No menu items!
25.4 C
Sri Lanka
21 November,2024

කුමාර් ඩේවිඩ්: වාමාංශික බුද්ධිමතා, සහෝදරයා, ආදරණීය තක්කඩියා

Must read

ජයම්පති වික්‍රමරත්න

මැතකදී ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වූ විදුලි ඉංජිනේරුවෙකු, දක්ෂ ශාස්ත්‍රාලිකයෙකු, වාම බුද්ධිමතෙකු, ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු වූ කුමාර් ඩේවිඩ් ගැන බොහෝ දේ දැනටමත් ලියවී ඇත. මේ කෙටි ලිපිය ඔහු හා මගේ දිගු කාලීන ඇසුර පිළිබඳවය.

කුමාර් ටික කලක් අසනීප තත්ත්වයෙන් පසුවිය. අගෝස්තු 14 වෙනිදා මට එවූ අවසාන විද්‍යුත් තැපෑලෙහි ඔහු මෙසේ ලිවීය: ‘මම තවමත් ලොස් ඇන්ජලීස්වල. සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නැහැ. සෞඛ්‍යය හොඳ අතට හැරුණොත් 2025 මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙනවා… උඹ පැපුවා නිව්ගිනියාව ද කොහෙද ව්‍යවස්ථාමය කාරණා සම්බන්ධයෙන් අහිංසක මිනිසුන් රවටන බව මට ආරංචියි’ යනුවෙන් ඔහුට පුරුදු මැඩපැවැත්විය නොහැකි හාස්‍යයෙන් තවදුරටත් පැවසීය.

කුමාර් මුලින්ම මුණගැහුණේ කවදාද කියා මට මතක නැත. ඒ 1965 හෝ 1966 විය යුතුය.1965 මැයි මාසයේදී පාසල් යන කාලයේම මම මහනුවර සමසමාජ තරුණ සමිතියට බැඳුණෙමි. 1966 ජනවාරි මාසයේදී කුමාර් ද අනුයුක්තව සිටි මහනුවර සමසමාජ පක්ෂ ශාඛාවේ ‘අපේක්ෂක සාමාජික’ තත්ත්වයට මා ‘උසස්’ කරන ලදි. ඒ කාලයේ පාක්ෂිකයින්ට වෙන ‘පක්ෂ නම්’ තිබුණි. කුමාර් ඩේවිඩ් ‘ගොල්ඩින්’ වූ අතර වික්‍රමබාහු ‘පාර්කර්-ස්මිත්’ විය. ඒවා සුප්‍රසිද්ධ ඉංජිනේරු විද්‍යා කර්තෘවරුන්ගේ නම් ය.

1966 දී කුමාර් එක්සත් රාජධානියට පිටත්ව ගොස් 1969 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් විද්‍යා හා තාක්ෂණ විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා නැවත පැමිණියේය. ඒ ලොව පුරා සිසුන් උද්යෝගිමත් කළ යුරෝපයේ සුප්‍රසිද්ධ ශිෂ්‍ය විරෝධතාවලින් ඉක්බිතිව ය.

පේරාදෙණියේ සමසමාජ කණ්ඩායම‘යුරෝපයේ ශිෂ්‍ය නොසන්සුන්තාව’ යන මාතෘකාව යටතේ කුමාර්ගේ දේශනයක් සංවිධානය කළ නමුත් එය ඔහුගේම ගුරුවරයා වූ එවකට උපකුලපති මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා තහනම් කළේය. කුමාර් සිසුන් ආයුධ අතට ගන්වනු ඇතැයි ඔහු බිය වීද?! බියවන්නට දෙයක් නොමැති බවට ආචාර්ය ඔස්මන්ඩ් ජයරත්න විද්‍යා පීඨාධිපති අප්පාපිල්ලේට සහතිකවූ පසු දේශනය භෞතික විද්‍යා දේශන ශාලාවේදී පැවැත්විණ. ශාලාව සිසුන්ගෙන් පිරී ඉතිරී ගිය අතර කුමාර්ව හඳුන්වා දුන්නේ ඔස්මන්ඩ්ය. ‘ඔබ මෙහි පැමිණියේ ගිනිකෙළි අපේක්ෂාවෙන් නම්, ඔබ කලකිරීමට පත් වනු ඇත. යුරෝපයේ සිදුවූයේ කුමක්ද සහ ඇයි දැයි අපි බැරෑරුම් ලෙස සාකච්ඡා කරමු’ යනුවෙන් කුමාර් සිය දේශනය ඇරඹීය.

මා නීති විද්‍යාල සිසුවෙකුව සිටියදී හෙක්ටර් අභයවර්ධන විසින් සංස්කරණය කරන ලද ජනප්‍රිය වාම සතිපතා පුවත්පත වන ‘ද නේෂන්’ ප්‍රකාශයට පත් කිරීමට උදව් කළෙමි. සැම ඉරිදා සවසම චිත්‍රා පටුමග හෙක්ටර්ගේ නිවසේ දී කුමාර් ඩේවිඩ්, ජයන්තා සෝමසුන්දරම්, විජය කුමාර්, හැන්ඩි පෙරිම්පනායගම්, මම සහ වරින් වර එක්වූ කීපදෙනෙක් පුවත්පත සැලසුම් කිරීමට රැස්වීමු. සමගි පෙරමුණු ආණ්ඩුව විවේචනය කරමින් කුමාර් හෙක්ටර් තරහ ගැස්සවූ අවස්ථා එමටය. කුමාර් නැති තැන හෙක්ටර් ඔහුව ආදරයෙන් හැඳින්වූයේ ‘තක්කඩියා’ ලෙසිනි.
කුමාර් ඉතා විනෝදකාමියෙක් විය. තමාට හිතවත් සැමදෙනාටම ඔහු අන්වර්ථ නම් පටබැන්දේය. විජය කුමාර්ගේ කේරල සම්භවය නිසා ඔහු ‘කොච්චි’ විය. ලංකාලෝක ‘සිලෝන් වර්ල්ඩ්’ ද, විලේගොඩ ‘හෝල් වර්ක්ස්’ ද, මම ‘ජම්පි’ ද වූයෙමි. සමහරුන්ට ඔහු පටබැඳි අන්වර්ථ නම් මුද්‍රණය කළ නොහැක! සිංහල අසභ්‍ය වචන එක්කර කතාබහ රස කිරීම කුමාර් ප්‍රිය කළ අතර මිතුරන් ඒවා ඉවසා දැරිය යුතු විය. ‘මචං, ඉතින් මට සිංහල හොඳට බැහැනේ’ යැයි ඔහු ඒවා දඟකාර ලෙස සාධාරණය කළේය. එක් සාකච්ඡාවකදී අසභ්‍ය වචන වැඩි බවට පැමිණිලි තිබුණු විට, විනාඩි පහකට වරක් පමණක් අසභ්‍ය වචනයක් පාවිච්චි කළ හැකි යයි තීරණය කර මා ටයිම් කීපර් ලෙස පත් කරන ලදි. ටික වෙලාවකට පසු මා ඉල්ලා අස්වූ බව කිව නොමනාය.

කුමාර් පුවත්පත්වලට නිතිපතා ලිවීමට පටන්ගත්විට පාවිච්චි කිරීමට හොඳ අන්වර්ථ නමක් යෝජනා කරන ලෙස මගෙන් ඉල්ලීය. බොහෝ දෙනා නොදැන සිටි ඔහුගේ අනික් මුල් නම වන ‘අශ්වින්’ යන්නට ඔහු අකමැති විය. ඉක්බිතිව මා ගොල්ඩින් යෝජනා කළ විට ඔහුගේ පක්ෂ නාමය මට මතක තිබීම ගැන ඔහු සතුටු විය. අවසානයේදී තම නමින්ම ලිපි ලිවීමට ඔහු තීරණය කළේය.

මාත් රංජිකාත් රහසේ විවාහවීමට තීරණය කළ විට අපට උදව් කලේ කුමාර් ය. එවකට උඩදුම්බර පාසලක ඉගැන්වූ රංජිකා නෑදෑ ගෙදරක නැවතී සිටියාය. උදේ පාන්දර ඔහුගේ මෝටර් රථයෙන් උඩදුම්බර ගොස් පාසල අසලින් ඇය නංවාගෙන ආපසු පාසල හැරෙන වෙලාවට ඇයව බැස්වූයෙමු. රථයේ අංකය 6406 බව මට තවම මතක තිබුණද, කුමන ශ්‍රී ශ්‍රේණිය දැයි අමතකය.

කුමාර් විවාහ වූයේ රෝහිනී ලෙව්ල සමගය. මහනුවර අපගේ පාසල් ගමන පහසු කිරීමට මගේ දෙමව්පියන් උඩිස්පත්තුවේ සිට පැමිණ පංදිචි වූයේ ලෙව්ල ග්‍රාමයේය. කුමාර්ගේ අභාවය පිලිබඳ මගේ බලවත් ශෝකය රෝහිණී සහ ඇගේ පුත් අම්රිත්ටත්, ඇගේ සොහොයුරියන් වන කාන්ති සහ තිලකාටත් පළ කර සිටිමි.

ලාංකේය වමට යෝධ බුද්ධිමතෙකු නැතිවිය. ‘ද අයිලන්ඩ්’ සහ ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ පාඨකයින්ට කුමාර් නැති පාඩුව ඉරිදා උදේට දැනෙනු ඇත. මට තක්කඩි සහෘදයෙකු නැති විය. සුබ ගමන් කුමාර්!

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි