No menu items!
22.6 C
Sri Lanka
18 January,2025

මම මගේ චරිතය ප්‍රශ්න කරනවා – උමා අසේනි

Must read

022 රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන උත්සවය 2023 දෙසැම්බර් 19 දින ජාතික තරුණසේවා සභාවේ පැවැත් වූ අතර එහි දී දිගු නාට්‍ය අංශයේ හොඳම නිළියට හිමි සම්මානය හිමි වූයේ උමා අසේනිටයි. ඒ කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘සුපර්ණකා’ නාට්‍යයේ සුපර්ණකාගේ චරිතය වෙනුවෙනි. දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය සඳහාම, අනුරාධ සුබසිංහගේ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ නාට්‍යයේ ෆ්ලෝරාගේ චරිතය වෙනුවෙන්ද ඇය නිර්දේශ වීම සුවිශේෂ අවස්ථාවක් විය.

එකම නාට්‍ය උලෙළක එකම තරග අංශයකින් අවසාන වටයේ නාට්‍ය දෙකකම ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීම සහ චරිත දෙක වෙනුවෙන්ම නිර්දේශ වෙලා එම සම්මානය හිමිවීම සුවිශේෂී අවස්ථාවක්…

සම්මානය ගත්තාට වඩා මම පුදුමයට පත්වුණේ හොඳම නිළිය සඳහා මම රංගනයෙන් දායක වුණ ඉන්ද්‍රජාලික පෙම්වතිය නාට්‍යයේ ෆ්ලෝරාගේ චරිතයට මෙන්ම සුපර්ණකා නාට්‍යයේ සුපර්ණකා යන චරිත දෙකම නිර්දේශ වී තිබීම. සතුටට අමතරව ඒ හැඟීම මොනවගේ එකක්ද කියලා මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මම ස්තූතිවන්ත වෙනවා නාට්‍ය දෙකේම අධ්‍යක්ෂවරුන් දෙපළට මාව විශ්වාස කිරීම සම්බන්ධයෙන්. අපි ඉන්ද්‍රජාලික පෙම්වතිය පටන් ගන්නේ 2019, හැබැයි අපිට ලොකුවට දර්ශනවාර යන්න වුණේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් රට වැටෙනවා, කොරෝනා නිසා රට වැටෙනවා. ඒ නිසා මේ රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවන වටයට අපි ඉන්ද්‍රජාලික පෙම්වතිය පෙන්වන්නේ අවුරුදු තුනකට පස්සේ. ඒ අඩුම රිහසල් ගණනකින්. ඒ නිසා ඉන්ද්‍රජාලික පෙම්වතිය රාජ්‍ය නාට්‍ය උලෙළක අවසාන වටය දක්වා ඒමම ලොකු සතුටක්. මගේ පළවෙනි වේදිකා නාට්‍යය වීම නිසාම මේ නාට්‍යයට අනෙක් හැම නාට්‍යයකටම වඩා සුවිශේෂී බැඳීමක් තියෙනවා. හොඳම නිළිය විදියට ෆ්ලෝරාගේ චරිතය නිර්දේශ වෙන එක ගැන මට තියෙන්නේ සතුටකට එහා ගිය ගෞරවය මුසුවෙච්ච හැඟීමක්.

සුපර්ණකා නාට්‍යය අපි හදමින්, ගමන් කළ නාට්‍යයක්. සාමාන්‍යයෙන් අද පෙන්නපු නාට්‍ය දර්ශනයේ දෙය නෙමෙයි හෙට පෙන්වන නාට්‍යය දර්ශනයක පෙන්නුවේ. මම වේදිකාවේ වැඩ කරද්දි සම්මාන ඔළුවේ තියාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ අපේ ෆෝකස් එක අවුට් යන එක. රාජ්‍ය නාට්‍ය ෆයිනල් එක දවසෙත් ඒක පෙන්නනකොට සම්මානයක් ගැනීම කියන එක කොහෙත්ම තිබුණේ නැහැ. මම ටීම් එකත් එක්ක වැඩේ කළා. එච්චරයි.

සුපර්ණකා

අන්ත දෙකක සිටින ස්ත්‍රී චරිත නිරූපණයන් දෙකක් තුළ ස්ත්‍රීත්වය පිළිබඳව ගෙනඑන ඒ කතිකාවත ගැන කතා කළොත්.

මේ චරිත දෙකෙන් ස්ත්‍රිය පිළිබඳව මානයන් දෙකක් පෙන්වන්නේ. සුපර්ණකාගෙන් අයිතීත් සහ නිදහස හොයාගෙන රාමුවෙන් පිටතට යන ගැහැනියක් නිරූපණය කරනවා. හැබැයි ඉන්ද්‍රජාලික පෙම්වතිය තුළ කරන්නේ තමන් හොයන ඒ දෙය රාමුව කඩා ගැනීමකින් තොරව ප්‍රත්‍යක්ෂ්‍යාවබෝධයෙන් වැඩ කරන ගැහැනියක්. මේ චරිත දෙක සම්පූර්ණයෙන්ම වෙනස් මානයන් දෙකක්. ඒ තුළ සුපර්ණකාගේ චරිතය ෆිසිකලි ඉතාමත් අභියෝගාත්මකයි. හැබැයි ඉන්ද්‍රජාලික පෙම්වතිය රංගනයේ මානසික කාර්යය තුළදී අභියෝගාත්මකයි.

සුපර්ණකාගේ චරිතය ඇතුළේ ෆයිට් තියෙනවා, නියුඩිටි තියෙනවා, සෙක්ස් තියෙනවා. ඒ සියල්ලම පැහැදිලිවම එළියට එනවා. නමුත් ඔය කියන කිසිවක් ෆ්ලෝරාගේ චරිතයේ නැහැ. අපිට මුල ඉඳලාම දකින්න පුළුවන් වෙන්නේ සුන්දර ගැහැනු රූපයක්. හැබැයි ඒ තුළ ඇය ගමන් කරන මානසික මාර්ගය වෙන ඩිවෙලොප්මන්ට් එකක්. ඇය හිතන්නේ ආදරය කියන්නේ අයිති කරගැනීමක් කියලා. ඒ අයිති කරගැනීමේ දී ජීවිතයේ විවිධ වූ ඝට්ටනයන්ට මුහුණදීලා, අවසානයේ ඇය අවබෝධයක් ලබනවා ආදරය කියන්නේ අයිතිකර ගැනීමම නෙමෙයි කියලා. තනි හදවතකටත් ආදරය කරන්න පුළුවන් කියන දේ ඇය අවබෝධ කර ගන්නවා. ඒ අවබෝධය තමයි මම පෙන්වන්න ඕනෑ දඟලන්නේ කරන්නේ නැතුව. ඒක තනිකර මානසික ගලායාමක්.

මේ චරිත දෙකෙන්ම ස්ත්‍රිය පිළිබඳව විනිශ්චයක් දෙන්නේ නැහැ. මම විශ්වාස කරන විදියට මේ චරිත දෙකෙන්ම ස්ත්‍රියක් විදියට හොයාගෙන යාම් දෙකක් කතා කරන්නේ. අපිට ඔය කියන ස්ත්‍රී දෙවර්ගයම මේ සමාජය ඇතුළේ දකින්න ලැබෙනවා. රාමුව බිඳගෙන තමන්ව හොයාගෙන යන ගැහැනිය වගේම රාමුව තුළ සිටිමින් තමන්ව හොයාගෙන යන ගැහැනියත් අපිට මේ සමාජයේ දකින්න ලැබෙනවා. මම විශ්වාස කරනවා මේ ගැහැනු දෙවර්ගයම සිටිය යුතුයි කියලා. සමස්ත ගැහැනු වර්ගයාම පිරිමියාගේ රැකවරණ ප්‍රාර්ථනා කරන ගැහැනු වුණොත් හෝ පිරිමින් එපා කියන ගැහැනු වර්ගයාම වුණොත් මේ සමාජයේ කිසිම විවිධත්වයක් නැති වෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට මේ ගැහැනිය තමයි හරි, මේ ගැහැනිය තමයි වැරදියි කියන්න අයිතියක් නැහැ.

මාණික්කාවත

ඔබ වේදිකාවේ චරිතවලට තියන බර වගේම මාණික්කාවත ටෙලිනාට්‍යයේ ඔබ රඟපෑ පිච්චිගේ චරිතයත් සමග චරිතයකට තියෙන බර ගැන අපිට පුළුවන් කතාකරන්න.

පිච්චිගේ චරිතය කියන්නේ හරිම බර චරිතයක්. අවුරුදු 18 ඉඳන් අවුරුදු 80ට කිට්ටු වෙනකන්ම නිරූපණය කරන්න තිබුණ චරිතයක්. ඒ බර එන්නේ වයසෙන් විතරක් නෙමෙයි. ඒ අවුරුදු ගණනාව පුරාවටම පිච්චිගේ මනෝභාවය වෙනස්කම් එක්ක තමයි බර මතු වෙන්නේ. ධවල භීෂණ වේදිකා නාට්‍යයේ ලුසීගේ චරිතය, ඉන්ද්‍රජාලික පෙම්වතිය නාට්‍යයේ ෆ්ලෝරාගේ චරිතයත් ඒ හා සමාන බරක් තියෙනවා. චරිතයේ බර ඇඟට එන්නේම වේදිකාවෙන් ලැබෙන ප්‍රැක්ටිස් එකෙන්. චරිතයේ බර රැක ගැනීමට අනිවාර්යයෙන්ම වේදිකාව පන්නරයක්. චරිතයක් තුළට හරියටම කිඳා බැස්සාට පස්සේ ඒ චරිතය තුළ ජීවත්වීම තමයි ඒ බර මතුවන කාරණාව.

ඉදිරියේ දී තිරගත වීමට නියමිතව තිබෙන ශ්‍යම් ප්‍රනාන්දුගේ ‘සන් කරමි’ සිනමාපටයේත් ඔබ රංගනයෙන් දායක වෙනවා. මෙය ඔබ රංගනයෙන් දායකවන පළමු සිනමා නිර්මාණය.

සන් කරමි ශ්‍යාම් අය්යාගේත් පළවෙනි සිනමා නිර්මාණය. තාත්තා සම්ප්‍රදායට එරෙහිව සටන් කරනකොට ආම්මා දරුවා වෙනුවෙන් සම්ප්‍රදායේ ඇතුළේ ඉඳිමින් සටන් කරන කතාවක්. ශ්‍යාම් අයියා වගේ අධ්‍යක්ෂවරයෙක් සමග වැඩ කරන්න ලැබීම හරිම වාසනාවන්තයි. මම දැකපු අධ්‍යක්ෂවරුන්ගෙන් නළුවන් හා නිළියන් හොඳටම තේරුම් අරන් වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරයා තමයි ශ්‍යාම් ප්‍රනාන්දු. ඔහුත් නළුවෙක් වීම ඒකට හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. මම හැම වෙලේම හිතනවා ස්ක්‍රිප්ට් එක ඩිවලොප් කරන්න නළුවාට හෝ නිළියට අයිතියක් තියෙනවා. කැරැක්ටර් එක ඩිවලොප් වෙන්නේ නළුවා ඊට එකතු කරන දේවල්වලින්. ඒ දේ එකතු කරන්න අධ්‍යක්ෂවරයාගෙන් ඉඩක් නොලැබුණොත් අපිට ඒක කරන්න බැහැ.

මම ගොඩක් වෙලාවට මගේ චරිතය ප්‍රශ්න කරනවා. මට දොරක් අරින්න තියෙනවා නම් මම අහනවා ඇයි මේ දොර මම අරින්නේ කියලා. සමහර අධ්‍යක්ෂවරු ඒකට කැමති නැහැ. එහෙම අහන නළුනිළියන්ව කරදරයක් විදියට තමයි අධ්‍යක්ෂවරු දකින්නේ. හැබැයි මම විශ්වාස කරනවා මම ඒ සියලුම දේවල් දැනගෙන ඉන්න ඕනෑ කියලා. මම සූදානම් වෙන්නේ ඒ හේතුවටයි. මට මතකයි මේ චිත්‍රපටයේ පොලීසියත් එක්ක තියෙන අන්තිම සීන් එකක ඒ සීන් එක ගන්න මම ශ්‍යාම් අයියා එක්ක විනාඩි 45කට වඩා ආගිව් කළා. අවසානයේ අපි දෙන්නාම එක තීරණයකට ඇවිත් ඒක කළා. ඒ විදියේ පුදුමාකාර තේරුම් ගැනීමක් ඇතුළේ තමයි අපි මේ වැඩේ කළේ.

ඉන්ද්‍රජාලික පෙම්වතිය

ගොඩක් අයට විවිධ පුද්ගලයන් රෝල් මොඩ්ල් වෙනවා. ඔබටත් ඔබේ රංගන ජීවිතයේ එහෙම රෝල් මොඩ්ල් එකක් ඉන්නවාද?

මගේ සදාකාලික රෝල් මොඩ්ල් එක තමයි ස්වර්ණා මල්ලවාරච්චි. ඊට පස්සේ කෞශල්‍යා ප්‍රනාන්දු. නමුත් ස්වර්ණා තමයි මගේ අල්ටිමේට්. ඒක වෙනස් වෙන්නේ නැහැ. මම මේ වෙනකන් ස්වර්ණා මල්ලවාරච්චිගේ කිසිම ෆිල්ම් එකක් මිස් කරලා නැහැ. රඟපාන්න එන්න කලින් ඉඳලාම, රඟපෑමේ උණ හැදෙන්න කලින් ඉඳලාම ස්වර්ණා තමයි මගේ ෆේවරිට්. රංගනය පිළිබඳව ආසාව ඇතිවන තැන තමයි එතැන. මම වසර ගණනාවක් රංගනයේ යෙදිලා නැති වුණත් කවදාවත් තරුවක් වීමේ ආශාවක් තිබුණේම නැහැ. අදටත් නැහැ. ස්වර්ණා සිනමාවේ ඉන්න අයිකන් එකක්. හැබැයි ස්ටාර් කෙනෙක් නෙමෙයි. ඇය අනෙක් නිළියන්ට සාපේක්ෂව බොහොම අඩු චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑ හැබැයි රඟපාපු හැම චිත්‍රපටයකම සන්ධිස්ථානයක් සනිටුහන් කළ නිළියක්. අදටත් මට ඒ බලපෑම තියෙනවා.

-ඇන්තනී වෙරංග පුෂ්පික-

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි