කොළඹ හා අවට මාර්ගවල ක්රියාත්මක වූ බස් ප්රමුඛතා මං තීරුවෙහිම ත්රීරෝද රථ සහ යතුරු පැදි ද ධාවනය කරවීමේ නීතිය ක්රියාත්මක වූයේ සැප්තුම්බර් 21 වන සඳුදා සිටය. ඊට පෙර සතියේ සැප්තැම්බර් 14 වන සඳුදා සිට සිකුරාදා දක්වා ඒ සඳහා පෙරහුරුවක් ක්රියාත්මක විය.
පෙරහුරුව ක්රියාත්මක කර දින දෙකකට පසුව 16 වන දා මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න ප්රකාශ කළේ ඉදිරි දින තුන යතුරු පැදි හා ත්රීරෝධ රථ පාරේ වම් පස පළමු මං තීරුව වන බස් ප්රමුඛතා මං තීරුව පමණක් භාවිත කළ යුතු බවයි. බස් රථ, ත්රීරෝධ රථ හා යතුරු පැදි පාර පුරා ඇති මං තීරු සියල්ලේම ගමන් කරන නිසා මාර්ග තදබදය ඇති වන බවත් එහිදී ඔහු සඳහන් කළේය. උදෑසන 6 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 4 සිට රාත්රී 8 දක්වාත් බේස්ලියින් පාර, හයිලෙවල් පාර, නුවර පාර, ගාලු පාර හා ශ්රී ජයවර්ධනපුර වන ප්රධන මාවත්වල මේ නීතිය ක්රියාත්ම විය.
ඔහුගේ ප්රකාශයට අනුව විනයක් නැතිව මාර්ගයේ ගමන් කරන්නේත් මාර්ග තදබදය ඇති කරන්නේත් මගී ප්රවාහන බස් රථ, ත්රී රෝධ රථ හා යතුරුපැදි කරුවන්ය. ඒ අය එක ගොඩට දැම්මාම ඔක්කෝම හරිය.
මෙය තකතීරු තීන්දුවකි. ප්රවාහනය ගැන මූලික දැනුමක් ඇති අයෙකුට පවා මෙය අසාර්ථක වන, මෝඩ තීන්දුවක් බව ක්ෂණිකව වැටහේ. යම් ක්ෂේත්රයක ප්රවීණයන් වෙනුවට හැම තීන්දුවක්ම ‘හමුදාකාරයන් හා පොලිස්කාරයන්’ ගන්නට ගියාම වෙන හදිය මේ මංතීරු නීතිය ක්රියාත්මක කිරීමට ගත් උත්සාහ යෙන් පැහැදිලි විය.
මීට පෙර කොළඹ නගරයේ මාර්ග තදබදය සඳහා බස් ප්රමුඛතා මංතීරු ක්රමයක් අත්හතා බලා තිබුණේ අහසින් කඩා පාත් වූ අදහසක් ලෙස නොවේ. එය අමල් කුමාරගේ වැනි අපේ කලාපයේ සිටින විශිෂ්ඨම ප්රවාහන විශේෂඥයන්ගේ යෝජනා මත ක්රියාත්මක කළ එකකි. එය විධිමත් සැලසුම් ඇතිව ඉදිරිපත් කළ යෝජනාවකි. එය කොළඹට පැමිණෙන මගීන්ගේ පහසුව ගැනත්, තදබදය අවම කිරීම සඳහාත් සකස් කළ ක්රමයකි.
බස් රථයකට පාරේ වෙන්වන ඉඩ මෝටර් රථ දෙකකින් ආවරණය කරයි. ලංකාවේ අමුතු වාහන සංස්කෘතියක් ඇත. සමාජ තත්වය පෙන්වන්නට පැජරෝ, මොන්ටෙරෝ, ඩිෆෙන්ඩර්, වී8 වැනි වාහනය ගැනීම සම්ප්රදායකි. සමහරවිට එක් මගියෙක් පමණක් එවැනි වාහනයක හරි බරි ගැහී ගමන් කරයි. එහෙත්, වෑන් රියක ඉඩකඩ මහපාරෙන් අල්ලාගනියි.
මාර්ග තදබදය අවම කිරීම යනු මාර්ගයේ පවතින ඉඩකඩෙන් සම්පූර්ණ ප්රයෝජන ගැනීමයි. නගරයට පෞද්ගලික වාහන ඇතුළුවීම හැකි තරම් අවම කොට, පොදු ප්රවාහනයට යොමු කිරීමයි. සාමාන්ය ගාස්තු මත සාමන්ය මගීන් ගමන් කරන අතර, ඉහළ වියදමක් දැරීමට හැකි අයට සුඛෝපභෝගී පොදු ප්රවාහන ක්රම ආරම්භ කිරීමත් සුදුසුය.
බස් රථවලට වෙනම, විශේෂ මංතීරුවක් ලැබෙන විට බස් රථයක යන අයට ඉක්මනින් ගමනාන්තයට යා හැකිය. එවිට මගීන් ඉක්මන තකා පෞද්ගලික වාහනය ගෙදර තබා බස්රියෙන් පැමිණෙයි.
සතියේ දිනවල කොළඹ නගරයට වැඩිම පිරිසක් පැමිණෙන්නේ බස් රථ, ත්රීරෝද රථ හා යතුරුපැදිවලිනි. මේ වාහන සියල්ල එක මං තීරුවකට හිර කර ඉතිරි මං තීරුවේ හෝ මං තීරු දෙකේ මෝටර් රථ ඇතුළු සුඛෝපභෝගී වහානවලට පහසුවෙන් ගමන් කිරීමන් කිරීමට මේ ආණ්ඩුව පසුගිය සතියේ ක්රියාත්මක කළ ක්රමවේදය අනුව ඉඩ කඩ විවර කර තිබුණි. එක් මං තීරුවක බස්, ත්රීරෝද රථ හා යතුරුපැදිකරුවන් සිර වී බලා සිටියදී මොටර් රථ ඉතා පහසුවන් තමන්ට පමණක් වෙන් කළ මං තීරුවේ ගමන් කළේය. බැලූ බැල්මටම එය අදායම් මට්ටම් දෙකක මිනිසුන්ට දෙආකාරයකට සැලකීමක් ලෙස පෙනෙන්නට තිබුණේය. පෙරහුරු අවස්ථාවේදීම මෙම ක්රමවේදය ත්රීවීල් හා යතුරුපැදි කරුවන්ගේ හා බස්වල ගමන් කළ මගීන්ගේ දැඩි දෝෂාරෝපනයට හේතු විය.
ඇත්තටම මේ ක්රමය හදා ඇත්තේ මගීන්ගේ ප්රවාහන අරමුණු ගැන සිතා නොවේ. මාන්නයෙන් පිරි, මහපොළොවේ නැති ඉහළ පාන්තික අදහසකිනි. කරදරකාරයන් ටික එක ගොඩට දැම්මාම හරි කියා කිසිම විද්යාත්මක පදනමක් නැතිව කල්පනා කරමිනි.
සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මේ මංතීරු නීතිය ගෙන ආවේ මාර්ග තදබදය අවම කිරීමට හෝ කොළඹට පැමිණෙන බහුතරයක් පුද්ගලයින්ගේ සුව පහසුව සැලසීමට නොව කාර්වලින් පැමිණෙන ඉහළ පංතියේ අයට පහසුකම් සැලසීමේ අරමුණින් බවය.
පෙරහුරු සතිය අවසන් වී 21 වන සඳුදායින් පසුව මේ නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව සැප්තැම්බර් 20 වන ඉරිදා මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් ජාලිය සේනාරත්න සඳහන් කළේය. මේ තීරණයේ ඇති බරපතල අවුල සම්බන්ධයෙන් ඇති වූ දැඩි විවේචන හේතුවෙන් මේ නීතියෙහි සංශෝධනයක් කළ බව 22 වන දා පොලිස් මූලස්ථානයේ දී යළිත් මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්ය ප්රකාශක ජාලිය සේනාරත්න 23 වන දා සිට මං තීරු නීතිය සංශෝධන සහිතව ක්රියාත්මකවන ආකාරය පැහැදිලි කළේය.
ඒ අනුව බස් ප්රමුඛතා මං තීරුවෙන් ත්රීරෝද රථ හා යතුරුපැදි ඉවත් කර බස් ප්රමුඛතා මං තීරුවෙහි මගීන් ප්රවාහනය කරන ලංගම හා පෞද්ගලික බස්වලට අමතරව පාසල් ළමුන් ප්රවාහනය කරන වෑන් හා බස්රථද, කාර්යාල සේවක සේවිකාවන් ප්රවාහනය කරන බස් රථ හා වෑන් රථද ගමන් කළ යුතු බව හා යතුරු පැදි, ත්රීරෝද රථවලට දෙවන මං තීරුවෙහි ගමන් කළ හැකි බව සඳහන් කළේය.
ඉහළ සිටින පුද්ගලයන්ට මහමගදී සාමාන්ය මගියෙකු විඳින පීඩාව ගැන වැටහෙන්නේ නැතිවා විය හැකිය. සාමාන්ය මගියෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ මහමගට ගෙවෙයි. ඔවුන්ට විවේකයෙන් සැහැල්ලුවෙන් ඉන්නට තිබෙන කාලය දහදිය දමමින් බස් රියක සිර වී ගත කරන්නට සිදුවෙයි. යතුරුපැදිකරුවන් අස්සෙන් දමමින් වාහන පැදීම නරක බව ඇත්තය. එහෙත්, ඉක්මනින් ගමනාන්තයට යෑමේ අරමුණෙන් ඔවුන් බරැති යතුරු පැදියක් එහේ මෙහේ කරන්නේ විනෝදයට නොවේ. තෙහෙට්ටුවෙන් පිරි, සැහැල්ලුවක් නැති ශ්රම බලකායක් බිහිවීමට දුර්වල ප්රවාහනය ප්රධාන හේතුවක් වී තිබේ. පසුගිය රජයේ කුමන අඩුපාඩු තිබුණත් ප්රවාහනයේ අඩුපාඩු පුරවන්නට විද්වතුන්ගේ උපදෙස් මත සැලසුම් සකස් කර තිබුණි. සැහැල්ලු දුම්රිය ව්යාපෘතියක් පටන්ගන්නට සිටියේත් ඒ අනුවය. මහා වියදමක් දරමින් දුර බැහැර ගමන් යන්නට අධිවේගී මාර්ග හදන මේ ආණ්ඩුව අගනගරයේ ප්රවාහන අර්බුදය විසඳන්නට මෙවැනි අසාර්ථක උත්සාහයන් ගැනීම කණගාටුවට කාරණයකි. මං තීරු නීතිය නිසා වඩාත් පීඩාවට පත් වූවන් අතර රැකියා සඳහා යතුරු පැදිවලින් කොළඹට පැමිණෙන පුද්ගලයින් ප්රමුඛය. මං තීරු දෙකක නිදහසේ වේගයෙන් සුඛෝපබෝගී මෝටර් රථ ඉගිල යන විට වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් එදෙස බලා සිටියේ ඔවුන්ය. මේ නීතිය ක්රියාත්මක කළ පළමු දවසේම එය ඉහළ පැලැන්තියේ අයට මාර්ගයේ ප්රමුඛතාවක් ලබාදීමට කළ වැඩක් බව පෙනෙන්නට තිබුණු බව පවසන්නේ සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහය.
‘මෙතන ප්රශ්නය තියෙන්නේ නීතිය ක්රියාත්මක කරන ආයතනය ප්රායෝගික නොවීම. යතුරුපැදිකරුවෝ විනයානුකූල වෙනවා. පොලීසිය යෝජනා කරන දේ නිවැරදි නෙවෙයි. දැන් ආයෙත් දාලා තියෙනේ දෙවැනි මං තීරුවේ ත්රීරෝද රථ හා යතුරු පැදි ධාවනය කළ යුතුයි කියලා. මම ඊයේ දැක්කා මං තීරු තුනේම කාර්. මේකේ ප්රධාන ප්රශ්නේ කාර් නිසා ඇති වෙලා තියෙන්නේ. රෝද හතරේ වාහන හොඳටම වැඩියි. මේ වැඩෙන් වුණේ මාර්ග නීති සම්බන්ධයෙන් රියදුරන්ගේ මනසේ තිබුණු අවබෝධය සම්පූර්ණයෙන්ම අවුල් වීම විතරයි. ඒ ඇතිවෙන අවුල ලිහන්න ඉදිරියේදි මේ අයට සෑහෙන වෙහෙසක් ගන්න සිද්ධ වෙනවා.’
සමස්ථ ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ඒ පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසකි.
‘පාරේ ප්රශ්නයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. එය විසඳා ගැනීම සඳහා පාර භාවිතා කරන අයයි, පරිපාලනය කරන අයයි හැමෝම කැප වෙන්න ඕනෑ. හැබැයි ඒ ගැන අපි සංවේදීයි. මාර්ග නීති සැමට එක සේ ක්රියාත්මක විය යුතුයි. පැවතිච්ච තත්වය ඇතුළේ ත්රීරෝද රථ සහ යතුරු පැදි වෙට්ටු දාලා තමන්ගේ ගමන ගියා. අවුලේ ප්රයොජනය ගත්තේ ත්රීවීල් හා යතුරුපැදි කියමුකෝ. අපේ තමයි විනයක් නැත්තේ කියලා අදහසක් සමාජයේ තියෙනවා. ඒ තත්වය නැතිකරන්න නම් අමුතුවෙන් කවුරුවත් නීති දාන්න ඕනෑ නෑ. තියෙන නීති රට පුරාම හරියට ක්රියාත්මක කළාම ඇති.’
2017 වසරේදී මුලවරට බස් ප්රමුඛතා මංතීරු ක්රමය හඳුන්වා දීමේදී ඒ ක්රියාවලියට දායක වූ මහාචාර්ය අමල් කුමාරගේ මං තීරු සම්බන්ධයෙන් අද උද්ගත වී ඇති තත්වය පිළිබඳ දැඩි ලෙස කණගාටුවන බව පැවසීය. කොළඹ කිලෝමීටර් 30 ක් පමණ දුරක් තුළ අත්හදා බැලීම් කර, පර්යේෂණ කර, ඊට අවශ්ය නීති සම්පාදනය කිරීමෙන් හා අදාල පුද්ගලයින් පුහුණු කිරීම්වලින් පසුව බස් ප්රමුඛතා මං තීරු ක්රමය ක්රියාත්මක කළ බවත් ක්රමවේදයේ ඇති වූ ගැටලු දින කිහිපයකින් විසඳා බස් රථවල වේගය තරමක් වැඩි කර ගැනීමට හැකි වූ බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. සෙසු වාහනවලටත් ඉන් යම් පහසුවක් සැලසුණු අතර පහුගිය සතිය වන තුරුම ක්රියාත්මක වුයේ ද ඒ ක්රමයයි.
‘බස් ප්රමුඛතා මං තීරු ක්රම ලෝකයේ රටවල් 200 ක පමණ විවිධ මට්ටම්වලින් ක්රියාත්මක වෙනවා. රටක ආර්ථික ක්රියාවලියේදී වැදගත් වෙන්නේ වාහන නෙමෙයි. එන මිනිස්සු ප්රමාණයයි. ඒ නිසයි දියුණු රටවල් මං තීරු ක්රම වගේ සංකල්ප භාවිතයට ගන්නේ. ප්රමිතියෙන් යුතු බස් රථ ධාවනයේ යොදවන්නේ. එතකොට වෙන්නේ බස් එක වෙලාවට යනකොට මෝටර් රථයේ එන මනුස්සයා, මෝටර් සයිකලයේ එන මනුස්සයා බස් එකේ එන්න ගන්නවා.
දැන් තියෙන තත්වය අනුව කොළඹ නගරයට දවසකට ලක්ෂ 10 ක් විතර පුදගලයින් ඇතුල් වෙනවා. බස් ගමන් වාර 10,000 යි. පෞද්ගලික වාහන ලක්ෂ 4 ක් කොළඹට එනවා. ඒවායේ ලක්ෂ 6 ක් පුද්ගලයින් එනවා. තදබදයට මූලික හේතුව ඒ පුද්ගලික වාහන. ඒ වාහන ලක්ෂ 4 න් ලක්ෂයක් අඩු කරගන්න හැකි වුණොත් මේ තදබදය විශාල ලෙස අඩු වෙනවා. බස් ප්රමුඛතා මංතීරුවට වෙනත් වාහන ඇතුළ් කළාම බස් ගමනාගමනය අඩාල වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කේ කාර් ප්රමුඛතා මං තීරු ක්රමයක්.
මේ මං තීරු නීතිය අපේ රටේ මෝටර් රථ ආඥා පනතේ මුල ඉඳලාම තියෙනවා. පාරක වාහනයක් ගමන් කරනවා නම් වම් පත්තෙන් ගමන් කරන්න ඕනෑ. තීරු තුනක් තියෙනවා නම් අපි පදවන්න ඕනෑ වම් පැත්තේ තීරුවේ. වාහනයක් ඉස්සර කරනවානම් හෝ දකූණට හරවනවා නම් තමයි දකුණුට ගන්න ඕනෑ. අපි අධිවේගී මාර්ගවල යනකොට ඒ ක්රමය හොඳින් පාවිච්චි කරනවා. අනෙක් පාරවල්වල වම් තීරුවේ කවුරුවත් යන්නේ නෑ. මං තීරු නීතිය හරියටම ක්රියාත්මක කරනවා නම් පොලීසිය කළ යුත්තේ සියලුම වාහන වම් පැත්තෙන් ධාවනය කරවීමයි. වම් මං තීරුවේ බස්, දෙවෙනි මං තීරුව ත්රීරෝද රථ හා යතුරුපැදි, තුන්වෙනි මං තීරුව කාර් කියලා මම ලෝකේ කොහේවත් දැකලා නෑ. මං තීරු නීතිය ක්රියාත්මක කරන්න ඕනෑ වේගය අනුව. හෙමින් යන බස් රථයක් වමේ අයිනෙන් යන්න ඕනේ. හයියෙන් යන කාර් එකක් ඊට දකුණෙන් යන්න ඕනෑ. එතකොට තමයි පාරේ විනය හා කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ.’■
ප්රින්ජිත් ආලෝකබණ්ඩාර