No menu items!
23.5 C
Sri Lanka
18 January,2025

රනිල් ජනාධිපති කිරීමේ යූඑන්පී ප්‍රොජෙක්ට් එක කරන්නේ තරුණ සේවා සභාවෙන්ද?

Must read

ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳව පිහිටුවා ඇති ප්‍රධානම ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. තරුණ සේවා සභාව යටතේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ආරම්භ කිරීමේ මූලික අරමුණු වූයේ රට වටා සිටින තරුණ තරුණියන්ට එකට එකතු වීමට, නායකත්ව, වෘත්තීය, ක්‍රීඩා, කලා ඇතුළු විවිධ වූ කුසලතාවන් ඔප් නංවා ගැනීමට මෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා තරුණ තරුණියන්ගේ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් සොයා ගැනීමයි. මෙය කිසියම් හෝ දේශපාලන පක්ෂයකට හෝ බලයේ සිටින ආණ්ඩු පක්ෂයට අවශ්‍ය ලෙස තම දේශපාලන ව්‍යාපෘතීන් සඳහා යොදා ගැනීමට නොහැක. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය යනු 1979 අංක 69 දරන ජාතික තරුණ සේවා පනත තුළින් ගොඩනැංවූ ස්වාධීන තරුණ සංවිධානයකි. නමුත් පසුගිය කාලය පුරාවටම ජාතික තරුණ සේවා සභාව මෙන්ම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් දේශපාලන ව්‍යාපෘතිවලට යොදා ගන්නා ආකාරයකි.

ඊට ආසන්නතම සිදුවීම වන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රට පුරා සංවිධානය කරන එක්සත් ජාතික පක්ෂයේ ‘මගෙන් පටන්ගමු’ නමින් සිදු කරන තරුණ සමුළු මාලාවේ මහනුවර තරුණ සමුළුව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සේවා නිලධාරීන් හරහා කොට්ඨාස මට්ටමින් තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීමයි. මගෙන් පටන්ගමු තරුණ සමුළු මාලාවේ ප්‍රථම සමුළුව මාර්තු 06 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත්වූයේ එම සමුළු මාලාවේම දෙවැන්නයි.

පසුගිය අප්‍රේල් 07 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේ දී ‘මගෙන් පටන්ගමු’ මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව පැවැත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගී වී ඇත. ඇමති මනූෂ නානායක්කාර විසින් මෙම සමුළුව සංවිධානය කළ බව සමුළුවේ දී අදහස් දැක්වූ තරුණ තරුණියන්ගේ ප්‍රකාශවලින් ද තහවුරු විය. එමෙන්ම මෙම සමුළුවේ සම්පූර්ණ වැඩසටහනම පෙළගැසී තිබුණේ මනූෂ නානායක්කාරගේ අධීක්ෂණය හා මෙහෙයවීමෙන් බව පැහැදිලි විය.

මෙම සමුළුව පිළිබඳව සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු සිදු වූයේ එක්සත් ජාතික පක්ෂයේ නිල ෆෙස් බුක් පිටුවෙන් හා මනූෂ නානායක්කාරගේ ෆෙස් බුක් පිටුව හරහාය. සමුළුවෙහි සම්පූර්ණ සජීවී විකාශනය ලබා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂයේ නිල ෆෙස් බුක් පිටුවෙනි. මෙම සමුළුව සඳහා සැලකිය යුතු තරුණ තරුණියන්ගේ සහභාගිත්වයක් ද සමුළුවෙහි දර්ශන නරඹද්දී පෙනෙන්නට තිබිණි. ඕනෑම පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කිරීමේ අයිතියක් ඇති බව අපි පිළිගන්නෙමු. නමුත් රාජ්‍ය ආයතන හරහා එම නිලධාරීන් යොදවමින් දේශපාලන වුවමනාවන් ඉටුකරවා ගැනීම පිළිබඳව එකඟ විය නොහැක.

අප්‍රේල් 07 දින මහනුවර ජනාධිපති මන්දිරයේ පවත්වන ‘මගෙන් පටන්ගමු’ මහනවර දිස්ත්‍රික් තරුණ සමුළුව සඳහා තරුණ තරුණියන් සහභාගී කරවීමට මහනුවර දිස්ත්‍රික් ජාතික තරුණ සේවා සභා කාර්යාලයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් වන ඉසර්ඩ් ඒ හිලුර්ඩීන් වෙත අප්‍රේල් 03 වන දින මහනුවර දිස්ත්‍රික් ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂගේ අත්සනෙන් යුතු ලිපියක් යවා ඇත.

එහි පිටපත් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ හා සභාපති පසිඳු ගුණරත්න, පළාත් අධ්‍යක්ෂ (මධ්‍යම), යෞවන සමාජ සම්මේලනයේ ලේකම් සහ සභාපති වෙත දැනගැනීම පිණිස යවා ඇති අතර සමුළුව සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම පිණිස මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරීන් දෙපළට සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම කොට්ඨාස භාර තරුණ සේවා නිලධාරීන්ට යවා ඇත. එහි දී සියලුම කොට්ඨාසවලින් තරුණ තරුණියන් දස දෙනෙක් කණ්ඩායම් භාර නිලධාරීන් වෙත යොමු කරන ලෙස තරුණ සේවා නිලධාරීන්ට ද උපදෙස් ලබා දී ඇත.

එම ලිපියෙහි දැක්වෙන්නේ ‘යූත් සමිට් 2024’ නමින් ඩිජිටල් ලෝකයට ස්මාර්ට් තාරුණ්‍යයක් නම් තේමාව යටතේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 07 වන දින සවස 04.00 සිට 05.30 දක්වා වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි. එම ලිපියෙහි කිසිදු තැනක “මගෙන් පටන්ගමු” නම් තරුණ සමුළුවක් පිළිබඳව නම් සඳහනක් කොට නොමැත. ලිපියෙහි තරුණ සේවා නිලධාරීන් විසින් ඉටු කළ යුතු කාර්යයන් ද වෙන වෙනම දක්වා ඇත. ඒවා නම්,

  1. තරුණ තරුණියන් 500 දෙනෙකු ප.ව 02.00 ට පෙර මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු කරවා ගැනීම.
  2. මේ සඳහා කණ්ඩායම් භාර නිලධාරීන් ලෙස නම් කරන ලද තරුණ සේවා නිලධාරී මහත්වරුන් රාජකාරියේ යොදවා ගැනීම.
  3. ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ 08ක් වෙන් කර ඇති අතර සුදුසු පරිදි නියමිත වෙලාවට අදාළ ස්ථානයට යොමු කරවා ගැනීම.
  4. ගරු ජනාධිපතිතුමන් වෙත අදහස් ඉදිරිපත් කිරීමට සුදුසු තරුණ තරුණියන් හඳුනාගෙන ඒ අයගේ නාම ලේඛනය එදිනට පෙර ඉදිරිපත් කිරීම.
  5. අදාළ කොට්ඨාස භාර තරුණ සේවා නිලධාරීන් මඟින් නියමිත තරුණ තරුණියන් සහභාගී කරවා ගැනීම.

මෙම ලිපිය අනුවම ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ ඩිජිටල් ලෝකයට ස්මාර්ට් තාරුණ්‍යයක් යන තේමාවෙන් පවත්වන වැඩසටහනක් බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුම මත සිදුවන “මගෙන් පටන්ගමු” නම් තරුණ සමුළුවක් පැවැත්වීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සහභාගි කරවා ගැනීමට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සිට කටයුතු කොට ඇති බවයි, කොට්ඨාස මට්ටමේ සිට ජාතික මට්ටමේ වැඩසටහනක් වූවත් ඒ සඳහා යෞවන සමාජ තරුණ තරුණියන් සහභාගි කර ගැනීමට නම් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරය හිමි විය යුතුය.

එමෙන්ම කිසිදු ආකාරයේ දේශපාලන කටයුත්තකට යෞවන සමාජ තරුණ තරුණියන් සහභාගි කරවා ගැනීමට ජාතික තරුණ සේවා සභාවට නොහැක. නමුත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් වූ මෙම සමුළුවට මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සහභාගි කරවා ගන්නේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ණ අනුදැනුම මත බව ඉතාමත් පැහැදිලිය. අනෙක් අතට තරුණ තරුණියන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් වන තරුණ සේවා නිලධාරීන් ද එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපෘති සඳහා අවභාවිත කොට ඇත.

මේ පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා සභාපති වන පසිඳු ගුණරත්නගෙන් විමසීමට ගත් දුරකථන ඇමතුමේ දී මෙම ලිපිය පිළිබඳව ඔහුගෙන් විමසූ සැණෙන් ඔහු එම දුරකථනය විසන්ධි කළේය. පසුව ද මේ පිළිබඳව විමසීමට ඔහුට අවස්ථා කිහිපයක දීම දුරකථන ඇමතුම් ලබා ගත්තත් ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා එහි සභාපති ලෙස පසිඳු ගුණරත්න සිටිය දී ජාතික තරුණ සේවා සභාවේ සම්පත් අවභාවිත කිරීම සහ යෞවන සමාජවල තරුණ තරුණියන් එකසත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපෘති සඳහා යොදාගෙන ඇති බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අප වෙත පැවසුවේය. මාර්තු 10 කුලියාපිටියේ දී පැවැත් වූ එක්සත් ජාතික පක්ෂයේ තරුණ රැලියට ජාතික තරුණ සේවා සභාවේ සම්පත් යොදවමින් ජාතික තරුණසේවා සභාවේ නැටුම් කණ්ඩායම් හයක්, වෑන් රථ හතරක් සහ කැබ් රථයක් යොදාගෙන ඇති බවත් ඒ බව තහවුරු කිරීම සඳහා ඔවුන් සතුව සාක්ෂි ඇති බවත් ඔහු පැවසුවේය. මේ ඔහුගේ අදහස් දැක්වීමයි.

“රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජනාධිපති කරවීමේ එකසත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වන විට ජාතික තරුණ සේවා සභාවත්, යෞවන සමාජවල තරුණ තරුණියනුත් පාවිච්චි කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඔහුගේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් ඔහුට කැමති විදියට කර ගත්තාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපට තියෙන ප්‍රශ්නය තමයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘතිවලට යොදවන්නේ ජාතික තරුණ සේවා සභාවේ ඉන්න තරුණ තරුණියෝ, තරුණ සේවා සභාවේ ඉන්න නිලධාරීන්, යූඑන්පී එකේ ප්‍රොජෙක්ට් ඒක කරන්නද ජාතික තරුණ සේවා සභාව හදලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහගේ දේශපාලන රැකවරණය හදන්නද? ඒ වෙනුවෙන්ද රටේ තරුණ තරුණියෝ කඩේ යවන්නේ? මෙවර අයවැයෙන් මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට රුපියල් මිලියන 1000යි වෙන් කරලා තියෙන්නේ.

ඒ මුදලෙන් මේ රටේ එන්න එක් තරුණයෙක් තරුණියකට වෙන් වෙන්නේ රුපියල් 212ක් වැනි මුදලක්. රුපියල් 212ක් එක් තරුණයෙකුට තරුණියකට වෙන් කරලා තියෙන පසුබිමක තමයි යූඑන්පී ප්‍රොජෙක්ට්වලට ඒ රාජ්‍ය සම්පත්, මුදල් අවභාවිත කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වැඩවලට ජාතික තරුණ සේවා සභාවේ සම්පත් භාවිත කරලා තියෙන බවටත්, රාජ්‍ය නිලධාරීන් සහ මේ රටේ යෞවන සමාජවල තරුණ තරුණියන් යොදාගෙන තිබෙන බවටත් අපි ළඟ සාක්ෂි තියෙනවා. ඉදිරි දින කිහිපය ඇතුළත අපි මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට පැමිණිලි කරන්න කටයුතු කරනවා.”

ශ්‍රී ලංකා යෞවන සමාජ ව්‍යුහය ගොඩනැගී ඇත්තේ ග්‍රාමසේවා වසම් නියෝජනය කරමින් යෞවන සමාජ පිහිටුවා, එම යෞවන සමාජවල නිලධාරීන් ලෙස පත්වන තරුණ තරුණියන් යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයටත්, ප්‍රාදේශීය බලමණ්ඩලයේ දී යෞවන සමාජවල තනතුරු ලබා ගන්නා තරුණ තරුණියන්ගේ ඡන්දයෙන් හෝ එකඟතාවයෙන් යෞවන සමාජ දිස්ත්‍රික් බලමණ්ඩලයටත් සහ ප්‍රදේශීය බලමණ්ඩලයේ තනතුරු ලබා ගන්නා තරුණ තරුණියන්ගේ කැමැත්තෙන් යෞවන සමාජ ජාතික බලමණ්ඩලයටත් දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් පත් කර ගැනීමෙනි. යෞවන සමාජ සම්මේලනයේ ජාතික බලමණ්ඩලයේ සභාපති ලෙස ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිල බලයෙන්ම පත් වන අතර අනෙකුත් තනතුරු තරුණ තරුණියන්ගේ කැමැත්ත අනුව බෙදී යයි.

යෞවන සමාජයක නිල කාලය වසරකි. වසරින් වසර දිස්ත්‍රික් මණ්ඩලය දක්වා එම ක්‍රියාවලිය සිදු වෙයි. ජාතික මණ්ඩලයට නියෝජිතයින් තෝරා ගන්නේ වසර දෙකකට වරක්ය. නමුත් මේ වනවිට යෞවන සමාජ සම්මේලනයේ ජාතික බලමණ්ඩලයේ නිල කාලය අවසන් වී තිබිය දීත් වසර එකහමාරක් යනතෙක් ජාතික බල මණ්ඩලයට නව නිලධාරී මණ්ඩලයක් පවත්වා ගැනීමට නිලවරණයක් පවත්වා නොමැත. රටේ පළාත් පාලන ආයතන මැතිවරණය සහ පළාත් සභාවලට ලබා දී ඇති ආදර්ශයම යෞවන සමාජ සම්මේලනයටද ලබා දී ඇත. යෞවන සමාජ සාමාජිකයෙකු ලෙස සාමාජිකත්වය ලබා ගත හැක්කේ වයස අවුරුදු 13ට නොඅඩු සහ 29ට නොවැඩි තරුණ තරුණියන්ට පමණි. ජාතික බලමණ්ඩලය දක්වා පැමිණෙන්නේ ගමේ යෞවන සමාජයේ සිට එන තරුණ තරුණියන්ය. මේ තුළින් අහිමි වෙන්නේ ජාතික බලමණ්ඩලයට පැමිණීමට බලා සිටින තරුණයෙකුගේ හෝ තරුණියෙකුගේ අවස්ථාවක්ය.

යෞවන සමාජ සම්මේලනය පිහිටවීමේ අරමුණු අතර ඉන් ප්‍රධාන අරමුණක් වන්නේ ජාති කුල ආගම්, දේශපාලන භේදයන්ගෙන් තොරව තරුණ පිරිස් එකම සංවිධානයක් තුළ ඒකරාශී කොට ඔවුන් අතර සමගිය, මිත්‍රත්වය සහ සහයෝගය ගොඩනැගීමයි. යෞවන සමාජවල ඉන්න තරුණ තරුණියන්ගෙන් ජාතික බලමණ්ඩලය නියෝජනය කිරීම දක්වා පැමිණෙන, එහි තනතුරුවලට පත් වන තරුණ තරුණියන් නියෝජනය කරන්නේ සමස්ත යෞවන සමාජ තරුණ තරුණියන්ය. එම තරුණ නායකයින්ම දේශපාලන පක්ෂවල තනතුරු ගෙන පක්ෂ වෙනුවෙන් වැඩ කිරීම සමස්ත යෞවන සමාජ සාමාජිකත්වයේ පොදුබවට එකහෙළාම පටහැනිය. නමුත් මේ වන විට යෞවන සමාජ සම්මේලන්යේ ජාතික බලමණ්ඩලයේ ලේකම් ලෙස වැඩ කරන තරිදු නවීන් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ආසනයේ ආසන සංවිධායකයා ලෙසද වැඩ කරන පුද්ගලයෙකි. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී වූ වැඩකොටසක් ඉටුකළ බව සැබෑවකි. ඒ ගැන ගැටලුවක් නොමැත. නමුත් ජාතික තරුණ සේවා සභාව සහ එහි සිටින තරුණ තරුණියන් එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංගමය හෝ එහි සාමාජිකයින් නොවන බව මතක් කරගෙන වැඩ කළ යුතුය.

-ඇන්තනී වෙරංග පුෂ්පික-

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි