‘මිනිස්සු අපිට ඡන්දෙ දුන්නෙ ලස්සන රටක් හදන්න. එතැනදි අපි මුදා නොගත් ප්‍රදේශ ලංකාවේ කොතනකවත් තියෙන්න බෑ.’: මාලිමා මන්ත්‍රී විජේසිරි බස්නායක
- කාංචනා සිරිවර්ධන
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වෙත කප්පම් ඉල්ලීමේ චෝදනා එල්ලවීමත් සමග පසුගිය දිනවල සමාජයේ ඇති වුණේ ඉමහත් ආන්දෝලනයකි.
මෙලෙස චෝදනා එල්ලවූයේ දෙසැම්බර් 30 වැනිදා බිංගිරිය විලත්තව පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන බෙන්ජි කර්මාන්ත ශාලාව වෙත ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්ට ය.
ඒ අනුව බෙන්ජි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගේට්ටුව අසළ කිසියම් පිරිසක් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට කප්පම් චෝදනා එල්ල කරමින් විරෝධය දක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් දෙසැම්බර් 30 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිය නිල ෆෙස්බුක් ගිණුවේ පළ කර තිබුණි. ඒ “මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිංගිරිය ආසන සංවිධායක විජේසිරි බස්නායක මහතා බිංගිරිය Benji කර්මාන්ත ශාලාව වෙත පැමිණ පිටව යන අවස්ථාවේ සිදුවීමක්. ජනතාවගේ විමසුම පිණිසයි.” යනුවෙන් සඳහන් කරමිනි.
“පාර්ලිමේන්තු මන්ත්‍රී බෙන්ජි එකෙන් කප්පම් ගන්න ඇවිල්ලා”යැයි කිසිවෙකු පවසන ආකාරය එම වීඩියෝවේ පැහැදිලිව ඇසේ.
සැබැවින්ම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා බෙන්ජි ඇඟළුම්හල වෙත ගියේ කුමක් සඳහාද? කප්පම් ගැනීම සඳහාද? නොඑසේ නම් වෙනත් කරුණක් අරභයාද? මේ පිළිබඳ විමසීමට අප මන්ත්‍රී විජේසිරි බස්නායක ඇමතූ අවස්ථාවේ ඔහුට කියන්නට තිබුණේ මෙවැනි කතාවකි.
“බෙන්ජි ඇඟළුම් කර්මාන්ත ශාලාව පිහිටා තියෙන්නෙ බිංගිරිය ආසනයේ පුත්තලමට යාබදව. මේ කර්මාන්ත ශාලාවේ 3000කට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් ඉන්නවා. මේකෙන් ලොකු සේවාවක් වෙනවා. ලොකු රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ ම ඔවුන් තවත් කර්මාන්ත ශාලාවක් විවෘත කරන්නයි යන්නෙ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වන සේවක සේවිකාවන් තමයි ඔතන ඉන්නෙ. බිංගිරිය ආසනය තුළ ජීවත්වන ජනතාවගෙන් අපිට දුක්ගැනවිලි කිහිපයක් අහන්න ලැබුණා. එකක් තමයි සේවක සේවිකාවන් කර්මාන්ත ශාලාවට රැගෙන එන ප්‍රවාහන සේවාවක් තියෙනවා, බෙන්ජි ආයතනයෙන් ඒක වෙන කම්පැණි එකකට දීලා තියෙන්නෙ. ඒ කම්පැණියෙන් ඒ සේවාව ලබාදීමේදී කටයුතු කරන ආකාරය ගැන අපට පැමිණිලි ගණනාවක් ඇවිත් තිබුණා. එතන බස් රථ සහ වෑන් රථ විදිහට කොටස් දෙකක් තියෙනවා. බස් රථ හිමියන් විසින් පිහිටුවාගත් රථවාහන සංගමයකින් බස් රථ ධාවනය කරන්නෙ. ඒ බස්රථවලින් ලබාදෙන සේවය හොඳින් සිදු වෙනවා. නමුත් ඔය වෑන් රථ පාලනය කරන්නෙ දේශපාලනඥයෝ කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා. අපි ඒගොල්ලන්ට කියන්නෙ දේශපාලන මැරයො කියලා. මෙන්න මේ කණ්ඩායම තමයි එතන ඉඳන් අනෙකුත් සියලු වෑන් පාලනය කරන්නෙ. මේ පාලනයෙදි ඔවුන් ප්‍රවාහනයට යොදවලා තියෙන වෑන් රථවලින් කොමිස් අය කරනවා. නිදසුනක් විදිහට කිලෝමීටරයකට රුපියල් 3ක් වගේ කොමිස් මුදලක් අය කරනවා. මේ කණ්ඩායමට සම්බන්ධ වෙන්නෙ විශේෂයෙන් ම පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න සහ පැරදිච්ච දේශපාලනඥයන්ගේ කණ්ඩායමක්”
මන්ත්‍රී විජේසිරි බස්නායකගේ කතාවට මඳකට බාධා කරමින් අප විමසූයේ මේ කණ්ඩායමේ සිටින අයවලුන් නම් කළ හැකිද කියා ය. එහෙත් මේ අවස්ථාවේ නම් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටි මන්ත්‍රීවරයා නැවත් සිය කතාවේ ඉතුරු හරිය කියන්නට පටන් ගත්තේ ය.
“මට ලැබුණු තොරතුරු අනුව මේ කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන සේවය හරහා ඔවුන් විශාල කප්පම් මුදලක් අය කරගන්නවා. මේ පිළිබඳව වෑන් රථ හිමියන් අපට පැමිණිලි කරලා තිබුණා ටර්න් එක ඒගොල්ලන්ට දෙනකොට නියමිත දිගු දුර දෙන්නෙ නෑ, දිගු දුර ගියත් ඒ අවශ්‍ය කිලෝමීටර් ප්‍රමාණයට නියමිත මුදල ගෙවන්නෙ නෑ, ඒකෙනුත් විශාල ප්‍රමාණයක් අය කරගන්නවා කියලා. ඔය වෑන් රථ සැපයීමේ සේවාවේ හිටියා පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට උදව් කළ කණ්ඩායමකුත්. මේ අයගෙන් විශාල ප්‍රමාණයක් ඒ වෑන් රථ සේවාව ලබාදීමෙන් ඉවත් කරලා. ඔවුනුත් ඇවිත් අපට පැමිණිලි කළා මෙහෙම අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඔවුන් ගත්තු වාහනවල ලීසින් ගෙවන්න බෑ, දරුවන්ට කන්න දෙන්න බෑ, වාහන නැවතත් ඒ ප්‍රවාහන සේවයට සම්බන්ධ කරලා දෙන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා. ඒ වගේ ම ඔය ආසන්නයේ තියෙනවා වැවක්, කර්මාන්ත ශාලාව නිසා ඒ වැව අපවිත්‍ර වෙලා කියලත් අපිට පැමිණිල්ලක් ඇවිත් තිබුණා.
ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ වැව පිරිසිදු කරලා දෙන්න කියලා ගම්වැසියො ඉල්ලුවා. මෙන්න මේ කාරණා සාකච්ඡා කරන්නයි අපි බෙන්ජි ආයතනයට ගියේ. ආයතනය එක්ක කලින් කතා කරලා යොදාගත්ත දිනයක, වෙලාවක මමත් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහානුත් ඒ ආයතනයට ගියා. සාකච්ඡාව සිදු කළේ ආයතනයේ මානව සම්පත් කළමනාකරු එක්ක. සාකච්ඡාවෙදි කර්මාන්තශාලාවෙන් කිව්වෙ මේ යන ටෙන්ඩරය අහවර වෙලා ජනවාරි අග වන විට අලුත් ටෙන්ඩර් එක දැම්මම ඕනෑම අයෙකුට ඒ අවස්ථාව ලබාගන්න පුළුවන් කියලා. ඒ වගේ ම දැනට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් පවතින ප්‍රවාහන සමාගම එක්ක අනිවාර්යයෙන් සාකච්ඡා කරලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බවත් කිව්වා. ඒ සාකච්ඡාවෙන් පස්සෙ අපි එළියට එනකොට ගේට්ටුව ළඟ පිරිසක් රැස්වෙලා කලහකාරි විදිහට හැසිරුණා. එතනට බිංගිරිය පොලිසියේ නිලධාරින් තුන් දෙනෙකුත් ඇවිත් හිටියා. අපේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වාහනය ගන්නකොට ගේට්ටුව ගාව ඒක නතර කරලා, එතුමාගේ වාහනය වටකරගෙන, වාහනයට පහරදෙමින්, අසැබි වචනයෙන් බැන වදිමින් එතන යම් කලහකාරි තත්ත්වයක් නිර්මාණය වුණා. එහෙම විනාඩි 10ක් 15ක් ගියාට පස්සෙ ඔවුන් එළියට ගියා. ඊට පස්සෙ මම ගිය වාහනයත් එළියට ගන්න යනකොට ඒ විදිහට ම වාහනය වට කරගෙන අසභ්‍ය වචන කියමින්, අපේ රාජකාරියට බාධා කරමින්, වාහනයට පහර දෙමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණා. එක පුද්ගලයෙක් ඇවිත් වාහනේ ඇතුළට අත දාලා මට පහර දුන්නා. මගේ ෂර්ට් එකෙන් ඇදලා එළියට ගන්න හැදුවා.”
මෙලෙස හැසිරුණු පිරිස කවුරුන්ද? යන්න ගැන අදහසක් තිබෙනවාද? එම කණ්ඩායම විරෝධතාවක් දක්වමින් කලහකාරී ලෙස හැසිරීමට හේතුව කුමක්දැයි විමසූ විට මන්ත්‍රීවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.
“ඔවුන් තමයි ඒ ප්‍රවාහන සේවය මෙහෙයවන්නෙ. ඔවුන්ට එතනින් විශාල කොමිස් මුදලක් යනවා. මං ඉස්සෙල්ලා කිව්ව දේශපාලන නායකයන්ගේ කණ්ඩායමක්. ඔවුන්ට ඒ තත්ත්වය නැතිවෙයි කියන බයට තමයි ඇවිත් ඔය විදිහට හැසිරුණේ. අපි ආයතනයේ පාලනාධිකාරියට කිව්වෙ මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි. සමහර විට ඔවුන්ට බියක් ඇති වෙන්න ඇති අපි ඇවිල්ලා මේ පාලනය අපේ අතට ගන්න හදනවා කියලා. කොහොම වුණත් මේ වැඩේ කළේ සාමාන්‍ය ගම්වැසියො නෙවෙයි, මැර පිරිසක්.”
මේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී විජේසිරි බස්නායක කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ වෙත පැමිණිල්ලක් ඉදිරි පත් කොට ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේබී මනතුංග ප්‍රකාශ කළේ මේ සිදුවීම සම්බන්ධයෙන් දැනට පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවත් ය.
මීළඟට ද අපට මන්ත්‍රීවරයාගෙන් අසන්නට දිව අග නලියන පැනයක් විය. එනම් යම් හෙයකින් මේ කියන්නා සේ අසාධාරණයක් සිදු වුවද මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කළ යුතුව තිබුණේ මේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කොට අවශ්‍ය පියවර ගැනීම නොවේද? මෙලෙස පුද්ගලිකව ගොස් ඇඟළුම් කම්හලේ පාලනාධිකාරිය සමඟ කතිකා කළේ ආයතනයේ ප්‍රවාහන සේවාවන්වලින් සිදු වන කප්පම් ගැනීම නවතා දමන්නට ද? නොඑසේ නම් දැනට කප්පම් ගන්නා පිරිස මින් ඉවතට ඇද දමා ආණ්ඩු බලය මත, ඒ ලැබෙන කප්පම්වලින් තමන්ගේ මඩිය තරකර ගන්නට ද? කිතුලට ගිය මිනිහාටත් කියන්නට කතාවක් තිබුණු අතර මන්ත්‍රීවරයෙකුට කොතරම් නම් කතා තිබිය හැකිද? සිද්ධියේ ඇත්ත නැත්න විමසා බැලීමට නම් ඒ කතාවත් ඇසිය යුතු මය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි; “මේ දුක්ගැනවිලි නගන පිරිස අපේ ඡන්දදායකයින්. ඒ වගේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි රාජකාරි කරන ප්‍රදේශයේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයකදී අවශ්‍ය පාර්ශ්වයන් සමග සුහදව සාකච්ඡා කරලා විසඳුමක් ලබාගන්න, සාධාරණය ඉටු කරන්න අපිට නීතියෙන් බාධාවක් නෑ. ජාතික ජන බලවේගයේ පදනම වෙන්නෙ ම සමානාත්මතාව. සාධාරණත්වය. අපි විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන ආවෙ මේ පද්ධතිය හදන්න. මෙතනදි අපි කර්මාන්ත ශාලාව එක්ක සුහද සාච්ඡාවක් කළා පමණයි. මං හිතන්නෙ නෑ ඒකට නීතිමය බාධාවක් තියෙනවා කියලා. ප්රජාතන්ත්රවාදී රටක අපට මේ ප්‍රශ්න ඕනෑ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. කර්මාන්තශාලාවල ප්‍රවාහන සේවාවන් තුළ විතරක් නෙවෙයි ලංකාවේ හැම ඩිපෝ එකක් ළඟම කප්පම් ගන්නවා. අපි ඒ දේවල්වලට එරෙහි වෙනවා. මිනිස්සු අපිට ඡන්දෙ දුන්නෙ ලස්සන රටක් හදන්න. එතනදි අපි මුදා නොගත් ප්‍රදේශ ලංකාවේ කොතනකවත් තියෙන්න බෑ. බෙන්ජි එකේ ට්‍රාන්ස්පෝර්ට් එක වගේ මුදා නොගත් ප්‍රදේශ තිබුණොත් ඒක මේ රටේ නීතියටත් අවමානයක්.”
කර්මාන්තශාලාවල ප්‍රවාහන සේවා තුළ මෙලෙස ක්‍රියාත්මක වන කප්පම් ගැනීම වරින් වර බලයට පත්වන දේශපාලන කණ්ඩායම්වල හෙන්චයියන් අතේ රඳා පවතින්නක් බවත් දේශපාලන බලය මත මෙවර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා අරඅඳින්නට වූයේත් එවැන්නකට බවත් සමාජය තුළ ගොඩනැගී ඇති චෝදනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
කෙසේ වෙතත් මින් පෙර ඇඟළුම් කර්මාන්ත ශාලාවක ප්‍රවාහන සේවය වෙනුවෙන් සිය වාහන යෙදවූ මේ වන විට යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සිසිර සී විතානගේ දැක්වූ අදහස් ද මෙහිදී සලකා බැලීම වටී.
“බෙන්ජි එකේ විතරක් නෙවෙයි පොදුවෙ ලංකාවේ ගාර්මන්ට් ෆැක්ටරි ඕනම එකක ඔය ප්‍රශ්නෙ තියෙනවා. හැබැයි ඒකට දේශපාලන අධිකාරිය මෙහෙම ලොකුවට කිසිම තැනකදි මැදිහත් වෙලා නෑ. ට්‍රාන්ස්පෝට් මැනේජර් කෙනෙක් ඉන්නවානෙ ගාමන්ට් ෆැක්ටරිවල. ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් හරහා එළියෙ ඉන්න පුද්ගලයකුට ටෙන්ඩර් එක දෙනවා. ඇත්තටම ටෙන්ඩර් කිව්වාට ටෙන්ඩර් දාන්නෙ නෑ, කට වචනයට තමයි දෙන්නෙ. නිදසුනක් විදිහට කම්පැණි එකෙන් කියනවා අපි කිලෝමීටරයකට රුපියල් 100ක් ගෙවනවා කියලා. මේක ගන්න කෙනා කරන්නෙ අතරමැදියෙක් විදිහට ඉඳන් බස් වෑන් තියෙන අයට දෙනවා, මේ අහවල් ගාර්මන්ට් එකේ දුවන්න පුළුවන්, ඕගොල්ලන්ට මං දෙනවා කිලෝමීටරයකට රුපියල් 90ක් කියලා. ඔතැනදි මාසිකව රුපියල් ලක්ෂ 15ක් 20ක් ඒ අතරමැදි පුද්ගලයට ලැබෙනවා, නිකං ඉඳලා. පොඩි හයිරංකාරකමකින් තමයි මේක තියාගන්නෙ. ඒකනෙ මේ මාලිමාවේ මන්ත්‍රීවරුත් රිංගන්න ගියෙ ඕකට. එතකොට ට්‍රාන්ස්පෝට් මැනේජර් අල්ලගෙන මිනිහාටත් ලක්ෂ දෙකතුනක් දීලා ගමේ හයිරංකාරයෙක් මේ වැඩේ තමන්ගේ අතේ තියාගන්නවා. ඔය සිස්ටම් එකට දුවනවා. දේශපාලන බලය වෙනස් වුණා කියලා කලින් මේ වගේ ප්‍රශ්න ඇති වුණේ නෑ. නමුත් දැන් ඕකෙ ආදායම දන්න නිසා මේගොල්ලන්ටත් ගන්න හිතාගෙන තමයි ඔතනට රිංගලා තියෙන්නෙ. එහෙම සිස්ටම් එකක් තියෙනවා, හැම තැනම. ඒ ප්‍රදේශයේ ඉන්න පොඩි හයියක් තියෙන මිනිහෙක් ට්‍රාන්ස්පෝට් එක අල්ලන් අවට තියෙන බස් ටික වෑන් ටික අරගෙන දුවන්න දානවා. සාමාන්‍යයෙන් කිලෝමීටරයකින් රුපියල් 10ක් 15ක් ලාබ තියාගෙන වාහන දුවවනවා. එතකොට ෆැක්ටරියේ මානව සම්පත් අංශය හැමතිස්සෙම සේවකයන්ට කියනවා මේ ප්‍රවාහන සේවාවල ගැටලුවක් තියෙනවා නම් ඔවුන්ව දැනුවත් කරන්න ඕනෙ කියලා. ගැටලුවක් තිබුණොත් ෆැක්ටරිය තමයි ඇක්ෂන් ගන්නෙ. දැන් මේ විජේසිරි මන්ත්‍රි කියන්නෙ ඒගොල්ලන්ට ඡන්ද දායකයන්ගෙන් පැමිණිලි ඇවිත් තියෙනවා, ඒ ගැන කතා කරන්නයි ගියේ කියලානෙ. එහෙම එකක් නෑ. සේවකයන්ව ඉතා වටිනවානේ ගාමන්ට් ෆැක්ටරිවලට. ඒනිසා ඒගොල්ලො පොඩි පැමිණිල්ලක් හරි ආවොත් අනිවාර්යයෙන් ඒකට ඇක්ෂන් එකක් ගන්නවා. ගාමන්ට් ෆැක්ටරිවල හැටියක් ඒක.
ඊළඟට මේගොල්ලො කියනවා ගාමන්ට් එකෙන් පරිසර හානි වෙන බවටත් පැමිණිලි ලැබුණා කියලා. එහෙම දෙයක් වුණත් යන්න ඕනෙ පරිසර අධිකාරියේ නිලධාරින් මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු නෙවෙයිනෙ. ඉතින් මේගොල්ලො එළියට ඇවිත් කියන කතාවල කිසිම පදනමක් නෑ. ඕනම ගාමන්ට් ෆැක්ටරි එකක ට්‍රාන්ස්පෝර්ට් එකේ ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කිසිම දවසක අපි දැනුවත්ව ඔය දේශපාලන අධිකාරිය ඇඟිලි ගහලා ඉල්ලලා නෑ. ඒ ප්‍රදේශයේ යමක්කමක් කරන්න පුළුවන් අය (ඇතැම්විට ලොකු ව්‍යාපාරිකයො නැත්නම් පාතාලෙ මිනිස්සු) තමයි ඕකට එකතු වෙලා හිටියෙ මෙච්චර කල්. ෆැක්ටරරි පටන් ගන්නකොටම ට්‍රාන්ස්පෝට් මැනේජර්ව අල්ලගෙන ඒ අය ඕක කරගෙන යනවා. ආණ්ඩු මාරු වෙලා තියෙනවා ඕන තරම්. හැබැයි ඒ සිස්ටම් එකේ වෙනසක් වෙන්නෙ නෑ. මේක ප්‍රසිද්ධ රහසක්. එක අතකට මෙතන වෙන්නෙත් අතරමැදියෙක් ලාබ ඉපැයීමක්. මේ ප්‍රවාහන සේවා ඇතුළෙ බස් වෑන් විතරක් නෙවෙයි භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල සහ කුඩා ලොරි රථ ද තියෙනවා. මේ සමහර වාහන හිමියො මේ වැඩේ අතේ තියන් ඉන්න කෙනාට අල්ලසක් දීලා දුර හයර් ටික ඉල්ලනවා.
එතකොට වෙන්නෙ ටර්න් එක වෙනස් කරලා, අල්ලස දෙන කෙනාට දුර හයර් දෙනවා. කවදාවත් එහෙම වුණේ නෑ කියලා කියන්න බෑ. සාධාරණ අසාධාරණභාවය මොක වුණත් මේක තමයි මෙච්චර කාලෙකට පැවතිච්ච සිස්ටම් එක. මේක මාසෙකට ලක්ෂ 15ක 20ක ශුද්ධ ලාබයක් එන වැඩක්. ඒක නිසා තමයි ඔය මන්ත්‍රීවරු දෙන්නත් ඔතනට යන්නෙ.”
එසේ නම් සැබවින්ම සිදු වූයේ කුමක්ද? මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා බෙන්ජි ඇඟළුම්හලට ගියේ ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි ගැන සාකච්ඡා කිරීමට ද? නොඑසේ නම් දේශපාලන හයිකාරකම් මත ආයතනයේ ප්‍රවාහන සේවාවෙන් මඩිය තරකර ගැනීමේ පොටක් පාදා ගන්නටද? මෙය බුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණකි.