සාමාන්‍ය ජනතාවට හදවත් සැත්කමක් සඳහා දැන් උපරිමය රු. 250,000යි.
ස්ටෙන්ට් 3කට උපරිම ලක්ෂ 3යි.
වකුගඩු බද්ධ කිරීමකට උපරිම 250,000යි
පිළිකා ප්‍රතිකාර උපරිම ලක්ෂ 5යි
මොළයේ සැත්කමකට උපරිම ලක්ෂ 6යි
එහෙත්…
දිමු ලක්ෂ 298
රංජිත් සොයිසා ලක්ෂ 187
කෙහෙළිය ලක්ෂ 109
අනුමැතිය දුන්නේ මහින්ද, මෛත්‍රී, ගෝඨාභය හා රනිල්
ලසන්ත රුහුණගේ
‘පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනෙක් විදේශ රෝහලකදී සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සමාලෝචිත වර්ෂයේදී තනි පුද්ගලයකු සඳහා ගෙවූ වැඩිම වටිනාකම වූ රු. මිලියන 6.083ක් හා 6.955ක් බැගින් එකතුව රු. මිලියන 13.038ක් අරමුදලෙන් ගෙවා තිබුණු බව නිරීක්ෂණය විය.’
එසේ සඳහන් කර ඇත්තේ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් වන 2022 විගණන වාර්තාවේ මෙහෙයුම් සමාලෝචනය, කළමනාකරණ ක්‍රියාකාරකම් යටතේ විගණන නිරීක්ෂණ ඉදිරිපත් කරමිනි. ඊට අදාළ කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම් යටතේ මෙසේ සඳහන් කර තිබේ.
‘ජනාධිපති අරමුදල් පනත අනුව ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි මෙවැනි ගෙවීම් සිදුකළ හැකි බව දන්වා තිබුණි.‘
විගණනය ඊට අදාළ නිර්දේශය වශයෙන් මෙසේ සඳහන් කර තිබේ.
‘අරමුදලේ ප්‍රතිලාභ ගෙවීමේදී වැඩි ප්‍රතිලාභීන් සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසීම කෙරෙහි අවධානය යොමු විය යුතු වීම.’
එම විගණන වාර්තාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල විගණන නිරීක්ෂණය වශයෙන් සඳහන් කරන්නේ ‘ සමාලෝචිත වර්ෂයේදී හෘදය සැත්කම්, පිළිකා රෝග, මොළය ආශ්‍රිත රෝග, දණහිස් හා උකුළ ආශ්‍රිත රෝග, වකුගඩු රෝග සහ වෙනත් ප්‍රතිකාර සඳහා රෝගීන් 5101 දෙනෙකු වෛද්‍යාධාර ඉල්ලීම් කර තිබූ නමුත්, රෝගීන් 2750 දෙනෙකු සඳහා පමණක් වෛද්‍යාධාර ගෙවීම් කර තිබුණි. ඉකුත් වර්ෂයේදී මෙවැනි රෝග සඳහා වෛද්‍යාධාර වශයෙන් රෝගීන් 1322 දෙනෙකු සඳහා ගෙවීම් කර තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂය හා සැසැඳීමේදී සමාලෝචිත වර්ෂයේදී අයදුම්පත් ඉදිරිපත් කළ සංඛ්‍යාව හා ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව සමඟ සැසැඳීමේදී එය සියයට 54ක් පමණ විය.’ යනුවෙන්ය.
ඒ සඳහා කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම් යටතේ සඳහන් කර ඇත්තේ, පිළිතුර ඉදිරිපත් කර නැත යන්නයි. විගණන නිර්දේශය ලෙස සඳහන් කරන්නේ අරමුදලේ අරමුණු උපරිමයෙන් ඉටුකර ගැනීමේ අවශ්‍යතාව යන්නයි.
ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් 2019 වර්ෂයේ විගණන වාර්තාවේ මෙහෙයුම් සමාලෝචනය, කළමනාකරණ අකාර්යක්ෂමතා යටතේ විගණන නිරීක්ෂණ වශයෙන් සඳහන් කරන්නේ, ‘එක් එක් රෝග සඳහා ගෙවීම් කිරීමේදී එම රෝග සඳහා අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කර තිබූ සීමාවන් ඉක්මවා රෝගීන් 136 දෙනෙකුට එකතුව රු. 57,899,147ක් ගෙවා තිබුණි. මෙම රෝග සඳහා ගෙවීමේ සීමා ඉක්මවීම අනුමත සීමාව හා සසඳන විට සියයට 243ක් පමණ විය.’ ඒ සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම වී ඇත්තේ ‘අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අනුමැතිය යටතේ ගෙවීම් සිදුකර ඇත’ යන්නයි. ඒ සම්බන්ධයෙන් විගණනයේ නිරීක්ෂණය වී ඇත්තේ ‘සමාන අවස්ථා ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාව සලකා බැලීම.’ යන්නයි.
ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් වන විගණකාධිපති වාර්තාවල එම නිරීක්ෂණයන් අපට වැදගත් වන්නේ ජනාධිපති අරමුදලෙන් සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුගිය කාලයේ දේශපාලනඥයන්ට ලබාදී ඇති මුදල් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ අනාවරණය හේතුවෙනි.
ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් 2024 ජනවාරි 01 දින සිට අනුමත කර ඇති වෛද්‍යාධාර අනුව හදවත් සැත්කමක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල, පෞද්ගලික රෝහල් හා විදේශ රෝහලක් සඳහා උපරිමයෙන්ම ලබාගත හැකි මුදල රුපියල් 250,000ක් පමණය. හදවත් රුධිර නාලවලට ස්ටෙන්ට් දැමීම සඳහා උපරිමයෙන් ලබාගත හැකි මුදල රුපියල් ලක්ෂ 3කි. ඒ ස්ටෙන්ට් 3ක් දැමීමේ අවස්ථාවකටය.
වකුගඩු රෝග සම්බන්ධයෙන් වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලේ හෝ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නම් රු. 250,000ක්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නම් රුපියල් ලක්ෂ 4ක්, පෞද්ගලික රෝහලක හෝ විදේශ රෝහලක නම් රුපියල් ලක්ෂ 5ක් උපරිමයෙන් ලබාගත හැකිය. එමෙන්ම රුධිරය කාන්දුකරණය (ඩයලයිසිස්) සඳහා ශ්‍රී ජයවර්ධනපුර, පෞද්ගලික හා විදේශ රෝහලක් සඳහා උපරිම ගෙවනු ලබන්නේ රුපියල් ලක්ෂ 5ක් පමණය.
පිළිකා රෝග ප්‍රතිකාර සඳහා රජයේ, පෞද්ගලික හෝ විදේශ රෝහලක ප්‍රතිකාර සඳහා උපරිම ලබාගත හැකි මුදල රුපියල් ලක්ෂ 5ක් වන අතර ඒ රුපියල් ලක්ෂ 9කට වඩා වැඩි ඇස්තමේන්තුවලටය. රුපියල් ලක්ෂ 9ක් දක්වා වන ඇස්තමේන්තුවලට ගෙවනු ලබන මුදල ඇස්තමේන්තුගත මුදලින් සියයට 50ක් පමණය.
මොළය සම්බන්ධ සැත්කම්වලදී උපරිම ගෙවනු ලබන්නේ රුපියල් ලක්ෂ 6ක් වන අතර ඒ රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි ඇස්තමේන්තුවලටය. රුපියල් ලක්ෂ 5ත් 15ත් අතර ඇස්තමේන්තුවලට තුනෙන් එකක මුදලක් ගෙවනු ලබන අතර රුපියල් ලක්ෂ 5 දක්වා ඇස්තමේන්තුවලටද ගෙවනු ලබන්නේ තුනෙන් එකක මුදලක් පමණය.
විකලාංග තැන්පත් කිරීම් යටතේ ලබාදෙන උපරිම මුදල රුපියල් ලක්ෂ 3ක් වන අතර සුෂුම්නාව සම්බන්ධයෙන් වන ප්‍රතිකාර සඳහා ලබාදෙන උපරිම මුදලද රුපියල් ලක්ෂ 3කි. ඇට මිදුළු බද්ධ කිරීම යටතේ උපරිම ලබාදෙන මුදල රුපියල් ලක්ෂ 6ක් වන අතර අක්මා සැත්කම් සම්බන්ධයෙන් ලබාදෙන උපරිම මුදලද රුපියල් ලක්ෂ 6කි. එහෙත් අවුරුදු 16ට අඩු දරුවන් සඳහා උතුරු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් රාගම රෝහලේදී සැත්කම කරන්නේ නම් පෙර හා පසු පරීක්ෂණ සහ බෙහෙත් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගත හැකි බව සඳහන් කර ඇත.
ඊට අමතරව අක්ෂි ශල්‍යකර්ම ඇතුළු අනෙකුත් ප්‍රතිකාර සඳහා ලබාගත හැකි උපරිම මුදල ලක්ෂ 3 ඉක්මවන්නේ නැත.
එම මුදල් සීමා වර්තමානයට අදාළ ඒවා වන අතර මීට පෙර කාලවල එම අගයන් පැවතියේ මීටත් වඩා අඩු අගයන්වලය.
ජනාධිපති අරමුදලේ වෛද්‍ය ආධාර හා අනෙකුත් ආධාරවල අරමුණ වූයේ ඒ සඳහා ප්‍රවේශ වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමය. එහෙත් ඉහතින් උපුටා දැක්වූ විගණන වාර්තා අනුව පෙනෙන්නේ එහි සැබෑ ප්‍රතිලාභ හිමිවිය යුතු අඩු ආදායම්ලාභීන්ට නම් අයදුම්පත් ඉදිරිපත් කර වසර ගණන් බලා සිටින්නට සිදුවී තිබෙන බවය. නමුත් පාර්ලිමේන්තුවට අනාවරණය කරන ලද තොරතුරු අනුව නම් පෙනෙන්නේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් නම් එවැනි ප්‍රමාදයක් සිදුවී නැති බවය. එමෙන්ම ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වන ජනාධිපති අරමුදලේ අනිවාර්ය අවශ්‍යතා ජනාධිපති අභිමතය පරිදි අවභාවිත කර ඇති බවය.
ජනාධිපති අරමුදලේ මූල්‍යධාර ඉල්ලීම සඳහා කොන්දේසි හා නියමයන් පනවා ඇති අතර ඉන් ප්‍රධානම එකක් වන්නේ රෝගියා, කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 2ක් නොඉක්මවීමයි. එම සීමාව වෙනස් වන බව සඳහන් කර ඇත්තේ 2024 ජනවාරි 01 දින සිට බාර ගන්නා අයදුම්පත් සම්බන්ධයෙන් පමණය. එමෙන්ම රෝගියා, කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ආදායම් බදු නොගෙවීම, සැත්කම හෝ ප්‍රතිකාරය සඳහා වැයවන මුදලින් සියයට 50ක මුදලක් රක්ෂණ, වෛද්‍යාධාර හෝ සුභසාධන ක්‍රමයකින් ලබා ගැනීමට සුදුසුකම් ලබා නොතිබීම, සැත්කම හෝ ප්‍රතිකාරය සඳහා යන වියදම දරා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම ආදියයි.
මෙම රුපියල් ලක්ෂ 2ක සීමාව ඇත්තේ වර්තමානයට වන අතර ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ප්‍රතිකාර හා සැත්කම් සඳහා මුදල් ලබාගෙන ඇති වර්තමාන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ගත්කල ඔවුන්ගේ ආදායම් ඊට වඩා වැඩි අගයක පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් ගෙවන සුඛෝපභෝගී ජීවිතයට, දරුවන්ගේ විදේශ අධ්‍යාපනයට වැය කරන මුදල් ගැන තක්සේරු කළහොත් එය වටහා ගත හැකිය. එමෙන්ම ඔවුන්ට ඇති නිවාස, දේපල, වාහන ආදිය සැලකූ විටද සැත්කමක් හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් සඳාහා එම පවුල් සතුව ප්‍රමාණවත් මූල්‍ය සම්පත් තිබෙන බව පෙනී යයි.
අනෙක් අතට මන්ත්‍රීවරුන්ට ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සමයේ රක්ෂණ හිමිකමක් ඇති අතර සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එයින් ද ප්‍රතිලාභ ලැබේ. බොහෝ මන්ත්‍රීවරුන් ආදායම් බදු ගෙවන අය වන අතර ඉන්ද මෙම පිරිස ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීම සඳහා නුසුදුස්සන් බවට පත්වෙති.
එහෙත් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව නුසුදුස්සන් වන මෙම පිරිසට ජනාධිපති අරමුදලින් ප්‍රතිලාභ ලබාදී ඇති අතර එයද එම ප්‍රතිකාර හා සැත්කම් සඳහා සාමාන්‍ය ජනතාවට ගෙවන ගණන මෙන් දෙගුණයක් නොව කිහිප ගුණයක අගයකි. එය කිසිසේත්ම සාධාරණීකරණය කළ හැකි තත්වයක් නොවේ.
උදාහරණයකට හිටපු අගමැතිවරයකු වූ දිමු ජයරත්නට 2012 දී අවස්ථා 3කදී හා 2014 දී එක් අවස්ථාවක් බැගින් අවස්ථා 4කදී රු. මිලියන 30කට ආසන්න (රු.29,809,143.09) මුදලක් හෙවත් රුපියල් කෝටි 3කට ආාසන්න මුදලක් ලබාදී තිබේ. ඉන්පසු වැඩිම මුදලක් වන රු.මිලියන 18කට (රු. 18,747,196.44) හෙවත් රුපියල් එක්කෝටි 80 ලක්ෂයකට වඩා වැඩි මුදලක් 2019,2020 හා 2022 යන වර්ෂවල අවස්ථා තුනකදී විදේශ ප්‍රතිකාර සඳහා ලබාගෙන ඇත්තේ හිටපු මන්ත්‍රීවරයකු වූ රංජිත් ද සොයිසාය. ඊළඟට රු. 10,908,798.40ක් හෙවත් රුපියල් කෝටියකට වැඩි මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා ලබාගෙන ඇත්තේ එක් අවස්ථාවක විදේශ වෛද්‍ය ප්‍රතිකාර සඳහාය.
මෙම තොරතුරු අනුව කළ යුතු එක් දෙයක් වන්නේ ආර්ථික වශයෙන් අපහසුතා ඇති රටේ ජනතාවට සහන සැලසීම සඳහා ඇතිකර ඇති ජනාධිපති අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඒ සඳහා අනුමැතිය ලබාදුන් ඒ ඒ කාලවල සිටි ජනාධිපතිවරුන්ට එරෙහිව නීතිමය පියවර ගතහැකි දැයි සොයා බලා එසේ පියවර ගත හැකි නම් පියවර ගැනීමය. එමෙන්ම තමන්ට හිමි නොවන සහන ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු හා වත්මන් දේශපාලනඥයන්ට පියවර ගතහැකි දැයි සොයා බලා එම පියවර ගැනීමය. එහිදී සිදුවිය යුත්තේ ජනාධිපති අරමුදලෙන් ලබාගත් මුදල් ආපසු ලබා ගැනීමට පියවර ගැනීමය.
ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර හා සැත්කම් සඳහා මූල්‍ය ආධාර ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලනඥයෝ
2005
නාමල් ගුණවර්ධන (බස්නාහිර පළාත් මන්ත්‍රී) අනතුරක් සඳහා ආධාරය රු. 1,000,000
සුමේධා ජයසේන විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 303,485
මහාචාර්ය තිස්ස කාරියවසම් හෘදය සැත්කම ඩර්ඩන්ස් රෝහල රු. 170,000
එම්සී ගොපල්ලව (ආණ්ඩුකාර) හෘදය සැත්කම ඩර්ඩන්ස් රෝහල රු. 1,918,470.36
ඇලික් අලුවිහාරේ විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 1,000,000
නන්ද ගුණසිංහ වෛද්‍ය ප්‍රතිකාර ඩර්ඩන්ස් රෝහල රු.77,039.93
2006
ජෝශප් මයිකල් පෙරේරා හෘදය සැත්කම ජාතික රෝහල රු. 2,000,000
එස්බී නාවින්න හෘදය සැත්කම නවලෝක රෝහල රු. 545,000
ලයනල් ජයසිංහ හෘදය සැත්කම නවලෝක රෝහල රු. 500,000
2007
එම්කේඒඩීඑස් ගුණවර්ධන හෘදය සැත්කම විදේශ රු. 3,800,000
අයිවීඒඩීඑන්සීපී ජයවර්ධන (බස්නාහිර පළාත් මන්ත්‍රී) හෘදය සැත්කම නවලෝක රෝහල රු. 550,000
පී දයාරත්න හෘදය සැත්කම ඩර්ඩන්ස් රෝහල රු. 300,000
පියසේන ගමගේ හෘදය සැත්කම නවලෝක රෝහල රු. 250,000
2008
කේඒඩීඑස් ගුණවර්ධන විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 3,434,363.32
ඇලික් අලුවිහාරේ විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 1,200,000
විමල් වික්‍රමසිංහ පිළිකා ප්‍රතිකාර ආසිරි රෝහල රු. 1,400,000
2009
ධර්මදාස බණ්ඩා විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 1,000,000
පී චන්ද්‍රසේකරන් විදේශ වෛද්‍ය ප්‍රතිකාර (පවුම් 8535) රු. 1,399,825
2010
සරණපාල විජේසිංහ හෘදය සැත්කම ජාතික රෝහල රු. 358,000
අශෝක ජයවර්ධන (සබරගමුව පළාත් සභා මන්ත්‍රී) සැත්කම ආසිරි රෝහල රු. 300,000
පී පොඩිඅප්පුහාමි (රත්නපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී) හෘදය සැත්කම ලංකා රෝහල රු. 250,000
2011
ආර්ඒ ටියුඩර් දයාරත්න ඩයලයිසිස් ප්‍රතිකාර නවලෝක රෝහල රු. 300,000
පී හැරිසන් හෘදය සැත්කම ඩර්ඩන්ස් රෝහල රු. 250,000
සුමිත්‍රා විජේමාන්න ගන්කන්ද හෘදය සැත්කම නවලෝක රෝහල රු. 494,100
මනෝජ් සිරිසේන (දකුණු පළාාත් මන්ත්‍රී) වෛද්‍ය ප්‍රතිකාර ඩර්ඩන්ස් රෝහල රු 300,000
2012
අයිකේ මහින්ද රත්නතිලක විදේශ අක්මා බද්ධය රු. 1,000,000
ඩීඒ ආරියනන්ද (බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී) හෘදය සැත්කම ඩර්ඩන්ස් රෝහල රු. 250,000
ඒඑම්ජේඑම් අධිකාරි (පළාත් සභා මන්ත්‍රී) උකුල සන්ධි ශල්‍යකර්මය පේරාදෙණිය රෝහල රු. 250,000
කෙහෙළිය රඹුක්වැල්ල විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 10,908,798.40
ජයලත් ජයවර්ධන විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 1,000,000
දිමු ජයරත්න විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 3,000,000, රු. 13,060,926.09, හා රු. 13,238,000
2013
විදුර වික්‍රමනායක විදේශ හෘදය සැත්කම රු. 1,500,000
2014
කේඒඩීඑස් ගුණවර්ධන විදේශ හෘදය සැත්කම රු. 1,500,000
වාසුදේව නානායක්කාර හෘදය සැත්කම ආසිරි සර්ජිකල් රෝහල රු. 500,000
එම්එස් හෙට්ටිගේ (බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති) හෘදය සැත්කම නවලෝක රෝහල රු. 350,000
ජේඒඊ (ජෝන්) අමරතුංග විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 4,000,000
ඒඑම්ජේඑම් අධිකාරි (හිටපු එන්සීපී) උකුල හා දනහිස් ප්‍රතිකාර ජාතික රෝහල රු. 100,000
දිමු ජයරත්න වෛද්‍ය ප්‍රතිකාර ලංකා හොස්පිටල් රු. 510,217
ඒඑම්එම් ප්‍රේමචන්ද්‍ර වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ජයවර්ධන පුර රෝහල රු. 419,552.89
2015
කේඒඩීඑස් ගුණවර්ධන විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 2,500,000
2016
එම්ඒඑස් ෆාරීස් (නි. නගරාධිපති මීගමුව නගර සභාව) හෘදය සැත්කම නවලෝක රෝහල රු. 150,000
රාජිත සේනාරත්න විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 2,557,292.50
ඩබ්ලිව්එම්එස් (මාලිනී) පොන්සේකා හෘදය සැත්කම නවලෝක රෝහල රු. 500,000
2017
ජේඑම් (ජෝශප් මයිකල්) පෙරේරා හෘදය සැත්කම ආසිරි සර්ජිකල් රෝහල රු. 318,065
එච්එම්එල්ඩී ජයවර්ධන හෘදය සැත්කම ඇපලෝ රෝහල රු. 1,623,848.39
2018
එම්ඒඑස් ෆාරීස් (නි. නගරාධිපති මීගමු නගර සභාව) හෘදය සැත්කම ලංකා රෝහල රු. 200,000
ජේඑම් (ජෝශප් මයිකල්) පෙරේරා හෘදය සැත්කම ශ්‍රී ජයවර්ධනපුර රෝහල රු. 400,000
ඒ බාස්කරන් (සබරගමුව පළාත් සභා මන්ත්‍රී) හෘදය සැත්කම සෙන්ට්‍රල් රෝහල රු. 500,000
ජීආර් ගම්ලත් විදේශ ඇස් ශල්‍යකර්මය රු. 73,529
රංජිත් අලුවිහාරේ හෘදය සැත්කම ආසිරි සර්ජිකල් රෝහල රු. 365,176
එස්ඒඩීඑස් (සුසිල්) ප්‍රේමජයන්ත වෛද්‍ය ප්‍රතිකාර ලංකා රෝහල රු. 625,510
එස්කේ අමරතුංග (මධ්‍යම පළාත් සභාව මන්ත්‍රී) හෘදය සැත්කම ලංකා රෝහල රු. 400,000
2019
ඩබ්ලිව්එම්එස් ප්‍රියනාත් (සභාපති කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව) විදේශ පිළිකා ප්‍රතිකාර රු. 2,000,000
සරත් අමුණුගම හෘදය සැත්කම ආසිරි සර්ජිකල් රෝහල රු. 400,000
කේආර්ඩීඒ සිසිර කුමාර (හිටපු සභික දොම්පේ ප්‍රාදේශීය සභාව) හෘදය සැත්කම ආසිරි සෙන්ට්‍රල් රෝහල රු. 350,000
කේවී කුලතුංග (හිටපු සභික රිදීගම ප්‍රාදේශීය සභාව) හෘදය සැත්කම සෙන්ට්‍රල් රෝහල රු. 150,000
ටී රංජිත් ද සොයිසා විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 7,363,000
ජේපීඩීපීකේ ජයසේකර වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ජයවර්ධනපුර රෝහල රු. 500,000
2020
ඩබ්ලිව්එම්ටීබී ඒකනායක වෛද්‍ය ප්‍රතිකාර සෙන්ට්‍රල් රෝහල රු. 391,499.41 රු. 386,963 හා නවලෝක රෝහල රු. 3,981,025.81
රංජිත් ද සොායිසා විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 5,300,952
2021
එච්එම්පීඑන් ද සිල්වා වෛද්‍ය ප්‍රතිකාර ආසිරි සෙන්ට්‍රල් රෝහල රු. 566,921.45
2022
රංජිත් අලුවිහාරේ හෘදය සැත්කම සෙන්ට්‍රල් රෝහල රු. 500,000
විමලවීර දිසානායක වකුගඩු බද්ධ කිරීමේ සැත්කම හේමාස් රෝහල වත්තල රු. 2,978,219
ටී රංජිත් ද සොයිසා විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 6,083,244.44
කේපීඑස් කුමාරසිරි වෛද්‍ය ප්‍රතිකාර ආසිරි රෝහල රු. 953,430
ජයන්ත වීරසිංහ විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 8,918,295.53
2023
බීආර්ජීජී (ගුණතිලක) රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර ආසිරි රෝහල නුවර රු. 150,000
ඩබ්ලිව්එම්එස් (මාලිනී) පොන්සේකා විදේශ වෛද්‍ය ප්‍රතිකාර රු. 5,000,000
2024
ඊඒඅයිඩීඩී (ඉසුර දේවප්‍රිය) පෙරේරා (හිටපු ප්‍රධාන ඇමති බස්නාහිර පළාත) හෘදය සැත්කම නවලෝක රෝහල රු. 1,000,000
යූඑස් (සරත්) කෝන්ගහගේ, හෘදය සැත්කම ලංකා රෝහල රු. 500,000
එස්සී මුතුකුමාරණ, වෛද්‍ය ප්‍රතිකාර විෂන් කෙයාර් ඔප්ටිකල් සර්විසස් රු. 400,000
එස්ඒ ජගත්, කුමාර හෘදය සැත්කම ආසිරි සර්ජිකල් රෝහල රු. 1,000,000