No menu items!
20.8 C
Sri Lanka
3 January,2025

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන රනිල් නොදන්නා විගණකාධිපති නිර්දේශ මෙන්න

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත. එම නියෝගය එසේ වෙද්දී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඒ එම අතුරු කමිටුව අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා ඔහුට බලපෑම් කළ බව හා එයට ඔහු අකමැත්ත ප්‍රකාශ කළ බවය. කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සිය කාර්යාලයට ජනාධිපතිවරයා තමාව කැඳවා එම දැනුම් දීම කළ බවත්, එසේ කළ නොහැකි බව තමා පැවසීමෙන් පසු ක්‍රීඩා විෂය ජනාධිපතිවරයා යටතට ලබා ගන්නා බවට තර්ජනය කළ බවත්, ක්‍රීඩා ඇමති ධුරය හෝ ඔහුගෙන් ගත්තාට ප්‍රශ්නයක් නැති බව තමා කී බවත් රොෂාන් රණසිංහ ඇමතිවරයා එහිදී කීවේය.

ඊට අමතරව විපක්ෂයේ ප්‍රශ්න කිරීම් හා අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ ඔහු විසින් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ ක්‍රීඩා පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, සාගල රත්නායක යම් සංශෝධන කිරීම සඳහා ඔහුට බලපෑම් කළත් ඔහු ඒවාට එකඟ නොවූයේ ඒ මගින් ක්‍රිකට් පරිපාලනයට තව තවත් හොරකම් කිරීමට ඉඩ ලැබෙන නිසා බවය.

එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රශ්න කිරීම වූයේ ඇමතිවරුන්ගේ කමිටුවක ප්‍රධානියා වීමට හා එවැනි කමිටුවකට පත්වීමට සාගල රත්නායක සුදුසු වන්නේ කෙසේද යන්න හා ඔහු ඇමතිවරුන්ටත් ඉහළින් සිටින්නෙක්ද යන්නයි. කෙසේ වෙතත් එදින පැවති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීම සහ එම කටයුතු සඳහා පත්කර තිබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු සොයා බැලීම සඳහා ඇමති කමිටුවක් පත්කර තිබේ. ඒ අලි සබ්රි ඇමතිගේ ප්‍රධානත්වයෙන් හා කංචන විජේසේකර, මනූෂ නානායක්කාර හා ටිරාන් අලස් යන ඇමතිවරුන්ගේ සාමාජිකත්වයෙනි. ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කිරීම ගැන ඔහු නොදන්නා බව හා ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළේ නැති බවද ජනාධිපතිවරයා කියා ඇති අතර එම ඇමති කමිටුව ජනාධිපතිවරයා පත්කළේ අතුරු කමිටුව ගැන සොයා බැලීමට නොව ක්‍රිකට් ගැන සොයා බැලීමට බව ඇමති ප්‍රසන්න රණතුංග ඇමති කමිටුවේ කාර්යයන් සාධාරණය කරමින් කියා ඇත.

ක්‍රිකට් අතුරු කමිටුව සඳහා ක්‍රීඩා පනත යටතේ තමාට ඇති බලතල ප්‍රකාරව ඇමති රොෂාන් රණසිංහ පත්කර තිබුණේ අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ හා හිෂාම් ජමාල්ඩීන්ගේ සාමාජිකත්වයෙන් යුතු කමිටුවකි.

2022 පැවති ටී 20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය ආශ්‍රිත විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවෙන් හෙළිදරව් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් හා වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන හෙයින් හා එම නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව, විනිවිදභාවයකින් යුතුව හා විශ්වසනීය ලෙස ඉටු කිරීමට අවකාශ සලසා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවන බවත්, එමෙන්ම එම ආයතනයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය නිසි පරිදි හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා එම අතුරු කමිටුව පත් කරන බවත් ඒ සම්බන්ධ නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සඳහන් කර ඇත.

එම අතුරු කමිටුවට ලබාදී ඇති එක් ප්‍රධාන බලතලයක් වන්නේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සහ එම විගණන වාර්තාවේ සඳහන් දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදුවීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ක්‍රියාමාර්ග සැකසීම යන ඒවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතරම්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ආරක්ෂා කිරීම සඳහා දඟලන්නේ දේශපාලනික වශයෙන් ඔහුට ඇති වාසියක් නිසා මිස යහපාලන කටයුත්තක් සඳහා නොවන බව පැහැදිලිය. මන්ද දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශද කරමින් සිටින්නේ ඒකාධිපති පාලනයක් වන නිසාය. ඒ සඳහා ඔහුට අවශ්‍ය කරන්නේ මොනයම් හෝ ආකාරයකින් ඔහුට සහයෝගය ලබාදෙන පිරිස් මිස ඔහුට එරෙහි වන පිරිස් නොවේ. එක් තරගාවලියක පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමට ඔහුට අවශ්‍ය නම් ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාව කියවීමය.

එම නිර්දේශවලට හේතු වූ එම විශේෂ විගණන වාර්තාවේ ඇතුළත් වූ කරුණු ලිපි දෙකක් මගින් මීට පෙර අප ඉදිරිපත් කර ඇති නිසා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට හේතු වී ඇති 2023 සැප්තැම්බර් 11 දින සහිතව නිකුත් කර ඇති එම විශේෂ විගණන වාර්තාවේ ඇති නිර්දේශ අප මෙසේ පළ කරන්නේ අපගේ පාඨකයන්ගේ දැන ගැනීම සඳහාය. එම නිර්දේශ මෙසේය.

ජාතික නිල සන්නාම සහ ජාතික ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරවීම ප්‍රමුඛ කාර්යයන්හි නිරත ක්‍රීඩා සංගම් එකී කාර්ය ඉටුකිරීමේදී රජය හෝ ජාතිය වෙනුවෙන් භාරය දරමින් කටයුතු කරන සංගම් ලෙස වගකීම් සහ යුතුකම් පැවරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීම,
ක්‍රීඩකයන් සහ නිල කාර්යයන් සඳහා විදේශ ගතවන නිලධාරීන් හා වෙනත් කාර්ය මණ්ඩලවලට ගෙවනු ලබන දීමවා සහ පහසුකම් වෙනුවෙන් රජය හෝ රජය වෙනුවෙන් කටයුතු කරන ක්‍රීඩා සංගම් දරන වැය බර රජයේ සම්මත නිර්නායක හා සීමාවන්ට අනුගත කරවීම,

නිල තත්වයෙන් සලකන විට නිල වශයෙන් විදේශ ගතවන තැනැත්තන් ලෙස සැලකිය නොහැකි පාර්ශවයන් වෙත වීසා බලපත්‍ර ආදිය ලබා ගැනීම සඳහා මැදිහත්වීමෙන් ක්‍රීඩා සංගම් වැළකිය යුතු බව අවධාරණය කිරීම, ගිණුම්ගත කරනු ලබන ආදායම් වියදම් ආදිය විධිමත් අනුමැතියකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි තත්වයන් යටතේ ගිණුම්වලින් ඉවත් නොකිරීම, ක්‍රීඩකයන් නොවන පිරිස් නිල කටයුතු සඳහා විදේශගත වීමේදී තමන්ට අදාල නිලයට හෝ කාර්යභාරයට හිමි දීමනාව නොගෙන එයට වැඩි දීමනාවක් ලැබෙන තත්වයක් යටතේ දීමනා ලබා ගැනීමට ඉඩ ලබා නොදීම සහ හිමිකම් ඇති දිනයන් වෙනුවෙන් පමණක් ගෙවීම් කිරීම,

ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේදී උපරිම වට්ටමක් ලබාගත හැකි පරිදි කල් වේලා ඇතිව එකවර අදාළ සියලු ප්‍රවේශපත් සඳහා විවෘත මිල ගණන් කැඳවීම, මාධ්‍ය ආයතන වෙත ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ලබාදීමේදී මාධ්‍යවේදීන්ගේ කාර්යභාරයද නිශ්චය කරදී විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම සහ එහිදී රාජ්‍ය මාධ්‍ය ආයතනද සලකා බැලීම, බාහිර පාර්ශ්වවලට අදාළ වීසා ගාස්තු නොගෙවීම හා අනවශ්‍ය ලෙස වීසා ගාස්තු ගෙවීම නතර කිරීම. වීසා ලබා ගැනීමේ කාර්යය විනිවිදභාවයකින් යුතුව පැවරීම, පෞද්ගලික හේතු මත ගුවන් ටිකට්පත්හි දිනය වෙනස් කිරීමේදී ගෙවිය යුතු වන අමතර ගාස්තු ක්‍රිකට් ආයතනය විසින් දැරීම නතර කිරීම,

තරග නැරඹීම සඳහා නොමිලේ ලැබෙන ප්‍රවේශපත් ප්‍රමාණවත් නොවන විට ටිකට්පත් ක්‍රීඩා සංගම් විසින් මිලදී ගැනීම හැකිතාක් සීමා කිරීම සහ අදාළ නොවන පාර්ශ්වයන් වෙනුවෙන් එවැනි වියදම් නොදැරීම. ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාණවත් වාර්තා නඩත්තු කිරීම,
ක්‍රීඩනයන්ට හිමි තරග ත්‍යාග මුදල් නිසි පරිදි කාලීනව ලබාදීම සහ ඒ පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම,

විධිමත් හා නිල නියෝග, නිවේදන ආදියට අදාලව කමිටු සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නීති වියදම් දැරීම පාලනය කිරීම,
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා රජයට මූල්‍යමය අවාසියක් වන අයුරින් හෝ කීර්තිනාමයට හානිකර ලෙස ක්‍රියාකර ඇති පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීම,

ක්‍රීඩා විෂයභාර අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නියාමන කටයුතු පුළුල් කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාල ප්‍රාග්ධන මිලදී ගැනීම්වලදී අවිධිමත් ගනුදෙනු හා සිද්ධීන්වලට අදාළ වගකිව යුතු පාර්ශ්වයන් හඳුනාගෙන එයට එරෙහිව පියවර ගැනීම හා විධිමත් ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සහ තරගකාරිත්වය උපරිම වන පරිදි සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීම, ප්‍රසම්පාදන කමිටු අනුමැතිය මත පමණක් මිලදී ගැනීම් කිරීම, ගිණුම්කරණයට අදාළ අභ්‍යන්තර පාලනය ශක්තිමත් කර වගවීම තහවුරු කිරීම,

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය උදෙසා සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය උදෙසා සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කරවීම,
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනවශ්‍ය වියදම් නතර කර සහ හැකි අයුරින් වියදම් අවම කර ප්‍රාදේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පහසුකම් වර්ධනය කිරීම, ප්‍රමාණය ඉක්මවා හෝ අදාළ නොවන ගෙවීම් සිදු නොකිරීම හා එවැනි ගෙවීම් කඩිනමින් ආපසු අයකර ගැනීම,
ගුවන් ප්‍රවේශ පත්‍ර, විදේශීය නවාතැන් පහසුකම්, විදේශ තුළ අභ්‍යන්තර ගුවන් පහසුකම් ආදිය පිළිබඳව උපරිම පිරිමැසුම්කාරිත්වයකින් කටයුතු කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි සහ වෙනත් අවශ්‍යතාවන් සඳහා අදාළම තැනැත්තන් පමණක් සහභාගි කරවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල සන්නාමය භාවිත කර පවත්වනු ලබන ආදායම් රැස්කිරීම් ප්‍රිය සම්භාෂණ ආදියේ ආදායම් වියදම් ක්‍රිකට් ආයතනයේ ගිණුම්ගත කරවීම හා ප්‍රමාණවත් වාර්තා පවත්වාගෙන යෑම, මෙම වාර්තාවෙන් හඳුනාගත් දුර්වල ක්ෂේත්‍ර විධිමත් කිරීම සඳහා රෙගුලාසි පැනවීම හෝ පවතින රෙගුලාසි ශක්තිමත් කිරීම සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරනවාද පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම,
ප්‍රසම්පාදන කටයුතුවලදී පාලක මණ්ඩලයට සිය අභිමතය පරිදි මුළුමනින්ම ප්‍රසම්පාදන රෙගුලාසිවලින් බැහැර වීමට ඇති අවස්ථාව නිශ්චිත සාධාරණීකරණයකට යටත් විය යුතු අතර එලෙස අභිමතය භාවිත කිරීමේ චේතනාවෙන් පූර්ව ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාද නොකළ යුතුය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්/නිලධාරීන් වෙනුවෙන් වැයකර පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අයකර ගනු ලබන මුදල්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරිය යුතු වියදම් මොනවාද යන්න හා ක්‍රීඩකයින්/නිලධාරීන්ගෙන් හෝ අයකර ගත යුතු මොනවාද යන්න පිළිබඳ නිශ්චිතව හඳුන්වා දී එම මුදල් ක්‍රීඩකයින්/නිලධාරීන්ගෙන් අයකර ගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර නිලධාරීන් දැනුවත් කිරීම,
සියලු ජාතික ක්‍රීඩා සංගම්වලට අදාල ලෙස පාර්ලිමේන්තු පාලනය තවදුරටත් ශක්තිමත් වන පරිදි අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබා දිය යුතු බවට සහ කාරක සභා හමුවට කැඳවීමේ හැකියාව ලැබෙන පරිදි ක්‍රීඩා පනතට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම එම නිර්දේශ වේ.

මෙහිදී අවසාන වශයෙන් අවධාරණය කළ යුතු තවත් එක් විශේෂ කරුණක් ද තිබේ. ඒ විගණකාධිපතිවරයාගේ මෙම විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා වාර්තාකරුවන් යැයි කියන මාධ්‍යවේදීන්ද, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතනද දැනෙන ලෙස වාර්තා කිරීම් නොකළ බවයි. ඒ වෙන කිසිවක් නොව තරග සංචාර හා අනෙකුත් පහසුකම් හා වෙළඳ දැන්වීම් මගින් එම මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සන්තර්පණය කර හෝ සන්තර්පණය කරමින් සිටින නිසාය. ජනතාවට නිවැරදි තොරතුරු සැපයිය යුතු මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක් පවා හංගන තත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාව අධිකරණ නියෝග මගින් යෙහෙන් වැජඹීම අරුමයක් නොවේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි