No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

වැටෙන්න නොබී විඳින්න බොමු

Must read

 

 

මත්පැන් අධික මාත‍්‍රාවකින් පානය කිරීම ශරීරයට බරපතළ රෝගී තත්ත්වයන් උදා කළ හැකියි. ලංකාවේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් බදු ගෙවන ජනතාවට දැවැන්ත බරක් වෙමින් ජීවත්වීමටත්, ඇතැම්විට ජීවිතය බොහෝ තරුණ වියේදී අත්හැරීමටත් මත්පැන් අධික මාත‍්‍රාවට මත්පැන් පානය කිරීම හේතුවිය හැකියි.

අනෙක් අතට සීමාව නොදැන මත්පැන් පානය කිරීමෙන් සෞඛ්‍ය බලපෑම් එන්නටත් කලින් සමාජ ජීවිතයටත් ඇතිවෙන්නේ නරක බලපෑමක්. නියම මාත‍්‍රාවෙන් මත්පැන් රසවිඳීම වෙනුවට හිස අඩපණ කරගන්නට උගුර දක්වා මත්පැන් බොන බොහෝ දෙනෙක් අපට සමාජයේදී හමුවෙනවා. අවසානයේදී අධික මත්පැන් බොන අයෙකු අනෙක් පුද්ගලයන්ට කරදරයක් බවටත් පත්වෙනවා.

අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙකුට මත්පැන් වර්ගයකින් ලැබිය හැකි රසය අහිමිවෙනවා. ලොව ඕනෑම මත්පැන් වර්ගයක් තොලගෑමට ගැළපෙන මොහොතක් තිබෙනවා. ගැළපෙන මාත‍්‍රාවක් තිබෙනවා. විඳිය හැකි රසයක් තිබෙනවා. නිසි ප‍්‍රමාණයට පමණක් ගතහොත් ලැබෙන සෞඛ්‍යමය වාසි පවා තිබෙනවා. මේ සටහන ලෝකයේ ජනප‍්‍රියම මත්පැන් වර්ග දහයක් පිළිබඳවයි.

ෂැම්පේන්
ෂැම්පේන් හෙවත් ස්පාර්ක්ලින් වයිට් වයින් කියන්නේ ජයග‍්‍රාහී අවස්ථාවලදී විවෘත කිරීම පිළිබඳ ජනප‍්‍රිය වී ඇති පානයක්. ඒ සම්ප‍්‍රදාය නිසා නිවසකදී වුව ෂැම්පේන් බෝතලයක් විවෘත වෙන්නේ විශේෂ අවස්ථාවලදී. ෂැම්පේන් නිර්මාණය කරන්නේත් මිදිවලින්. ස්පාර්ක්ලින් වයින් යැයි එය හඳුන්වන්නේ එය මිදිවලින් නිර්මාණය කරන පානයක් නිසාත්, එහි ඇති දීප්තිමත් වර්ණය නිසාත්. උතුරු ප‍්‍රංශයේ පෞරාණික ෂැම්පේන් දිස්ත‍්‍රික්කයේ තියෙන ෂැම්පේන් නම් ප‍්‍රදේශයෙහි පමණක්ම නිර්මාණය කරන මත්පැනක් ෂැම්පේන් කියන්නේ.

සකේ
ජපානයේ ජාතික පානය වන සකේවලට සහල් වයින් යැයි ඇතැම් අය කියනවා. බියර්වල සාමාන්‍යයෙන් 5% අඩු ඇල්කොහොල් ප‍්‍රතිශතයක් තියෙනවා. වයින්වල 9% – 16% අතර ඇල්කොහොල් ප‍්‍රතිශතයක් තියෙනවා. සකේවල 20% ක පමණ ඇල්කොහොල් ප‍්‍රතිශතයක් අඩංගු වෙනවා. සකසුකිය ඇතුළුව සකේ පානය කිරීම සඳහා සුදුසු බඳුන් වර්ග පවා තියෙනවා. ජපානයේදී උත්සව අවස්ථාවලදී පාවිච්චියට ගැනුණත් සකේ සුදුසු වන්නේ එවැනි අවස්ථාවලට පමණක් නොවෙයි. අනෙක් ඇල්කොහොල් වර්ගවලට වඩා සකේ පානය කුසට අසීරු නැහැ. හිසරදයක් එන්නේත් නැහැ.

බ‍්‍රැන්ඩි
ආසවනය කරන ලද වයින්වලින් නිර්මාණය කරන බ‍්‍රැන්ඩි සාමාන්‍යයෙන් රාත‍්‍රී ආහාරය සමග පානය කිරීමට සුදුසු බව කියනවා. අතීතයේ සිට බෙහෙත් වර්ග සමග පානය කිරීම සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩි ප‍්‍රසිද්ධයි. බ‍්‍රැන්ඩිවලින් සිරුරේ ෙසෙල ආරක්ෂා කිරීමේ හැකියාව තිබෙන බව කියනවා. නිසි පදමෙන් සහ උසස් ප‍්‍රමිතියෙන් යුතු බ‍්‍රැන්ඩි පානයෙන් මිස ඒ වාසි ලබා ගැනීමේ හැකියාව නැහැ. කෙසේ වෙතත් දකුණු ප‍්‍රංශයේ කොග්නැක් සහ ආර්මානැක් වගේ ප‍්‍රදේශ බ‍්‍රැන්ඩි සඳහා ප‍්‍රසිද්ධයි.

විස්කි
බාර්ලි. ඉරිඟු‍, රයි, තිරිඟු‍ යන ධාන්‍ය වර්ග ආසවනය කිරීමෙන් විස්කි තැනෙනවා. විස්කි නිසි ප‍්‍රමාණය පිළිකාව සමග සටන් කිරීමට පවා උදව් විය හැකියි. සුදු ඕක් ලීයෙන් බෝහෝවිට තැනුණු ලී පීප්පවලින් ලැබෙන විස්කි නිර්මාණය කරනවා. විස්කි වර්ග ලෝකයේ විවිධ රටවල්වල තැනෙනවා. ඒ අර්ථයෙන් එය ජාත්‍යන්තර පානයක්.
ගොයිඩෙලික් හෙවත් අයර්ලත්න ස්කොට්ලන්ත සම්භවයක් ඇති භාෂාවකින් ආ වචනයක් ඉංග‍්‍රීසිකරණය වීමෙන් විස්කි යන වචනය නිර්මාණය වී තිබෙනවා. මුල් වචනයෙහි අරුත ජලය යන්නයි. මත්පැන් ආසවනය කිරීමේ තාක්ෂණය මධ්‍යතන යුගයේ අරාබි ජාතිකයන්ගෙන් මධ්‍යතන යුගයේ ලතින් ජාතිකයන් වෙත හුවමාරු වූ තාක්ෂණයක් බව විශ්වාස කරනවා. 15 වැනි සියවස වෙද්දී මේ තාක්ෂණය අයර්ලන්තය සහ ස්කොට්ලන්තයට එනවා. විස්කි නිර්මාණය වෙන්නේ ඉන් පසුවයි. 1488 දී රජ බවට පත්වූ හතරවැනි ජේම්ස් නම් ස්කොට්ලන්ත රජුට ස්කොට්ලන්ත විස්කි හෙවත් ස්කොච් පිළිබඳව දැඩි රුචියක් තිබුණු බව කියනවා.

මුල් ඇද්දවූ ධාන්‍යවලින් නිර්මාණය කළ විස්කි මෝල්ට් විස්කි ලෙස හඳුන්වනවා. ගේ‍්‍රන් විස්කියැයි කියන්නේ එසේ නොවන විස්කි වර්ග. සිංගල් මෝල්ට්, බ්ලෙන්ඩඞ් මෝල්ට්, බ්ලෙන්ඩඞ්, සිංගල් කාස්ක් ආදි ලෙස විස්කි වර්ග රැුසක්ද තිබෙනවා.

ස්කොච් විස්කි යනු දෙවතාවකට වඩා ආසවනය කළ විස්කි. ඇතැම් විස්කි වර්ග කිහිපවතාවක්ම ආසවනය කරනවා. විසිවතාවක් දක්වා වුව විස්කි ආසවනය කළ හැකියි. ස්කොච් ලේබලයෙන් එන විස්කි වර්ගයක් නම් ස්කොට්ලන්තයෙන් එන, වසර තුනක්වත් පීප්පයක කල් තැබූ විස්කි විය යුතුයි.

ජින්
නිසි පදමට ජින් පානය කිරීම දියවැඩියාව අඩු කරන්නටත් බලපාන බව කියනවා. මෙය ‘ජුනිපර් බෙරි’වලින් තැනෙන පානයක්. ජුනිපර් බෙරි යනු අතීතයේදී ස්වාභාවික ඖෂධයක් ලෙස පාවිච්චි කළ ඵල වර්ගයක්. ඕලන්දයේ ජෙනෙවර් නම් මත්පැන් වර්ගය ඇසුරෙන් ජින් නිර්මාණය වී තිබෙනවා. 1672 දී විලියම් ද ඔරේන්ජ් කුමාරයා බි‍්‍රතාන්‍යයේ රජු බවට පත්වූ කාලයේදී එංගලන්තයේ ජින් ප‍්‍රකට වී තිබෙනවා. එංගලන්තය විසින් ජින් ලෝකය පුරා ප‍්‍රචලිත කර තිබෙනවා.

ටිකිලා
ලොව සැර අධිකම මත්පැන් වර්ගයක් ලෙස ටිකිලා සැලකෙනවා. 31% සිට 51% දක්වා මත්පැන් ප‍්‍රතිශතයක් ටිකීලාවල තිබිය හැකියි. උතුරු මෙක්සිකෝවේ ටිකිලා නම් නගරයෙන් ටිකීලා එනවා. මෙක්සිකෝවට විශාල ආදායමක් ලබාදෙමින් මෙක්සිකෝවේ වැවෙන නීල අගාවේ හෙවත් ටිකිලා අගාවේ නම් ශාකය ඇසුරෙන් ටිකීලා නිර්මාණය වෙනවා. 16 වැනි සියවසේදී ටිකීලා නගරය ආශ‍්‍රිතව ටිකීලා නිෂ්පාදනය ආරම්භ වී තිබුණත් 17 වැනි සියවස පමණ වෙන තෙක් ටිකිලා නිෂ්පාදනය වී තිබුණේ නැහැ. 1600 පමණ කාලයේදී පෙද්රෝ සැන්චේස් නමැත්තා විසින් ටිකීලා දැවැන්ත ලෙස නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබුණා. ස්පාඤ්ඤයේ යටත් විජිතයක් ලෙස තිබුණු මෙක්සිකෝවෙහි ටිකීලා නිෂ්පාදනය කිරීම සඳහා බලපත් ලබාදීමත් ඒ කාලයේදී සිදුවුණා. දෙහි සහ ලූ‍ණු සමග ඉතාම පුංචි ප‍්‍රමාණයක් ටිකිලා පානය කළ යුතුයි.

රම්
නැවියන් සහ මුහුදු මංකොල්ලකරුවන් අතර ප‍්‍රකට පානයක් ලෙස රම් සැලකෙනවා. කැලරි සීයක් පමණ දහනය රන්න රම් අවුන්ස එකහමාරකට හැකි බව කියනවා. උක් පල් කිරීමෙන් හෝ ආසවනය කිරීමෙන් නිෂ්පාදනය කරන පානයක්. බොහෝවිට කැරිබියන් රටවල රම් නිෂ්පාදනය කෙරෙනවා.

වොඞ්කා
රුසියාවට ආදරය කරන පුද්ගලයෙක් රුසියානු මහා සාහිත්‍ය, රුසියානු විප්ලවය මෙන්ම වොඞ්කා රසයටද එක සේ ආදරය කරනවා විය හැකියි. කෙසේ වෙතත් දැන් වොඞ්කා තැනෙන්නේ රුසියාවේ පමණක් නොවෙයි. 1950 පමණ කාලයේදී ලොව පුරා වොඞ්කා වෙළඳපොල ස්වීඩනයේ ඇබ්සලියුට් ආයතනය විසින්ද අල්ලාගෙන තිබෙනවා. ලංකාවේද ඇතුළුව ලොව බොහෝ රටවල වොඞ්කා නිෂ්පාදනය කෙරෙනවා. ලංකාවේ මෙන්ම තවත් බොහෝ තැන්වල වොඞ්කා පානය කරද්දී දොඩම් යුෂ වැනි පලතුරු රසැති බීම වර්ගයක් සමඟ පානය කෙරෙනවා. ඒ ලංකාවේ මත්පැන් පානයේදී ප‍්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමේ සාමාන්‍ය පුරුද්ද නිසා විය හැකියි. එහෙත් කිසිවක් මිශ‍්‍ර නොකර පානය කරන බීම වර්ගයක් ලෙස වොඞ්කා සැලකෙනවා. වොඞ්කා සාමාන්‍යයෙන් මිශ‍්‍ර කෙරෙන්නේ බ්ලඞී මේරි, සී බී‍්‍රස්, කැන්ගරූ, වයිට් රෂියන් ආදි ලොව ප‍්‍රකට කොක්ටේල් වර්ගවලදී පමණයි.

බියර්
ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් 8.8% ක ඇල්කොහොල් ප‍්‍රතිශතයක් ඇතුළත් වුණත් සාමාන්‍යයෙන් බියර් 5%ට අඩු ඇල්කොහොල් වර්ගයක් ලෙස සැලකෙනවා. එය සිරුරේ මත් ගතිය වැඩි කිරීම වෙනුවට පිපාසය සමග පානය කරන මත්පැනක් ලෙස සැලකෙනවා. සහල්වලින් පෙරාගන්නා මත්පැනක් වන බියර්, බොහෝ දෙනෙක් පානය කරන පළමු මත්පැන් වර්ගය වෙනවා.

වයින්
මත්පැනක් ලෙස වයින් තරම් ගෞරවය ලැබූ තවත් පානයක් නැහැ. පැරණිම පානයක් ලෙසත් වයින් සැලකිය හැකියි. සෞඛ්‍යයට අඩුම හානියක් ඇති මත්පැන් වර්ගයක් ලෙස වයින් පිළිගන්නට පුළු‍වන්. ඒ නිසා අලූ‍ත් මත්පැන් වර්ග මොන තරම් ආවත් වයින් ඉහළින්ම පවතිනු ඇතැයි විශ්වාස කළ හැකියි. සාමාන්‍යයෙන් වයින්වල ඇල්කොහොල් ප‍්‍රතිශතය 5.5% සිට 15.5% පමණ දක්වා වෙනවා. ක‍්‍රි.පූ. යුගය දක්වා මිදිවලින් තැනෙන මේ පානය ඇදී යනවා. වයින් පිළිබඳව ඉතිහාසයේ මුල්ම සලකුණු ඇත්තේ ක‍්‍රි.පූ. 6000 තරම් අතීතයේ ජෝර්ජියාවෙන්. ඉන්පසුව ක‍්‍රි.පූ. 5000 පමණ ඉරානයෙන්. මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය තරම්ම වයින් පානය පැරණි බව විශ්වාස කළ හැකියි.
මේ බොහෝ මත්වැන් වර්ගවල යහපත් ලක්ෂණ පෙන්වාදුන්නත් ඒ ලක්ෂණ සහිත මත්පැන් වර්ග පානය කළ හැක්කේ ඉහළ ප‍්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කළ මත්පැන් වර්ග පානය කළහොත් පමණයි. ලංකාවේ මත්පැන්වලට අධික බදු පැනවීමේ පුරුද්ද නිසා සාමාන්‍ය ජනතාවට බොන්නට සිදුවෙන්නේ ප‍්‍රමිතියක් නැති මත්පැන් වර්ග. එවැනි මත්පැන් වර්ග කුමන ප‍්‍රමාණයක් පානය කළත් සිරුරට යහපත් නොවෙන බව කිවයුතුයි.

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි