No menu items!
20.8 C
Sri Lanka
15 January,2025

චීනයේ මාධ්‍ය ආයතන සමග ගහන ගිවිසුම් මොනවාද? මාධ්‍ය සංවිධාන සැක පහළකරයි..

Must read

ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව තිබෙන රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය කර, මහජන සේවා මාධ්‍යයක් බවට පත් කිරීමේ සටනක් මාධ්‍ය සංවිධාන ගෙන යන අවස්ථාවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා චීනයත් සමග අත්සන් කරන්නට යන ගිවිසුම් 5/6ක් ම එරට මාධ්‍ය ආයතන සමග වීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් පවසයි.

“අපි දන්නවා චීනයේ පෞද්ගලික මාධ්‍යයකට ඉඩක් නෑ. චීනයේ තියෙන්නේ සම්පූර්ණයෙන් ම රාජ්‍ය මාධ්‍යයක්. චීනයේ මාධ්‍යට වාර්තා කරන්න ලැබෙන්නේ රජය කියන දේ. චීනය නිදහස් මාධ්‍යක් තියෙන රටක් විදිහට ලෝකය පිළිගන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ඉල්ලන කාලෙක චීන ආණ්ඩුවේ මාධ්‍ය ආයතන එක්ක ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන ගිවිසුම්ගත වීම ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද ඊට පස්සෙ ලංකාවේ මාධ්‍ය හසුරවන්න උත්සාහ කරන්නෙත් ඒ ක්‍රමවේදයට ද කියන සැකය මාධ්‍ය සංවිධාන හැටියට අපිට ඇති වෙනවා. අනික මේ අත්සන් කරන්න යන ගිවිසුම් මාධ්‍ය සම්බන්ධයෙන් නම් අත්සන් කරන්න යන්නේ, ඒවා අත්සන් තැබීමට පෙර ලංකාවේ මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය සමාජය සමග යම් කතිකාවක් ඇති කරගන්න තිබුණා, රහසේ අත්සන් තබන්න යන්නෙ නැතුව. එහෙම කතාබහක් නැතුව ගිවිසුම් ගහන්න යන එක තුළ ම අපිට පේන්න තියෙනවා ලංකාවේ මාධ්‍ය ඉතාම බරපතළ තර්ජනයකට ලක්වෙන්න යන බව. ලංකාව චීනයේ මාධ්‍ය සංස්කෘතිය ආදර්ශයට ගතහොත් එය විශාල ගැටලුවක්. ලංකාව කියන්නේත් මාධ්‍ය නිදහස තවම හරියට ලැබිලා නැති රටක්. අපි තවමත් සටන් කරනවා ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන්. එහෙම රටක් චීනය වගේ රාජ්‍ය මාධ්‍යක් පමණක් තියෙන රටක් එක්ක ගිවිසුම් අත්සන් කිරීම මොන වගේ තත්ත්වයකට යන්න පුළුවන්ද කියන කාරණය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ තත්ත්වය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නම් හොඳ වෙන්න විදිහක් නෑ. මෙවැනි ගිවිසුම් ඇති කරගැනීම සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය සමාජය එක්ක කතා කළා නම් මාධ්‍ය සංවිධාන විදිහට අපිට තිබුණා අපේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. පසුගිය දිනවල අපි මේ ආණ්ඩුව යටතේත් දැක්කා මාධ්‍යයට යම් යම් තර්ජන එල්ල වීම්. ආණ්ඩුවේ මතය ප්‍රචාරය කරන්න කියන තැන තමයි මේ ආණ්ඩුවත් දැන් හැසිරෙමින් ඉන්නෙ. මේ වගේ තත්ත්වයක් එක්ක තමයි අපි මේ චීනයත් එක්ක ගිවිසුම්ගත වීමට කතා කිරීම භයානක තත්ත්වයක්.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා කියා සිටියේ මෙවැන්නකි. “ලංකාවේ රාජ්‍ය මාධ්‍ය පසුගිය කාලයේ පැවැතුණේ ආණ්ඩුවේ හොරණෑ හැටියට. මාධ්‍ය සංවිධාන සහ මධ්‍යස්ථ මාධ්‍ය ග්‍රාහකයො හැම වෙලාවෙම කියූ කාරණයක් තමයි මේ රාජ්‍ය මාධ්‍ය වඩා ප්‍රජාතාන්ත්‍රීය කළ යුතුයි, මහජන සේවා මාධ්‍ය බවට පරිවර්තනය විය යුතුයි කියන කාරණය. අපි දන්නවා මීට පෙර පැවති හැම රජයක් ම රාජ්‍ය මාධ්‍ය භාවිත කළ විදිහ. ඒ කාලේ රාජ්‍ය මාධ්‍යවල එකී ක්‍රියාකාරිත්වය පිළිබඳව අද මේ පත්වෙලා ඉන්න දේශපාලන අධිකාරියටත් බරපතළ විවේචන තිබුණා. පැවති රජයන් රාජ්‍ය මාධ්‍ය දිගින් දිගට ම යොදාගත්තා, මේ දේශපාලන ව්‍යාපාරයට පහරගහන්න එය විවේචනය කරන්න පවා. එවන් පසුබිමක් තුළ 2/3කට අධික අතිවිශාල ජනවරමක් ලබාදීලා ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණු කාරණා තිබුණා. ඒ බලාපොරොත්තු වුණු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවල අනිවාර්යයෙන් ම රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය කියන එකත් ඇතුළත් වෙනවා. අපි කියන්නේ මේවා මහජන සේවා ඉලක්ක කරගත් ස්වාධීන සමාජ වගකීමක් ඇතිව හැසිරෙන ආයතන බවට පත්කරන්න ඕනෑ කියන කාරණයයි. එහෙම පසුබිමක ජනාධිපතිතුමා චීනයේ මාධ්‍ය ආයතන සමග ගිවිසුම් අත්සන් කරද්දී මොන වගේ ගිවිසුම්ද මේ අත්සන් කරන්නේ? ඒවාගේ අන්තර්ගතය මොකද්ද? ඒවාගෙන් මේ රටට සිද්ධ වෙන්නේ මොකක්ද? කියලා හෙළිදරව් කරලා හිටියා නම් වඩා සුදුසුයි. මේවා මහජනයා සතු සම්පත්. මේ මාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍ය වෘත්තිකයො සහ මාධ්‍ය පරිශීලකයෝ දැනගන්න වුවමනායි මොනවද මේ ගිවිසුම්වල තියෙන්නෙ කියලා. චීනය කියන්නේ අපට වඩා උසස් තාක්ෂණයක් තියෙන රටක්. නමුත් ඒ තාක්ෂණය උකහා ගන්නා අතරේ අපි ඔවුන්ගේ ක්‍රමවේදත් ඒ විදිහට ම අපිට ආදේශ කරගන්න යනවා නම් සමහර විට එහි බරපතළ ගැටලු මතුවෙන්න පුළුවන්. චීනය කියන්නේ දැඩි රාජ්‍ය මාධ්‍ය පාලනයක් තියෙන රටක්. ඒ රටේ ආණ්ඩුවෙන් තමයි මාධ්‍ය පාලනය කෙරෙන්නෙ. ඒ පාඩම ඉගෙනගන්න නම් මේ ගිවිසුම් ගහන්නෙ, ඒකෙන් රටට යහපතක් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ ගිවිසුම්වල අන්තර්ගත කරුණු මොනවාද? මේ ගිවිසුම්වලින් ලංකාවේ රාජ්‍ය මාධ්‍යවලට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? කියන කාරණා පුළුල්ව සාකච්ඡාවට ගැනීම මේ වෙලාවේ රජයේ වගකීමක්. රජයට ඕනෑ කරන්නේ තවත් හොරණෑ කාරයින් පිරිසක් බිහි කරන්න නම්, ඒක නෙවෙයි මහජනතාව ඡන්දය දීලා අපේක්ෂා කරපු වෙනස. අපි රජයට කියන්නෙ, මුලින් රට තුළ මේ ගිවිසුම්වල අන්තර්ගතය පිළිබඳව පුළුල් සාකච්ඡාවකට ගිහින්, ඉන් පසුව මේ ආධාර උපකාර ලබාගන්න කටයුතු කරන්න කියන කාරණයයි.”

ජනවාරි 07 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව චීනයේ මාධ්‍ය ආයතන සමග ඇති කරගැනීමට නියමිත ගිවිසුම් කිහිපයක් පිළිබඳව ප්‍රකාශ කිරීමත් සමග මෙරට මාධ්‍ය සංවිධාන අතර මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ඇති වී තිබේ.

  • කාංචනා සිරිවර්ධන
- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි