කැට්ස් ගීත නාටකය ලොව දීර්ඝතම කාලයක් එක දිගට රඟ දැක්වුණු නාට්යයන්ගෙන් එකකි. ඇමරිකාවේ බ්රෝඩ්වේ හි වසර 18ක්ද, එංගලන්තයේ වෙස්ට් එන්ඩ් හි වසර 21ක්ද මෙය නොකඩවා ප්රදර්ශනය විය. ඇන්ඩෘ ලොයිඩ් වෙබර් මෙම ගීත නාටකය නිර්මාණය කළේ බි්රතාන්ය කවියකු වූ ටී එස් එලියට්ගේ Old Possum’s Book of Practical Cats නම් කවිපොත ඇසුරෙනි. බළලුන්ගේ විවිධාකාර හැසිරීම් හාස්යජනක ආකාරයෙන් විදහා දක්වන කවි පන්ති 15කින් මෙම පොත සමන්විතය. මැකැවිටි නම් බළලා බිහිවනුයේ මෙයින් එක කවි පන්තියකිනි.
මැකැවිටි; අබිරහස් පූසා (Macavity; The Mystery Cat) කවි පන්තියෙන් අපට හඳුන්වාදෙන මැකැවිටි නම් බළලා අංක එකේ හොරෙකි; ්යසාාැබ ඡ්අ යන අන්වර්ථ නාමයෙන් ප්රචලිත ඔහු නීතිය මග හැරීමේ රුසියෙකි. පොලිසිය හා රහස් පොලිසිය කොතෙක් මැකැවිටි හඹා ගියද ඔහු සොයා ගැනීමට ඔවුහු කිසිවිටකත් සමත් නොවෙති. මෙම කවි පන්තියේ කවි බොහොමයක් නිමා වන්නේ Macavity’s not there යන වචන පෙළිනි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිසිය මග හැරීමේදී මැකැවිටි වැනිම දක්ෂයෙකි. තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්රාත් උසාවිය නියෝග කොට දින 19ක් යන තුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් විය. මේ ලියන මොහොත වන විට, ඔහු පොලිස්පති-පොලිස් තරගයේ ජයග්රාහකයා වෙමින් මාතර අධිකරණයට පැමිණ බාරවී ඇත.
දින 19ක දීප ව්යාප්ත සෝදිසියකින්වත් පොලිස්පතිවරයා සොයාගැනීමට පොලිසිය අසමත් වීමෙන් ගම්ය වනුයේ කුමක්ද? එක්කෝ ලොව අකාර්යක්ෂම පොලිසිය ඇත්තේ ලංකාවේය; නැතිනම් අපට ඇත්තේ (බොහෝ දුරට) දේශබන්දුකරණය වූ පොලිසියකි. පොලිසියේ අතීත ක්රියාකාරිත්වය බලන විට පෙනීයනුයේ දේශපාලන හෝ වෙනත් ඉහළින් එන බලපෑම් නොමැති විට (ඉතාමත්ම අවම පහසුකම් ඇතිව වුවද) අපරාධ විසඳීමට පොලිසිය දක්ෂ බවය. එසේ නම් පොලිස්පතිවරයා පොලිසියට හසු නොවූයේ පොලිස්පතිවරයා හසුකරගන්නට පොලිසියට උවමනාවක් නොතිබූ නිසා විය යුතුය. ඉන් පෙනෙන්නේ පොලිසියේම කොටසක් තමන්ගේ ආයතනය පාවා දෙමින් මැකැවිටි පොලිස්පතිවරයාට කට්ටි පැනීමට උදව් කළ බවයි.
මේ පොලිස්පති-පොලිස් සෙල්ලමට හොඳම සාක්ෂිය නම් පොලිසිය ගතවූ ඉරිදා (මාර්තු 16) නිකුත් කළ මාධ්ය නිවේදනයයි. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ ඊට පෙර සතියේය. පෙත්සම විභාගයට ගන්නවාද නැද්දැයි නියෝගය නිකුත් කිරීමට නියමිත වූයේ මාර්තු 17 වන සදුඳාය. පොලිසිය සිය අරුම පුදුම මාධ්ය නිවේදනය නිකුත් කළේ ඊට පෙර දිනය.
වැලිගම අ15 හෝටලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් (තෙන්නකෝන් මහතා හැර) තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කර තිබිණි. මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට නීතිපතිවරයා හා සැකකරුවන්ගේ නීතිඥයන් එකඟතාවකට පැමිණි බව මාර්තු 16 පොලිස් මාධ්ය නිවේදනයේ සඳහන් විය.
වැදගත්ම කරුණ නම් මෙම එකඟතාව ඇතිවූයේ 2025 ජනවාරියේදී බවය. එසේ නම් ඒ ගැන පොලිසිය හදිසියේ මාධ්ය නිවේදන නිකුත් කරන්නේ මන්ද? තෙන්නකෝන් මහතාගේ නීතිඥයන් පසුදින අභියාචනාධිකරණයේදී මෙම මාධ්ය නිවේදනය තමන්ගේ වාසියට යොදා ගැනීමට ගත් උත්සාහයෙන් පෙනීයනුයේ කුමක්ද? පොලිසිය පරණ සිද්ධියක් පිළිබඳ මෙලෙස මාධ්ය නිවේදනයක් නිකුත් කළේ හැංගිමුත්තන් සෙල්ලම් කරන මැකැවිටි පොලිස්පතිවරයාට අත හිත දීමක් වශයෙන් නොවේද?
නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුවන්ගේ නීතිඥයන් සමග මෙම එකඟතාවට පැමිණියේ මාතර මහේස්ත්රාත් අධිකරණය සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට කලින් බව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අභියාචනාධිකරණයේදී කියා සිටියේය. අධිකරණ වරෙන්තුව සමග එම එකඟතාව බල රහිත වන බවත් නීතිපතිවරයා සිටිනුයේ නීතියට උඩින් නොව පහළින් බවත් ඔහු තවදුරටත් ප්රකාශ කළේය. පොලිසිය හදිසියේ මෙම මාධ්ය නිවේදනය නිකුත් කළේ තෙන්නකෝන් මහතාගේ පෙත්සම පිළිබඳ තීන්දුවට බලපෑම් කිරීමේ අරමුණෙන් දැයි ඔහු සැක මතුකළේය.
මෙම මාධ්ය නිවේදනය නිකුත් කලේ කාගේ නියෝගයකින්, කාගේ උවමනාවටද යන්න සොයාගැනීම මාලිමා ආණ්ඩුවට අසීරු කටයුත්තක් නොවිය හැක. ඒ සොයාගැනීමත් සමගම මැකැවිටි පොලිස්පති ප්රහේළිකාව විසඳීමට පොටක් පෑදෙනු ඇත. මේ කරුණවත් අනාවරණය කරගැනීමට පොලිසියත් ආණ්ඩුවත් අසමත් වුවහොත් එයින් ගම්ය වනුයේ නීතියේ ආධිපත්යය බරපතළ අවදානමකට ලක්ව ඇති බව නොවේද?
මැකැවිටි පොලිස්පතිගේ පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන් පැරාමිලිටරි හමුදාවක් ලෙස භාවිත කළ බවත්, තමන් යටතේ සිටි පොලිස් නිලධාරීන් නීති විරෝධී කටයුතුවල යොදවමින් අපරාධ ජාලාවක් නඩත්තු කළ බවත්ය.
ප්රශ්නය නම්, මෙවැනි පුද්ගලයකු 1998දී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට බැඳී පොලිස් අධිකාරී-ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී- නියෝජ්ය පොලිස්පති- ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති- පොලිස්පති තෙක් දිගු ගමනක් ආවේ කෙසේද යන්නයි. ප්රශ්නය නම්, ඔහු අපරාධ ජාලයක් ගොඩනගාගෙන එය නඩත්තු කරන බව පොලිසියත් පාලකයනුත් නොදැන සිටියාද යන්නයි. ප්රශ්නය නම්, මෙවැන්නකුට පොලිස්පතිධුරය තෙක් යාමට මං හෙළිපෙහෙළි කරන පොලිසිය සිටිනුයේ කාගේ පැත්තේද යන්නයි.
ප්රශ්නය නම්, එවැනි පොලිසියකට නීතියේ රැකවලුන් විය හැකිද යන්නයි.සත්යය නම්, පුරවැසියන් පිරිසක් ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමක් නොවන්නට හා ඒ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය නොවන්නට දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පූර්ණ බලතල සහිත පොලිස්පතිවරයා විය හැකි බවය.
තම නියෝගයක් මත නීති විරෝධීව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් තිදෙනකුට තෙන්නකෝන් මහතා පුද්ගලිකවම කළ වධ හිංසා, සැකකරුවන්ගේ අයිතීන් හා රැකවරණය සම්බන්ධයෙන් මෙරට පොලිසියේ අතිශය අසතුටුදායක අතීත වාර්තාවන් සලකා බලන විට පොලිස් අත්අඩංගුවට පත්වීමට පොලිස්පතිවරයා තුළ ඇති බිය හා සැකය තේරුම් ගත හැක.
2010දී සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික පෙත්සමක් හේතු ලෙස දක්වමින් පුද්ගලයන් තිදෙනකු අනීතිකව අත්අඩංගුවට ගෙන අනීතිකව මිරිහාන පොලිසියේ රඳවා ගැනීමට එවකට නුගේගොඩ ප්රදේශය භාරව සිටි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත. මෙයින් එක් රැඳවියකු 2011දී මේ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එහි තීන්දුව ලැබුණේ 2023 දෙසැම්බරයේය.
තමන් මිරිහාන පොලිසියේ රඳවාගෙන විවිධ වධහිංසාවලට ලක්කළ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතාද එහි පැමිණ තමා නිරුවත් කොට, වහලයේ එල්ලා පහරදුන් බවත් පෙත්සම්කරු ප්රකාශ කළේය. වෛද්ය වාර්තා හා අනෙකුත් සාක්ෂි මත මෙම ප්රකාශය සත්යයැයි ශ්රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. අදාළ පුද්ගලයන් අනීතිකව අත්අඩංගුවට ගෙන අනීතිකව රඳවාගෙන වධහිංසා කිරීම සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු වරදකරුවන් බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
වරදක් වූ විට පොකුණේ සිටින පොඩි මාළුන්ට පමණක් නොව ලොකු මාළුන්ටත් දඬුවම් කළ යුතු බව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව සුවිශේෂයෙන් සඳහන් කළේය. වරදකරුවන් සම්බන්ධයෙන් සුදුසු ක්රියාමාර්ග ගන්නැයි ශ්රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමටත් අදාළ අනෙකුත් බලධාරීන්ටත් නියෝග කළේය.
මේ දිනවල ඇවිස්සුණු කඩි ගුලක් මෙන් වැඩ කරන පොලිස් කොමිසම ශ්රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය සැලකූ බවක් වාර්තා නොවීය. පොලිසිය ඒ සම්බන්ධයෙන් ක්රියාත්මක වූයේද නැත.
එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රතිචාරය වූයේ, ශ්රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත්කිරීමයි.
තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරවට පත්කිරීම එවකට මහජන ආරක්ෂාව බාර ඇමතිවූ ටිරාන් අලස් මහතාගේ දැඩි ඉල්ලීම වූ බවත්, විශ්රාමික පොලිස්පති චන්දන වික්රමරත්න මහතාව යළි සේවයට කැඳවමින් හා ඔහුට සේවා දිගු කිහිපයක් ලබාදෙමින් තෙන්නකෝන් මහතා පොලිස්පති කිරීමෙන් වැළකීමට වික්රමසිංහ මහතා උත්සාහ කළ බවත් නොරහසකි. නමුත් අවසානයට අලස් මහතාගේ බලපෑමට යටවීම නිසාදෝ තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත්කිරීමෙන් වික්රමසිංහ මහතා නොමැකෙන කැළලක් ඇති කර ගත්තේය.
වැලිගම අ15 හෝටලයට ප්රහාරය එල්ල වූයේ තෙන්නකෝන් මහතා පොලිස්පති වී දින කිහිපයකට පසුවය. හෝටල් හිමිකරු සමග ඇති පෞද්ගලික ආරාවුලක් පිරිමසා ගැනිමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ලවා මෙම පහරදීම සිදුකළ බවට තෙන්නකෝන් මහතාට චෝදනා එල්ලවී ඇත. ඔහුව අත්අඩංගුට ගන්නැයි මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ මෙම චෝදනා සලකා බැලීමෙන් අනතුරුවය.
තෙන්නකෝන් මහතා නීතියට ඉහළින් කටයුතු කළා පමණක් නොවේ. නීතියට අනුව ක්රියාකරන පොලිස් නිලධාරීන්ට ඔහු හරස් වූ බවද පෙනීයයි.
2022 ජුලි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ජනපති මැඳුරෙන් පලා ගිය පසු එහි ඇතුල් වූ අරගලකරුවන් රුපියල් මිලියන 17.8ක් සොයා ගත් බව වාර්තා විය. මෙම මුදල අරගලකරුවෝ පොලිසියට බාරදුන්හ. මෙම මුදල නීති ප්රකාරව අධිකරණයට ඉදිරිපත් කරනවා වෙනුවට එවකට මහජන ආරක්ෂක ඇමති වූ ටිරාන් අලස් මහතාට දෙන්නැයි තෙන්නකෝන් මහතා තමාට කිවූ බව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එස් වික්රමසිංහ මහතා කොටුව මහේස්ත්රාත් අධිකරණයට වාර්තා කළේය. මෙම ඉල්ලීම ප්රතික්ෂේප කිරීම නිසා තෙන්නකෝන් මහතා දූරකථනයෙන් අමතමින් තමන්ට තර්ජනය කළ බවද වික්රමසිංහ මහතා කියා සිටියේය.
ඒ 2023 ජනවාරියේය. 2023 ජුලි මස වික්රමසිංහ මහතා විශේෂ විමර්ශන අංශයේ (ීචැජස්ක ෂබඩැිඑසට්එසදබ ඹබසඑ) අධ්යක්ෂධුරයේ සිට පරීක්ෂණ හා සංවර්ධන අංශයට මාරු කරන ලදි. සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට දුන් තීන්දුවේදී ශ්රේෂ්ඨාධිකරණය වැදගත් කාරණාවක් සඳහන් කළේය. මෙවැනි සිදුවීම් ඉතාමත් සුලබ බවත්, මේවා දිගු කලක් පුරා පැවතෙන ආයතනික දුර්වලතාවල රෝග ලක්ෂණයක් බවත්, ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. එවකට ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවූ නිලධාරියකු වරදකරු කරමින් දුන් මෙම ඓතිහාසික තීන්දුව පොලිසියේ මෙම අනීතික ක්රියාවලියේ හැරවුම් ලක්ෂ්යයක් වනු ඇතැයි විනිසුරුවරුන් සිතුවා විය හැක. මේ තීන්දුවෙන් පසුවවත් පොලිසියත් පොලිසියට නියෝග දෙන පාලකයනුත් යම් සංයමයකින් හා නීතියට ගරුකරමින් කටයුතු කිරීමට අරඹනු ඇතැයි අධිකරණයේ අපේක්ෂාව වූවා විය හැක. මෙයින් නීති ගරුක පොලිස් නිලධාරීන් දිරිමත් වී දේශබන්දු තෙන්නකෝන් වැන්නකු-පොලිස්පති වීමෙන් වැළකෙනු ඇතැයි විනිසුරුවරුන් සිතුවා විය හැක.
ඒ සියල්ල සිහිනයක් පමණක් විය. නීතිය කැඩීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවකු වූවකු වික්රමසිංහ ජනාධිපතිවරයා පොලිස්පති තනතුරට පත්කළේය.
අධිකරණය ප්රකාශයට පත්කළ පරිදි මෙය හුදෙක් පුද්ගලික ප්රශ්නයක් නොවේ.; එය ආයතනික ප්රශ්නයකි; දේශපාලන ප්රශ්නයකි. දින 19ක් තුළ පොලිස්පති සොයාගැනීමට පොලිසිය අසමත් වීමෙන් යළිත් වරක් හෙළිවනුයේ මෙම සත්යයයි. පුටු මාරුව අවශ්යය; නමුත් එය ආරම්භයක් පමණි. ජනපතිවරයාගේ ක්කැ්බ ීරස ඛ්බන් වැඩසසටහන පොලිසිය තුළද ක්රියාත්මක විය යුතුය. නැතහොත් ශ්රේෂ්ඨාධිකරණය කී පරිදි පොඩි මාළු වරදකරුවන් වී ලොකු මාළු නිදැල්ලේ හැසිරීම නොනවතිනු ඇත. එය වත්මන් පාලනයේ හොරු ඇල්ලීමේ පොරොන්දුවට බලපානුයේ කෙසේද යන්න අනුමාන කිරීම අසීරු නොවේ.
හොරු ඇල්ලීම, හොරා-පොලිස් සෙල්ලමක් වේද?
හොරු ඇල්ලීම මාලිමා පාලනයේ සුවිශේෂතම පොරොන්දුවයි. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල පාලනය සමයේ සිදු කළායැයි කියන මහා පරිමාණ දූෂණ හා වංචාවන් හෙළිදැරව් කර අදාළ සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරනු ඇතැයි බොහෝ ලාංකිකයන්ගේ අපේක්ෂාවයි.
මේ අපේක්ෂාව ඉටුවීමට අවශ්ය පූර්ව කොන්දේසි දෙකක් ඇත. එකක් නම්, හොරු ඇල්ලීමේ අවංක වුවමනාවක් පාලකයන්ට තිබීමය. දෙවැන්න නම්, ඒ සඳහා දක්ෂකමක් හා උනන්දුවක් පොලිසියට තිබීමය.
අතීත වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කිරීමේ අවංක උවමනාවක් වත්මන් පාලකයන්ට ඇතැයි දැනට අනුමාන කිරීම සාධාරණය. මේ දක්වා වී ඇත්තේ ලිස්ට් හෙළිදරව් කිරීමේ සංදර්ශනය පමණක් වුවද ඉදිරි මාස කිහිපය තුළ මීට වඩා වැදගත් හා තීරණාත්මක පියවර ගැනෙනු ඇතැයි තවමත් අපේකෂා කළ හැක.
නමුත් ආණ්ඩුවට මොන තරම් උවමනාවක් තිබුණද එය සාර්ථක වීමට නම් පොලිසියේ අවංක දායකත්වය ලැබිය යුතුය.
පොලිසිය අතීත හොරු අල්ලන්න යනුයේ මැකැවිටි පොලිස්පති ඇල්ලූ ආකාරයට නම්, බරපතළ දූෂණ හා වංචා සැකකරුවන්ට නීතියේ රැහැනින් ගැලවීම අපහසු නොවනු ඇත.
පොලිසියට පොලිස්පතිවරයා අල්ලා ගැනීමට නොහැකි වූයේ මන්ද? යන ප්රශ්නය මාලිමා පාලනයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක වැදගත්කමක් ගනුයේ එබැවිනි.
ශ්රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයක් තුළින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම තහනම් වූයේ 2024 ජුලි මසය. මාතර මහෙස්ත්රාත් අධිකරණය ඔහු අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේ 2025 පෙබරවාරි 25 දාය. මෙම නියෝගය රැගත් පොලිස් කණ්ඩායම තෙන්නකෝන් මහතාගේ පුද්ගලික නිවසට යන විටත් 10 දෙනකුගෙන් යුත් ඔහුගේ ආරක්ෂක කණ්ඩායම එහි විය. විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 4ක් හා ප්රභූ ආරක්ෂකයන් 6ක් මාස 7ක් පුරා මෙලෙස අධිකරණයෙන් වැඩ තහනම් වූ පොලිස්පතිවරයාට ලබාදුන්නේ කාගේ නියෝගයකින්ද?
වෙනත් ආණ්ඩුවක පාලන කාලය තුළ මෙවැන්නක් සිදුවූවා නම් ජවිපෙ හා ජාජබ ඒ පිළිබඳ මහා ඝෝෂාවක් කරනු නොඅනුමානය. දැන් ඇත්තේ මාලිමා පාලනයයි. මෙවන් බල අවභාවිතාවක් නතර කිරීමට මාලිමාවට නොහැකි නම් මහා පරිමාණ හොරුන්ට දැළ එළන්නේ කෙසේද?
තෙන්නකෝන් මහතා තමන් යටතේ සිටින නිලධාරීන් පැරාමිලිටරි හමුදාවක් ලෙස භාවිත කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව කියයි. අධිකරණය විසින් පොලිස්පති ලෙස කටයුතු කිරීම නතර කළ පසුත්, මාස 7ක් පුරා පොලිස් ආරක්ෂකයන් 10ක් දී ඇත්තේ මෙවැන්නකුටය. පොලිසිය ක්රියාකරනුයේ මේ අයුරින් නම් ‘හොරු ඇල්ලීමේ’ ආකර්ෂණීය පොරොන්දුව හුදු මිරිඟුවක් වීම වළක්වාලිය හැකිද?
තෙන්නකෝන් මහතාගේ ක්රියාකලාපය කොතරම් අනීතික වුවද ඔහුව රකින්නන් පොලිසිය තුළ හා දේශපාලකයන් අතර පමණක් නොව සමාජයේද සිටී. ශ්රේෂ්ඨාධිකරණය තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වැළැක්වූ විට අගලකඩ සිරිසුමන හිමියන්ගේ ප්රධානත්වයෙන් භික්ෂූහු පිරිසක් ඊට එරෙහිව පාගමනක යෙදුණාහ. ‘බෞද්ධ නායකයන් පත් කළ විට’ ඔවුන්ට සියලු දෙනාගේ ආශීර්වාදය අවශ්ය බව එක් භික්ෂුවක් කියා සිටියේ ජාතිය- ආගම තම අවශ්යතාවන් සඳහා අවභාවිත කිරීමට තෙන්නකෝන් මහතා තුළ ඇති දක්ෂතාව පිළිබිඹු කරමිනි. තෙන්නකෝන් මහතාට පොලිස්පති ලෙස කටයුතු කරන්නට ඉඩ දෙන්නැයි ඉල්ලමින් 2024 සැප්තැම්බර් මස ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ භිකෂූන් තිදෙනා අතර අගලකඩ හිමියෝද බෙල්ලන්විල ධම්මරතන හිමියෝද වූහ. තෙන්නකෝන් මහතා සැකකරුවන්ට දරුණු වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වැරදකරුව සිටීම උදේ හවා සියලු සත්වයෝ නිදුක් -නිරෝගි- සුවපත් වෙත්වා යයි කියන මේ හිමිවරුන්ට ගැටලුවක් නොවීය.
මාලිමා සන්ධානය බලයට පත්වූයේ රාජ්ය පානය ලේසි වැඩක්ය යන මිථ්යා ඇදහිල්ලෙන් බව ‘පොහොය දෙකකින් කුඩු නැති කරන’ කටමැත දෙඩවීමෙන් පෙනේ. මැකැවිටි පොලිස්පතිවරයාගේ තවමත් නිමා නොවූ අන්දරයෙන් පෙනීයන්නේ පොලිසිය ක්රියාත්මක වන ආකාරය පිළිබඳවද මාලිමාවේ නියමාකාර අවබෝධයක් නැති බවය. මේ තත්වය නොවෙනස් වුවහොත් මාලිමාවේ කනෙන් රිංගා නිfදාස් වීමට රාජපක්ෂවරුන්ට අසීරු නොවිය හැක. නාමල් රාජපක්ෂ මහතාගේ ජනපති සිහිනය සැබෑවීම එතැනින් ඇරඹෙනු ඇත.