■ සංජීවනී රූපසිංහ
කුඩා කාලයේදී තාත්තා ගෝල්ෆේස් යමු යැයි කියද්දී මට දැනෙන සතුට නිම් හිම් නැති වෙයි. හැම වෙසක් එකටම කොළඹ පුරා වෙසක් බලා අවසන අප යන්නේ ගෝල්ෆේස් පිටියට හෙවත් ගාලුමුවදොර පිටියටය. වෙසක් එනතුරු මා එකල මාස දොළහක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ වෙසක් බැලීමටත් වඩා රැල්ල පාගන්නට තිබූ ආසාවටය. රාත්රියේ සෙනඟ පිරුණු නගර දිගේ ඔහේ ඇවිදින්නට මම කවදත් ප්රිය කරමි.
ඉන්දියාවේදී රාත්රී කාලවල සෙනඟ පිරුණු නන්නාඳුනනා නගර දිගේ ඔහේ අරමුණකින් තොරව ඇවිද යාම මහත් ප්රීතියක් ගෙන දෙන්නකි. අවශ්ය කරන්නේ ආපසු එන්නට පාර මතක තබා ගැනීම පමණි.
වෙසක්වලින් තොරව ද ඒ කාලයේ ඉඳ හිට තාත්තා ගෝල්ෆේස් යමු යැයි කියන දවස් ඇත. රාත්රිය, අයිස් ක්රීම්, මා වඩාගෙන දුවන්නට හදන සීත සුළඟ, සරුංගල්, රැල්ල පෑගීම, ඉස්සෝ වඩේ, අන්නාසි අච්චාරු යනාදි දේ සමඟ මා කුඩා කාලයේ ගාලුමුවදොර පිටියේ අත්විඳි සුන්දරත්වය ජීවිතේ ඕනෑම කාලයක යළි අත්විඳින්නට මම ආසා කරමි. ඇඳන් ඉන්න ඇඳුම් පිටින්ම ඕනෑම මුහුදු වෙරළකට පැන නටන්නට මට හැකියාවක් ඇත්තේ යළි මගේ ළමා කාලයේ සැරිසරන්නට මට ඇති අසීමිත ආශාව නිසාමය. මගේ සැමියා වැඩිපුරම බිය වන්නේ මා මුහුදු වෙරළක් දකිනවාටය.
“ඔයාට උන්හිටි තැන් අමතක වෙනවානේ මූදක් දැක්කාම” ඔහු කියයි.
ලංකාව වටේ ඇති මුහුදේ සෑම තැනක්ම පාහේ මගේ දෙපාවලට හුරු පුරුදුය. දැන් මා අත්විඳින්නට ආසා කරන්නේ ඉන්දියාවේ වෙරළේ සුන්දරත්වයයි. එහෙත් ලංකාවේදී මෙන් ඉන්දියාවේ මුහුදට පැන නටන්නට මට දිරියක් නැත. මන්ද යත්, පිටුපසින් මා දෙස බලා සිටින්නට කිසිවෙකු නැති බව මා දන්නා නිසාය. දැන් ඇති එන්න යැයි දහස්වර අඬගසන්නට කෙනෙක් නැත. මුහුදු වෙරළක සුන්දරත්වය සමඟ අසීමිත සෞන්දර්යෙන් මා මනස පිරී යද්දී හිත ගල් කරන් බලන් ඉන්නට මට සිදුවෙයි.
චෙන්නායි මරීනා මුහුදු වෙරළ තෙරක් නැතිව පෙනෙන අතිශය ජනාකීර්ණ මුහුදු වෙරළකි. මදුරාසි මරීනා හෝ මැරිනා මුහුදු වෙරළ ලෙස ද හඳුන්වන මෙම වෙරළ එක දිගට පෙනෙන දිගුම මුහුදු වෙරළ අතර දෙවැන්නයි. එය කිලෝමීටර් දහතුනක දිගින් යුතු වෙයි. දිවා කාලයේ නම් සිහින් වැල්ලේ අඩි තැබිය නොහැක. පතුල් පිලිස්සී යයි. සවස් කාලයක දී පවා මම එයින් පතුල් පුළුස්සා ගතිමි. කෙතරම් වේගයෙන් දිව්වත් පතුල් පිළිස්සෙයි. අඩිය වැල්ලේ ගැඹුරේ ගිලෙයි.
මරීනා මුහුදු වෙරළේදී සිහි ගන්වන්නේම ගාලු මුවදොර පිටියයි. මරීනා මුහුදු වෙරළේ කිලෝමීටර් හයක් පමණ එක දිගට ඇති සක්මන් මලුව හා ජනාකීර්ණබව අතින් එය ගාලුමුවදොර පිටියට සමාන වේ. මරීනා මුහුදු වෙරළ තරම් ගොල් ෆේස් පිටිය දිගු නැතත් කුඩා කල අපට එය පෙනෙන්නේ කිලෝමීටර් සිය ගණනක් දිගුවන ආකාරයෙනි. එකල අපේ ලෝකය පොඩිය. එවන් මුහුදු වෙරළක් අති විශාල දිගින් යුතු වේ යැයි අපට සිතේ. අර තරම් දිගු මුහුදු වෙරළක් අද දකිද්දී ද අපට අප කුඩා කල දුටු දිගුම දිගු යැයි සිතූ මුහුදු වෙරළම සිහි වන්නේ එහෙයිනි. ඒවා අහසයි පොළොවයි මෙන් වෙනස් යැයි අද සිතුණ ද සුන්දරත්වය අතින් නම් දෙතැනක තබා සිතන්නට කොහොමවත් බැරිය.
පාලු මුහුදු වෙරළක ඇති නිස්කලංක සුන්දරත්වයත් ජනාකීර්ණ මුහුදු වෙරළක ඇති කලබලයත් දෙකේම මොකද්දෝ අමුතු සුන්දරත්වයක් ඇත. ඒ දෙයාකාරයටම මම දෙවිදිහකට කැමති වෙමි. මරීනා මුහුදු තීරයේ සූ ගාලා සෙනඟ යැයි කිව හැකි තරම් එය ජනාකීර්ණය. නෑමත් පිහිනීමත් එහි තහනම් වෙයි. මන්ද යත් මුහුදු පතුලේ යටින් ඇති භයානක දියවැල් නිසාය. මගේ රියැදුරා බැගෑපත්ව මට කීවේ අඩුම තරමින් රැල්ල පාගන්නවත් එපා යනුවෙනි.
“මෙතන භයානක දිය සුළි තියනවා. එකපාර මිනිස්සු සිය ගණන් ගහගෙන යනවා. ඒකයි මුහුදට බහින්න තහනම් කරලා තියෙන්නේ”
“නාන්න ලෝකේ තියන භයානකම මුහුදු වෙරළ මෙතන”
“මුහුදු පතුලේ සුළි විතරක් නෙමෙයි ගල් වේගයෙන් කැරකෙමින් තියෙන්නේ. මිනිසුන්ව ගිල ගන්නවා විතරක් නෙමෙයි ඒ ගල් වැදිලා ක්ෂණිව මැරෙනවා.”
“මේ කිට්ටුව ගිලුණු නැවක් තියනවා. ඒකේ ගිහින් වැදිලා මැරෙනවා”
“මේ හරියේ මුහුද හරි ගැඹුරුයි මැඩම් බහින්න නම් හිතන්නවත් එපා”
මේ මුහුදු තීරයට එනතුරුම රියැදුරා මා බිය ගැන්වූයේ එසේය.
එහෙත් රැල්ල නොපාගන යන වෙරළකින් ඇති ඵලය කුමක්ද? මං මුහුදට පැන දණහිසට ඉහළින් රැල්ල ගසා යන්නට ඉඩ දෙන තරමේ මුහුදු සීමාව පසු කළෙමි. එහෙත් ඉන් එහාට යන්න බයය. මා මුහුදේ ගසා ගෙන ගියහොත් බේරා ගන්නට කෙනෙක් නැත. මගේ තෙත ඇඳුම් නිසා කාර් එකේ සීට් තෙත්වනවාට මගේ රියේ රියැදුරු මහතා කැමති නැත. අනෙක් අතට රියැදුරා කිව් කතා මගේ හිතේ රැව් දෙයි. ඒවායින් ටිකක් හෝ ඇත්ත විය යුතුය.
මෙම මුහුදු වෙරළේ විශේෂත්වය නම් ඉතා අඩු මිලට ලංකාවේ යහළුවන්ට දීමට මෙම ස්ථානයෙන් බොහෝ සුන්දර තෑගි මිලට ගත හැකි වීමයි. ඇඳුම් ද කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩුද මෙහි ඉතා ලාභය. වර්ණවත් බෙල්ලන් කපා සාදන ලද සුන්දර යතුරු රඳවනයක් ඉන්දියන් රුපියල් දහයක් වැනි අඩු මිලට මෙම මුහුදු වෙරළෙන් ලබා ගත හැකිය.
මෙම වෙරළ තීරයේ ඉන්දියාවේ වීරයන්ගේ පිළිරූ තබා ඇත. ඒ අතර මහත්මා ගාන්ධි පිළිරුව, සුභාෂ් චන්ද්රබෝස් පිළිරුව, කන්නගී පිළිරුව, ස්වාමි විවේකානන්ද පිළිරුව, ඇනී බෙසන්ට් පිළිරුව ආදිය, අප දන්නා කියන උදවියගේය. ඒවා දැකීමෙන් අප යළිදු අතීතයේ සක්මන් කරන්නට යාම නැවැත්විය නොහැකිය.
මරීනා මුහුදු වෙරළේ විවිධ කෑම වර්ග පන්සීයයකට වඩා ඇතැයි මට සිතෙයි. අච්චාරු වර්ග ක්ෂණික නූඩ්ල්ස් වර්ග, වඩේ, මෙන්ම විවිධ නම් නොදන්නා ඉන්දියානු කෑම වර්ග සිය ගණනකි. විශාල තෙල් තාච්චි තබා ගනිමින් ඒවා එවෙලේ තෙලෙහි දමා බැද දෙයි. මම සම්බාරු සමඟ වඩේ ද අන්නාසි අච්චාරු ද මිලට ගතිමි. අච්චාරු කමින් හිමිහිට ඉර බහින තුරු වෙරළේ ඈතට ඈතට හුදකලාව ඇවිද යාම සොඳුරු අත්දැකීමකි. ඉර ගිලෙන්නේ ලංකාව දෙසිනි. මගේ රට ඇත්තේ ඒ පැත්තේ යැයි සිතන විට හදවත පිම්බෙන අමුතු හැඟිමක් එයි. ඉර ගිලුණාට පසුව මරීනා මුහුදු වෙරළේ සුන්දරත්වය අත්විඳිය යුතුමය. මම ඒ වෙනුවෙන් බලා සිටිමි. තවත් ක්ෂණික නූඩ්ල්ස් කෝප්පයක් ගෙන කෑවේ මා එන්නට පෙර මගේ මිතුර මිතුරියන් දුන් අවවාද සිහි කරමිනි.
“පාරේ තියන දේවල් කන්න එපා. බඩේ අමාරු හැදෙනවා. හොඳ තැන්වලින් විතරක් කන්න.” එහෙත් එසේ කරන්නේ කෙසේද? මේ වෙරළ අත්විඳින්නට නම් මේ කුඩා කඩවල ඇති අනන්ත අප්රමාණ කෑම ජාතිවලින් දෙක තුනකවත් රස බැලිය යුතුමය.
මෝසම් වැසි කාලයට මරීනා මුහුදු වෙරළට සුදු වළාකුළු ගොඩ ගසනවාලු. ඒවා වළාකුළු නොව රැල්ලත් සමඟ වෙරළට ගොඩ ගසන පෙණය. එවිට මෙම වෙරළ කිරි සයුරක් සේ දිස්වනවාලු. එහෙත් මේ පෙණ ශරීරයට මත්සයින්ට විෂ සාගර දූෂක නිසා ඇති වන බව කියැවේ. මේ පෙණ සෑදෙන්නේ රෙදි සෝදන කුඩු සහ ඩිටජන්ට් වර්ග මුසු වීමෙන් යැයි කියවේ. මරීනා වෙරළට කිරි සයුරක් ඕනෑ නැත. මේ සුන්දර වෙරළ තීරය රැක ගත හොත් ඒ හොඳටම සෑහේය. ඉන්දීය සාගරයට මුහුණලා ඇති නැගෙහිර වෙරළෙන් නික්මී ආරාබි මුහුදට මුහුණලා ඇති බටහිර වෙරළට ලබන අපි සතියේ යමු.■ (ලබන සතියට)