බන්ධනාගාර ඇමතිත්, සීඅයිඩීයත්, මානව හිමිකම් කොමිසමත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාලුත් ඒ කාලයේ හිටියේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බැවින්, මේ කිසිම පරීක්ෂණයක් ඇත්ත කියන්නේ නැති බව ඒකාන්ත විය. ඒ නිසා ‘ආණ්ඩුවේ පව් හෝදන්නට’ කෙරුණ පරීක්ෂණවල ප්රතිඵල ගැන පුදුම විය යුතු නැත.
ලංකාව නැවත වරක් ම්ලේච්ඡත්වයේ දේශයක් බවට පත්කළ, වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ කුප්රකට රැඳවුවන් සමූහ ඝාතන නඩුවේ තීන්දුව 12 වැනි බදාදා ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබාදෙන ලදි. එමගින් නඩුවේ පළමු විත්තිකරුවූ එවකට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් මෝසස් රංගජීව නිදොස් කොට නිදහස් කෙරුණු අතර, එවකට මැගසින් බන්ධනාගාර අධිකාරි ලෙස සේවය කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කෙරිණි. නඩුවේ තවත් විත්තිකරුවකු නඩුව අතරමගදී නිදොස් කොට නිදහස් කරන ලදි.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය ජූරි සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට නියම කරන ලෙස එවකට නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජයන්ත ජයසුරියගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මහාධිකරණ විනිසුරු මඬුල්ල පත් කෙරිණි. ඉන්පසු ඔවුන්ට විරුද්ධව ත්රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ මිනිමැරුම් පිළිබඳ අධිචෝදනා ඉදිරිපත් කෙරුණු අතර, පසුගියදා තීන්දුව ලැබුණේ ඒ නඩුවෙහිය. ගිහාන් කුලතුංග (සභාපති), ප්රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ නඩුව විභාග විය.
2012 නොවැම්බර් 9 වැනිදා අපරභාගයෙන් පටන්ගෙන 10 වැනිදා උදේ දක්වා, බන්ධනාගාරය තුළ ක්රියාත්මක වුණු මේ බිහිසුණු අපරාධ මෙහෙයුම නිසා රඳවුවෝ 27ක් ඝාතනය වූහ. 43 දෙනෙක් පමණ තුවාල ලදහ. බන්ධනාගාරයට කඩා වැදුණු එස්ටීඑෆ් හා යුද හමුදා භටයන් ඊට වගකිවයුතු විය. එහෙත් අවසානයේ නඩු පැවරුණේ ඝාතන 8ක් සම්බන්ධයෙන් ඉහත කී විත්තිකාරයන් දෙදෙනාට පමණි.
බන්ධනාගාරය තුළ රඳවුවන් සතු නීති විරෝධී දූරකථන හා වෙනත් දේ සොයාගැනීම පිණිසයැ’යි කියමින් සැලසුම් කරන ලද මේ මෙහෙයුමේදී සිදුවූ ඝාතන, ඉතාමත් සැලසුම් සහගතව, රඳවුවන්ගේ නම් කතාකොට ඉදිරියට ගෙන්වාගෙන බිත්තියට හේත්තු කොට, ඉතා සමීපයේ සිට වෙඩි තැබීමෙන් සිදුවූ ඒවාය. එහිදී මරා දැමුණේ නිරායුද රඳවුවන්ය. එහෙත්, ආයුධ සන්නද්ධ ගැටුමක් බව ලෝකයට පෙන්වීම සඳහා නිරායුද මළසිරුරු අසළ ටී56 ගිනි අවි පසුව දමා තිබුණි.
මේ සමූහ ඝාතනය ගැන නියම ආකාරයෙන් අපරාධ විමර්ශනය කැරුණේද, මෙලෙස නඩු පැවරුණේද 2015 යහපාලන ආණ්ඩුව පත්වුණු පසුවය. ඊට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී මේ සමූහ ඝාතනය අවස්ථා හතරකදී අපරාධ විමර්ශනයට භාජනය වූ නමුත්, ලසන්ත වික්රමතුංග, වසීම් තාජුදීන් ඝාතන මෙන්ම අවසානයේදී ‘වසා දමන ලද ලිපි ගොනුවක්’ බවට පත්කර තිබිණ.
මහාධිකරණ නඩු තීන්දුවේද විශේෂයෙන් දක්වා ඇත්තේ, මේ අපරාධය පිළිබඳ පරීක්ෂණ ප්රමාදවී තිබී 2017දී නැවත ආරම්භ වී වේගවත් ලෙස සිදුවී ඇති බවයි. එහෙත් එමගින් විත්තිකරුවන්ට කිසිදු අගතියක් සිදුවී නැති බවද විනිහ්චය මණ්ඩලය නිරීක්ෂණය කර තිබේ.
ආණ්ඩුවේ පව් හෝදන්නයි ආවේ
පළමුවැනිව, ඝාතන සිදුවූ වහාම, රාජපක්ෂ ආණ්ඩුව කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය පරීක්ෂණයක් ආරම්භ කළේය. සීඅයිඩීයට සාක්ෂි දුන් සිද්ධිය ඇසින් දුටු රඳවුවන්ගේ ප්රකාශ පවා සටහන් කරගත්තේ කෑලි අඩුවෙන් බව රඳවුවෝම ප්රකාශ කළෝය. එක් බන්ධනාගාර නිලධාරියකු සීඅයිඩීයට සාක්ෂි දෙන්නට සැරසෙන විට සීඅයිඩී නිලධාරියකු ඔහුට කීවේ මෙවැන්නකි. ‘අපි ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ පව් හෝදන්න. ඒ නිසා දෙන කටඋත්තරයක් පරිස්සමට දෙන්නෟ’ ඒ පරීක්ෂණයේ ලිපිගොනුව වසා දැමිණි.
දෙවැනිව, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් සපයනු පිණිස එවකට පුනරුත්ථාපන හා බන්ධනාගාර හා ප්රතිසංස්කරණ ඇමති චන්ද්රසිරි ගජධීරද තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය. එහි සාමාජිකයෝ වූවෝ, විශ්රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ්රාමලත් නියෝජ්ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යාංශයේ නීති නිලධාරි ලලිත් අන්ද්රාහැන්නදිය. මේ කමිටුවේ අතුරු වාර්තාව 2013 පෙබරවාරි මාසයේදීත්, අවසන් වාර්තාව 2013 නොවැම්බර් මාසයේදීත් ගජධීර ඇමතිවරයාට භාරදුන් බව පැවසෙන නමුත් එයට කුමක්සිදුවූවාදැ’යි දන්නා කෙනෙක් නැත. පුවත්පත් වාර්තා කළේ, ‘රඳවුවන් අතර තිබුණු පෞද්ගලික අමනාපකම් මත සහ ආයධු භාවිතය හරිහැටි නොදත් ඔවුන් එකිනෙකාට වෙඩිතබා ගැනීමෙන් මේ ඝාතන සිදුවී ඇති බව’ට කමිටුව නිගමනය කර ඇති බවයි.
තුන්වැනි පරීක්ෂණය කෙරුණේ එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලිගේ නියමයෙනි. 2012 නොවැම්බර් මාසයේ භාරදුන්නායැ’යි කියන ඒ වාර්තාවටද වුණු දෙයක් දන්නා කිසිවෙක් නැත. කොහොම වුණත්, බන්ධනාගාර ඝාතනයේදී කොඩිප්පිලි මහතාගේ දායකත්වය ගැන ඇසූදුටු සාක්ෂි යහමින් තිබේ.
හතරවැනි පරීක්ෂණය ආරම්භ කෙරුණේ එවකට මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. ඒද 2012දීය. එහෙත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා මාධ්යයට කියා තිබුණේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගේ ඉල්ලීම අනුව එම පරීක්ෂණය පැත්තකට දැමූ බවය.
මේ පරීක්ෂණ හතරේම පොදු ගුණාකාරය වුණේ කුමක්ද? ඒවා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හෙවූ පන්නයේ වැඩ වීමයි. බන්ධනාගාර ඇමතිත්, සීඅයිඩීයත්, මානව හිමිකම් කොමිසමත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාලුත් ඒ කාලයේ හිටියේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බැවින්, මේ කිසිම පරීක්ෂණයක් ඇත්ත කියන්නේ නැති බව ඒකාන්ත විය. ඒ නිසා ‘ආණ්ඩුවේ පව් හෝදන්නට’ කෙරුණ පරීක්ෂණවල ප්රතිඵල ගැන පුදුම විය යුතු නැත.
යහපාලන ආණ්ඩුවෙන් කමිටුවක්
2015 අලුත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පත්වුණු පසු වැලිකඩ සමූහ ඝාතනය ගැන සොයාබලා වාර්තාකරන්නට අලුත් කොමිටියක් පත්කෙරිණ. මේ කොමිටිය පත්කරන ලද්දේ එවකට අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමතිවරයා වූ විජේදාස රාජපක්ෂ විසින් 2015 ජනවාරි 22වැනිදාය. කොමිටියේ සභාපතිවරයා ලෙස විශ්රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ද, අනෙක් සාමාජිකයන් දෙදෙනා ලෙස හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසෝක විජේතිලක හා රාජ්ය සේවයේ ප්රවීණ නිලධාරියකු වූ එස්කේ ලියනගේ යන මහත්වරුද පත්කරන ලදහ. බන්ධනාගාර සිදුවීමට හේතුවුණු කරුණු සොයාබැලීම, සිදුවීමට වගකිවයුතු අය කවුදැ’යි සොයාබැලීම, වගකිවයුත්තන්ගේ වගවීමේ ක්ෂෙත්ර සොයාබැලීම, සිදුවීම නිසා ඝාතනය වුණු හා තුවාල ලද අයගේ අනන්යතාව සොයාබැලීම, ඝාතනය වුණු හා තුවාල ලද පුද්ගලයටන්ගේ සමීපතමයන්ට වන්දි ගෙවීම යන කාරණා කමිටුව විසින් කළයුතුයැයි ඔවුන්ට බලය පවරන ලද විධාන පත්රයේ සඳහන්වෙයි.
මේ කමිටුවටත්, ඊට පෙර ඇතිකරන ලද කමිටුවලටත් සාක්ෂි හෝ ප්රකාශ දුන්නෝ එකම පුද්ගලයෝය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ පත්කරන ලද මුල් කමිටුවලට සිදුවූ සන්තෑසිය දන්නා ඒ සාක්ෂිකරුවන්ගෙන් යුක්තිගරුක කොටස, මේ අලුත් කමිටුව ගැන සතුටට පත්වුණේ, එමගින් හානියට පත්වූවන්ට නියත වශයෙන්ම යුක්තියක් ඉටුවේයැ’යි කියන බලවත් විශ්වාසයකිනි. සාක්ෂි දුන් සමහර බන්ධනාගාර නිලධාරීහු සිදුවීමේ ඇත්තම කරුණු මේ කමිටුව හමුවේ ප්රකාශ කළහ. ඊට පෙර කමිටුවලදී එක්කෝ ඔවුන්ට පරෙස්සමෙන් සාක්ෂි දෙන ලෙස තර්ජනය කරන ලදි. නැතහොත් ඔවුන් කී දේ ඒ ආකාරයෙන්ම ලියා නොගන්නා ලදි. සමහර කරුණු ’අවශ්ය නැතැ’යි නොසලකා හරින ලදි. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ අලුත් කමිටුව හැම දෙනාටම ගෙනාවේ අලුත් පිබිදීමකි.
2015 ජනවාරි පත්වුණු කමිටුව, 2015 ජුනි 9 වැනිදා සිය අවසන් වාර්තාව අගමැති රනිල් වික්රමසිංහටත්, බන්ධනාගාර ඇමති විජේදාස රාජපක්ෂටත් භාරදුන්නේය.
2012 නොවැම්බර් 9වැනිදායින් ඇරඹී 10 වැනිදා පහන් වන තුරු ඇදීගිය වැලිකඩ බන්ධනාගාරය තුළ ඝාතන ක්රියාවලිය, ලංකා ඉතිහාසයේ අශිෂ්ට කළු පැල්ලමකි. පරීක්ෂණ කමිටුව, සිද්ධිය සිදුවූ ස්ථාන නිරීක්ෂණය කරන්නට 2015 පෙබරවාරි 6වැනිදා උදේ වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිය සාක්ෂි සටහන්වල මේ ගමනේදී කළ නිරීක්ෂණ කමිටුව සඳහන් කරන්නේ මෙසේය.
‘වැලිකඩ බන්ධනාගාර අධිකාරි වශයෙන් බන්ධනාගාරය භාරව කටයුතු කළ ගාමිණී ජයසිංහ මහතා ප්රකාශ කළ පරිදි, මෙම සිද්ධිය ආරම්භ වූ අවස්ථාව වන විට ඔහු සිට ඇත්තේ බන්ධනාගාරයෙන් බැහැරවය. එස්ටීඑෆ් භටයන් ආයුධ සන්නද්ධව ඉන්දික සම්පත් මහතා සමඟ බන්ධනාගාරයට පැමිණ සිටින බව එදින දහවල් 1ට පමණ ප්රධාන ජේලර් විසින් ඔහුට දන්වා ඇත. ජයසිංහ මහතා ඒ පිළිබඳව එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි මහතාට දූරකථනයෙන් දන්වා ඇති අතර, බන්ධනාගාරය පරීක්ෂාවට එස්ටීඑෆ් භටයන් පැමිණියේ තම අනුදැනුම ඇතිව බව කොඩිප්පිලි දන්වා ඇත. ජයසිංහ මහතා බන්ධනාගාරයට පැමිණ ඇති අතර ඒ වනවිට එස්ටීඑෆ් භටයන් විසින් එල් ශාලාව පරීක්ෂා කරමින් සිට ඇත. එම පරීක්ෂාව කර ඇත්තේ රඳවුවන් ශාලාවෙන් පිටතට ගෙන අත්වලට ප්ලාස්ටික් මාංචු දැමීමෙන් පසුය. පරීක්ෂණයට පැමිණ ඇති එස්ටීඑෆ් භටයන් සංඛ්යාව විශාලය. ඔවුන් සිට ඇත්තේ ආයුධ සහිතව සහ කඳුළු ගෑස් ප්රහාරක අවි සහිතවය. නියෝජ්ය පොලිස්පති රණවනද බන්ධනාගාරය තුළ මේ වන විට සිට ඇත.
සවස 3.30ට පමණ රඳවුවන්ට රාත්රි ආහාරය ලබාදී ඇති අතර, ඒ අවස්ථාවේදී ඔවුන් පරීක්ෂා නොකරන ලෙස ජයසිංහ මහතා ඉල්ලා සිටියද එම ඉල්ලීම පිළිගෙන නැත. මේ අතර චැපල් වාට්ටුවේ රඳවුවන් කෑකෝ ගසමින් එහි දොරටුව වෙත පැමිණ ඇත. එවිට එස්ටීඑෆ් භටයන් චැපල් වාට්ටුව තුළට කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇත. ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ පුපුරා ගොස් නැති අතර ඒවා එළියේ සිටි රඳවුවන් දෙසට වැටීමෙන් පසු ඔවුන් ඒවා එස්ටීඑෆ් භටයන් දෙසට දමා ගසා ඇත. මුළු ප්රදේශයම කඳුළු ගෑස්වලින් පිරීගොස් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සිරකරුවන්ද දැඩි අපහසුතාවට පත්ව ඇත. ඉන්පසු එස්ටීඑෆ් භටයන් බන්ධනාගාර දොරටුව වෙත පසුබැස ඇත.
ඒ අවස්ථාවේදී ජයසිංහ මහතාට සිහි නැතිවී ඇති අතර, ඔහු ආරක්ෂක ස්ථානයකට ගෙනයනු ලැබ ඇත. 4.30ට හෝ 5ට පමණ ඔහු දැක් ඇත්තේ යුද හමුදා භටයන් හා පොලිස් නිලධාරීන් රාශියක් පැමිණ සිටින බවය. ඉන්පසු බන්ධනාගාර ජේලර් ශාන්ත මහතාගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, බි්රගේඩියර් දිසානායක, මානවඩු, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරි එමිල් රංජන් සහභාගිවී ඇත. එහිදී සාකච්ඡා කර ඇත්තේ ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මැඬපැවැත්වීම පිළිබඳවය.
සාකච්ඡාවෙන් පසුව යුද ටැංකි බන්ධනාගාරය තුළට ගෙනැවිත් ඇති අතර, එස්ටීඑෆ් හා හමුදා භටයන් වෙඩි තබමින් බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත.’
ලැයිස්තුව බලා අඬගහලා
කමිටුව ඉදිරියේ තිබුණු තොරතුරු අනුව, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ ………… තවත් දෙදෙනෙකු සමග බන්ධනාගාරයට ඇතුළුවන්නේ ඒ අවස්ථාවේදීය. කහපාට ටීෂර්ට් එකක් හා කළු කලිසමක් ඇඳ සිට ……………. සමග සිට වෙනත් කෙනකු අත විදුලි පන්දමක්ද විය. මේ පිරිස හමුදාව සිය යටතට ගෙන බිම දණගස්වා අත්වලට ප්ලාස්ටික් මාංචු ලා සිට රැඳෙවියන් අතරින් ගමන් කරමින්, තමන්ගේ අතේ තිබුණු කඩදාසියක සටහන් කර තිබුණු සහ ජංගම දූරකථනයේ තිබුණු නම් එකිනෙක අඬගසමින් රැඳෙවියන් තෝරාගත්හ. ඉන්පසු ඔවුහු වාට්ටුවේ කෙළවරකට ගෙන යන ලදහ. වෙඩි හඬ ඇසිණි. පසුදා උදේ එළිය වැටෙන විට බන්ධනාගාර බිමේ තැනින් තැන තිබියදී, ………………… ඇතුළු පිරිස විසින් නම් කියා කැඳවාගෙන යන ලද සිරකරුවන්ගේ ප්රාණය නිරුද්ධ මළසිරුරු හමුවිය.
තවත් තොරතුරු ලබන සතියේ කියවන්න.■