- අධිකරණ නියෝග ඕනෑ නෑ – අපි කඩන්නේ අපිට ඕනෑ වෙලාවට
- වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
- ඒත් දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමේ ඉදිකිරීමත් කැඩුවේ ඇයි?
- කඩන්න ඕනෑ සෝල් බීච් විතරද?
දෙහිවල මුහුදු මාවතේ පිහිටි සෝල් බීච් හෝටලය කඩා ඉවත් කරන්නේ 2024 අලුත් අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා රටම කතා වන ප්‍රධාන පුවත කරමිනි. උදෑසන 8.45 පමණ වන විට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා ඉවත් කිරීමට කටයුතු කළ එම හෝටලය කුඩු බාසික් නැමැත්තෙකුගේ බවත් එය යුක්තිය මෙහෙයුමේම කොටසක් බවත් රූපවාහිනී නාලිකා සියල්ලම පාහේම වාර්තා කළේය. නමුත් ‘අනිද්දා’ කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ එය යුක්තිය මෙහෙයුමට සම්බන්ධ නොමැති බවත් ශ්‍රී ලංකා පොලීසිය එම ස්ථානයට පැමිණියේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව ආරක්ෂාව සැපයීමට බවත්ය.
සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත පැවසුවේ සෝල් බීච් හෝටලය කඩා බිඳ දැමුවේ නීත්‍යනුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව බවයි. නමුත් සෝල් බීච් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වන මීපේ අත්තටගේ චන්දන සම්පත් අප වෙත ප්‍රකාශ කළේ සෝල් බීච් හෝටලය නීත්‍යනුකූල ලෙස අවසර ලබා ගනිමින් පවත්වාගෙන ගිය හෝටලයක් බවයි. මේ නිසා මෙහි සත්‍ය අසත්‍ය කුමක්දැයි රටේ ජනතාව දැනගත යුතුය. අපට මින් කිසිම පාර්ශ්වයකට පහරක් ගැසීමට හෝ ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවේ. එහෙත්, සෝල් බීච් හෝටලය කඩා ඉවත් කර දැමුවේ නීතියට අනුවද නැද්ද යන්න රටේ ජනතාව දැනගත යුතුය.
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගෙන ඇත. විදුලිබල මණ්ඩලයෙන් ත්‍රී පේස් විදුලිබලය ලබාගෙන ඇත. ශ්‍රී ලංකා මගින් ස්ථාවර දුරකථන සේවා සැපයුමක් ලබාගෙන ඇත. ජාතික ජල සැපයුම් හා ජලපවාහන මණ්ඩලයෙන් ජල සැපයුම ලබාගෙන ඇත. ව්‍යාපාර පරිශ්‍රයට අදාළ වරිපනම් බදු දෙහිවල ගල්කිස්ස මහනගර සභාව වෙත ගෙවා ඇත. සෝල් බීච් හෝටලය ආරම්භ කිරීමේ දී මුදල් ආයෝජනය කර ඇත්තේ එහි ගිවිසුමේ පරිදි මීපේ අත්තටගේ සම්පත් චන්දන රුපියල් මිලියන 90 ක්ද මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් රීෆා රුපියල් මිලියන 180ක් ද නලින් චමින්ද වික්‍රමරත්න රුපියල් මිලියන 25ක් ද මොහොමදු ෆාරීක් මොහොමදු ඉෂාක් රුපියල් මිලියන 05ක් ද වශයෙනි.
සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීමට පෙර 2023 දෙසැම්බර් මාසයේ 23 හෝ ඊට ආසන්න දිනක හෝටලයේ කළමණාකාර අධ්යක්ෂ සම්පත් චන්දන හෝටලයේ සිටින් අවස්ථාවක දෙහිවල සහ ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරුන් එහි පැමිණ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝටලය ඉදිකිරීම සඳහා ලබා දුන් අවසර පත්‍රයේ මුල් පිටපත පරීක්ෂා කිරීමට ඉල්ලූ බවත් පසුව පොලීසිය එම අවසර පත්‍රය රැගෙන යාමට උත්සාහ කළ බවත් ඔවුගේ සහ හෝටල් සේවකයන්ගේ විරෝධය මත මුල් පිටපත භාරගත බවට පිටසනක් යොදා එහි ඡායා පිටපතක් ලබා දුන් බවත් ඔහු අප වෙත පැවසුවේය. තවද දෙසැම්බර් මාසයේ හෝටල් පරිශ්‍රයේ පවත්වන රාත්‍රී උත්සව අවස්ථාවල දී වරින් වර පොලිස් බාධා පැමිණි බව ඔහු අප සමග පැවසුවේය.
හෝටලයේ කළමනාකරණ අධ්යක්ෂ සම්පත් චන්දන තවදුරටත් පැවසුවේ, හෝටලය කඩා ඉවත් කිරීමට පෙර හෝ කඩා ඉවත් කිරීම සිදු වූ ජනවාරි පළමුවෙනිදා හෝ සෝල් බීච් හෝටලය නීති විරෝධී බවට කිසිදු නෛතික ලියවිල්ලක් හෝ දැනුම් දීමක් සිදු නොවූ බවයි. හෝටලය කඩා ඉවත් කිරීම සඳහා පොලීසියේ විශාල පිරිසක් පැමිණි බවත් ඒ අතර සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ද පොලීසිය සමග පැමිණ හෝටලය කඩා ඉවත් කිරීම්වලට සම්බන්ධ වූ බවත් ඔහු කියයි. බැකෝ යන්ත්‍ර හතරක් යොදා ගනිමින් හෝටලය කඩා ඉවත් කිරීමට කටයුතු කළ බවද එම බැකෝ යන්ත්‍රවල අයිතිකාරත්වය පෙන්වන දුරකථන අංක සහ ලිපිනයන් නොපෙනෙන ලෙස යමක් අලවා තිබූ බවද පැවසුවේය.
මේ එදින හෝටලයේ සේවයේ නිරත වූ ආරක්ෂක නිලධාරියෙකුගේ අත්දැකීමයි.
හෝටලය කඩා ඉවත් කරන දිනයේ ද එම හෝටලයේ විවාහ උත්සව දෙකක් පැවත්වීමට නියමිතව තිබූ බව චන්දන සම්පත් පැවසුවේය. කඩා ඉවත් කරන මොහොතේ හෝ කිසිදු අධිකරණ නියෝගයක් හෝ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොකොට හිතාමතාම හෝටලයේ නාම පුවරුව සහ පිවිසුම විනාශ කළ බව තවදුරටත් අප සමග පැවසුවේය. මේ අවස්ථාවේ හෝටලය කඩා ඉවත් කිරීම සිදු කළේ වෙරළ සංරක්ෂණ අධිකාරිය නිසා හෝටල් පාර්ශ්වයෙන් පෙන්වා දෙන්නේ හෝටලයේ නාම පුවරුව, පිවිසුම හා තාප්පය ඉදිකර තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති කොටසක බැවින් ඒ සඳහා කිසිදු නෛතික බලයක් නොමැතිව තමන්ට අයිති නැති භූමියක පවා අනීතිකව හැසිරී ඇති බවයි.
හෝටලය කඩා ඉවත් කිරීම ආරම්භ කළ පසු එම ස්ථානයට පැමිණෙන සෝල් බීච් හෝටලයේ සම්පත් චන්දන මුහුණ දුන් අත්දැකීමයි මේ.
“හෝටලය කඩනවා කියලා දැනගත්ත ගමන්ම මම එතැනට ගිහින් ඒකට විරුද්ධ වුණා. කඩන්න තියෙන නීතිමය අවසරය මොකද්ද? කොහොමද එහෙම කඩන්නේ? කියලා මම නීතිමය පැත්ත ඇහුවා. ඒ වෙලාවේ රාජකාරියට බාධා කිරීම කියලා මාව රැගෙන ගියා. මාව පොලීසියේ තියාගෙන හිටියා එදා දවසම. මම ඉන්න තැනට ඕඅයිසීගේ කාමරය පේනවා. මම ඒ කිට්ටුව හිටගෙන හිටියේ කූඩුවට දැම්මේ නැහැ. හෝටලය කඩන්න බැකෝ යන්ත්‍ර පදවපු හතර දෙනාම ආවා. එතකොට ඕඅයිසී නෙමෙයි වෙනත් උසස් නිලධාරියෙක් වාඩිවෙලා හිටියේ. බැකෝ යන්ත්‍ර පැද්ද හතර දෙනාම විනාඩි 45ක් විතර පොලීසියේ හිටියා. ඊට පස්සේ ඕඅයිසීගේ කාමරේ හිටපු ඕඅයිසීටත් වඩා උසස් නිලධාරියා ඒ හතර දෙනාටම යමක් සල්ලි දුන්නා. ඒක මම හොඳටම දැක්කා.”
හෝටල් පාර්ශ්වයෙන් කියන විදියට ඔවුන්ගේ තක්සේරුව අනුව හෝටලයේ ගබඩා කර තිබූ කෝටි දෙකක පමණ ආහාරපාන ද සේවා සැපයීමට තිබූ උපකරණ ද කෝටි දෙකක දේශීය හා විදේශීය මත්පැන් ද විනාශ වී ඇති අතර ගොඩනැගිලි කඩා ඉවත්කිරීම නිසා සිදු වූ අලාභය රුපියල් කෝටි 20ක් පමණ වෙයි. හෝටලය කඩා ඉවත් කිරීම පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී එහි නිලධාරියෙකු පැවසූවේ මෙවන් අදහසකි.
ගල්කිස්ස සිට ගෝල්ෆේස් දක්වා වෙරළ රක්ෂිතයේ දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා හෝටල් විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර සෝල් බීච් හෝටලයේ සිට දෙපසට කිලෝ මීටර 5 බැගින් වෙරළ තීරයේ හෝටල් 15කට අධික සංඛ්‍යාවක් විහිදී ඇත. නමුත් ඉන් කිසිදු ගොඩනැගිල්ලක් තවමත් වෙරළ සංරක්ෂණ අධිකාරිය මඟින් ඉවත් කිරීමට කටයුතු කොට නැත.