No menu items!
26.8 C
Sri Lanka
20 September,2024

සිරි රණසිංහ පිළිබඳ මගේ කියවීම

Must read

පත්තරකාරයකුට හොඳ ඇහැක් කනක් හා නිවාසයක් තිබිය යුතුයැයි ලෝක ප්‍රකට පුවත් පත් කලාවේදියකු මෙන්ම මහා සාහිත්‍යධරයකු වූ ප්‍රංශ ජාතික ඇල්බෙයා කැමූ කියා තිබේ. එහි යටි පෙළ අරුත වන්නේ මාධ්‍යවේදියා සමකාලීන සමාජයේ ජන හද සංවේදිතාව පිළිබඳ අපූර්ව වූ අවබෝධයක් හා ඒ පිළිබඳ අනාගත හැසිරීම, ඒ කෙරේ බලපාන සාධකයන් පිළිබඳ නිරන්තරයෙන් වැටහීමකින් කටයුතු කළ යුතුය යන්නය.

භාවිත පුවත්පත් ව්‍යාපාරය, කලාව, කර්මාන්තය, මාධ්‍යවේදීන්, විචාරකයන්ගේ ක්‍රියාකාරීන්ගේ වචනයෙන් කිවහොත් ‘යකාට කවන ජාතියේ රස්සාවක්ය.’ එයින් අදහස් කරන්නේ දිනපතා පුවත්පතක නම් දවස නිමාවී රෑ බෝ වෙත්ම පුවත්පත මුද්‍රණය වන විට ඒ සඳහා වූ උණුසුම් පුවත්, ලිපි, විශේෂාංග, කාටුන් චිත්‍ර, ඡායාරූප කඩිනමින් වහ වහා ලියමින්, මුද්‍රණය කරමින් වෙළඳපොළට යවන අතරතුර, මැදියම් රෑ සමග උදාවන දවස සමග යළිත් එවැනිම අමුද්‍රව්‍ය සමූහයක් සොයා බලා විවරණය කොට තෝරා බේරාගෙන පාඨකයාට ලබාදීම සඳහා ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බවය.

මැදියම් රැය උදාවත්ම යකාට ආහාර දී නිමා වුවද මැදියම නිමාවීම සමග ‘යකා යළිත් කට අයාගෙන සිටී’. භාවිත පුවත්පත් කලාවේ ආත්ම තෘප්තිය, වෘත්තීය ආස්වාදය රැඳී ඇත්තේද මෙම තරගකාරී, කාලය හා තරග කරමින් තොරතුරු, දැනුම, විවේක විනෝදාස්වාදය සඳහා වූ අමුද්‍රව්‍ය සොයා යමින් කටයුතු කිරීම තුළය.

ඇල්බෙයා කැමූ කිව්වේ මෙම තරගකාරිත්වයට උචිත සමාජ වගකීමකින් හා වෘත්තීයභාවයකින් යුතුව සමාජය, මිනිසා, සිදුවීම් දෙස තියුණු සවිඥානක බවකින් මාධ්‍යකරුවා සිටිය යුතු බවය. මෙම පූර්විකාව මා ගොඩනගන්නේ සමකාලීන ලාංකික පුවත්පත් සමාජයේ වසර 17කට වැඩි කාලයක් අඛණ්ඩව ජනප්‍රියතම දිනපතා ‘ලංකාදීප’ පුවත්පත ගොඩනැගීමේ ලා පිටුපසින් සිට සිය මාධ්‍ය සගයන්, වෘත්තිකයන්, මෙහෙයුම්කරුවන් මෙහෙයවූ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියකු වූ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහයන්ගේ දශක හයකට අධික සේවාව ඇගයීම කේන්ද්‍රකොට ගෙනය.

පුවත්පතක් පමණක් නොව වර්තමානය වන විට තරගකාරී විද්‍යුත් මාධ්‍ය අතරට එක්වී ඇති සමාජ මාධ්‍යයන් තුළ වඩාත් විවාදාත්මක මාතෘකා බවට පත්වී ඇති ‘වගකීම් විරහිත’ බව පුළුල්ව සාකච්ඡා වෙමින් පවතී. පුවත්පත් මාධ්‍ය තුළ පවා ආචාරධාර්මික ප්‍රශ්න, සමාජ වගකීම, වාණිජකරණය තුළ පාඨකයාහට සාධාරණ ලෙස වගකීම ඉටු කිරීම දැන් දැන් වඩ වඩාත් කතිකාවට ලක්වෙයි.ඒ නිසාම මර්දනය, පාලනය, සිය අවිය කරගත් පාලකයන්ට හා බලධාරීන්ටද අවස්ථා උදාකර තිබේ.

මෙම සංකීර්ණ තත්වයන් හමුවේ පුවත්පතක ‘ජනප්‍රියත්වය’ අඛණ්ඩව සමාජ වගකීම් ඉටුකරමින් පවත්වාගෙන යාම තරමක් දුෂ්කර කාර්යයකි. ලාංකික සන්නිවේදන මාධ්‍ය හා දේශපාලනය අතර ඇති බැඳීම ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී සුවිශේෂභාවයක්ද පවතී. ලංකාදීප උත්පත්තිය ලබන්නේ එවකට පැවති ලේක්හවුස් ‘දිනමිණ’ ඒකාධිකාරයට එරෙහිවය. ඉංග්‍රීසි ‘ඩේලිනිව්ස්’ පුවත්පතේ සිංහල පරිවර්තනයක් ලෙස පළවූ දිනමිණට විකල්ප ලෙස ඩී බී ධනපාල, වී ඩී ද ලැනරෝල් යන අයගේ පුරෝගාමීත්වයෙන් 1944දී සිංහලෙන් හිතා සිංහලෙන් ලියන පත්තරයක් ලෙස ගොඩනැගුණු ලංකාදීප ඉතා කෙටි කලකින් ජනප්‍රිය පුවත්පතක් බවට පත්විය.

70 දශකයේ දිනමිණ රජයට ගැනීමත්, 1980 ටයිම්ස් කන්තෝරුව රජයට ගැනීමත් සමග ලංකාදීප අභාවයට පත්වන්නේ ටයිම්ස් කන්තෝරුව වසා දැමීම නිසාය. ලංකාදීප දෙවන උත්පත්තිය ලබන්නේ දිනමිණ-ලේක්හවුස් ආරම්භ කළ ඩී ආර් විජේවර්ධනගේ පුත් රංජිත් විජේවර්ධන විජය පුවත්පත් සමාගම ඇරඹීම හේතුකොට ගෙනය.

සිරි රණසිංහයන් සිය විද්‍යොදය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව ලේක්හවුස් සිළුමිණ කර්තෘ මණ්ඩලයට එක්වන්නේ 1965දීය. ආරම්භක රුපියල් 250 මාසික වැටුපට සේවයට බැඳෙන සිරි රණසිංහයන් ප්‍රවෘත්ති සංස්කරණයෙන් ඔබ්බට, මුද්‍රණ හා කළමනාකරණ අංශය පිළිබඳ සිය අත්දැකීම් එක්කරගන්නේ සති අන්ත සිළුමිණ වෙනුවට දිනමිණට එක්වෙමිනි.

ලාංකික පුවත්පත් ව්‍යාපාරයේ මහගෙදර දිනමිණ ප්‍රධාන පුවත්පත මුහුණ දෙන සමාජ, දේශපාලන වාද විවාද, 70 දශකය මුල ඒවාට මුහුණ දෙමින් පෞද්ගලික ව්‍යවසායක වෙනුවට රාජ්‍ය ව්‍යවසාය යටතේ පුවත්පත ගොඩනැගෙන අයුරු හා ඊට අනුරූපව මාධ්‍ය භාවිත කරන අයුරු සිය අත්දැකීම් තුළට එක් කර ගත්තේය. බලා සිටියේය.

ලේක්හවුස් යුගටය නිමා කරමින් සිරි රණසිංහ ලංකාදීප දෙවන උපතට මැදිහත් වන්නේ 80 දශකයේ මුල භාගයේදීය. අතීත ලේක්හවුස් සගයන් සමග මුලින්ම ‘ලංකාදීප’ දිනපතා පුවත්පතට පෙරාතුව ඇරඹෙන්නේ ‘ලංකාදීප සති මැද පුවත්පත’ ලෙසය. එක් අතෙකින් එක්සත් ජාතික පක්‍ෂයට ඇති ඥාති සබඳතා විජය පුවත්පතේ හිමිකාරිත්වය හා ඊට විකල්ප මත දරන ප්‍රගතිශීලී හා වාමවාදී පුවත්පත් හා සමාජ ව්‍යාපාර මැදින් මෙරට සමාජය, එහි ජනමතය මෙහෙයවීම ලංකාදීප ගොඩනැගීමේදී පැවති අභියෝගය විය.

සිරි රණසිංහයන්ට සිය අත්දැකීම් සපිරි මිතුරන් හා නව පරපුර සමග ලංකාදීප රටේ ජනප්‍රියතම පුවත්පත බවට පත්කරලීමට හැකිවීම, පුවත්පත් හා ජනමාධ්‍ය-මහජන සබඳතාව, ජනමතය මෙහෙයවීම පිළිබඳ අධ්‍යයනය කළ යුතු ක්‍ෂෙත්‍රයකැයි මට සිතේ. 80 වැඩ වර්ජනය, 83 කළු ජූලිය, ජනමත විචාරණය, 88-89 මහා භීෂණ සමය, උතුරේ ඇවිළීගිය යුද්ධය, භීෂණය මධ්‍යයේ දේශපාලනඥයන්, නායකයන් එකිනෙකා මරාගනිද්දී ප්‍රචණ්ඩ මැතිවරණ පවතිද්දී, මාධ්‍ය හිමිකාරිත්වය, මාධ්‍ය භාවිතය, පාඨක රුචිකත්වය පවත්වාගෙන යාම, සිරි රණසිංහයන් මෙහෙයවූ සගයන්ගේ දක්‍ෂතාවකැයි මට සිතේ.

මුද්‍රිත මාධ්‍ය පමණක් නොව සියලුම ප්‍රචලිත විද්යුත් මාධ්‍ය පවා අද අභියෝගයට ලක්වෙමින් තිබේ. සමාජ මාධ්‍ය සමාජ ආගමක් බවට පත්වන්නා සේය. මේ සියලු අභියෝග මධ්‍යයේ දශක 6ක් දිවයන අත්දැකීම් සමග ලංකාදීප පුවත්පත වසර 17ක් රටේ ජනප්‍රියම පුවත්පත බවට ඔසවා තබන ලද්දේ හැකි තාක් මූලික සමාජ වගකීම් හා ආචාර ධර්ම ආරක්‍ෂා කරගනිමිනි.

දෙසැම්බර් 20 වැනිදින සම්භාවනාවට ලක්වූ සිරි රණසිංහයන් අගය කළ යුත්තේ ඉහත සන්දර්භයන් පසුතල කරගෙන යැයි සිතමි. චිරං ජයතුෟ තවත් බොහෝ කලක් මෙරට පුවත්පත් ගොඩනගන්නට ඔබට ශක්තිය ලැබේවා සිරි රණසිංහ මහතාණෙනි.

– මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස –

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි