No menu items!
23.6 C
Sri Lanka
23 November,2024

විදුලිබල ආයෝජන හිරකළොත් අපි ආයෙම අඳුරේ

Must read

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුණෙමු. නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි.

එවැන්නක් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා කරන සෑම දෙයක් ම පරිපූර්ණ නොවිය හැකි නමුත්, අතිශයින් නොමඟ යවන ලද විවේචන ගැන හඬ නැගීම වැදගත් වේ. මීට වසර විස්සකට පෙර සිදු වූවාක් මෙන් එවැනි ප්‍රහාර සාර්ථක වුවහොත්, නරක නීතිමය රාමුවක ප්‍රතිවිපාකවලින්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අකාර්යක්ෂමතාවන් සහ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා ආයෝජන අඩු වීමෙන් ඇතිවන ප්‍රතිවිපාක අපට දිගට ම විඳීමට සිදුවනු ඇත. 1990 ගණන්වල සිට, නව විදුලි බලාගාර අවහිර කිරීම මගින්, ඩීසල් මාෆියාව ලෙස හඳුන්වන පිරිසගේ හැර, වෙනත් කිසිවෙකුගේ අවශ්‍යතා ඉටු කළේ නැත. ඒ සියල්ලට අපි වන්දි ගෙව්වෙමු. තවමත් ගෙවමින් සිටිමු.

නව ශ්‍රී ලංකා විදුලිබල පනතට ”සාධාරණ ප්‍රතිලාභ” යන වැකිය ඇතුළත් කිරීම ගැන ලංවිම ඉංජිනේරු සංගමයේ කැමැත්තක් නැත. අදානි ආයෝජනයෙන් සුළං බලය මඟින් නිපදවන විදුලි ඒකකයක් සඳහා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ සුළං මඟින් නිපදවන විදුලි ඒකකයකට වඩා වැඩි මුදලක් වැය වීම ගැන, සුප්‍රසිද්ධ මහජන බුද්ධිමතෙකු වන රොහාන් පෙතියාගොඩ ළතැවීම ප්‍රකාශ කරයි.

ආයෝජනයේ කේන්ද්‍රීය වැදගත්කම අවබෝධ කර ගැනීමට ශ්‍රී ලංකාවේ මහජන කතිකාවතෙහි නියැලෙන්නන්ට ඇති නොහැකියාව සහ පුද්ගලික ආයෝජන ඇති කිරීමට අවශ්‍ය කොන්දේසි පිළිබඳ නොදැනුවත්කම (හෝ හිතාමතා නොසලකා හැරීම) මෙම ස්ථාවරයන් දෙකෙන් ම පෙන්නුම් කරයි. 1980 දශකයේ දී, උදාහරණයක් ලෙස, කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ සන්දර්භය තුළ, මිනිසුන් ආයෝජන කෙරෙහි අවධානය යොමු නොකළ බවත්, විවිධ සන්දර්භයන් තුළ ආයෝජනය කරන ලද මුදල්වල පිරිවැය පිළිබඳ අගය කිරීමක් නොතිබූ බවත්, තේරුම් ගත හැකි ය.

එක්සත් රාජධානියෙන් ලැබුණු රුපියල් මිලියන 6,557 ක ප්‍රදානයක් (තෑග්ගක්) ද ඇතුළුව වික්ටෝරියා වේල්ලෙහි සම්පූර්ණ වියදම හෝ ආයෝජනය රුපියල් මිලියන 9,000 ක් (අද මුදලින් නොවේ) වී ය. මේ විශාලත්වයේ ප්‍රදානයන් එකල ද දුර්ලභ විය. දැන් එවැනි දෑ තවදුරටත් නොමැත. අපට අන්තිමට ලැබුණු ප්‍රදානය අමෙරිකාවෙන් දෙන්නට යෝජනා කල ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක එම්සීසී ප්‍රදානයයි. එය ප්‍රතික්ෂේප කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දුන් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා අද ගිරිය පුප්පා ගෙන බල ශක්ති ක්ෂේත්‍රයේ විදේශීය ආයෝජන ප්‍රතික්ෂේප කරන්නයි යෝජනා කරයි.

මෑත කාලීනව, පුරුද්ද වූයේ, ආපසු ගෙවීම ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා, සියලු ම ප්‍රධාන රාජ්‍ය ආයෝජන සඳහා ණය මගින් මුදල් යෙදවීම යි. භාණ්ඩාගාර ඇපකර සමඟ ගත් ණය සඳහා පවා භාණ්ඩාගාරය විසින් ආපසු ගෙවීම සිදු කරනු ඇතැයි උපකල්පනය කරනු ලැබී ය. භාණ්ඩාගාරයට එය කළ නොහැකි වූ අතර නිමක් නැති පෝලිම්වල සිටින්නට අපට සිදුවිය.

සුළං බලය සඳහා ආයෝජනය

නත්තල් සීයා කෙනෙක් නැත. ප්‍රදානයක් මගින් සම්පූර්ණ වේල්ලකට ම අරමුදල් සැපයීමට මාග්‍රට් තැචර් කෙනෙක් ද නැත. මන්නාරම් වෙරළ තීරයේ හමා යන සුළං බලශක්තිය පරිවර්තනය කිරීමට අවශ්‍ය සැලකිය යුතු ආයෝජනය මූලාශ්‍ර තුනක් අතරින් එකකින් ලබාගත යුතු ය. එනම්, ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදල, ණය හෝ පෞද්ගලික ආයෝජන හෝ මගිනි.

සියලු දෙනා දන්නා පරිදි ඒකාබද්ධ අරමුදලේ මුදල් නැත. බදු හෝ බදු නොවන ආදායම් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර ගෙවීම් සඳහා ය. පොලී ගෙවීම් කළ පසු කිසිවක් ඉතිරි වන්නේ නැත. සුළං බලාගාර සඳහා මුදල් නැත.

මන්නාරමේ මෑතකදී ආරම්භ කරන ලද ලංවිම සුළං බලාගාරය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160 ක ණයක් ලබාගෙන ඇත. මීට අමතරව, ඇමරිකානු ඩොලර් මිලියන 56.7 කට සමාන දේශීය රුපියල් දායකත්වයක් ද විය. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ණය වාර්තාවට අනුව, ලංවිම සඳහා ලබාගත් බොහෝ භාණ්ඩාගාර ඇපකර ණය අතරට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගත් ඩොලර් මිලියන 160 ක ණයක් ද ඇතුළත් වන අතර එය 2017 නොවැම්බර් සිට 2037 සැප්තැම්බර් දක්වා කාලය සඳහා වුවකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම මගින් භාණ්ඩාගාර ඇප භාවිතයට දැඩි සීමා පනවා තිබේ. එබැවින්, ලංකා විදුලි බල මණ්ඩලයට ණය ලබාගැනීමේ හැකියාවක් නැත.
එවිට ඉතිරි වන්නේ තෙවැනි විකල්පය පමණකි. එනම්, පෞද්ගලික ආයෝජනය යි. පෞද්ගලික ආයෝජනයක් කරන උදවිය සාධාරණ ප්‍රතිලාභ අපේක්ෂා කරයි. ලංවිම වෘත්තීය සමිතිය විරුද්ධ එම යෙදුමට ය. ප්‍රතිලාභවල සාධාරණත්වය අවදානම පිළිබඳ හැඟීම සමග බැදී ඇත. අවදානම ඉහළ නම් අපේක්ෂිත ප්‍රතිලාභ ද ඉහළ ය.

සුළං විදුලි ජනනය සිදුවන්නේ, උස් කුලුනක් මත සවි කළ කේතු ආකාර ආවරණයකට සවි කර ඇති තල 3 ක් සහිත උඩුකුරු භ්‍රමකයක් සහිත තිරස් අක්ෂ සුළං ටර්බයිනයක් මගින් ය. එවන් කුලුනක උස කොළඹ හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ලේ උසට සමානය. එය විදේශයක සිට ගෙනවිත්, එම ස්ථානයට ප්‍රවාහනය කර, ඉන්දියාවෙන් ගෙන එන විශේෂිත දොඹකර භාවිත කර ඉහළ නැංවීමට සිදුවෙයි. ටර්බයිනය, සුළං බදන තල සහ තිරිංග සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළුව කේතු ආකාර ආවරණයට සම්බන්ධ කරන උපකරණ ද, කුරුල්ලන් හඳුනා ගැනීමට රේඩාර් සහ අධික සුළඟට ප්‍රතිචාර දැක්වීමේ උපකරණ ද ආනයනය කෙරෙයි. එසේ නම්, අවශ්‍ය වන්නේ මුදල් පමණක් නොවේ. අවශ්‍ය වන්නේ ඩොලර් ය.

මන්නාරම සහ පුනරීන්හි අදානි විසින් ඉදිකිරීමට යෝජිත මෙගා වොට් 484 ක සුළං බලාගාර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වැඩි ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මෙගාවොට් 900 ක නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා රජය විසින් 2006 දී ලබාගත් ඩොලර් බිලියන 1.35 ක ණය මුදලකිනි. යෝජිත බලාගාර සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වෙයි. ආයෝජකයාට ක්‍රම දෙකකින් අරමුදල් රැස් කළ හැකි ය. එනම්, කොටස් ප්‍රාග්ධනය හෝ ණය හෝ වශයෙනි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ කොටස් වෙළෙඳපොළේ විශාලත්වය අනුව දේශීය ආයෝජකයකුට අභ්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කළ හැකි යැයි සිතිය නොහැකි ය. හොඳින් ධනවත් වී සිටින අදානි සමූහ ව්‍යාපාරය අභ්‍යන්තරව මෙන්ම ණය වශයෙන්ද අරමුදල් රැස්කරමින් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබේ. අවසර ගැනීම් රාශියක් සහ අනුමැතිය ලබා ගැනීම සඳහා එය දැනටමත් සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වැය කර ඇත.

අභ්‍යන්තරව අරමුදල් රැස් කිරීමේ දී පවා අවදානම තක්සේරු කර ප්‍රතිලාභ අනුපාතය සැලකිල්ලට ගැනීම සිදුවෙයි. අදානි වැනි ව්‍යාපාර සමුහයකට රටවල් කිහිපයක සහ විවිධ කර්මාන්තවල ව්‍යාපාර ඇත. අභ්‍යන්තර අරමුදල් නිකුත් කරනු ලබන්නේ ආයෝජනයේ ප්‍රතිලාභය ප්‍රමාණවත් බව අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත් වූ විට පමණකි. අදානි සමාගම මේ ආයෝජනයට ණය ගැනීම සිදු කරයි. අප රටේ ශ්‍රේණිගත කිරීම්වල පහත් මට්ටම සැලකිල්ලට ගත් විට (ී)ඡ අප ීෘ මට්ටමේ තබා ඇති අතර මූඩි ක්‍් මට්ටමේ තබා ඇත) රටේ අවදානම් වාරිකය ඉහළ අගයක් ගනු ඇත. ඉන්දියාවේ ශ්‍රේණිගත කිරීම් අපට වඩා ඉහලය (ී)ඡ අනුව ඊඊඊ- සහ මුඩි අනුව ඊ්3). එහෙයින් ඉන්දියාවේ ප්‍රාග්ධන වියදම ලංකාවට වඩා අඩුය.

සුළං බලයේ දී මෙන් ආයෝජනය කළ යුතු වූ විට, ආයෝජනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ එය ක්‍රියාත්මක වන මුළු කාලය තුළ දී ය (අවුරුදු 20-30 ක් විය හැකි ය). ආරම්භයේ දී එකඟ වන මිල ගණන් කුමක් වුවත්, ව්‍යාපෘතියේ කාලසීමාව තුළ ආයෝජකයාගේ පාලනයෙන් බැහැර බොහෝ සාධක මගින් සැබෑ ආදායමට බලපෑම් සිදු විය හැකි ය. බදු පැනවිය හැකි ය. විනිමය අනුපාත කඩාවැටිය හැකි ය. අරමුදල් ආපසු රැගෙන යෑම සඳහා සීමා පැනවිය හැකි ය. මේවා උපකල්පන නොවේ. ඒවා මෑත, මතක ඇති කාලයේ සිදුවී තිබේ. මේ සියල්ල එකතු වෙයි. සාධාරණ ප්‍රතිලාභයක් යන්න පනතේ විශේෂයෙන් සඳහන් කර තිබීමේ තාර්කිකත්වය මෙය විය හැකි ය.

ශ්‍රී ලංකාවේ සුළං බලය සඳහා වන ප්‍රාග්ධන වියදම එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ ආයෝජන සඳහා වන ප්‍රාග්ධන පිරිවැය සමඟ සෘජුව සැසඳිය නොහැකි ය. ප්‍රාග්ධන පිරිවැය සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින විට, විදුලි ඒකක මිල ද ඉහළ මට්ටමක පවතිනු ඇත. ඒ නිසා, ඉන්දියාව සහ ඇමරිකාව සමඟ ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම වැරදි ය. නමුත් තවත් සාධක ඇත.

ශ්‍රී ලංකාවේ අතිරේක පිරිවැය

මන්නාරම, පුනරීන් වැනි දුර බැහැර ප්‍රදේශවල නිපදවන විදුලිය විදුලිබල පද්ධතියට ගෙන ආ යුතු අතර ඉන් අනතුරුව පාරිභෝගිකයන් සිටින තැනට රැගෙන ආ යුතු ය. මන්නාරම ලංවිම බලාගාරයට නාඩුකුඩාහි නව උපපොළක් සහ මැදවච්චිය සහ වවුනියාව වෙත සම්ප්‍රේෂණ මාර්ග අවශ්‍ය විය. පුද්ගලික සුළං සහ සූර්ය බලාගාර සම්බන්ධයෙන්, නියමිත ජාල අන්තර් සම්බන්ධතා ස්ථාන වෙත සම්ප්‍රේෂණ මාර්ගය ගොඩනැගීමේ පිරිවැය ආයෝජකයින් විසින් ඇතුළත් කිරීම අවශ්‍ය වෙයි. මේ බව නව පනතේ විශේෂයෙන් සඳහන් ය.

සුළං බලයෙන් උත්පාදනය කරන ලද විදුලි ඒකක මිල සංසන්දනය කිරීමේ දී, මෙම වෙනස්කම් සැලකිල්ලට ගත යුතු ය. මන්නාරම ප්‍රදේශය සම්බන්ධයෙන් ගත් කල, ලංවිම බලාගාරය සඳහා ඉදිකරන ලද සම්ප්‍රේෂණ මාර්ගවල ධාරිතාව පරිපූරණය කිරීමට සිදුවීම නිසා ආයෝජකයාට අඩු පිරිවැයක් දැරීමට සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. පුනරීන් සම්බන්ධයෙන් ගත් කල, එය මුල සිට ම ගොඩනැගීමට අවශ්‍ය විය හැකි ය. ස්ථාන තීරණ තනිකරම සුළං තීව්‍රතාව මත පමණක් සිදු නොවන අතර, පිරිවැය සහ විදුලි ඉල්ලුම පිළිබඳ සාධක මත ද පදනම් වෙයි. ස්ථාන තීරණ පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමට පෙර සම්ප්‍රේෂණ පිරිවැය විමර්ශනය කළ යුතු ය. පෙතියාගොඩ යෝජනා කරන පරිදි සංක්‍රමණික පක්ෂීන් පිළිබඳ සැලකිල්ල නිසා, පවතින ලංවිම බලාගාරයට ආසන්න මන්නාරම ස්ථානය ඉවත් කළහොත්, ඔහුගේ අනෙක් විවේචනයට එරෙහිව හඹා යමින් සුළං බලයෙන් ජනනය කරන විදුලිය සඳහා ගෙවිය යුතු ඒකක පිරිවැය ද ඉහළ යනු ඇත. රැවුලයි කැඳයි දෙකම බැරිය.

ඉන්දියාව පරිමාණයෙන් සහ සමූහගත වීමෙන් වාසි භුක්ති විඳින විශාල රටකි. ශ්‍රී ලාංකේය සුළං බලාගාර සංවර්ධකයින්, කුලුනු එසවීමට අවශ්‍ය දොඹකර ඇතුළු බොහෝ යෙදවුම් ඉන්දියාවෙන් ලබා ගන්නා බැවින්, ආධාරක නිෂ්පාදකයින්ගේ පරිසර පද්ධතිය එහි හොඳින් ස්ථාපිත වී ඇති බව පැහැදිලි විය යුතු ය. මන්නාරමේ පිහිටි ලංවිම බලාගාරය සඳහා උපකරණ සැපයූ වෙස්ටාස් සමාගම, චෙන්නායි ප්‍රදේශයේ විකුණුම් සහ සේවා, සමහර නිෂ්පාදන සහ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පවත්වාගෙන යමින් 1997 සිට ඉන්දියාවේ ක්‍රියාත්මක වී ඇත. එය ගුජරාටයේ ටර්බයින් තල නිෂ්පාදනය කරයි. මෙය ස්වාභාවිකව ම ඉන්දියාවේ අඩු පිරිවැයක් ඇති කරයි. එයින් කියවෙන්නේ ඉන්දියාවේ ඒකක මිල ද අඩු වනු ඇති බව යි.

ඉන්දීය රජයේ පුනර්ජනනීය විදුලිය දිරිගැන්වීමේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම ඇතුළු බහුවිධ අනුමැතියන් සියල්ලගෙන් නොවේ නම් බොහොමයකින් සුළං බලාගාර ව්‍යාපෘති නිදහස් කර ඇත. පාරිසරික බලපෑම් තක්සේරුව ශ්‍රී ලංකාව තුළ නිදහස් කළ නොහැකි යැයි සැලකීම ගැන අපට සතුටු විය හැකි ය. නමුත් ව්‍යාපෘති අනුමත කිරීමේ කාලය සහ ඒ ආශ්‍රිත පිරිවැය වැඩිවීම් මත එමගින් ඇතිවන බලපෑම් අප පිළිගත යුතු වෙයි. අඩු මිල විදුලිය අවශ්‍ය නම්, විදුලිය නිෂ්පාදනය කිරීමේ වියදම අඩු කළ යුතුය. පූර්ව අනුමැති ලබාගැනීමේ සංකීර්ණත්වය අවම කිරීම වියදම අඩු කිරීමේ එක් ක්‍රමයකි.

පරමාදර්ශයට එරෙහිව යථාර්ථය

මාර්ග සහ විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සපයා, පාරිසරික සහ අනෙකුත් අනුමැතිය සහිතව ශ්‍රී ලංකා රජය මගින් සුළං සහ සූර්ය ව්‍යාපෘති කලාප පිහිටුවීමේ සම්පූර්ණ විනිවිදභාවයෙන් යුත් ක්‍රියා පටිපාටි දැකීමට මම කැමැත්තෙමි. එක්සත් ජනපදයේ සහ වෙනත් තැන්වල සිදු කර ඇති පරිදි, එවැනි ඉඩම් සහ අක්වෙරළ අඩවි සලකුණු කර වෙන්දේසි කළ හැකි ය. මේ සතියේ අවසන්වූ මිල සාකච්ඡාවල පදනම වන පිරිවැය දත්ත ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකි වන්නේ එවිටයි. මෙය ආයෝජකයන්ගේ ප්‍රසාදයටද ලක් වනු ඇත.

ඉඩම් අත්පත් කරගැනීම සහ වන්දි පිළිබඳ කටයුතු අද අති දුෂ්කරය, වියදම් සහිතය. භූමියට සමීප බලධාරීන්ට වගකීම් මෙන්ම එකතු කරන අගයෙන් කොටසකුත් ලැබෙන්නට සැලස්වුවහොත් මෙම ක්‍රියාදාමයන්වල අද ඇති ඝර්ෂණයන් අඩු කර ගත හැක.
එසේ වුව ද, අපගේ තත්ත්වයන් පරමාදර්ශයෙන් බොහෝ දුරස්තර ය. ආර්ථිකය නැවත වර්ධනය වීමට පටන් ගන්නා විට විදුලිය ඇණහිටීම් (සහ/හෝ අධික මිලට හදිසි විදුලිය මිල දී ගැනීම) වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් පෞද්ගලික ආයෝජන ලබා ගැනීම අපට අවශ්‍ය ය. පුනර්ජනනීය විදුලිය සඳහා ආයෝජන ලබා නොගතහොත් වන්නේ පරිසරයට හානිකර වියදම වැඩි ෆොසිල ඉන්ධන මත තව දුරටත් යැපෙන්නට වීමයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ගුණරුවන් වැන්නන් කියන ආකාරයට පුනර්ජනනීය විදුලිය සඳහා විදේශ ආයෝජන තහනම් කරන්නේ නම් ප්‍රතිපලය වන්නේ ආනයිත ෆොසිල ඉන්ධන මත දැන් පවතින යැපීම ඉදිරියටත් පවත්වා ගෙන යෑමයි.

යථාර්ථය නම්, වෙන්දේසි සඳහා පූර්ව කොන්දේසි සකස් කිරීම සඳහා සමගාමීව වැඩ කරන අතර ම අප අදානි වැනි කැමැත්තෙන් සිටින ආයෝජකයින් සමඟ කටයුතු කළ යුතු බව යි. වඩාත්ම වැදගත් දෙය නම්, වෙනස් නීති රීති සහිත විශාල වෙළෙඳපොළවල මිල ගණන් මිණුම් සලකුණු ලෙස භාවිතා කරමින්, සුළං මත පදනම් වූ විදුලි නිෂ්පාදන වියදම සහ ඒකක මිල අසාධාරණ ලෙස ඉහළ යැයි වැරදි ප්‍රකාශයන් ඉදිරිපත් නොකිරීමයි. සංවාදය දිගටම පැවතිය යුතු නමුත් එය සිදුවිය යුත්තේ වඩා සන්සුන් සහ සාක්ෂි පදනම් කරගත් ආකාරයකින් ය.
අලුත් දේ අවහිර කිරීමට අප ඉතා දක්ෂ ය. නමුත් අලුත් දේ ගොඩනඟා ගැනීමට ඉඩ දීමටද අප දක්ෂ නොවන්නේ නම්, මිල අධික, ගැටළු සහගත විදුලි ක්ෂේත්‍රයකින් දිගට ම පීඩා විඳිමින් සිටීමට අපට සිදුවනු ඇත.

මහාචාර්ය රොහාන් සමරජීව

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි