේ නැත. ඒ වෙහිකල්ස් ලංකා හිමිකරුවා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කොතරම් බලවත්ද යන්න කියා පාමිනි.

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරනවා යැයි කියනු ලබන මෙම වෙහිකල්ස් ලංකා ආයතනය හා එහි හිමිකරු වන හර්ෂ ප්‍රභාත් ද සිල්වා මෙම එකලස් කරන ලද වාහන සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියට පත්වූ කූප්‍රකට ආයතනයක් හා පුද්ගලයෙක්ය. ඔවුන්ගේ නීති විරෝධී වාහන ලබාගෙන ඒවා ලියාපදිංචි කර ගැනීමට නොහැකිව අනාථ වූවෝ බොහෝ වූහ. බොහෝ පිරිසක් එම වාහන නීත්‍යනුකූල ඒවා බවට පත්කර ගත්තේ වරින් වර අධිකරණයේ පිහිට පතා අධිකරණය ලබාදුන් මානුෂික තීන්දු නිසාය.

වාහන අමතර කොටස් ගෙන්වා එකලස් කර ඒවා දේශීය වෙළඳපොළේ විකුණනු ලබන සමාගම් කිහිපයක්ම රටේ තිබේ. ඔවුන් සිදුකරන්නේ අලුත් (බ්‍රෑන්ඩ් නිව්) වාහන කොටස් ගෙන්වා වාහන එකලස් කිරීම සමහරවිට ඒ සඳහා අගය එකතු කිරීමක්ද සිදුකිරීමය. එම සමාගම්වලට මෙතෙක් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් ප්‍රශ්න ඇති වී නැත. ඒ වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීමේදී වාහනයක් සම්බන්ධයෙන් වන නියමිත බදු කිනම් අදියරකදී හෝ එම සමාගම් ගෙවන නිසාය.
ප්‍රශ්නගත මෙම වාහන සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ ඒවා වාහන බවට පත්වී ඇතත් වාහනයක් සඳහා වන නියමිත බදු රේගුවට ලැබී නොතිබීමය.

පාවිච්චි කළ වාහන කොටස් කිහිපයකට ගලවා වෙන වෙනම ගෙන එනු ලබන මෙම වාහනයක කොටස් සඳහා අමතර කොටස් සඳහා යැයි කියමින් මෙතෙක් රේගුවට ගෙවා ඇත්තේ එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 5ක් වැනි මුදලක් බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති කරුණු අනුව සනාථ වේ. රේගුව පෙන්වා දී ඇති ආකාරයට වත්මන් වාහන බදු වැඩි කිරීමට පෙර එම එක් වාහනයකින් ඒ ආකාරයට බදු අයකිරීම නිසා රුපියල් ලක්ෂ 30ක පමණ බදු ආදායමක් රේගුවට අහිමි වී තිබේ. එය වත්මන් බදු අනුපාතයන් සමඟ ගත්කල ඊට වඩා වැඩි මුදලක් විය හැකිය.
සුරා බදු හෙවත් ආනයනික තීරු බදු වලට අමතරව වැට්, පැල් හෙවත් වරාය හා ගුවන් තොටුපල බදු, එන්බීටී හෙවත් ජාතිය ගොඩනැගීමේ බදු ආදිය වාහන ආනයනයේදී පනවනු ලබයි. අඩුම එංජින් ධාරිතාවක් ඇති සුඛෝපභෝගී නොවන වාහනයක් සඳහා පැවති අවම තීරු බද්දද රුපියල් ලක්ෂ 17ක් වනවිට වෙහිකල්ස් ලංකා ආයතනය එකලස් කර ඇතැයි කියන ඉහළ එංජින් ධාරිතාවක් ඇති වාහන සම්බන්ධයෙන් රේගුවේ ඉහත සඳහන් ගණනයන් නිවැරදි බව පෙනේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු පාලන සමයේදී වෙහිකල්ස් ලංකා සමාගමට ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලැබුණේ යැයි කියනු ලබන වාහන 2250ක් එකලස් කිරීමේ ව්‍යාපෘතියකට අදාළව මෙම වාහන එකලස් කරන බව එම සමාගම කියා ඇති අතර මේ ආකාරයට අමතර කොටස් සඳහා බදු ගෙවා එවැනි වාහන සංඛ්‍යාවක් වෙළඳපොළට දැමීම මගින් ආසන්න වශයෙන් රේගුවට හෙවත් රටට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 6500 ක් පමණ වෙතැයිද රේගුව ගණනය කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ ආනයනික තීරු බදු මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ඇසුරුම් කිරීම, හැසිරවීම හෝ ප්‍රවාහනයේ පහසුව තකා යම් භාණ්ඩයක්, යන්ත්‍රයක් හෝ උපකරණයක් එකලස් නොකර ගෙන්වනු ලැබුවද, එකලස් කිරීමෙන් පසු එක් භාණ්ඩයක් ලෙස සලකා එකලස් නොකළ භාණ්ඩ සඳහා තීරු බදු අයකළ යුතු බව සඳහන් කර ඇත.

එහෙත් එම මාර්ගෝපදේශයෙන් පැන යෑම සඳහා එකී විමර්ශන නිලධාරියා අමුතු කතාවක් ඔහුගේ වාර්තාවේ සඳහන් කරයි. ඒ අදටත් අලුත් මෝටර් රථ එකලස් කිරීම සඳහා කොටස් වශයෙන් ගෙනඑනු ලබන බවත් ඒවා සඳහා වාහන කොටස්වලට බදු අය කරන බවත්ය. එහෙත් විමර්ශන නිලධාරියා එහිදී මඟහැර යන කරුණ වන්නේ එම වාහන සඳහා සම්පූර්ණ වාහනයක් සඳහා වන බදු කිනම් අදියරකදී හෝ අයවන බවයි. එමෙන්ම ඒවා අලුත් වාහන කොටස් හා අලුත් වාහන වන බවයි. රටේ වාහන ආනයන නීතිය අනුව අවුරුදු තුනකට වඩා පැරණි වාහන ගෙන්විය නොහැකි අතර පාවිච්චි කළ වාහන අමතර කොටස් යනුවෙන් සඳහන් කරන කෑලි කිහිපයකට කඩා ගෙන එන මෙම වාහන එම කාලය ඉකුත් වී ඇති ඒවාද වේ.
තවදුරටත් එම විමර්ශන නිලධාරියා සඳහන් කරන්නේ මෝටර් රථ වාහන පමණක් නොව එකලස් කිරීමේ අරමුණ සඳහා ආනයනය කරන ලද බොහෝ අයිතම තිබෙන බවය. ඒ සඳහා උදාහරණ ලෙස ඔහු සිය වාර්තාවේ විදුලි පංකා, රයිස් කුකර්, බ්ලෙන්ඩර්, රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර ආදිය පෙන්වා දෙයි. එහිදීද රාජ්‍යයට ආදායම් අහිමි වීමක් සිදුවන බව කෙනෙකුට තර්ක කළ හැකි බවද ඔහු සඳහන් කරයි.

එහි තර්ක කරන්නට දෙයක් නැත. ඒ ආකාරයට අමතර කොටස් වශයෙන් සඳහන් කර ඊට අදාළ බදු පමණක් ගෙවා කෑලි වශයෙන් යම් භාණ්ඩයක කොටස් වෙන වෙනම ගෙන්වා එකලස් කර විකිණීමෙන් සිදුවන්නේ එම සම්පූර්ණ භාණ්ඩය වෙනුවෙන් වන බදු ආදායම රටට අහිමි වීමය. එම කටයුතුවල නිරත ව්‍යාපාරිකයන් අධික ලාභයක් උපයා ගනීමය. පාරිභෝගිකයන්ට අඩු මිලට භාණ්ඩ ලැබීමක්ද සිදුනොවීමය.

විමර්ශන නිලධාරියා කියන ආකාරයට මේ කිසිවක් කෑලි ලෙස වෙන වෙනම ගෙන්වන පිරිස ඒවා එකලස් කිරීම සඳහා ගෙන්වනවා යැයි සඳහන් කරන්නේ නැත. ඒවා ගෙන්වන්නේ වෙන වෙනම කිහිප දෙනෙකුගේ නම් යටතේය. රේගුවට සඳහන් කරන්නේ අලුත්වැඩියා කටයුතු සඳහා එම අමතර කොටස් ගෙන්වන බවය. නියමිත බදුවලින් පැන යෑම සඳහා සිදුකරන මෙම ක්‍රියාදාමය මෙම විමර්ශන නිලධාරියා නොදන්නා කාරණයක් විය නොහැකිය. ඔහු සිදුකර ඇත්තේ එම රේගු බදු වංචාවන් සාධාරණ කිරීමට උත්සාහ දැරීමය.

ශ්‍රී ලංකා රේගුව දැන් තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේය. ජනාධිපති ලේකම් ලෙස පත්කර ඇත්තේද හිටපු රේගු නිලධාරියකු වන ආචාර්ය නන්දිත සනත් කුමානායකය. ඔහුට මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අවබෝධයක් තිබේ. ඒ නිසා නව ආණ්ඩුව යටතේ මෙවැනි රේගු බදු වංචාවලට ඉඩ නොතබා නියමිත බදු අයකර ගැනීමට කටයුතු කිරීම වත්මන් ආණ්ඩුවේ අත්හැරිය නොහැකි වගකීමක් බව සඳහන් කළ යුතුමය. මන්ද ඒ මගින් සාමාන්‍ය ජනතාව මත පනවා ඇති අධික බදුබර අඩුකළ හැකි නිසා හා ආණ්ඩුවේ බදු ආදායම් ඉලක්කයන්ද සම්පූර්ණ කරගත හැකි නිසාය. නොඑසේව සම්පූර්ණ වාහනයක් වෙනුවට වාහනයේ එක් එක් කොටසට අමතර කොටස් ලෙස සඳහන් කරමින් බදු ගෙවා රටට ගෙන ආවොත් ආණ්ඩුවේ බදු ඉලක්කයන්ට තර්ජනයක් ඇතිවීම මෙන්ම නීත්‍යනුකූල වාහන ආනයනකරුවන් අර්බුදයකට ලක්වීමද සිදුවන හෙයිනි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි