No menu items!
22.6 C
Sri Lanka
18 January,2025

ජනාධිපති පොලිස්පති පත්කර ඇත්තේ අවශ්‍ය අනුමැතිය නැතිව බව හෙළිවේ

Must read

පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම 2024 පෙබරවාරි 26 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ඒ සම්බන්ධයෙන් ඇති විධිවිධාන අනුව අනුමත වී නැති බව ඒ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය අනුව තහවුරු වේ.
එම ලිපිය මගේ අංක CC/22/06/IGP/06 යටතේ 2024 පෙබරවාරි මස 26 වැනි දින සහිතව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යවා ඇත. කතානායකවරයාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාද අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පොලිස්පතිවරයා පත්කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිදුවී ඇති කරුණු පිළිබඳව අදහස් දක්වමින් සිටියදී හැකිනම් එම ලිපිය සභාගත කරන ලෙස ආණ්ඩු පක්ෂයෙන් කරන ලද අභියෝගය හමුවේ එම ලිපිය සභාගත කරනු ලැබීය.

එම ලිපියේ දෙවන කරුණ වශයෙන් පොලිස්පති ධුරය සඳහා නිර්දේශ කරන ලද නම සම්බන්ධයෙන් එම සභාව සලකා බැලීමේදී ලැබුණ තීන්දුව සඳහන් කර ඇත. ඒ මෙසේය. ‘2024 පෙබරවාරි මස 29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටීඑම්ඩබ්ලිව්ඩී තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා උක්ත ලිපිය මගින් ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අද දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සලකා බලන ලදී. එහි දී ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කරමින් සාමාජිකයින් සිව් දෙනෙකුද, එම නිර්දේශය අනුමත නොකරමින් සමාජිකයින් දෙදෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කරන ලද අතර අනෙකුත් සාමාජිකයින් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ලදි.’

එහි ඊළඟ ඡේදය හෙවත් 3න් වන ඡේදයේ මෙසේ සඳහන් කරයි. ‘ඒ අනුව, ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කිරීම හෝ අනුමත නොකිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) (4) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි අවම සාමාජිකයන් පස් දෙනෙකු විසින් සනාථ නොකරන ලදි.’

එහි අවසන් ඡේදය වන 4 වන ඡේදයේ කතානායකවරයා මෙසේ සඳහන් කරයි. ‘කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඉ) (5) ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දය ද පක්ෂව ලබාදෙන බව කාරුණිකව දන්වමි.’

කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපිය අනුව පැහැදිලි වන කරුණු කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ 2024 පෙබරවාරි 24 වැනිදා පැවති ආණඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම අනුමත වී නැති බවයි. ඒ බව කතානායකවරයාගේ ලිපියෙන්ම ජනාධිපතිවරයාට දැන ගන්නට ලැබී ඇති බවයි. එසේ දැන දැනම අනුමත නොවූ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා පොලිස්පති ධුරයට පත්කර ඇති බවයි.

මෙහිදී ජනාධිපතිවරයා දැන දැනම ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබේ. එමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ද යම් පත් කිරීමක නිර්දේශයක් අනුමත කිරීමේදී ඊට පක්ෂව හා විරුද්ධව ඡන්ද සම වන අවස්ථාවකදී එම සභාවේදීම භාවිත කළ යුතු තීරක ඡන්දයක් ඡන්ද සම නොවී තිබූ තත්වයකදී ඉන්පසු ජනාධිපතිවරයාට යවන ලිපියකදී භාවිත කිරීම මගින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශය සලකා බැලූ 2024 පෙබරවාරි 26 දිනට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික දසනායක විසින් සකස් කර ඇති කාර්ය සටහන් විශ්වාසභංග යෝජනා විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේනතුවට ඉදිරිපත් කර ඇති අතර එදින එහි සාමාජිකයන් වන කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්, කබීර් හෂීම් (ඔහු සම්බන්ධ වී ඇත්තේ වීඩියෝ කොන්ෆරන්ස් තාක්ෂණය මගින්ය), ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න එහි සාමාජිකයන් වශයෙන් සහභාගි වී තිබේ.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික දසනායකද, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න ද සහභාගි වී තිබේ. කරන ලද ආරාධනාවක් අනුව නීතිපති සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා බාලපටබැඳි සහභාගි වී තිබේ. ඔවුන් එහි කැඳවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් විමසීම සඳහාය. එහිදී අනාවරණය වී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ නම එම සභාව අනුමත කිරීම අභියෝගයට ලක්කරමින් නඩු 7ක් හා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නම අනුමත නොකිරීම සම්බන්ධයෙන් නඩුවක් ඇති බවයි.

එම කාර්ය සටහන් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බලා ඇත්තේ එහි 07 වන කරුණ ලෙස වෙනත් කරුණු යටතේය. එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ආචාර්ය ප්‍රතාප් රාමනුජන් විමසා ඇත්තේ පොලිස්පති ධුරය සඳහා නම්කර ඇති පුද්ගලයා පත්කිරීම ඒ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්ව ඇති බැවින් එම පත්කිරීම අධිකරණයට අපහාසයක් වේදැයි යන්නය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා හා සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ එම පත්කිරීම සලකා බැලීම සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බැවින් සලකා බලන පත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවන බවයි.

ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක්කළ පෙත්සම් හත පසු දිනයේදී අධිකරණය හමුවේ සලකා බලා ඉදිරියට යෑමට අවසර ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බැවින්, ඔහුට ඇති චෝදනාවල බරපතළකම සහ එය රටේ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් නිසා එම පත්වීම සලකා බැලීම පසුදින අධිකරණ තීන්දුව ලැබෙන තෙක් ප්‍රමාද කළ යුතු බවයි.
එහෙත් ඒ සඳහා නීතිමය බාධාවක් නොමැති බව නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර ඇති අතර සාගර කාරියවසම්ද ප්‍රකාශ කර ඇත්තේ රටේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සඳහා පොලිස්පතිවරයා පත් කිරීමේ වැදගත්කමයි.

ජනාධිපතිවරයාගේ එම නාම යෝජනාව සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇති අතර කබීර් හෂීම් මහතාද එම නිර්දේශය අනුමත නොකරන බව දන්වා ඇත. එම නිර්දේශය තමා අනුමත කරන බව නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර ඇති අතර නම් කරන ලද පුද්ගලයාගේ රාජකාරි ඉටු කිරීමේ කිසිදු ගැටලුවක් තමා නිරීක්ෂණය නොකරන බව සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත. එමෙන්ම අධිකරණයේ ගොනුකර තිබෙන හා විභාග වෙමින් තිබෙන පෙත්සම් හේතුවෙන් ව්‍යස්ථා සභාව සිය තීන්දුව ප්‍රමාද කිරීමට තීරණය කළහොත් එය ඉදිරියේදී එවැනි පත්වීම් සඳහා නරක පූර්වාදර්ශයක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත. ඒ නිසා එම නිර්දේශය අනුමත කරන බව ඔහු පවසා ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධනද නිර්දේශය අනුමත කරන බව පවසා ඇත.

වෛද්‍ය අනුලා විජේසුන්දර සභාවේ තීන්දුවක් සලකා බැලීම පසුදා අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් ප්‍රමාද කිරීමට ඇති හැකියාව පිළිබඳ විමසා ඇති අතර එයට සාගර කාරියවසම් පිළිතුරු දෙමින් පවසා ඇත්තේ එක් නඩුවක් සලකා බැලීමට අවසර ලබා දුන්නද එය අවසන් වීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් පෙත්සමක් මත විශ්වාසය තැබීම නුවණට හුරු නොවන බවයි. එමෙන්ම වෛද්‍ය අනුලා විජේසුන්දරගේ අදහස වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කරන අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීම සඳහා කෘතවේදී සේවාවක් සිදු කරන බවයි. ඒ නිසා ඇය එම නිර්දේශය අනුමත කරන බව පවසා ඇත.

එහෙත් ආචාර්ය ප්‍රතාප් රාමවුජන් මහතාගේ අදහස වී ඇත්තේ සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශය පිළිබඳ තීරණය එම නඩුව අවසන් වනතුරු ප්‍රමාද කළ යුතු බවත් ජනාධිපතිවරයාගේ නිර්දේශය මත කිසිදු තීරණයක් ගැනීමෙන් ඔහු වැළකී සිටින බවත්ය. එමෙන්ම ආචාර්ය දිනේෂා සමරරත්නද කියා ඇත්තේ අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් සිය සභාවේ තීරණය ප්‍රමාද කළ යුතු බවයි. එමෙන්ම අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවක ඊට අදාළ කරුණක් සලකා බැලීමේ නීත්‍යනුකූලතාවය පිළිබඳ නීතිපති නිර්දේශ ලැබෙන තෙක් ඇය තීරණයක් ගැනීමෙන් වැළකී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් හේතු ලිඛිතව ඉදිරිපත් කරන බවත්ය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි