ලංකාව ගොඩ ගැනීමට පළමුව කළ යුත් වන්නේ දූෂණ අපරාධ මර්දනයට කඩිනමින් පියවර ගැනීම ය. එසේම දූෂණ සහ අපරාධ සිදු කොට දඬුවම් මුව විට සිටි සියලු දෙනාටම කඩිනමින් දඬුවම් ලබා දෙන්නට යාන්ත්රණයක් ස්ථාපිත කිරීම ය. මේ වූ කලී අවශ්යතාවක් ඇත්නම් කළ හැකි කටයුත්තකි.
වත්මන් ආණ්ඩුව පවතින්නේ වසංගතයට මුවා වී බව නොරහසකි. ආණ්ඩුවේ හෝ නායකයාගේ පිරිහෙන්නට තවත් කිසිවක් ඉතිරිව නැත. මොනම අන්දමකින්වත් යළි තමන්ට බලය නොලැබෙන බව ආණ්ඩුවේ සියල්ලන්මත්, නායකයාත් මැනවින් අවබෝධ කරගෙන ඇත. කළ හැකි හැම විපතක්ම රටට සිදු කිරීම තව දුරටත් වේගවත් අන්දමින් සිදු කොට පළායාමට කල් මනින බවත් පැහැදිලිය. යන්නේ කොරහ බිඳගෙන නොව මැටි කෝප්පයක්වත් ඉතිරි නොකරමිනි.
රට බේරාගැනීමට දිවි පරදුවට තබා කැපවුණ භික්ෂුවකගෙන් රජයේ නිලධාරිණියක් නොබෝදා මෙසේ ඇසුවේලු.
”ඔබ වහන්සේලා කියපු දේවල් අහලා අපිත් ඡන්දෙ දුන්නා, අනේ හාමුදුරුවනේ රට විනාශයි නේද හැම පැත්තෙන්ම?”
භික්ෂුව මේ පැනයට පිළිතුරක් දෙනු වෙනුවට ප්රශ්නයක් අසා ඇත.
”අපිව අල්ලගන්න ලෑස්ති වෙන්න එපා. තම තමුන් කරපු පව් තමයි තම තමුන් විඳවන්නෙ. අපි කියපු හින්දා ඡන්දෙ දෙන්න පුළුවන් නම් ඇයි අපි කියන විදිහට පන්සිල් රකින්නැත්තෙ?”
අලුත් නායකයා කවුරුන් ද?
සිංහල බෞද්ධ නායකයා ගැනත් – සිංහල බෞද්ධ ආණ්ඩුව ගැනත් කට උත්තර නැති තැනට කරුණු යෙදී තිබෙන පසුබිමක හැම පැත්තෙන්ම විමසන්නේ ඊළඟට බලයට පත් වෙන්නේ කවුරුන් ද? යන්නය. මේ පැනය අසමින්ම මතු කරන කාරණාවක් ද ඇත. එය නම් ‘පේන මානයක කවුරුවත් නෑනෙ‘ යන්නය.
ආණ්ඩුවක් තෝරා පත් කරගැනීම ද සරම පැත්ත මාරු කර අඳින තත්වයකට පත්ව තිබෙන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත් අද වන විට තත්වය වඩාත් සංකීර්ණ පසුබිමකය පවතින්නේ. එසේ පවසන්නේ ඇයි? කලක සිටම ඊළඟ නායකයා තීන්දු කරන්නේ සැබවින්ම මහජනතාව නොවන බැවිනි. මේ නිසාය අලුත් නායකයෙකුට බිහිවෙන්නට ඉඩක් නැත්තේ.
ලංකාවට ගැළපෙන; ඊළඟ නායකයා තීන්දු කිරීමේ තීරක බලය ඉන්දියාව සහ ඇමෙරිකාව පවරාගෙන තිබෙන බව අද වන විට නොරහසකි. මේ තීරක බලයට බලපෑම් කරන්නට අද චීනය පෙරට පැමිණ ඇත. වසංගතය ද නොසලකා ඉන්දියාව හා ඇමෙරිකාව ලංකාවේ ජන විඥානය හැසිරවීමට හැකි නායකයා සොයා ගැනීමට ‘පරියේෂණ‘ පටන් ගෙන ඇත. ඔවුන් මේ වන විට සොයාගෙන තිබෙන කරුණක් වන්නේ ජන විඥානය තුළ චීන විරෝධය සැලකිය යුතු මටට්මකින් වැඩී වර්ධනය වෙමින් තිබෙන බව ය. එහි වාසිය ලබන්නට ඉන්දියාව හා ඇමෙරිකාව අතිනත ගනු ඇත.
ගෝඨාභය රාජපක්ෂ ඊළඟ නායකයා බවට ඉන්දියාව සහ ඇමෙරිකාව තීන්දු කරන විට ඔහුට නිල වශයෙන් අපේක්ෂකත්වයද ලැබී නැත. ඒ සූදුවේ දී චීනය පැත්තකට වෙන්නේ නිතරඟ ජයක් එහි තමන්ට හිමි බැවිනි. මේ අවස්ථාව ඊට වෙනස්ය. චීනය අද කිසිසේත්ම රාජපක්ෂවරුන්ගෙන් පිටට රටේ පාලනය යනවාට කැමතිම නැත. එබැවින් ඊළඟ නායකයා තීන්දු කිරීමේ න්යාය පත්රය අලුත්ම එකක් වෙන්නට පුළුවන. මේ න්යාය පත්රය සම්පාදනය කිරීමට කිසි ලෙසකින් හෝ චීනයට මැදිහත් වන්නට නොහැකිය. චීනයට එය අවශ්ය නැතුවා ද විය හැකි ය. චීනය මේ වන විට රාජපක්ෂවරුන් හරහා ඊළඟට කවර නායකයෙකු පත් වුවත් කේවල් කිරීමේ බලය හා හැකියාව තමන් අතට පත් කරගෙන හමාරය. භූ දේශපාලනයේ යථාර්ථය මත ජන විඥානයෙහි අලුත්ම නායකයෙකුට නිර්මාණය වෙන්නට අවසරයක් තබා නැති බවය පෙනී යන්නේ. මේ උගුලෙන් ගැලවෙන්නට බැරි ද?
දිළිඳුකම තවත් වැඩි වීම
බැසිල් රාජපක්ෂගේ දේශපාලන දැක්මෙහි ඉහළින්ම ඔහු තබාගෙන සිටින්නේ ‘දිළිඳුකම තව තවත් වැඩි කිරීම‘ ය. දිළිඳුකම වැඩි වෙන විට ආධාර දෙන්නට පුළුවන. ආධාර ලැබීම පසුබිමේ ඔහු රටේ ඡන්දදායකයන්ගෙන් විශාල තීරුවක් මත සිය අණසක පැතිරවීමට සමත් වේ. මේ ව්යායාමය ජවිපෙට නොව අනෙක් පක්ෂවලට ද පහසු නැත. රාජ්ය බලය නැතත් ආධාර යාන්ත්රණයක් රට තුළ දියත් කිරීමට බැසිල් රාජපක්ෂට හැකියාව ඇත. බැසිල්ගේ න්යාය අවලංගු කර දමන්නට හැකි එකම මාර්ගය වන්නේ රටේ අධිකරණ නිලධාරීන් ප්රමුඛ වෘත්තිකයන් – උගතුන් සහ සිවිල් ක්රියාධරයන් නිශ්චිත අරමුණක් මත පිහිටා රට ගැන හිතන්නට පෙළඹීම ය. බැසිල් හැමදේම කරන්නේ තමන්ට හානියක් නොවන අන්දමට නෛතික අවකාශය සකස් කරගෙන ය. මේ සාහසික පිළිවෙත පරාජය කළ යුතු ම වේ.
පාස්කු ප්රහාරය ගැන නිල වශයෙන් සිදු කෙරුණ විමර්ශන හෝ කොමිෂන් වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන්නේ ඒ විනාශය සිදු වන්නට ඉඩ දී බලා සිටි යථාර්ථයකි. එසේ බලා සිටීම අවශ්ය වන්නේ ද ඊළඟ නායකයා වෙනුවෙන් බව නොරහසකි. ඊළඟට දියත් වන්නේ මනුෂ්ය ඝාතන ප්රහාරයක් නොවන්නට පුළුවන. ඒ ප්රහාරය දිළිඳු ජනතාව තුළ පමණක් නොව මැද පන්තිය තුළ ද අසහනය ගොඩ නඟන ‘අහේනිය‘ විය හැකි ය. අහේනිය තුළ අසරණ වීම ලාංකේය සමාජයේ සාමාන්ය ලක්ෂණයකි. එවිට සැලකිය යුතු ජනතාවක් තුළ අපේක්ෂාවන් දල්වන්නට චීනය අවශ්ය තරමට රාජපක්ෂවරුන්ට ආයෝජනය කරනු ඇත. එය යටපත් කරන්නට ඉන්දියාව සහ ඇමෙරිකාව සමත් වේ ද? පොලී මුදලාලි ණයට දෙන අන්දමට බැංකුවකට ණය දෙන්නට අසීරුය. අහේනිය ඇති කරන අහේනිය බැංකුවට සමනය කරන්නට අපහසු විය හැකිය. පොලී මුදලාලිට හැකි විය හැකි ය.
ඊළඟ සංකීර්ණ කාරණාව වන්නේ ආණ්ඩුව හෙවත් මොළ හත ඉන්දියාව – අමෙරිකාව සහ චීනය තුන් පාද කණප්පුවක් ලෙසින් සමබර කර තබා ගැනීමට දරා ඇති සමත්කමය. දරුවන් සෑහීමකට පත් නොවන අන්දමට දේපළ බෙදා දීම කරන්නට දෙමාපියන් අසමත් වුණත් දරුවන්ට ඉවසා සිටින්නට හැකි අන්දමට දේපළ බෙදා දීමෙන් අවම හානි මත පැවතිය හැකි ය.
දැන් ඉතා පැහැදිලිව පෙනෙන්නේ භූ දේශපාලනය විෂයෙහි බරපතළ සාකච්ඡාවක් හා දැනුමක් රටට – ජනතාවට අවශ්ය බව ය. ඒ වෙනුවෙන් ‘සාමූහික බලයක‘ කැපවීම අවශ්ය වේ. මෙහි අර්ථය නම් ජන විඥානය වෙනස් කිරීමට ‘අලුත් දැනුමක්‘ අවශ්ය බව ය. විපක්ෂය පාර්ශ්වයෙන් ඉදිරියෙන් සිටින නායකයන්ට එය කළ හැකි ද? කළ හැකි කිසිවෙකු සිටින්නේ නම් රටට සපථ කළ යුතු ප්රධාන සුදුසුකම් කීපයක් ඇත.
සපථ කළ යුත්තේ මොනවාද?
පසු ගිය දින කීපය පුරාම රඟ දැක්වෙන්නේ ‘පැන්ඩෝරා‘ නාඩගම ය. දැනටම නාඩගමේ රසය විදින්නට හැකි වී තිබේ. එය නම් ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කෙටි කලක් තුළ කඩිනමින් විමර්ශනයක් සිදු කොට වාර්තාවක් ලබා දෙන්නට යන්නය. මේ නියෝගය පිස්සු පූසෙකුට පැවරුවා නම් රසය උපරිම ය. කෙසේ වුව අඩුවක් වනු නැත.
දූෂණ හෝ අපරාධවලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක හැකියාවක් තිබේ ද?
ලංකාවේ නීති ගරුක පුරවැසියන් ඕනෑවටත් වඩා බරපතළ මූල්ය අපරාධ ගැන අසා ඇත. ජන මාධ්ය ඒවා අලංකාර අන්දමින් අලෙවි කිරීමද සිදු කරන්නට සමත් වී ඇත. ජන මාධ්ය ඔස්සේ ජනතාව මුසපත් කළ මූල්ය අපරාධවලින් සියේට අනූවකටත් වඩා සිදු කර තිබෙන පිරිස වත්මන් ආණ්ඩුව විවිධ ස්වරූපවලින් නියෝජනය කරන පුද්ගලයෝ වෙති. ඉතින් සිහි විකල් වූ පිරිමියෙකුට පමණි සිය රහසඟ කපා විසි කළ හැක්කේ, හා සතුටු විය හැක්කේ.
අලුතෙන් පත්වන නායකයෙකුට තමන්ට අවශ්ය පුද්ගලයන් නීතියෙන් බේරා දමන්නට හැකිනම්, හිරගෙවල්වලින් මුදා ගන්නට හැකිනම්, ඇයි අලුතින් පත්වන නායකයෙකුට නීතියෙන් දඬුවම් ලැබිය යුතු පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබා දෙන්නට හිර ගෙවල්වලට යැවිය යුතු අය යවන්නට නොහැක්කේ?
ලංකාව ගොඩ ගැනීමට පළමුව කළ යුත් වන්නේ දූෂණ අපරාධ මර්දනයට කඩිනමින් පියවර ගැනීම ය. එසේම දූෂණ සහ අපරාධ සිදු කොට දඬුවම් මුව විට සිටි සියලු දෙනාටම කඩිනමින් දඬුවම් ලබා දෙන්නට යාන්ත්රණයක් ස්ථාපිත කිරීම ය. මේ වූ කලී අවශ්යතාවක් ඇත්නම් කළ හැකි කටයුත්තකි. යහ පාලන ආණ්ඩුව නින්දිත අන්දමට අවභාවිත කළේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ලැබුණ ස්වර්ණමය අවස්ථාවය. ලංකාව ගොඩ ගැනීමට යහ පාලනයක් වෙනුවෙන් රටට දුන් ප්රතිඥා අදටත් එලෙසින්ම වලංගුය. ප්රශ්නය වන්නේ ඒ ප්රතිඥාව යළි සපථ කරන්නේ කෙසේ ද?, කවුරුන් ද? යන්නය.
රට සංවර්ධනය කිරීම – ප්රවාහනය වැඩි දියුණු කිරීම – සෞඛ්ය සේවය දියුණු කිරීම – අධ්යාපන ප්රතිසංස්කරණ – බඩු මිල අඩු කිරීම… යනාදි අලංකාර රස බස් අලුත් නායකයෙකුගෙන් රටේ සංවේදී පුරවැසියන් අපේක්ෂා නොකරමු. අපේක්ෂා කරන ප්රබලතම සාධකය වන්නේ නීතියෙන් දඬුවම් ලැබිය යුතු පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබා දීම හා හිරගෙවල්වලට යැවිය යුතු අය හිරගෙවල්වලට යැවීමය. ඉතින් ඔය කියන විදිහට ඒවා කළ හැකි ද? ඇයි බැරි? මරණ දඬුවම් ලබා සිටි උදවිය නිදහස් කොට රජයේ උසස් පදවි පිරිනමනවා නම්, අධි චෝදනා පත්ර ලබා සිටි උදවිය නිදොස් කොට නිදොස් කරනවා නම්….තව තවත් දේ සිදු කරන්නට සමත් නම් අලුත් නායකයෙකුට හොරකම සහ අපරාධ සම්බන්ධයෙන් කල් නොමරා නෛතික රාමුවක් තුළ පියවර ගත නොහැක්කේ මන් ද?
බොරුකාරයන් ‘ඉවර විය‘ යුතුය
රනිල් වික්රමසිංහ – මෛත්රීපාල සිරිසේන රටේ අභිවෘද්ධියට ලැබුණ ස්වර්ණමය අවස්ථාව මත මල පහ කළ බොරුකාරයන් දෙන්නෙකි. මේ දෙන්නාගෙන් වඩාත් භයානක බොරුකාරයා රනිල් වික්රමසිංහ යයි සිතමි. සිරිසේනට තවත් විශේෂණ ඇත. ඒ අතර, අවස්ථාවාදීකම – ලැජ්ජාබය නැතිකම – කයිරාටිකකම හා දරුණුකම දැක්විය හැකි ය. මේ විශේෂණ පද වික්රමසිංහටත් සුදුසුය. එහෙත් අප ඒවා වටහා ගත්තේ 2015න් පසුව නොවේ. සෑහෙන කලක සිට ය. සිරිසේන මුළ සිටම රඟපෑවේ බුදු පුතෙකුගේ චරිතයකි. තතු කෙසේ වුව මේ දෙන්නාම දේශපාලන වැඩ බිමෙන් පන්නා දැමිය යුතුව ඇත. වික්රමසිංහව ජනතාව පළවා හැරියත් හිතමිත්ර මහින්ද රාජපක්ෂ ඔහුව දේශපාලන වැඩ බිම තුළ තව දුරටත් ජීවිතයක් උරුම කර දුන්නේය. අභාග්යය වන්නේ රටට නරකම – දරුණුම අනර්ථය කළ සිරිසේන ජන වරමකින් යළි දේශපාලන වැඩ බිමට පැමිණීමය.
නායකයෙකු නැති අවකාශය තුළ රනිල් වෙර දරන්නේ සජබ කුඩු කර දමා යළි උපදින්නටය. සිරිසේන වෙර දරන්නේ මොන තාලෙකින් හෝ සියලු බලවේග එකතු කොටගෙන පොදු අපේක්ෂකයා වන්නටය. එය නොහැකි වුවහොත් ලංකාවේ ඉදිරි පාලකයා ලෙස ඉන්දියාව හා අමෙරිකාව තෝරනු ලබන පුද්ගලයාට එකතු වීමටය. මේ සූදුව දැන් හොඳටම ඇත. මොවුන් දේශපාලන වැඩ බිමෙන් ඉවරම කර දැමිය යුතුය.
ඉතින් මේ බොරුකාරයන් ඉවර කරන්නට නම් මොවුන් සමඟ පයුරුපාසානයකින් නායකයා වීමට වෙර දැරීමක් නැති බව අලුත් චරිතයක් සපථ කළ යුතු ය. ඒ ඒ අයගෙ මෙච්චර මෙච්චර ඇත යන ගණං බැලීම ඔස්සේ කරළියට නොඑන අලුත් චරිතයක් රටට අවශ්ය වේ. ඊට හේතුව බලයට පත්වුණ පළමු මොහොතේ සිටම ‘තනතුරු වරදාන‘ බෙදන්නට සිදුවන බැවිනි. රටට ඉදිරිපත් කරන වැඩ පිළිවෙළක් ක්රියාත්මක කිරීමට මෙන්ම, රටට නොකියූ දේවල් නොකිරීමට ‘නිර්භීත පෞරුෂයක්’ දැන් රට ඉල්ලයි. ඉතින් රටට අලුත් චරිතයක් එබඳු ප්රතිඥා සපථ කරන්නේ කෙසේ ද?
ප්රති විරෝධය
මෙහි මුළින් සඳහන් කළේ ලංකාවේ පාලකයා තීරණය කිරීම ඉන්දියාව – ඇමෙරිකාව මැදිහත් වන බව ය. එමෙන්ම චීනයද ලංකාවේ පාලකයා සම්බන්ධයෙන් තීරණාත්මක තැනක සිටින බව ය. එසේ නම් ඉතින් අලුත් චරිතයකට අවසරයක් කොයින් ද?
ඇත්තකි. මේ ඉතා තියුණු පැනයකි.
ලංකාවේ පාලකයා තීන්දු කිරීමේ දී ‘ජන විඥානයේ හැසිරීම‘ පරිස්සමෙන් නිරීක්ෂණය කරන බව සත්යයකි. ඒ නිරීක්ෂණය ඔස්සේය ඔවුන් එකඟතාවලට එළඹෙන්නේ. අද ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස ක්රියාවට නංවන්නේ බලයට පත් වෙන්නට පෙර ඇති කර ගත් එකඟතාවන්ය. ඒ එකඟතා ඉටු කර නොගෙන ඉදිරියට ගමනක් නැත. තත්වය කොතරම් භයානක ද?
දැන් අප සිටින්නේ ‘ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී‘ වැනි තත්වයක ය.
විසඳුම කුමක් ද?
විනාශ වුණ රටක් අලුතින් ගොඩ නැඟිය හැකි ය. එහෙත් විපරීත වුණ රටක් ගොඩ නැඟීම පහසු නැත.
රුවන්ඩාව ගැන කරුණු කාරණා දන්නා මිතුරෙකු පසුගිය දවසක විස්තර සිටියේ රුවන්ඩාව අලුත් චරිතයක් විසින් ගොඩ නඟන ලද සැටි ය. සැබවින්ම විස්මිත ය.එහි රහස කුමක් ද? රහසක් නැත. එසේ නම්? අලුත් චරිතයකට තිබුණ දැක්ම හා ‘අවංකකම‘ ය.
ලංකාව තවම විනාශ වී නැත, විනාශය මුව විට ය. අප විනාශ වන තුරු බලා සිටීම එක විසඳුමකි. ඒ විනාශය තුළ දැනට බලය පරිහරණය කරන අය හා පරිහරණය කරන්නට මාන බලන අයත් ඉවර වෙනු ඇත. ‘දැක්මක් හා අවංකකම‘ ඇති අලුත් චරිතයකට අලුත් රටක් ගොඩ නැඟීමට එවිට නිසැකවම හැකි වනු ඇත. මේ මොන පිස්සු කතාවක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇත්තකි. අප දැන් බැලිය යුත්තේ ළඟ නොව දුර ය. ඉපදී සිටින හා ඉපදෙන්නට පෙරුම් පුරන දරුවන් වෙනුවෙන් රටක් ගොඩ නැඟීමට පුළුවන් දැක්මකි අප පෝෂණය කළ යුත්තේ.
ලංකාව දැන් විපරීතව තිබෙන රටකි. එහෙම පිටින්ම විකාරයකි. හොරකම – දූෂණය පමණි විධිමත්ව සිදු වන්නේ. කැබිනට් මණ්ඩලය යනු ‘ගතම්‘ එක ගැන සිතන පිරිසකගෙන් සැදුම් ලද්දකි. ජනාධිපති කාර්ය සාධක බලකාය තමන්ට ඉහළින් තිබෙන එක පවා ප්රශ්නයක් නැත. විදුලි බල ඇමති විවෘතව පැවසුවේ ගිවිසුම තමා නොකියවූ බව ය. ඒ ඉතා අවංක කතාවකි. කියවූවා කියා කුමක් කරන්න ද? තමන්ටත් ලැබෙන දෙයක් ලබාගෙන සැනසීමය නහින දෙහින කාලේ කළ යුතු වන්නේ.
විකෘතිය
ලංකාවේ දේශපාලන බලය පරිහරණය කිරීමට ජන වරමක් කෙසේ හෝ ලබාගෙන පුළුවන් වීම එකකි. පිනට හැකිවීම තව එකකි. එය මොන තරම් විකෘතියක් ද යත් පුළුවන් තරම් පිස්සු කෙළීමට තමන්ට පුළුවන් යයි සිතා කටයුතු කරන අන්දම හිරිකිතයකින් තොරය. ලංකාව යළි ගොඩ නඟන්නට නම් පිනට බලය පරිහරණයට ඇති හැකියාව අවසන් කළ යුතුය. එපමණක් නොව පිනට උරුම කරගෙන තිබෙන සියලු මහජන මුදල් සහ දේපළ රජයට පවරා ගත යුතුය. එය කළ හැක්කේ කාට ද?
යහ පාලනය රජය බලයට පැමිණි වහාම පිනට රැස් කරගෙන සිටි ධනයට කෙළවෙන බව දැනගත් විට කලබලයක් ඇති විය. බෙල්ලටම තොණ්ඩුව වැටෙන්නටය තිබුණේ. එහෙත් සිදු වුණේ කුමක් ? නිල වශයෙන් වරප්රසාද සහිතව ඩුබායිවලට ගොස් සියල්ල නිරාකරණය කරගැනීමට සමත්වීම ය. මේ නින්දිත ක්රියාව දැනගත් උදවිය එවක විදේශ අමාත්ය මංගල සමරවීර මුණ ගැසී ප්රශ්න කළ විට ඔහුගේ පිළිතුර කුමක් ද?
මට අගමැති ජනාධිපති දෙන්නම කතා කළා. ‘ඉතින් පුදපු ගමන් කාපි යකා‘ කියලා ඝට්ඨනයක් ඇති කර ගණන් බැරි නිසා මට සිද්ධ වුණා අකමැත්තෙන් හරි උදව් කරන්න. ඒ වුණාට ඉස්සරහට නං මගෙන් බුරුලක් ලැබෙන් නෑ.’ ඒ හුදු කටමැත දෙඩවීමක්ම විය. මහින්ද රාජපක්ෂට විදේශ ඇමති බයිපාස් කරගෙන අවශ්ය හැම දේම කරගන්නට පුළුවන් විය. එපමණක් නොව නීතිය හා සාමය ඇමති – අධිකරණ ඇමති ළඟට ගෙන්වාගෙන උපදෙස් දී සේවය ලබා ගන්නට ද ඔහු සමත් විය.
මේ තතු පවසන්නේ කුමක් ද? යහ පාලනයක් වෙනුවෙන් කිසි කෙනෙකුට දැක්මක් හෝ අවංකකමක් නොතිබුණ බව ය. ඉතින් ඊළඟ නායකයා රටට ලබා දිය යුතු ප්රබලම ප්රතිඥාව නම් ‘ගජ මිතුරු දේශපාලනයට තිත තබන‘ බව ය. එපමණක් නොව ‘ඩීල්වලින් රාජ්ය පාලනය‘ හෝ ‘බලය තහවුරු කර ගැනීම‘ අත් හරින බව ය.
මේ කාරණා වඩාත් ලස්සණට වචනවලින් කියන්නට පුළුවන. පලක් නැත. ලියා පළ කරන්නට පුළුවන පලක් නැත.
එසේ නම්?
ඊළඟ නායකයා තමන්ගේ දැක්ම හා අවංකභාවය විවෘතව සපථ කළ යුතුය. එය කරන්නේ කෙසේ ද?
ජන වරමක් ලබා ගත් පසුව දිවුරුම් දිය යුත්තේ සාම්ප්රදායික රාමුවෙන් වියුක්තවය. එය කරන්නේ කෙසේ ද?
මේ කාරණා ගැන දීර්ඝව කරුණු සාකච්ඡා කළ යුතුව ඇත.■