ලංකාවේ කාන්තා ක්‍රිකට්වල නම් මේ කාලය ස්වර්ණමයයි. චමරි අතපත්තුගේ නායකත්වයෙන් අවසාන මාස කිහිපය තුළ එංගලන්තය, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව වගේ ප්‍රබල රටවලට එරෙහිව ජයග්‍රහණ ගෙන එන්න කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. ඔක්තෝබර් මාසයේ පවත්වන්නට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයටත් ලංකාව මේ වන විටත් සුදුසුකම් ලබලා තියෙන්නේ. කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වගේම නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම නියෝජනය කරනවා. ඒ නවක ක්‍රීඩිකාවන් අතරින් ක්‍රීඩිකාවන් හය දෙනෙක්ම ජාතික කණ්ඩායමට ආවේ රජ්ගම දේවපතිරාජ පාසලෙන්. කවීෂා දිල්හාරි, උමාෂා නිමේෂනී, සත්‍යා සංදීපනී, සචිනි නිසංසලා, කාව්‍යා කාවින්දි සහ ශිෂිනි ගිම්හානි තමයි ඒ. දේවපතිරාජෙන් අන්තිමට ජාතික කණ්ඩායමට තේරුණු ක්‍රීඩිකාව තමයි ශෂිනි ගිම්හානි. ඇයට තවමත් අවුරුදු 15ක් පමණයි. ඇය තමයි මෙතෙක් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ළාබාලම ක්‍රීඩිකාව. ඒ වගේම 19න් පහළ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙත් ක්‍රීඩිකාවන් පස් දෙනෙක්ම රජ්ගම දේවපතිරාජේ. දේවපතිරාජේ කාන්තා ක්‍රිකට් පටන්ගෙන තවම අවුරුදු 10යි. ඒ අවුරුදු 10න් අවුරුදු 8කම සමස්ත ලංකා පාසල් කාන්තා ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කළේ දේවපතිරාජේ. දේවපතිරාජේ කාන්තා ක්‍රිකට් ආරම්භක කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වෙච්ච කවීෂා දිල්හාරි දැන් ජාතික කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩිකාවක්. ඇයට තවමත් අවුරුදු 23 යි. කවීෂා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක්.
ඔබ තමයි රජ්ගම දේවපතිරාජ පාසලෙන් කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු පළමු ක්‍රීඩිකාව. ජාතික කණ්ඩායමට යන ගමන දක්වා ඔබේ කතාව මොකද්ද?
මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ 2013. මම ඉස්කෝලේ ස්පෝට් මීට් එකට සොෆ්ට් බෝල් මැච්වලට සෙල්ලම් කළා. ස්පෝට් මීට් එකේ සෙල්ලම් කරනවා බලන් ඉඳලා තමයි මට හාර්ඩ් බෝල් ක්‍රිකට් ගහන්න එන්න කියලා එතකොට හිටපු ක්‍රීඩා භාර ප්‍රධාන ගුරුතුමා විදිහට හිටපු නිශාන්ත සර් මට කතා කළේ. 2014දි තමයි අපේ ඉස්කෝලේ හාර්ඩ් බෝල් කාන්තා ක්‍රිකට් පටන් ගත්තේ. 2014 අවුරුද්දෙදිම අපි හාර්ට් බෝල් ටූනමන්ට් එකක් සෙල්ලම් කළා. මේ පැතිවල ගොඩක් ළමයි ක්‍රීඩාවට දක්ෂයි. ඒ නිසා හාර්ඩ් බෝල් ක්‍රිකට් කණ්ඩායමක් හදන්න ළමයි හොයාගන්න එක එච්චර අමාරු දෙයක් වුණේ නැහැ. එකොළොස් දෙනාම එකා වගේ සෙල්ලම් කළා. තාමත් ඉස්කෝලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු විදිහට වැඩ කරන මහේෂ් සඳරුවන් සර් මේ සඳහා ගොඩක් මහන්සි වුණා. ඔහු තමයි අපේ හැකියාවන් දියුණු කරලා උඩට ගෙනාවේ.
ජාතික කණ්ඩායමට තෝරා ගත්ත විදිහත් කතා කරමු
අපි එක දිගටම 19 න් පහළ චැම්පියන්ස්ලා වුණා. ඒ කාලයේ මම හිතන්නේ ජාතික කණ්ඩායමේ ඕෆ් ස්පිනර් කෙනෙක්ගේ අඩුවක් තිබුණා. 2016 අපි ෆයිනල් මැච් එකකට සෙල්ලම් කරන්න යද්දි අපේ සර්ට කෝල් එකක් ආවා ජාතික කණ්ඩායමට ඕෆ් ස්පිනර් කෙනෙක් බලනවා අපේ කණ්ඩායමේ ඉන්නවාද කියලා. මට හැමෝම කතා කරන්නේ බට්ටි කියලා. ඊට පස්සේ තමයි සර් මට කිව්වේ බට්ටි නැෂනල් යන්න චාන්ස් එකක් ඇවිත් තියෙනවා, අද හරියට කරගන්න සිලෙක්ටර්ස්ලා වගයක් මැච් එක බලන්න එනවා කියලා. එදා මැච් එකේ මම විකට් තුනක් දැම්මා. සිලෙක්ටර්ස්ලා දැකලා තිබුණා මම හොඳයි කියලා. ඊට පස්සේ එක දිගට අවුරුදු දෙකක් මාව සිලෙක්ෂන් මැච්වලට ගෙන්න ගත්තා. සිලෙක්ෂන් මැච්වලට යන්න මම මාර කට්ටක් කෑවා. කොළඹ යන දවස්වලට මෙහෙන් පාන්දර 3ට බස් එකට නගිනවා. ගෙදර එද්දිත් රෑ 12 විතර වෙනවා. එහෙම තමයි මම ටීම් එකට ගියේ. 2018 පකිස්තාන් සිරීස් එකට මාව සිලෙක්ට් වුණා. මම මගේ පළවෙනි සිරීස් එකේම බෝලින්වලින් හොඳටම කළා. එතකොට ජාතික කණ්ඩායමේ කෝච් විදිහට හිටියේ හේමන්ත දේවප්‍රිය සර්.
පාසලෙන්, පුහුණුකරුගෙන් මොන විදියේ සහයෝගයක්ද ලැබුණේ?
පාසලෙන් මට ලොකු සපෝර්ට් එකක් දුන්නා. මම ටීම් එකට යන කාලේ මට හරියට බෝලයක් බැට් එකක්වත් තිබුණේ නැහැ. මම මුලින්ම මතක් කරන්න ඕනෑ ඉස්කෝලේ කෝච්. තවමත් මම එයාත් එක්ක වැඩ කරනවා. එයා මට ලොකු සපෝර්ට් එකක් දුන්නා. සමහර දවස්වල මට ග්ලව්ස් දෙකක්වත් ගන්න තිබුණේ නැහැ. එයා තමයි බෝයිස් ටීම් එකේ කාගෙන්හරි ඉල්ලලා හරි මට සෙල්ලන් කරන්න ඕනෑ දේවල් දුන්නේ. මේක අරන් ගිහිල්ලා ප්‍රැක්ටිස් මැච් ගහන්න කියලා. සමහර වෙලාවට ඔහුගේ අතින් පවා මට ග්ලවුස් අරගෙන දීලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනෑ දිනූෂා මිස්, චමිලා මිස්, අචිනි මිස් ඒ හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා. විශේෂයෙන්ම මගේ අධ්‍යාපන කටයුතුවලට.
2018 ඉඳන් මේ වෙනකන් එක දිගට ඔබ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. මොකද්ද ඔබේ අමතක නොවන තරගය?
දැන්නම් මට තියෙන අමතක නොවන තරඟය තමයි මේ ළඟදි ඉවර වෙච්ච දකුණු අප්‍රිකා සංචාරායේ අවසාන තරගය. ඒ තරගය ජයග්‍රහණය කරලා අපිට පුළුවන් වුණා පළවෙනි වතාවට දකුණු අප්‍රිකාවට ගිහිල්ලා දකුණු අප්‍රිකාව පරාජය කරලා එක්දින තරගාවලිය ජයග්‍රහණය කරන්න. ඒ තරගය තමයි මගේ හදවතටම දැනුණේ. ඒ තරගයේ චමරි අක්කා ලකුණු 195ක් ගහලා මැච් එක දිනෙව්වා. ඒ වගේ ඉනිමක් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදියට ඉද්දි බලන්න පුළුවන් වෙනවා කියන එක වචනයෙන් කියන්න බැහැ. ඒ තරමටම ඒ තරගය දැනුණා. ඊට කලින් මම ඉන්දියාවත් එක්ක ගහපු අන්තිම එක්දින තරගයේ හතරක් ගහලා මැච් එක දිනෙව්වා. ඒත් ඒ තරගයටත් වැඩිය චමරි අක්කා 195ක් ගහලා දකුණු අප්‍රිකාවත් එක්ක දිනපු මැච් එක හරිම ටෆ් මැච් එකක්. ඒ මැච් එක දිනන්නම ඕනෑ වුණ මැච් එකක්. ඒ නිසා මම හිතනවා මම සෙල්ලම් කරපු මැච්වලින් මට දැනිච්චම මැච් එක ඒක.
චමරි අතපත්තු තමයි දැන් ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩිකාව. එවැනි ක්‍රීඩිකාවක් එක්ක, එවැනි ක්‍රීඩිකාවකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න ලැබීම ගැන මොන වගේ හැඟීමක් ද තියෙන්නේ.
ජ්‍යෙෂ්ඨයන් ගැන කතා කරද්දි මුලින්ම මම චමරි අක්කා ගැන කියන්න ඕනෑ. එයා කැප්ටන් කරද්දි අපි වගේ අයට ගොඩක් දේවල් කියලා දෙනවා. මොන සිටුවේෂන් එකක මැච් එකක් වුණත් එයා අපේ ඔලුව වැටෙන්න දෙන්නේ නැතිව අපිට නිතරම කතා කරලා අපිව අප් කරලා තරගයේ තියා ගන්න අවස්ථා සෑහෙන්න තියෙනවා. අනෙක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවොත් එහෙමයි. හරි එකමුතුයි. සෙල්ලම් කරන්න ලේසියි. චමරි අක්කා ගැන කතා කරනවා නම් ඇය ක්‍රිකට්වලින් එහාටත් සෑහෙන්න දේවල් කියලා දීලා තියෙනවා. එයාගෙන් ක්‍රිකට් එකට වගේම ජීවිතයටත් ගත්ත ගොඩක් දේවල් තියෙනවා.
මේ වෙද්දි අපි විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කරලා ඒ සඳහා සුදුසුකම් ලබලා තියෙන්නේ. මේ ඔක්තෝබර්වල බංගලාදේශයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට මොන වගේ සූදානමක් ද තියෙන්නේ?
ටීම් එකක් විදියට අපි හොඳ මානසික මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා. අන්තිම අවුරුදු එකහමාර, දෙක ඇතුළත අපි කාන්තා ක්‍රිකට්වල ගොඩක් හොඳ දේවල් කරලා තියෙනවා. මම හිතනවා හැමෝම හැමෝගෙම දක්ෂතා අතර ඉන්නවා කියලා. ඒ නිසා කණ්ඩායමේ අපි හැමෝම ඉන්නේ ලෝක කුසලානය ගැන බලාපොරොත්තු ඇතිව. ඒ වගේම කණ්ඩායමේ ඉන්න හැමෝටම කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.
ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට ඔබගේ ඉලක්කය මොකද්ද?
මට තියෙන පළවෙනි ඉලක්කය තමයි ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගේන එක. ඒ වගේම මට ඉලක්කයක් තියෙනවා ලෝකයේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන්න.