No menu items!
25.2 C
Sri Lanka
6 October,2024

දිවයින සමග එකතු වී මිනිසුන් මුලාකර සල්ලි ගරන මහගොඩගේ යෝගිතුමා

Must read

 

ඉරිදා දිවයින පුවත්පතේ දැන් කාලයක සිට දරුඵල නොමැති පවුල්වලට දරුඵල ලබාගැනීමට උපකාර ලෙස යැයි පවසමින් මහගොඩගේ යෝගිතුමා නම් පුද්ගලයෙකු සමග සම්මුඛ සාකච්ඡුා මාලාවක් පවත්වා ගෙන යයි. ‍

එම යෝගීවරයා එම සාකච්ඡා සෑම එකකම අවසානයට කියන්නේ දරුඵල නොමැතිවන්නට තමන් දැක්වූ හේතුන් මගහරවා ගැනීමට හෝ එය රෝගී තත්ත්වයක් නම් එය සුවකිරීමට හෝ තමන්ට හැකි බවය. ඉතින් මේ ලිපිමාලාව කියවන දරුඵල නැති අය විශාල වශයෙන් මේ මහගොඩගේ යෝගිවරයා මුණගැසෙන්නට යන බව අනිද්දා පුවත්පතට වාර්තාවෙයි. අනෙක් පැත්තෙන් මේ ලිපි කියවන පාඨකයන් තමන්ගේ නෑදෑයෙකු හෝ හිතවතෙකු හෝ මෙවැනි පීඩාවකින් කල් ගෙවන්නේ නම් තමන් කියවූ මේ ලිපිය නිසා දැනුවත් වී මේ පුද්ගලයා වෙතට දරුඵල නොමැති එම නෑදෑයා හෝ හිතවතා යොමුකරනු ඇත. ඔවුන් එලෙස යන්නේ දරුවෙකු නොමැතිකමේ පිඩාව සංසිඳුවා ගැනීම සදහාය. දරුවෙකු දෙනවා නම් මෙලෙස මෙවැනි ස්ථානවලට යන අසරණයන් ඒ සදහා ඕනෑම මුදලක් ගෙවන්නට ද සූදානම් ය. ඒ දරුවෙකු නොමැතිවීම ගැහැනියකට නම් දරුණු සමාජ පීඩාවක් මෙන්ම වඳ ගැහැනිය යන සමාජ නාමකරණය ලැබ අවමනට ගැරහීමට ලක්වීම නිසාය. දරුවෙකු නැතිවීම පිරිමියාගේ පුරුෂ ශක්තිය හීනවීම යැයි මතයක්ද සමාජය මත වගාදිගා වී තිබෙන නිසා පිරිමියාද මේ තත්ත්වයට පත්වීමට සූදානම් නැත. ඒ් නිසා ඔවුහු ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් හමුවී දරුඵල නොමැති තත්ත්වයට බටහිර වෙදකම සරණ යන අතරතුර ඉහත සඳහන් කළ මහගොඩගේ යෝගිතුමා වැනි පුද්ගලයන්ද සොයා යති.

කසාදයට පසු අවුරුද්දක් ගතවීත් දරුවන් නොමැති යුවලක් මේ මහගොඩගේ යෝගිවරයා මුණගැසී ඔහුගෙන් සුවයක් ලබාගැනීමට කැස්බෑව බණ්ඩාරගම පාරේ විලියම් ජයතිලක මාවතේ සමාධි සෙවණ අසපුව වෙත ගියෝය. එලෙස ගිය ඔවුන් මේ ලියුම්කරු සමග පැවසුවේ මෙය දරුවෙකු ලබාගැනීමේ සිහිනය දකින දරුඵල නොමැති අසරණයන් මුලා කර ඔවුන්ගේ මුදල් ගසාකන ජාවාරමක් බව තමන්ට වැටහුණු බවය. මුලින්ම ඔවුන්ගේ කතාව අසමු.

‘‘අපි මේ යෝගිතුමා ගැන දැනගත්තේ දිවයින පත්තරෙන්. ඒකේ නම්බර් එක තිබුණා. හැබැයි දිවයිනේ අපේ යාළුවෙක් ඉන්න නිසා අපි එයාට කතාකළාම එයා අපිට යෝගිතුමා හමුවෙන්න දිනයක් දාලා දුන්නා. හමුවෙන්න හරි අමාරුයි කියලා තමයි කියන්නේ. දරුවෝ නැති අය ගොඩාක් මෙතැනට එනවා. සතියට දවස් දෙකයි හමුවෙන්න පුළුවන්. දවසකට කපල් 8ක් විතරයි බලන්නේ කියලා තමයි කිව්වේ. කොහොම හරි අපි යෝගිතුමාට කතා කළා. එයා කිව්වේ පොල්ගෙඩියක් අරගෙන කහවතුරෙන් හෝදලා බුලත් විසි එකක බුලත් අතකුත් එක්ක බුදු ලාම්පුව ළග වරු තුනක් තියලා ඒකත් අරගෙන දෙන්නත් එක්ක එන්න කියලා. අපි ගියා අපේ පොටෝ ගත්තා. එහෙම එන හැම කපල් එකේම පොටෝස් ගන්නවාලූ‍. ඊළගට එක කාමරයක අපිව වාඩි කළා. ඒක වලව්වක් වගේ පැරණි ගෙයක්. අපි ටිකක් වෙලා ඉන්නකොට අපිව ඊළග කාමරයට එක්කරගෙන ගියා. ඒකේ බිම ඉදගන්න මෙට්ටයක් දාලා තිබුණා. බුදු පිළිමයක් කර`ඩුවක් තිබුණා. කරඩුව දිහා බලාගෙන බිම වාඩිවෙලා තමයි යෝගීතුමා හිටියේ. අපි දන්න විදිහේ යෝගිවරයෙක් නෙවෙයි රැවුල බිංදුවටම කපලා සම්පූර්ණයෙන්ම සුදු ඇදලා. කරඩුව දිහා බලාගෙන ඉදලා අපි දිහාට හැරිලා තමයි භාවනා ශක්තියෙන් ඒ දේවල් කියනවා කියලා කියන්නේ. අපිට මුලින්ම කිව්වා මම ළගට එන රෝගීන්ට දාහක් ප‍්‍රශ්න තියෙනවා හැබැයි ඔයාලා ඒ අතින් වාසනාවයි ඔයාලට එහෙම ප‍්‍රශ්න නැහැ කියලා. ඊළගට කිව්වා ගෙදර භූතයෝ ඉන්නවා කියලා. ඊළගට කරඩුව දිහා බලාගෙන අතින් රවුමක් කරකවලා එකපාරට නවත්වලා මම (පිරිමියා) දිහා බලලා කිව්වා ඔයාගේ ආණ්ඩ කෝෂවල ඉදලා ශුක‍්‍රාණු අරගෙන එන නාලයක පොඩි අවහිරයක් තියෙනවා, දෙන්නගෙම ඇඟ උෂ්ණයි, මේක සනීප කරලා දරුවෙක් හදන්න පුළුවන් කියලා. එහෙම කියලා කිව්වා ළගම පන්සලට සිවුරක් පූජා කරලා එන්න, බෙහෙත් එකක් තියෙනවා ඒක වතුරට දාලා නාවන්න ඕනෑ කියලා. එක්කෙනෙක් නාවන්න රුපියල් 25,000ක් යනවා කිව්වා. එතකොට අපි දෙන්නාට රුපියල් 50,000ක්. අපි කිව්වා අපි පස්සේ එන්නම් කියලා. එදා ගාන විදිහට 3,500ක් ගත්තා.”‍ ඒ කතාව ඉවර වෙන්නේ එලෙසින්ය. සමහර යුවලකට තමන්ගේ රෝගී තත්ත්වය සුවකරගන්න මීට බෙහෙවින් ඉහළ මිලක් ගෙවන්න වෙන බවද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සිට ලොකු ලොක්කන් සරණ පතා මේ යෝගී ආශ‍්‍රමයට පැමිණෙන බවද දැනගන්නට ලැබෙයි.
මේ යෝගිවරයා සහ ආශ‍්‍රමය පිළිබදව තිබෙන යූටියුබ් වැඩසටහනක කියන්නේ ‘‘‍තමාගේ ශරීරයෙන් පිටවන ඕරා (AURA), ශක්තිය ම`ගින් නිසි ලෙස සකසාගෙන අකුසල කරුමයන් බුදු බලයෙන් මගහරවාගෙන ශරීරයේ තිබෙන ගැටලූ‍වලට බෙහෙත් ලබාගෙන වාසනාවන්ත දරුවෙකු ලබාගත හැකි බවය”‍. ඒ සදහා මේ යෝගි  වරයා වෙත යා යුතුය. ඔහු මේ ගැටලූ දකින්නේද ගැටලූ‍වලට බෙහෙත් කියන්නේද භාවනාවෙන් සිත දියුණු කිරීමෙන් නිපන් ශක්තියකින්යැයි කියනවා මිස එම්බීබීඑස් උපාධියකින් ලබාගත් දැනුමකින් නොවන බව කිව යුතුය. යම් කාන්තාවකට දරුවෙකු පිළිසිද ගැනීමට පවතින නොහැකියාවන් මොනවාද, ඒවාට තිබෙන පිළියම් මොනවාද, යන්න අද නවීන වෛද්‍ය විද්‍යාව සක්සුදක් සේ දන්නේය. එනිසා වෛද්‍යවරයෙකු ළගට ගියවිට එම කාන්තාවට දරුවෙකු ලබාගන්නට පුළුවන්ද බැරි නම් ඒ සදහා තිබෙන විකල්ප ක‍්‍රම මොනවාද යන්න දැන කියාගත හැකිය. එහෙත් මිථ්‍යාවන් පසුපස ගොස් අමාරුවේ වැටීම සිංහල, දෙමළ, බෞද්ධ, ක‍්‍රිස්තියානි නොව බොහෝ මිනිසුන්ට පොදු තත්ත්වයක්ය. අප මොනවා කිවත් මිථ්‍යාවට කැමැතිය. එහෙත් ඒ කැමැත්ත තවත් කෙනෙකු කූට ලෙස භාවිත කර මුදල් ගරන්නේ නම් මිනිසුන් අසරණභාවයට හෙළන්නේ නම් එතැන ලොකු ගැටලූවක් ඇත. එනිසා අපි තුළ මිථ්‍යාවට පුංචි ඉඩක් ඉතුරුකරගත්තත් මෙවැනි ජාවාරම් පිටුදැකිය යුතුය.

මේ ආශ‍්‍රමයට තවත් කාන්තාවක කතාකර තමන්ගේ අවශ්‍යතාව කියූ විට එහි සිට කතාකළ පොඩි යෝගීතුමා නම් පුද්ගලයෙකු පවසා ඇත්තේ දවසකට රෝගීන් 8 දෙනෙකු පමණක් බලන බැවින් ස්ථිරවම එනවා නම් කියන්න කියාය. ඉන්පසුව එන්නේ කොහොමද, ලිපිනය පවසන්න යැයි කියූ විට කියා ඇත්තේ කැස්බෑවට පැමිණ කතාකරන්න කියාය. මෙයින් පෙනෙන්නේ මෙම ආශ‍්‍රමයේ ලිපිනය හෝ දෙන්නට මේ පුද්ගලයන් සූදානම් නැති බවය. බොහෝ විට මෙතැනට පුද්ගලයන් ගෙන්වාගන්නේ දැනහැඳුනුම්කම් ඇති ඒජන්තයන් හරහාය. ඒ මේ බොරුව සමාජගත වීම වැළැක්වීම සදහාය. දිවයින පුවත්පතේ වැඩකරන සමහර පුද්ගලයන් හරහා මිනිසුන් මේ ආශ‍්‍රමයට සම්බන්ධ වනවා වන්නට පුළුවන. ඔවුහු මාධ්‍ය ආයතනයක් ලෙස මේ ජාවාරම්කරු ප‍්‍රවර්ධනය කරමින් නිරන්තරව ලිපි සම්මුඛ සාකච්ඡා පවත්තමින් සිටිති. ඒ කිසිදු ලැජ්ජාවකින් තොරවය. නිරන්තරව බෞද්ධ දර්ශනය ගැන කතාකරන පුවත්පතක් බුදුදහම කෙළෙසමින් බුදුදහම භාවිත කරමින් මිනිසුන් ගොනාට අන්දවා මේ යෝගී ආශ‍්‍රමයට දැක්කීම පිළිකුලෙන් හෙළා දැකිය යුතුය.

අනිද්දා පුවත්පතේ මේ ලියුම්කරු මේ යෝගී අසපුවට කතා කළේය. මහගොඩගේ යෝගිතුමා ඉන්නවාදැයි ඇසූ විට පොඩි යෝගීතුමායි තමන් හදුන්වාගත් පසුව චමින්දයැයි නම ප‍්‍රකාශ කළ පුද්ගලයෙකු කීවේ යෝගි වරයා භාවනාවක සිටින නිසා කතා කළ නොහැකි බවය. පසුදා උදේ 9ට ආශ‍්‍රමයට පැමිණෙන්නේ නම් සම්මුඛ සාකච්ඡාවක් ලබාදිය හැකි බව, ඔහු පසුව මේ ලියුම්කරු අමතා කීවේය. ඔහු එහිදී කැස්බෑව නගරයෙන් හැරී බණ්ඩාරගම මාර්ගයේ පැමිණ විලියම් ජයතිලක පාරේ ආශ‍්‍රමයට එන හැටිද ප‍්‍රකාශ කළේය. දිනකට කපල් 8ක් පරීක්ෂා කරන බවත් පැවසූ ඔහු කීවේ මිල ගණන් තීරණය කරන්නේ අදාළ පුද්ගලයන් පරීක්ෂා කිරීමෙන් පසුව බවය. ඔවුන් දිගටම දිවයින පුවත්පත හා සම්බන්ධ වී වැඩකටයුතු කරන බවද එම පොඩි යෝගිවරයා මේ ලියුම්කරු සමග පැවසුවේය.

 

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි