No menu items!
21.6 C
Sri Lanka
22 November,2024

ඩිජිටල් උප්පැන්න සහතිකය සමග පෝලිමේ යන රාජ්‍ය සේවය

Must read

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් උපත් සහතිකය නිකුත් කර තිබේ. තාක්ෂණයේ පහසුව මහජනතාවට සපයන තවත් අවස්ථාවක් බව ප්‍රකාශයට පත්ව ඇත. නව ඩිජිටල් සහතිකයේ වැදගත් තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක් ඇතුළත් වේ. අනාගතයේ දී නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පතට නියමිත අංකය ද මෙයට ඇතුළත් බව පැවැසේ. සකේතාත්මකව කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ. තවත් දිස්ත්‍රික්ක විසි හතරකට ව්‍යාප්ත වන දිනයක් තවමත් ප්‍රකාශ වී නැත. ඩිජිටල් උපත් සහතිකය ලැබූ දරුවා මෙරට උපත ලබන අනෙක් දරුවන් අතරින් වෙනස් හඳුනාගැනීමක් සහිත තත්ත්වයට පත්ව ඇති බව පමණක් සඳහන් කළ හැකිය.

වසර ගණනක් තිස්සේ රජයේ කටයුතු තාක්ෂණිකව හසුරුවන බව ප්‍රකාශවෙමින් තිබේ. 2003 වසරේ දී ඉ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර අද වන විට අවුරුදු විස්සක් පැරණි ව්‍යාපෘතියකි. ලෝක බැංකු ආධාර යටතේ එවකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය අරඹන ලද අතර එවකට ඇමැති මිලින්ද මොරගොඩ මහතා විසින් රට පුරා තොරතුරු තාක්ෂණය පැතිරවීම අරමුණු කරගෙන විශ්වඥාන මධ්‍යස්ථාන පිහිටුවන ලදි. ආණ්ඩු වෙනස්වන විට ප්‍රතිපත්ති වෙනස් කරන ලද බව සඳහන් කළ යුතුය.

ලෝක බැංකු ආධාර යටතේ ලැබුණ පරිගණක පද්ධති දැන් ක්‍රියාත්මක නොවේ. ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණයෙන් බලගන්වන අතර සමාජයට ආණ්ඩුවේ කටයුතු පහසුවෙන් කරගැනීමට අන්තර් ජාලයෙන් ඉඩ සැපයීම පරමාර්ථය වී තිබුණි. ආණ්ඩුවේ කඩදාසි පුරවන ලේඛන සිය ගණනක් අහෝසි කරන යෝජනාව පසුව 2015 දී අය වැය යොජනා අතර ප්‍රධාන කරුණක් සේ අඟවන ලද බව ද මතක් කළ යුතුය. නමුත් එම යෝජනා ක්‍රියාවට නැංවී නැත. දැනටත් අන්තර් ජාලයෙන් ලබාගන්නා කඩදාසි අතින් පුරවා පෝලිමේ ගොස් රජයේ කාර්යාලවලට භාරදිය යුතුව තිබේ. ආණ්ඩුවේ පැවැත්ම සඳහා බදු පිට බදු ගෙවන ජනී ජනයා අතිශය වියදම් සහගත, කාලය නාස්ති කරන පිළිවෙළක තවමත් නිරතය.

උපත් සහතිකය ලබන දරුවාට නිසි වයස සම්පූර්ණ වූ පසු ළඟම පාසලට ඇතුළත්වීමේ අවස්ථාව ලැබිය යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශයට එම අයැදුම්පත් අන්තර් ජාලයෙන් පුරවා සම්පූර්ණ කළ හැකි විය යුතුය. එහෙම වෙන්නේ නැත. දෙමව්පියන්ට බොහෝ කරදර ඇතිවේ. අවශ්‍ය ලේඛන සොයන්නට සිදුවන අතර ලියාපදිංචිය, විදුලිය බිල් හා ඡන්ද ලේඛනය පවා උපුටා දක්වන්නට සිදුවේ. ජාත්‍යන්තර සමුළුවල දී පරිසර විශ්වවිද්‍යාල පවා යෝජනා කරන නමුත්, ශ්‍රී ලංකාවේ වැසියෝ ඡායා පිටපත්කර ලිපිගොනු සකස් කරති.

දරුවන් ලක්ෂ ගණනක් සඳහා කඩදාසි, තීන්ත ඇතුළු අනවශ්‍ය වියදම කොපමණ නාස්තියක් ද? ඡන්ද හිමි නාමලේඛනය අන්තර් ජාලයේ තිබිය දී අවශ්‍ය නම් පහසුවෙන් පරීක්ෂා කළ හැකි නමුත් එය ද පිටපත් කර සැපයීම තොරතුරු තාක්ෂණ යුගයේ දී සැලකිය යුතු අපරාධයකි. අන්තර් ජාල සම්බන්ධතා අනුව දරුවාට නිසි වයස සම්පූර්ණ වූ පසු නිරායාසයෙන්ම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළුවීම හා ජාතික හැඳුනුම්පත සඳහා තොරතුරු ලබාදීමට ඉ දොරටුවක් විවෘත කළ හැකිවේ. මෙම කටයුතු සඳහා අන්තර් දෙපාර්තමේන්තු සම්බන්ධතා අවශ්‍යය. අනෙක ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට සුදුසු බව දක්වා නිර්දේශ ආගමන විගමන දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරන්නට ද නොහැකියාවක් නැත. එවැනි පියවරක දී අනවශ්‍ය පෝලිම් අහෝසි කර අවශ්‍ය කටයුතු සඳහා, අන්තර් ජාලයෙන්ම දිනයක් හා වේලාවක් වෙන්කරගන්නට හැකිනම් කොතරම් පහසුවක් ද?

මෙම පසුබිම තිබිය දී අදටත් ගුවන් ගමන් බලපත්‍රයක් සඳහා දිග පෝලිම්ය. පළාත් කාර්යාලවලින් ලබාගත හැකි බව ප්‍රකාශ වන නමුත් ඒවායේ ඇඟිලි සලකුණු යන්ත්‍ර අබලන්ය. සියලු කඩදාසි පිටපත් කරගෙන ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ද සහිතව කොළඹට එන්නට සිදුවේ. නිකුත් කළ ගමන් බලපත්‍රය අලුත් කරන අවස්ථාවක නැවතත් උප්පැන්න සහතිකයේ සිට සියලු ලේඛන පිටපත් නැවතත් ඉදිරිපත් කරන්නට සිදුවීම හාස්‍යයට කරුණකි. උපත් සහතිකය ඩිජිටල් කිරීමෙන් පසු ජනතාවගේ පහසුව ඇති කරන අනෙක් ක්‍රියාමාර්ග ඇතුළත් නොකළහොත් පලක් නැත.

උපත් සහතිකය සමග එන අංකය ඔස්සේ බැංකු ගිණුම් සම්බන්ධ කළ හැකි අතර එය අවසානයේ දී බදු ලිපිගොනුවට ද බද්ධ කළ හැකිවේ. පුරවැසියාට රජයේ ආධාර සැපයීමේ දී හෝ රජයට බදු ගෙවිය යුතු සීමාවේ දී නැවත නැවතත් කරදර කරන්නට සිදුවෙන්නේ නැත. පුද්ගලයා කරන මිල දී ගැනීම් හෝ දේපොල ස්වංක්‍රියව ඇතුළත් වන පද්ධතියකින් බදු වංචා වළක්වාගත හැක. මේවා ගැන තැකීමක් නැති නිලධාරීන් නිවේදන සහ චක්‍රලේඛ නිකුත් කරන අතර අලුතින්ම වාර්තාවන පරිදි අන්තර් ජාලයේ කටයුතු කරන බව ප්‍රකාශ වී ඇති ගමන් බලපත්‍ර සේවාව හා බදු ලේඛන ඉදිරිපත් කිරීම පවා අවහිර වී අන්තර් ජංජාලයක් බවට පත්ව ඇත. මේවායෙන් අසරණ වන ජනතාවට ලැබෙන පිටිවහල පැහැදිලි නැති බව ද සඳහන් කළ යුතු වේ.

නිරීක්ෂණය කළ හැකි පරිදි රජයේ ගෙවීම් දොරටුව කාර්යක්ෂම කළ හැක. රථ වාහන වාර්ෂික ලියා පදිංචිය අලුත් කිරීම, ඉඩම් බදු හා වරිපනම් බදු ගෙවීම අන්තර් ජාලයට පැවැරිය නොහැකි ඇයි? ශ්‍රී ලංකාවේ ජනතාව බැංකු සාක්ෂරතාවෙන් පොහොසත්ය. බැංකුවට පැමිණ ස්වයංක්‍රිය මැෂින්වලින් ගෙවීම් කරන පිරිස ප්‍රතිශතයක් වශයෙන් ඉහළ අතර අන්තර් ජාල බැංකු සේවා පහසුකම් ලබන කොටස ද ප්‍රමාණාත්මකව වර්ධනය වෙමින් පවතී. බැංකුකරණයට පහසුවෙන් හුරු වූ ජන කොටස රජයේ සේවා සඳහා අන්තර්ජාලයට නැඹුරු කිරීම අපහසු නැත.

කෙසේ වෙතත් අන්තර් ජාලයෙන් කටයුතු පහසු කළහොත් රජයේ සේවකයන්ගේ ප්‍රමාණය අතිරික්තයක් බවට පත්වේ. කාර්ය කරගැනීම සඳහා නිලධාරීන් හමුවට පැමිණීම පහත වැටේ. දිසාපති, උප දිසාපතිගේ සිට ග්‍රාම නිලධාරී දක්වා රජයේ තනතුරුධාරීන්ගේ බරපතළභාවය සීමා සහිත තත්ත්වයට පත්වේ. එය නරක අදහසක් නොවේ. ලෝකයේ ඇතැම් රටවල් රජයේ සේවය අඩු කරන අතර රජයේ මැදිහත්වීමක් එදිනෙදා ජීවිතයට අවශ්‍ය නැති බව සිතන්නට හුරුවෙමින් පසුවේ. ආර්ජන්ටිනාවේ ජනාධිපති මැතිවරණය එයට හොඳ උදාහරණයකි. එරට වැසියෝ රජය අනවශ්‍ය බව තීරණ කළ අතර රජයේ මැදිහත්වීම අඩුම පාලනයක් සඳහා ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ දැනට සිදුවන බදු පැනැවීම්, රජයේ නිති රීතිවල අධික පීඩනය අවසානයේ දී ජනතාව මෙම ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නට ඉඩ ඇති බව ද අමතක කළ යුතු නැත.

තාක්ෂණයේ දියුණුව සමග ලැබෙන අවස්ථා පමණක් නොව සන්නිවේදන අවකාශය ද මහජන හිතසුව පිණිස යෙදවීම අවශ්‍යය. ජනතාවගේ බදුවලින් බිල් පියවන මැති ඇමැතිවරුන්ගේ හෝ නිලධාරීන්ගේ දුරකතන අංක රහසිගතය. අඩුම තරමින් බලය පවරන නියොජිතයෙකු හෝ ජනතාව සමග සම්බන්ධ විය යුතුවේ. ඉතිහාසයේ මහජන දිනයක් තිබුණි. දැන් ඉහළ පැලැන්තිය අතිශය කාර්ය බහුලය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇමැතිවරුන්ට අන්තර් ජාලයෙන් ජනතාව සමග සම්බන්ධවීම අනිවාර්ය කළ අතර හොඳම ඇමැතිවරුන් පැසසුමට ලක් කළේය. ට්විටර්, ෆේස් බුක් හරහා ජනතාව නගන ප්‍රශ්නවලට උත්තර දෙන්නට ඔවුන් බැඳී සිටින බව අවධාරණය කළේය. ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතාව ඡන්ද කාලයට පමණකි. ජයග්‍රහණයට පසු අපේක්ෂකයෝ ඈත්වෙති.

ආණ්ඩුවේ තොරතුරු තාක්ෂණය භාවිතාව ගැන සරල උදාහරණයක් සලකා බැලීම ද මෙහි දී වැදගත්ය. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වෙබ් අඩවි යාවත්කාලීන නැත. ඒවායේ තොරතුරු කල් ඉකුත් වූ ඒවා වන අතර දක්වන දුරකතන අංක පවා ක්‍රියාත්මක නැත. කෘෂිකර්ම තොරතුරුවල කෙටි අංකය ලංගම විමසීම් අංශයට යැවේ. මහජන විමසීම් ඉදිරියේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට පැහැදිලි උත්තර නැත. කෙසේ වෙතත් විදුලිය බල මණ්ඩලය වේගයෙන් තාක්ෂණයට ඇතුළු වී ඇති බව ද සඳහන් කරන්නට අවශ්‍යය. විදුලිය බිඳ වැටීමක් දැනුම්දෙන කෙටි අංකය යුහුසුළුය. බිඳවැටීම සටහන් කරගන්නා අතර එහි ක්‍රියාපටිපාටිය ද දැකගන්නට සලස්වයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ද එවැනි සේවයක් සපයන අතර අනෙක් රාජ්‍ය ආයතන ද මෙම අංශවල පිටිවහල ලබාගැනීම සුදුසුය.

-මිණිසර-

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි