No menu items!
21.3 C
Sri Lanka
18 January,2025

මේ අපේක්ෂකයන්ගේ ආදායම් හා වියදම් ඇත්තද? ඔබ තීරණය කරන්න

Must read

ලසන්ත රුහුණගේ

අප පසුගිය සතියේ ඔබට ඉදිරිපත් කළේ අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා නාමල් රාජපක්ෂ යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබූ ඔවුන්ගේ ආදායම් හා වියදම් වාර්තා පිළිබඳ තොරතුරුය. එහිදි අප ඔබට යෝජනා කළේ එම ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලබාදී ඇති ආදායම් හා වියදම් වාර්තා ඇත්තද යන්න තීරණය කරන ලෙසය.

මෙවර අප ඔබට ඉදිරිපත් කරන්නේ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වු දිලිත් ජයවීර, නුවන් බෝපගේ, රොෂාන් රණසිංහ, සරත් පොන්සේකා හා විජයදාස රාජපක්ෂ හා ජනක රත්නායක යන අපේක්ෂකයන් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති ආදායම් හා වියදම් වාර්තාවල ඇතුළත් කරුණුය. මේ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ආදායම් හා වියදම් වාර්තාවලට අදාළ කරුණු අප ඔබට ඉදිරිපත් කරන්නේ ඒවායේ ඇත්ත නැත්ත පිළිබඳ මහජන සංවාදයක් ඇති කිරීම සඳහාත්, ආදායම් හා වියදම් වාර්තාවල ඉදිරිපත් කර ඇති එම කරුණු සම්බන්ධයෙන් යම් අභියෝග කිරීමක් කිරීමට ඇත්නම් ඒ සඳහා අවකාශ සැලසීමේත් අරමුණෙනි.

 දිලිත් ජයවීරගේ වියදම රු. මිලියන 324යි. මුදල් ඔහුගේ සමාගම්වලින්

දිලිත් ජයවීර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කර ඇති මුළු වියදම රු. 324,643,246.05කි. එහි දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් සහ සමුළු වෙනුවෙන් කළ රු. 17,546,667ක වියදමක් ඇති අතර එය ඔහු විසින්ම දරා ඇති වියදමකි.

ඊට අමතරව ටී ෂර්ට් හා තොප්පි මුද්‍රණය වෙනුවෙන් රු. 583,000ක්, බැනර් හා මුද්‍රණ කොඩි වෙනුවෙන් රු. 1,443,570ක්, කොඩි හා පතාක මුද්‍රණය වෙනුවෙන් රු. 876,000ක්, පොස්ටර්. පොත් හා අත් පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රු. 8,744,004ක් වෙනත් මුද්‍රණ කටයුතු වෙනුවෙන් රු. 1,682,233.50ක්, ප්‍රවාහන වියදම් වෙනුවෙන් රු. 1,258,575ක්, යූටියුබ් සජීව විකාශයන් වෙනුවෙන් රු. 3,670,000ක්  වියදම් කර ඇති අතර ඒ සියල්ල වෙනුවෙන් වියදම් දරා ඇත්තේ දිලිත් ජයවීරය.

මුද්‍රිත, ඩිජිටල්, ගුවන් විදුලි, රූපවාහිනී ප්‍රචාරක වියදම් වෙනුවෙන් රු. 61,885,507.52ක් වියදම් කර ඇති අතර ඒ සඳහා ට්‍රයිඇඩ් ප්‍රයිවට් ලිමිටඩ්, එමජිවයිස් ප්‍රයිවට් ලිමිටඩ්, කයිට්ස් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ්, හාර්ඩ්ටෝක් ප්‍රයිවට් ලිමිටඩ්, ඇඩ්පැක් ප්‍රඩක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්, මිඩියේෂන් ඉන්ටර්ගේටඩ් ප්‍රයිවට් ලිමිටඩ් හා ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ්  වියදම් දරා ඇත.

ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරක කටයුතු  සඳහා රු. 3,045,125ක් වියදම් කර ඇති අතර එම වියදම දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් විසින් දරා ඇත. රූපවාහිනී ප්‍රචාරක වියදම් දෙරණ (24/7) සඳහා රු. 7,045,125ක්, රූපවාහිනී ප්‍රචාරක වියදම් (දෙරණ) සඳහා රු. 193.766,527.57ක් හා ගුවන් විදුලි ප්‍රචාරක වියදම් (දෙරණ) සඳහා රු. 11,124,526.36ක් වැයකර ඇති අතර ඒ සඳහා පවර් හවුස් ලිමිටඩ් වියදම් දරා ඇත. පුවත්පත් දැන්වීම් (අරුණ) සඳහා රු. 11,972,510.10ක් වැයකර ඇති අතර ඒ සඳහා ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වියදම් දරා ඇත.

එම වියදම් අතර වීඩියෝ නිෂ්පාදනය හා ඩ්‍රෝන ක්‍රියාකරවීම සඳහා රු. 2,425,187ක්, වීඩියෝ තිර හා ශබ්ද විකාශන වෙනුවෙන් රු. 4,926,040ක්, වේදිකා, පුටු සඳහා රු. 5,447,900ක්, කොඩි කණු සිටුවීමේ ප්‍රවාහනය සඳහා රු. 2,722,540ක්, ශබ්ද විකාශන හා ජෙනරේටර් සඳහා රු. 1,635,000ක් වශයෙන් වියදම් තිබී ඇත.

ඔහුට ආදායම් වශයෙන් ලැබී ඇත්තේ රු. 65,750,000ක් වන අතර එම ආදායම් සියල්ලම ලැබී ඇත්තේ මූල්‍යමය ප්‍රදාන වශයෙනි. ඒ ට්‍රයිඇඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් රු. 15,650ක්, එමර්ඩිවයිස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් රු. 15,000,000ක්, කයිට්ස් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් රු. 11,000,000ක්, හාඩ්ටෝක් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් රු. 3,000,000ක්, ඇඩ්පැක් පොඩක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් රු. 1,500,000ක්, මීඩියේෂන් ඉන්ටර්ගේටඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් රු. 8,000,000ක්, ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කොම්පැණි වෙතින් රු. 10,000,000ක්, ආර්එම් රොෂාන් චමින්ද වෙතින් රු. 1,500,000ක් හා උදය අබේකෝන් වෙතින් රු. 100,000ක් වශයෙනි.

මීට අමතරව ඔහු මැතිවරණ ව්‍යාපාරය සඳහා අනුමත වාහනයක් භාවිත කර ඇති අතර එහි නිත්‍ය රියැදුරුට වේතන ගෙවා ඇත. පෞද්ගලික දූරකථන අංකයක් භාවිත කර ඇති අතර එහි මාසික බිල රු. 5000 ක් බව සඳහන් කර ඇත.

ජනාධිපතිවරණය සඳහා ඔහු ඉදිරිපත් වූ පක්ෂය වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය ජී වීරසිංහ ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් එම  පක්ෂය කිසිදු වියදමක් නොදැරූ බවයි.

නුවන් බෝපගේ වෙනුවෙන් වියදම රු. මිලියන 10යි. රු. 4643.50 ක අතිරික්තයක්

නුවන් බෝපගේ අපේක්ෂකයකු ලෙස මැතිවරණය වෙනුවෙන් කිසිදු වියදමක් දරා නැති අතර ඔහුගේ ගිණුමට ප්‍රභාත් පෙරේරා නම් අයකුගෙන් ලැබුණ රු. 50,000ක මුදලක් පක්ෂ අරමුදලට බැරකළ බව කියයි. ඔහු භාවිත කර ඇති වාහනයට නිත්‍ය රියැදුරෙකු සිට ඇති අතර ඔහුට වැටුපක් ගෙවා නැත. එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වශයෙන් සඳහන් කරන්නේ අජිත් කුමාර නම් අයෙකුය. ඔහු රු. 1400, රු. 1300 හා රු. 1450 වශයෙන් වන වටිනාකම ඇති ලිපිද්‍රව්‍ය ඡන්ද ව්‍යාපාරය සඳහා යොදාගෙන ඇත. එමෙන්ම ඔහු ජංගම දූරකථනයක් භාවිතා කළ බව සඳහන් කර ඇතත් එහි මාසික බිල ගැන කිසිදු සඳහනක් කර නැත.

ඔහු වෙනුවෙන් ජන අරගල සන්ධානය නම් පක්ෂය රු. 10,830,699ක් වියදම් කර ඇති බව එම පක්ෂයේ ලේකම් ඉදිරිපත් කර ඇති වාර්තාවල සඳහන් කර ඇත. ඒ අනුව මුද්‍රණ වියදම් ලෙස රු. 9,235,860ක්, පුවත්පත් හා සමාජ මාධ්‍ය වියදම් ලෙස රු. 249,822ක්, රැස්වීම් වියදම් ලෙස රු. 1,109,478ක්, ප්‍රවාහන වියදම් ලෙස රු. 37,650ක් හා ඉන්ධන වියදම් ලෙස රු. 197,889ක් වැයවූ බව සඳහන් කර ඇත.

ලැබීම් සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ කැට මුදල් හා ශ්‍රම වැඩ මගින් දිස්ත්‍රික්කවලින් රු. 721,717ක්, පරිත්‍යාග ලෙස ජේඩී ඩයස් මහතාගෙන් රු. මිලියන 1ක්, පරිත්‍යාග ලෙස නම සඳහන් නොකරන ප්‍රභවයකින් රු. 1,396,125ක්, පරිත්‍යාග ලෙස තවත් නම සඳහන් නොකරන ලද ප්‍රභවයකින් රු. 444,000ක්, වාහන කුලී ආදායම් ලෙස පක්ෂය සතු වාහනය කුලියට දීමෙන්  රු. 154,000ක්, කම්කරු දින අත්තිකාරම් ආපසු ලැබීම් වශයෙන් ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් රු. 74,500ක් හා නුවන් බෝපගේගේ පරිත්‍යාගයක් වශයෙන් රු. 50,000ක් ලැබුණු බවයි.

ඊට අමතරව බැංකු ගත නොවූ ටිකට් මුදල් රු. 4,206,300ක් හා බැංකු ගත නොවූ ආධාර පත්‍ර මුදල් රු. 1,768,700ක් ලැබී ඇත. ඒ අනුව මුළු ලැබීම්වල එකතුව රු. 9,815,342ක් වී ඇත. ඊටත් අමතරව ජනාධිපතිවරණය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගිණුමට පීඒ ආරියරත්න මහතාගේ පරිත්‍යාග වශයෙන් රු. 500,000ක් හා රු. 510,000ක් ලැබුණු බවත්,  කැට මුදල් හා ශ්‍රම වැඩ ලෙස රු. 10,000ක් ලැබුණු බවත් සඳහන් කර ඇත. එම ආදායමත් සමඟ ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයට ලැබී ඇති මුළු ආදායම රු. 10,835,342.50ක් වී ඇත.  ඒ අනුව ජන අරගල ව්‍යාපාරයේ වියදමට සාපේක්ෂව ලැබුණු ආදායමේ අතිරික්තය රු. 4643.50ක්වී ඇත.

සරත් පොන්සේකාගේ වියදම රු. මිලියන 33යි.

ඒ තුළ ඔහුගේ හා ආධාරකරුවන්ගේ බිල් සහිත ගමනාගමන වියදම්  වශයෙන් රු. 206,516.72ක්, ඔහුගේ හා ආධාරකරුවන්ගේ බිල් රහිත ගමනාගමන වියදම් වශයෙන් රු. 700,000ක්, ඔහුගේ බිල් රහිත ගමනාගමන වියදම් වශයෙන් රු. 1,000,000ක්, බිල් සහිත භාණ්ඩ ප්‍රවාහන වියදම් රු. 3,042,000ක්, ඔහුගේ හා ආධාරකරුවන්ගේ බිල් සහිත ආහාරපාන හා නවාතැන් වියදම් රු. 1,182,385ක්, ඔහුගේ බිල් රහිත ආහාරපාන හා නවාතැන් වියදම් රු. 500,000ක්, එල්ඊඩී තිර හා උපාංග සඳහා රු. 5,185,000ක්, වේදිකා, ජෙනරේටර්, සවුන්ඩ්, බෑන්ඩ්, පුටු සහ අනෙකුත් බිල් සහිත උපාංග සඳහා රු. 38,000ක්, වේදිකාව, ජෙනරේටර්, සවුන්ඩ්, බෑන්ඩ්, පුටු සහ අනෙකුත් බිල් රහිත උපාංග සඳහා රු. 21,660,000ක්, ඇප මුදල් තැන්පත් කිරීම සඳහා රු. 75,000ක් ලෙස එම වියදම් සිදුකර ඇති බව සඳහන් කර ඇත. එම සියලු වියදම් ඉතිරි කිරීම් මුදල්වලින් සිදුකර ඇති බව සඳහන් කර ඇති අතර එම ඉතිරි කිරීම් මුදල් අයිති කාහටද යන්න සඳහන් කර නැත. එහෙත් එම ඉතිරි කිරීම් මුදල් හිමි පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංක 503530163ඩ ලෙස සඳහන් කර ඇති නිසා එම පුද්ගලයා සරත් පොන්සේකා මහතාම බව පෙනී යයි.

එමෙන්ම සරත් පොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා කළ ඡන්දදායකයා වන චමීර දිනේෂ් ගාල්ලේආරච්චි සිය ආදායම් හා වියදම් වාර්තාව මගින් කියා ඇත්තේ පොන්සේකා මහතා වෙනුවෙන් එම ස්වාධීන කණ්ඩායම කිසිදු වියදමක් සිදු නොකළ බවයි.

රොෂාන් රණසිංහගේ වියදම රු. මිලියන 2.7ද? රු. මිලියන 5.4ද? 

ඔහුගේ මුළු වියදම වශයෙන් සඳහන් කරන්නේ රු. 2,722,000 කි. ඒ අත්පත්‍රිකා ලක්ෂ 2ක් මුද්‍රණය සඳහා රු. 322,000ක්, අත්පත්‍රිකා ලක්ෂ 2 2/1ක් මුද්‍රණය සඳහා රු. 360,000ක්, සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය හා භාවිතය සඳහා රු. 500,000ක්, ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය සඳහා රු. 183,000ක්, ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සඳහා රු. 313,000ක්, ලිපි ශිර්ෂ හා ලිපි ද්‍රව්‍ය සඳහා රු. 44,000ක්, සියත ටීවී සජීව වැඩසටහන් වියදම් රු. 1,000,000ක් වශයෙනි. එම සියලු වියදම් නිව් යූරෝනිපොන් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ගෙවූ බව ඔහු සඳහන් කර ඇත.

ඔහු මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් භාවිත කළ වාහනය ඔහු සතු එකක් අතර රියැදුරුට වැටුපක් ගෙවා ඇත. එමෙන්ම ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාද රු. 44,000ක් ඔහු වියදම් කර ඇත. ජංගම දූරකථනයේ මාසික බිල්පත රු. 78,600ක් බව සඳහන් කර ඇත.

රොෂාන් රණසිංහ නාම යෝජනා කර ඇති ඡන්දදායකයා වන්නේ සරත් නන්ද සිල්වා වන අතර ඔහු සඳහන් කරන්නේද එම පක්ෂය හෝ කණ්ඩායම වෙනුවෙන් රු. 2,722,000ක් වියදම් කළ බවයි. එම වියදම් ලැයිස්තුවද රොෂාන් රණසිංහ වියදම් කර ඇති වියදම් ලැයිස්තුවම වන අතර එහි වැඩිමනක් වශයෙන් සඳහන් වන්නේ අත්පත්‍රිකා ලක්ෂ 2ක් මුද්‍රණය සඳහා වන වියදම අවන්කා ද සිල්වා මිය විසින් සිදුකළ බවයි. එහෙත් රොෂාන් රණසිංහ ඉදිරිපත් කළ වියදම් ලැයිස්තුවේ එම වියදම කිසිවකුගේ නමින් සඳහන් වන්නේ නැත. අනෙක් වියදම් නිව් යූරෝනිපොන් ඉන්ටර්නැෂනල් සමාගම විසින් සිදුකළ බව සරත් නන්ද සිල්වාගේ වාර්තාවේද සඳහන්ය.

ඒ අනුව රොෂාන් රණසිංහගේ සම්පූර්ණ වියදම රු. 2,722,000 ක්ද නැතහොත් රු. 5,444,000 ක්ද යන්න පැහැදිලි නැත.

විජයදාස රාජපක්ෂගේ වියදම රු. මිලියන 60 යි. ආදායම ගැන සඳහනක් නෑ

ඔහු අපේක්ෂකයා ලෙස වියදම් කර ඇති මුළු මුදල රු. 60,445,320ක් වේ. ඒ තුළ ආරක්ෂක තැන්පතුව රු. 50,000ක්, නියෝ ග්‍රැපික් ආයතනයේ මුද්‍රණ කටයුතු සඳහා රු. 10,967,320ක්, පාස්ට් ප්‍රින්ටින් ආයතනයේ මුද්‍රණ කටයුතු සඳහා රු. 110,500ක්, විජය නිව්ස්පේපර්ස් ආයතනයේ දැන්වීම් සඳහා රු. 5,428,000ක්, එම්ටීවී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්හි සිරස දැන්වීම් සඳහා රු. 3,000,000ක්, සියත දැන්වීම් සඳහා රු. 3,000,000ක්, දෙරණ දැන්වීම් සඳහා රු. 2,950,000ක්, ෆේස්බුක් ප්‍රචාරණයන් සඳහා රු. 8,613,300ක්, ස්වර්ණවාහිනී සමූහය සඳහා රු. 10,000,000ක්, ශ්‍රී ලංකා පදනම් ආයතනය සඳහා රු. 395,301ක් හා රු. 90,712ක්, මාධ්‍ය කණ්ඩායම සඳහා රු. 4,000,000ක්, ප්‍රචාරණය, නිවේදන හා අනෙක් වියදම් සඳහා රු. 9,840,187ක් හා ප්‍රවාහන වියදම් සඳහා රු. 2,000,000ක් වශයෙන් සඳහන් කර ඇත. එහෙත් එම වියදම් පියවා ගැනීම සඳහා ආදායම් ලැබුණේ කෙසේද යන්න එහි සඳහන් කර නැත.

එමෙන්ම ඔහු වෙනුවෙන් ඔහුගේ පක්ෂය කිසිදු වියදමක් දරා නැති බවද එහි සඳහන් කර ඇත.

ජනක රත්නායකගේ වියදම රු. මිලියන 24 යි. වියදම් පියවීම ව්‍යාපාරික ණයකින්

ඔහුගේ ආදායම් වියදම් වාර්තාව අනුව ජනාධිපතිවරණයේ මුළු වියදම රු. 24,876,899 කි. ඔහුගේ වියදම් ලේඛනය අනුව අත් පත්‍රිකා හා පෝස්ටර් මුද්‍රණය සඳහා රු. 2,039,685 ක්, පුවත්පත් දැන්වීම් සඳහා රු. 3,276,259ක්, සමාජ මාධ්‍ය දැන්වීම් සඳහා රු. 6.897,705ක්, රූපවාහිනී දැන්වීම් සඳහා රු. 7,657,800ක්, රටපුරා දැන්වීම් සඳහා රු. 1,520,000ක් හා සමාජ මාධ්‍ය ප්‍රචාර කණ්ඩායමට ගෙවීම් සඳහා රු. 3,485,450ක් වැයකළ බව සඳහන් කර ඇත. එම වියදම් සඳහා ඔහුට කිසිදු ආදායමක් ලැබී නැති අතර ව්‍යාපාරික ණයක් මගින් එම වියදම් පියවූ බව ඔහු සඳහන් කර ඇත.

ඊට අමතරව ඔහු අනුමත වාහනය සඳහා නිත්‍ය රියැදුරකු සේවයේ යොදවා ඇති අතර ඔහුට වැටුපක් ගෙවා ඇත. එම වාහනයේ අයිතිය ටි්‍රලියම් රෙසිඩන්සීස් ලිමිටඩ්ට අයත් බව ඔහු සඳහන් කර ඇත. එමෙන්ම ජංගම දූරකථනය සඳහා මාසික බිල රු. 5000ක් බවද සඳහන් කර ඇත.

එහෙත් ඔහුව ඉදිරිපත් කළ පක්ෂයෙන් ආදායම් හා වියදම් වාර්තාවක් ඉදිරිපත් කර නැති අතර ඒ සඳහා හේතුව වශයෙන් ගත හැක්කේ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබාදීම සඳහා එම පක්ෂයේ ප්‍රධානීන් මුදල් ඉල්ලූ බවට ඔහු විසින්ම කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් එම පක්ෂ ප්‍රධානීන් අත්අඩංගුවට පත්වීමය.

එම අපේක්ෂකයන් අතරින් රු. මිලියන 324ක් වන වැඩිම මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් වියදම් කර ඇත්තේ දිලිත් ජයවීර විසිනි. එය අප පසුගිය සතියේ වාර්තා අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා නාමල් රාජපක්ෂගේ වියදම්වලට වඩා අඩුය. එහෙත් මෙම ලිපියට නිමිත්ත වී ඇති අනෙකුත් අපේක්ෂකයන් සමඟ සන්සන්දනය කිරීමේදී එම සියලු අපේක්ෂකයන් වියදම් කළා යැයි සඳහන් කර ඇති වියදම්වල එකතුවට වඩා කිහිප ගුණයක වියදමකි.

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මෙම අදායම් හා වියදම් වාර්තා ප්‍රසිද්ධියට පත්කර සතියකට වැඩි කාලයක් ගතවීත් ඒ පිළිබඳ මහජන සාකච්ඡාවක් ඇතිවී ඇති බව පෙනෙන්නට නැති අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවත් ආදායම් වියදම් වාර්තාවල ඇති කරුණු පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව පෙනෙන්නට නැත.

 

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි