2024 දෙසැම්බර් 22 අනිද්දා පුවත්පතට ඉෂංකා සිංහාරච්චි ලියු ‘ඔව්හු කුරුස ගසේ තබා ඇණ ගසන ලදහ’ ලිපියට කිසියම් ඌන පූර්ණයක්ද එක් කරමින් ‘යුක්තිය උදෙසා සටන’ කිතුනුවන් ජාතිවාදයට යට වී යුක්තිය අහිමි කළ ආකාරය ගැන යම් අදහසක්ද බෙදා ගැනීම මේ ලිපියේ අරමුණයි.
කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවීමට උත්සාහ දැරීම නිසා ප්රාණ පරිත්යාගශීලීවීමට සිදුවූ මෙරට විසූ කිතුනු පූජක පැවිදි පිරිස් ගැන ඉෂංකා ලියූ ලිපියෙන් මග හැරුණු කීප දෙනෙක්ම සිටිති. ඒ අතර කටාන කොන්ගොඩමුල්ලේ 1990 ජනවාරි 19 අබිරහස් ලෙස මරා දමා තිබුණු ගරු ශ්රී ලාල් අමරතුංග පියතුමා, 2007 සැප්තැම්බර් 26 මන්නාරමේ මුදා නොගත් ප්රදේශයකදී ක්ලේමෝ බෝම්බ ප්රහාරයකට ඉලක්ක වී ඝාතනය වූ පාක්ය රංජිත් පියතුමා, 2008 අප්රේල් 12 වනදා මල්ලාවි වන්නිකුලම් මාර්ගයේදී ක්ලේමෝ බෝම්බ ප්රහාරයකින් ඝාතනය කළ ක්ෂවියර් කරුණාරත්නම් පියතුමා, ජන සංහාරක යුද්ධයේ ජනයා සමග එකට ගමන් කරමින් සිටියදී හද කම්පාවෙන් මැරී වැටුණු මාරියම්පිල්ලෙ සරා ජීවන් පියතුමා මෙන්ම තම ඇදහිල්ල මත සාක්ෂි දැරීම නිසා ඝාතනය වූ රේගු නිලධාරි සුජිත් ප්රසන්න හා ධීවර නායක කැනිසියස් ප්රනාන්දු වැනි ගිහියන්ද වේ. (බලන්න, කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවුවෝ ග්රන්ථය, කිතුසර ප්රකාශනයකි)
1983 ජූලියේ සිට අද දක්වා වූ වසර 41 ක් පුරාවට මේ පැවිදි පූජකයින්ගේ ඝාතනයන්ට අදාළ පරීක්ෂණ වාර්තා නිකුත් වී නැති අතර ඔවුන් පිළිබඳ යුක්තිය ඉටුවී නැත. සමහර වාර්තා සභා නායකයින්ට ලැබුණු බවට කසු කුසු තිබුණු නමුත් ඒවා ප්රසිද්ධියට පත් වී නැත. 2019 පාස්කු ඉරුදින සිදුවු ප්රහාරය සඳහා යුක්තිය ඉල්ලන දකුණේ සභාවන් ඝාතනයට ලක්වු අතුරුදහන් කරනු ලැබූ තම පූජක-පැවිදි පිරිස් ගැන එසේ යුක්තිය ඉල්ලා සටන් කරනු දැකිය නොහැකිය.
යුක්තිය පාවා දුන් අතීතයක්
ඉෂංකාගේ ලිපිය සඳහන් කර තිබු මන්නාරමේ මේරි බැස්ටියන් පියතුමාගේ ඝාතනය සිදුවූයේ 1985 ජනවාරි 06 වනදාය. එය එවකට සිටි රජය කෙරෙහි ජාත්යන්තරයේ විශාල බලපෑමක් ඇතිවන සිදුවීමක් විය. ඝාතනය ගැන සෘජුවම හමුදාවට ඇඟිල්ල දිගුවූයේ ඇසින් දුටු සාක්ෂි සමගය. බැස්ටියන් පියතුමාගේ නෑදැයින් ඇමරිකා එක්සත් ජනපදය තුළද ජීවත් වූ අතර ඒ නිසා එක්සත් ජනපද රාජ්යයද මේ ගැන ශ්රී ලංකා රජය විමසන තත්ත්වයක් ඇති විය. රජය වහාම නිවේදනයක් නිකුත් කර ප්රකාශ කළේ පියතුමා සන්නද්ධ කල්ලියක් සමග ඉන්දියාවට පලාගොස් එහි ජීවත්වන බවයි. මේ නිසා ඉන්දියාවද මේ ඝාතනය ගැන සෘජුව සොයා බලන තත්ත්වයක් ඇති විය.
පූජක ඝාතනය ගැන එවකට මන්නාරම් රදගුරුවූ තෝමස් සෞන්ද්රනායගම් හිමි ප්රකාශයක් නිකුත් කරමින්, රජයේ චෝදනා හා ප්රකාශය හෙළා දුටු අතර මුලදී ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුවද මන්නාරම් රදගුරු අනුව යමින් බැස්ටියන් පියතුමාගේ ඝාතනය හෙලා දකින ලදි. වතිකාන ගුවන් විදුලියේ නිවේදනයක් හරහා පාප්තුමන් මෙම පූජක ඝාතනය ලොවට ප්රකාශ කළ අතර එතුමාගේ ආත්මය වෙනුවෙන් යාච්ඥා කරන බවත් රජය සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ප්රකාශ කළේය.
ඉන්පසු ඇතිවුණේ ආන්දෝලාන්තමක තත්ත්වයකි. දින කීපයක් යන විට වකිතානය තමන්ගේ කලින් ප්රකාශය ඉවත් කරගෙන ශ්රී ලංකා රජයේ කතාව පුනරුච්චාරණය කරමින් ලෝකයට පැවසුවේ පියතුමා දකුණු ඉන්දියාවේ සිටින බවයි. මේ සමගම මේ කාරණය ඇමරිකා එක්සත් ජනපදය, බි්රතාන්යය, ඔස්ටේ්රලියාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල සාකච්ඡාවට බඳුන් වුණු අතර දකුණේ සභාවේ ස්ථාවරය ගැන උතුරේ ජනතාවගේද පූජකයින්ගේද දැඩි අප්රසාදයක් එල්ල විය. දකුණේ සභාවේ නිල පුවත්පත වූ ඥානාර්ථ ප්රදීපයට මේ අවුල ලිහා ගැනීම සඳහා වැල් වටාරම් ලිවීමට සිදු විය. එහෙත් ප්රදීපය අත්යවශ්ය ප්රශ්නය මතු කළේ නැත. කව්ද වතිකානයට පියතුමා ජීවත්වන බව පැවසුවේ? මන්නාරම් රදගුරුගේ ප්රකාශය අනුව වතිකානය කළ පළමු ප්රකාශය ඉවත් කර නැවත ප්රකාශයක් කිරීමට තරම් දෙවැනියට තොරතුරු දුන්අය බලවත් විය යුතුය. ඇඟිල්ල දිගු වූයේ ශ්රී ලංකා කතෝලික රදගුරු මඬුල්ලටයි.
දිගින් දිගටම ඇති වු දෝෂාරෝපණයන්ගෙන් බේරිමට රදගුරු මඬුල්ල ජනාධිපති පත් කළ ත්රිපුද්ගල කමිටු වාර්තාව ඉල්ලා සිටියත් එය ලැබුණේ නැත. උත්සන්න වු යුදමය තත්ත්වය සමග සිදුවීම යටපත් විය. නමුත් උතුරේ හා දකුණේ කිතුනු සභාවන් අතර විශාල දුරස්ථ වීමක් ලකුණු විය.
බැස්ටියන් ඝාතන වාර්තාව
මේරි බැස්ටියන් පියතුමාගේ ඝාතනය ගැන රජයේ වාර්තාව වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කිතුසර කණ්ඩායම එතුමාගේ 40 වන අනුස්මරණ දිනයේදී අදහස් කරන අතර මේ පූජක-පැවිදි ඝාතන ගැන විධිමත් පරීක්ෂණයක් තුළින් සත්යය හෙළිදරව් වන්නේ නැත්නම්ල විවිධ මිථ්යාවන් සමාජය තුළ තහවුරු වීම වැළැක්විය නොහැක.
පසුව වතිකානය වෙනුවෙන් තොරතුරු ලබා දුන්නේ මහා දේශප්රේමියෙකු ලෙස පෙනී සිටි ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමා එවකට අගරදගුරු නික්ලෙස් මාකස් රදගුරු සමග එක්ව බව අනාවරණය විය. ඒ පිළිබඳව මාධ්යවේදීන් කීප දෙනෙකුම තම ලිපිවල සඳහන් කර ඇත. වතිකානය යාපනයේ හා මන්නාරමේ රදගුරු තුමන්ලාගේ ප්රකාශයට වඩා වෙනස් ස්ථාවරයක් ප්රකාශ කළේ කා විසින් දෙන ලද තොරතුරුක් මතද යන්නට බ්රයන් සෙනෙවිරත්න විසින් ලියූ ලිපියක මෙසේ සඳහන් වේ.
‘1985 ජනවාරි 05 වන දින මන්නාරමේ පදවියේ මේරි බැස්ටියන් පියතුමා ශ්රී ලංකාව හමුදාව විසින් මරා දමා සිරුර ගෙන යන ලදි. එසේ පියතුමාගේ සිරුර ගෙන ගිය බව ඇසින් දුටු සාක්ෂි ඇත. »» වන ජුවාම් පාවුළු පාප් තුමා පියතුමාගේ ආත්මයට නිත්ය සැතපීම පතා යදින ලදි. ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි පැවසුවේ එතුමා තමිල්නාඩුවට පලා ගොස් ඇති බවයි. දකුණේ සිංහල කතෝලික සභාව එම ප්රකාශය පිළිගනිමින්, ගෝමිස් රදගුරු තුමා නික්ලස් මාකස් රදගුරු තුමාගේ අනුමැතිය ඇතිව බැස්ටියන් පියතුමා ඉන්දියාවේ ජීවත්වන බව වතිකානුවට ලියා යවන ලදි. පාප් වහන්සේ පෙර ප්රකාශය ආපසු හරවමින් පියතුමා ඉන්දියාවේ ජිවත්වන බව සතුටින් දැනුම් දෙන බව පවසා නැවත ප්රකාශයක් සිදු කරන ලදි. (The Weekend Leader.com 11/05/2012, Ilankai Tamil Sangam 10/06/2012, Brian Senarathne) දකුණේ සිංහල කතෝලික සභාව මර්දන රාජ්යය සමග දෙමළ ජනයාට එරෙහිව අත්වැල් බැඳගත්තේ එසේය.’
බැස්ටියන් පියතුමා ඉන්දියාවේ සිටින බව පවසා වර්ගවාදී ශ්රී ලංකා රාජ්යයට අවශ්ය පරිදි බොරු කියූ මේ රදගුරුවරුන් දෙදෙනාම 1985 සිට තවත් දශක තුනකට වඩා ජීවත් වූවත් බැස්ටියන් පියතුමා පැමිණියේ නැති අතර දිනපතා තම ළයට ගසා ගනිමින් ‘මේ මගේ අපරාධයයි’ කියමින් තම වැරදි ගැන සමාව ගැනීමට තම ජනයාට උගන්වන රදගුරුවරුන් කිසිදිනක ඒ බව පිළිගත්තේද නැත.
රජයේ කමිටු වාර්තා ගැන විශ්වාසය තැබිය යුතු නැති නමුත් ඒවා ගැන දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබිය යුතුය. මේ පූජක ඝාතන, අතුරුදහන් කිරීම් වේවා වෙනත් එවැනි දැ ගැන වේවා යුක්තිය පාලකයින් බන්දේසියක තබා ලබාදෙන්නේ නැත.
1983 සිට සිදුව ඇති මේ පූජක-පැවිදි ඝාතනවලින් බහුතරයක් සඳහා බලපෑවේ ජනවාර්ගික අර්බුදයයි. ශ්රී ලංකා රාජ්යය දකුණු හා උතුරේ සටන්කාමී ව්යාපාරවලට එරෙහිව දියත් කළ සමූහ සංහාරක ප්රතිපත්තියි. මේ කාරණයේදී දකුණු නිල සභාවන් මූලිකව පෙනි සිට ඇත්තේ වර්ගවාදී සිංහල රාජ්ය සමගයි. ඒ නිසා මේ ඝාතන ගැන යුක්තිය ඉල්ලීමට සභාවන් සැබෑ උත්සාහයක නිරතව නැත. දකුණේ භීෂණ සමය තුළ සිදුවූ මයිකල් රුදිගු, ශ්රී ලාල් අමරතුංග පිය ඝාතන වැනි ඝාතනවලදීද නිල සභාවන් එකී ජනතාවාදී පූජකයන් ගැන ප්රසාදයකින් සිටියේ නැති බවත් ඔවුන් කරදකාරයින් සේ සැලකු බවත් පෙනේ.
සැබෑ ලෙස යුක්තිය සෙවීමේ අරගලයක් කෙසේ සිදු විය යුතුද යන්න ඉගෙනීමට සභාවට සාන්තුවර ආදර්ශයක් වර්තමානයේදී පවති. ඒ 1980 දී එල් සැල්වදෝරයේදි ඝාතනය කළ ඔස්කා රොමේරෝ රදගරු තුමාගේ ඝාතනය ගැන යුක්තිය ඉටු කර ගැනීමට එල් සැල්වදෝර් ප්රගතිශීලි ජනතාව දශක 4 ක් පුරා ගෙන ගිය අරගලයයි.
රොමේරෝ ඝාතනයේ යුක්තිය සෙවීමේ අරගලය
රොමේරෝ හිමිගේ මරණයෙන් පසු එතුමාව සාන්තුවරයට එසවීමට ගිය ගමනට වඩා ඉතා වැදගත් ගමනක සැල්වදොර ජනතාව හා මානව හිමිකම් ක්රියාධරයින් තවමත් (2021) නිරතව සිටිති. එනම් එතුමාගේ ඝාතනය පිළිබඳ සත්යය සෙවීමේ නොනවතින ගමනයි. එතුමාට වෙඩි තැබූ පුද්ගලයා පමණක් නොව ඊට අණ දුන්නේ කවුද යන්න නෛතිකව තහවුරු කිරීමේ අරගලය එතුමාගේ මරණයෙන් පසු දශක හතරක් දක්වා ඉදිරියට ගෙන යාම ‘යුක්තිය උදෙසා සා පිපාසා වීමේ’ භාග්යවන්තභාවය පිළිබඳ ප්රබල සාක්ෂි දැරීමකි. එසේම රොමේරෝ හිමිගේ අනුප්රාණය කදිමට තහවුරු කරන සාක්ෂියකි.
බොහෝ රාජ්යයන් සේම බොහෝ රටවල සභාවන් මෙවැනි ඝාතන පිළිබඳ සත්යය ඉතිහාසය තුළ වැළලී යාමට ඉඩ හරී. ප්රතිගාමින් සාන්තුවරයන් සේ පෙනී සිටිමින් ඒවාට සමාව දී අමතක කිරීම ක්රිස්තියානි ප්රතිපදාව විය යුතු යැයි පවසද්දී, ඇතැම් ප්රගතිශීලින්ද තම දේශපාලන න්යාය පත්රවලට මුවා වී ඇට කටු ගොඩ දැමීම අනවශ්ය යැයි පවසති. එහෙත් සමාව දීම සැබෑ විමුක්තිදායක ක්රියාවක් වන්නේ සත්යය හෙළිදරව් කිරීමෙන් යන්න, සැබෑ ක්රිස්තියානි ප්රතිපදාව බව දන්නා සැල්වදොර කිතුනුවෝ, මානව හිමිකම් ක්රියාධරයෝ හා සංවිධාන ඒ උදෙසා අරගලය අත්නෑරීම මුළු ලොවට ආදර්ශයකි.
ඝාතනය පිළිබඳ නිල පරීක්ෂණයක් පැවැත්වීම මඟ හැරීමට සැල්වදොර මිලිටරි ජුන්ටාව ක්රියා කළේ ඝාතනයට පසු ඇති වූ තත්ත්වය සමනය කිරීම සඳහා අලුත් විදේශ ඇමතිවරයෙකු පත් කොට දෙපැත්තටම දොස් පැවරීමේ ඊනියා මධ්යස්ථ ප්රචාර ව්යාපාරයක් දියත් කරමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා තවත් ජාත්යන්තර සංවිධාන සැල්වදොර මාධ්යවේදීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සහාය ඇතිව කළ ස්වාධීන පරීක්ෂණයකින් ඝාතනයට සම්බන්ධ වූ සිව්දෙනෙකු අනාවරණය කරන ලදි.
එහිදි හෙළිදරව් වූයේ ඇමරිකානු සී.අයි.ඒ. සබඳතා සහිත සැල්වදොර ජුන්ටාවේ නිකරගුවා ජාතික හමුදාව සමඟ ඉතා කිට්ටු සබඳතා තිබූ දේශපාලන ඝාතන හා මානව හිමිකම් කඩ කිරීම් සිදු කිරීමට පිහිටුවා ගත් රහසිගත ඝාතන කණ්ඩායමක් පවත්වාගෙන ගිය මේජර් රොබර්ටෝ ඩි අබුයිසන්ගේ මෙහෙයවීම යටතේ මෙම ඝාතනය සිදු වී ඇති බවය. එම ඝාතන කණ්ඩායම් ප්රධානියා ලෙස කටයුතු කළේ ගුවන් හමුදාවේ හිටපු කපිතාන් අල්වාරෝ රේෆියල් සරාවියා ය. ඔහු 2010 දී සැල්වදොරයේ එක් පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, තමාට ඝාතන අණ ලබා දුන්නේ මේජර් රෛාබර්ටෝ ඩි අබුයිසන් බවත්, ඝාතනය කිරිමෙන් පසු තමාට සැල්වදොර කලොන් 1000 ක් ගෙවූ බවත් පිළිගෙන ඇත.
එල්සැල්වදොරයේ මිලිටරි ජුන්ටාව සමඟ මෙන්ම රොමේරෝ ඝාතනය සමඟ ද ඇමරිකානු සී.අයි.ඒ. සබඳතා හෙළිදරව් කරන කරුණු රාශියක්ද අනාවරණය කර ගැනීමට මේ සත්යය සෙවීමේ ක්රියාන්විතයට හැකිව තිබේ. ඒ අනුව ඝාතනය පිළිබඳ තොරතුරු 1983 පමණ වන විට ද සී.අයි.ඒ. වෙත වාර්තා වී ඇති බව අනාවරණය වී ඇත.
1983 එවකට ඇමරිකානු උප ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ සමීපතමයෙකු වන කර්නල් ඔලිව නෝර්ත්, රොමේරෝ ඝාතකයා ඇතුළු කීප දෙනෙකු සැල්වදෝර මිලිටරියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවටද වාර්තා වී ඇත. ඔවුන් කීප දෙනෙකු පසුව සී.අයි.ඒ. පුහුණුව ලද සැල්වදොර විශේෂ පොලිස් බලකායක් විසින් ඝාතනය කර ඇත.
1984 දී එක්සත් ජනපද තානාපති රොබට් වයිට් එක්සත් ජනපද කොංග්රසය හමුවේ සාක්ෂි දෙමින් ඇල්වාරෝ ඝාතනය සැලසුම් කළ බවට හා ඊට නියෝග දුන් බවට ප්රමාණවත් සාක්ෂි ඇති බව අනාවරණය කරන ලදි.
රොමේරෝ හිමිගේ මරණයෙන් අවුරුදු 23 කට පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයක් වන ‘යුක්තිය හා වගවීම පිළිබඳ මධ්යස්ථානය’ විසින් ඇල්වාරෝ සරාවියාට එරෙහිව එරටදී සිවිල් නඩුවක් ගොනු කරන ලදි. ඒ අනුව එක්සත් ජනපද දිසා අධිකරණය 2004 දී සරාවියා ඝාතනයට වගකිව යුතු බවත් ඔහු කළ අපරාධයට ඩොලර් මිලියන 10 ක වන්දියක් ගෙවිය යුතු බවත් ප්රකාශ කළේය.
2010 දී රොමේරෝ හිමිගේ තිස්වන සැමරුම අවස්ථාවේදී සැල්වදොර ජනපති මර්සියෝ ෆියුන්ස් රොමේරෝ හිමිගේ පවුලේ අය හා සභාවේ නායකයින් හා රාජ්ය නිලධාරින් ඉදිරියේ ඝාතනය ගැන රජයේ නිල සමාව අයැද සිටියේය. ඔහු කියා සිටියේ මේ ඝාතනය සඳහා අවාසනාවන්ත ලෙස රජයේ නියෝජිතයින් සම්බන්ධව සිටි බවයි.
ඝාතනයෙන් වසර තිස් හතකට පසු 2017 දී සැල්වදොර ජුන්ටාවේ මිනීමරුවන් ආරක්ෂා කිරීම සඳහා රජය පනවා තිබු ‘සිවිල් යුද සමාව පිළිබඳ නීතිය’ අවලංගු විය. ඒ සමඟම ඝාතනය හා සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින, නමුත් සැඟවී සිටින සරාවියාට එරෙහිව නඩුව නැවත විවෘත කිරීමට අධිකරණය අවසර දුන්නේය.
2018 දී රොමේරෝ හිමි භාග්යවරයට එසවූ දිනදී සරාවියා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අධිකරණය නිකුත් කළේය.
යුක්තිය හා සත්යය පතා වූ මේ දිගු ගමන පෙන්වා දෙන්නේ සැල්වදොරියානු ප්රගතිශීලින් විමුක්තිවාදී කිතුනුවන් දශක හතරක් පුරා තම අරගලය අත්නොහැර ඇති බවය. එය ඔවුන් රොමේරෝ හිමියන්ට හා එතුමාගේ මෙහෙවරට දක්වන ආත්මීය සබැඳියාව පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ ඉටුනොවන යුක්තිය
රොමේරෝ හිමිගේ ඝාතනය පිළිබඳ සත්යය හා යුක්තිය ඉටු කර ගැනීමට ගන්නා ලද දීර්ඝ ක්රියාමාර්ගය ඉහත සඳහන් වේ. ශ්රී ලංකාව තුළ උතුරේ මෙන්ම දකුණේ ද සිදු වූ ඝාතන හා අතුරුදහන් වීම් පිළිබඳ යුක්තිය හා සත්යය මතු කර ගැනීමට එවන් දීර්ඝ කැපවුණු අරගලයක් නොවීම ලංකාවේ සමාජ අර්බුදයක් සේම ආධ්යාත්මික අර්බුදයක්ද වේ. බැස්ටියන් පියතුමා සම්බන්ධයෙන් දකුණේ සභාව අනුගමනය කළ ක්රියාමාර්ගය වන යුක්තිය ජාතිය නාමයෙන් වළලා දැමීම විශේෂයෙන් දකුණේ සමාජයේ පොදු ලක්ෂණයක් වී ඇත. උතුරේ අරගලය සම්බන්ධයෙන් දකුණේ සාතිශය බහුතරය දැක්වු ප්රතිචාරයේ සැඟවී ඇත්තේ ඒ පොදු එදිනෙදා පුරුද්දයි. එය ජය ගන්නා තුරු අපට යුක්ති ගරුක රටක් නිර්මාණය කර ගත නොහැකියි.
ඇතැමුන්ට අනුව අතීතය අමතක කර දැමිය යුතුය. යුක්තිය හෝ නීතිය ක්රියාත්මක වීම ඒ අතීතයට අදාලව විශේෂයෙන් ජාතික ප්රශ්නයේදී අවශ්යතාවක් නැත. නමුත් ඔවුන්ට වංචාව, දූෂණය සම්බන්ධයෙන් හා පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් නම් සත්යය යුක්තිය ඉටුවිය යුතුය. මේ වනාහි රාජ්ය අපරාධිකාරිත්වය හා තමන් සම්බන්ධ ඉතිහාසය මකා දැමීමේ ප්රතිපත්තියක් මිස සැබෑ යුක්තියේ මාවතක් නොවෙයි. සත්ය සෙවිය යුත්තේ හුදෙක් දඬුවම් දීමට ම නොවේ. සහජීවන හා සංහිදියා ක්රියාවලියකදී සමාව දීම ඉතා වැදගත් දෙයකි. නමුත් සමාව දීම තීරණය කළ යුත්තේ පාලකයින් නොවේ. වින්දිතයින් විසිනි.
සමාව දීම හා අමතක නොකර සිහි කිරීම පිළිබඳ සැබෑ ස්වරූපය ලේඛක පාවුලෝ කොයියොගේ පහත කියමනෙන් අවබෝධ කර ගත හැක.
‘සමාව දෙන්න
නමුත් අමතක කරන්න එපා
නැතිනම් ඔබට නැවත රිදෙනවා.
සමාව දීමෙන් ඉදිරි දර්ශනය වෙනස් වෙනවා.
අමතක කිරීමෙන් පාඩම නැති වෙනවා.’
(පාවුලෝ කොයියෝ)