No menu items!
23.6 C
Sri Lanka
23 November,2024

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වියදම් කළ මුදල් මෙහෙමයි

Must read

මේ වියදම් ඇත්තදැයි ඔබම තීරණය කරන්න

අනුර     වියදම මිලියන 527       ආදායම මිලියන 539

සජිත්      වියදම මිලියන 1130     ආදායමත් මිලියන 1130

රනිල්     වියදම මිලියන 990       ආදායම් ඉදිරිපත් කර නෑ

නාමල්   වියදම මිලියන 388        ණය මිලියන 199

සජිත් හා රනිල් ගුවනින් ගිහින්                                                                                        අනුරට විදේශ මුදල්                                                                                                සජිත් ටිකට් විකුණලා                                                                                                  නාමල්ට ධම්මික සල්ලි දීලා

ලසන්ත රුහුණගේ

පසුගිය ජනාධිපතිවරණය සඳහා පළමු වරට ක්‍රියාත්මක වූ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව ඒ සඳහා තරග කළ අපේක්ෂකයන් සිය ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට බාර දී තිබේ. ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක කාලයකදී එම ප්‍රකාශ ලබාදිය යුතු අතර ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් 38 දෙනා අතුරෙන් නියමිත දිනයේදී එම ආදායම් හා වියදම් වාර්තා බාර දී තිබුණේ අපේක්ෂකයන් 35 දෙනෙකු පමණයි.  ජනසෙත පෙරමුණ හා එහි අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි, ස්වාධීන අපේක්ෂකයන් වූ සරත් කීර්තිරත්න හා අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් තිදෙනා ඔවුන්ගේ ආදායම් හා වියදම් වාර්තා බාර දී තිබුණේ නැති අතර ඔවුන් ඉදිරිපත් වූ පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල ආදායම් හා වියදම් වාර්තා බාරදී තිබුණේ නැත.

ඊට අමතරව අනෝජ් ද සිල්වා තරග කළ  ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, අබුබකර් මුහම්මදු ඉන්ෆාස් තරග කළ එක්සත් ප්‍රජාතක්ත්‍රවාදී සන්ධානය, ජනක රත්නායක තරග කළ එක්සත් ලංකා පොදු ජන පක්ෂය, නාමල් රාජපක්ෂ (මහින්ද රාජපක්ෂගේ පුතා නොවේ)  තරග කළ සමබිම පක්ෂය, රනිල් වික්‍රමසිංහ මහතා නාම යෝජනා කළ චන්න ලලිත් වික්‍රමසිංහ, ඇන්ටනි වික්ටර් පෙරේරා මහතා නාම යෝජනා කළ එච්එම් අසිත බණ්ඩාර, කේකේ පියදාස මහතා නාම යෝජනා කළ අර්චනා රණතුංග යන ඡන්ද හිමියන්ද ඔවුන්ගේ ස්වාධීන කණ්ඩායමට අදාළ ආදායම් හා වියදම් වාර්තා බාර දී තිබුණේ නැත.

මේ අනුව අපේක්ෂකයන් තිදෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා කළ 10 දෙනෙකු මැතිවරණ වියදම් නියාමන පනත යටතේ දඬුවමට ලක්වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණයේදී තරග කරන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රු. 1,120,979,151.60ක් වූ අතර පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වියදම් කළ හැකි උපරිම මුදල රු. 747,319,434.40ක් විය.

අපේක්ෂකයා හෝ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම බාරගනු ලැබූ දායකත්ව හෝ පරිත්‍යාග, එම දායකත්ව හෝ පරිත්‍යාග ද්‍රව්‍යමය වශයෙන් ලැබුණේ නම් ඒවායේ ඇස්තමේන්තු වටිනාකම, එම දායකත්ව පරිත්‍යාග කරනු ලැබුයේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන්ද යන වග සහ පරිත්‍යාග හා දායකත්ව සිදුකළ පුද්ගලයා හෝ ආයතනයේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ටින් අංකය එම වාර්තා ලබාදීමේදී ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් විය.

ප්‍රචාරක දැන්වීම්, අත් පත්‍රිකා, ධජ, පතාක, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර, පෝස්ටර්, ගුවන් විදුලි හෝ රූපවාහිනී ප්‍රචාර, පුවත්පත්, වාර සඟරා, සමාජ මාධ්‍ය, ඩිජිටල් පුවරු හෝ ඕනෑම ඩිජිටල් මාධ්‍ය හෝ වෙනත් ප්‍රකාශන සහ වාහන ධාවනයට ඉන්ධන සැපයීම ආදිය පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබුණි.

ඒ අනුව එම වාර්තා නියමිත දිනට බාර නොදීම හා එම වාර්තා දෝෂ සහිත වීම නීති විරෝධී වන අතර එය ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් වන්නක් බවද එහි අවධාරණය කර තිබුණි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ආදායම් හා වියදම් වාර්තා ලබාදිය යුතු ආකාරය පිළිබඳ ආකෘතියක්ද ලබාදී තිබේ. අපේක්ෂයන් සඳහා ලබාදී ඇති වියදම් වාර්තාවේ ඉල්ලා ඇත්තේ වියදම් කළ කාර්යය, එහි මූල්‍යමය වටිනාකම, එක් එක් වියදම් දැරීම සඳහා මුදල් සපයා ගනු ලැබූ ආකාරයට අදාළ ලැබීම් ප්‍රභවය හා ඒ සඳහා අදාළ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ටින් අංකයයි. එහිදී වියදම් සනාථ කළ හැකි ලේඛන වෙන් වෙන්ව ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබේ.

ආදායම් වාර්තාවලදී බැංකු ගිණුම, මූල්‍යමය, ද්‍රව්‍යමය හා සේවා ලැබීම්, එම ලැබීම්වල ස්වභාවය (ද්‍රව්‍යමය, ත්‍යාග, ණය, අත්තිකාරම් හෝ තැන්පතු) මූල්‍ය වටිනාකම, නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ටින් අංකය ආදිය ඉල්ලා තිබේ. දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්ද ඉදිරිපත් කළ යුත්තේ එම තොරතුරුමය.  ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයන් වූ අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා නාමල් රාජපක්ෂ  ඉදිරිපත් කර ඇති ආදායම් හා වියදම් වාර්තා මෙසේ හඳුනාගත හැකිය.

එම ආදායම් හා වියදම් වාර්තාවල ඇත්තේ සත්‍ය කරුණුද නැද්ද යන්න මහජන සුපරීක්ෂණයට ලක්විය යුත්තක් වන අතර එහිදී එම වාර්තාවල දක්වා නැති ඇත්ත වියදම් හා ඇත්ත ආදායම් පිළිබඳ මහජන හා නිරීක්ෂක සාකච්ඡාවක් ඇතිවී ඒ තුළින් සත්‍යය අනාවරණය කරගත යුතුය.

අනුර කුමාර දිසානායක

පෞද්ගලිකව ලබාගත් ආදායම් හෝ දරන ලද වියදම් නොමැති බව ඔහු සඳහන් කර ඇති අතර පක්ෂය විසින් එම කටයුතු සිදුකළ බව සඳහන් කර ඇත.

ඔහුගේ ප්‍රවාහන කටයුතු සඳහා පීඑච්- 6373 දරන ඩබල් කැබ් රථයට අනුමැතිය ලබාගෙන ඇති අතර අනුමැතිය ලබාගෙන ඇති අමතර වාහනය වන්නේ සිබීජී- 2963 දරන රථයයි.

ඒ සඳහා රියැදුරකු නම් කර ඇති අතර ඔහුට වේතනයක් ගෙවන්නේ නැති බව සඳහන් කරයි. එමෙන්ම නිත්‍ය වාහනය අපේක්ෂකයාගේ වාහනයක් බව සඳහන් කරයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කාර්යාලයීය ලිපිද්‍රව්‍ය ලබා ගැනීමක් හෝ භාවිත කිරීමක් සිදුනොකළ බවද සඳහන් කරයි.

පුද්ගලික දුරකතන අංකයේ මාසික බිල්පත රු. 5000ක් බව සඳහන් කරන අතර සන්නිවේදන මාධ්‍ය ලෙස ස්ථාවර දුරකතන අංක දෙකක් සඳහන් කරයි. ඉන් එකක් සඳහා රු. 20,774.74ක්ද, අනෙක සඳහා රු. 42,291.62ක්ද වැය වූ බව සඳහන් කර තිබේ.

අනුර කුමාර දිසානායක මහතා තරග කළ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය සඳහා වැය කරන ලද මුළු මුදල වශයෙන් සඳහන් කරන්නේ රු. 527,999,889.38කි.

ලැබුණු මුළු ආදායම ලෙස රු. 539,895,305.12ක් සඳහන් කරන අතර ඉන් රු. 535,763,805.12ක් මූල්‍ය ආධාර වශයෙන් ලැබුණු බවද, රු. 4,131,500ක් ද්‍රව්‍ය ආධාර  බවද සඳහන් කරයි.

එම පක්ෂයට පෞද්ගලික මට්ටමින් ලැබී ඇති මූල්‍ය ආධාර රුපියල් 4000 සිට රුපියල් ලක්ෂ 30 දක්වා පරාසයකට විහිදෙන අතර ඊට අමතරව පක්ෂයේ ප්‍රාදේශීය ආධාර ලැයිස්තු මගින් ආධාර ලැබුණු බව සඳහන් කර ඇත.

පක්ෂ කාර්යාලයට ලැබුණු විදේශීය මූල්‍ය ආධාර ගැනද සඳහන් කර ඇති අතර කැනඩාව, ඕස්ටේ්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ඕමානය, ජර්මනිය, බෙල්ජියම, සවුදි අරාබිය, ජපානය, මාලදිවයින යන රටවල විවිධ කමිටු මගින් එම ආධාර ලබාදී තිබේ.

ද්‍රව්‍ය පරිත්‍යාග යටතේ කාර්යාල පරිශ්‍ර 152ක් නොමිලේ ලැබුණු බව සඳහන් කරයි. අනෙකුත් ද්‍රව්‍යමය ලැබීම් යටතේ ශබ්ද විකාශන, වාහන, ඉන්ධන, පුටු, වේදිකා, උත්සව ශාලා, රීප්ප, ජීඅයි බට, ජෙනරේටර්, රැස්වීම් සඳහා උපකරණ ආදිය නොමිලේ ලැබුණු බව සඳහන් කරයි.

වියදම් යටතේ සඳහන් කරන්නේ, මුද්‍රණ, ප්‍රකාශන, දැන්වීම්, ප්‍රදර්ශනය කිරීම, අත් පත්‍රිකා, කොඩි, ඡායාරූප හා පෝස්ටර් ආදිය සඳහා රු. 245,307,815.50ක් වැය කළ බවයි. රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රචාර සඳහා රු. 172,472,282.70ක් වියදම් කළ බවයි.

පුවත්පත්, ජර්නල්, සමාජ මාධ්‍ය හා ඩිජිටල් ප්‍රකාශනයන් සඳහා රු. 36,002,885,18ක් වැය කළ බවයි. රැස්වීම් ස්ථාන හා උපකරණ සඳහා රු. 70,211,361ක් වියදම් කළ බවයි. අනෙකුත් කාර්යයන් හා වාහන කුලියට ලබා ගැනීමට රු. 2,356,750ක් වැය කළ බවයි. ඉන්ධන සඳහා රු. 1,648,795ක් වැයකළ බවයි.

ඒ අනුව ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවලදී ජාතික ජන බලවේගයට 11,895,415.74ක් ඉතිරි වී ඇත.

සජිත් ප්‍රේමදාස

ඔහුගේ මුළු වියදම වශයෙන් රු. 936,258,524.60ක් සඳහන් කර ඇත. ඒ පක්ෂය විසින් ඔහු වෙනුවෙන් කළ වියදමට අමතරවය.

මුද්‍රණ, ප්‍රකාශන, තැපැල්, දැන්වීම් ප්‍රදර්ශනය, අත් පත්‍රිකා, බැනර්, චිත්‍ර, ඡායාරූප හා ප්‍රචාරක පුවරු සඳහා වියදම රු. 41,599,620ක් වී ඇති අතර ප්‍රචාරක දැන්වීම් නිර්මාණය සඳහා හා රූපවාහිනී හා ගුවන් විදුලි දැන්වීම් සඳහා රු. 552,415,565.08ක් වියදම් කර ඇත.

පුවත්පත් දැන්වීම්, සමාජ මාධ්‍ය දැන්වීම්. ඩිජිටල් පුවරු දැන්වීම් හා අනෙකුත් ප්‍රකාශනයන් සඳහා වියදම රු. 118,498.630.65 කි.

දේශපාලන රැස්වීම් සඳහා ස්ථාන හා උපකරණ වෙනුවෙන් රු. 75,030.959.04ක් වියදම් කර ඇති අතර ගුවන් ගමන් ඇතුළු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් රු. 16,366, 996.97 ක් වියදම් කර ඇත.

එහි ආදායම් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ රු. මිලියන 936,258.550ක් ලැබුණු බවයි. එම ආදායම ලැබී ඇති බව සඳහන් කරන්නේ රු.50,රු.1000 හා රු. 10,000 යන මිල යටතේ සිය පක්ෂයේ සාමාජිකයන්ට විකුණා ලැබූ මුදල්වලින් බවයි.

සජිත් පේ්්‍රමදාස මහතා ඉදිරිපත් වූ සමගි ජන බලවේගය ජනාධිපතිවරණය වෙනුවෙන් රු. 194,087,715.04ක් වියදම් කළ බව සඳහන් කර ඇත.

ශබ්ද විකාශන, වීඩියෝ තිර, පුටු ඇතුළු වේදිකා සඳහා රු. 57,156,250ක් වියදම් කර ඇති අතර පුවත්පත්, සමාජ මාධ්‍ය, ඩිජිටල් තිර හා ඩිජිටල් මාධ්‍ය දැන්වීම් සඳහා රු. 72,293,485.16ක් හා රු. 64,637,979.88 ක් වියදම් කර ඇත.

එහි සම්පූර්ණ ආදායම වශයෙන් රු. 194,087,715.04ක් සඳහන් කර ඇති අතර ඒ සඳහා රු. 50,000,000 ක් ලැබී ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂ අරමුදලෙනි. ඊට අමතරව රු.50, රු.1000 හා රු.10,000 ටිකට් සාමාජිකයන්ට විකුණා රු. 144,087.715.04ක් ලැබී ඇත. එසේ රු. 1000 ටිකට් විකුණා වැඩිම මුදලක් ලබාදී ඇත්තේ හර්ෂණ රාජකරුණා හිටපු මන්ත්‍රීවරයා වන අතර ඔහු ලබාදී ඇති මුදල රු. 12,810,000 කි.

ඒ අනුව සමගි ජන බලවේගයේ සම්පූර්ණ වියදම රු. 1,130,346,239.64 ක් වන අතර එම පක්ෂයට ලැබී ඇති මුළු ආධාර ප්‍රමාණය රු. 1,130,346,239,.64කි.

මේ අනුව බැලූ විට සමගි ජන බලවේග අපේක්ෂකයාගේ හා පක්ෂයේ  ආදායම් හා වියදම් සමාන වී ඇත.

රනිල් වික්‍රමසිංහ

ඔහුගේ මුළු වියදම ලෙස සඳහන් කරන්නේ රු. 990,327,687.16කි. ඒ තුළ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සඳහා රු. 3,401,250ක්, මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය වියදම් ලෙස රු. 289,613,000ක් සඳහන් කරන අතර එහි පත්‍රිකා, පෝස්ටර් හා ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා රු. 281,664,000ක් වියදම් වූ බව සඳහන් කරයි. වෙනත් වියදම් යටතේ කුලී සහ උපයෝගීතා සඳහා රු. 514,291.63ක් හා ටෙලිපෝන් සඳහා රු. 216,090ක් වියදම් කළ බව සඳහන් කරයි. එසේම ප්‍රචාරණ හා ප්‍රවර්ධන මුළු වියදම රු. 392,968,122.13ක් වශයෙන් සඳහන් කරන අතර  ඒ තුළ රූපවාහිනී නාලිකා සඳහා රු. 291,386,290ක්, ගුවන් විදුලි නාලිකා සඳහා රු. 23,108,950ක්, ඉරිදා පුවත්පත් සඳහා රු. 47,286,986.65ක්, දිනපතා පුවත්පත් සඳහා රු. 28,129,295.48ක් හා බාහිර ප්‍රචාරණයන් සඳහා රු. 3,056,600ක් වැයකළ බව සඳහන් කරයි. එමෙන්ම ඒජන්සි හා නිෂ්පාදන වියදම් ලෙස රු. 80,160,000ක් සඳහන් කරයි.

ඩිජිටල් මාධ්‍ය වියදම් ලෙස රු. 107,112,903.53ක් සඳහන් කරන අතර ඒ ඩිජිටල් මාධ්‍ය මිලදී ගැනීම් සඳහා රු. 64,112,903.53ක්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණය සඳහා රු. 15,000,000ක් හා එස්එම්එස් ප්‍රචාරණයන් සඳහා  රු. 28,000,000ක් වශයෙනි. ගමනා ගමන හා ප්‍රවාහන වියදම් වශයෙන් රු. 62,212,969.87ක් සඳහන් කර ඇති අතර ඒ තුළ හෙළිකොප්ටර් ගමන් සඳහා රු. 29,092,719.87ක් හා අනෙක් ප්‍රවාහන කටයුතු සඳහා රු. 33,120,250ක් වියදම් ඇත.

වේදිකා, ශබ්ද විකාශන හා ආලෝකකරණ කටයුතු සඳහා රු. 23,950.000ක්ද, උපකරණ කුලියට, හා මිලදී ගැනිම් සඳහා රු. 4.952,100ක්, මාධ්‍ය සාකච්ඡා සඳහා රු. 2,101,550ක් හා හඳුනා නොගත් වියදම් වශයෙන් රු. 23,125,410ක් දක්වා ඇත.

විශේෂත්වය වන්නේ එක් පිටුවක සඳහන් කර ඇති එම වියදම්වලට අදාළ කිසිදු සහාය ලේඛනයක් රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී නොතිබීමය. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ලබාදුන් ආකෘතිය අනුවද එය ලබාදී නැති අතර ඒ සඳහා දිව්රුම් ප්‍රකාශයක්ද ලබාදී නැත. එමෙන්ම ලැබුණු ආදායම් මෙන්ම එම ආදායම් ලැබුණේ කෙසේද යන්නද සඳහන් කර නැත.

තවදුරටත් ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නාම යෝජනා කළ ඡන්දදායකයා වන චන්න ලලිත් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යුතු එම ස්වාධීන කණ්ඩායම විසින් වැයකරන ලද මුදල් හා එයට ලැබුනු ආදායම් පිළිබඳ වාර්තාවද ලබාදී නැත.

නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ වියදම් ශ්‍රී ලංතා පොදුජන පෙරමුණ විසින් දරනු ලැබූ බව ඔහු සඳහන් කර ඇත. එමෙන්ම සියලුම ආදායම් පක්ෂය වෙත ලබාදුන් බවද සඳහන් කර ඇත.

ඔහුගේ ප්‍රවාහන කටයුතු සඳහා සීඒආර් 3322 වාහනය භාවිත කළ බවත්, එහි රියැදුරුට වේතනයක් ලබාදුන් බවත් සඳහන් කරයි. එම නිත්‍ය වාහනය ඒෂියා ෆ්ලීට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් බවත් එහි ලිපිනය අංක 167 බී මාකොල දකුණ, මාකොල බවත් සඳහන් කරයි.

ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වෙනම කාර්යාලයක් භාවිත නොකරන ලද බවත් පක්ෂ කාර්යාලය ඒ සඳහා භාවිත කළ බවත් සඳහන් කරයි.

ජංගම දුරකතනයේ මාසික බිල්පත රු. 20,000ක් පමණ වන බවත්, වෙනත් ආකාරයේ සන්නිවේදන මාධ්‍යයන් භාවිත කළේ නැති බවත් සඳහන් කරයි.

නාමල් රාජපක්ෂව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වියදම් කරන ලද මුළු මුදල වශයෙන් රු. 388,939,085ක් සඳහන් කරයි. ඒ මුද්‍රණ ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් රු. 65,287,086ක්, රැස්වීම් වෙනුවෙන් රු. 205,671,450ක්, ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය වෙනුවෙන් රු. 79,307,800ක්, ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම වෙනුවෙන් රු. 3,359,750ක්, ප්‍රවාහනය වෙනුවෙන් රු. 11,631,012ක් හා විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය මාධ්‍ය නිර්මාණ වෙනුවෙන් රු. 23,144,987ක් වශයෙනි.

ලංකා බැංකුවේ ටොරින්ටන් ශාඛාවේ ඇති ගිණුමක් වෙත ලැබුණ මුළු ආදායම ලෙස එහි සඳහන් කර ඇත්තේ රු. 105,250,000කි.

එම වාර්තාවට අමුණා ඇති වරලත් ගණකාධිකාරි හේමචන්ද්‍ර සහ සමාගමේ වාර්තාවට අනුව ආධාරවලට අමතරව බැංකු ගිණුමෙන් කර ඇති වියදම් ප්‍රමාණය රු. 83,579,363ක් වන අතර වියදම් කරන ලද මුළු මුදල රු. 388,393,085ක් වේ. ඒ අනුව ඌනතාව හෙවත් ණය ප්‍රමාණය රු. 199,563,722ක් වේ.

විස්තරාත්මක වාර්තාවලට අනුව මුද්‍රණ හා ලිපි ද්‍රව්‍යවලට අදාළ රු. 65,278,086ක වියදම වෙනුවෙන් ජංගම ගිණුමෙන් රු. 59,850,814ක් වියදම් කර ඇති අතර ඉතිරි රු. 5,427,272ට අදාළ වියදම් ණයට සිදුකර ඇත. එසේම රැස්වීම් සඳහා වූ රු. 205,671,450ක වියදම වෙනුවෙන් ජංගම ගිණුම මගින් රු. 11,535,000ක් වියදම් කර ඇති අතර ඉතිරි රු. 194,136,550ක වියදම ණයට සිදුකර ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය සඳහා වන රු. 79,307,800ක වියදමෙන් රු. 12,193,540ක වියදමක් ජංගම ගිණුමෙන් සිදුකර ඇති අතර ඒ සඳහා අජිත් නාරංගල මහතා රු. 120,000ක්ද, වතු සේවක සංගමය රු. 130,000ක්ද, ඉතිරි රු. 66,864,251ක මුදලත් ධම්මික පෙරේරා මහතාද ලබාදී ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට අදාළ සම්පූර්ණ මුදල වන රු. 3,359,750ක මුදල ධම්මික පෙරේරා මහතා ලබාදී ඇති අතර ප්‍රවාහනය සඳහා වන රු. 11,631,012ක මුදලද ධම්මික පෙරේරා මහතා ලබාදී ඇත. ඊට අමතරව විද්‍යුත්/මුද්‍රිත හා සමාජ මාධ්‍ය නිර්මාණ සඳහා වන රු. 23,144,987ක මුදලද ධම්මික පෙරේරා මහතා විසින් ලබා දී ඇත.

මුළු ලැබීම් වන රු. 105,250,000ක මුදලින් රු. 105,000,000ක් ධම්මික පෙරේරා විසින් ලබා දී ඇති අතර ඉතිරි මුදල වන රු. 250,000න් රු. 120,000ක් අජිත් නාරගල හා රු. 130,000ක් වතු සේවක සංගමය  ලබාදී ඇත.

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි