පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට ගෙනාවැයි කියන සොළොස් හැවිරිදි දැරියක ගිනි තබා ගෙන දිවි නසා ගත්තේ යැයි කියන සිදුවීම හා ඊට බැඳුණු අනෙක් සිදුවීම් අතිශය ඛේදජනක මෙන්ම හදවත කම්පා කරවනසුලු ය.
ලංකාවේ නීතිය අනුව, ළමයින් සේවයේ යෙදීමට සීමා තිබේ. ඒ නීතිමය සීමා කඩකර ඇය සේවයට ගැනීමත්, කිසිවකු විසින් හෝ ඇය අපයෝජනයට ලක් කිරීමත්, දිවි නසාගන්නට සිදුවන තැනට ඇය පත් කිරීමත් වනාහි අපරාධකාරී ක්රියා බව අලුතෙන් කිව යුතු නැත. විශේෂයෙන් ම රට වෙනුවෙන් නීති හදන ව්යවස්ථාදායකයේ සාමාජිකයකු වන මහජන නියෝජිතයකු එම ව්යවස්ථාදායකයෙන් ම පනවන ලද නීතියක් කඩ කරමින් ඇය සේවයට ගත්තේ නම් එය සමාව දිය නොහැකි වරදකි. ඒ වාගේ ම ජීවිතයේ එක් කාලයක දී උන්හිටි තැන් අහිමි කරනු ලැබ ඇඳි වත පමණක් ගෙන මන්නාරමෙන් කල්පිටියට සංක්රමණය වූ අඳුරු අතීතයක් හිමි බදියුදීන් වැනි ඇමතිවරයකුගේ නිවෙසෙහි එවැනි අපරාධයක් සිදුවීම තවත් බරපතළ කාරණයකි. මේ කිසිවක් ඉවසිය යුතු කාරණා නම් නොවේ.
එහෙත්, ඒ සියල්ලට මෙහායින්, විචක්ෂණ පුද්ගලයකු දිටිය යුතු තවත් කාරණා ද මේ සිදුවීම සමග ඈඳී තිබේ.
එකක් නම්, සිද්ධිය වාර්තා කිරීමේ දී මාධ්ය පරණ පුරුදු ක්රමයට ම, එනම් මුස්ලිම් විරෝධී, බදියුදීන් විරෝධී හා වර්ගවාදී ලෙස හැසිරීමයි. කලකට ඉහත දොස්තර සාෆි සම්බන්ධ සිදුවීමේ දී ද අපේ බහුතර මාධ්ය හැසිරුණේ මේ අන්දමට ම සාහසිකව ය. වර්ගවාදීව ය. අදත් සාෆිට විරුද්ධ කිසි ම චෝදනාවක් නැත. පොලිසිය පවා සිදුවීම අතහැර දමා ඇති ගාන ය. එහෙත්, මේ රටේ වර්ගවාදී පත්තර හා ඉලෙක්ට්රෝනික මාධ්ය ඒ මොහොතේ හැසිරුණු ආකාරය, ලංකාවේ මාධ්ය ඉතිහාසයේ කළු පැල්ලමක් වනු ඇත. මෙවර බදියුදීන් සම්බන්ධයෙන් සිදුවුණේ ද එවැන්නකි.
මේ දැරියගේ ඛේදවාචකය, අපේ රටේ මුද්රිත හා ඉලෙක්ට්රොනික මාධ්ය ආරම්භයේ සිට සෑහෙන කලක් යන තුරු වාර්තා කළ ආකාරයෙන් අපට තේරුම් ගත හැක්කේ ඇය අපයෝජනය කළේත්, මරා දැම්මේත් රිෂාඩ් බදියුදීන් වන බව ය. එය ඇත්තක් දැයි අපි තවමත් නොදනිමු. එහෙත්, මේ වන විට පොලිස් පරීක්ෂණ සිදුවන ආකාරය ගැන සොයාබලන්නකුට සිද්ධියේ අග මුල තවත් දුර බව නම් පැහැදිලි වෙයි. බදියුදීන් කුරුසියේ තබා ඇණ ගැසීමට තරම් තවමත් සාක්ෂියක් නැත.
එසේ තිබියදීත්, අපේ මාධ්ය කටයුතු කළේ, මුලින් අල්ලාගත් පූර්ව නිගමනයක සිටින ආකාරයට ය. එලෙස සිතන්නට ඔවුන් පොළඹවන්නේ කවරක් විසින් ද? එය පැහැදිලි කර ගැනීමට, මෙවැනි ම ලිංගික අතවරයනට පන්සල් හා පල්ලිවලදී ලක්වුණු දරුවන් ගැන අපේ මාධ්ය වාර්තා කරන ආකාරය සලකා බැලිය හැකි ය. ඒවා මේ තරම් තලු මරමින් අපේ මාධ්යවලින් වාර්තා වේද? නැතිනම්, හැකි සෑම අයුරකින් ම වගකිවයුත්තන් ආවරණය කරන්නට ඒ මාධ්ය වෙහෙසෙන බවක් පෙනෙයි ද?
ඉතින්, බදියුදීන් සම්බන්ධයන් මේ මාධ්ය අපහරණය පැහැදිලි ය. ඒ ඔහුගේ මුස්ලිම් ජාතිකත්වය නිසා ය. බදියුදීන් චෝදනා රහිත මහජන නියෝජිතයෙක් නොවේ. විවිධ කාලවල ඔහු විවිධ චෝදනාවලට ලක්වූවෙකි. එහෙත්, ඒ චෝදනා බොහොමයක ම මුල දේශපාලනය සමග ඈඳි තිබෙන බව ද නොරහසකි. ‘අපේ ආණ්ඩුවේ’ සිටියදී උසාවියට ගල් ගසන විට බේරාගන්නා බදියුදීන්, අනෙක් පැත්තට ගිය විට ද්රෝහියෙක් වන්නේ ය. නඩු පිට නඩු දමා වරදකරුවකු කළ යුතු තත්ත්වයට පත් වන්නේ ය.
මේ දැරිය මිය යාම සම්බන්ධයෙන් ද ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ දැක්මෙන් යුක්තව ය. සිදුවීම පිළිබඳව ඉක්මන් පොලිස් විමර්ශන කරන ලෙස අද බොහෝ දෙනකුට පැමිණිලි කරන්නට පවා සිදුව තිබේ. ඒ වුවමනාවෙන් ම වාගේ විමර්ශන ප්රමාද කෙරෙන තත්වයක් පැහැදිලි ව පෙනෙන නිසා ය. පොලිස් විමර්ශන ප්රමාද වන විට දුෂ්තොරතුරුවලට තටු ලැබේ. පොලිසියත්, මාධ්යත්, දේශපාලකයෝත් ඒ දුෂ්තොරතුරු සිත් සේ විසුරුවමින්, බොර දියේ මාළු බාති.
රිෂාඩ් බදියුදීන් මේ අපරාධයට සම්බන්ධ කෙසේ දැයි තවමත් පැහැදිලි නැත. එහෙත්, ඔහු සම්බන්ධ වන ඕනෑ ම ආකාරයක් වෙනුවෙන් ඔහු නීතියේ විපාකයන්ට යටත් විය යුතු ය.
ඒ අතර ම පසළොස් ඇවිරිදි දැරියක, නිවෙසක මෙහෙකාරකමට යැවීමටත්, එහි දී දිවි නසා ගන්නට සිදුවන තත්ත්වයට පත් වීමටත් හේතු අප නොදන්නා අලුත් දේවල් නොවේ. අද ඊයේක හටගත් ඒවා ද නොවේ. එහෙත්, එවැනි හද කකියවන සිද්ධියකින් අපේ ඇස් ඇරෙන තුරු අපි ජාතියක් හැටියට, ඒ කිසිම ප්රශ්නයක් දෙස සැලසුම් සහගතව බලා නැත. බැලුවත්, ඊළඟ මොහොතේ දෑස් වසා ගෙන ය.
රිෂාඩ් බදියුදීන් නමැති විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරයකු වන මුසල්මානුවා නිසා මේ සිදුවීමට වෙනත් හැඩයක් ලැබී ඇති බව පෙනේ. එහෙත්, සිංහල බෞද්ධ නිවෙස්වල ද මේ හා සමාන සිදුවීම් ඕනෑ තරම් සැඟ වී තිබෙන බව අලුතෙන් දැනුමක් නම් නොවේ.
අපි විසඳිය යුතු ප්රශ්නය පසෙක තබා, වර්ගවාදය යළිත් වටයකින් උත්කර්ෂයට පත් වීමේ ආහ්ලාදය විඳවමින් සිටිමු.■