අත් බෑගයේ පොතක් රුවා ගන්නේ ගමනක බිමනකදි කියවන රිසියෙනි. කාලය එක්ක ද්වන්ද්ව සටනක නිරත සෙබළියක ලෙස බසයේ ගමන් කරන කෙටි හෝ දිගු කාලයද අපතේ නොහැර උපරිම ඵල නෙලා ගන්නට වෙහෙසෙමි. අත් බෑගය සාමාන්යයෙන් වෙනස් නොවේ. එහෙත් ඒ තුළ පොත විටින් විට වෙනස් වෙයි. එදා මා තලාවෙන් නැග්ගේ ගල්නෑව අනුරාධපුර බසයටය. අසුනක්ද හිමි වූයෙන් වහා පොත දිග හැර ගතිමි. ඇතැම් දවසක සමීපයෙහි අසුන් ගෙන සිටින මගියා සමග කතා බහ මගේ කියවීමට බාධා කරයි. එහෙත් පොත් පිටු අතරේ චරිත සේම අප අසල සජීවි චරිතද වැදගත්ය.
එය වෙනස් හා අපූර්වත්වයකින් හෙබියා වූ නවකතාවකි. ඉතා ඉක්මනින් මම පොතෙහි ගිලී කිඳී ගියෙමි. ඒ කොතරම්ද කිවතොත් අන් සියල්ල අමතකව ගියේය. මා බසයක ගමන් කරන බව පවා…
“දෙයියනේ…” බසය නැවැත්වූ පසුවය මා මගියෙකු බව සිහිපත් වූයේ.
අකැමැත්තෙන් වුවද මම පොතින් ඇස් අහකට ගතිමි.
ගල්නෑව…?
ගමනාන්තයට සපැමිණ සිටියදි මේ සා විස්මයක්…?
අනේ මේ මගේ ගමනාන්තය නොවේ.
“මේ මේ කොහෙද…?”
මගේ ඇස් මටම ඇදහිය නුහුණුව ප්රශ්න කළෙමි.
“මේ ගල්නෑව… මෙතනින් එහාට බස් එක යන්නෙ නෑ…”
මට දෙලෝ රත් විය. උදෑසන ගෙදරින් නික්මුණු මා මේ හැන්දෑවෙත් මහ පාරේය. දැනටමත් ගෙදර පිරිමි මුහුණු අමනාපයෙන් අඳුරුව ඇතුවාට සැක නැත.
“කිරි අම්මා වගේම රෝන්දෙ ගහනවා මිණිබිරිත්… අපෙ අම්මගෙ වැඩේම ඉස්සර පිටියි පැණියි තෙලුයි එක්ක ඔට්ටු වෙවි ගම්මැද්දෙ ගාටන එක… හැමදාම එවුන්දැට ඉන්නවා ලෙඩෙක්… බඩ දරු අම්මෙක්…. කිරි දෙන අම්මෙක්… කාගෙ වුණත් දොළ දුක් ගායට උන්දෑ නහින්නෙ තමුන්නෙ කුසින් වැදු ගානට… ඉතිං රෝන්දෙ… රෝන්දෙ තුන්සිය හැටපස් දවසෙම…”
ඒ අපේ අම්මා…
“බඩින්, ඉන්නෙ මොකී වුණත් ඒකි මේ ලෝකෙට ගේන්නෙ ඉරක් හඳක් වගේ දරු පැටික්කෙක්….. යකෝ අලි පැටියෙක් උපන්නම අලි රැළටම කිරි එරෙනවලු… තිරිසනාට එහෙව් එකේ මනුස්ස අපි තොරන් ගහලා වියන් බැඳලා පාවාඩා දාලා නෙවෙයිද කිරි සප්පයෙක් වඩා ගන්ඩ ඕනෑ… අනික නෝනියේ මේ අතපය ඇත්තෙ පෙට්ටගමේ තැන්පත් කොරන්ඩ නෙමෙයි නෙවැ… වැඩක් පොලක් කරන්ඩ… ඇවිදින්ඩ නේද..”
ඒ අපේ රස්තියාදුකාර ජේත්තුකාර කිරි අම්මා….
“උඹ වන්නා කඩේ පුතාගෙ එකී… ඔය අපේ ලීලම්මා වගේ අණක් ගුණක් කමක් පලක් නැතුව හැදිලා බෑ ඕං රාන්චි අම්මේ… කඩේ එකා කුළුඳුලේ දැක්ක එකීට පණ ඇරලා නෙවැ… චාරෙකට හැදියං… ගෙට වෙලා ඉඳපං… දත් පේන්ඩ හිනා නොවී සාර සුබාවට හිටිං මයෙ අම්මා… කෝලිත්තං ඕනෑම නෑ…. කරුමක්කාර ගෑනු ළමිස්සි විච්චි… පිං කොරපං… මතු මතු උපදිනා ආත්මෙං ආත්මෙට පින්කාර පිරිමි ආත්මෙක උත්පාද වෙන්ඩ යැදපං මයෙ අම්මා දෙවි දේවතාවුං වහන්සේලා පය පාමුල…”
ඒ අපේ මුත්තම්මා….
මේ ඒ කතා බතා එක්ක අතරමං වූ කරුමක්කාර රස්තියාදුකාරි….
“ඇයි නින්ද ගියාද…?” යි අනුකම්පා සහගත බැල්මක් හෙලූ මගියා යුහුසුළුව බසයෙන් බැස්සේය. මා මෙන් ගමනාන්තය වරද්දා නොගත් හෙතෙම සොම්නසිනි.
“අනේ මම බහින්න ඕන ටැක් හතරෙ හන්දියෙං…අයියෝ…”
මා දෙස කුහුලින් බලා ඉන්නා කොන්දොස්තර අබියස ළත වූයෙමි.
“අනේ ඇත්තද මිස්… මම ඒත් බැලුවා කීප සැරයක්ම… මිස් පොතක් කියව කියවා හිටපු නිසා කරදර කළේ නෑ.”
“හැබෑද… බොහොම ස්තුතියි කරදර නොකළාට… දැං ඉතිං ආපහු පලයල්ලකෝ තව කිලෝමීටර් දහයක් දොළහක්…”යි සිතුවා විනා මුවින් පිට නොකළෙමි.
“මට ආපහු යන්න බස් එකක් තියෙයිද…?”
“තියෙනවා… ඇයි හතරයි කාලෙ අනුරාධපුර බස් එක…”
“මගෙ දෙයියනේ තව පැය එක හමාරක්… නරකමත් නෑ…”
තව දුර නොයන බසයේ තව දුරටත් රැදී පලක් ඇතෑ…
මා බසයෙන් බැස්සේ සිදු වූ අලකලංචියෙන් වික්ෂිප්ත වෙමිනි.
බස් නැවතුම් පළ වංකගිරියක් බඳුය. ගල්නෑව නව නගරය ඉදි කළ වකවානුවේ තනන ලද්දකි. මගීන්හට හිඳගෙන හිඳින්නට නොව හිටගෙන ඉන්නට හැදූ එකකි.
ඒ පටු හා දිගු උමං මාර්ග රැසක් බඳු නැවතුම්පළෙහි කෙළිදෙලෙන් පසු වන්නට මතු වන ළදරු ආශාව ආයාසයෙන් මැඩ ගතිමි.
මා පසුවන්නේ බරපතළ අසීරුතාවක බව අමතක කළ යුතු නැත.
අන්තිම බස් එක හතරයි කාලට… දැන් තුනයි වෙලාව.. පෙරදා රැයෙහි කෑවාට පස්සෙ තවමත් බත් කටක් කන්නට ලැබුණේ නැත. අපේ රාජ්යය කොතරම් දිළිඳුද යත් ඒ රාජ්යාරාධනාව අනුව පැය ගණනක් ඒ උත්සවයේ තැපලාත් ලද්දේ කෙටි කෑමක් සහ තේ කෝප්පයක් පමණි. ඒ සුළු සංග්රහය ද දරුවෙකුට පිදූ හෙයින් උදරය දැවෙයි. රට කරවන ඇත්තෝ පෙර සේම සුර සැප විඳින අතර සාහිත්ය වැනි වහා තුරන් කළ යුතු වසංගතයක් වෙනුවෙන් සොච්චමක් හැරුණු කොට සරිලන ප්රතිපාදන වෙන් කරන්නට පිස්සුවක් ඇතෑ….!
ආපසු යන්නට ප්රමාණවත් මුදලක් ඇත්දැයි පිරික්සා බැලිය යුතුය. බස් එකක් කියන්නේත් තනිකරම පොළකි. නානා විධ කාරණා කියමින් බසයට ගොඩ වන අපේ ඇත්තන් වෙනුවෙන් විවර වන මගේ පසුම්බිය දැන් රට රකින්නට දිවුරුම් දී රහසේ බිද දැමූ මහ බැංකුව වාගේ දුක්ඛිතය… අසරණ ය.
අත් බෑගය පිරික්සන කල මැල්කම් මචාඩෝ ප්රිය බිරින්දෑ ඉන්දිකා මචාඩෝ වරක් කී කතාවක් සිහිපත් විය.
“අනේ ශාන්ති… ඔයාගෙ හෑන්ඩ් බෑග් එකේ නැත්තෙ මොනවද… නවල් එකක්…. ඉන්හෙලර් එකක්… ධම්ම පදය…. කුරානය…… හරියට සිංහරාජෙ වගේ .. ජෛව විවිධත්වයෙන් අනූනයි…”
ඇයත් මමත් කොතරම් හිනැහුණාද… ඇත්තටම එදා මට කුරාණය තිළිණ කළේ මැල්කම් යුවළමය. ඒ පාස්කු බෝම්බය පුපුරා ගිය සමයයි. කෑගල්ලේ සිට කුරාණයද අත් බෑගයේ රුවාගෙන පොදු ප්රවාහන සේවයේ පිහිට පැතීම සිපිරි ගෙයින් හෝ තාඩන පීඩන වද හිංසාවන්ගෙන් කෙළවර වන්නටද තිබිණ. එසමයෙහි ඉස්ලාම් විරෝධය බුර බුරා ඇවිලුණු බව අමුතුවෙන් කිව යුතු නැත.
“මේ වගේ කාලෙක මේක ගෙනියන්න එපා.. පස්සෙ දවසක අරං යන්න…” යි ඉන්දිකාලා කොතෙක් කියා සිටියද මම “හරි වැඩක්නෙ… මට ධම්ම පදය අරං යන්න පුළුවන් නම් ඇයි කුරාණය හරි බයිබලය හරි අරං යන්න බැරි…?”යි මුරණ්ඩු ලෙස ප්රශ්න කළෙමි.
“හරි හරි… හැබැයි මගදි මොකක් හරි ජංජාලයක් වෙලා අපට එහෙම කෝල් කරනවා නෙවි…” යි ඉන්දිකා තරවටු කළේ ඉඟි මරමිනි. ඉතිං එදා ඒ සා විවිධත්වයෙන් හෙබියා වූ මගේ අත් බෑගයේ කොයි කොතනක හෝ සැඟවුණු මුදල් නෝට්ටුවක් ඇත්දැයි කීප වරක් සොයා බැලුවෙමි.
මුදල් පසුම්බිය ආපසු ගමනට සරිලන මුදල හැරුණු කොට තවත් රුපියල් සියයක් පමණක් සහිතව ”ඇද්ද උඹට… හොඳ වැඩේ… බස් එකට ගොඩ වෙන හැම යාදිනිකාරයාටම සල්ලි බෙදනවට… රුපියල් විස්ස ගානේ දුන්නත් කීයක්ද දහ දෙනෙකුට විතර දුන්නම..”යි නෝක්කඩු කියන්නාක් බඳුය.
ඉතිං දෙයි හාමුදුරුවනේ සැත්කමකට… බඩ ගින්නට… අත පාන අපේ ඇත්තන් අබියස ගහක් ගලක් වාගේ කරබාගෙන ඉන්න පුළුවන් ද පපු කැවුත්තක් තියෙන මනුස්ස පරාණයකට….
දැන් බඩගින්දරේ දැවෙන්නේ මාය.. රුපියල් සීයක් අතැතිව හෝටලයකට ගොඩ වැදුණෙමි. සිහි මූර්ඡා වන්නට බැරි නැතැයි සැකයෙනි. මොනවා හෝ බඩට දාගත යුතුය.. ඒත් රුපියල් සියයකට….?
බත් බුදින පිරිස අතරේ යෝගට් බඳුනකින් සෑහීමකට පත්ව බස් නැවතුම් පළ වෙත ගියෙමි.
“කොහෙද ඉන්නෙ…? එප්පාවල පහු වුණා කියලා හුඟක් වෙලානේ… බස් එක කැඩුණද..?”
ඒ නිල උරුමක්කාරයාගේ ඇමතුමකි.
“අනේ හරි වැඩේනේ… මට බහින්න බැරි වුණානේ… මම දැන් ගල්නෑවේ… අන්තිම බස් එක හතරයි කාලට…” යි මම ඇත්තම කීවෙමි.
“ඇයි…නින්ද ගියාද…?”
“නෑ… පොතක් කියව කියවා ආවා… දැක්කෙ නෑ ටැක් හතරෙ හන්දිය පහු වෙනවා…”
“පිස්සුද මංදා… කළොත් කරන්නෙ මහ මී හරක් වැඩම තමා….”
මම සුවච කීකරු බිරින්දෑවක මෙන් නිහඬව පසු වූයෙමි.
“ මොකක්ද පොත…? සිහිසන් නැතුව ගියේ ඔච්චරටම… යකෝ තමුං බහින තැන බැරි වෙනවද මොන පොතක් කියව කියවා හිටියත්…”
මම දිරිය උපදවා උත්තර දුන්නෙමි.
“ප්රියන්ත ලියනගේ මල්ලිගේ කොට තුවක්කු… ඒක හරි ලස්සනට ලියලා… මට චුට්ටක්වත් දැනුණේ නෑ හන්දියේ බස් එක නවත්තනවා…”
ඉනික්බිති ඇසුණ කටොලු කතා කොතරම් තිත්තද කිව්වොත් මම වහා ඇමතුම විසන්ධි කළෙමි.
“ප්රියන්ත මල්ලි… හරි වැඩේනේ…ඔයාගෙ කොට තුවක්කු හින්දා මම අතරමං වුණානේ… අනේ හරිම අපූරුයි මල්ලිලියේ පොත….මම සම්පූර්ණයෙන් බාහිර ලෝකයට අන්ධ වුණා… බිහිරි වුණා…”
කොට තුවක්කු කතුවර ප්රියන්ත මල්ලිට කිවෙමි.
“ඇත්තටම අක්කේ… මේ තමා මට මගේ පොතට ලැබුණ හොඳම කමෙන්ට් එක… ලස්සනම වැඩේ ඔයා ඔයාට වෙච්ච ඇබැද්දිය කිව්ව එක… වෙන කෙනෙක් නම් ඔහොම කියන්නෙත් නෑ අක්කේ…”
ඔහු සිය කෘතියේ සාර්ථකත්වය අබියස හිනැහුණේය. මම මගේ අතරමං වීම සම්බන්ධයෙන් මටම හිනැහුණෙමි.
ඇයි එතකොට අර පුරුෂාධිපත්යය…?