කවිය යනු කුමක්දැයි වටහා ගැනීම සත්‍යය යැයි කුමක්දැයි වටහා ගැනීම තරම්ම සංකීර්ණ වූවකි. කවිය නම් මෙය යැයි කොතෙකුත් නිර්වචන ඉදිරිපත් වුවද කවියට නියතයක් නොමැත. මිනිස් සිතෙහි හටගන්නා හැඟීම් කාව්‍යානුභූතියකට පෙරළීම කවියේ උල්පතයි. කවියේ චමත්කාරය සෞන්දර්යය ගැබ්ව ඇත්තේ පෙර නොවූ විරූ අපූර්වත්වයකට කැඳවාගෙන යාම තුළය. ආදරය, විරහව, ඇති නැති පරතරය, සමාජ පීඩනය වැනි නිරන්තරයෙන් අත්දකින පොදු අත්දැකීම් බොහෝ කවිවලට වස්තු විෂය වී ඇති බව වටහාගත හැක්කකි. එහෙත් ඉතාමත් සියුම් තැන්වලින් පවා හිතන්නටවත් අපහසු නවමු මානයකට ගෙන යමින් පුද්ගල ජීවිතයේ සංකීර්ණ ඉසව් ස්පර්ශ කරන කිවිඳියෝද කවියෝද සිටිති. මේ මෑත කාලීන කාව්‍යකරණයේ නියැලෙමින් සිටින කවියන් හා කිවිඳියන් සමග පුද්ගල ජීවිතයේ සංකීර්ණබව, ගැඹුර හා කවියේ සෞන්දර්යාත්මක කියවීම පිළිබඳව සිදුකළ කතාබහයි.
මංජුල වෙඩිවර්ධන
කවිය කියන්නෙම සංකීර්ණ මෙන්ම ගැඹුරු කලාත්මක භාවිතයක්. ඒ නිසාම, එහි සෞන්දර්ය විදිහට පෙනෙන්න තියෙන්නෙත්, ඒ හරහා විඳින්න ලැබෙන්නෙත් මේ කියන සංකීර්ණභාවය සහ ගැඹුරමයි. ප්‍රබන්ධ සාහිත්‍යයේ එන අන් සියලුම සාහිත්යික ප්‍රවර්ගයන්ට වඩා නිර්මාණකරුවාගේ ආත්මිකත්වය, නොඑසේ නම් ආත්මීයභාවය අනාවරණය කරන්නට හැකි අනන්‍යතාවක්, කවියට තියෙනවා. කවිය හා කවියා පිළිබඳ සැබෑ ප්‍රශ්නය පැන නැගෙන්නෙත් මෙතනින්. මොකද්ද ප්‍රශ්නය? කවියා ස්වකීය නිර්මාණය හෙවත් කවිය මත ප්‍රක්ෂේපණය කරන ආත්මීයත්වයේ පරිමාණය කොපමණද? මෙන්න මේ හරහා තමයි කවියාගේ ද්‍යෂ්ටිවාදී ආස්ථානය, ඒ වගේම විශ්ලේෂණයට ඉඩ තබන ඔහුගේ මනෝභාවය විදාරණය වෙන්නෙ. කිසියම් කවියෙක් අවර ගණයේ කවියෙක්ද, නැත්නම් කවර ගණයේ කවියෙක්ද කියන සාහිත්‍ය සන්දර්භය වෙත එළඹෙන්න පුළුවන් මේ හරහාම විතරයි.
දැන් අපට පැහැදිලියි නේද, හුදු භාෂාව විසින් කවියක සෞන්දර්යය උත්පාද කෙරෙන්නේ නෑ. සාටෝපකාරී, ව්‍යාජ බසක් සාවිය විදිහට අරගෙන කෙරෙන වචන හරඹයක්, එහෙමත් නැත්නම් කවියෙන් හුදු භාෂා කෙළි සෙල්ලම් දාන කෙනෙක් කවිය අත්දකින්නෙ කඹයෙ දිගට උලා කන ගවයෙක්ගෙ සීමාවෙ.
ඊගල්ටන් මේ කියන ‘අදහස්’ ජනිත වෙන්නෙත් භාෂා ඥානය තුළ නෙමෙයි, ජීවිතය තුළ. ඇතුළට කිඳාබහින අභ්‍යන්තර ජීවිතය සහ පිටතට විහිදී යන සමාජ ජීවිතය විසින් තමයි කවියකුගෙ අධ්‍යාත්මය කාව්‍යමත්වය තුළ බෞතීස්ම කරනු ලබන්නෙ. මේ කියන මාර්ග දෙක ඔස්සෙ පෝෂණය වුණු කවියක් බිහිකර ගන්න නම් කවියා හෝ කිවිඳිය ස්ථිර වශයෙන්ම බරපතළ මෙන්ම සංකීර්ණ පුද්ගල ජීවිතයක් සහ සමාජ ජීවිතයක හිමිකාරයෙක් විය යුතුයි.
කවි ලියන්න හිත හදා ගන්නවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි ; සමාජය මෙන්ම තමාවමත්, බරපතළ විදිහට සහ සංකීර්ණ විදිහට බාර ගැනීමක්.
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
‘ඔබ යන්න යනවිට දොර වසාගෙනම යන්න’ කියනකොට අපි දන්නෙවත් නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පොඩි වචන ටිකක් කියන්නේ. හැබැයි ඒකෙන් ගොඩනංවන දේ පේනවට වඩා විශාල ලෝකයක්. මේ කවිය ගොඩැනැංවෙන්නේ චින්තනය මත. ඒක වෙන්නේ මට මාව කොයි තරම් ගැඹුරට දැනෙනවාද කියන එක මත. අපි තුන්වෙනි ලෝකයේ දූපතක ඉන්න මිනිස්සු ටිකක්නේ. අපේ කවියට අපේ පරිකල්පනය කොයි තරම් දුරට ෂාප් ද කියන එක වැදගත්. අපි කියවන පොත් ප්‍රමාණය, අපිව දාලා යන සහ අපි දාලා යන පෙම්වතුන් හා පෙම්වතියන් ප්‍රමාණය, අපේ ආර්ථිකය, සමාජය අපි විඳපු ප්‍රමාණය, අපි විඳවපු ප්‍රමාණය, අපි ඇවිදපු ප්‍රමාණය, අපි ඇසුරු කරපු මිනිස්සු ප්‍රමාණය, අපි කොච්චර හුදකලාව සිටියාද කියන එක, මේ ආකාරයේ හැම දෙයක්ම බලපානවා මනුස්සයෙකුගේ සියුම් තැන්වලට යන්න.
සමහර වෙලාවට ඒ මොහොත ගියොත් ගියා. ඒ ලිවීම ලියන්න ඔළුව ඇතුළේ වද දිදී තිබෙන දේ එතැනින් එළියට ගත්තේ නැති වුණොත් නැවත අපිට ඒ ලිවීම, ඒ හැඟීම එන්නේ නැහැ. ලක්ශාන්ත අතුකෝරාල කවියා එහෙම කෙනෙක්, ගුණදාස අමරසේකර එහෙම කෙනෙක්, රුවන් බන්දුජීව එහෙම කෙනෙක්. සියුම් හැඟීම් අල්ලන්න පුළුවන් අය ඉන්නවා. ඒකට ලොකු පරිචයක් ඇතුළේ ඔහුගේ ලිවීමේ සහ තමන් තුළම ඇති ආත්ම භාෂණය බලපානවා. උදාහරණයක් විදියට අපිට ශෝකයක්නම් දැනෙන්නේ ඒ ශෝකය කෑලිවලට කඩන්න ඕනෑ. එතකොට ඒක ඇතුළේ ඊර්ෂ්‍යාව තියෙනවා, පරණ තුවාලවල කෑලි තියෙනවා. ශෝකය කියලා තනි එකක් නැහැනේ. ඕක තමයි අපි කෑලිවලට කඩාගන්න ඕනෑ. කවුරුහරි ඇහුවොත් ඒක පුහුණු වෙන්නේ කොහොමද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි තමන් තමන්ගේ ඇතුළ කියවාගන්න පුළුවන් වීම තමයි එහි පළමු පියවර සහ ප්‍රධානම පියවර විදියට මම හිතන්නේ.
එරික් ඉලයප්ආරච්චි
කවියට බාහිර යථාර්ථයක් වගේම අභ්‍යන්තර යථාර්ථයකුත් තියෙන්න ඕනෑ. බාහිර යථාර්ථය තමයි භාෂාව මාර්ගයෙන් කිසියම් කාව්‍යාකෘතියක් ඇතිව ගොනුකර තිබෙන වදන්කෝෂය. අභ්‍යන්තර යථාර්ථය තමයි ඊටම ආවේණිකවූ කාව්‍යමය ආත්මීයත්වය. බාහිරත්වය ග්‍රැමෆෝනයක් කැරකෙන විට ඇසිය යුතු දෙයක් නම් අභ්‍යන්තරය සිතින් ස්පර්ශ කළ යුතු දෙයක්. ඒක අද සිදුවන ගීත රසාස්වාදන කරළියක දී මෙන් තව කෙනෙක් වැඩේට බැහැලා ඇදගෙන යන දෙයක් නොවෙයි, හුදකලාවම කියවන දෙයක්. හැංගිලා කියවන දෙයක්. ගීතය ටේබල් ටෙනිස් සෙල්ලමක් නම් කවිය විශාල බිමක ඇවිදිමින් සිදු කරන ගොල්ෆ් සෙල්ලමක්. ගීතය නොමිලේ කෙසෙල් කොළයක ලැබෙන වචන දානයක් නම් කවිය බරපතළ කොන්දේසි යටතේ ලබා ගත යුතු ණයක්.
වියුක්තයන් සහ අදහස්, බුද්ධිමය වශයෙන් පමණක් නොවේ භාවමය වශයෙනුත් කවියට ඇවිත් එහෙම අනතුරක් ඇති කරන්න පුළුවන්. අද අපි ජීවත්වන්නේ විනෝදය පිණිස මනෝභාවයක් දෝරේ යවා ජනයා කිතිකවා, හඬවා, තෑගිබෝග දී සංතෘප්ත කරන සමාජයක නිසා භාව වියුක්තයන්, භාව අදහස්, භාව චේතනා කවියට දාන්න හරි පහසුයි. ඒ ඔස්සේ කවියකු තම ‘කර්තෘ භාව’ පළ කළ පළියට ‘පාඨක භාව’ බවට පත් වන්නේ නැහැ. වියුක්තයන් සහ අදහස් දෙක කවිය හා කලාව බවට පත් කිරීම පසුපසින් තියෙන්නේ කලාව තනිකරම දෘෂ්ටිවාදයක් ලෙස පිළිගැනීමයි. චීන සංස්කෘතික විප්ලවය දියත් වුණේ කලාව දෘෂ්ටිවාදයකි යන ඒ වැරදි මතය උඩයි. අද චීනය පවා ඒ තත්ත්වයෙන් නිදහස් වී තිබෙන බව පසුගිය 22 දා ලයනල් වෙන්ඩ්හි පැවැත්වුණු බෙල් කැන්ටෝ සංගීත සන්ධ්‍යා ප්‍රාතිහාර්යෙන් හොඳටම ඔප්පු වුණා. බීතෝවන්ගේ සංගීතය ඇසීම පවා මාරාන්තික සිවිල් වරදක් වුණු සංස්කෘතික විප්ලව යුගයෙන් ගැලවී ඉතාලි ප්‍රමුඛ බටහිර සංගීත භාෂාවලින් මෝසාට්, විවාල්ඩි ගයන පුදුමාකාර මිනිස් කෝකිලයන් අපි දුටුවා.
පසුගිය සති කිහිපයක සිට ජානා චාමිනී නම් තරුණයෙක් මුහුණුපොත හරහා සමකාලීන කවියටත් අදාළ වැදගත් සංකල්පයක් සමාජගත කරමින් සිටිනවා. ඒ තමයි ඔහු කියනවා චිත්‍ර කලාව රස විඳින්නට පවා ‘මූලික සාහිත්‍යය’ හෙවත් ඔහුගේ වචනයෙන් ‘බේසික් ලිට්රෙචර්’ වුවමනා බව. මේක අද තරුණ කලාකරුවෝ සහ කලාකාරියෝ තමන්ගේ ටීෂර්ට්වල ගහගෙන යන්නට වටින කියුමක්. අනිත් කලාවලට පවා බේසික් ලිට්රෙචර් හදන්නේ කවිය.
සංජීවනී රූපසිංහ
මිනිස් මනසට මේ ලෝකයේ නැති බොහෝ දේ මැවිය හැකියි. එයට වියුක්තකරණය යැයි අපි ලොකු වචනයක් භාවිත කරනවා. දෙවියන්ද ගණිතයද වියුක්ත සංකල්ප වෙනවා. බොහෝ සංකල්පද වියුක්ත වෙනවා. ආදරය ද ප්‍රේමය ද එසේම අපි හිතින් තනා ගත් වියුක්ත සංකල්පයන්. ඒවා තවත් වරක් අපි කලාවෙන් වියුක්ත කරනවා. ඒ අතර කවිය යනු අපි අත්විඳි දෙය නොව අත්විඳීම හේතු කොටගෙන ලියැවෙන දෙයක්. සිත කියා අපි සිතා සිටින කිසිම මළ මඟුලක් ද නැහැ. ප්‍රේමය කියා දෙයක් ද නැහැ. නැති සිතකින් නැති ප්‍රේමයක් අපි මවාගන්නවා. මවන්නේ කවුද? මවන්නෙකු ද නැහැ. එහෙත් අපි මවා ගන්නවා. මවාගෙන සතුටු වෙනවා. අඬනවා, වැළපෙනවා. මේ ආදි දහසක් මනෝභාවයන් සමඟ හැපෙනවා. ඒවාට කවි ද ලියනවා.
එහෙත් එහෙම පිස්සු නැති ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? අනුර කේ එදිරිසූරිය කවියාගේ ‘කේ කවි’ කෘතියේ එන පහත කවිය මේ පිස්සුව හොඳින්ම පෙන්වන පිස්සු කවියක්.
නිල් පාට ජිල් බෝල
සදිසි ඇස්
කදෝපැණි එළි වගේ
හති අතේ පෙනෙනවා
ඇස් පියා ගන්න බෑ
රංජනීඑක වරයි
වැළඳගත්තේ වුණත්
ඔය පපුවේ ඌෂ්ණය
ලේ වගේ රත් වෙලා
ඇඟ පුරා දුවනවා
රංජනීමහමෙරක් තරම් බර ආදරේ
පපු හුස්ම
ආයෙමත් හිර කළා
රංජනීලෝකයම එක පැහැර
වැළඳගෙන
ආදරය කරන්නට
හිතෙනවා
මේක මහ පිස්සුවක්
රංජනී
ආදරය අමු පිස්සුවක්. ආදරය ගැන කවි ලිවීම පිස්සු ඩබල් වීමක්. මේ පිස්සුවේ ඇති සුන්දරත්වය ඉහත කවිය ආදරයෙන් අපිට කියා දෙනවා. නැති දේවල් ඇති හැටියට ගෙන වේදනා විඳින සතුටු වෙන මේ මිනිස් ජීවිතය නම් පුදුම සහගතයි. ආදරය යයි කුමක්දැයි අසන තාක් අපි හිතන්නේ අපි ආදරය ගැන හොඳ හැටි දන්නා බවයි. ආදරය ඇති පදම් කර ඇති බවයි. එහෙත් ආදරය යැයි කුමක්දැයි ඇසූ විට අපි නිරුත්තර වෙනවා. ඒ මේ ලෝකයේ තියෙන දෙයක් ද? ඒත් ආදරය කරනවා. ආදරයෙන් මුසපත් වෙනවා. එක පාරක් ඇඟේ වැදී ඇඟේ ලේ රත් වී යනවා. මේ මොන විකාරයක් ද? එහෙත් එය සිදු වෙනවා. ඒ ගැන කවි ලීම තරම් තව පිස්සුවක් ලොව ඇද්ද?
එහෙත් ජීවිතය ඇත්තේ එහි. ඇති දේ හෝ නැති දේ රස විඳිනවා. ලෝබයෙන් අල්ලා ගන්නවා. එක මොහොතක් අපි ජීවිතය විඳිනවා. මේ සියල්ල මනෝරාජිකයි. මේ පිස්සුව මත ගැලී අපි මියයනවා.