■ ඇන්තනී වෙරංග පුෂ්පික
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසු ගිය ජනවාරි 31 වන දා නිට්ටඹුව කලගෙඩිහේන උත්සව ශාලාවක පැවති ජන හමුවකදී අනුර කුමාර දිසානායක මහතා උත්සව ශාලාවට ඇතුළු වූ පසු එළිමහනේ නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් ඊට සම්බන්ධ නොමැති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළෝය.
එහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ප්‍රහාරය එල්ල කර ගත්තා දැයි සොයා බැලීමක් ද කළ යුතු බවයි.
කලගෙඩිහේන උත්සව ශාලාවේ පවැති ජනහමුවේ දී එල්ල වූ බිත්තර ප්‍රහාරය එල්ල කරන අන්දම ආරක්ෂක කැමරා පද්ධතිවල ද සටහන් වී ඇති අයුරු මාධ්‍යයට නිකුත් වී දින කිහිපයක්ම ගත වී ඇත. එමෙන්ම එම බිත්තර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් අල්ලා පොලීසියට බාර දී ඇතත් ඊට අමතරව තවමත් කිසිදු සැකකරුවෙකු අත්තඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී ඇත.
බිත්තර ප්‍රහාරයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ බිත්තර ප්‍රහාරය ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ මෙහෙය වීමෙන් ආණ්ඩුවේ අනුදැනුම මත සිදු වූ ප්‍රහාරයක් බවයි.
‘මැර කණ්ඩායමක් ගෙනත් ඔවුන් උත්සාහ කළේ මෙතන කලබලකාරී තත්වයක් ඇති කරලා, සාමාන්‍ය ජනතාව එල්ල කළ ප්‍රහාරයක් හැටියට පෙන්නුම් කරන්න. ඒත් මුළු රටම දැක්කා සිද්ධියට සම්බන්ධ කව්ද කියන එක ගැන.’
එහිදී විජිත හේරත් මහතා ඡායාරූප ද සහිතව එම ප්‍රහාරය එල්ල කළ අයගේ නම් සහ ඔවුන් ඇවන්ගාර්ඩ් ආයතනයට සම්බන්ධව සේවය කළ බව ප්‍රකාශ කළේය.
‘මේ ප්‍රහාරය සැලසුම් කරලා මේ ප්‍රහාරය මෙහෙයවලා තිබෙන්නේ ඇවන්ගාර්ඩ් ආයතනය විසින්. පිටකොටුවෙ බිත්තර ගහපු එකටත් සම්බන්ධ මේ කණ්ඩායමමයි. අසිත කුමාර, ආනන්ද බණ්ඩාර, අබේරත්න, අනිල් නිශ්ශංක, සංජීව, කාරියවසම්, ෆ්‍රෙඩී කුමර්, ප්‍රීති කුමාර්,
රාජකරුණා, රූපසිංහ, ජයසිංහ. මේගොල්ලො තමයි ඇවන්ගාර්ඩ් එක නියෝජනය කරමින් කලගෙඩිහේනට ආවෙ. ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මේ ප්රහාරයන් දෙකම කළේ දේශපාලන උවමනාවන් මත බව පැහැදිලියි.’
කලගෙඩිහේන සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු හඳුනාගෙන තිබුණත් පරීක්ෂණ මන්දගාමීව සිදු කරන බවට ජාතික ජනබලවේග නියෝජිතයන් පෙබරවාරි 03 දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇත. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ සුනිල් වටවල අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේ දී පොලීසියට විරුද්ධව අභියාචනාධිකරණයට ගොස් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
‘තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් වෙලා නැහැ. ඔවුන් දාලා තිබෙන්නේ අසම්පූර්ණ බී වාර්තාවක්. ඒකේ නිසි කරුණු හෙළිදරව් කිරීම් කරලා නැහැ මහෙස්ත්‍රාත්වරයාට. තවම කිසිම අත්තඩංගුවට ගැනීමකුත් සිද්ධවෙලා නැහැ. මේකෙන් පේන්නේ මෙච්චර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ගිය සිද්ධියක් ගැන ක්‍රියාත්මක වීමට මේ තරම් පොලීසිය පසුබට වෙන්නේ ඒක පිටිපස්සෙ ඉන්න සැබෑ වග උත්තරකරුවන්ගේ බලපෑමට කියලා. ජනතාව විසින් අල්ලලා පොලීසියට බාර දුන්නු දෙන්නා ඇවන්ගාර්ඩ් එකේ සේවකයන් දෙන්නෙක්. ඇවන්ගාර්ඩ් එකේ ලොක්කා මේක පිටිපස්සෙ ඉන්නවා. ඒක ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා තමයි පොලිස්පතිවරයාට ඊයෙ අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළේත්. නමුත් ඇවන්ගාර්ඩ් අධිපතිගේ පිටිපස්සෙ ඉන්නේ ජනාධිපති. මේ සියල්ල දාමයක ක්‍රියාවන්. ඒක නිසා අපි කියන්නේ වහාම අපරාද නඩු විධාන සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන මත මේකේ දාමය හොයාගෙන යන්න කියලා. තව දින කිහිපයක් බලලා ප්‍රතිඵලයක් නැත්නම් ඊට පස්සේ අපි රිට් ආඥාවක් ඉල්ලනවා පොලීසියට විරුද්ධව අභියාචනාධිකරණයෙන්, මේ පරීක්ෂණය කරන්න නියෝගයක් ඉල්ලලා.”
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ පරීක්ෂණ මන්දගාමී බවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
‘පරීක්ෂණවල කිසිම මන්දගාමී වීමක් නැහැ. පොලිස් පරීක්ෂණ මන්දගාමී බවට එල්ලවන සියලු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. එම සිද්ධියට අදාළව පරීක්ෂණ කටයුතු හරි ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒඑස්පී කෙනෙක් යටතේ එම පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා. පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිද්ධ වෙනවා. පෙබරවාරි 02 දිනය වන විට එම සිද්ධියට අදාළව සාක්ෂිත් 25 කට වඩා සටහන් කරලා තිබුණා. විමර්ශනවලදී එන අනාවරණයවීම් එක්ක අත්තඩංගුවට ගැනීමක් අවශ්‍ය නම් අපි අත්තඩංගුවට ගැනීම් සිදු කරනවා. තවමත් කිසිම පුද්ගලයෙක් එම සිද්ධියට සම්බන්ධව අත්තඩංගුවට ගෙන නැහැ.’
මේ අතර දැනගන්නට ලැබුණේ පහර දීමට පැමිණි අවස්ථාවේදී රැස්වීමේ සිටි අය විසින් අල්ලාගෙන පොලිසියට බාර දෙන ලද පුද්ගලයන් දෙදෙනා රෝහලෙන් පිටවී ගොස් ඇති බවයි. පොලිසියෙන් ඒ ගැන ප්‍රශ්න කළ විට කීවේ, ඔවුන් පොලිස් අත්අඩංගුවේ නොසිටි බවයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ක්රියාකාරිකයන් ඇඟිල්ල දිගු කරන්නේ ආණ්ඩුවේ ඉතාම සමීපතමයකු වෙතය. හෙතෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේද සමීපතමයෙකි. එවිට, ප්‍රහාරයේ වගකීම නිතැතින්ම ආණ්ඩුව වෙත පැවරෙයි. ඒ අපරාධකාරී වගකීමෙන් ගැලවීමට නම්, ආණ්ඩුව මේ ගැන විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුය. වගකිවයුත්තන් නොපමාව නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
එහෙත්, පොලිසිය පැත්තෙන් ඒ වගකීම නිසි ලෙස ඉටු නොවන බව ජාතික ජන බලවේගයේ නිරීක්ෂණයයි. පරීක්ෂණ නිසි ආකාරයෙන් ඉටුකරවා ගැනීමට අභියාචනාධිකරණය වෙත යන්නට ඔවුන් බලාපොරොත්තු වන බව කීමෙන් පෙන්වන්නේ පොලිසිය ගැන ඇති අවිශ්වාසයයි. ප්‍රහාරය එල්ල වුණේ ආණ්ඩුවේ සම්බන්ධයකින් නම්, පොලිසියෙන් කොහොමටත් ස්වාධීන විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකිය.
කලගෙඩිහේනට පොර කොළඹදීද පහර දුන්නේ මේ පිරිසම බව ජාතික ජන බලවේගය කියයි. එය ඇත්තක් නම්, ජාතික ජන බලවේගයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට මේ පිරිස සැරසී සිටින බව පෙනේ. යම් හෙයකින් කලගෙඩිහේනේදී ඔවුන් අසු නොවුණා නම්, තවත් ප්‍රහාරයක් එල්ල කරන්නට ඉඩක් නොතිබුණිද?
මේ ප්‍රහාරකයන්, ඉහත කී ව්‍යාපාරිකයාගේ ගෝලබාල ආරක්ෂකයන් නම්, ඔවුන් හොඳ ආයුධ පුහුණුවක් ලද ආරක්ෂක නියාමකයන් බව අප අමතක නොකළ යුතුය. ඒ අය ඉදිරියේදීද කුලී මැරයන් ලෙස ජන බලවේගය හෝ අනෙකුත් දේශපාලන රැස්වීම් කඩාකප්පල් කරන්නටත්, ආණ්ඩු විරෝධීන් ආන්ඩු මට්ටු කරන්නටත් යොදාගන්නට ඉදිරියේදී හොඳටම ඉඩ තිබේ. එවිට ආණ්ඩුව නිතැතින්ම මැරයන්ගේ ආණ්ඩුවක් බවට පත්වනු ඇත.
එය එසේ නොවීමට නම්, ආණ්ඩුව නීතිය නිසි ලෙස ක්රියාවේ යොදවා, වගකිවයුත්තන් සියලු දෙනාටම එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.■