No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

ණයට ගෙන පාටි දාන ආණ්ඩුව..!

Must read

ප්‍රාලේ කොට්ඨාස 337ට එක් අවුරුදු උත්සවය බැගින්
ජනාධිපතිගෙන් ගෝල්ෆේස් අවුරුදු උත්සවයක්
වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අවුරුදු උත්සව 50ක්

රටේ ආර්ථික අර්බුදය හමුවේ ඡන්ද පැවැත්වීම සඳහා මුදල් නැහැ යැයි කියූ ආණ්ඩුව ඉදිරි ඡන්දයකදී වාසි ලබා ගැනීමේ අරමුණින් මේ දිනවල තෝරාගත් පිරිස්වලට සහන ලබාදෙමින් සිටින බව පෙනේ. එහි අලුත්ම ප්‍රකාශනය වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා වැඩි කිරීමයි. ඒ සියයට 144 සිට සියයට 209 දක්වා ප්‍රතිශතයකින්ය. ඊට පෙර සියලු රජයේ සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශයට පත්කළේය. එම දීමනාව අයවැයෙන් ලබාදුන් රුපියල් 10,000 දීමනාව සමග මෙම අප්‍රේල් වැටුපත් සමග ලබාදෙන බවද කීවේය. තවද වතු සේවකයින්ට රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් ලබාදෙන බවද කීවේය. එය එම සේවකයින්ට ලබාදෙන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ඊටත් පෙර රජයේ වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා සියයට සීයකින් වැඩි කළේය.

මීට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දුගී ජනතාවට හාල් කිලෝ 20ක් ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළේය. නාගරික කුලී නිවාසවල පදිංචිකරුවන්ට ඒවායේ සින්නක්කර අයිතිය ලබාදෙන බව ප්‍රකාශයට පත් කළේය. රජයේ ආදායම වැඩි කළ යුතු යැයි කියන මොහොතක මේ මගින් ඔවුන් ගෙවන කුලී ආදායම රජයට අහිමි වීම නම් සිදුවේ. මීට අමතරව රජයේ බලපත්‍ර ඉඩම්ලාභීන්ට ඒවායේ සින්නක්කර අයිතිය ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළේය. ඒ සම්බන්ධයෙන් අවුරුදු සමයේ රටේ සෑම දුරකතනයකටම ජනාධිපතිවරයා පණිවිඩයක් පවා එවීය.

රටේ ආර්ථික අර්බුදයක් ඇතැයි ප්‍රකාශ කරමින් සිදුකරන මේ සියල්ල ඡන්ද දේශපාලනය වෙනුවෙන් බවට සැකයක් නැත. මෙම ඡන්ද දේශපාලනය වෙනුවෙන්ම ආර්ථික වශයෙන් ජනතාව ගොඩ ගිය බවක් හඟවන මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව කියන්නේ ජනතාවගේ අතමිට දැන් සරුවී ඇති බවයි. සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ඒ සඳහා පෙන්නූ උදාහරණය වූයේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව අති විශාල වශයෙන් පැමිණෙන බවයි. උදාහරණය වූයේ මහරගම පමුණුවට ගිහින් බලන්න යන්නයි. අලුත් අවුරුද්දක් පැමිණීමේදී එහි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සඳහා අතමිට සරු නැතත් ණයක් වී හෝ උකසක් තබා හෝ ජනතාව ඒ සඳහා උත්සාහ ගැනීම අරුමයක් නොවේ.

ජනතාවගේ අතමිට සරුවීමේ ආණ්ඩුවේ මේ ප්‍රචාරණ ව්‍යාපෘතියට එක්කර ඇති තවත් දෙයක් වන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා අවුරුදු උත්සව සංවිධානය වෙමින් පවතින බවයි. ඇත්තටම අලුත් අවුරුදු උත්සව ඇති එක් ස්ථානයක් වන්නේ රූපවාහිනී නාලිකාය. තවත් ස්ථානයක් වන්නේ ත්‍රිවිධ හමුදාව හා පොලිසියයි. සමහර විට අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවලද මේවා දැකගත හැකිය. රූපවාහිනී නාලිකා හැරුණු විට අනෙකුත් අවුරුදු උත්සවවල බොහෝ විට ඇත්තේ රජයේ මුදල් හෝ ඒවායේ සුභසාධන මුදල්ය. රූපවාහිනී නාලිකා අවුරුදු උත්සවවලට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන අනුග්‍රාහකත්වය දක්වන අයුරු සුපුරුදු ලෙසම පෙනෙන්නට තිබේ. ඒ එම සමාගම්වලට ඉන් ප්‍රචාරක වාසියක්ද ලැබෙන නිසාය.

එසේ වුවද ගම් මට්ටමේ ව්‍යාපාරිකයින්ගේ දායකත්වයෙන් ගම්වල පැවති අවුරුදු උත්සව නම් මෙවරද දක්නට ලැබුණේ නැත. ඒ ගමේ ව්‍යාපාරිකයාගේ මෙන්ම ජනතාවගේ අතමිට සරු නැති නිසාය. ප්‍රචාරක ව්‍යාපෘතිය එසේ වූවාට ආණ්ඩුව මේ ඇත්ත තත්වය දනී. ඒ නිසා එම ව්‍යාජය මවා පෑමට ජනාධිපතිවරයා ‘වසත් සිරිය’ 2024 නමින් අප්‍රේල් 27 වැනිදා කොළඹ ගෝල්ෆේස් ෂැංගිලා හෝටලය ඉදිරිපිට ගෝගෝටා ගම තිබූ බිම් තීරුවේ අවුරුදු උත්සවයක් සංවිධානය කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇති පරිදි එය ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපති කාර්යාලයේ සේවක සුභසාධක සංගමය විසින් රජයේ අමාත්‍යාංශවල සංවිධායකත්වයෙන් සිදු කරන්නකි. විවෘත, රාජ්‍ය අංශය හා ආගන්තුක යන අංශවලින් සමන්විතව එම අවුරුදු උත්සවය පැවැත්වේ. එහි ආගන්තුක අංශය ඇත්තේ විදේශිකයින්, තානාපති කාර්යාල සේවකයින්, විදේශ ආයතන හා අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙනි.

එම අවුරුදු උත්සවයේදී ලබාදීමට නියමිත තෑගි දෙස බැලූවිට ඒ සඳහා විශාල මුදලක් වියදම් වෙන බව පෙනේ. විවෘත ස්ටෑන්ඩඩ් පිරිමි පාපැදි තරගයේ පළමු ස්ථානයට රුපියල් 100,000ක්ද, දෙවන ස්ථානයට රුපියල් 75,000ක්ද, තුන්වන ස්ථානයට රුපියල් 50,000ක්ද, සිව්වන ස්ථානයට රුපියල් 35,000ක්ද, පස්වන ස්ථානයට රුපියල් 20,000ක්ද, 6 වන ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, 11 වැනි ස්ථානයේ සිට 20 වැනි දක්වා රුපියල් 6000 බැගින් ලබාදෙන බව නිවේදනය කර ඇත.
විවෘත ස්ටෑන්ඩඩ් කාන්තා පාපැදි තරගයේ පළමු ස්ථානයට රුපියල් 60,000ක්ද, දෙවන ස්ථානයට රුපියල් 40,000ක්ද, තුන්වන ස්ථානයට රුපියල් 30,000ක්ද, සිව්වන ස්ථානයට රුපියල් 20,000ක්ද, පස්වන ස්ථානයට රුපියල් 15,000ක්ද, 6 වන ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද පිරිනැමේ.

එමෙන්ම පිරිමි මැරතන් ධාවන තරගේ පළමු ස්ථානයට රුපියල් 75,000ක්ද, දෙවන ස්ථානයට රුපියල් 50,000ක්ද, තුන්වන ස්ථානයට රුපියල් 30,000ක්ද, සිව්වන ස්ථානයට රුපියල් 20,000ක්ද, පස්වන ස්ථානයට රුපියල් 15,000ක්ද, 6 වන ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, 11 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා රුපියල් 5000 බැගින්ද පිරිනැමේ. කාන්තා මැරතන් ධාවන තරගයේ පළමු ස්ථානයට රුපියල් 50,000ක්ද, දෙවන ස්ථානයට රුපියල් 30,000ක්ද, තුන්වන ස්ථානයට රුපියල් 20,000ක්ද, සිව්වන ස්ථානයට රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානයට රුපියල් 10,000ක්ද, 6 වන හා 7 වන ස්ථාන සඳහා රුපියල් 7500 බැගින්ද, 8 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 5000 බැගින් පිරිනැමේ.

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශයේ සම්බන්ධීකරණයෙන් රට පුරා අවුරුදු උත්සව 50ක් පවත්වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ සඳහා ද වැයවනු ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මුදල් නොව රජයේ මුදල් බවට සැකයක් නැත.
මේ අතර තවදුරටත් අපට හමුවන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න විසින් 2024. 04.03 දින සහිතව ීප්රඑ ශදමඑය -2024 යනුවෙන් එහි සියලු අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරීන්, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් අමතමින් යවා ඇති ලිපියකි. එම ලිපියට අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 337ක අප්‍රේල් 28 දින අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට අමතරව මහරගම ජාතික තරුණ සේවා සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළද ප්‍රධාන අවුරුදු උත්සවය එම දිනයේදී පැවැත්වීමට නියමිතය. මෙම අවුරුදු උත්සව යෞවන සමාජ සමාජික සාමාජිකයින් 250කට වැඩි පිරිසක් සහභාගි කරගනිමින් හා ප්‍රදේශයේ ජනතාව සම්බන්ධ කර ගනිමින් පැවැත්විය යුතු අතර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලෙකම්වරයාගේ උපදෙස් හා මග පෙන්නීම යටතේ එම අවුරුදු උත්සව සංවිධානය කර ක්‍රියාත්මක කළ යුතුය.

මහරගම ප්‍රධාන පරිශ්‍රයේ පැවැත්වෙන අවුරුදු උත්සවය රූපවාහිනිය මගින් සජීවීව විකාශය කිරීමට නියමිත අතර අනෙකුත් අවුරුදු උත්සවද එම විකාශය තුළ විකාශය කිරීමට නියමිතය. මෙම එක් ප්‍රාදේශීය අවුරුදු උත්සවයක් සඳහා රුපියල් 100,000ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් ප්‍රාදේශීය වෙළඳ ප්‍රජාව ඇතුළු අනුග්‍රාහකයන්ගෙන් දායකත්වය ලබා ගැනීමට හැකි බවද දැනුම් දී ඇත. එමෙන්ම එම අනුග්‍රාහකයින්ගේ ප්‍රචාරක බැනර් ප්‍රදර්ශනය කළ හැකි බවද දැනුම් දී ඇත.
මහරගම ජාතික තරුණ සේවා පරිශ්‍රයේ පවත්වන ප්‍රධාන අවුරුදු උත්සවය හැරුණු විට අනෙක් අවුරුදු උත්සව සඳහා මුදල් වශයෙන් රජයෙන් ලබාදීමට නියමිත සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 337ක් බව ගණනය කළ හැකි අතර ඊට අමතරව රාජ්‍ය සම්පත්ද මේ සඳහා යෙදවෙනු ඇති බව අනුමාන කළ හැකිය.

රටේ ජනතාවගේ අතමිට සරුවී ජයට අවුරුදු කා අවුරුදු උත්සව පවා පවත්වත්වනවා යැයි කීවද ඇත්ත තත්වය වන්නේ ජනතාවට පවත්වන්නට බැරි අවුරුදු උත්සව රාජ්‍ය මුදල්, සම්පත් හා බලය යොදා පවත්වමින් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දවමින් සිය ඡන්ද ප්‍රචාරක දේශපාලනයේ යෙදෙන බවයි.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ මෙතෙක් කළ ආණ්ඩුවේ ප්‍රධාන කටයුත්තේ ඇත්තම තත්වය වන්නේ ශ්‍රී ලංකා රටක් වශයෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට මෙතෙක් පැමිණ නොතිබීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහද, රවී කරුණානායකද කියා ඇති පරිදි ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ හිගයක් යළි ඇතිවී පෝලිම් යුගයක් ඇතිවිය හැකිය. ඒ විදේශ ණය ගෙවීම ආපසු ආරම්භ කළ විටය. දැනට රුපියල ශක්තිමත් වෙමින් ඇත්තේ රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ආනයනය සඳහා ගෙවන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි වීම නිසාය. වාහන ගෙන්වීම ඇතුළු බොහෝ ආනයනයන්ට සීමා පනවා ඇති තත්වය තුළ ආනයන වියදම් අඩුවී ඇති අතර ණය නොගෙවන නිසාද රටට ලැබෙන විදේශ විනිමයේ ඉතිරියක් ඇතිවී තිබේ. මෙම තත්වය වෙනස් වන්නේ ණය ගෙවන්නට පටන්ගත් විට හා ආනයන බාධක ඉවත් කළ විටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උත්සාහය වන්නේ ඊට පෙර ආර්ථික සමෘද්ධිමත් බවේ බොරුවෙන් හා සහනාධාර බෙදීමේ අනුහසින් ඊළඟට නියමිත ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සාහ කිරීමය. අවුරුදු උත්සව සංදර්ශන යනු එහි එක් කොටසක් පමණය. ඉදිරියට තව තවත් සංදර්ශන මෙන්ම සහනාධාරද වැසි මෙන් පතිත විය හැකිය. මේ අමාරුවෙන් ජීවත් වන පවුලක් ණයට ගෙන පාටි දානවා වැනි වැඩකි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි