ලසන්ත රුහුණගේ
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් හා වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ නිලධාරීන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව පොලීසිය නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පසුගිය ජනාධිපතිවරණයට අදාළව ආදායම් හා වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා කළ ඡන්දදායකයන් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම පොලීසියට කළ දැනුම් දීම අනුව එම පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
පසුගිය ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා කළ ඡන්දදායකයන් 13 දෙනෙකු සිය ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමිසමට නියමිත දිනයේදී ලබාදී නොතිබුණු අතර ඒ අනුව ඔවුන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී තිබුණි. ඒ එම පනත අනුව නෛතික පියවර ගැනීම පොලීසිය විසින් සිදුකළ යුතු හෙයිනි.