No menu items!
22.2 C
Sri Lanka
24 April,2025

කාක දූපතේ පොලිස් ඝාතකයන් ආරක්ෂා කිරීමෙන් වැලිකඩ පොලිස් වධහිංසාවට ආණ්ඩුව දිරි දුන් හැටි..

Must read

‘ප්‍රචණ්ඩත්වය සහ වධහිංසා පැමිණවීම තීරණාත්මකව නැවැත්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ විමර්ශනය කර වගකිවයුත්තන්ට දඬුවම් කිරීම සඳහා රාජ්‍යය මැදිහත්වීමයි.

ලිංගික අපරාධ, ගෘහස්ථ හිංසනය, පොලිස් ක්‍රෑරත්වය, විශ්වවිද්‍යාල තුළ නවක වදය යන සියල්ල සිදුවන්නේ බලධාරීන් වගකීම භාර නොගන්නා රික්තයක් තුළ ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව වගකීම සහ වගවීම පෙන්නුම් කරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිය කාර්යය සම්පූර්ණයෙන්ම නිවැරදිව කරයි!’

ඉහත ප්‍රකාශය උපුටාගැනුණේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ෆේස්බුක් පිටුවෙනි. ඇය මේ සටහන තබා තිබුණේ අප්‍රේල් 6 වැනිදාය. ඊට නිමිත්ත වී තිබුණේ අප්‍රේල් 1 වැනිදා රාත්‍රියේදී වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට පත්වී, පසුදින අංගොඩ මානසික රෝහලේදී මියගිය සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන්, 6 වැනිදා පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකි. එම නිවේදයෙන් සඳහන් වුණේ, තරුණයා මියයාම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්කිරීමට හා තවත් නිලධාරීන් දෙදෙනකු රාජකාරි වැඩ තහනමට ලක්කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අප්‍රේල් 6 වැනිදා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර ඇති බවයි.

තරුණයා මරණයට පත්වූයේ අප්‍රේල් 2 වැනිදා වන විට, එම මරණය ගැන විවිධ පාර්ශ්ව සමාජ මාධ්‍යවල මෙන්ම පුවත්පත්වලද විවිධ අදහස් පළකරන්නට වූහ. ඒ, එම මරණය සිදුවුයේ පොලිසියේ පහරදීමක් නිසාය යන අදහස ඇතිවය. අප්‍රේල් 4 වැනිදා නිකුත් වූ අනිද්දා පුවත්පතද මේ සිදුවීම වාර්තා කළේය.

එහෙත්, අප්‍රේල් 3 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ මෙවැන්නකි. ‘අප්‍රේල් 1දා වැලිකඩ නාවල නිවසකට පුද්ගලයකු ඇතුළු වී ඇති බවට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගියේය. එලෙස ඇතුල් වූ පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන බව පෙනුණු බැවින් ඔහුගේ ආරක්ෂාව සඳහා වහාම පොලිසියට ඉදිරිපත් කරන ලදි. පොලිසියේදී ඔහු කලහකාරී ලෙස හැසිරෙමින් සිර මැදිරියේ බිත්තියේ ඔහුගේ ශරීරයේ කොටස් වද්දා ගනිමින් නිලධාරීන්ට පාලනය කළ නොහැකි අන්දමින් හැසිරුණේය. නිලධාරීහු මහත් පරිශ්‍රමයක් පදරා සැකකරු මුල්ලේරියාව මානසික රෝහලට ඇතුළත් කළහ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු පසුදින අලුයම් කාලයේ මිය ගියේය.’

කවර පැහැදිලි කිරීමක් වුණත්, මේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවුණු මරණයකි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා පසුගිය සතියේ අනිද්දා වෙත පවසා තිබුණේ එය පොලිස් පහරදීමෙන් සිදුවුණු මරණයක් බවයි. මෙනයින් 2 වැනිදා සිටම, මේ මරණය ගැන පුවත ඉතා ඉක්මනින් සමාජ කතාබහේ ඉස්මත්තට පැමිණි අතර, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීහු විශාල පිරිසක්, ‘පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයාට පහරදී මරා දැමීම’ ගැන විවිධ ආකාරයෙන් විරෝධය දැක්වූහ. ‘සත්සරට යුක්තිය’ යනුවෙන් සටන්පාඨයක්ද සහිතව ඒ සමහරු පාරට බැස විරෝධය පළකළහ. ‘අපරාධය කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගන්නැයි’ ඔවුහු ඉල්ලා සිටියෝය.

සිද්ධිය ගැන අසා ඉක්මනින් අවදිවූ නීතිඥ සේනක පෙරේරා අප්‍රේල් 3 වැනිදාම පොලිස්පතිට ලියුමක් යවමින් මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීය. ‘අප්‍රේල් 01 දා දින බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නමැති තරුණයා වැලිකඩ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවේදී ඔහුට වදහිංසා කර ඇත. පසුව ඔහු මිය ගොස් ඇත. එම තරුණයාගේ මව වන ලේකම්වසම් ලියනගේ සමන්ති යන අය විසින් පසු දින (2025.04.02) වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් සොයාබැලීමේදී එම තරුණයා ඇඳ සිටි ඇඳුම් ඉවත් කර ඇති බවත්, ඔහුගේ කලිසම කුණු කූඩයේ තිබී සොයාගෙන ඇති බවත් ප්‍රකාශ කර සිටියි. එසේම මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමසීමේදී එම තරුණයා සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව මවට පවසා ඇත.

වැලිකඩ පොලිසිය තුළ මීට පෙර රාජ් කුමාරි යන කාන්තාවද මේ ආකාරයට වදහිංසාවට ලක්වී මියගොස් ඇත.
ඒ අනුව පොලිසිය විසින් නීතියට පටහැනිව සිදුකරන මෙවැනි ක්‍රියා නැවැත්වීමට වහාම පියවර ගතයුතු වේ. එසේ නොවුණහොත් නීතියේ පාලනය බිඳවැටී පුද්ගල අයිතිවාසිකම් බිඳවැටීම නොවැළැක්විය හැකි වේ. එබැවින් ඉහත කී තරුණයාගේ මියයාම සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.’

මේ කිසිම අවස්ථාවක මාලිමා මන්ත්‍රීවරිය අවදිවූ බවක් නොපෙනේ. මාලිමා ආණ්ඩුව මතවාදීව ආරක්ෂා කරගැනීම සඳහා විශාල වැඩකොටසක් කරන ඉහත මන්ත්‍රීවරිය, මේ මරණය ගැන අදහසක් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ වැඩබලන පොලිස්පතිවරයා, පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් තුන්දෙනකුගේ වැඩ තහනම් කරන්නට කළ නිර්දේශයට පසුවය. ‘පොලිස් දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව වගකීම සහ වගවීම පෙන්නුම් කරයි.’ යනුවෙන් ඈ ලියුවද, පොලිසිය මේ පියවර ගත්තේ මාලිමා නොවන ජනතාව අතරින් විශාල මහජන විරෝධයක් පැනනැගුණාට පසුවය. ‘වගවීම හා වගකීම’ පොලිසියට මතක් වුණේ මහජනතාව නීතියේ පාලනය පවත්වාගැනීම පිළිබඳ සිය ‘වගකීම හා වගවීම’ ඉටුකළාට පසුව බව අමතක වීම කනගාටුවට කරුණකි. මීට කාලයකට පෙර නීතියේ පාලනය වෙනුවෙන් සක්‍රියව පෙනීසිටි මේ සමහරුන්ට, දැන් ඒ වගකීම මතක් නොවන සෙයක් පෙනේ.

මාධ්‍යවලට පවසා තිබුණු සත්සර නිමේෂ්ගේ මවගේ කතාව ඇසුවහොත්, මේ මරණය පිළිබඳ තවත් කරුණු දැනගන්නට ලැබේ.
‘ඔය සිද්ධිය වෙන දවසට කලින් දවසේ තිස්එක් වැනිදා දවල් මට කතා කරලා කිව්වා අම්මා මම වෙන බෝඩිමකට යනවා මුදල් ඉතුරු කරගන්න ඕන නිසා කියලා.
ඊට පස්සේ මගේ පුතාගේ යාළුවෙක් වන තේනුක පුතා මට රෑ අටට විතර කතා කරලා කීවා ‘අම්මා නිමේෂ් මල්ලි කලබලෙන් වගේ කතා කළා. පොලිසියට අරන් යනවා වගේ තමයි මට දැනුණේ. පොඩ්ඩක් මල්ලිට කතා කරලා බලන්න කියලා.’ මම එහෙම්මම අනිත් පැත්තට මගේ පුතාට කෝල් එකක් ගත්තා. එතකොට එයා මට කතා කරලා ‘අම්මේ මාව පොලිසියෙන් අරගෙන යනවා. මාව විනාශ කරයි ද දන්නෑ. මාව අල්ලගෙන කොහෙට ද ඇරන් යනවා’ කිව්වා. එතකොටම ෆෝන් එක කට් වුණා.
ආයෙත් ටිකකින් ට්‍රයි කළා. ඊට පස්සෙ කෙනෙක් කතා කළා. කවුද ඔයා කියලා අනිත් පැත්තෙන් ඇහුවා. මම කිව්වා දරුවාගේ අම්මා කියලා. එහා පැත්තෙ එක්කෙනා ‘සර් සර් මෙයාගේ අම්මා කතා කරනවා’ කියලා ෆෝන් එක කාටද දුන්නා. ඊට පස්සේ මම ඒ කතා කරපු එක්කෙනාට කිව්වා ‘සර් ඔය මගේ දරුවා’ කියලා. ඊට පස්සේ ඒ අය කීවා අපි වැලිකඩ පොලිසියෙන්. එයා මේ අල්ලගෙන යන ගමන් හරි, අරන් යන ගමන් හරි කියලා.

ඊට පස්සේ එයාලා කිව්වා මෙයා කොන්ට්‍රෝල් කරන්ඩ හරි අමාරුයි දඟලනවා කියලා. මං කිව්වා දරුවට දම්වැල් හරි දාලා තියාගන්න කියලා. එතකොට එයාලා කිව්වා අපිට දම්වැල් දාන්න බැහැනෙ කියලා.

ඊට පස්සේ මම මගේ ෆෝන් එක බහිනකම්ම ගත්තා ගත්තා ආන්සර් කළේ නැහැ. පාන්දර එකට මීගහකිවුලෙන් තියෙන බස් එකේ මම කොළඹ ගියා. උදේ 7.45ත් 8.30ත් අතර මම වැලිකඩ පොලිසියට ගියා.

එතැන හිටිය කිසි කෙනෙක් මගේ දරුවා ගැන කිව්වෙ නෑ. රිමාන්ඩ් එකේ ඉන්න අයත් මං දිහා සැරින් සැරේ බැලු‍වා. කූඩුවේවත් මගේ දරුවා ඉන්නවද කියලා බැලු‍වා. ඒත් පේන්න හිටියේ නැහැ. පැය දෙකක් විතර ගියාට පස්සේ තමයි ඕ.අයි.සී. මාව කාමරයට ගෙන්නුවේ. ඕ.අයි.සී. මගෙන් වෙන වෙන ඒවා ඇහුවේ. දරුවෝ කී දෙනෙක් ඉන්නවාද? මේ දරුවා විතරද ඉන්නේ? ඔය වගේ දේවල් තමයි ඇහුවේ. මමත් ඒවට උත්තර දුන්නා. ඊට පස්සේ මගෙන් තේ එකක් බොනවද කියලා ඇහුවා. මට තේවත් වතුරවත් එපා මගේ දරුවා පෙන්නන්න, ඊට පස්සේ මං කන්නම් කිව්වා. ඕ.අයි.සී. මහත්තයා කිව්වා දරුවා මුල්ලේරියාව රෝහලේ නවත්තලා ඉන්නවා. තව ටිකකින් යමු බලන්න කියලා. මමත් ඒක අහල ආයිත් ඇවිල්ලා එළියෙන් වාඩි වුණා.

 

එළියේ ඉඳගෙන ඉන්නකොට මිරිහාන පොලිසියේ එස්.එයි. මහත්තයෙක් එතෙන්ට ආවා. එයා ඇහුවා මේ අර මැරිලා ඉන්න දරුවගේ අම්මද? කියලා. මම නෑ කිව්වා. කීයටවත් මං හිතුවේ නෑ මගේ දරුවා මැරිලා කියලා. මොකද පොලිසියෙන් කිව්වෙත් දරුවා රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලයි.

හැබැයි එයාලගේ හැසිරීමෙන් මට පොඩ්ඩක් සැක හිතුණා. ඊට පස්සේ මං කිව්වා අනේ සර් මැරිලා ඉන්නේ මගේ පුතාවත් ද මට කියන්න කියලා. එතකොට එයාලා දැනගත්තා මං කලබල වුණා කියලා.

ඊට පස්සේ ඕ.අයි.සී. මට ආයෙත් ඇතුළට කතා කළා. ‘අම්මේ ඔයාගේ පුතා අසනීප වෙලා මුල්ලේරියාව අංගොඩ මානසික රෝහලට ඇතුළත් කළා. එහිදී මියගියා. එයා කෑගැහුවා දැඟලු‍වා. ඒ නිසා කොන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. අපි රෝහලට ගෙනිච්චා කියලා ඕ.අයි.සී. කිව්වා. මම කිව්වා, මගෙ පුතා අංගොඩ ගෙනියන්න පිස්සෙක් නෙවෙයිනේ’ කියලා. ඒ කරලාවත් මාව එක්ක ගියේ නැහැ. මට යන්න දුන්නෙත් නැහැ. ගොඩක් වෙලා තියාගත්තා. බැරිම තැන මම මගේ මහත්තයාගේ අයියට කතා කළා. විනාඩි විස්සක් විතර යද්දි එයා ආවා. ඊට පස්සේ හවස එකත් පහුවෙලා තමයි අපිව රෝහලට අරන් ගියේ. ඒත් දරුවා පෙන්නුවේ නෑ. නඩුකාර උන්නාන්සේ එනකන් ඉන්න ඕන කිව්වා. මාව පුදුම විදිහට රස්තියාදු කළා.

ටික වෙලාවකින් දරුවාගේ මිනිය එළියට ගත්තා. මම අඳුන ගත්තා මගේ දරුවා කියලා. මට මිනිය අල්ලන්න දුන්නේ නැහැ. පුතාගේ ඇස් දෙක උඩ ගිහිල්ලා තිබුණා. දරුවගේ මයිල් ගහක් ගානේ ගහපු පාරවල් තිබුණා. පිටේ කේබල් පාරවල් තිබුණා කියලා මෝචරිය ඇතුළට ගිය මස්සිනා කිව්වා. හැම තැනම ගහපු පාරවල්. ඉදිමිලා තිබුණා. ලස්සන අතපය කොණ්ඩෙ තිබුණ දරුවගේ නියපොතු ටික ඉඳලා කළුවෙලා. දරුවගේ මේ තුවාලවලට කිසිම හේතුවක් කිව්වේ නෑ. මං දරුවාගේ නළල විතරයි ඉම්බේ.

අපි හම්බ වුණා එයාව හොස්පිටල් එකට භාර ගත්ත ඩොක්ටර්. එයා කිව්වා හොස්පිටල් එකට ගේනකොට ළමයා මැරිලා, පපුවේ රස්නේ විතරයි තිබ්බේ කියලා.

මරණයට අන්දලා තිබුණ කලිසම මගේ දරුවගෙ කලිසම නෙවෙයි. මම ඇහුවා දරුවගේ ඇඳුම් කෝ කියලා. එයාලා කිව්වා ඒවා හොස්පිටල් එකේ කියලා. මං සැකයට නිකං පොලිසියේ කුණු බක්කිය එහාට මෙහාට කරලා බලද්දී එතැන ලේ තැවරුණු මගේ දරුවාගේ කලිසම පාවහන් ගොඩක් යට තිබිලා හම්බ වුණා. මම ඒක අඳුන ගත්තා. දරුවගේ ෆෝන් එකත් කුඩු වෙලයි තිබුණේ. ඒවා මට දීලා ආපහු ආයේ පොලිසිය ඉල්ල ගත්තා.’

රෑ නවයයි තුනට ගත්ත ෆොටෝ එකකුත් මට පෙන්නුවා. ඒ ෆොටෝ එක ඉල්ලු‍වට දුන්නේ නැහැ. පුතාගේ බෙල්ල කඩා වැටිලා බිම බලාගෙන ඉන්න ෆොටෝ එකක් තමයි තිබුණේ. නවයයි තුනට ඒ ගෙදරදි ෆොටෝ ගත්තා නම් අටයි තුනට පුතා මට කොහොමද පොලිස් භාරේ ඉඳලා කතා කළේ? දරුවාගේ ඇඳුම් ඇයි හැංගුවේ?’

සත්සර නිමේෂ් පොලිස් භාරයට පත් වූ දිනයේ යම් ගැටලුවකට මුහුණ දී ඇති බවට මුලින්ම දැනගෙන ඇති ඔහුගේ සමීපතම මිතුරෙකු වන තේනුක ගමගේ බීබීසි සිංහල සේවයට එදින සිදුවීම විස්තර කර තිබුණි.

‘රෑ 8:03ට වගේ මම මෙයාට කෝල් එකක් ගත්තා. එතකොට ෆෝන් එක ආන්සර් කළා. හැබැයි මෙයා කතාකළේ නැහැ. මට බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලොකු කලබලයක් ඇහුණා. මෙයා කෑගහනවා, ‘මම හොරෙක් නෙමේ’ කියලා ගොඩක් බෙරිහන් දෙනවා වගේ තමයි කෑගැහුවේ. ‘මම හොරෙක් නෙමෙයි, අර මහත්තයාගෙන් අහන්න, අපි පොලිසි යං.’ ඒ වගේ දේවල්.
.. පොලිසියෙන් කියනවා කලබල කරපු නිසා හොස්පිටල් අරන් ගියා කියලා. හොස්පිටල් එකෙන් කියනවා එනකොටත්, ඩොක්ටර්ට මම පර්සනලි කතා කරලා ඇහුවාම කිව්වා, එයා එනකොටත් ඕල්මෝස්ට් ඩෙඩ් කියලා. සිහියත් නැහැ එහෙම කියලා.’

මේ ප්‍රකාශ, අනිවාර්යයෙන්ම මේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බව පෙන්වා දෙයි.
එවැනි පරීක්ෂණයක් ස්වාධීනව පැවැත්වීමට ගත යුතු මුල්ම පියවර නම්, සිදුවීමට නම ගෑවී ඇති වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා හා අනෙකුත් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමය. ඒ ගැන පොලිස් කොමිසමට නිර්දේශ කිරීමට වැබ පොලිස්පතිට 6 වැනිදා තෙක් කාලය ගතවිය. මාලිමා මන්ත්‍රීවරියගේ පැසසුමට ලක්වූයේ, එසේ කල් ඉකුත් වී ගත් පියවරයි.
දෙවැනි පියවර වන්නේ, ස්වාධීන අධිකරණ වෛද්‍ය විශේෂ`ඥවරුන් විසින් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයයි. මේ වන විට පවත්වා ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් දී ඇති අතර, ශරීරයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියම කර තිබිණ. අගතියට පත් පාර්ශ්වයේ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් යුත් මණ්ඩලයක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අප්‍රේල් 9 වැනිදා නියම කළේය. ඒ සඳහා සත්සර නිමේෂ්ගේ වළ දමා ඇති මළසිරුර ගොඩගැනීමටද නියම කර තිබේ.

වැබ පොලිස්පති ප්‍රමාද වී ගත් ගත් පියවර ගැන පසසන විට, ඒ අයට අමතක වී ඇත්තේ පෙබරවාරි 22 වැනිදා, කොටහේනේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වන්නට ගොස් පොලිසිය මරාදැමූ ආකාරය තමන් හෙළා නොදුටු බවයි. ඒ ගැනද ඒ අවස්ථාවේ බලවත් සමාජ විරෝධයක් මතුවිය. මාලිමා ආණ්ඩුව කළේ කුමක්ද? කිසිවක් නොකිරීමයි. ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු පුරුදු ලෙසම මුනිවත රැක්කාහ. සමහරුන් කීවේ, මාලිමා ආණ්ඩුව කිසිසේත් සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බවය. (එහි තේරුම පොලිස් වෙඩිතැබීම නිවැරදිය යන්නද?) කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ඉන්දතිස්සගෙන් මේ පොලිස් ද්විත්ව මිනිමැරුම් ගැන ඇසූ විට කිව්වේ, දැන්ම ඒ ගැන කිසිවක් කියන්නට නොහැකි බවත්, ඒ ගැන පැවැත්වෙන පරීක්ෂණයේ වාර්තාව ලැබුණු පසු යමක් කිව හැකි බවත්ය.
ඒ වාර්තාව අද වන තුරුම නැත.

ඇත්ත නම් කුමක්ද? මාලිමා ආණ්ඩුව, එම සැකකරුවන් දෙදෙනා සිය අත්අඩංගුවේ සිටියදී මරාදැමූ පොලිස් නිලධාරීන් ආරක්ෂා කළ/කරන බවයි. හරිහැටි පරීක්ෂණයක් කරන්නේ නම්, ඒ අවස්ථාවේදීද කළ යුතු පළමු දේ වුණේ, එම සැකකරුවන් දෙදෙනා මෝදර කාක දූපතට ගෙන ගිය පොලිස් කණ්ඩායමේ නිලධාරීන්ගේ හා ඔවුන්ට අණ දුන් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමයි. ආණ්ඩුව එය නොකළේය. ඊට පෙර හැම ආණ්ඩුවක්ම මෙන්, අද වනතුරුත් එම පොලිස් මිනිමැරුම් ගැන කිසිම පියවරක් ගත්තේ නැත.

ඉතින්, තමන්ට මිනී මරන්නට ආණ්ඩුවෙන් බලපත්‍රයක් ලැබී ඇතැයිද, තමන් කරන ඕනෑම දෙයක් ආණ්ඩුවෙන් ආරක්ෂා කෙරෙනු ඇතැයිද පොලිස් නිලධාරීන් සිතීම පුදුමයක් නොවේ.

මාලිමාව ආවේ ලංකාවේ සිස්ටම් එක උඩුයටිකුරු කරන්නටය. එහෙත් ඊට පෙර පොලිසියවත් මිනිමරු තත්වයෙන් ගලවාගන්නට ආණ්ඩුවට බැරිවී තිබේ. අප්‍රේල් 9 වැනිදා, ජාතික දූෂණ මර්දන වැඩපිළිවෙළ එළිදැක්වීමට පැවැත්වුණු උත්සවයේදී කතාකළ ජනාධිපතිවරයා කිව්වේ, රජයේ නිලධාරීන්ට වෙනස් වෙන්නට අවස්ථාව ලබාදී ඇති බවත්, නොවුණොත් මැයි මස සිට වෙනස් කරන බවත්ය.

පොලිසිය මානුෂික හා නීතිගරුක කිරීම සඳහා අලුත් අණ පනත් ගෙනෙන්නටවත්, විශාල සමාජ පෙරළියක් කරන්නටවත් අවශ්‍ය නැත. පොලිසිය නීති කඩන විට, අපරාධ කරන විට ඒවා ඉවසන්නේ නැති බව ආණ්ඩුව ප්‍රායෝගිකවම පෙන්වා දීම ප්‍රමාණවත්ය. සරලව කියනවා නම්, කාක දූපතේ සැකකරුවන් දෙදෙනකු ඝාතනය කළ විට, එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ස්වාධීන විමර්ශනයක් පවත්වා ඉදිරි පියවර ගෙන ‘අපේ මාලිමා ආණ්ඩුව මේවා ඉවසන්නේ නැතැ’යි ප්‍රායෝගිකව පෙන්වූවා නම්, වැලිකඩ පොලිසියේ නිලධාරීන් මෙවැනි සිදුවීමකට පැටලෙන්නේ නැත.

ආණ්ඩුව නීතියේ පාලනය ගැන කැපවී සිටිනවා නම්, වැලිකඩ මරණය ගැන පමණක් නොව, කාක දූපතේදී සැකකරුවන් දෙදෙනකු ඝාතනය කිරීම ගැනද පරීක්ෂණයක් කළ යුතුය. හැකි නම්, පසුගිය මෑත කාලය පුරාම, පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය වුණු සැකකරුවන් ගැන පරීක්ෂණ කළ යුතුය. ඇත්තටම සිස්ටම් චේන්ජ් වෙන්නේද, පොලිස් අපරාධකරුවන් ආණ්ඩුව විසින් ආරක්ෂා නොකෙරෙන බව පැහැදිලි වන්නේද එසේ කළහොත් පමණි.

 

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි