1994 දී මෙන්ම මෙම මැතිවරණ වර්ෂයේ දී ද දූෂණය ප්රමුඛ ආඛ්යානය බවට පත්ව ඇත. 1994 අගෝස්තු 16 දා මහ මැතිවරණය පවත්වනු ලැබීය. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා (CIABOC) පනත මැතිවරණයෙන් දින 72කට පසුව සහ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 27 වැනි දින සහතික කරන ලද අතර, එමගින් පෙන්නුම් කරන ලද්දේ එහි කෙටුම්පත් කිරීමේ කටයුතු පුළුල් අදහස් විමසීමකින් තොරව කරන ලද බව යි. ක්රියාදාමයේ වේගවත් බව පනතේ දුර්වල ගුණාත්මකභාවයට හේතුව පැහැදිලි කරයි. දුෂණය මගින් ආර්ථිකයට සහ දේශපාලන දේහයට ඇතිකරන පැතිරුණු සහ විඛාදන බලපෑම පිළිබඳව විවාදයක් නැත.
උදාහරණයක් ලෙස, විශාල ප්රදේශයක තම ප්රචාරය සිදුකිරීම සඳහා අපේක්ෂකයන්ට විශාල මුදල් ප්රමාණයක් අවශ්ය වන තත්ත්වයක් වත්මන් මැතිවරණ ක්රමය මගින් නිර්මාණය කොට ඇත. මෙමගින් අයුතු ප්රතිලාභ අපේක්ෂා කරන්නන්ට තම ඉල්ලීම්වලට එකඟ වන දේශපාලනඥයන් ප්රවර්ධනය කිරීමට විවරයක් නිර්මාණය වී තිබේ. රාජ්ය සේවයේ නියුතුවූවන් ස්ථානගත වී ඇත්තේ ඇමතිවරුන්ගේ ලන්සු තැබීමට ලක්වීමට සහ ඔවුන්ගේ ම ගිණුමෙන් දූෂණයේ යෙදීමට ය. අභිමතයට වැඩි ඉඩක් සලසා ඇති නිසා නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ට දූෂණයේ නිරත වීමට අවස්ථා එමට ඇත.
දූෂණයට විරුද්ධව ක්රියා කළ යුතුමය. නමුත් ඒ මුවාවෙන් ඊටත් වඩා හානිදායක සංසිද්ධීන්ට ඉඩ සැලසිය යුතු නැත. 1994 සිට ලද අත්දැකීම් පදනම්ව යථාර්ථවාදීව දූෂණය ගැන කළ හැකි සහ නොකළ හැකි දේ පහත පැහැදිලි කරනු ලැබේ. දුෂණ ආඛ්යානයේ යෝජකයින්, අවස්ථාවක් ලැබුණහොත් ගැනීමට පෙළඹිය හැකි කෙටි මාර්ගවලින් ඇති විය හැකි අනතුරු කිහිපයක් ද පෙන්වා දෙමි. වාගාලංකාරයන්ද? නීතියේ ආධිපත්යයට තර්ජනයන්ද?
1994 මහ මැතිවරණයෙන් ජයග්රහණය කළ දේශපාලන සන්ධානයේ නායකත්වය මැතිවරණ ව්යාපාරයේ දී පොරොන්දු වූයේ අල්ලස් හා දූෂණවලට වැරදිකරුවන්ට එරෙහිව ක්ෂණික පියවර ගන්නා බවට ය. දුෂිතයින් ගාලුමුවදොර පිටියේ එල්ලන බවට පොරොන්දු වූ බව ද පැවසිණි. ඇත්ත වශයෙන් ම සිදුවූයේ ස්වාධීන කොමිෂන් සභාවක් නිර්මාණය කරමින් ක්ෂ්ඊධක් පනත නීතිගත කිරීම යි. 1995 වසරේදීවත් ඉන් පසු වසරවලවත් දූෂිතයන් හිරේ විලංගුවේ දැමීමක් සිදු වුණේ නැත.
කෙතරම් හොඳින් සකස් කර තිබුණ ද, නීතියක් සම්පාදනය කිරීම මගින් පමණක් ගැටලු විසඳිය නොහැකි ය. නීතිය නිසි ලෙස ක්රියාත්මක කළ යුතු වෙයි. 1994 දී, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යන්න එතරම් හුරුපුරුදු දෙයක් නො වී ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පළමුවෙන් ම ඇතිකරන ලද එබඳු කොමිසමකි. එය කොමසාරිස්වරුන් තිදෙනකුගේ ප්රධානත්වයෙන් යුතු වූ අතර එයින් දෙදෙනෙක් ශ්රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ සිට විශ්රාමලත් විනිසුරුවරු වූ හ. පරිපාලනමය කාර්යයන්හිදී විනිශ්චයකාරවරු හොඳම අය නොවෙති. නව සංවිධානය ක්රියාත්මක තත්ත්වයට පත්වීමට සෑහෙන කාලයක් ගතවිය.
එය ක්රියාත්මක වූ පසුව ද, වරදකරුවන් කරන ලද්දේ කිහිප දෙනෙකු වන අතර එය සිදු වූයේ ද විශාල කාල අන්තර ඇතිව ය. 1994 පනත මගින් නිර්මාණය කරන ලද යාන්ත්රණයේ අසාර්ථකත්වය මගින්, ඵලදායි දූෂණ විරෝධී CIABOC ක්රියාකාරීත්වයක් සඳහා ඇති උනන්දුවේ වර්තමාන ඉහළ නැගීම සඳහා පදනම සකස් කළේය. දේශපාලන වාගලංකාරයන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ක්ෂණික තෘප්තිය පිළිබඳ පොරොන්දු මත ය. සූක්ෂ්ම හා කොන්දේසි සහිත ප්රකාශ සඳහා ඇත්තේ අඩු ඉඩකි. 1994 දී, මේ රටේ ජනතාව ක්ෂණික තෘප්තියක් පොරොන්දු වූ අයට බලය ලබා දී කලකිරීමට පත්වූහ. ඔවුන්ට දැන් එබඳු ම කතා අසන්නට ලැබෙයි. මේ මැතිවරණ වර්ෂයේදීත් යථාර්ථවාදී නොවන පොරොන්දු දෙන අයට ඒ ආකාරයෙන්ම සලකන්නේ ද යන්න දැකගත හැකි වනු ඇත.
1994 දී වාගාලංකාරයන් පාවිච්චි කරනු ලැබුයේ බලය ලබා ගැනීම සඳහා පමණකි. ආණ්ඩු බලය ලබා ගත් පසු නීතිය මත පදනම් වූ ක්රියාවලි වෙත අවධානය මාරු විය. නීතියක් පනවනු ලැබීය. කාර්ය මණ්ඩල බඳවාගනු ලැබීය. පොලිසියෙන් විමර්ශකයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අනුයුක්ත කරනු ලැබීය. ඉදිරි පියවර ගැනීමට සාක්ෂි ප්රමාණවත් බවට කොමිසම තෘප්තිමත් වූ විට නඩු පැවරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. 1994 දී තීරණ ගන්නන් අතර නීති පිළිබඳ මහාචාර්යවරයකු ඇතුළත් ව සිටි අතර ඔහු යමෙකු අපරාධ වරදකට වැරදිකරුවෙකු කිරීමට අවශ්ය කරුණු පිළිබඳව හොඳින් දැනුවත් ව සිටියේ ය. නීති සම්පාදනයේ දෝෂ සහ අකාර්යක්ෂම නායකත්වය හේතුවෙන් 1994-2023 කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්රතිඵල ලබා දීමට අපොහොසත් විය. ඇතැම් කාලවල එය සත්ය වශයෙන් ස්වාධීන නොවූ බවටත්, ඇතැම් පරීක්ෂණ යටපත් කළ බවටත්, ඇතැම් නඩු කඩාකප්පල් කරන ලද බවටත්, චෝදනා එල්ල විය.
මෙම සන්දර්භය තුළ නොඉවසිලිමත්කම තේරුම් ගත හැකි ය. එසේ වුවත්, 2024 දී තත්ත්වය වෙනස් ය. 1994 පනතේ තිබූ දුර්වලතා සියල්ලට නොවේ නම් බොහොමයකට විසඳුම් ලබාදෙන නීතියක් සම්මත කරනු ලැබී ය. දැන් CIABOC යනු 1994 දී මෙන් මුල සිටම ආරම්භ කළ යුතු නොවන, ක්රියාත්මක සංවිධානයකි. 2024 මැද භාගය වන විට පොලිස්පතිවරයා යටතේ නොව කොමිසමේ සෘජු පාලනය යටතේ විමර්ශකයින් සිටිනු ඇති අතර දක්ෂ කාර්ය මණ්ඩල බඳවා ගැනීමට බාධාවක් වන අසතුටුදායක වැටුප් පරිමාණ පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට හැකි වනු ඇත. නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදේශකයින් සහ පළපුරුදු නඩු පවරන්නන් යොදාගත හැකි වනු ඇත. මේ සියල්ල මෙසේ වුව ද, සංකීර්ණ නඩු පැවරීම් සඳහා සාක්ෂි රැස් කර ගැනීමට කල් ගතවන බැවින් ඉක්මන් ප්රතිඵල දැකගත නොහැකි වනු ඇත. සීනි වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය විසින් එක්රැස් කරන ලද කරුණු පළපුරුදු නඩු පවරන්නෙකු විසින් තක්සේරු කිරීම තුළින් කාර්යයේ සංකීර්ණත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබිණි. වරද සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු බැවින්, බොහෝ අය සාක්ෂි ලෙස සලකනු ලබන දේ අපරාධ නඩු පැවරීමකට සහාය වීමට ප්රමාණවත් වන්නේ නැත.
පසුගියදා කල්මුණේ පැවති රැස්වීමක දී දූෂණ ආඛ්යානයේ ප්රධාන යෝජක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්රකාශ කර තිබුණේ ජාජබය බලයේ සිටියේ නම් මේ වන විට බොහෝ මන්ත්රීවරුන් සිරගතව සිටිනු ඇති බව යි. “අපිට එක පැත්තකින් ඉන්නේ මහින්ද මහත්තයා හොරෙක්, ක්රිකට් බෝඩ් හොරෙක්, නාමල් හොරෙක්. අනෙක් පැත්තෙන් සජිත් සංස්කෘතික අරමුදලින් හොරකම් කරලා, නිවාස අධිකාරිය විනාශ කරලා, ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් එයාගේ බිරිඳගේ සැලුන් එකේ වැඩට යොදවලා” (ප්රවෘත්ති වාර්තාවකින්). මේ සියල්ල සංකීර්ණ චෝදනා වේ. ජාජබය 2019යේ බලයට ආවා යයි සිතමු.
අවුරුදු තුන හතරක් ඇතුළත මේ සකීර්ණ චෝදනා නීති ප්රකාරව ඔප්පු කර චුදිතයන් සිරගත කළ හැකිද? පරණ පනත යටතේ අල්ලපු ලොකුම මෝරාගේ නඩුව සලකා බලමු. ජනාධිපති සිරිසේනයන්ගේ කාර්ය මණ්ඩල ප්රධානියා ලකුණු කළ මුදල් නෝට්ටු අතැතිව හිරබාරයට ගත්තේ 2018 මැයි මස 3 වැනිදාය. ත්රිපුද්ගල මහාධිකරණය තීන්දුව දුන්නේ 2019 දෙසැම්බර 19 දාය. ශ්රේෂ්ඨාධිකරණය අභියාචනය විභාග කරන්නට පටන් ගත්තේ 2021 මාර්තු 16දාය. මහාධිකරණ තීන්දුව සනාථ කරන තීන්දුව ප්රකාශ කළේ 2023 ජනවාරි 11 දාය. පරණ තාලයේ අල්ලස් නඩුවක් වුවද, මුළු ක්රියාදමයට වසර හතරකට අධික කාලයක් ගත විය. රටවල් ගණනකින් සාක්ෂි ගොනු කළ යුතු සංකීර්ණ නඩුවකට කොපමණ කල් අවශ්ය වෙයිද?
ජවිපෙ නායකයාගේ ප්රකාශය අනුව කෙටි කාලයකින් දූෂණ චෝදනා ලැබුවන්ට දඬුවම් පැනවිය හැක්කේ වෙනත් ක්රමයකටය. සවුදි අරාබියේ MBS නමින් ප්රචලිත මොහම්මඩ් බින් සලමාන් කුමරාගේ ක්රමයටය. ඔහු කළේ දූෂිත යයි ඔහු නිගමනය කළ පුද්ගලයින් නඩු නොඅසා සිරගත කිරීමයි. ඔවුන්ට නිදහස ලැබුණේ වරද පිළිගෙන මුදල් පවරා දීම තුළින් පමණි. MBS ක්රමවේදය ලංකාවේ යොදවන්නට ආණ්ඩුක්රම ව්යවස්ථාව අත්හිටුවන්නේ නැතුව බැරිය. අප ඇසිය යුතු ප්රශ්නය වන්නේ, මෙවැනි ප්රකාශ මැතිවරණය ජයග්රහණය කළ පසු පසෙක තබන දේශපාලන වාගාලංකාර පමණක් ද? එසේත් නැතිනම් ජනතාවට ඔවුන් ඉල්ලා සිටින ක්ෂණික තෘප්තිය ලබාදීම සහ ඒ සමග ම ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධවාදීන් නිෂ්ක්රිය කිරීමේ අමතර ප්රතිලාභය ද සඳහා නීතියේ ආධිපත්යය අත්හැරීමට යන බවට ඉඟියක්ද යන්න යි.
යථාර්ථවාදී නොවන පොරොන්දුවලින් හානියක් සිදුවිය හැකිද? ඇතැම් ප්රකාශ හුදු වාගාලංකාර ලෙස බැහැර කරනු ලබයි. අලෙවිකරණයෙදී විකුණනු ලබන භාණ්ඩ විස්තර කිරීමේදී උසාවි යම් ප්රමාණයක අතිශයෝක්තියකට සලසයි. ක්ෂණික දඬුවම් දීම සහ වත්කම් නැවත ලබා ගැනීම අතිශයෝක්තියේ විෂය පථයට වැටෙන්නේද? එසේ නැතහොත් ඒවා අතිශයෝක්ති බව සියලු දෙනා දන්නා, නැතහොත් දැන සිටිය යුතු, ප්රකාශ ලෙස සැලකිය යුතුද? අලෙවිකරණ ව්යාපාරයක කේන්ද්රීය ප්රකාශය අසත්ය නම්, අපට එය අතිශයෝක්තියක් ලෙස නොසලකා හැරිය නොහැකි ය.
පොරොන්දුව ඉටු කළ හැකි එකම ක්රමය සාධාරණ නඩු විභාගයක් සඳහා ව්යවස්ථාපිතව සහතික කර ඇති අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්යයේ දිගුකාලීන මූලධර්ම පාගා දැමීම නම්, එවැනි පොරොන්දුවලට අභියෝගයකින් තොරව ඉඩ දීම අපට කළ නොහැකි ය. දූෂිතයින්ට ක්ෂණික දඬුවම් ලබාදීම සහ සොරාගත් වත්කම් නැවත අයකරගැනීමෙන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ප්රකාශ අසත්ය සහ හානිකරය. මෙය, මෙම පොරොන්දුවල අසත්යතාව හෙළි කිරීමට කාලය යි. නමුත් ඊටත් වඩා විශාල අනතුරක් තිබේ.
ජවිපෙ මේ කියන්නේ සත්ය වශයෙන් ම කරන්නට යන දේද? අල්ලස් හෝ දූෂණ චෝදනා ලැබූවන්ට ක්ෂණික දඬුවම් ලබාදීමේ පොරොන්දු මත පදනම් වූ මැතිවරණ ජනවරමක්, ව්යවස්ථාපිතව සහතික කර ඇති අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්යය අබිබවා යාමේ වරමක් ලෙස ඔවුන් අර්ථකථනය කළහොත් සිදුවන්නේ කුමක් ද? ඔවුන්ගේ ජ්යෙෂ්ඨ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී. ලාල්කාන්ත ප්රකාශ කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට දෙන ජන වරම, ජනතා විමුක්ති පෙරමුණේ වැඩ පිළිවෙළේ විරුද්ධවාදීන්ට එරෙහිව රාජ්යයේ පූර්ණ බලය යෙදවීමට දෙන ජන වරමක් බව යි.
කළ හැක්කේ කුමක් ද ?
2022 අප්රේල් මාසයේදී, නීතිඥ සංගමය, ගාලු මුවදොර පිටියේ නැගී සිටීම විසඳීම සඳහා තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නේ, සියලු විසඳුම් ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල විය යුතු බව අවධාරණය කරමිනි. ඒ ආකාරයෙන් ම, ජනතා විමුක්ති පෙරමුණ විසින් දූෂණ විරෝධී ගම්යතාව යුතු ලෙස තම ග්රහණයට ගැනීමේ අනතුර වළකාගත හැකි වන්නේ, දූෂණයට එරෙහි ක්රියාමාර්ග නීතියේ ආධිපත්යයේ මූලධර්මවලට අනුකූල වන අයුරින් පමණක් සිදුවිය යුතු බව සහතික කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවලින් ප්රතිඥා ඉල්ලා සිටීමෙන් පමණකි.
ඊටත් වඩා වැදගත් වන්නේ, නීතියේ ආධිපත්යය යටතේ යහපත් සමාජයක ජීවත් වීමට කැමති සියලු දෙනා විසින් දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන්ම ක්රියාත්මක කිරීම වේගවත් කරන ලෙස රජයට බලපෑම් කරනු ලැබීම යි.
දූෂණ විරෝධී පනතේ සියලුම කොටස් ක්රියාත්මකව තිබුණත්, නැතත්, ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව පවරා ඇති නඩුව වැනි නඩුවක් කඩිනම් කිරීම වැදගත් වේ. එම නඩුව රටවල් ගණනාවක් හරහා දිවෙන අතිසංකීර්ණ එකක් වුවද අවශ්ය සාක්ෂි බන්දේසියක දමා අපට ලබාදී ඇත. අදාළ සාක්ෂිය වන්නේ “එයාර් බස් සමාගම ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති කොමිෂන් මුදලක් සම්බන්ධයෙන් අල්ලස් ගැනීම වැළක්වීමට නොහැකි වීමේ වරද සම්බන්ධයෙන් කල් දැමූ නඩු පැවරීමේ ගිවිසුමකට අදාළව එකඟත්වයෙන් කළ කරුණු ප්රකාශයකි.” එනම්, බි්රතාන්ය අධිකරණයක් ඉදිරියේ අල්ලස දුන් සමාගම එම කරුණු සත්ය බව පිළිගෙන ඇත. නීතිමය ප්රමිතීන් කඩ නොකර, මහා පරිමාණ දූෂණයට එරෙහිව ඵලදායි ක්රියාමාර්ග ගත හැකි බව මහජනතාවට ප්රදර්ශනය කිරීමට මෙමගින් හැකි වනු ඇත.
අල්ලසට සහ දූෂණයට එරෙහිව මහජනතාවගේ යුක්තිසහගත කෝපය තමන්ගේ බල ව්යාපෘතියට යොදවා ගැනීමට උත්සාහ කරන මඳ දැනුමක් ඇති දේශපාලන රැවටිලිකරුවන්ට එරෙහි හොඳම ආරක්ෂාව වන්නේ නීති මූලධර්මවලට අනුකූල වන අයුරින් නිසි කලට සහ ඵලදායී ලෙස ක්රියාත්මක වීම යි.