No menu items!
22.6 C
Sri Lanka
18 January,2025

පළාත් පාලන ඡන්දයට අලුත් නාම යෝජනා පක්ෂ නායකයෝ කැමතියි

Must read

ලසන්ත රුහුණගේ / කාංචනා සිරිවර්ධන

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා මීට වසර දෙකකට පමණ පෙර ලබාගත් නාම යෝජනා අහෝසි කර ඒ සඳහා අලුතින් ලබා ගන්නා නාම යෝජනා මත එම ඡන්ද විමසීම් පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති අතර එයට පක්ෂ නායකයන්ගේ එකඟතාව ලැබී ඇතැයිද වාර්තාවේ.
දැනට මැතිවරණ කොමිසම ලබාගෙන ඇති නාම යෝජනා අහෝසි කර අලුත් නාම යෝජනා ලබා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ එම පක්ෂ නායක රැස්වීමේදී නිශ්චිත ලෙස සාකච්ඡා කර නැති අතර ඊළඟට පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.
පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා මීට වසර දෙකකට පමණ පෙර ලබාගත් නාම යෝජනා අවලංගු කර අලුත් නාම යෝජනා කැඳවීම කෙරෙහි පක්ෂ නායකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ එම නාම යෝජනා ලැයිස්තුවල සිටි පුද්ගලයන් මියයෑම, විදේශගත වීම, පක්ෂ මාරු කිරීම, පාර්ලිමේන්තුවට තේරී පත්වීම හා එම ඡන්ද විමසීම් සඳහා අනුමත කළ ඡන්ද හිමි නාම ලේඛනය අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යොදාගත් ඡන්ද හිමි නාම ලේඛනය සමඟ ගත්කල ඡන්ද ලක්ෂ ගණනක් අඩුවෙන් පැවතීම හේතුවෙන්ය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ නොවැම්බර් 25 වැනිදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දැනට ලබාදී ඇති නාම යෝජනා අහෝසි කර නැවත නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කෙරුණු බවය. එහිදී පැරණි නාම යෝජනා අහෝසිකොට නැවත නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක්, පක්ෂ නායක රැස්වීමේදී විරුද්ධත්වය පළ නොකළ බවද ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් එම පක්ෂ නායක රැස්වීම තුළ සියලුම පක්ෂ නියෝජනය වීමක් සිදු නොවුණ බැවින් එදින සහභාගි නොවූ පක්ෂවල ද සහභාගිත්වයෙන්, එනම් පක්ෂ නායකයින් 12 දෙනා සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයා ද ඇතුළු ව සියලු පක්ෂ නියෝජනය කෙරෙන අන්දමින් විධිමත් සාකච්ඡාවකට ඉඩ ලැබෙන පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිල තීන්දුවක් ලබාගන්නා බව අමාත්‍යවරයා පැවසීය. එම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීම සඳහා තවම දින නියමයක් නැති බවත්, දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පක්ෂ නායක රැස්වීම සඳහා දින නියම කරගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් හැකි ඉක්මන් දිනයක පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරනු ලැබූ අතර ඒ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබූ කාලවකවානුවේය. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයද පැවැත්වූ අතර මැතිවරණ කොමිසමට ඒ අනුව ඉතිරි වී ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමටය.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කළ බව අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක පැවසීය. ඔහු ප්‍රකාශ කළේ උසස් පෙළ විභාග කටයුතු හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බවත් හා ලබන වසරේ ජනවාරි මාසයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය. එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා මීට පෙර ලබාගත් නාම යෝජනා අහෝසි කර අලුතින් ලබා ගන්නා නාම යෝජනා යටතේ එම ඡන්ද විමසීම් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සමක් දෙසැම්බර් මස 11 වැනිදා කැඳවා ඇති බවත්, එහි තීරණය සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන බවත්ය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි