මතභේදාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ඇතුළු මෑත කාලයේ සිදුකළ වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්රයට සහ සාමාන්‍ය ජනතාවට මුහුණ පෑමට සිදුවූ බරපතළ තත්වය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
එස්සීඑෆ්ආර් 99/2024 යටතේ අප්‍රේල් 16 දින ගොනුකර ඇති එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ සමාගම් කිහිපයක් වෙතින් වෛද්‍ය සැපයීම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යනුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙසයි.
එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් මගින් ලබාගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙසත්, වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍යමය හෝ වෙනත් ප්රතිලාභ ලබාගෙන ඇති පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම් ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසත් හා ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වවලින් වන්දි මුදල් අයකර ගන්නා ලෙසයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස 66 දෙනෙකු නම් කර ඇති අතර ඔවුන් අතර අමාත්‍ය මණ්ඩලය, හිටපු හා වත්මන් සෞඛ්‍ය බලධාරීන් හා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වෙති.