සිනමාව යනු විශ්වීය භාෂාවක් කියා අප අසා තිබුණත් සිනමාව දෘශ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුට රස විඳීමට සමීප කළ හැකි ආකාරයක් තිබෙනවාද යන්න අධ්‍යයනය කිරීමට වටින මාතෘකාවකි- මෙය යම් අත්හදා බැලීමකට ලක් කිරීමට ලාංකීය නවක අධ්‍යක්ෂවරයෙකු තම කෙටි චිත්‍රපටයක් හරහා උත්සාහ කර ඇත- කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයනය පිළිබද උපාධිධාරියෙකු වන හර්ෂ පෙරේරා දෘශ්‍යාබාධ ඡායාරූප ශිල්පියෙකුගේ කතාවක් පාදක කර ගෙන නිර්මාණය කළ මෙම කෙටි චිත්‍රපටය ඔහු නම් කරන්නේ “කානම්” ලෙසින්ය- මෙම නිර්මාණ කාර්යය සඳහා පසුගිය දිනක ජපානයේ ටෝකියෝ නුවර විසි හය වන වතාවට පවත්වන ලද ඩිජිකොන් සික්ස් ඒෂියා සම්මාන උලෙළේදී එහි අධ්‍යක්ෂකවරයා සම්මානයට පාත්‍ර වී තිබුණේය.
කානම් චිත්‍රපටිය නිර්මාණය වන්නේ කොහොමද ?
මගේ වැඩිමහල් සහෝදරිය දෘශ්‍යාබාධිත කෙනෙක්. ඇය අපි අතර නෑ- එනිසා මේ දෘශ්‍යාබාධිත තත්ත්වය කිනම් ආකාරයේ දෙයක්ද කියන කාරණය මම පොඩි කාලේ ඉඳන්ම දැක්කා. මෙවැනි විශේෂ අවශ්‍යතා තිබෙන පුද්ගලයින්ට රසවිඳිය හැකි චිත්‍රපටයක් කරන්න ඕනෑ කියන ආසාව මට මුල ඉඳන්ම තිබුණා. පෙනීම නැති වුණොත් චිත්‍රපටයක් බලන්න බැරිද කියන සංකල්පය මත තමයි “කානම්” නිර්මාණය වන්නේ. ඇස් දෙක භාවිත කරලාම වැඩ කරන, වැඩ කරන්න ඇස් දෙක අත්‍යවශ්‍ය කෙනෙක් තමයි ඡායාරූප ශිල්පියා. එහෙම ඡායාරූප ශිල්පියෙක් දෘශ්‍යාබාධිත වුණොත් ඡායාරූපකරණය තවදුරටත් කරගෙන යාමට නොහැකිද කියන කතා නිමිත්ත මත තමයි මේ නිර්මාණය ගොඩනැගෙන්නේ. තිර රචනය කරන්නේ චතුර විමර්ශන ෆර්නෑන්ඩු විසින්.
මෙවැනි නිර්මාණයක් සිදු කිරීමට පෙර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් කළ මූලික පර්යේෂණ මොනවාද? ඔබට මොන විදිහේ අත්දැකීමක්ද මොවුන් සම්බන්ධයෙන් දැනුණේ?
දෘශ්‍යාබාධිත ප්‍රාජාව විශේෂ වන්නේ අන්ධ නිසා නොවෙයි. ඔවුන් දේවල් ග්‍රහණය කර ගන්නා ආකාරය නිසායි. මගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය චලක යසස් විසින්. නමුත් චිත්‍රපටයේ බටනළා වාදන කොටස් ඇතුළු සංගීත වාදන කොටස් බහුතරයක් කරන්නේ නිවන්ත සඳරුවන් නම් දෘශ්‍යාබාධිත ශිල්පියෙකු විසින්. ඔහුට මෙහි කතාව පිළිබඳ වචනයෙන් පවසා චිත්‍රපටය ඇසීමට සලස්වා ඉන් අනතුරුව ඔහුගෙන් ස්වාභාවිකවම පැමිණි වාදනය තමයි චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීමේදී භාවිත කළේ.
මෙවැනි නිර්මාණයක් කිරීමේදී ඔබේ නිර්මාණ භාවිතාව යොදාගත් ආකාරය..
මම නිර්මාණය කරගත්ත මාධ්‍යය තමයි සම්පූර්ණයෙන් ශබ්දවලින් පමණක් වුවත් මේ චිත්‍රපටය කෙනෙක්ට රසවිඳිය හැකි ආකාරයකට නිර්මාණය කිරීම. දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට චිත්‍රපට රසවිඳීමට ලෝකය තුළ විවිධ චිත්‍රපට නිර්මාණ සංකල්ප තිබෙනවා- උදාහරණයක් ලෙස චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ආඛ්‍යාන මඟ පෙන්වීමක් ආකාරයෙන් ප්‍රකාශ කරනවා. එහිදී චිත්‍රපටයේ සිදුවන සෑම ක්‍රියාවක්ම ශබ්දයක් ලෙස පැවසෙනවා. එම ආකාරයේ චිත්‍රපටයක් සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට නරඹන්න කැමැත්තක් ඇතිවන්නේ නැහැ. මට අවශ්‍යතාව තිබුණේ දෘශ්‍යාබාධිත ප්රජාවත් ඇතුළුව සමස්ත ප්‍රේක්ෂාගාරයට නැරඹිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට- එම නිසා මෙහි ශ්‍රව්‍ය කොටසට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීලා සාමාන්‍ය පුද්ගලයෙකුටත් නරඹා රසවිඳිය හැකි ආකාරයට දෘශ්‍යමය කොටසටත් අවශ්‍ය ඒ සත්කාරය ලබාදී තමයි නිර්මාණය කළේ.
ඔබ මලයාලම් සිනමාවේ ආභාසය බෙහෙවින් උපයෝගී කර ගෙන තිබෙනවා-..
මලයාලම් සිනමාව හරි ලස්සන, සරල, නිදහස් මනසකින් නැරඹිය හැකි සිනමාවක්- චිත්‍රපටයේ වර්ණ සංකලනයන්, ආලෝකකරණය, රූපරාමු, සංගීතය, ඇඳුම් පැළඳුම් වැනි බොහෝ දේවල්වල යම් මලයාලම් හුරුවක් පෙන්නුම් කරනවා- ටෝකියෝවල ඩිජිකොන් සම්මාන උලෙළේදී ප්‍රදර්ශනය කෙරුණු අවස්ථාවේදී එහි සිටි ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු මෙය නරඹා මා සමග අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ සිනමාපටයක් නැරඹුවා හා සමාන හැඟීමක් ඔවුන්ට මෙය නරඹන විට දැනුණු බවයි- චිත්‍රපටය මම නම් කරන්නෙත් මලයාලම් භාෂාවෙන්මයි- “ඔබ තුළින් දකිමි” කියන එක තමයි මලයාලම් භාෂාවෙන් කානම් කියන වචනයේ තේරුම. ඉන්දියාවේ පවා ඉතාමත් සුළු කොටසක් කතාකරන මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරන චිත්‍රපට ලෝකේ බොහෝ පිරිසක් නරඹන සිනමා කර්මාන්තයක් බවට පත්වෙලා තිබෙනවා.චිත්‍රපටයේ පෝස්ටරය නිර්මාණය කිරීමට යොදා ගන්නේත් මලයාලම් අකුරුමයි. ඒ ආකාරයෙන් පෝස්ටර් එක නිර්මාණය කරන්නේම ලංකාවෙන් එළියට මේ චිත්‍රපටය යා යුතුයි කියන බලාපොරොත්තුවෙන්මයි.
කානම්හි රංගන ශිල්පීන් ගැන මතක් කළොත්?
මෙහි ප්‍රධාන චරිත දෙකක් පමණයි නිරූපණය වන්නේ. දෘශ්‍යාබාධිත ඡායාරූප ශිල්පියාගේ චරිතය කරන්නේ සම්පත් පෙරේරා විසින්. ඡායාරූප ශිල්පියා සමග මුහු වන කාන්තා චරිතය නිරූපණය කරන්නේ කල්හාරි එදිරිසිංහ විසින්- මෙම ප්‍රධාන චරිත දෙකට අමතරව මෙහි තව චරිතයක් ඉන්නවා. ඒ චරිතය තමයි මේ අන්ධ ඡායාරූප ශිල්පියාගේ බෘනෝ කියන සුරතල් සුනඛයා. සැරයටිය පාවිච්චි කරන විට සමාජයේ මිනිසුන්ගේ අනවශ්‍ය අනුකම්පාවට ලක් වන නිසා බොහෝ දෘශ්‍යාබාධිත පුද්ගලයන් සැරයටිය භාවිත කරන්න අකමැතියි. ඒ කාරණය අපි මේ කතාවටත් අරන් එනවා- මෙහිදී සැරයටිය වෙනුවට ශිල්පියා භාවිත කරන්නේ ඔහුගේ බලු සුරතලා.
කානම් පසුගිය දිනක ජාත්‍යන්තර ඇගයීමකට ලක් වුණා…
පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ ටීබීඑස් ආයතනයෙන් සංවිධානය කරන ලද ආසියාවට විවෘත කරන ලද කෙටි චිත්‍රපට තරගාවලිය වන “ඩිජිකොන් 6 ඒෂියා” සම්මාන උළෙළේදී මෙය හොඳම අන්තර්ජාතික සජීවී කෙටි චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබනවා- අවසාන සම්මාන උලෙළ සඳහා චිත්‍රපට 11,000කට අධික ප්‍රමාණයක් තරග වැදුණා.මේ සිනමා උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සම්බන්ධ වෙලා මේ වන විට වසර අටක් ගතවෙලා තිබෙනවා- ඒ වසර අට ඇතුළතදී ලංකාවට සම්මානයක් ලැබුණු පළවෙනි අවස්ථාව තමයි මේ.
ඒ ආකාරයේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අත්දැකීම ඔබට දැනුණේ මොන ආකාරයෙන් ද?
ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙක් නිර්මාණය සම්බන්ධයෙන් මාත් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. විනිශ්චය මණ්ඩලයෙන් පවා විශේෂ අදහස් බොහෝමයක් මේ සඳහා ලැබුණා.සහභාගී වීමේදී මේ ආකාරයේ සම්මානයක් අපි බලාපොරොත්තු වුණේ නෑ. තරගයේ අවසන් වටය දක්වා පැමිණ තිබූ අනෙක් චිත්‍රපටිත් අපි නැරඹුවා. ඒ චිත්‍රපට හා සාපේක්ෂව ගත් විට අඩුම තාක්ෂණයක් භාවිත කර නිර්මාණය කර තිබුණු චිත්‍රපටය තමා කානම්. ඒ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට ඔවුන්ගේ විශ්වවිද්‍යාලවලින් අවශ්‍ය මූල්‍යමය ශක්තිය දීලා අවශ්‍ය නිදහස ලබා දී තිබුණා. චිත්‍රපටය මෙම තරඟයට ඉදිරිපත් කිරීමේදී තිබුණු ලොකුම අභියෝගයක් තමයි චිත්‍රපටයේ ධාවන කාලය. ප්‍රථම සංස්කරණයෙන් පසු චිත්‍රපටයේ කාලය විනාඩි 47යි. නමුත් කෙටි චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කිරීමට සංස්කරණය කළ පසු ධාවන කාලය විනාඩි 27ට ගෙන එනවා. නමුත් ඩිජිකොන් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට ධාවන කාලය විනාඩි 15කට සීමා විය යුතුව තිබුණා. සංස්කරණයට වාඩිවුණාම අඩු කළ හැකි කොටස් තිබුණේ නෑ. කෙසේ හෝ විනාඩි 14යි තත්පර 59ට අඩු කරලා තමයි තරඟය සඳහා ඉදිරිපත් කරන්නේ.
කානම් තුළින් අධ්යක්ෂ භූමිකාවට ආවත් හර්ෂ කලා අධ්යක්ෂවරයෙක් ලෙස නම් දැරූ චරිතයක්- මේ කලා අධ්‍යක්ෂණය කියන භූමිකාවට ගැන යම් දෙයක් සඳහන් කළොත්?
අපි දකින රූප රාමුවක් තුළින් රංගන ශිල්පියා ඉවත් කළොත් ඒ රාමුව ඇතුළේ පෙනෙන අනෙකුත් සියලුම දේවල් අයිති වන්නේ කලා අධ්‍යක්ෂණය කරන කාර්යයන් තුළට- කලා අධ්යක්ෂවරයෙක් කියන්නේ සම්පූර්ණ රූප රාමුවටම වගකිව යුතු පුද්ගලයෙක්- දර්ශන තල, රංග භාණ්ඩ, රංග වස්ත්රාභරණ ආදි අපිට ඇහෙන පෙනෙන බොහෝ දේවල් නිර්මාණය කරන්නේ කලා අධ්යක්ෂ ප්‍රධාන නිර්මාණ ශිල්පීන් විසින්- මම කලා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණු ටෙලිනාට්‍යයක් තමයි කොඩි ගහ යට- නලින් ලුසේනා ඉදිරිපත් කරන “කලූ” කියන චරිතය නිර්මාණයේදී අපි සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනම හැදෑරීමක් කරලා ඒ චරිතය අඳින්න ඕනෑ ඇඳුම් මොනවාද, එයා පාවිච්චි කරන රංග භාණ්ඩ මොනවාද, එයා ඉන්න තැන මොන වගේද කියන දේ නිර්මාණය කළා. ස්නැප්, කොඩි ගහ යට, තත්පරයක් දෙන්න, ලලයි ලිලයි ලයි වැනි ජනාදරයට පත් ටෙලිනාට්‍ය තුල මම කලා අධ්යක්ෂ ලෙස කටයුතු කර තිබෙනවා- කොඩි ගහ යට කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් 2023 වසරේ සුමති හා රයිගම් යන සම්මාන උළෙලද්විත්වයේම හෙඳම කලා අධ්‍යක්ෂණය සඳහා සම්මානය ලබා ගැනීමටද හැකියාව ලැබුණා.
තිරගත වීමට නියමිත, චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කරන ලංකාවේ පළමු වරට දූරකථනයකින් රූපගත කරන ලද චිත්‍රපටය වන “අභිසාරී” චිත්‍රපටයේද, “හෙලෝ ෆ්‍රොම් දි අදර් සයිඩ්” නමින් ජාත්‍යන්තර සිනමා පටයකද, ලබන වසරේ නිකුත් වීමට නියමිත “කල්පනා” නම් චිත්‍රපටයේද කලා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙලා සිටිනවා.
ඔබ සිනමාව සම්බන්ධයෙන් ඇකඩමියානු හැදෑරීමක් ඇතිව ක්ෂේත්රයට පැමිණි අයෙක්. සිංහල සිනමාව සම්බන්ධයෙන් අපිට මතු බලාපොරොත්තු තබාගත හැකියි කියා ඔබ සිතනවාද?
ක්ෂේත්රයක් විදිහට අපිටත් කාලයක් බයක් තිබුණා සිනමාව නැතිවෙලාම යයිද කියලා. නමුත් මේ තාක්ෂණයේ දියුණුව නිසාම මේක යම් මට්ටමකට අපේ රට තුළත් දියුණු වෙමින් පවතින ක්ෂේත්රයක් බවට පත් වෙනවා. අපිට දැනුම ලබා ගන්නා ඕනෑ තරම් විදි තියෙනවා. ඉස්සර වගේ ලොකු කණ්ඩායමක් අරගෙන ගිහින් චිත්‍රපට කරනවා වෙනුවට සරලව නිරමාණ කාර්යයක නිරත වෙන්න පුළුවන් අද.
අලුතින් කෙනෙක් යම් හැදෑරීමක් සමග එනවා නම් හොඳ වැඩක් කරන්න පුළුවන් සහ එම නිර්මාණවල ගුණාත්මකභාවයත් සමඟ වැඩකරමින් යද්දී ආත්ම තෘප්තියත් සමඟ මූල්‍යමය වශයෙනුත් හොඳ ස්ථාවරත්වයකට ළඟා විය හැකි ක්ෂේත්රයක් තමයි මේක.
මලයාලම් සිනමාවට අභියෝග කළ හැකි වෘත්තාන්ත චිත්‍රපටයක් අපිට ඉදිරියේදී ඔබෙන් දැකබලා ගැනීමට හැකියාවක් ලැබෙයිද?
මේ වන විට මිත්‍රයන් කිහිප දෙනෙකු සමඟින් ප්‍රඩක්ෂන් ආයතනයක් පවත්වාගෙන යනවා. ඉදිරියේදී තවත් මලයාලම් ආභාසය ලබාගෙන කරන්න නියමිත වෘත්තාන්ත චිත්‍රපටයක් සඳහා තිර පිටපත අවසන් කරලා තියෙනවා.මේ වෙද්දී නිෂ්පාදකවරයෙකු අපි සොයමින් ඉන්නවා- ඒක අපි මේ දූපතෙන් එළියට දාන්නම හිතා ගෙන කරන වැඩක්.
- රන්දිමාල් වික්‍රමරත්න