No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

කාබනික පොහොර කියා
රසායනික පොහොර ගෙනල්ලා ගෙන්වයිඳා
මිල දෙගුණයකට ආසන්නයි
බැර ලෝහ පරීක්ෂාවක් නෑ

Must read

මහ කන්නය සඳහා වූ පළමු කාබනික පොහොර තොගය ඔක්තෝබර් 13 දින කොළඹ වරායෙන් ගොඩබාන ලද බවට කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළද එසේ ගෙන්වා ඇත්තේ මෙතෙක් ගොවිතැන සඳහා භාවිත කළ එම්ඕපී යනුවෙන් හැඳින්වූ පොහොර වර්ගයම බව අනාවරණය වේ.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ එම්ඕපී යනුවෙන් හැඳින්වූ මියුරේට් ඔෆ් පොස්පේට් හා කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික පොහොර යැයි කියන පොටෑසියම් ක්ලෝරයිඩ් යනු එකක් බවයි.


ඔහු පවසන්නේ පොළවෙන් ලබාගන්නා කිසිසේත්ම කාබනික ද්‍රව්‍යයක් නොවන බවත් ඒ තුළ ශාක හෝ සත්ව කොටස් නොමැති බවත්ය. කාබනික පොහොරක් වන්නේ ඒ තුළ ශාක හෝ සත්ව කොටස් ඇත්නම් පමණක් බවද ඔහු අවධාරණය කරයි.


කාබනික පොහොර යනුවෙන් මෙම පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුන්වා ඇති හෙයින් ඒ පිළිබඳ සාම්පල් පරීක්ෂා කිරීමට ශාක නිරෝධායන පනත යටතේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ යුතු අතර ඒ අනුව මෙම පොහොර තොගයේ සාම්පල් පරික්ෂා කළාදැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් විමසීමේදී ඔහු කීවේ මෙම පොහොර කාබනික පොහොරක් නොවන නිසා එවැනි පරික්ෂා කිරීමක් අවශ්‍ය නොවන බවයි.

රේගු සංකේතාත්මක අංක හෙවත් එච්එස් අංක 31049000 යටතේ මෙම පොහොර ගෙනවිත් ඇති අතර එම අංකයට අදාළව රේගුවෙන් කරන ලද විමසීමේදී අනාවරණය වූයේද රසායනික හෝ ඛනිජ යන ඕනෑම පොහොරක් එම අංකය යටතේ ආනයනය කළ හැකි බවයි. එහෙත් කාබනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම අංකය අදාළ නොවන බව එම රේගු නිලධාරියා අනිද්දාට පැවසීය.


ලිතුවේනියාවේ සිට වෙගොරොස් නැවෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙටි්‍රක් ටොන් 30000ක ප්‍රමාණයක් ඔක්තෝබර් 13 ගොඩබාන ලද නැවෙන් ගෙන ආ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවත් රේගු ලියවිලි අනුව ගෙනවිත් ඇත්තේ පොහොර මෙටි්‍රක් ටොන් 17892ක ප්‍රමාණයකි. ඒ සඳහා නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු හැර ඇමරිකානු ඩොලර් 8561322ක් වැය කර ඇති අතර එක් මෙටි්‍රක් ටොන් එකකට ඩොලර් 478 ශත 50ක් වැය කර ඇත. මෙම මුදල මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී එම්ඕපී පොහොර ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැති ලබාගත් මිලට වඩා දෙගුණයකට ආසන්න ඉහළ මිලක් වන අතර එම්ඕපී මෙටි්‍රක් ටොන් එකක් ගෙන්වීමට නියමිතව තිබුනේ ඩොලර් 258 ශත 74කටය. එමෙන්ම පොහොර ගෙන්වීමේදී ඒවාහි බැර ලෝහ තිබෙනවාද යන්න පිළිබඳ නැවෙන් පොහොර බෑමට පෙර අනිවාර්ය පරීක්ෂාවක් කළ යුතු වුවත් මෙම පොහොර තොගය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය හෝ ප්‍රමිති ආයතනය එවැනි පරීක්ෂාවක් සිදුකළාද යන්න වාර්තා වන්නේ නැත. ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම පොහොර මුදා හරින ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ ලිපියේ එවැන්නක් සඳහන් වන්නේ නැත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි