No menu items!
21.5 C
Sri Lanka
30 December,2024

විශේෂවේදී උපාධියට විලාසිතා මුසුව
චමත් මාලින්ද

Must read

■ ඇන්තනී වෙරංග පුෂ්පික

චමත් මාලින්දට 2021 නෙක්ස්ට් මොඩෙල් ප්‍රිමියර් (sri lanka’s next top model premiere) නිරූපණ තරගාවලියේ පිරිමි අංශයෙන් දෙවන ස්ථානයත් එම තරගාවලියෙම most popular අංශයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පියා විදිහටත් ජයග්‍රණය කරන්න 2022 ජනවාරි මාසේ සීදූව රෝයල් රැම්සීස් හෝටලයේදී පැවති අවසාන මහා තරගයේ දී හැකි වුණා. ඔහු මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විශේෂවේදී උපාධියක් හදාරන තුන්වන වසරේ ශිෂ්‍යයෙක්.

ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?


මම මේ තරගය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේ තරගාවලියෙන් මොඩ්ලින් සම්බන්ධව ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩාක් අත්දැකීම් ජීවිතයට එකතු කර ගත්තා. තරගාවලියට ඉදිරිපත් වෙන්න ලැබීමම මට ලැබුණ වටිනා අවස්ථාවක්.

ඔබ පළමු වතාවට තමයි මොඩ්ලින් තරගාවලියකට ඉදිරිපත් වුණේ. එක පාරටම මේ සඳහා සූදානම් වුණේ කොහොමද ?


මේ තරගාවලියට තෝරාගන්න තිර පරීක්ෂණයට ලංකාවෙ විවිධ ප්‍රදේශවලින් විශාල ප්‍රමාණයක් ඇවිත් හිටියා. ඒ අතරින් තමයි අවසන් 14 දෙනාට තේරිලා තරගාවලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒකෙන් පස්සෙ තමයි තරගාවලියට පුහුණුවීම් කළේ. මීට කලින් මොඩ්ලින් සම්බන්ධව පංතිවලට ගිහිල්ලාවත් හදාරලාවත් නැහැ. මේ තරගාවලියේ නර්තන අංගත් තිබුණා, නමුත් මම මීට කලින් නර්තනය හදාරලා තිබුණෙත් නැහැ. නර්තනය ඉගෙන ගන්නේත් තරගාවලියට තේරුණාට පස්සේ. ඒකෙන් පස්සෙ ලොකු මහන්සියක් සහ කැපවීමකින්, තරගාවලිය වෙනුවෙන් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න සහ පුහුණුවීම් සඳහා යෙදෙව්වා. තරගාවලියට සූදානම් වුණේ තරගාවලිය ඇතුළෙදිමයි.

මොඩ්ලින් වගේ තරගාවලියකට ඉදිරිපත් වෙන්න බලපාපු විශේෂ හේතුවකුත් ඇති.


මගේ හිතේ ලොකු කැමැත්තක් සහ ආසාවක් තිබුණා කවදාහරි මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න. මම මීට කලින් මොඩ්ලින් රෑම්ප් එකක වෝර්ක් කරනවා දැකලා තිබුණා. මමත් කවදා හරි ඒ විදිහෙ මොඩ්ලින් රෑම්ප් එකක වෝර්ක් කරනවා කියන බලාපොරොත්තුවක් හිත යට තිබුණා. ඒක හින්දාම තමයි මේ තරගාවලියට ඉදිරිපත් වුණේ.

මේ තර්ගාවලිය දීර්ඝ කාලයක් පුරාවට කැටගරි ගණනාවක් ඔස්සේ පවත්වපු තරගාවලියක්. ඒ නිසා තරගාවලියෙ ස්වභාවය ගැනත් කතාකරමු.


ශ්‍රී ලංකා නෙක්ස්ට් ටොප් මොඩෙල් තරගාවලිය කියන්නෙ සාමාන්‍ය පැජන්ට් එකකට වඩා වෙනස් දෙයක්. මේක හරියට රියැලිටි ෂෝ එකක් වගේ. මේකේ අපි දැකලා තිබුණු පැජන්ට්වලට වඩා වෙනස්ම දේවල් තමයි තිබුණේ. අපිට තිබුණා අපේ ෆිට්නස් ලෙවල් එක කොහොමද කියලා බලන ෆිට්නස් රවුන්ඩ් එකක්. බෙස්ට් ෆිගර් එක තෝරන වටයක් තිබුණා. ඒ වගේම තමයි බෙස්ට් කොස්ටියුම් චැලේන්ජ් එකක් තිබුණා. ඒකෙදි අපිට යම් කිසි කාලයක් දීලා, අපිට හම්බවෙලා තියෙන ද්‍රව්‍යවලින් අපි කොහොමද ඇඳුමක් නිර්මාණය කරන්නේ කියලා බැලුවා. මේ තරගාවලියෙ තිබුණ තවත් විශේෂ දෙයක් තමයි අන්ඩර් වෝටර් ෆොටෝ ෂූට් එක. ගොඩක් දෙනෙක්ට ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. බෙස්ට් පර්සනැලිටි රවුන්ඩ් එකක් තිබුණා. මේ හැම කැටගරියකටම අපි සම්බන්ධ වෙන්න ඕනෑ. මේ සියල්ලටම සම්බන්ධ වුණාට පස්සෙ තමයි අවසන් තරගය පැවැත්වුවේ. විශේෂයෙන් කියන්න ඕනෑ හිටපු තරගකරුවන් 14 දෙනාම ගොඩාක් දක්ෂයි. ඒ නිසාම ලොකු තරගකාරීබවක් තිබුණු තරගාවලියක් බවට මෙය පත්වුණා.

මේ වගේ තරගාවලියකට යද්දි විශ්වවිද්‍යාලයේ යාළුවන්ගෙන් මොන විදිහෙ සහයෝගයක්ද ලැබුණේ?


මෝස්ට් පොපියුලර් කියන කැටගරියෙන් ජනප්‍රියතම නිරූපණ ශිල්පියා බවට පත් වෙන්න මට ලොකු හයියක් වුණා මගේ බැච් එකේ කොල්ලො කෙල්ලො ටික. ඒ වගේම අනිත් බැච්වල, අනිත් ෆැකල්ටිවල අයත් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

ගොඩක් අය මොඩ්ලින් කියලා හිතන් ඉන්නෙ ලස්සන පෙනුමක් තියෙන අය, ලස්සන ඇඳුමක් ඇඳලා එක එක විදිහට ඇවිදින තරගයක් කියලා.


ඔව්. ගොඩක් දෙනෙක් ලස්සනට ඇන්දාම, පෙනුම ලස්සනට තිබුණාම, මොකක් හරි ෆොටෝ ෂූට් එකක් කළාම මොඩෙල් කෙනෙක් කියලා හිතන් ඉන්නවා. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඊට එහා ගිය විශාල පරාසයක් මොඩ්ලින්වල තියෙනවා. මොඩ්ල් කෙනෙක්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

ඔබ ක්‍රීඩා පැත්තෙනුත් දක්ෂතා පෙන්වූ කෙනෙක්.


මම පාසල් යන කාලෙ ඉඳන්ම ක්‍රීඩා කළා. පාසල් රගර් කණ්ඩායමේ නායකත්වය දැරුවා. උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සෙ පළමු වසරෙදිම විශ්වවිද්‍යාල රගර් කණ්ඩායමට තේරුණා. ඒකෙදි ශ්‍රී ලංකා යුනිවෙසිටි ගේම්ස්වල තරග කිරීමේ අවස්ථාවත් ලැබුණා. ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමින් බර ඉසිලීමෙනුත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වුණා. ඊට අමතරව මම කායවර්ධන ක්‍රීඩාවටත් යොමුවෙලා ඉන්නවා. කායවර්ධන තරගාවලි දෙකකින්ම මම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. තවමත් මම ක්‍රීඩා කටයුතු අත්හැරලා නැහැ. මොඩ්ලින් තරගාවලියටත් ක්‍රීඩාවෙන් ලැබුණු පන්නරය ලොකු ශක්තියක් වුණා කියලා මම විශ්වාස කරනවා.

මේ තරගාවලියේ තරග පටන් ගත්තේ ගිය වර්ෂයේ. මාස තුනක් වගේ කාලයක් ඇතුළත සියලුම තරගවට පවත්වලා තරගාවලිය අවසන් කරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත් කොරෝනා වසංගතය නිසා දීර්ඝ කාලයක් මේ තරගාවලිය පවත්වන්න සිද්ධ වුණා. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුත් එක්ක දීර්ඝ කාලයක් මේ තරගාවලියත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණු එක මොනවගේ අභියෝගයක් ද?


මේ තරගාවලිය පවත්වන්න දවස් පහක් තියෙද්දි තමයි කොරෝනා වසංගතය නිසා රට වහන්න සිද්ධ වුණේ. තරගාවලිය පවත්වාගෙන යද්දිත් විවිධ බාධක ආවා. සමහර තරගකරුවන්ට කොරෝනා වැළඳුණා. තරගාවලිය අතරතුර මටත් සෙමෙස්ටර් එක්සෑම් වැටුණා. එසයින්මන්ට් වැටුණා. රිහසල් අතරතුර මම ලැප් එක එතෙන්ට අරන් ගිහිල්ලා එසයින්මන්ට් කළ දවස් තිබුණා. තරගාවලිය නිසා කැම්පස් එකේ අධ්‍යාපනයත් පාඩු කර ගන්නෙ නැතිව හැම දෙයක්ම මැනේජ් කරගෙන තමයි මේ දේවල් කළේ.

මේ තරගාවලියෙන් ලබපු ජයග්‍රහණයත් එක්ක ඔබට යන්න තියෙන පාරවල් තවත් විවෘත වුණා.


මම රුහුණ විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධියක් තමයි කරන්නේ. ඒ නිසා මුලින්ම උපාධිය සම්පූර්ණ කර ගත්තාට පස්සෙ මගේ බලාපොරොත්තුවක් තියෙනවා ජාත්‍යන්තර මොඩ්ලින් තරගයකට ඉදිරිපත් වෙන්න. ඒ වගේම මේ තරගාවලිය නිසාම මට ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඇකඩමික් වැඩ කරන ගමන්ම ඒ දේවල්වලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි