ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමතිවරිය සම්බන්ධයෙන් මැයි 15 වැනිදා වන විට පළවුන අලුත්ම ප්‍රවෘත්තිය වූයේ ඇය විසින් පරිහරණය කළ වාහන තුනක් යළි රජයට ලබාදුන් බවයි. ඇය පරිහරණය කළ රජයට අයත් වාහන තවත් තිබෙනවාද නැද්ද යන්න පැහැදිලි නැතත්, ඇය වාහන තුනක් රජයට බාර දුන්නා යන්නෙන් තවත් දෙයක්ද ගම්‍ය වේ. ඒ ඇය සතුව තවත් රජයේ වාහන ඇතිය යන්නයි. ඇය සතුව තවත් රජයේ වාහන ඇත්ද නැද්ද යන්න පසෙකට තබා ඇය විසින් රජයට බාරදුන් වාහන තුන ගැන අවධානය යොමු කළහොත් පෙනෙන දෙය වන්නේ ඇමති හෝ රාජ්‍ය ඇමති පට්ටම් හොබවන එක් දේශපාලකයෙකුගේ පරිහරණය සඳහා රජයෙන් වාහන එකක් නොව කිහිපයක් ලබාදෙන බවය. එසේ එක් පුද්ගලයෙකුගේ පරිහරණය සඳහා රජයෙන් වාහන කිහිපයක් ලබාදෙන ලෝකයේ එකම රට සමහරවිට ශ්‍රී ලංකා නම් ණය ගෙවා ගැනීමට පවා බැරිව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මේ පුණ්‍ය භූමිය විය හැකිය.
මේ කියන්නට යන්නේත් එවැනි වාහන අවභාවිතයක් ගැනය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අයත් උඡ ණශ 1649 දරන වාහනය මැයි 07 වැනිදා කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා යැයි කියමින් එම වාහනය රක්ෂණය කර ඇති එම්බීඑස්එල් ඉන්ෂුවරන්ස් කොම්පැණි ලිමිටඩ් වෙත වන්දි ලබා ගැනීම සඳහා යොමු කර තිබේ. එම වාහනයට සිදුවූ අලාභානි අලුත්වැඩියා කිරීම සඳහා ආසන්න පිරිවැය වශයෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ඉල්ලුම්කර ඇති අතර එම රක්ෂණ සමාගමේ පරීක්ෂකයින් එම මුදල් ගෙවීම අනුමත කර නැත. ඒ සිදුවූවා යැයි කියන අනතුරෙන් වාහනයට සිදුවී ඇති හානිය පරණ එකක් වීම නිසාය. වාහනයේ අනතුර සිදුවූ ස්ථාන මලකඩ බැඳී තිබීම එයට හේතුවය.
එහෙත් අපට ලැබී ඇති තොරතුරු අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අයත් මෙම වාහනය අවසන් වරට අනතුරට ලක්වී ඇත්තේ නුවරඑළිය ලබුකැලේ ප්‍රදේශයේදීය. ඒ මැයි 05 වැනි ඉරිදාය. ලැබී ඇති තොරතුරු අනුව මෙම වාහනය පෞද්ගලික බස් රථයක් සමග ගැටී අනතුරට ලක්වී ඇති අතර ඒ පිළිබඳ පැමිණිල්ලක් යොමු කිරීමට කටයුතු කර නැත. ඒ එම වාහනය ඒ සඳහා හිමිකමක් නැති දේශපාලනඥයෙකු භාවිත කරමින් සිටීමත්, අනතුර සිදුවන අවස්ථාවේ එම වාහනයේ නිල රියැදුරා එහි නොසිටීමත් නිසාය. එහෙත් පොලිස් නිලධාරින් එම අවස්ථාවේ සම්බන්ධ වී ඇති බවට අපට ලැබී ඇති ඡායාරූප සාක්ෂි දරයි. අපට වාර්තා වී ඇති පරිදි අවසන එහි සිදුවී ඇත්තේ පෞද්ගලික බස් රථයෙන් හානි පූර්ණය සඳහා යම් මුදලක් බලය පෙන්වා ලබා ගැනීම පමණී.
අපට ලැබී ඇති ඡායාරූප අනුව එම වාහනය නුවරඑළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් පසු සිදුකරන පරීක්ෂා කිරීමේදී ඒ අසල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සිටියි. මෙය අහම්බයක් විය නොහැකිය. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හා මෙම වාහනයට සම්බන්ධයක් තිබිය යුතුය. අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම වාහනය කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර විසින් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පරිහරණය සඳහා ලබාදී ඇති අතර එය පරිහරණය කරනු ලබන්නේ එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින්ය. නුවරඑළිය ප්‍රදේශයේ අනතුර සිදුවන අවස්ථාවේදී රක්ෂණ හිමිකම් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති එහි නිල රියැදුරු එහි සිට නැති අතර ඔහු එදින සිට ඇත්තේ නිවාඩු පිටය.
පසුව කොළඹට විත් රක්ෂණ හිමිකම් සඳහා එම රියැදුරු සමග ඉදිරිපත් කර තිබේ. දැන ගන්නට ඇති පරිදි මීට මාසයකට පමණ පෙරද එම වාහනය අනතුරකට ලක්වී තිබේ. එදිනද වාහනයේ රියැදුරු සිට නැත. රක්ෂණ වන්දි සඳහා ඉදිරිපත් කිරීමේදී අනතුරට ලක්වූ ස්ථාන මලකඩ කා ඇති බවට පරීක්ෂකයින්ට අනාවරණය වී ඇත්තේ සමහරවිට එම පරණ අනතුරු ස්ථානද නිසා විය හැකිය.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප රංගේ බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ගමන්ගත් වාහනයක අනතුරක් සිදු නොවූ බව ඔහුගේ මුල්ම පිළිතුර විය. වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පිළිගත්තේ රියැදුරු වාහනය නතර කර තිබූ අවස්ථාවකදී බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇති බවත්, ඒ පිළිබඳව රාජකාරි කටයුතු සිදුකර ඇති බවත්ය. එමෙන්ම එම අවස්ථාවේදී එම වාහනයේ ඔහු නොසිටි බවත්ය.
එසේ අනතුර පිළිගත් ඔහුගේ කතාව වෙනස් වූයේ එම වාහනය ඔහුගේ වාහනයක්ද රජයේ වාහනයක්ද යන්න විමසූ විටය. ඔහු පිළිතුර මාරු කරන්නට පටන් ගත්තේය. ඔහුට වාහනයක් පවා නැති බව කීවේය. වාහන අනතුර රියැදුරුගේ මෝටර් බයිසිකල් අනතුරක් බවට පත්විය. (ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අදාළ දළ විස්තරයක් මෙහි වෙනම දැක්වේ.) හිටපු පොලිස් නිලධාරියෙකු නිසාත් මේ වනවිට දේශපාලනයෙන් තෙම්පරාදු වී සිටින නිසාත් මුලින් දුන් පිළිතුරු නිසා ඔහු යම් අමාරුවක වැටී ඇති බව පසුව ඔහුට තේරුම් යන්නට ඇත. පිළිතුරු මාරු වූයේ ඒ නිසාය. ඔහු සමග කළ සංවාදය ඒ ආකාරයට අවසන් කරන්නට සිදු වූයේ ඡායාරූප සාක්ෂි පිළිබඳ විමසීම් කිරීමට පෙරය.
ඇත්ත සැඟවිය නොහැකි අතර එය කවදා හෝ එළියට ඒම සිදුවේ. මැයි 05 වැනිදා නුවරඑළිය අනතුර සිදුවූ ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් මෙන්ම මෙම වාහනයේ සැබෑ රියැදුරාද ඒ පිළිබඳව සිදුකරන සැබෑ පරීක්ෂණයක සාක්ෂිකරුවන්ය. මෙම සිද්ධියේ ඇත්තේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමකි. එය සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ පක්ෂයේ මහ ලේකම්වරයාය. ඔහුට ඒ සඳහා ආධාර අනුබල දී ඇත්තේ කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරය. එසේ නොවේ නම් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ වාහනයක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්ගේ පරිහරණයට ලැබිය නොහැකිය. මේ ආකාරයට තවත් රජයේ වාහන ඒවාට හිමිකම් නැති දේශපාලන පක්ෂවල තනතුරුලාභීන්ගේ පරිහරණය සඳහා යොදවා තිබෙනවා විය හැකිය. දූෂණයෙන් තොර අලුත් රටක් හැදීම සඳහා රටේ ජනතාවට ගිරිය පුප්පාගෙන පොරොන්දු දෙන්නේ මෙවැනි උදවියය.