No menu items!
20.2 C
Sri Lanka
25 November,2024

ඇඩිෂම් වෙස් ගත් දඹදෙණියේ බංගලාව

Must read

■ නිශානි සවින්දිකා රාජපක්ෂ

රට තුළ සොඳුරු තැන් සොයා ගමනෙහි යෙදෙන ලාංකිකයෝ අඩුවක් නැත. විදේශිකයන්ගේ අඩුවක්ද නැත. කොරෝනා වසංගතය සහ අද පවතින අසීරු කාලය නොවේ නම්, අප්‍රේල්-මැයි මාසවල හෙවත් වසරේ වසන්ත සමයේදී මිනිස්සු බොහෝ දෙනෙක් ජීවිතයේ මිහිර සොයා විවිධ තැන්වලට යති.


ඒ යන එනවුන්ගේ අවධානය දිනාගත් ප්‍රසිද්ධ තැනකි හපුතලේ ඇඩිෂම් බංගලාව. එහි විචිත්‍රත්වය ගැන අමුතුවෙන් ලියන්නට කියන්නට දෙයක් නැත. ගමනෙහි යෙදෙන බොහෝ දෙනා ඇඩිෂම් බංගලාවේ අද්භූත ගම්භිරත්වයත්, එහි රමණීය පරිසරයත්, ඉන් ඔබ්බේ පෙනෙන මානයේ ඇති කඳුපෙළෙන් ගැවසුණු විසල් ලෝකයත් රසවිඳ හුරු පුරුදුය.


මේ කියන්නට යන්නේ තවත් ඇඩිෂම් බංගලාවක් ගැනය. නමින් ඇඩිෂම් නොවුණත්, මේ බංගලාව සහ ඒ බංගලාව අතර බැලූ බැල්මට සමහර සමානකම් පවතියි. විශේසත්වය නම්, මේ රමණීය බංගලාව ඇත්තේ වයඹ පළාතේ වීමය. බස්නාහිරට මායිම්ව වීමය. හරියටම කිව්වොත් දඹදෙණියේය.


කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන් කරනා මාර්ගයේ (කොළඹ 5) කිලෝමීටර 90ක් පමණ කුරුණෑගල දෙසට පැමිණෙන්නෙකුට දඹදෙණිය නගරය හමු වේ. එතැන් සිට දඹදෙණිය- කුලියාපිටිය මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ ගමන් කරනා විටදී ආඬිගම ගොවිපල හමුවෙයි. මේ සුන්දර බංගලාව ඇත්තේ එහිය. මෙම මනරම් පරිසරය විවිධ දේශගුණික සහ භූවිෂමතා ලක්ෂණවලින් අනූන ය. පිරිවරාගෙන සිටින කඳු පන්ති සහ තැනිතලා භූමි ප්‍රදේශ නිසා මෙහි අලංකාරය දෙගුණ තෙගුණ වෙයි. දඹදෙණිය ප්‍රදේශයටම අනන්‍ය වූ භූගෝලීය පිහිටීම මෙම ස්ථානයට හිමිව තිබීම තවත් එක් විශේෂත්වයකි. එහි තැනිතලා භූමියක දකින්නට ඇත්තේ උසින් වැඩි කඳු පංතියකි.


අක්කර 600ක් තරම් විශාල භූමි ප්‍රමාණයක් ආඬිගම ගොවිපල සතුය. දඹදෙණිය-කුලියාපිටිය මාර්ගයේ 4 වන කිලෝමීටරය දක්වා පැමිණෙන විටදී ගොවිපලේ ආරම්භය දැකගත හැකි වන්නේ මාර්ගය දෙපස ඇති වැටමාර ගස්වලින් සැකසූ වැටක් පාර දෙපස පෙනෙන නොපෙනෙන දුරක් දක්වා සිටුවා ඇති නිසාවෙනි. ආඬිගම බංගලාව දක්වා ඇති පාර දෙපස රෝස පැහැයෙන් යුක්ත වැටමාර මල් පාරට බරවී පිපී තිබෙන විට සුරංගනා ලෝකයක් බඳුය. තාර පාරට මල් වැටීම නිසා රෝස පැහැයෙන් පලසක් එලුවාට සමානය. වැටමාර මල් පිපී පවතින කාලයේ ගමන් කරන්නෙකුට නිතැතින්ම සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ පොතේ කියැවෙන සකුරා මල් ගැන මතක් නොවුණොත් පුදුමයක් වනු ඇත්තේය.


ආඬිගම බංගලාව පිහිටුවා තිබෙන්නේ කඳු පන්තියක උසම කඳු මුදුනේය. අතිවිශාල පරිවාර භූමිය නිසා බංගලාව අවට ප්‍රදේශයේ පවතින්නේ නිරාමිස නිස්කලංකභාවයකි. ඒ නිස්කලංකත්වය මත නැගී සිටින බංගලාව ගාම්භීරය. එ


බංගලාවට ප්‍රවිෂ්ට වන මාර්ගය දෙපස විශාල රතු පැහැති මල් පිපෙනා මැයි ගස් පෙළකි. මල් පිපෙන කාලය වන විට මෙහි ඇති සුන්දරත්වය විස්තර කරන්නට වුවමනාවක් නැත. බංගලාවේ අලංකාරය සඳහා ශීත දේශගුණයකදී වැවෙන ශාකවලට මුල් තැනක් ලබා දී ඇති අතර ගෙමිදුල රෝස, ඩේලියා, උඩවැඩියා යනාදි මල්වලින් අලංකාර කර තිබේ.


බංගලාවට ප්‍රවිෂ්ඨ වීම සඳහා මාර්ග දෙකකි. ඉන් එකක් තනි රේඛාවක් ලෙසින් ඉහළට ඉදි කර ඇති ගල් පඩි පෙළකි. එය කෙලින්ම දිව යන්නේ බංගලාවේ ඉදිරිපස මිදුල වෙතයි. අනෙක් මාර්ගය බංගලා කන්ද වටා කරකැවෙමින් බංගලාවේ මිදුලට යන අතර වාහනයක ගමන් කරන්නන්ගේ පහසුවට මේ මාර්ගය මෑතකදී පිළිසකර කර තිබේ.


බංගලාවත් වත්තත් හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා පශු සම්පත් මණ්ඩලයටය. ඇඩිෂම් බංගලාව මෙන්ම ආඬිගම බංගලාවද සංචාරකයන්ට නැරඹිය හැකිය.


ඇඩිෂම් බංගලාව මෙන්ම ආඬිගම බංගලාවත් ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද්දකි. බංගලාවේ ඇතුළාන්තය ඇඩිෂම් බංගලාවට බොහෝ සෙයින් සමානකම් පෙන්වයි. ඇඩිෂම් මෙන්ම මේ බංගලාවේද බිත්ති කළුගලින් නිමවා තිබේ. ගොඩනැගිල්ල වඩා ගාම්භීරත්වයෙන් ඈතට දිස්වෙන්නේ මේ කළුගල් බිත්ති නිසාය.


බංගලාව මහල් දෙකකින් යුක්තය. ඇතුළත සාල කිහිපයකි. පහළ මහලේ සාලයේ ගිනි මැලයක් දැල්විය හැකි පරිදි සැකසූ උදුනකි. එය බංගලාවේ උණුසුම පවත්වාගැනීම සඳහාය. කාමර 3 කින් යුක්ත බංගලාවේ ඒ ඒ කාමරය එකිනෙකට වෙනස් වර්ණවලින් පිරියම් කර තිබේ. කොළ, නිල්, රෝස එම වර්ණයන් ය. ඒ බි්‍රතාන්‍ය පාලන සමයේ පරිපාලන කාර්යයේ පහසුව පිණිසයැයි කියනු ලැබේ.


බංගලාවේ පවතින ගෘහ භාණ්ඩ සියල්ලක්ම පාහේ ඉංග්‍රීසි පාලන සමයේ භාවිත කළ ඒවා ය. පැරණි වටිනාමක් ඒ ඔස්සේ බංගලාවට හිමි වී තිබේ. බංගලාවේ පියස්ස සඳහා භාවිත කර ඇති උළු විශේෂය ද දැවයෙන් සකසන ලද ඒවාය. ඒවා එංගලන්තයේ නිෂ්පාදනය කරන ලද උළු විශේෂයකි. බංගලාව තුළින්ම ඉහළට එසවුණු කුලුනක් තිබේ. කුලුන මත සඳළු තලයකි. එහි නැගුණු විට අවට ඇති වටපිටාවම මනස්කාන්ත අයුරින් දිස්වෙයි. එක් පසකින් කොළඹ වරායයි. අනෙක් පසෙකින් කටුනායක ගුවන්තොටුපලයි. ඒවා පෙනෙන තරම් උස් වූ භූමියක බංගලාව පිහිටා තිබේ. වහලයේ ලීවලින් සැකසූ උළු, කළු පැහැයෙන් වර්ණවත් කර ඇත.

ගොඩනැගිල්ලේ පින්තාරු කර ඇති තැඹිලි පැහැය එහි අලංකාරත්වය වැඩි කරයි. මෙය ඈත සිට බංගලාව දෙස බලන ඕනෑම කෙනෙකුගේ නෙත් වශී කරන දර්ශනයකි.


බංගලාවේ පොළොව මත ලී අතුරා දිළිසෙන ආකාරයෙන් මැද තිබේ. ඇඩිෂම් බංගලාවේ ලෙසින්ම තැබෑරුමක් සඳහා වෙන් වූ අංගණයක් ද ලීයෙන් තැනූ බීර බැරලයක් ද පවතී.


බංගලාවේ සිට දඹදෙණිය දෙසට මීටර් 500ක් පමණ දුරින් ආඬිගම ගොවිපලේ තවත් අලංකාර ස්ථානයක් පිහිටා තිබේ. මෙය ස්වභාව සෞන්දර්යෙන් අනූන වූවකි. පෙනෙන නොපෙනෙන තරම් දුරක් වන පොල් රුප්පාවකි. කිසිවෙකු නොසිතන පරිද්දෙන් ඒ මැද රබර් වනයකි. පොල් රුප්පාව මැදින් වැටුණු කුඩා පාරක් දිගේ ඉදිරියට යන විට රබර් ගස්වලින් පිරි භූමියක් හමුවෙයි. ඊට එපිටින් පිහිටි කඳු මුදුනේ අට්ටාල කිහිපයක් ඉදිකර ඇත. එම ස්ථානයට අවට ප්‍රදේශය අලංකාරව පෙනෙන අතර තදින් හමනා සුළං පහරක් පැමිණ කඳු මුදුනේ හැපෙන විට සංචාරකයන්ගේ ගත සිත අමුතු හැඟීමකින් ප්‍රබෝධවත් කරයි. සීතල පැතිරුණ කඳු මුදුන සැන්දෑ වන විට මීදුමෙන් වසා ගැනෙයි.


උසින් පිහිටා තිබෙන භූමියත්, ගහකොළින් වට වූ පරිසරයත් නිසා ස්වභාවයෙන්ම මෙහි ඇත්තේ සීතල දේශගුණයකි. උදෑසන සහ සවස් කාලයේදී කඳු පන්තිය මිහිදුමෙන් වසාගැනෙන අතර ඇතැම් දවසකදී මහ සයුරේ හිරු ගිලී යන දර්ශනයද දැකගත හැකිය. එය විරලව හිමිවන අවස්ථාවකි. දහවල් කාලයේදී තරමක් තදින් හිරු එළිය පතිත උවත් දැඩිව පවතින සුළං තත්වය නිසා ශරීරයට අපහසුවක් ඇති නොවේ.


ආඬිගම ගොවිපලේ බංගලාව තවමත් බොහෝ නෙත් නොගැටුණ තවත් එක් සොඳුරු බිමකි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි