වරාය හා නාවික රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීගේ ආරාධනයෙන් මැති ඇමතිවරුන් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් හංසකාවා නම් ඩේරජර් යාත්‍රාවක් තුළ ජනවාරි 09 දින පැවැත් වූ සාදය මේ වනවිට දැඩි කතා බහට ලක්වී තිබේ. ඒ කරුණු කිහිපයක් නිසාය. එකක් එම ඩේරජර් යාත්‍රා සාදය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය නම් වූ රාජ්‍ය ආයතනයේ සම්පත් භාවිත කිරීමය. අනෙක රටේ ජනතාව ආර්ථික අතින් ඉතා අසීරු මොහොතක දිවි ගෙවද්දී ජනතාවගේ එම අසීරුතාවට වගකිව යුතු පාලක පක්ෂයක් මහ මුහුදේ පාටි දැමීමය.
ඩේරජර් යාත්‍රාවක් තුළ මහ මුහුදේ දැමූ මෙම පාටිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් පවා මේ වනවිට සංසරණය වෙමින් පවතින අතර එහි එම ඩේරජර් යාත්‍රාවට මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කටයුතු කරන මැති ඇමතිවරු ගොඩවන ආකාරයද, එම යාත්‍රාව තුළ හිඳ සතුටු සාමීචියේ යෙදෙමින් විනෝද වන අයුරුද පෙන්නුම් කරයි.
එහෙත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය අංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය විවිධ අවස්ථාවලදී විවිධ රාජ්‍ය නායකයින්, ප්‍රභූවරුන්, වෘත්තිකයන්, සේවාලාභීන්, නැව් සමාගම්වල විදේශීය නියෝජිතයින්, මාධ්‍යවේදීන් සඳහා වරාය නැරඹීමටත්, වරාය තුළ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වඩාත් නිවාරදි තොරතුරු ලබාදීමත්, තොරතුරු ලබාදීම සඳහා ඇතුළත හා පිටත වරායන්හී නිරීක්ෂණ චාරිකාවන් සංවිධානය කරනු ලබයි.’ බවයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් කරන ලද ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරු පිරිසක් සඳහා කොළඹ වරායේ සිදුවන සංවර්ධන කටයුතු විශේෂයෙන්, වරාය අධිකාරිය මගින් වරාය අධිකාරියේ මුදල් යොදවා ඉදිවන නැගෙනහිර පර්යන්තයේ දැවැන්ත සංවර්ධනයත්, ජේසීටී පර්යන්තයේ සංවර්ධන කටයුතුත්, බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු හා අධිවේග මාර්ග පද්ධතියේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් මගින් දැනුවත් කිරීමක් සිදුකරන ලද බව හා එයින් පසු ‘හංසකාවා ඩේරජරයෙන්’ පිටත වරාය නිරීක්ෂණ චාරිකාවක් සිදු කෙරුණ බවයි.
මුද්‍රිත හා වි්‍යුත් මාධ්‍ය මගින් මුහුද මැද පාටියක් යනුවෙන් හෙවත් විනෝද සවාරියක් යනුවෙන් එය නිර්වචනය කිරීම වැරදි අර්ථකථනයක් සමාජය වෙත ලබාදීමට උත්සාහ කර ඇති බවත්, ඒ සඳහා ආහාර හෝ වෙනත් කිසිදු වියදමක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකර නොමැති බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය අංශය එසේ සිය රාජ්‍ය ඇමතිවරයා ආරක්ෂා කිරීමේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බාරගෙන තිබුණද, රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මාධ්‍ය කළ විමසීම්වලදී ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුව වෙන කිසිවක් නොව එම සාදය සාධාරණීය කිරීමට ඔහුට කිසිදු හේතුවක් නැති කමය.
වරාය අධිකාරියේ මාධ්‍ය අංශය කියනා ආකාරයට එම වරාය නැරඹුම් අවස්ථාව එකී කොටස් සඳහා සිදුකරන්නක් නම් ඒ සඳහා මැති ඇමතිවරුන්ට ඇරයුම් කළ යුත්තේ රාජ්‍ය ඇමතිවරයා නොව ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. නොඑසේ නම් විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වායි. එහෙත් මාධ්‍ය නිවේදනයේ පිළිගෙන ඇති ආකාරයටම ඒ සඳහා විෂය භාර ඇමතිවරයාගෙන් රාජ්‍ය ඇමතිවරයා අවසර ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වන ඇමති නිමල් සිරිපාල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ට පාටියක් දා ගැනීම සඳහා අවසර ලබාදී ඇති බව ඒ අනුව පෙනේ.
වරාය අධිකාරියේ මාධ්‍ය නිවේදනයෙන් මෙම ඩේරජර් යාත්‍රා සාදය සඳහා එම අධිකාරියෙන් කිසිදු මුදලක් වැය නොවූ බව කියමින් සාධාරණීකරණය කර තිබුණත් ඩේරජර් යාත්‍රාවක් පණගන්වා යාත්‍රා කිරීමම යනු ඉන්ධන වැයවන ඒ සඳහා මුදල් වැයවන වන කටයුත්තකි. මෙම ඩේරජර් යාත්‍රා යොදා ගන්නේ වරාය තුළ හා වරායෙන් පිටත නැව් එන මාර්ගයේ නියමිත ගැඹුර පවත්වා ගැනීම සඳහා වැලි හා මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා වන අතර නැව්වල මෙන් ඒවාහී විශාල පිරිසකට එක්වී සාද පැවැත්වීම සඳහා පහසුකම් නිර්මාණය කර නැත. මෙම ඩේරජර් යාත්‍රා සාදය සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු අනුව එම සාදයට අවශ්‍ය කෑම බීම පමණක් නොව පුටු මේස පවා වරාය අධිකාරියෙන් රාජ්‍ය ඇමතිවරයාගේ නියෝග පරිදි ඇණවුම් කර තිබේ. එහි තේරුම වන්නේ එම සාදය පැවැත්වීම සඳහා පුටු මේස යාත්‍රාවේ අවශ්‍ය ලෙස සකස් කර ඇති බවයි.
ඒ අනුව ගත් කල තමන්ගේම නොවන තමන්ගේ අනුගාමිකයෙකුගේ මෙම මහ මුහුදේ යාත්‍රා සාදය රටට කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ට නම් සොච්චම් දෙයක් බව පැහැදිලිය.
ඒ නිසා අවශ්‍ය වන්නේ රාජ්‍ය සම්පත් සිය පෞද්ගලික අභිලාෂයන් සඳහා අවභාවිතා කරන මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ පමණක් නොව එම දූෂිත සංස්කෘතිය යළි ඇති වීමට නොහැකි ලෙස තිත තැබීමේ සමාජ දේශපාලන ව්‍යාපාරයක්ය. එය ඇති කිරීමේ හැකියාව ඇත්තේද මේ රටේ මහජනතාවටමය.