‘ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් දැනට ප්රධාන මෙහෙයුම් කටයුතු සිදුකරන ජය බහලු පර්යන්තයේ දිග මීටර් 600ක් පමණ වීම නිසා දිග මීටර් 330ක් වූ විශාල ප්රමාණයේ නෞකා 2ක් එකවර හැසිරවීම අපහසුවීම හේතුවෙන් අධිකාරියට ව්යාපාරික අවස්ථාවන් අහිමි වී යන බැවින් එම පර්යන්තය මීටර් 120 කින් දීර්ඝ කිරීමට සහ ගැඹුර මීටර් 15ක් ලෙස නැව්තොට සකස් කිරීමට 2017 ජුලි මාසයේදී අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණි. 2018 නොවැම්බර් 29 දින වරාය අධිකාරිය හා කොන්ත්රාත්කරු සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම අනුව කොන්ත්රාත් පිරිවැය රුපියල් මිලියන 5035 (වැට් රහිත)ක් විය. ගිවිසුම අනුව ගිවිසුම්ගත වී දින 7කට අඩු නොවන දිනකදී කොන්ත්රාත්තුව ආරම්භ කිරීමේ නිවේදනය කොන්ත්රාත්කරු වෙත නිකුත් කළ යුතු වුවද, එයින් වසර දෙකක කාලයකට පසු 2020 නොවැම්බර් 23 දින සංශෝධන සහිතව වැඩ ආරම්භ කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබුණි.
කොන්ත්රාත්තුව පිළිබඳව නැවත සාකච්ඡාවට බඳුන් කර යෝජිත පරිදි වැඩි දියුණු කිරීම සිදු කිරීම සඳහා 2020 සැප්තැම්බර් 29 දිනැති අමාත්ය මණ්ඩල තීරණය යටතේ නැවත අනුමැතිය ලබා ගැනීම මෙම ප්රමාදය සඳහා හේතු වී තිබුණි. සංශෝධනයෙන් පසුව ඉහත කොන්ත්රාත්තුව 2022 ජුලි 23 දින වනවිට නිම කිරීමට අපේක්ෂා කර තිබුණි. 2022 දෙසැම්බර් 31 දිනට මෙම ව්යාපෘතියේ භෞතික ප්රගතිය සියයට 42ක් පමණක් වී තිබුණි.’ මේ ආකාරයට සඳහන් වන්නේ විගණකාධිපතිවරයාගේ 2022 වාර්ෂික වාර්තාවේ ශ්රී ලංකා වරාය අධිකාරිය පිළිබඳව වරාය හා නාවික අමාත්යාංශය යටතේ ප්රමාද වූ ව්යාපෘති යටතේ සඳහන් කරමින්ය.
එම වාර්තාවේ ණය උපයෝජනය නොකිරීම නිසා බැඳීම් ගාස්තු සහ ණය පොළී නිශ්කාර්යව ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, කන්කසන්තුරේ වරාය ප්රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දියානු එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45.27ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ශ්රී ලංකා රජය 2018 ජනවාරි 10 දින ගිවිසුම්ගත වී තිබුණ බවත්, ණය ගිවිසුම අත්සන් කර වසර 5ක් ගතවී තිබුණත් වරායේ ඉදිකිරීම් කටයුතු මෙතෙක් ආරම්භ කර නැති බවත්ය. එසේම ණය මුදලින් ඇමරිකානු ඩොලර් 905,194ක් පමණක් උපයෝජනය කර තිබුණ බව හා රුපියල් මිලියන 12ක මුදලක් ලබා නොගත් ණය සඳහා බැඳීම් ගාස්තු සහ ණය පොළිය ලෙස අනාර්ථිකව ගෙවීමට සිදුවී තිබුණ බවයි.
ගැඹුර මීටර් 14.25ට වැඩි විශාල ප්රමාණයේ නැව් මෙහෙයුම් සිදුකළ හැකි බහලුම් පර්යන්තය වන්නේ කොළඹ දකුණු වරායට අයත් කොළඹ ජාත්යන්තර බහලුම් පර්යන්තය හා නැගෙනහිර බහලුම් පර්යන්තයයි. මීටර් 18ක ගැඹුරෙන් යුතු වූ හා මීටර් 440ක දිගින් යුතු වූ නැගෙනහිර බහලුම් පර්යන්තයේ පළමු අදියර ඉදිකිරීම් කටයුතු 2016 අප්රේල් මාසයේ අවසන් කර තිබේ. ඒ සඳහා ලංකා බැංකුවෙන් අරමුදල් සම්පාදනය කර ඇති අතර ඒ රුපියල් මිලියන 11,168කි. එම පර්යන්තය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි ජය බහලු පර්යන්තය සඳහා මිලදී ගත් දොඹකර 3ක් සවිකර තිබේ. එමෙන්ම එහි මෙහෙයුම් කටයුතුද ආරම්භ කර තිබේ.
තවද 2021 පෙබරවාරි 09 දින අමාත්ය මණ්ඩල තීරණයක් අනුව නැගෙනහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම, මෙහෙයුම් උපකරණ මිලදී ගැනීම වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබාදී ඇත. එහෙත් විශාල ප්රමාණයේ දොඹකර 12ක් හා රේල් පීලි මත මත සවිකර ක්රියාකරන ස්වංක්රීය ගැන්ටි දොඹකර 40ක් ඇමරිකානු ඩොලර් මිලියන 282.56ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට අදාළ ප්රසම්පාදනය ප්රමා වීම හේතුවෙන් එම පර්යන්තයේ ධාරිතාව උපරිමයෙන් උපයෝජනය කිරීමට නොහැකි වී තිබෙන බව විගණකාධිපති සඳහන් කරයි.
ශ්රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වශයෙන් මාගම්පුර වරාය කළමනාකරණ සමාගම සංස්ථාපනය කර තිබෙන අතර කළමනාකරණ ගිවිසුමක් මගින් හම්බන්තොට වරායේ මෙහෙයුම් කළමනාකරණය එම සමාගම වෙත පවරා තිබේ. එම සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්රයක් මගින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවකු ලෙස මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ගබඩා කිරීම සහ ජාත්යන්තර නෞකාවලට ප්රති අපනයනය කිරීම අරමුණු කරගෙන විශාල ලෙස ඉන්ධන ආනයනය කර ඇත. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ වැටීම හේතුවෙන් ඉන්ධන සැපයුම තුළින් සැලකිය යුතු පාඩුවක් එම සමාගමට සිදුවී ඇත.
එමෙන්ම 2014 වර්ෂයේදී එම සමාගම පුද්ගලික බැංකුවකින් ඇමරිකානු ඩොලර් මිලියන 24ක ණය මුදලක් ලබාගෙන ඇති අතර එම ණය මුදල හා පොළිය ලෙස වූ ඇමරිකානු ඩොලර් මිලියන 26.49ක් (රුපියල් මිලියන 9617) ක් 2023 ඔක්තෝබර් 12 දින වනවිටත් පියවා නැත. 2017 නොවැම්බර් සිට එම සමාගම සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති අතර බැංකුව විසින් එම ණය අයකර ගැනීම සඳහා එම සමාගමට හා වරාය අධිකාරියට විරුද්ධව 2020 වර්ෂයේ කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත. 2022 වර්ෂය අවසන් වනවිටද එම නඩු කටයුතු අවසන්ව තිබී නැත.
හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්යාපෘතිය සඳහා ලබාගත් ණය මුදල වෙනුවෙන් වරාය අධිකාරිය විසින් 2017 වර්ෂයේදී ගෙවන ලද වාරික මුදල වන රුපියල් මිලියන 4406ක් හා මුද්දර ගාස්තුව වන රුපියල් මිලියන 372ක් 2023 මැයි 31 දිනය දක්වාම මහා භාණ්ඩාගාරයෙන් වරාය අධිකාරියට ලැබී නැත. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශේෂ සනාථනයක් වරාය අධිකාරිය විසින් කැඳවා තිබුණද, මහා භාණ්ඩාගාරය විසින් එම සනාථන තහවුරු කර නොතිබුණ බවත්, 2022 වර්ෂය සඳහා වන ජනරජ මූල්ය ප්රකාශනවල ගෙවිය යුතු ශේෂ තුළ එම ශේෂය ඇතුළත් කර නොතිබුණ බවත් විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇත. ඒ නිසා එම මුදල ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතින බවද විගණකාධිපතිවරයා සඳහන් කරයි.
එසේම හම්බන්තොට වරාය සංවර්ධන ව්යාපෘතිය යටතේ තෙල් ටැංකි ඉදිකිරීමේ ව්යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලංකා බැංකුවෙන් ලබාගෙන තිබූ ඩොලර් ණය මුදල සඳහා වාරික මුදල් මහා භාණ්ඩාගාරය විසින් නියමිත වේලාවට නොගෙවීම හේතුවෙන් වරාය අධිකාරිය මගින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ඇමරිකානු ඩොලර් ගිණුමෙන් 2018 වර්ෂයේදී ඩොලර් මිලියන 0.64ක් (රුපියල් මිලියන 377.84)ක් බැංකුව විසින් අය කරගෙන තිබෙන අතර එම මුදලද වරාය අධිකාරිය වෙත ලැබීමේ අවිනිශ්චිතතාවක් ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.