No menu items!
19.7 C
Sri Lanka
2 January,2025

පිය හෙවණැල්ලෙන් මිදීම දුල්කර් සල්මාන්

Must read

 

ඉන්දියානු සිනමා ඉතිහාසයේ හොඳම රංගන ශිල්පියා පිළිබඳ අදහස් පළකිරීම්වලදී අමිතාබ් බච්චන් මඟ නොහැරෙන බව විශ්වාසයි. ඉන්දියාවේ වටිනාම සිනමා සම්මාන උළෙල වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී සිව්වතාවක්ම හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගන්නට අමිතාබ් සමත්වුණා. එවැනි සාකච්ඡුාවකදී කමල් හසන්වත් මඟ නොහැරේවි. ඔහුත් ඒ සම්මානය තෙවතාවක්ම දිනාගත්තා. දෙවතාවකට වඩා ඒ සම්මානය ලබාගැනීමේ අසීරු ජයග‍්‍රහණය ලද තවත් එක් රංගන ශිල්පියෙක් පමණක් වසරකට චිත‍්‍රපටි 1500ක් පමණ තිරගත වෙන ඉන්දියාවේ සිටිනවා. ඔහුත් හොඳම රංගන ශිල්පියා ගැන සාකච්ඡුාවකදී කිසිදා මඟහැර යා නොහැකියි. ඒ තෙවැන්නා තමයි මලයාලම් සිනමාවේ ‘මෙගාස්ටාර්’ මම්මුති.

මේ කතාව ඒ දැවැන්තයා ගැන නොවේ. ඒ දැවැන්තයාගේ සෙවණැල්ලෙහි හැදී වැඞී පියාගේ සෙවණැල්ලෙන් මිදුණු ඔහුගේ පුත‍්‍රයා. නව මලයාලම් සිනමාවේ ජනප‍්‍රියම රංගන ශිල්පීන් සිව්දෙනා වන ප‍්‍රීතිවිරාජ්, නිවින් පෝලි, ෆාහාද් ෆාසීල් සහ දුල්කර් සල්මාන් යන සිව්දෙනාගෙන් සිව්වැන්නා. දුල්කර් සල්මාන්.

දුල්කර්ගේ කතාව දිළිඳුකමේ සිට ඉහළට ආ වීර්යවන්තයෙකුගේ කතාවක් නොවෙයි. කෑම වේලක් නැතිව සිට අසීරුවෙන් සිනමාවට ආ කෙනෙකුගේ කතාවකුත් නොවෙයි. එහෙත් සියල්ල ඇති තැනක සිට, තමන්ට උපතින් ලැබුණු සියල්ල අවභාවිත කරමින් අනාගතය ගොඩනඟාගන්නා විශාල පිරිසක් මැද දුල්කර් ආ ගමනෙන් ගන්නට දේ බොහොමයි.

සිනමාවට පැමිණීම
බොහෝවිට දැවැන්ත රංගන ශිල්පීන්ගේ දරුවන් කුඩා කල සිටම සිනමාවට පැමිණීමට සූදානමින් කටයුතු කරනවා. ඉන්දීය සිනමාව වැනි දැවැන්ත ආදායම් ලැබිය හැකි තැනක සිනමාවට නොපැමිණීම මෝඩකමක් විය හැකියි. එහෙත් දුල්කර් කුඩා කල සිටම සිනමාවට පැමිණීමේ සූදානමකින් සිට නැහැ. ඔහු අධ්‍යාපනයේ ඉහළට ගියා. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හමාර කිරීම සඳහා අමෙරිකාවට යනවා. උපාධිය අවසන් කොට අමෙරිකාවේ රැුකියාවක්ද කරනවා. පසුව ඩුබායි වෙත පැමිණ ව්‍යාපාරයක නිරත වෙනවා. ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගියත් තමන්ගේ ජීවිතයේ අඩුවක් ඇතැයි තමන්ටම වැටහුණ බව දුල්කර් කියනවා. 2009 දී විතර ඔහු තමන්ගේ ජීවිත ගමන රංගනය දෙසට යොමු කරනවා.

‘මට කවදාවත් සිනමාවට එන්න ඕනෑ වුණේ නැහැ. ඒත් මගේ ජීවිතය කොතැනකදී හෝ කම්මැලි වෙන්න ගත්තා. තරුණ කාලයේදී අපි සල්ලි හොයන්න බොහෝ දේ කරනවා. එහෙත් ටික කාලයක් යද්දී වැටහෙනවා මුදල් හැමදේම නොවන බව. ඒ නිසා මම රංගනය පැත්තෙන් වෙනසක් හොයන්නට උත්සාහ කළා.’ දුල්කර් කියනවා.

එහෙත් ඔහු ඉන්දියාවට පැමිණ තාත්තාගේ සම්බන්ධතා හරහා දැවැන්ත චිත‍්‍රපටියක් සොයා ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු රංගනය පිළිබඳ පාඨමාලාවකට සම්බන්ධ වෙනවා. රංගනය ගැන අධ්‍යයනය කරන්නට පටන්ගන්නවා.

‘සිහින පිටපතක් හමුවෙනතෙක් මම රංගනය ගැන ඉගෙනගන්නට පටන්ගත්තා. ඒ අතරේදී ශ‍්‍රීනාත් රාජේන්ද්‍රන් සහ කණ්ඩායම හමුවුණා.’ ශ‍්‍රීනාත් රාජේන්ද්‍රන්ගේ ‘සෙකන්ඞ් ෂෝ’ නම් චිත‍්‍රපටිය දුල්කර්ගේ පළමු චිත‍්‍රපටිය වුණා. 2012 දී තිරගත වූ මේ චිත‍්‍රපටිය දැවැන්ත මුදල් ව්‍යාපෘතියක් නොවෙයි. අඩු මුදලින් නිර්මාණය කළ චිත‍්‍රපටියක්. දුල්කර් මේ චිත‍්‍රපටියේදී හඳුන්වා දෙන්නේත් නව තරුවෙක් ලෙස නෙවෙයි. දුල්කර් කරන්නේ චරිතයට අවශ්‍ය රඟපෑම පමණයි.

‘ඒක මම හිතාමතා ගත්ත තීරණයක්. පුංචි ආරම්භයක් ගැනීම. මම හිතනවා රංගන ශිල්පියෙක් පළමු වතාවට සිනමාවට එද්දි ඔහු වීරයා වෙන්නට අවශ්‍ය අයිතිය දිනාගත යුතුයි. කෙටි පාරවල් හරහා ඒම හොඳ දෙයක් නෙවෙයි. මගේ තාත්තා වගේ කෙනෙක් ඒ අයිතිය දිනාගත්තා. මම පියවරෙන් පියවර යන්න බලාපොරොත්තු වෙනවා. ටෙස්ට් මැච් එකක් වගේ. ටී ටුවෙන්ටි මැච් එකක් වගේ නැතිව.’ දුල්කර් සුපිරි තරු ආගමනයක් වෙනුවට රංගන ශිල්පියෙකුගේ ආරම්භයක් ලබන්නේ ඒ විදියට. අඩු තරමේ චිත‍්‍රපටියේ ප‍්‍රචාරණ කටයුතු සඳහාවත් දුල්කර්, මෙගාස්ටා මම්මුතිගේ පුතා වීම යන කාරණය පාවිච්චි කර තිබුණේ නැහැ. එවැනි ප‍්‍රචාරයන් දුල්කර් සිතාමතා වළක්වා තිබුණා.

සිනමාවේ ඉදිරි ගමන
දුල්කර්ගේ පළවැනි චිත‍්‍රපටිය වූ සෙකන්ඞ් ෂෝ විශාල ගෞරවයක් දිනාගන්නට සමත් වූ චිත‍්‍රපටියක් නොවෙයි. එය රසවත් චිත‍්‍රපටියක්. කලාත්මක චිත‍්‍රපටියක්. එහෙත් දුල්කර්ම රඟපෑ පසුකාලීන චිත‍්‍රපටි දෙස බලද්දී හැම අතින්ම සෙකන්ඞ් ෂෝ ඇත්තේ පසුපසින්. එහෙත් 2012 වර්ෂයේදීම තිරගත වූ ‘උස්තාද් හොටෙල්’ චිත‍්‍රපටියෙන් දුල්කර් සල්මාන් රංගන ශිල්පියෙක් ලෙස තමන්ගේ අනාගතය ගැන පැහැදිලි සටහනක් තබන්නට සමත්වුණා. ඉන් චිත‍්‍රපටි කිහිපයක් හොඳ තත්වයේ චිත‍්‍රපටි. 2014 වර්ෂයේදී තිරගත වූ බැංගලෝර් ඬේස් චිත‍්‍රපටිය සිනමාවේ නිතර දකින්න නැති අන්දමේ අතිවිශිෂ්ට චිත‍්‍රපටියක්. 2015 වර්ෂයේදී ඕ.කේ. කන්මනී නම් මනි රත්නම්ගේ විශිෂ්ට චිත‍්‍රපටියේත් දුල්කර් රඟපානවා. 2015 දීම චාලි චිත‍්‍රපටියේත් රඟපානවා. ඒ වර්ෂය අවසාන වෙද්දී දුල්කර් මලයාලම් තරුණියන්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පියා බවට පත්වෙනවා. ඒ අතරේම ඔහු පැහැදිලිව පෙන්වනවා තමන් මම්මුතී නොවන බව.

දුල්කර් බොහෝවිට නාගරික තරුණයන්ගේ චරිත තෝරාගන්නවා. එහෙත් ඒ හැම චරිතයකම දුල්කර් තමන්ගේ ඉරියව් සියුම් ලෙස වෙනස් කරගන්නට සමත් වෙනවා. පසුව රඟපෑ ‘කාලි’ වැනි චිත‍්‍රපටියක දුල්කර් රඟපාන්නේ ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙකුගේ චරිතයක්. ඒ චරිතයේදී තමන් කරන ක‍්‍රියා පිළිබඳ තමන්ටම අවිශ්වාස ගතියක් රඟපෑමෙන් මතුවෙනවා. එවැනි අස්ථාවර මනෝභාවයක් ඇති පුද්ගලයෙකුගේ චරිතයක් දුල්කර්ගේ ‘වික‍්‍රමාදිත්‍යන්’ චිත‍්‍රපටියේත් තියෙනවා. එහෙත් ‘චාලි’ හා ‘බැංගලෝර් ඬේස්’ වැනි චිත‍්‍රපටියක දුල්කර රඟපාන චරිතය තමන් කරන දේ පිළිබඳ හොඳින්ම දන්නවා. දුල්කර්ගේ දෑස්වල පවා ඒ ඒ චරිතයේදී විවිධ චරිත ලක්ෂණ පෙන්වනවා. සියුම් ලෙස එකිනෙක චරිත ලක්ෂණ වෙනස් කිරීම, එහෙත් අධිරංගනයකට නොගොස් සැහැල්ලූ‍වෙන් චරිතය ඉදිරිපත් කිරීම වැනි කාරණාවලදී දුල්කර් අතිවිශිෂ්ටයි.

ඒ අතිවිශිෂ්ට බව හොඳින්ම මතුවෙන්නේ ‘කම්මට්ටිපාඩම්’ චිත‍්‍රපටියේදී. එය පැය තුනක් දක්වා දිවෙන දීර්ඝ චිත‍්‍රපටියක්. පාසල් කාලයේ සිට වියපත් වීම දක්වාම එහි දුල්කර් ඉදිරිපත් කරන ක‍්‍රිෂ්ණන්ගේ චරිතය ගලා යනවා. වියපත් චරිතයට යද්දී විශිෂ්ට තරුණ රංගන ශිල්පීන් පවා පෙන්වන්නේ අධිරංගනයක්. එහෙත් දුල්කර් අතිශය පරිණත ලෙස, සුපුරුදු සැහැල්ලූ‍වෙන් ඒ චරිතය පේ‍්‍රක්ෂක මනසේ විශ්වාසදායක ලෙස සටහන් කරනවා. ඒ රංගනය වෙනුවෙන් දුල්කර් ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී විචාරක සම්මානය දිනාගන්නවා.

පියා සහ පුතා
පියා මම්මුතී වීම ජීවිතයට බරක් වීදැයි දුල්කර්ගෙන් මාධ්‍යවේදිනියක විමසන්නේ ගෙවුණු ජුලි මාසයේදී.

‘මේ වෙද්දී ඒක බරක් නෙවෙයි. දැන් කෙනෙක් මා ගැන කතා කරද්දී බැංගලෝර් ඬේස්, චාලි වගේ චිත‍්‍රපටි ගැන කතාකරනවා. බොහෝවිට මිස්ට මම්මුතිගේ පුතා විදියට මාව හඳුන්වන්නෙ නැහැ. එහෙත් ඊට පෙර, මම්මුතිගේ පුතා ලෙස හැදී වැඩෙන්නට සිදුවීම එක්තරා බරක් වුණා. ඒ බර ඔහු මා මත පැටවූ එකක් නෙවෙයි. ඔහු සැහැල්ලූ‍වෙන් ඉන්න තාත්තා කෙනෙක්.’ දුල්කර් එලෙස පිළිතුරු දෙනවා. තාත්තා තමන්ගේ අනාගතය ගැන කී කතාවක් දුල්කර් මෙහෙම කියනවා. ‘මම ඔයාට කියන්නෙ නැහැ මහන්සි වෙලා වැඩ කරන්න කියලා. මම ඔයාට කියන්නෙ නැහැ පන්තියේ පළවැනියා වෙන්න කියලා. ඒත් මගේ ක්ෂේත‍්‍රයේදී මම තමයි අතිවිශිෂ්ටයා. තාත්තා මට කිව්වෙ ඒක.’
මේ වෙද්දී එක් කාරණාවක් පැහැදිලියි. සිනමා රංගනයේදී දුල්කර් විසින් තමන් අතිවිශිෂ්ටයා බව පෙන්වා හමාරයි. පසුගිය මාසයේදී දුල්කර්ගේ පළවැනි බොලිවුඞ් චිත‍්‍රපටිය වන කර්වාන් තිරගත වුණා. ඉර්ෆාන් ඛාන් සමඟ එහි ප‍්‍රධාන චරිතයකින් දුල්කර් එක්ව සිටියා. ඒ චිත‍්‍රපටියත් මේ වෙද්දී විචාරක ගෞරවයත්, පේ‍්‍රක්ෂක ගෞරවයත් දිනාගනිමින් තිරගත වෙනවා. තමාගේ පියාගේ සෙවණැල්ලෙහි රැඳී නොසිටි දුල්කර්, ඒ සෙවණැල්ලෙන් ඈත්ව තමන්ගේ අනාගතය හෙව්වා. දැන් දුල්කර්ට ඒ අනාගතය හමුවී හමාරයි. ඇතැම් විට දුල්කර් පියාටත් වඩා දිගු ගමනක් යනු ඇති.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි