සමහරු ඔහුව හඳුන්වන්නේ කවි ගැන්ස්ටර් කියල. තවත් සමහරු ඔහුව හැඳිනුවේ තරහගිය මහල්ලෙක් විදිහට. ඔහුගේ නම බෙන්ජමින් zepanayah. එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ජීවත්වූ කවියෙක්, ගායකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්. මේ ඕනෑම හැඳින්වීමක් ඔහුට ගැළපෙනවා.
‘ඔව්, මං තරහෙන් තමයි ඉන්නේ. මට ලෝකය පේන විදිහත් එක්ක මං තරහයි. බොහෝ අසුන්දර මිනිස් සම්බන්ධතා එක්ක, අප්පිරියාසහගත සිදුවීම් එක්ක එක්ක මිනිස්සු නෑසූ කන්ව, ගොළු බිහිරන් සේ ඉන්නවා. ඒ ගැන මට තරහක් තමයි තියෙන්නේ.’ බෙන්ජමින් කියන්නේ එහෙමයි.
ඔහු උපදින්නේ 1958 එක්සත් රාජධානියේ බර්මින්හැම් නගරයේ සාමාන්‍ය පවුලක. මේ කාලයේ බර්මින්හැම් නගරය අමුතුම තැනක්. සීතල, පුංචි, ආණ්ඩුවේ ගෙවල්වල ගුලිවෙලා ඉන්න මිනිස්සු, කළු මිනිස්සුන්ට එරෙහිව සිදුවන දෛනික පොලිස් ප්‍රහාර, භීෂණයෙන් ඇවිළුණු නගරයේ පාරවල්. මේවා තමයි ඔහුගේ පුංචි කාලේ බර්මින්හැම් මතක.
ඔහු උපදින්නේ ළමුන් නම දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විදිහට. පුංචි කාලේ ඔහුගේ මතක අතර උඩින්ම තියෙන දෙයක් තමයි තාත්තා සහ අම්මා අතර ඇතිවෙන දිනපතා අඬදබර. පසුව ඔහුගේ අම්මායි තාත්තායි වෙන්වෙනවා. බෙන්ජමින් අම්මාත් එක්ක තනියෙම ජිවත් වෙනවා.
‘මං ඒ දවස්වල හිතපු දෙයක් තමයි තාත්තගෙ මූණ ටාගට් එකකට තියලා වෙඩි තියන්න පුරුදු උනානම් ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් කියලා. තාත්ත කියන්නේ මට අඳුරු මතකයක්. මට මතකයි අවුරුදු 14දී මං පිස්තෝලයක් කොට්ටෙ යට තියාගෙන නිදාගන්නවා. එතකොට මං ඉස්කෝලේ අතහැරලයි තිබ්බේ. මං තුන් පාරක් අනූනමයෙන් වෙඩි නොවැදී බේරිලා තියනවා. බර්මින්හැම් මගේ සගයන් තුන්දෙනෙක් මගේ ඉස්සරහම වෙඩි වැදිලා මිය යනවා මං අත්දැකලා තියනවා. අපි ජීවත් උනේ මරණය පෙනි පෙනී. මං තීරණය කරනවා බර්මින්හැම් අතහැරලා ලංඩන් යන්න. ඒ කාලේ පවා මට තිබුණ හීනයක් තමයි කලාකාරයෙක් වෙන්න. බර්මින්හැම් හිටියනම් මං ගැන්ග්ස්ටර් කෙනෙක් වෙනවා. ඒක මට හුරු දෙයක් නෙමෙයි.
ඒත් අම්මා මගේ තීරණයට විරුද්ධ වෙනවා. උඹ ලංඩන් ගියොත් ලංඩන් හිරගෙදරක තමයි නතර වෙන්නෙ. එයා කිවුවේ එහෙම.’
ලංඩන් ගිහිං බෙන්ජමින් තවත් ගැන්ග් එකකට සෙට් වෙනවා. වාසනාවට ඒක කවි ගැන්ග් එකක්. ඔහු හෙමි හෙමින් ඔහුගේ කවි ආසාව පස්සේ යනවා. මෙහි ප්‍රතිඑලයක් විදිහට ඔහු තම ප්‍රථම කවි එකතුව Pen Rhythm ප්‍රකාශයට පත්කරනවා. ඒත් බෙන්ජමින් කවියෙක් විදිහට තම මුද්‍රාව තබන්නේ ඔහුගේ දෙවන කවි පොතෙන්. The Dread Affair; Collected Poems කවි පොත ඔහු ප්‍රකාශයට පත් කරන්නේ 1985දී විතර. මේ කාලයේ වෙනකොට බි්‍රතාන්‍ය සමාජ දේශපාලන තත්වය උණුසුම් වෙලා, රටේ ආර්ථිකය කඩා වැටීමේ ආසන්නයට ඇවිල්ලා, විරැකියාව, සමාජ අසහනය වැඩිවෙලා තියන යුගයක්. මේ අතර මාග්‍රට් තැචර් අගමැති වෙලා තැචර්වාදය නම් තීරණාත්මක ආර්ථික වෙනස්කම් රැසක් දියත්කරමින් යන කාලයක්. බෙන්ජමින් තැචර්වාදයට එරෙහිව දේශපාලන වේදිකාවල කවි කියනවා. ඔහු දේශපාලනික කවියෙක් වෙනවා.
‘ඔයා දැන් නැගී එන කලාකරුවෙක්. ඔයාගේ ඔය දේශපාලනය අතහරින්න.. එක ඔයාගේ කලා ජීවිතේ ඉස්සරහට යන්න බාධාවක් වෙයි.’ බෙන්ජමින්ගේ ප්‍රකාශකයා ඒ කාලයේ ඔහුට එහෙම කියනවා, ඒත් ඔහු ඒ අමාරු මාවතම තෝරාගන්නවා.
බි්‍රතාන්‍යයේ කවි සමාජය කියන්නේ අධිපතිවාදී එකක්. එය හඳුන්වන්නෙත් රාජකීය කවි සමාජය කියලා. කවියෝ කියන්නේ රාජකීය පවුලේ ආශීර්වාදය ලබන අධිපතිවාදී සමාජ තීරුවක්. එහෙත් මේ වරප්‍රසාදය ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඔහු අලුත් කවි ජෝන්රා එකක් හඳුන්වා දෙනවා. ඒක හඳුන්වන්නෙ dub poetry කියලා. ඒ කියන්නේ බෙන්ජමින් කවිය ප්‍රාසංගික මාධ්‍යක් කරනවා. ඔහු කවියට ගීතමය ස්වරුපයක් දී එය ගායනා කරනවා. ඔහු තමාගේ ප්‍රාසංගික කවි රැගෙන දේශපාලන වේදිකා උඩට, මහපාරට බහිනවා. කොටින්න්ම ඔහු රාජකීය සමාජය අතර තිබුණු කවිය මහපාරේ මිනිසුන් අතරට ගේනවා.
බෙන්ජමින් කුඩා කාලයේ පටන්ම dyslexia තත්වයෙන් පෙළෙන්නෙක්. ඒ කියන්නේ ඔහු කියවීමේ සහ ලිවීමේ අපහසුකම්වලින් පෙළෙන්නෙක්. මේ තත්වයන් ඔහු ක්‍රමානුකුලව අතික්‍රමණය කරමින් රාජකීයන්ගේ නොව ජනතාවගේ කලාකාරයෙක් බවට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු තමාගේ සමාජ වපසරිය තව තවත් පුළුල් කරගන්නවා. මිථ්‍යාවට එරෙහිව ඔහු සමාජ අරගලයක් කරනවා, සායි බබාට එරෙහිව සමාජ අරගලයක් කරනවා. නෙල්සන් මැන්ඩෙලා සමග සම්බන්ධ වී කළු ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් අරගලයට උරදෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු නිර්මාංශ භක්ෂකයෙක් සහ සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටින්නෙක්.
එවකට බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සමයේ ඔහුට නයිට් නාමයක් යෝජනා කරලා බකිංම්හැම් මාලිගාවෙන් ලිපියක් එනවා. ඔහු එක පයින්ම එය ප්‍රතික්ෂේප කරලා රැජිනට පිළිතුරක් ලියනවා.
‘මගේ ඇඟේ තියෙන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධ ලේ. බි්‍රතාන්‍ය කිරීටය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින්, කඳුළින් සහ දහදියෙන්.’ නයිට් නාමය ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු කියන්නේ එහෙමයි.
බෙන්ජමින්ගේ කවි සහ ඔහුගේ ජීවිතය දෙකක් නෙමෙයි එකක්. ඔහුගේ ජීවිතය, ඔහු ලෝකය දිහා බලන හැටි කවිවලින් එළියට එනවා. පොලිස් සහ රාජ්‍ය බලහත්කාරකම් මෙන්ම සාමාන්‍ය ජනයා ඒ දෙස නෑසූ කන්ව සිටීම ඔහු කවියට හරවනවා. ඔහු කියන්නේ අපි වැරදි රේඩියෝ චැනල් එකකට සුසර කරගෙන ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, සංක්‍රමිකයන් ගැන, අවිහිංසාව ගැන ඔහු කවියෙන් කළ අරගල බොහොමයි. රතු පොපි මලක් පැළඳගෙන යුද්ධයෙන් මියගිය බි්‍රතාන්‍ය ජාතිකයන් සමරනවා වෙනුවට සුදු මලක් පැළඳ යුද්ධ නිසා මියගිය ලෝකයේ සියලු මිනිසුන් සමරන ලෙස වරක් ඔහු කවි ඉල්ලීමක් කළා.
බෙන්ජමින්ගේ ජනප්‍රියම කවිය වන්නේ නත්තලට දහස් ගණනින් මරණ turkey ගැන කියන කවිය. නත්තල් සැමරුමේ තිබෙන විෂම බව ඔහු එමගින් ඉස්මතු කරනවා.
බෙන්ජමින්ගේ දිගුකාලීන මිතුරෙකු මෙන්ම ඔහුගේ අරගල ජිවිතේ සටන් සගයෙකු වූ බි්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝබින් ඔහුගේ මරණය ගැන මෙහෙම සටහනක් තබනවා. ‘ඔහු නොතකා හරින ලද මිනිසුන්ගේ මිතුරෙක්, ඔවුන්ට බලාපොරොත්තුවක් ගෙන ආ මිනිහෙක්. බෙන්ජමින්. ඔහු මිනිහෙක් නෙමෙයි, යුගයක්.’