No menu items!
20.9 C
Sri Lanka
24 November,2024

ජගත්ලාගේ රහස් කියන කඳු සහ කාංසාව

Must read

‘රහස් කියන කඳු’ චිත්‍රපටයට පෙර මා නැරඹුවේ එකී චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ ප්‍රදීප් චන්ද්‍රසිරිගේ Whispering Mountain නම් වූ චිත්‍ර ප්‍රදර්ශනයයි. රහස් කියන කඳු තේමා පාඨය වූ Whispering Mountain (වැළපෙන/කොඳුරන කඳු) නමින් වූ ඒ ප්‍රදර්ශනය නැරඹීම හා චිත්‍රයෙන් චිත්‍රය ගැන ප්‍රදීප්, ජගත් වීරසිංහ ආදින් සමග වූ කතාබහ ඉනික්බිති චිත්‍රපටය නැරඹීම සඳහා වූ ප්‍රවේශ දොරටුවක් විය. එක් විචාරිකාවක සඳහන් කර ඇති ආකාරයට රහස් කියන කඳු ක්‍රෑර කාව්‍යයකි. රුසියානු යුක්රේන යුද්ධයේත්, ලෝකයේ ධනවාදී කඳවුරේ ආශීර්වාදයෙන් ගාසා තීරයේ ඊශ්‍රායල් ජාතිකවාදීන් විසින් මරා දැැමන මිනිසුන්ගේත් මිනී දිනපතා ගණන් කරන වටපිටාවක රහස් කියන කඳු චිත්‍රපටය වනාහි අපේම පපුතලය මතම කෙරුණු හා එයම පුනරුච්චාරණය වීමට ඉඩ ඇති ක්‍රෑර ඝාතන රංගයන් පිළිබඳ අපේ ඇස් කන් අරවය.

ජගත් වීරසිංහ

1992දී පමණ ජගත් වීරසිංහ සිය කාංසාව චිත්‍ර ප්‍රදර්ශනයෙන් චිත්‍ර කලාවේ හැරවුම් ලක්ෂ්‍යය සලකුණු කළා සේ ජගත් මනුවර්ණ ඊට වසර තිහකට පසුව සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකණු කරයි. දෙදෙනාම ජගත්ලා වීම කවර ලෙස තේරුම් ගන්නද? ස්වාභාවික නොවන සෑම මරණයකටම දේශපාලනයක් ඇත.

ශ්‍රී ලංකාවාසී අපගේ ඝාතන සංස්කෘතියේ උච්චතමය කාලය අනුව වසර තිහකි. එයට මහා පරිමාණ සිවිල් යුද්ධ දෙකක් ඇතුළත් විය. 87-89 කාලයේ යුද්ධ දෙකම එකට සමපාත විය. මදිපාඩුවට මිනිසුන් මරන්නට අතිරේක ඉන්දීය හමුදාවෝ උතුරට පැමිණියහ. දකුණේ මදිපාඩුවට කහ බළල්ලු, කළු බළල්ලු ආදි පැරාමිලිටරි ලීග බිහි විය. අපේ ජාතිකත්වය ආගම ගලාගියේ සමාජ අනුමැතියක් ද සහිත මේ ඝාතන අටල්ල තුළිනි. ඒ කුරිරු යුගය නිර්මාණයට පුරවැසි සමාජයක් ලෙස අපේ දායකත්වය දැන් අපට අමතක වී ඇත. ඒ අමතකය ප්‍රජාතන්ත්‍රවාදයේ ජනවරම විසින්ම විනාශකාරී පාලනයක් තෝරා ගැනීමට මේ වසර තිහ හතළිහ තිස්සේම අප පෙළඹවීය.

ජගත් වීරසිංහගේ කාංසාව ප්‍රදර්ශනයේ ඝාතකයා හා ගොදුර ලේ වැකි නිර්මිතයක් (ක්‍රෑර කාව්‍යයක්) ලෙස චිත්‍ර කලා සමාජයේ නිම් වළල්ල පුළුල් කළේය. ඒ ජගත්මය පාසලේ ශිෂ්‍යයෙකු වූ ප්‍රදීප් චන්ද්‍රසිරි චිත්‍රපටයේ ආත්මයට මැදිහත්වීම දෛවෝපගතය.
මීට දශක දෙක හමාරකට පෙරාතුව ඝාතකයන් විසින් අතුරුදහන් කරන නිරපරාද දරුවන් දහතුන් දෙනෙකු සොයමින් ඇඹිලිපිටියේ මාපියවරුන්ගේ සංවිධානය හමුවෙමින් ගත කළ අතීතය රහස් කියන කඳු බලන විට මට සිහිපත් විය. ඒ දෙමාපියන්ගේ ඉල්ලීම මත ඇඹිලිපිටියේත් කෝට්ටේ පාර්ලිමේන්තු පිවිසුම් දොරටුවේත් තැනවුණ අහිංසකයන්ගේ ආරාම දෙකින් ප්‍රධානතම එක වූ පාර්ලිමේන්තු පිවිසුම් දොරටුවේ ඉදිකළ ස්මාරකය සුණුවිසුණු කොට ඒ මත්තේ තැනුණු විනෝද උයනකි.

මාගේ වැටහීම අනුව අහිංසකයන්ගේ ආරාමය විවෘත කරන්නට නියමිතව සිටියේ නුදුරු දිනෙක ලංකාවට පැමිණීමට නියමිතව සිටි නෙල්සන් මැන්ඩෙලා අතිනි. එහෙත් එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයකට වාසි සහගත වන සේ ඊට පෙරාතුව එය විවෘත කළේ එකල ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂය. ඊට දශකයකට පසුව එය කඩා සුණුවිසුණු කළේත් ඔහු පාලන සමයේ ඔහුගේම සොහොයුරාගේ අණ යටතේ මහින්ද රාජපක්ෂගේම අනුමැතියෙනි.
මේ සිදුවීම වනාහි ක්‍රෑර රංගයක අනුපාන නොවේද? රහස් කියන කඳු සිනමා කෘතියේ සරත් කොතලාවල රංග නිරූපණය මට මතකයට නැගෙන්නේ දරුවන් දහතුන් දෙනාගේ ඝාතක හමුදා වෘත්තිකයන් අතර ඔවුන්ට උඩගෙඩි දුන් ඇඹිලිපිටිය විදුහලේ විදුහල්පතිවරයාය. ජාතික ඇඳුම් ඇඟලා ගුරු වෘත්තියේ නියැලුණු ඔහුට ඝාතක සහායකයෙකු (මකරාක්ෂයෙකු) වීම කවර තරම් සරල කාරණයක් වීද?

ප්‍රදීප් චන්ද්‍රසිරි

ධර්මසේන පතිරාජ ‘අහස්ගව්ව’ චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට විචාරක එල්.ඕ.ඩී. සිල්වා හැඳින්වූයේ සිනමා කැමරාව පවුලෙන් පිටතට රැගෙන ගිය පළමු චිත්‍රපටය ලෙසයි. රහස් කියන කඳු පතිරාජ හෙළිකර දුන් විප්ලවීය මාවතේ අග්‍රතම ඵලය ලෙස මම විශ්වාස කරමි.
නාමල් ජයසිංහ හා ජගත් මනුවර්ණ දෙදෙනා ලියූ තිරපිටපත කියවීමට මහත් ආශාවක් මට තිබේ. තිරනාටකයට නිමැවුම්කරුවන්ගේ පුරවැසිමය පසුතැවිල්ල හා මේ ඝාතන සංස්කෘතියෙන් විමුක්තිය ලැබීමට ඔවුනට ඇති අභිලාෂය විසින් කඳුවලට, මිනී නහවන වතුරට, නිහඬ බවට ආදි සජීවී අජීවී දේවලට හා සිදුවීම් අතර අන්තරයන්ට පවා ප්‍රාණය කවා ඇත. දේශපාලනික චිත්‍රපටයක් වශයෙන් පමණක් නොව කලාකෘතියක් වශයෙන් මා අගයන උසස්ම දෙයක් මෙහි ඇත. ඇරඹුමක් හා අවසානයක් නැති මේ සිනමාපටය තමන්ගේ අත්දැකීම් හා සංවේදනා ඇසුරෙන් රසිකයාටද පරිකල්පනය කර ගැනීමට තබා ඇති ඉඩ හසරයි ඒ. එය එලෙස කියවා ගනිමින් සිටින බව පසුගිය කාලයේ රසික සමාජය ඇසුරු කිරීමෙන් මට දැනගත හැකි විය.


මට 87-89 කාලය මතකය. සන්නද්ධ දෙපිරිසකට මැදිවෙමින් හා මරණයට සමීප අවස්ථා මග හරිමින් ගෙවූ ඒ ජීවිතයට වර්ණයක් තිබිණි. ආර්ද්‍රතාවක් තිබිණි. එකල්හි හිරු ද විවර වීමට බියෙන් මෙන් අඳුරු වළාකුළුවලට මුවාවී සිය මෙහෙවර ඉටු කළේය. සිනා පොදක් නැති මුහුණු එහෙ මෙහෙ යනු එනු දුටුවෙමු. බෝධි වෘක්ෂයන් අතර මහජන රැස්වීමකට මෙන් මිනිස්සු පැන් කළගෙඩි සහිතව වෙලාවක් අවේලාවක් නැතිව රැස් කෑහ. වගේ වගක් නැති රහස් කියන කඳුහි භික්ෂුව මෙන් භික්ෂූහු කරුමයට සියල්ල බැර කරමින් වින්දිතයන් මෝහනයට පත් කළෝය.
දායකයන්ගේ, ජාවාරම්කාරයන්ගේ හා තමාගේමත් යටිමඩි ගහගත්තවුන්ගේ ධනයෙන්, අනාගතයටත් ඉඩ තබා ඉදිවන විහාර ගොඩනැගිල්ලේ සැටලිම භික්ෂුව තරම්ම ප්‍රබල චරිතයකි. ආගම වනාහි ශිෂ්ටාචාරමය සොයා ගැනීමකි. එයට දේශපාලනයට මෙන්ම මූලධර්ම ඇත. රහස් කියන කඳු අතර දේශපාලනය මෙන්ම ආගමද පිරිහෙළී ඇත. ඇවිළෙන සැටලිම දෙපැත්තේ මූලධර්ම පිරිහුණු ආගමත් (තරුණ භික්ෂුව) මූලධාර්මික ආගමත් (වයස්ගත භික්ෂුවත්) සිටී. ආගමේ මූලධර්ම රැකීමට බැරිව පරමාර්ථ අහිමිවීමේ ශෝකයෙන් පෙළෙන වයස්ගත භික්ෂුව මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසා ඇත.

නිල හමුදා නායකයෙකුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක පැරා මිලිටරි ලීගයක් විය හැකි ඝාතන කඳවුර ලංකාවේ සමාජ දේශපාලන දේහයේම සංකේතයකි. හෘදය සාක්ෂිය පුංචි කරගත් කඳවුරු නායකයා සිය යුක්තිය පිළිබඳ අදහස මතුපිටට කැඳවන්නේ ද ඝාතනයේම සහායටය. ඔහු වනාහි පුංචි ලංකාවක බහුරූපී වෙස් ගත හැකි නායකයෙකි. එහි මහා පරිමාණය වනාහි ලංකාවමය. එහි නායකයන්මය.

ජගත් වීරසිංහගේ කාංසාව ප්‍රදර්ශනයෙන්

මම නැවත ආපස්සට යමි. ජගත් වීරසිංහගේ කාංසාව චිත්‍ර ප්‍රදර්ශනය හා ප්‍රදීප් චන්ද්‍රසිරිගේ උයසිචැරසබට ඵදමබඒසබ යන තිස් වසරක කාලාන්තරයක් තුළ බිහිවුණු චිත්‍ර ප්‍රදර්ශන දෙකම අත් නොහැර යන ඝාතන සංස්කෘතියක කාංසාව කියාපායි. කාංසාවේ එක ස්වරූපයක් නම් නැවතත් එය ආපසු ඒ යැයි යන බලාපොරොත්තුවයි. අපි වනාහි කාංසාවක් නඩත්තු කරමින් සිටින ජාතියකි. මේ චිත්‍ර ප්‍රදර්ශන දෙකත් රහස් කියන කඳු චිත්‍රපටයත් එකම මූලයක් දරන්නේය. ප්‍රදීප්ගේ කඳු සමස්තය පුරා රක්ත වර්ණ රුධිර නාලිකා දිවෙන්නේය.

ජගත් මනුවර්ණ

වැඩිහිටි අපගේ ඝාතන මතකයන් එයට අනුගත වීම විසින්ම අමතක කර දමනු ලැබ ඇත්තෙමු. එහෙව් සමාජ අවකාශයක අපගේ පසු පරම්පරාවන්ට අයත් මේ තරුණ නිර්මාණකරුවන් අතින් ලේ, කිරි, වතුර ඕනෑම එකක් උඩින් ගැලුවත් අකම්පිතව සිටින අපගේ වැඩිහිටි කළුගල රිදවා ඇත. අනාගතයේ වෙනසක් වීමට නියමිතව තිබියදීත් එසේ නොවන්නේ නම් එසේ වන්නේ කලාකෘතිවලින්වත් රිදවන්නට බැරි මේ වැඩිහිටි කළුගල් නිසාමය.

රහස් කියන කඳු ශ්‍රී ලාංකික ජාතියේ හෘදය සාක්ෂියට අමතා ඇත. සාමාන්‍යයෙන් විදේශයක පදිංචියට ගිය කළ හෘදය සාක්ෂිය ඇහැරෙන්නේය. ඕස්ටේ්‍රලියාවේදී රහස් කියන කඳු සාර්ථක වන්නේ ඒ ඇහැරුණු හෘදය සාක්ෂිය කවරාකාරදැයි පහදා දෙන හෙයිනි. රහස් කියන කඳු පුළුල් අර්ථයෙන්ම දේශපාලන චිත්‍රපටයකි. එය ප්‍රදර්ශනය වන්නේ දේශපාලනික වශයෙන් ඓතිහාසික අරුතින්ම අවදි වූ සමාජයකය. අරගලය යනු ඒ අවදිවීමේ වර්ණවත් නිරූපණයයි. එය ප්‍රංශ විප්ලවයට හා 1917 විප්ලවයට පාර කැපූ අසාර්ථක 1905 රුසියානු කැරැල්ලට සමගාමීය. එය ජාතිවාදය වෙනුවට නිර්ජාතිවාදය සමාජගත කළේය. සාම නාශක භික්ෂුව පන්සලේ ඇතුළු ගුහාවට දැක්කුවේය. දේශපාලකයන්ගේ රැස් වළල්ල සැලකිය යුතු මට්ටමකින් අහිමි කළේය. එවැනි වර්ණවත් පරිසරයක රහස් කියන කඳු පැමිණීම හා එය සාර්ථකවීම වනාහි අරගලයේ රැස් දසත තවමත් ආලෝක කරන්නේය යන්නට ජීවමාන සාක්ෂියකි.

චන්ද්‍රරත්න බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි